වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
ජීවිතය විඳවීමට නොවේ; එය නොපමාව විඳින්න

80 දශකයේ මැද භාගයේ, ලංකාවේ, මරදානේ නිව් ඔලිම්පියා සිනමා ශාලාවේ, 'ටුවයිස් ඉන් අ ලයිෆ් ටයිම්' යනුවෙන් චිත්‍රපටයක් තිරගත විය. වෙනත් බටහිර චිත්‍රපට පෙන්වන විට සාමාන්‍යයෙන් කෙරෙන ප්‍රචාරණ තරමේ ලොකු ශබ්දයක් නැතිවුණත්, චිත්‍රපටය බැලීමට පෙලඹුණේ එහී 'ජීන් හැක්මන්' නම් වූ නළුවා රඟපාන නිසාය. හේතුව ඔහු වූවද, මෙම චිත්‍රපටයේ පින්තූරු කාඩ් දකින විට, අර අපට අන් චිත්‍රපටවලදී මුණ ගැහෙන 'ජීන් හැක්මන්' නොවේ කියා සිතුණු නිසාම මෙය නැරැඹීමේ උවමනා කම තවත් දැඩි විය.
ජීන් හැක්මන් ගේ මා නැරඹූ මුල් චිත්‍රපටය වූයේ 1970 දී තිර ගත වූ 'ද හන්ටින් පාටි' ය. ඉන්පසු 'ෆ්‍රෙන්ච් කනෙක්ෂන්'ය. ඊටත් පසු 'ද පොසිඩන් ඇඩ්වෙන්චර්' ය. මේ චිත්‍රපට තුන තුළින් 'ජීන් හැක්මන්' යන නළුවා, හදවතේ දැඩිව රැඳුණේ, ඔහුගේ විශිෂ්ටතම රඟපෑම් නිසාය. ඉහත චිත්‍රපටවල ඔහුගේ චරිත එකිනෙකට වෙනස්ය. 'ද හන්ටින් පාටි' හී ඔහු විනෝදයට දඩයමේ යන ධනවත් පුද්ගලයෙකි. තම බිරිඳව පැහැර ගෙන ගිය, මංකොල්ලකරුවන් ගෙන් බේරා ගන්නට උත්සහා කරන චරිතයකි. 'ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' චිත්‍රපටයේ ඔහු දක්ෂ රහස් පරික්ෂකවරයෙකි. එලෙසම 'පොසිඩන් ඇඩ්වෙන්චර්' චිත්‍රපටයේදී ඔහු 'පොසිඩන්' නැවේ සංචාරය කරන ඇමැති කෙනෙකි.
මේ චරිත ඉතාමත් ක්‍රියාකාරි හෝ චරිතයන්ය. ඉන්පසු ද ඔහු රඟපෑ බොහෝ චිත්‍රපටවල රඟපෑවේ, දඩබ්බර චරිතයන් ය. මෙවන් නළුවකු රොමැන්ටික් ශානරයක චරිතයක් රඟපානවා යනු එක්තරා අතකට සුවිශේෂිත කරුණකි. 'ටුවයිස් ඉන් අ ලයිෆ් ටයිම්' චිත්‍රපටය නැරැඹීමට පෙලඹුණේ එම හේතුව නිසා විය හැකිය.
'ජීන් හැක්මන්' යනු ලොව විශිෂ්ට නළුවන් අතරේ ප්‍රමුඛ පෙළේ සිටින නළුවෙකි. ඇමරිකන් ඔස්කාර් ඇකඩමි සම්මාන 5කට නිර්දේශ වී එකී සම්මානය දෙවරක් ලබාගත්, ඕඒජ්ඊඒ සම්මානයට 7 වරක් නිර්දේශය වී, 2 වරක් හිමි කරගත්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 9 යකට නිර්දේශ වී සම්මාන 2 ක් උරුම කරගත්, එමෙන්ම ඉඒට් සම්මාන 2 කට නිර්දේශ වී එක් සම්මානයකට හිමි කම් කී ඔහු යුරෝපයේ ප්‍රදානය කරන සිල්වර් බෙයා සම්මානයටද පාත්‍ර වූවෙකි. ඒ 'මිසිසිපි බර්නින්' විත්‍රපටයේ රඟපෑම වෙනුවෙනි. එම වසරේ හොඳම නළුවා වූයේ ඔහුය. ලොව ශ්‍රේෂ්ඨතම නළුවන්ට ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන සිසිල් බී ද මෙල් සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබීය.
