වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
බිඳවැටුණු රෝම අධිරාජ්‍යෙය් කතාව

සැමුවෙල් බ්‍රොන්ස්ටන් යන නම බටහිර චිත්‍රපට නැරඹූ එකල ලාංකික ප්‍රේක්ෂකයන් ට මතක සිටිය යුත්තේ, ඔහුගේ චිත්‍රපට 3 ක්ම 60 දශකය තුළ මෙහි තිරගත වී ඒවා ජනප්‍රිය වූ නිසාය. 1961 දී ඇමරිකාවේදී තිර ගත කළ ඔහුගේ 'එල් සිඩ්' චිත්‍රපටය ලංකාවේ තිරගත කරන විට 1962 හෝ 1963 වසරේ විය හැකිය. සොෆියා ලොරේන් සමඟ චාර්ල්ස්ටන් හෙස්ටන් රඟපෑ 'එල් සීඩ්' අධ්‍යක්ෂණය කළේ ඇන්තනී මාන්ය. එලසම ඇමරිකාවේ 1961 දී තිරගත කළ, ජේසු ක්‍රිස්තු තුමාගේ ජීවිත කථාව, විශේෂයෙන් එතුමාගේ දුක් ප්‍රාත්තිය අලළා තැනුනු ජෙෆ්රි හන්ටර්, රොබට් රයන් රයන් රඟපෑ නික්ලස් රේ අධ්‍යක්ෂණය කළ 'කිංග් ඔෆ් කිංග්ස්' නම් චිත්‍රපටයද ලංකාවේ තිරගත කෙරුණි. ඉන්පසු 1963 වසරේදී තිරගත වූ චාර්ල්ස්ටන් හෙස්ටන්, අවා ගාර්ඩ්නර් සහ ඩේවිඩ් නිවන් රඟපෑ යළිත් නික්ලස් රේ අධ්‍යක්ෂණය කළ '55 ඩේස් ඇට් පීකිං' චිත්‍රපටය ද ලංකාවේ ප්‍රදර්ශනය විය. මේ චිත්‍රපට තුනම නිෂ්පාදනය කළේ සැමුවල් බ්‍රොස්ටන්ය. ඉන්පසු ඔහු එනම් 1964 දී නිෂ්පාදනය කළේ 'ද ෆෝල් ඔෆ් ද රෝමන් එම්පයර්' ය. අද හොලිවුඩ් යටගියාව ලිපි මාලාවට අයත් වන මේ චිත්‍රපටය ගැන දැන් අපි විස්තර සොයා යමු.
සැමුවෙල් බ්‍රොස්ටන්ගේ 'එල් සිඩ්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ 'ඇන්තනි මාන්, දිනක් ලන්ඩන් නුවර, කැබ් රථයක් එන තෙක් පාර අයිනට වී සිටියේය. ඔහු සිටියේ ලන්ඩන් නුවර 'හැට්චාර්ඩ්ස්' පොත් සාප්පුව ඉදිරිපසය. එහි වීදුරු ෂෝ කේස් එකේ දමා තිබූ පොතක් ඔහුගේ නෙත ගැටුණි. ඒ එඩ්වඩ් ගිබ්සන් ලියූ 'ද හිස්ට්‍රි ඔෆ් ද ඩෙක්ලයින් ඇන්ඩ් ෆෝල් ඔෆ් ද රෝමන් එම්පයර්' ය. එය කාණ්ඩ 6 කින් සමන්විත පොත් එකතුවකි. ඔහු ඒ කාණ්ඩ හයම එවලේම මිලදී ගත්තේය. තවත් දිනයක ඔහු ලන්ඩන් සිට මැඩ්රිඩ් බලා ගුවනින් යන අතර, මේ පොත් 6 ම කියවන්නට විය. ඔහුගේ ඊළඟ අධ්‍යක්ෂණය ට මෙම කථාව අපූරු බවක් ඔහුට වැටහුණි. පසුව ඔහු මෙම අදහස 'එල් සීඩ්' චිත්‍රපටයේ නිෂ්පාදක වූ සැමුවෙල් බ්‍රොස්ටන් ට කීවේය. ඔහු එය නිෂ්පාදනය කිරීමට එකඟ විය.
ඇන්තනී මාන් යනු ඇමරිකානු සිනමා අධ්‍යක්ෂවරයෙකි. ඔහු එක් කලක වේදිකා නාට්‍ය නළුවෙකු ලෙසින්ද ක්ෂේත්‍රය ට එක්වී සිටියේය. 1925 සිට වේදිකා හා සිනමා ක්‍රේෂථයේ සිටි ඔහු මුලින්ම නළු නිළියන් තෝරන (Casting Director) අධ්‍යක්ෂවරයකු වී සිටියේය. පසුව ඔහු සහය අධ්‍යක්ෂවරයකු විය.
