වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
පෙම්වත් රොක් හඩ්සන් වීරයකු කළ Hornets Nest

හොලිවුඩ් යටගියාව ලිපි පෙළ 51 ක් ලියූවද, කඩවසම්, දක්ෂ එමෙන්ම ආන්දෝලාත්මක නළුවෙකු වූ 'රොක් හඩ්සන්' ගැන හා ඔහු රඟපෑ චිත්‍රපටයක් ලියවුණේ නැත. එය විශාල අඩුවකි. එහෙයින් මා ඔහු රඟපෑ ලංකාවේ ප්‍රදර්ශනය වූ චිත්‍රපට දෙකක් තෝරා ගතිමි. එකක් 'අයිස් ස්ටේෂන් සීබ්‍රා' ය. අනිත් චිත්‍රපටය 'හොනට්ස් නෙස්ට්'ය. 'අයිස් ස්ටේෂන් සීබ්‍රා' ඇලිස්ටෙයාර් මැක්ලීන් ගේ නවකතාවක් වූ අතර, ඔහුගේ නවකථා තුළින් නිර්මාණය වූ චිත්‍රපට කීපයක්ම මා මේ ලිපි මාලාවට ලියා තිබූ හෙයින්, 'හොනට්ස් නෙස්ට්' ගැන ලිවීමට මා අදහස් කළේ, එය අප හද තදින්ම ඇද බැඳ ගැන්මට සමත් වූ, තවමත් එලෙසින්ම මතකයේ රැඳුණු චිත්‍රපටයක් වූ නිසාය.
'රොක් හඩ්සන්' මුල සිටම ජනප්‍රිය වූයේ කඩවසම් සිරුරක් හා රුවක් ඇති රොමැන්ටික් නළුවෙකු ලෙසටය. නමුත් ඒ රොමැන්ටික් බවට පටහැනි චරිත දෙකකි, ඔහු 'අයිස් ස්ටේෂන් සීබ්‍රා' හා 'හොනට්ස් නෙස්ට්' චිත්‍රපටවල රඟපෑවේ. රොමැන්ටික් රංගනයක් රොක් හඩ්සන් ගෙන් බලාපොරොත්තු වූ ප්‍රේක්ෂකයන් ට 'හොනට්ස් නෙස්ට්' තුළින් දැක ගත හැකි වූයේ තරමක් සැර පරුෂ, යුද හමුදා කපිතාන්වරයකුගේ චරිතයකි. නමුත් ප්‍රේක්ෂකයන් ගේ බලාපොරොත්තුන් සුන් වූයේ නම් නැත. 'කැප්ටන් ටර්නර්' ලෙස රොක් හඩ්සන් රඟපෑ ඒ යුද හමුදා උසස් නිලධාරියාගේ චරිතයට ප්‍රේක්ෂකයන් වසඟ විය.
රොක් හඩ්සන් ඉපදුණේ 1925 නොවැම්බර් 17 වෙනි දිනය. ඒ ඇමරිකාවේ ඉලිනොයිස් නම් ප්‍රදේශයේය. අඩි 6 අඟල් 5 ක් උස මේ කඩවසම් පුද්ගලයා රූපකායෙන් දෙවනි වූයේ එල්විස් ප්‍රෙස්ලිට පමණි. එල්විස් ඔහුට වඩා අවුරුදු 10 ක් බාල වූවද ඔවුන් දෙදෙනාම එකල ලොව වඩාත්ම කඩවසම් පුද්ගලයන් ලෙස ගණන් ගැනුණි.