ජීන් හැක්මන් ගේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ 'ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' චිත්‍රපටය ය. 1968 වසරේ 'බොනි ඇන්ඩ් ක්ලයිඩ්' හා 1971 වසරේ 'අයි නෙවර් සෑන්ග් ෆො මයි ෆාදර්' යන චිත්‍රපට සඳහා හොඳම සහයක නළුවාට හිම් ඇකඩමි සම්මානයට නිර්දේශ වූවද, ඔහුට ප්‍රථම වරට ඇකඩමි සම්මානය ලැබුණේ, 'ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' චිත්‍රපටයේ රඟපෑමටය. ඔහු විශිෂ්ට නළුවකුගේ තත්වයට පත් වූයේ ද, 'ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' චිත්‍රපටයෙනි.
ඔහුගේ මුල් නම 'ඉයුජීන් හැක්මන්' ය. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, සැන් බර්නඩිනෝ ප්‍රදේශයේ 1930 වසරේ ජනවාරි 30 වන දින ඉපදුණු ජීන් හැක්මන්, නළුවකුට අමතරව නවකතාකරුවකු ලෙසටද, ප්‍රචලිතය.
ඔහු ඇමරිකානු සිනමාවට පැමිණියේ 1961 වර්ෂයේ ය. ඒ 'මෑඩ් ඩෝග් කොල්' නැමති චිත්‍රපටයෙන් ය. ඔහු එහී පොලිස් නිලධාරියකු ලෙස ඉතාමත් සුළු චරිතයක් රඟපෑවේ ය.
ඔහුට ඇඟට 'දැනෙන' චරිතයක් ලබා ගන්නට තවත් අවුරුදු 6 ක් පමණ බලා සිටින්නට සිදුවිය. 1967 වසරේ තිරගක කළ 'බොනි ඇන්ඩ් ක්ලයිඩ්' චිත්‍රපටයේ පළවන සහයක චරිතය වූ 'බක් බැරෝ'ට පණ දුන් ජීන් හැක්මන්, ප්‍රථම වතාවට සිනමා පෝස්ටරයකටද පෙනී සිටියේ. 'බොනි ඇන්ඩ් ක්ලයිඩ්' චිත්‍රපටය වෙනුවෙනි. 'බොනි ඇන්ඩ් ක්ලයිඩ්' චිත්‍රපටය, තුළින්ය හැක්මන් නිසි ලෙස සිනමාවට ප්‍රවිෂ්ට වූයේ. ඔහු 'බක් බැරෝ' ගේ චරිතය කෙතරම් දක්ෂ ලෙස රඟපෑවාද කිවහොත්, ඔහු ප්‍රථම වතාවට ඇමරිකන් ඇකඩමි සම්මාන උලෙළේ හොඳම සහයක නළුවා ලෙසට නිර්දේශ විය. එතැන් සිට ඔහුගේ ගමන කිසිවෙකුටත් නවත්වන්නට නොහැකි විය. 1970 ව වර්ෂයේ දී, ඔහු නැවතත් ඇකඩමි සම්මාන උලෙළේ හොඳම සහයක නළුවාට නිර්දේශ විය. ඒ 'අයි නෙවර් සෑන්ග් ෆො මයි ෆාදර්' චිත්‍රපටයේ රඟපෑමටය. එම වාර දෙකේදීම සම්මාන මඟ හැරුණු ඔහුට, 1971 තිරගත වූ 'ෆ්‍රෙන්ච් කනෙක්ෂන්' චිත්‍රපටය ඔහුට අහිමි වූ සම්මානය ලබා දුනි. ඒ හොඳම නළුවා කරමිනි.
