වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
හොලිවුඩ් සිනමාව කළු ජාතිකයන් අත පත් වෙයිද?

හොලිවුඩ් සිනමාව ලොව පවතින විවිධ සිනමා ධාරාවන් අතුරින් ප්‍රධාන පෙළේ අධිපති සිනමා ධාරාවක් ලෙස නාමකරණයට ලක් කරන්නේ එහි ඇති අති සංකීර්ණ ස්වරූපය නිසාමයි. චිත්‍රාගාර ආධිපත්‍යයත්, කර්මාන්තමය ආකෘතියත්, වසරකට නිෂ්පාදනය කරන චිත්‍රපට ප්‍රමාණය 1000කට වඩා අධික වන හෙයින් හොලිවුඩ් සිනමාව කිට්ටු කළ හැකි අන් සිනමා කර්මාන්තයක් තවමත් බිහි වී නෑ. හොලිවුඩ් සිනමාව යුගයෙන් යුගයට තාක්ෂණික, මතවාදීමය, සංකල්පීමය වශයෙන් යාවත්කාලීන වුවත් හොලිවුඩයේ කළු ජාතිකයින් නියෝජනය කිරීම වසර ගණනාවක් තිස්සේ සාකච්ඡාවට හා විවේචනයට ලක් වූ මාතෘකාවකි. වර්තමාන හොලිවුඩ් සිනමාව තුළ ගොඩනැඟී ඇති නව ප්‍රවණතාවක් ලෙස ඇමරිකානු කළු ජාතිකයන් (Black Americans) වැඩිමනක් හොලිවුඩ් සිනමාපට සඳහා යොදා ගැනීම සහ කළු-සුදු වර්ණභේදවාදය පිළිබඳ සමාජ ගැටලුව සමිබන්ධ සාකච්ජා කරන චිත්‍රපට නිර්මාණය වීම යන ප්‍රවණතා ද්විත්වය කැපී පෙනෙන්නකි. හොලිවුඩ් සිනමා කර්මාන්තය ඇමරිකානු සමාජය තුළ මූලයක් ලෙස සකස් වී ඇති අතර මේ සමේ වර්ණය පදනමිව කළු සහ සුදු ජාතිකයන් අතර සමාජ ගැටුම පිළිබඳව අනාදිමත් කාලයක සිට හොලිවුඩ් සිනමාව තුළ නිරූපණය වූවා.
සමකාලීන හොලිවුඩ් සිනමාව Contemporary Hollywood Cinema) තුළ තේමාත්මකව සහ දෘෂ්ටිවාදවලින් විශාල වෙනස්කම් රාශියකින් සමන්විත වන නිසාම, විශේෂයෙන් දෘෂ්ටිවාද නිරූපණය කිරීම සමකාලීන හොලිවුඩ් සිනමාව තුළ ඇති නව ප්‍රවණතාවයක්. නිදර්ශනයක් ලෙස ස්ත්‍රීවාදය (Feminism) සහ සමලිංගිකත්වය (homosexual) පිළිබඳ අදහස සමකාලීන හොලිවුඩ් සිනමාව හරහා බහුලව සහ විවෘත සාකච්ජාමය ආකාරයෙන් නිරූපණය කරයි. අතීතයේ සිට වර්තමානය දක්වා ඇමරිකානු සමාජය තුළ පවතින්නා වූ බරපතළ සමාජ ගැටලුවක් වන කළු - සුදු වර්ණභේදවාදයේ සෙවණැල්ල හොලිවුඩ් සිනමා කර්මාන්තය කෙරෙහි වැටීම සම්බන්ධව ඇත්තේ දෘෂ්ටිවාදීමය (ideology) අදහසකි. වර්තමානයේ ඇමරිකානු සුදු ජාතික (White Americans) බහුතරය විසින් සුළු ජාතික ඇමරිකානු කළු ජාතිකයන් (Black Americans) වෙත හෙළන බැල්ම (Gaze) කුමක්ද? ඇමරිකානු කළු ජාතිකයන් විසින් සුදු ජාතිකයන් වෙත හෙළන බැල්ම (Gaze) කුමක්ද? මේ බැල්ම (Gaze) දෘෂ්ටිවාදයක් ලෙස සමකාලීන හොලිවුඩ් සිනමාව තුළ බහුල ආකාරයෙන් යුතුව නිරූපණය වීම ප්‍රවණතාවක් ආකාරයෙන් දක්නට ලැබේ.