රොක් හඩ්සන් රඟපෑ ප්‍රථම චිත්‍රපටය වූයේ 1948 වසරේ තිරගත කළ 'ෆයිටර් ස්කොඩ්රොන්', ය. එහි ඔහු රඟපෑවේ 'පයිලට්' කෙනෙකුගේ චරිතයකි. එය ඉතාමත් සුළු චරිතයක් නිසා ඔහු ව කැපී පෙනුණේ නැත. දෙවන චිත්‍රපටය තිර ගත වූයේ 1949 වසෙර්ය. ඒ 'අන්ඩර්ටෝ' ය. එහී ඔහුට චරිතයක් ලැබුණද, එයද එතරම් කැපී පෙනුනේ නැත. 1950 වසරේ රඟපෑ 'පෙගී' චිත්‍රපටයේ ඔහුට සැලකිය යුතු චරිතයක් ලැබුණු නිසා ඔහුගේ නම ප්‍රථම වතාවට චිත්‍රපට පෝස්ටරයක සහය චරිතයක් ලෙස සඳහන් විය. 1952 වසරේ තිර ගත කළ 'ස්කාර්ලට් ඒන්ජල්' ඔහුගේ ප්‍රථම ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටය විය. එතැන් සිට ඔහු 1984 වන තෙක් චිත්‍රපට 65 ක පමණ රඟපා තිබුණි. 1956 වසරේ ඔහු රඟපෑ 'ජයන්ට්' චිත්‍රපටයේ ජෝර්දාන් බික් බෙනඩික්ට් නම් චරිතය සඳහා ඔහු ඇමරිකන් ඇකඩමි සම්මානයට නිර්දේශ විය.
මෙම ලිපිය හා බැඳුණු 'හොනට්ස් නෙස්ට්' චිත්‍රපටය ඔහුගේ 56 වැන්න විය. ස්ටැන්ලි කොල්බට්, කථාව ලියූ අතර තිර නාටකය එස්.එස්. ශෙවෙයිට්සර්, ලිවීය. චිත්‍රපටය නිෂ්පාදනය කළේ ස්ටැන්ලි එස්.කැන්ටර් ය. අධ්‍යක්ෂණය භාර වුයේ පිල් කාල්සන්, හා ෆ්‍රැන්කො සිරිනෝ ටය.
එන්නියෝ මොරිකෝන් මෙහී සංගීතය සැපයුවේය. 'ෆිස්ටිෆුල් ඔෆ් ඩොලර්ස්', ෆො අ ෆිව් ඩොලර්ස් මෝ' 'ද ගුඩ්, ද බෑඩ් ඇන්ද අග්ලි' චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණය කළ එන්නියෝ මොරිකෝන් ඒ තුළින් විශ්ව කීර්තියට පත් වූ සංගීතඥයෙක් වී තිබුණි.
'හොනට්ස් නෙස්ට්' තේමා වූයේ ' මීට් කැප්ටන් ටර්නර්ස් බේබි බ්‍රිගේඩ්' යනුවෙනි. 'හමුවන්න කපිතාන් ටර්නර් ගේ ළමා හමුදාව' යන අර්ථය ට නිර්මාණය වූ මේ චිත්‍රපටයේ කැප්ටන් ටර්නර්ස් වූ රොක් හඩ්සන් සමඟ මුලින්ම රඟපෑමට තෝරා ගත්තේ 'සොෆියා ලොරේන්' ය. එහෙත් අවසන් අවස්ථාවේ සොෆියා ලොරේන් ව අයින් කර, 'සිල්වා කොසිනා' ව තෝරා ගතී.
සිල්වා කොසිනා ඉපදුණේ යුගොස්ලෙවියා රටේ, සැග්රෙබ් නගරයේය. ඒ 1933 අගෝස්තු 22 වන දිනය. ඇය සිනමා රංගනයට පැමිණියේ 1955 තිර ගත වූ ඉතාලි විකට චිත්‍රපටයක් වූ 'ආර් වී මෙන් ඕ කෝප්රල්ස්' ය. ඉන්පසු ඇය චිත්‍රපට 8 ක පමණ රඟපෑවද, ඇය ජනප්‍රියත්වයට ඔසවා තැබුවේ 1958 තිර ගත කළ 'හර්කියුලස්' චිත්‍රපටයෙන් ය. එහී ඇය රඟපෑවේ 'ලොලේ' ගේ චරිතයය. ඒ පේලිස් රජුගේ දූ කුමරිකාව ලෙසටය. නැතහොත් හර්කියුලස්ගේ පෙම්වතිය ලෙසටය. එහී හර්කියුලස් ගේ චරිතය රඟපෑවේ 'ස්ටීව් රීව්ස්'ය. එලෙසම ඇය 1959 දී තිරගත වූ 'හර්කියුලස් අන්චේන්ජ්' චිත්‍රපටයේ ද ස්ටීව් රීව්ස් සමඟ 'ලොලේ' නම් වූ එම චරිතයම රඟපෑම විශේෂත්වයක් විය.