ඔහුගේ චිත්‍රපට අතරින් 'ෆ්‍රෙන්ච් කනෙක්ෂන්', ''ප්‍රයිම් කට්', 'ද පොසිඩන් ඇඩ්වෙන්චර්' 'ස්කෙයාර්ක්‍රෝ', 'ද කන්වර්සේෂන්', 'ෆ්‍රෙන්ච් කනෙක්ෂන්-2', 'අ බ්‍රිජ් ටූ ෆා', 'සුපර් මෑන්', 'නෝ වේ අවුට්', 'මිසිසිපි බර්නිං' , 'අන්ෆොගිවන්', 'අන්ඩර් සස්පිෂන්', 'බිහයින්ඩ් එනිමි ලයින්', යන චිත්‍රපට, විශිෂ්ට නිර්මාණ ලෙස සැලකිය හැකි අතර, ඒ හැම චිත්‍රපටයකම ඔහුගේ රංගනය ඉතාමත් ඉහළ මට්ටමක තිබූ අතර, 1992 වසරේ තිර ගත කළ 'අන්ෆොගිවන්' චිත්‍රපටයේ ඔහු රඟපෑ ශෙරිෆ් බිල් ඩැගට් ගේ චරිතය රඟපෑමේ විශිෂ්ටත්වය වෙනුවෙන් නැවතත් හොඳම නළුවා ලෙස ඇකඩමි සම්මානය හිමි කර ගතී. ඔහු රඟපෑ 80 ක් පමණ වූ චිත්‍රපට අතුරින්, වෙනස්ම චරිතයකට ඔහු අවතීර්ණ වනුයේ, අද මේ ලිපියට පාත්‍ර වන 1984 වර්ෂයේ තිර ගත වූ 'ටුවයිස් ඉන් අ ලයිෆ් ටයිම්' චිත්‍රපටයේ 'හැරි මැකෙන්සි' ගේ චරිතය රඟපෑමෙනි. එම සුවිශේෂිත රඟපෑම වෙනුවෙන් ඔහු 43 න් වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළෙ, හොඳම නළුවා ලෙසට නිර්දේශ විය.
'ටුවයිස් ඉන් අ ලයිෆ් ටයිම්' 'බඩ් යෝර්කින්' විසින් අධ්‍යක්ෂණය කළේ කොලින් වෙලාන්ඩ් ගේ තිර රචනයකටය. බඩ් යෝර්කින්ගේ චිත්‍රපටයක් ලංකාව තුළ තිරගත වූයේ 1967-68 තරමේය. ඒ ඩික් වෑන් ඩයික්, ඩෙබි රෙනොල්ඩ්ස්, හා ජේසන් රොබට්ස් රඟපෑ 'ඩිවෝස් ඇමරිකන් ස්ටයිල්' නම් අර්ධ විකට ශානරය යටතේ නිර්මාණය වූ චිත්‍රපටයකි. ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබුණේ, චිත්‍රපට 9 යක් වගේ සංඛ්‍යාවක් ය. එලෙසම ඔහු චිත්‍රපට 5 ක් නිෂ්පාදනය කර තිබෙන අතර, 'බ්ලේඩ් රනර්' ඔහු විසින් නිෂ්පාදනය කළ චිත්‍රපටයකි.
'ටුවයිස් ඉන් අ ලයිෆ් ටයිම්' චිත්‍රපටය ආරම්භ වනුයේ 'හැරි මැකෙන්සි' වැඩ කරන යකඩ ආශ්‍රිත වු කම්හලේ කාර්යන් කෙරීගෙන යන ආකාරයෙනි. එම සේවකයන් අතරේ 'හැරී මැකෙන්සි' ද සිටි. ඉන් ටික වේලාවකට පසු ඔවුන් ගේ රාජකාරිය නිම වෙන අතර, හැරි මැකෙන්සි තම නිවස බලා පිටත් වෙයි.