ඇන්තනී මාන් ගේ ප්‍රථම අධ්‍යක්ෂණය එළිදැක්වූයේ 1942 වර්ෂයේය. ඒ සෝල් සී සීගල් නිෂ්පාදනය කළ 'ඩොක්ටර් බ්‍රෝඩ්වේ' චිත්‍රපටය ය. එහි නිෂ්පාදනය ට පැරමවුන්ට් චිත්‍රපට සමාගම ද එක්වූ අතර, ඔහුගේ එම මුල්ම චිත්‍රපටය බෙදාහැරීමට පැරමවුන්ට් සමාගම එකඟ විය. එතැන් සිට 1968 වන තෙක් ඔහු චිත්‍රපට 38 ක් පමණ අධ්‍යක්ෂණය කළේය. ලංකාවේ තුළ නම් ඔහුගේ චිත්‍රපට ප්‍රදර්ශන වූයේ 3 ක් පමණය. ඒ 'එල් සිඩ්', 'ද හිරෝස් ඔෆ් ටෙලිමාර්ක්' සහ මේ ලිපියට පාත්‍ර වන 'ද ෆෝල්ස් ඔෆ් ද රෝමන් එම්පයර්' ය. මෙම චිත්‍රපට 3 අතරින් ලංකාව තුළ ජනප්‍රිය වූයේ නම් කර්ක් ඩග්ලස් හා රිචඩ් හැරිස් රඟපෑ 'හීරෝස් ඔෆ් ටෙලිමාර්ක්' ය. ඔහුගේ අවසන් චිත්‍රපටය වූයේ, ලෝරන්ස් හාවි, මියා ෆැරෝ රඟපෑ 'අ ඩැන්ඩි ඉන් ඇස්පික්' ය. එය 1968 දි තිරගත කළේය. මේ චිත්‍රපටය නිම කිරීමට පෙර, එනම් 1967 දී ඇන්තනී මාන් බර්ලින් නගරයේ හෝටල් කාමරයක් තුළදී හදිසි හදවත් රෝගයකින් මිය ගියේය. එහෙයින් මෙම චිත්‍රපටයේ ඉතුරු ව එහී ප්‍රධාන චරිතය රඟපෑ ලෝරන්ස් හාර්වේ විසින් නිම කරන ලදී.
'ද ෆෝල් ඔෆ් ද රෝමන් එම්පයර්' තිර රචනය තිදෙනෙක් එක්ව ලියා තිබුණි. බෙන් බාර්ස්මන්, බැසිලියෝ ෆ්‍රැන්චිනා, සහ පිලිප් යෝර්දාන් එම තිදෙනාය.
චිත්‍රපටය රෝමය තුළ රූ ගත කරන්නට ඇන්තනී මාන් කැමති වූයේ නැත. ඔහු කීවේ රෝම අධිරාජ්‍ය කඩා වැටෙන කාලය ට අනුව දැන් රෝමය නැති බවකි. එහෙයින් ඔවුහු 'මැඩ්රිඩ්' හී රෝම නගරයක් වෙනම ස්ථාපිත කළහ.
මෙහි චරිත ගණනාවක් තිබුණී. ප්‍රධානතම චරිත වූයේ 'මාර්කස් ඔරීලියස්, ලුසිලා, ලිවියස්, කොමොඩෝස්, ටිමෝනිඩ්ස්, සොහේමස්,වෙරුලූස්, සහ ජුලියානස් ය. මෙම චරිතවලට නළු නිළියන් තේරීම පහසු වූයේ නැත. චාල්ස්ටන් හෙස්ටන්ට
මාර්ක් ඔරීලියස් ගේ චරිතය ට ආරධනා කළේ නිෂ්පාදක සැමුවෙල් බ්‍රොස්ටන්ය.
1961 සැප්තැම්බර් මාසයේ නිෂ්පාදක බ්‍රොන්ස්ටන් ප්‍රචාරය කළේ රෝම අධිරාජ්‍ය මුලින් කිව් ලෙසම ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේ ස්ථාපිත කරන බවකි. ඇන්තනි මාන් හා චාල්ස්ටන් හෙස්ටන් මැඩ්රිඩ් නගරයට ගොස්, රෝම නගරය ස්ථාපිත කරන තැන් නරඹන්න ට විය. 1962 වර්ෂයේ පෙබරවාරි මාසයේ මෙහි ඉදිකිරීම් ආරම්භ කිරීමටත් එය, පසුතල නිර්මාණ ශිල්පි 'වෙනිරෝ කොලසන්ටි' ට භාර කිරීමට මෙන්ම, ඔහුට ඉදිකිරීම් අංශයෙන් අධීක්ෂණය කිරීමට ජෝන් මුවර්ට භාර දීමටද ඔවුහු තීරණය කළහ. වෙනිරෝ කොලසන්ට් මින් පෙර සැමුවෙල් බ්‍රොස්ටන් ගේ 'එල් සිඩ්' චිත්‍රපටයේ පසුතල නිර්මාණ ශිල්පියා විය.