'හොනට්ස් නෙස්ට්' ඇයගේ 85 වෙනි චිත්‍රපටය විය.ඇය බොහෝ විට රඟපෑවේ ඉතාලියානු චිත්‍රපටවලය. එහෙත් ඇය රඟපෑ 'ද සීක්‍රට් වෝ ඔෆ් හැරී ෆ්‍රිග්' නම් හොලිවුඩ් චිත්‍රපටය ජනප්‍රිය විය. ඇය එහී රඟපෑවේ පෝල් නිව්මන් නම් වූ විශිෂ්ටතම නළුවා සමඟය.
'හොනට්ස් නෙස්ට්' හී ඇය රඟපෑවේ දොස්තර බියංකා ෆ්‍රිඩ්ලිංන්ග් ගේ චරිතයයි. එය තරමක් සංකීර්ණ වූ චරිතයකි. ඇය එහී බොහෝ රූප රාමුවල නැතත්, ඇයගේ සීමාව තුළ ඇයට යමක් කිරීමට හැකි විය. එම චිත්‍රපටයේ සිටි එකම කාන්තා චරිතය එය විය. එහෙයින් ඇයට චිත්‍රපටය තුළ තිබූ වගකීම වැඩි විය. එය තරමක සංවේදී වූ චරිතයකි. ඇය කතාවට අනුකූලව අමාරුවේ වැටෙන්නේද මේ සංවේදි බව නිසාය.
චිත්‍රපටයේ කාල වකවානුව වී තිබුණේ 1944 වර්ෂයේය. මෙය ආරම්භක දර්ශනය වූයේ ජර්මන් නාසි හමුදාව ඉතාලියේ 'රෙනෝටෝ' ගම්මානයට පැමිණ එහි සිටි ගැහැනු පිරිමි කුඩා ළමයි, අත දරුවන් පෝලීමට හිටුවා වෙඩි තබා මරණ දර්ශනයකිනි. ඒ ජර්මන් හමුදාවට කැරලි ගසන කැරලිකරුවන් සිටින තැන් විමසමිනි. මෙය ජර්මන් නාසි හමුදාවේ කෲරතම සේනාධිපතියා වූ මේජර් ස්ටර්ම්බැන්ෆියුහර්, ගේ අණක් විය. මුළු ගම්මානයේම සිටි අය මරා දමන විට අසල කැලයක සිට ඔවුන්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, නෑදෑ හිතවතුන් නාසිස් විසින් මරා දමන අයුරු, ඉමහත් වේදනාවෙන්, වෛරයෙන් සැඟවී බලා සිටි අවුරුදු 7 ත් 14 ත් අතර වයසැති කොලු රෑනක් විය. මේ කෲර ලෙස වෙඩි තබා මරා දමන්නේ තමාගේම දෙමාපියන් ඇතුළු තමන්ගේම අයය.