ඔහුගේ නිවස තුළ හැරීට නොදන්වා කුඩා සාදයක් සංවිධානය වී තිබුණි. එයට හැරී ගේ දරුවන්, මුනුපුරන් සහභාගිවී සිටි අතර, මෙම කුඩා සාදය සංවිධානය කර තිබුණේ හැරීගේ බිරිඳ වූ කේට් මැකෙන්සි ය. එයට ඔවුන්ගේ දියණියන් දෙදෙනා වූ සනී හා හෙලන්, ද සනී ගේ සැමියා හා ඔවුන්ගේ දරුවන් ද ඇතුළත් විය. මේ රහස් සාදය සංවිධානය වූයේ එදිනට යෙදෙන හැරී මැකෙන්සිගේ පනස් වන උපන් දිනය නිමිත්තෙන්ය. අනෙපේක්ෂිත වූ මේ සාදයෙන් හැරි තම බිරිඳ, දරුවන් හා දරු මනුපුරන් සමඟ ටික වේලාවක් ගත කරන්නට හැකි වූවා සේම, ඔහුට විශේෂ කෑම භුක්ති විදීමටත්, තම බිරිඳ ගෙන්, දරුවන්ගෙන් තෑගී බෝග ලබන්නටත් හැකි වූ සුවිශේෂිත වූ අවස්ථාවක් බවට පත් විය.
'ටුවයිස් ඉන් අ ලයිෆ් ටයිම්' චිත්‍රපටයේ මුල් දර්ශන පෙළ තුළින් පෙන්වුයේ පවුලක් එකට එකතු වූ විට ඇති සතුට, සන්තෝෂය, සමගිය ය. අධ්‍යක්ෂක ට මුළින්ම අවශ්‍ය වී තිබුණේ, හැරී ගේ පවුල අතිශයින්ම සතුටින් සමගියෙන් සිටින බවක් ප්‍රේක්ෂකයා ට පෙන්වීමටය. කථා රචකයා තම කථාව ගොඩනඟා තිබුණේ ඒ අයුරිනි. බිරිඳ සැමියාට දක්වන සෙනෙහස, ආදරය, දරුවන් තම පියාට දක්වන දරු සෙනෙහස මෙන්ම මුනුපුරන් තම සීයා ට දක්වන සෙනෙහස දකින විට හැරි මැකෙන්සි තරම් සතුටින් ජීවත් වන සැමියෙක්, පියෙක්, හා සීයා කෙනෙක් තවත් මිහිපිට සිටිනවාදැයි යනු සොයා ගැන්මට පවා නොහැකි ය. එහෙත් යථාර්ථය එයම ද යන්න වැටහෙන්නේ පසුවය. එතෙක් කථා රචකයා ප්‍රේක්ෂක යාව, මේ සුන්දරවූ මායාවේ ගිල්වා තබයි.
ගෙදර ඒ කුඩා සාදය නිම වූ පසු, හැරීගේ බිරිඳ කේට්, හැරීට කියන්නේ රාත්‍රියේ ඔහුගේ සුපුරුදු සමාජ ශාලාවට ගොස් ඔහු ගේ මිතුරන් සමඟ විනෝද වී පැමිණෙන ලෙසටය. ඇත්තටම මේ සිදුවීම තුළින් අපට පසක් වන්නේ මේ බිරිඳ තම සැමියාට දක්වන අවංක ආදරයයි. කතා රචකයා ඒ බිරිඳ ගේ ආදරය, චිත්‍රපටය පුරාවටම රදවා තබා ගනියි. චිත්‍රපටය තුළින් රචකයා මතු කරන හරය, ඉස්මතු වෙන්නේ ඒ තුළිනි.