1961 වර්ෂයේ දෙසැම්බර් මාසයේ සැමුවෙල් බ්‍රොස්ටන් ගේ 'එල් සිඩ්' චිත්‍රපටයේ මංගල දර්ශනය තිබූ අතර, එදින චාල්ස්ටන් හෙස්ටන් කීවේ ඔහු පිලිප් යොර්දාන් විසින් ලියූ 'ද ෆෝල් ඔෆ් ද රෝමන් එම්පයර්' තිර නාටකයට එතරම් කැමැත්තක් නොදක්වන හෙයින් එහි රඟපෑමට නොහැකි බවය. ඉන් පසු ඔහුට 'ලිවියස්' ගේ චරිතය කිරීමට ආරාධනා කළද, ඔහු එයද ප්‍රතික්ෂේප කළේය. ඒ අතරේදී අධ්‍යක්ෂ නික්ලස් රේ , නිෂ්පාදක සැමුවෙල් බ්‍රොස්ටන් වෙනුවෙන් '55 ඩේස් ඇට් පීකිං' අධ්‍යක්ෂණය කරන්නට සැරසී තිබුණි. ඔහු එහී ප්‍රධාන චරිතයට චාල්ස්ටන් හෙස්ටන් ට ආරාධනා කළේය. යෝර්දාන් ලියු එම තිර නාටකයට චාර්ල්ස්ටන් හෙස්ටන් කැමති විය. එහී එන මේජර් මැට් ලෙවිස් ගේ චරිතය රඟපෑමට ඔහු භාර ගති. කෙසේ හෝ 'ද ෆෝල් ඔෆ් ද රෝමන් එම්පයර්' රූගත කිරීම් මදක් නතර විය. එහෙයින් මෙතෙක් ස්ථාපිත කිරීමට ආරම්භ කළ රෝම අධිරාජ්‍ය නගරය කඩා දමා ඒ මත චීන තහනම් නගරය (Foridden City) ඉදි කෙරීය. ඒ 55 ඩේස් ඇට් පීකිං විත්‍රපටයට අවශ්‍ය පසුතල සඳහාය.
කෙසේ වෙතත් 'ද ෆෝල්ස් ඔෆ් රෝමන් එම්පයර්' චිත්‍රපටයට නළු නිළි තේරීමේ කාර්ය කෙරී ගෙන ගියේය. දෙවනුවට චාල්ස්ටන් හෙස්ටන් ප්‍රතික්ෂේප කළ 'ලිවියස්' ගේ චරිතයට 'කර්ක් ඩග්ලස්' ට ආරාධනා කළේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක් සමඟය. එකල එම මුදල, විශාල මුදලක් විය. එහෙත් කුමක් හෝ හේතුවකට 'කර්ක් ඩග්ලස්' ද එම චරිතය භාර ගත්තේ නැත. නමුත් පසු කලෙක කර්ක් ඩග්ලස් ඒ පිළිබඳ දැඩිව පසුතැවිලි වී තිබුණේ ඩොලර් මිලියන 1.5 ක මුදලකින් ඔහුට බොහෝ දේ කිරීමට තිබුණු බව පවසමිනි.
1962 වර්ෂයේ මැයි මාසයේ නිෂ්පාදක සැමුවෙල් බ්‍රොස්ටන්, ප්‍රචාරය කළේ 'ලිවියස්' ගේ චරිතයට 'බෙන්-හර්' චිත්‍රපටයේ චාල්ස්ටන් හෙස්ටන්ගේ විරුද්ධවාදියාගේ චරිතය නිරූපණය කළ 'ස්ටෙෆන් බොයිඩ්' ව තෝරා ගත් බවකි. එලෙසම ඔහු එහී රඟපානුයේ 'ජීනා ලොලෝබ්‍රිජිඩා' සමඟ බවද ප්‍රචාරය කළේය. ජීනා එහී 'ලුසිලා' ගේ චරිතයට පණ පොවන බවක්ද කීවේය. එහෙත් යළිත් සැප්තැම්බර් මාසයේ ඔවුන් කීවේ ලුසිලා චරිතයට ජීනා ලොලොබ්‍රිජිඩා වෙනුවට 'සොෆියා ලොරෙන්ව' තෝරා ගත් බවය. ඔවුන් ඇයට ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක් ගෙවීය.