එහෙයින් ඔවුන් කෙසේ හෝ මේ නාසි හමුදාව හා ඔවුන්ගේ කඳවුරු විනාශ කළ යුතු යන අධිෂ්ඨානයෙන් පසුවිය. මෙම කණ්ඩායම පෙරමුණ ගත්තේ 'ඇල්ඩෝ' නම් 14 හැවිරිදි වැඩිමහල් ළමයාය. ඔහු කලහාකාරි පුද්ගලයෙක් වූ අතර, ජර්මානුවන්ගේ ලේ උරා බොන්නට තරම් වෛරයක් ඔහුගේ හිතේ ඇති වී තිබුණි. ඔවුන් ආයුධ තොගයක් එක්රැස් කර තිබුණද, නාසි වැනි ලොව ප්‍රබල හමුදාවක් සමඟ ගැටෙන්නට ඔවුන් වැනි කුඩා ළමුන් කණ්ඩායමකට කිසිසේත් හැකියාවක් නොමැති බව ඔවුන්ටම වැටහී තිබුණි.
චිත්‍රපටයේ අරමුණ වූයේද, මේ කුඩා ළමුන් පිරිස, එම ගම්මානය කිට්ටුව කඳවුරු බැඳ සිටින නාසී මූලාස්ථානය විනාශ කරනුයේ කෙලෙසද යන්නය. එයට නිර්මාණකරුවන් මූලික කර ගන්නේ 'කපිතාන් ටර්නර්' ය.
කපිතාන් ටර්නර් යනු ඇමරිකානු හමුදාවේ නිලධාරියෙකි. ඔහු, ඔහුගේ භටයන් සමඟ ඉතාලියට සේන්දු වෙන්නේ ජර්මානුවන් විසින් සාදා ඇති පාලම් බැම්ම ඩයිනමයිට් දමා විසුරුවා හරින්නටය. ඒ බැම්ම තිබෙන තෙක් ඇමරිකානු හමුදාවට ඉතාලි රටට ඇතුළ් වීමට නොහැකි විය. ඇමරිකානුවන් ට අවශ්‍ය වූයේ ජර්මානු නාසි හමුදා ආක්‍රමණයෙන් ඉතාලිය බේරා ගැන්මටය. එහෙත් ජර්මානුවන් ඇමරිකානු හමුදාව එන මාර්ගය විශාල බැම්මකින් ආවරණය කර තිබුණි. කපිතානු ටර්නර් තම භටයන් සමඟ පැමිණියේ හමුදා අහස් යානාවකිනි. ඔවුන් බැම්ම ළඟ ඇති කැලයට බැස්සේ පැරෂූට් ආධාරයෙනි. එහෙත් ජර්මානුවන් මොවුන් එන අන්දම නිරික්ෂණය කර තිබූණි. එහෙයින් ජර්මානුවන් ඇමරිකන් හමුදා භටයන් පැරෂූට් ආධාරයෙන් බිමට පතිනි වන විට ඔවුන්ට වෙඩි තබා මරා දැමූ අතර, ඒ අතරේ සිටි කපිතාන් ටර්නර් ටද වෙඩි වැදී ඔහුගේ පැරෂූට් එක ගසක අතු අතරේ හිරවී තිබුණි. ජර්මානුවන් ඔහු අසලට පැමිණියද, ඒ වන විට ඔහු මියගොස් තිබුණි. එහෙයින් ජර්මානුවෝ ඔහුව අත හැර දා ගියහ. ඔහුගේ සිරුර ගසේ අතු අතරින් රූට්ටා බිමට වැටුණි.
ඇල්ඩෝ හා කාලෝ ඇතුළු ළමුන් රෑනට ටර්නර් ගේ සිරුර හමුවුණේ ළමුන් සැඟවී සිටින කෑලෑව තුළමය. මුලින්ම ළමුන් සිතුවේ ඔහු මියගොස් ඇති බවය. එහෙත් ඔහු යාන්තමින් හුස්ම ගන්නා බව කාලෝ දුටුවේය. ඔවුහු වහාම ඔහුගේ සිරුර තමන් සැඟවී සිටි ගල් ගුහාවේ සඟවා තැබූහ. ජර්මානුවන් තනා ඇති රෝහල වෙත ඇල්ඩෝ හා කාලෝ හොරෙන්ම ගියේ දොස්තර කෙනෙක්ව කෙසේ හෝ රැගෙන ඒමටය.