ඕනෑම කෙනෙක්, ඕනෑම කෙනෙකුට, ඕනෑවට වඩා ආදරය කළ යුතු නැත. හේතුව ඒ අසීමිත ආදරය අනෙක් තැනැත්තාට කරදරයක් වී, ඒ කරදරය, පිළිකුලක් වන තැනට පරිවර්තනය වන නිසාය. කේට් මැකෙන්සි ගෙන් සිදුවූයේද එයයි. සනී, තම සැමියා වූ හැරීට දක්වන ආදරය, හැරීට කරදරයක් බව පෙනුණද, එය පිළිකුලක් වී ඇති බවක් ප්‍රේක්ෂකයන් ට දැනෙන්නේ හැරීට, ඔඩ්රි මිනේලි ව හමුවූ පසුවය.
තම උපන් දිනය දා රාත්‍රියේ, තම සුපුරුදු සමාජ ශාලාවට හැරී යනවිට, ඔහුගේ මිතුරන් ඔහුව පිළි ගත්තේ ඉමහත් උණුසම් ව ය. එතැනද ඔහු වෙනුවෙන් ඉක්මනින්ම සංවිධානය වූ සාදයක් තිබුණි. ඔඩ්රි මිනේලිව, හැරී දුටුවේ එදිනය. ඒ ඇය මේ සමාජශාලා වේ සහය සේවිකාවක් ලෙස අලුතින් එක්වී සිටි නිසාය.
ඔඩ්රි මිනෙලි වයස 30- 35 ක් අතර, රූමත්, මිත්‍රශීලි, හා සමාජශීලි එමෙන්ම කඩිසර කාන්තාවකි. ඇය නිසා පිරිමින්ගෙන් පමණක් පිරී තිබෙන මේ සමාජ ශාලාව ආලෝකවත් වී තිබුණි. ඒ රාත්‍රියේ විශේෂිත පුද්ගලයා වුයේ හැරී මැකෙන්සි ය. එහෙයින් එතැන සිටි සියලු අයගේ අවධානය දිනා ගත්තේ ඔහුය. එයට ඔඩ්රිත් ඇතුළුව ය. මේ සමාජ ශාලාවේ අයිතිකාරිය මැදිවියේ එහෙත් ඉතාමත් ප්‍රසන්න වූ කාන්තාවකි. ඇය හැරීට තම අලුත් 'බාර් සේවිකාව' ඔඩ්රිව හැරීට හඳුන්වා දුනී. සාදය අතිශයින් සතුටින් ගලා ගියේය. සියල්ලෝම කමින්, බොමින් පී‍්‍රති වූහ. මේ වන විට හැරී හා ඔඩ්රි කිසියම් මට්ටමක මිතුරු කමක් ගොඩනංවා ගෙන තිබුණි. ඒ අතරේදී හැරී ඇය බාර් එක තුළ සිටින විට, නිකමට මෙන් ඇසුවේ ඇයට තමාගෙන් උවමනා මොනවාද කියාය. ඇය ගත් කටටම කීවේ, ඇයට අවශ්‍ය හාද්දක් කියා ය. වටේ සිටි සියල්ලෝම සතුටින්, කෑ ගසමින් අත්පොළොස්සන් දුනි. හැරී බාර් එක තුළට ගොස් ඇය තම දෑතට තුරුලු කරගෙන ඇයගේ දෙතොල සිප ගතී. ඇයද එයට දැඩි ප්‍රතිචාර දැක්වූ හෙයින් එම හාද්ද තරමක් දිගු විය. වටේ සිටි සියල්ලෝම එය විමෝදයක් ලෙස සැලකුවද, හැරීට හා ඔඩ්රි ට නමි එම හාද්ද තවත් විශාල වූ කථාවක මුල පිරීමක් විය.
එදින රාත්‍රියේ එම සමාජශාලාවේ සාදය නිම වී හැරී නිවසට පැමිණ, තම ජෝඩු ඇඳේ නිදා ගන්නට සැරසෙන විට, ඇඳේ අනෙක් පැත්තේ නිදා සිටි ඔහුගේ බිරිඳ කේට් ඔහුගේ පැත්තට හැරී ඔහුගේ පපුව මත තම හිස තබා ඔහුව තුරුලු කරගෙන නිදියන්නට සැරසුණද, හැරී එය වළක්වා ඊට විරුද්ධ පැත්තට හැරෙමින් නිදිය ගත්තේ ඔහුට වෙහෙස බව හඟවමිනි.