සමකාලීන හොලිවුඩ් සිනමාව තුළ කළු ජාතික ප්‍රජාව කේන්ද්‍ර කරගත් සිනමාපට බොහෝමයක් නිෂ්පාදනය වීම කැපී පෙනුණි. මෙම ප්‍රවණතාවය 2000 දශකයට පෙර යුගයේ දක්නට නෙැලැබිණ. මන්ද ඒ වනවිට හොලිවුඩ් චිත්‍රපට සඳහා කළු ජාතිකයන් සමිබන්ධ කර ගැනීම දැඩි වර්ගවාදයට තුඩු දුන් හේතුවක් වූ නිසාවෙනි. වත්මන් හොලිවුඩ් සිනමාවේ සිටින 'ස්පයික් ලී', 'ජෝර්ඩන් පීල්', 'රයන් කුග්ලර්', 'ටයිලර් පෙරී' වැනි ඇමරිකානු කළු ජාතික අධ්‍යක්ෂවරයන් විසින් තම චිත්‍රපට සඳහා කළු ජාතිකයන්ගේ අයිතිය, නියෝජනය (Representation), ස්ව අනන්‍යතා අර්බුදය (self Identity crisis)තේමා කර ගැනීම සුවිශේෂී නිරික්ෂණයකි. ජෝර්ඩන් පීල් විසින් 2017 වසරේ දී අධ්‍යක්ෂණය කළ 'Get Out' චිත්‍රපටය තුළින් ඇමරිකානු සුදු ජාතිකයන් විසින් තම නිවෙස්වල මෙහෙකාර සේවයේ සඳහා වහලුන් ආකාරයෙන් කළු ජාතිකයන් යොදා ගැනීම සහ කළු ජාතිකයන් ඇමරිකානු සමාජයෙන් ඉවත් කර දැමිය යුතු බව හඟවන දෘෂ්ටිවාද තේමා සෘජුවම විවේචනයට ලක් කිරීම හරහා නැවතත් සුදු - කළු වර්ණභේදවාදය පිළිබඳ කතිකාවත ලෝක සිනමාව තුළ විවාදයට බඳුන් වී තිබේ.
බොක්ස් ඔෆිස් ආදයමි වාර්තා බිඳ හෙළමින් තිරගත වූ කළු ජාතික ප්‍රජාව පිළිබඳ තේමා වූ මාවල් චිත්‍ර කතා පොත් ඇසුරින් නිර්මිත සුපිරිවීර චිත්‍රපටයක් වන 'Black Panther' හරහා කළු ජාතිකයන් විසින් හොලිවුඩ් සිනමාව තුළ ලබාගෙන ඇති නිදහස සහ ආධිපත්‍යය, බලය පිළිබඳ අදහස නිරූපණය කෙරිණි. කළු ජාතිකයන්ගේ ඩිස්ටෝපියානු ලෝකයක් පිළිබඳ නිර්මාණය වූ 'Get Out' චිත්‍රපටය සහ 'Black Panther'' කළු ජාතිකයන්ගේ අනාගත යුතෝපියානු සමාජයක් පිළිබඳ අර්ථ දක්වන චිත්‍රපට දෙකක් බව විචාරකයෝ අර්ථ දැක්වූහ. ගිය වසරේ තිරගත වූ ඇන්ටෝන් ෆුකුවා නම් කළු ජාතික අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂණය කළ විල් ස්මිත් රඟපෑ 'Emanicipation' චිත්‍රපටය තුළින් ද සුදු ජාතිකයන්ගේ මිලේච්ජසහගත බව ද, කළු ජාතිකයන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ කතිකාවතක් ඇති කළේය. කළු ජාතිකයන් විසින් නිර්මාණය කරන බහුතරයක් චිත්‍රපට වාර්ගික අසමානතාවය, සමාජ අසාධාරණය සහ කළු ජාතික ප්‍රජාවන් මුහුණ දෙන කායික සහ මානසික අරගල යන සංකීර්ණත්වයන් ගැඹුරට විග්‍රහ කිරීම නව ප්‍රවණතාව වී ඇත.
මෑතකාලිනව අතිශය කතා බහට ලක් වූ 'Little Mermaid'' චිත්‍රපටයේ දිය කිඳුරියගේ ප්‍රධාන චරිතය සඳහා කළු ජාතික නිළියක් සමිබන්ධ කර ගැනීම වඩාත් කැපී පෙනුණ සිද්ධියක් වූවා සේම එම තේරීම ප්‍රේක්ෂකයන්ගේ දැඩි දෝෂ දර්ශනයටද ලක් විය. නෙට්ෆ්ලික්ස් සමාගම විසින් මේ වසරේ නිෂ්පාදනය කළ 'queen cleopatra' වාර්තා චිත්‍රපටය සඳහා ක්ලියෝපැට්රා රැජිනගේ චරිතය සඳහා කළු ජාතික නිළියක් යොදා ගැනීම පිළිබඳ දැඩි ලෙස ලොව පුරා ප්‍රේක්ෂකයෝ විසින් නෙටිෆ්ලික්ස් ආයතනයට බැණ වැදුණහ. ඇතැම්හු පෙත්සම් පවා ඉදිරිපත් කළහ. සමකාලීන කළු සිනමාවේ(Black cinema) මේ ප්‍රබල රැල්ල සමාජ සම්මතයන්ට අභියෝග කරනවා පමණක් නොව හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයේ පැවැත්ම කෙරෙහිද ප්‍රබල බලපෑමක් එල්ල කරමින් සිටී. විවිධ ආඛ්‍යාන, නව්‍ය කතන්දර කීමේ ශිල්පීය ක්‍රම සහ සුවිශේෂී රංගනයන් හරහා කළු ජාතික සිනමාකරුවන්ට ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමටත්, සංවාද ඇති කිරීමටත්, සීමා මායිම් යළි නිර්වචනය කිරීමටත් හැකි වී තිබේ. අනාගත හොලිවුඩ් සිනමාවේ පැවැත්ම කෙරෙහි කළු ජාතික ප්‍රජාවේ මැදිහත්වීම ප්‍රබල බලපෑමක් සිදු කරන බව සේම සුදු - කළු වර්ණභේදවාදය පිළිබඳ ගැටුමේ හැඩය වෙනස් වන්නේ කෙසේද? යන්න පිළිබඳ පුරෝකථනය කළ හැකිය.