ඔවුන් ට හමුවුණේ ජර්මානු කාන්තා දොස්තරවරියෙකි. ඇය බියංකා ෆ්‍රිඩ්ලිංය. ඔවුන් දෙදෙනා ලොකු උප්පරවැට්ටියක් යොදන්නට විය. දොස්තරවරිය ශෛල්‍යකර්මයක් නිමවී එළියට ආ සැණින්ම කුඩා කාලෝ ඇය ළඟට ගොස් හඬමින් වැලපෙමින් කීවේ ඔහුගේ පියා අසාධ්‍ය වී මරණාසන්නව සිටින බවක්ය. ඔවුන් ඇැයගෙන් ආයාචනා කළේ ඇයට පැමිණ ඔහුව බේරා දෙන ලෙසය. ඇය මුලින්ම තදින්ම කීවේ ඇයට එසේ යෑම කිසිසේත්ම කළ නොහැකි බවය. එහෙත් කාලෝගේ වැලපීම තවත් උග්‍රවූයෙන් ඇයට ඔහු ගැන අනුකම්පා සිතී කාලෝ සමඟ යෑමට එකඟ විය.
ඔවුන් ඇයව කැලයක් ළඟට රැගෙන යන විටය ඇයට වැටහුණේ තමා මොවුන් දෙදෙනාගේ උගුලකට අසුවූ වග. අවසානයේ ඇයට කපිතාන් ටර්නර්ට බෙහෙත් කරන්නට සිදුවූවා පමණක් නොව ඔවුන්ගේ අඩස්සියේ රැඳෙන්නට සිදුවිය.
කපිතාන් ටර්නර් සුව විය. ඇල්ඩෝ සහ කලෝ ඇතුළු ළමුන් කැල ජර්මන් නාසි හමුදාව තම දෙමාපියන් ඇතුළු සියලු ගම්වාසින් වෙඩි තබා මැරූ ආකාරය කපිතාන් ටර්නර්ට විස්තර කර දුන් අතර, කෙසේ හෝ නාසින්ව විනාශ කළ යුතු බවත් කීවහ.
ඒ සමඟම ඇමරිකා හමුදා මූලස්ථානයේ තමන්ට දුන් රාජකාරිය වූ පාලම් බැම්ම විනාශ කිරීමත් සිදු කළ යුතු හෙයින්ද, ළමුන් විසින් සඟවා තිබූ තුවක්කු ඇතුළු ආයුධ සමඟින් මෙම 'මිෂන්' එක පටන් ගත යුතු යැයි කපිතාන් ටර්නර්ට වැටහුණි.
ඔහු මුලින්ම කළේ ළමුන්ට හමුදා පුහුණුව හා ආයුධ පුහුණුව ලබා දීමය. ඉන්පසු ඔවුන් රහසිගතව තැන් තැන්වල කුඩාවට කඳවුරු ගසා සිටින නාසී භටයන්ව විනාශ කර ඔවුන් සතු ආයුධ හා ට්‍රක් රථ පැහැර ගති. ඉන් පසු කපිතාන් ටර්නර් සහ ඇල්ඩෝ, ජර්මන් හමුදා මූලස්ථානයට රහසින් ඇතුළත් වී මෙහී සැලැස්ම සොරා ගත්තේ ඒ ඒ තැන් වලට ඩයිනමයිට් සවි කර විනාශ කිරීමේ අරමුණෙනි.