හැරී මෙතෙක් කල් ගෙවා ඇත්තේ අතෘප්තිමත් විවාහ ජීවිතයක් බව, චිත්‍රපටයේ අධ්‍යක්ෂ බඩ් යෝකින් ප්‍රේක්ෂකයන් ට පෙන්වන්නේ මේ සිදුවීම තුළිනි. ඔහු ගත කරන එකාකාරි ජීවන රටාවෙන් මිදෙන්නට ඔහු අවස්ථාවක් ලැබෙන තෙක් බලා සිටි බවක්ද ප්‍රේක්ෂකයන් ට වැටහෙන්නේ මෙම දර්ශනය තුළින්ය.
ඉන් පසු සිදුවෙන්නේ සෙමෙන් සෙමෙන්, හොරෙන් හොරෙන්, හැරී හා ඔඩ්රි අතර ඇසුරක් ගොඩනැංවීමය. මුලින්ම ඔවුන් තැනින් තැන හමුවන්නට වූ අතර, ඉන්පසු ඔවුන් ඇතැම් සති අන්තයන්වල රාත්‍රියන් පවා ගත කරන්නට විය. එලෙස පිට යන විට, ඔහු තම බිරිඳ කේට් ට විවිධ බොරු කියමින් ගෙදරින් පිටවේ. ඇයද, ඔහුව කිසිදු අයුරකින් සැක කරන්නේ නැත. ඔහු කියන හැම දෙයක්ම ඇත්ත ලෙස ඇය පිළිගන්නට විය. එහෙත් එය බලපෑවේ ටික දිනකට පමණි. ඒ මේ ආරංචිය ඇයගේ කනට වැටෙන තෙක්ය.
කේට් ට පොඩි කොණ්ඩා සැකසීම හා රූපලාවණ්‍ය සාප්පුවක් තිබූ අතර, එහී පිළිගැනීමේ නිලධාරිනියක්ද සිටියාය. ඇයද තරමක මැදිවියේ කාන්තාවකි. දිනක් ඇය තම රාජකාරියට තම කාර් රථයෙන් පැමිණෙන විට ඇයට මාර්ග සංඥා තැනක රථය නතර කරන්නට සිදුවිය. නැවත කොළ පාට විදුලි එළිය වැටෙන තෙක් ඇය රථයේ සිටිමින් වටපිට බලන්නට විය. ඇයට අනෙක් පැත්තේ නවතා තිබූ කාර් රථය තුළ, ඇය වැඩ කරන සාප්පුවේ හිමිකාරියවූ කේට් මැකෙන්සිගේ සැමියා වූ හැරී මැකෙන්සි , තවත් රූමත් කාන්තාවක් සමඟ දෙතොල් සිප ගනිමින් සිටින බව ඈ දුටුවේ එවිටය.
එම ආරංචිය කේට් ගේ කනට යාමට ගත වූයේ විනාඩි 5 ක පමණ කාලයකි. කේට්ගේ, හැරීගේ හා ඔඩ්රි ගේ ජීවිත අනිත් පැත්තට හැරීමේ ආරම්භය පටන් ගත්තේ එතැන් සිටය.
තම සැමියාගේ රහස් සම්බන්ධයක් තම බිරිඳට අසුවූ පසු ඇතිවන සිදුවීම් අප අනන්තවත් චිත්‍රපටවලින් නරඹා ඇත. එහෙත් මෙතනදී එකී සම්ප්‍රදායානුකූල සිදුවීමට වඩා, යථාර්ථවාදී සිදුවීමක් සිදුවේ. ඒ මෙහි සැමියා වූ හැරී, යථාර්ථයට බිය නැතිව මුහුණ දීමය. ඔහු ඔහුගේ හැඟීම් නිසි ලෙස හඳුනා ගෙන, ජීවිතය විඳ විඳ සිටිනවාට වඩා ජීවිතය විඳීන්නට ලැබුණු අවස්ථාව තෝරා ගැන්මය. 'ටුවයිස් ඉන් අ ලයිෆ් ටයිම්' චිත්‍රපටයේ සුවිශේෂත්වය එය විය.
මේ ආරංචිය ලද සැණින්ම කේට් ගේ මුළු ලෝකයම එක මොහොතින් කඩා වැටුණි. ඇය, ඇයගේ වැඩිමහල් දියණිය සමඟ ඕඩ්රි සිටින සමාජශාලාවට යන විට, එහී ඕඩ්රි පමණක් නොව, හැරී ද සිටියේය. දුව සනී විසින් එතැන විශාල කලබගෑනියක් කිරීමට සැරසුණද එය සමතයකට පත් කර ගන්නට හැරි හැකි උත්සහයක යෙදුණි. එහෙත් සනී කෙළින්ම දෝෂාරෝපනය කළේ එතැන සිටි ඕඩ්රිටය.
එහෙත් දැන් මොනවා කළත් සිදුවූ දේ සිදුවී හමාරය. හැරී තම බිරිඳ වූ කේට්ව කෙළින්ම හමුවීමට ගොස් කීවේද එයයි. ඔහු කීවේ ඔහුට අවශ්‍ය ජීවිතය ලැබුණා කියාය. එය නැති කර ගැන්මට ඔහුට අවශ්‍ය නැති බවය. එවිට ඇය ඇසුවේ ඇයට කුමක් වේද කියාය. ඔහු කීවේ ඇය සිත හදාගෙන අලුත් ජීවිතයකට හුරුවිය යුතු බවය.
චිත්‍රපටයේ වටිනාම දර්ශන දෙකක් තිබුණි. ඒ ඔහු නිවැසියන්ගෙන් සමුගෙන යන දර්ශනය හා ඔහුගේ බාල දියණියගේ විවාහ මංගල්ලය දර්ශනය ය. නිවැසියන්ගෙන් සමුගෙන යන දර්ශනයේදී, ඔහු ඔහුගේ බිරිඳ කේට් ගෙන්ද, එලෙසම තම ලොකු දුව වූ සනී ගෙන් සමුගන්නා විට ඔවුන් දෙදෙනා දැක්වූ රළු ප්‍රතිචාර වෙනුවට හාත්පසින් වෙනස් වූ සුහ ප්‍රතිචාරයකි ඔහුගේ විවාහ වීමට සිටි බාල දියණිය හෙලන් සහ ඇයගේ පෙම්වතා ටිම් දක්වන්නේ.
එලෙසම හෙලන් විවාහ වන දවසට පෙර දවසේ ඔහු හෙලන්ට ත්‍යාගයක් දී, අසන්නේ පසුදින විවාහයට ඔහු පැමිණෙන්නද කියාය. හෙලන් කවදත් තම පියාට ආදෙර්ය. අන් අතකට, තම පියා, වෙනත් කෙනෙක් සමඟ ජීවත් වන්නට යාම ඇය හා ඇයගේ පෙම්වතා සැලකුවේ අතිශයින්ම සාමාන්‍ය සිදුවීමක් ලෙසටය. ඇය ඔහුට කීවේ ඇයගේ මඟුල් දිනයේ ඔහුව තම පියා ලෙසටම අවශ්‍ය කියාය.