මේ අතරේදී දොස්තර බියංකා තමාට නැවත යායුතු යි කියා කපිතාන් ටර්නර්ට කරදර කරන්නට විය. ඇය කීවේ ඇය මෙතනට එන විටත් රෝගියෙකුට ශෛල්‍යකර්මයක් කරමින් සිටි බවත්, එම රෝගියාට තවත් ශෛල්‍යකර්ම කීපයක් කළ යුතු නිසා ඇය යා යුතුම බවත්ය. එහෙත් ටර්නර් ගෙන් එයට කිසිදු බුරුලක් නොලැබුණි. ඔහු කීවේ ඇය ගිය වහාම මෙම කණ්ඩායම සිටින තැන පාවා දෙන බවය. මේ හේතුවෙන් ඔහු ඇයට පිටුපස හරවා සිටි අවස්ථාවක, ඇය තමා සඟවා සිටි කතුර ගෙන ඔහුගේ පිට පෙදෙසට අනින්නට සැරසුණි. එය හෙවණැල්ලෙන් දුටු ඔහු වහා අනිත් පැත්ත හැරි ඇයව මෙල්ල කිරීමට බිම පෙරළා ගතී. ඇයගේ දැගලීමේදී අවසන සිදුවූයේ ඔහු අතින් ඇය දූෂණය වීමය.
කපිතාන් ටර්නර්, ඇල්ඩෝ, කාලෝ ඇතුළු ළමුන් කණ්ඩායම ක්‍රමානුකූලව රහසිගතව, නාසින්ව විනාශ කරන්නට විය. ඔවුන් ට්‍රක් රථයක නැගී නාසී හමුදාව කිසිසේත් නොසිතන වේලාවක ගොස් ඔවුන්ට ප්‍රහාර එල්ල කරන්නට විය. රහසින් මුලස්ථානයේ තැන් තැන්වල ඩයිනමයිට් අටවා ඒවා පුපුරවන්නට විය. නාසින් විශාල ප්‍රමාණයක් මරා දැමීමට ඔවුනට හැකි විය. මේ අතරේදී කපිතාන් ටර්නර් ඇතුළු ළමුන් කණ්ඩායම තාප්ප බැම්මේ ද ඩයිනමයිට් සවි කර එය ද පුපුරුවා හැරියහ. රහසින් සටන් කළ ඔවුන් මුහුණට මුහුණ ලා ද සටන් කළහ. එලෙස සටන් කරන අවස්ථාවක ඇල්ඩො අතින් කාලෝ මියගියේය.
මුලස්ථානය තුළද ජර්මානු නිලධාරින් අතර ගැටුම් ඇතිවන්නට විය. කපිතාන් ෆ්‍රෙඩ්රිච් වොන් හෙච්ට් අතින් එදා ඉතාලි ගම්වාසින් පවුල් පිටින් මරා දමන්නට අණ කළ මේජර් ස්ටැම්බන්ෆියුහර් ව බහින් බස්වීමක් මත මරා දැමීය. පසුව කපිතාන් ෆ්‍රෙඩ්රිච් තනිවම ටර්නර් හා ළමුන්ව හඹා යන්නට විය. ඒ අතරේදී දොස්තර බියංකාද, ටර්නර් සමඟ එකතු වී ජර්මන් හමුදාවේ කිහිප දෙනෙකුට වෙඩි තබා මරා දැමීය.
පාලම් බැම්ම බිඳ දැමූ නිසා ඇමරිකන් හමුදාව ඉතාලිය ආක්‍රමණය කරන්නට විය. ටර්නර් හා ළමුන්ව හඹා ආ ජර්මානු කපිතාන් ෆ්‍රෙඩ්රීච්ට ඇල්ඩෝ විසින් වෙඩී තැබීය. එම වෙඩිල්ල වැදුණේ ඔහුගේ අතටය. දොස්තර බියංකා එම අතට වහා බෙහෙත් කළාය. ජර්මන් නාසි හමුදාව අඩපණ විය. කපිතාන් ෆ්‍රෙඩිරිච් ඇමරිකානු කපිතාන් ටර්නර් ළමුන් සමඟ කළ මෙහෙයුම ගැන කථා කළේ ප්‍රසංසාත්මකවය.ඇමරිකානු ට්‍රක් රථයක් පැමිණ කපිතාන් ටර්නර් , බියංකා ඇතුළු ඉතිරිවුණු ළමුන්ව පටවා ගති. එහෙත් ඇල්ඩෝ ඔවුන් සමඟ යාමට විරුද්ධ විය. ටර්නර් ඔහු ළඟට යන විට ඇල්ඩෝ ටර්නර්ට ගල්වලින් ගසන්නට විය. එක් ගලක් ඔහුගෙ නළලේ වැදී නළල පැළෙන්නට විය. එහෙත් ඔහු ඇල්ඩෝ ළඟට ගොස් තම දෑතින් ඔහුව ඔසවා ගෙන ට්‍රක් රථය වෙතට පැමිණීයේය. ඇල්ඩෝ හඬමින් කපිතාන් ටර්නර්ගේ ගෙල වැලඳ ගති.