අවසන් දර්ශනය චිත්‍රපටයේ උචිචතම දර්ශනය විය. ඔහු හෙලන් ගේ මඟුල් ගෙදරට පැමිණෙයි. ඔහුට තම බිරිඳ ළඟින්ම සිට හෙලන්ගෙ වත් පිළිවෙත් කරන්නට සිදු වේ. අවසාන පවුල් ඡායාරූපය ගන්නා විට ඡායාරූප ශිල්පියා හැරීට කියන්නේ කේට් ට තවත් ළංවී ඇයගේ ඉණ පෙදෙස අල්වා ගන්නට කියාය. ඔහු එසේ ඇල්ලීමට පෙර, ඇයගෙන් අසන්නේ, එසේ ඇල්ලුවාට කමක් නැද්ද කියාය. එවිට ඇය කියන්නේ එහෙම ඇල්ලුවාට මොකුත් ප්‍රශ්නයක් නැත කියාය.
අධ්‍යක්ෂ බඩ් යෝකින්, මේ සියුම් තැන් හරි කදිමට ස්පර්ශ කර තිබුණී. ප්‍රේක්ෂකයන් ට එම සිදුවීම් අයත් දර්ශන දැඩි ලෙස සිතට කාවැදී තිබුණි.
අන් අතකට, තමාගේම දියණියගේ මඟුල් ගේ තුළ තම බිරිඳ, දරුවන්, නෑදෑයන්, මිතුරන් අතරේ හැරී මැකෙන්සි ට අමුත්තෙක් හැසිරෙන්නට සිදුවීමත්, එසේ අමුත්තෙක් ලෙස හැසිරුණද, තමන් ගත් තීරණයන් ගැන කිසිදු පසුතැවිල්ලක් නොවීම, හැරී මැකෙන්සි ගේ ලක්ෂණය නළු ජීන් හැක්මන් විශිෂ්ට ලෙස ඉදිරිපත් කර තිබුණි.
සියල්ලෝම මඟුල් මංගල්‍යය තිබූ පල්ලියෙන් ඉවත් වූ පසු ඒ භූමියේ ඉතිරි වුණේ, මඟුල් ගෙයට මල් ගෙන ආ මල්කරුවා සහ හැරී මැකෙන්සි පමණී. අවසානම ජවනිකාව වූයේ හැරී මල් කරුවාගෙන් කුඩා මල් කිනිති කීපයකින් සෑදුණු මල් මිටියක් ඉල්ලා ගෙන ඒ භූමියෙන් පිට වෙන ආකාරයයි.
තමන් ගත් තීරණය වෙනුවෙන් මොන තරම් හැල හැප්පිලි, අකටයුතු කම්, ගැරහුම්, අමනාප කම් සිදුවුණද, ඒ කිසිවක් මායිම් නොකර, තමාට විඳීය හැකි ජීවිතය කරා යන හැරී මැකෙන්සි වැනි චරිතයක් කාලෙකින් හෝ ලෝක සිනමා තුළින්ව දකින්නට ලැබීම අගය කළ යුතුමය. ඒ චරිතය ඒ අයුරින්ම විශිෂ්ට ලෙස ජීවමාන කළ ජීන් හැක්මන් ගේ එකී රංගනය නම් අද්විතීයමය.
මෙතරම් සුන්දර වූ 'ටුවයිස් ඉන් අ ලයිෆ් ටයිම්' වැනි චිත්‍රපටයක් හොලිවුඩ් චිත්‍රපට ප්‍රිය කරන රසික ප්‍රජාව අනිවාර්යයෙන්ම නැරැඹිය යුතුවේ. එයින් ප්‍රත්‍යක්ෂ වන්නේ ජීවිතය ඇත්තේ 'විඳවීමට නොව, විඳීමට' බවය. 'ටුවයිස් ඉන් අ ලයිෆ් ටයිම්' චිත්‍රපටය තුළින් කියා දෙන්නේ ඒ අර්ථය ය. මෙහි තේමා ගීතය වූ 'ටුවයිස් ඉන් අ ලයිෆ් ටයිම්' නමින්ම පටන් ගැනෙන ගීතය ගායනා කළේ පෝල් මැකාටිනිය.
'ටුවයිස් ඉන් අ ලයිෆ් ටයිම්' චිත්‍රපටය යූ ටියූබ් තුළින් සොයා ගත හැකිය.