'හොනට්ස් නෙස්ට්' යුදමය පසුබිමක කථාවක් වූවද, එහී බොහෝ සංවේදී ජවනිකා තිබුණි. විශේෂයෙන් ළමුන් අතරේ සිදුවන සිදුවීම් අතරේද එලෙස සංවේදී අවස්ථා විය. චිත්‍රපටයේ කාලෝ නම් කුඩා ළමයාගේ ක්‍රියාකාර කම් වඩාත් සිත් ගත්තේය. කාලෝව ඇල්ඩෝ අතින් වෙඩි වඳීන විට කාලෝ වෙනුවෙන් ඇතිවූ දැඩි අනුකම්පාවම වෛරයකට පෙරළෙන්නේ ඇල්ඩෝ වෙතටය.
රොක් හඩ්සන් කපිතාන් ටර්නර් ලෙස විශිෂ්ට රංගනයක නිරත විය. ඔහුගේ අර සුකුමාල සුන්දර පෙනුමට වෙනස් ගාම්භීර චරිතයකි මේ කැප්ටන් ටර්නර් ගේ චරිතය. ඔහුගේ මුහුණට ඔහු එකතු කර ගත් උඩු රැවුල මෙම චරිතයට නිසි ලෙස ගැළපුණි. ළමුන් සියල්ලෝම විශිෂ්ටට රඟපෑමක නිරත වී සිටියහ.
චිත්‍රපටයට දැඩි ආකාර්ෂණයක් වූයේ එන්නියෝ මොරිකෝන් ගේ සංගීතයයි. ඔහු ,ඔහු සංගීතය සැපයූ 'ෆො අ ෆිව් ඩොලර්ස් මෝ' චිත්‍රපටයේ ආ විසිල් හඬ වෙනස් ආකාරයකින් ' හොනට්ස් නෙස්ට්' වෙනුවෙන් නිර්මාණය කර ඉදිරිපත් කළ අතර, එම විසිල් කාණ්ඩයද අතීශයින් ජනප්‍රිය වන්නට විය.
'හොනට්ස් නෙස්ට්' 70 දශකය මුල් භාගයේ කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේ තිරගත කළ අතර එය වැඩිහිටියන් සේම එකළ ළමුන් වූ අප අතර අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වූයේය, එහි එන විසිල් හඬ රාවය අප දෙතොල් මතින්ද කාලයක් යන තෙක්ම රැව් දෙන්නට විය.
චිත්‍රපටය ඇමරිකාවෙ හා අනෙක් රටවල තිරගත වූ පසු බොහෝ විවේචකයන් කීවේ මෙය කුඩා ළමුන් ත්‍රාසජනක වැරදිවලට පොලඹවන චිත්‍රපටයක් කියාය. එහෙයින් මෙය නරඹන සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබුණි. රොක් හඩිසන්ද තමා බලාපොරොත්තු වූ ප්‍රසාදය මෙම චිත්‍රපටයෙන් නොලැබූ හෙයින් එතැන් සිට රූපවාහීනි නාට්‍ය හා චිත්‍රපටවලට යොමු විය.
ඒ කෙසේ වෙතත් 'හොනස්ට් නෙස්ට්' අපූරු චිත්‍රපටය කි. මෙය යූ ටියූබ් හී ඩේලිමෝෂන් නාලිකාව සොයා නරඹා මෙය කෙතරම් අනගි චිත්‍රපටයක්දැයි ඔබටම වටහා ගත හැකිය.