'මාර්කස් ඔරේලියස්', චරිතයට ප්‍රකට නළුවන් කීප දෙනෙක් ගැන සලකා බැලීය. 'රිචඩ් හැරිස්' 'ජෝන් ජිල්ගඩ්', 'ඇල්බට් ෆිනේ', 'ටෙරන්ස් ස්ටෑම්ප්' ඒ අතරේ විය. නමුත් අවසානයේදී ඔවුන් තෝරා ගත්තේ ලැයිස්තුවේ වත් නොසිටි, එහෙත් 'බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි' චිත්‍රපටයේ කර්නල් නික්ලසන් ගේ චරිතය රඟපෑ විශිෂ්ට නළුවකු වූ 'ඇලෙක් ගුයිනිස්' ය.
එහි තිබූ තවත් ප්‍රබල චරිතයකි 'කොමොඩෝස්'. ලැයිස්තු ගතවී සිටි 'රිචඩ් හැරිස්'ව එම චරිතයට තෝරා ගතී. නමුත් 1963 වසරේ ජනවාරි මස වන විට 'රිචඩ් හැරිස්' ව චරිතයෙන් පහ කර, පසු කලෙක 'ද සවුන්ඩ් ඔෆ් මියුසික්' චිත්‍රපටයේ කැප්ටන් බාරොන් වොන් ට්‍රැප් ගේ චරිතය රඟපෑ 'ක්‍රිස්ටෝපර් ප්ලමර්ව' තෝරා ගත් බව ඔවුහු ප්‍රචාරය කළහ.
'ටිමෝනිඩස්' ගේ චරිතයට 'ජේම්ස් මේසන්', ආර්මේනියා රජු සොහාමස්,ට 'ඔමාර් ෂෙරිෆ් ,ද, වෙරූලස් ගේ චරිතයට 'ඇන්තනී කුයෙල්', හා ක්ලියෙන්ඩර් ගේ චරිතයට 'මෙල් ෆෙරර්' ද තෝරා ගනු ලැබීය. චිත්‍රපටයේ ඇස්තිමේන්තු ව වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 16 කි.
ප්‍රධාන ඡායාරූපකරණය ආරම්භ වූයේ 1963 ජනවාරි 14 වැනිදාය. මාකස් ඕරේලියස්ගේ ඩැනියුබ් හි ශීත කඳවුර උතුරු මැඩ්රිඩ් හි සියෙරා ඩි ග්වාඩර්රාමා හි හිම මත පිහිටි ස්ථානයක රූගත කරන ලදී. ඊළඟ මාසය වන විට, දැඩි හිම කුණාටුවක් හේතුවෙන් ප්‍රදේශයේ රූගත කිරීම් අත්හිටුවන ලදී. "හතර හමුදාවේ සටන" සඳහා අශ්වාරෝහක 1,200 ක් ඇතුළුව සොල්දාදුවන් 8,000 ක් සම්බන්ධ විය.
මේ අතර අධ්‍යක්ෂ ඇන්තනී මාන් ගේ දැඩි ඉල්ලීම මත 'යකිමා කැනට්' ව දෙවන ඒකක අධ්‍යක්ෂක ලෙස බඳවා ගන්නට විය. ඔහු 'එල් සිඩ්' චිත්‍රපටයේ සිදු කළාක් මෙන්, ඔහුගේම ප්‍රයෝග සිදු කළ අතර ඔහුගේ පුත් 'ටැප් ස්ටීවන්, ස්ටෙෆන් බොයිඩ්ගේ, ප්‍රයෝග ද්විත්වය ලෙස සේවය කළේය. 'ජැක් විලියම්ස්' ක්‍රිස්ටෝපර් ප්ලමර්ගේ ශරීර ද්විත්වය (Body Double) ලෙස සේවය කළේය. රූගත කළ පළමු දර්ශන අතර 'ලිවියස්' සහ 'කොමොඩෝස්', අතර අශ්ව රථ ධාවනයට අශ්වයන් 1,500ක් ස්පාඤ්ඤයෙන් සහ පෘතුගාලයෙන් එක්රැස් කරන ලද අතර ඔවුන් සඳහා සටන් හා ආරක්ෂිතව වැටීම් වෙනම පුහුණු කරන්නට විය.
'ද ෆෝල් ඔෆ් ද රෝමන් එම්පයර්', කථාව මෙසේ විය. ක්‍රිස්තු වර්ෂ 180 ශීත සෘතුවේදී, රෝම අධිරාජ්‍යයා වූයේ 'මාකස් ඔරේලියස් (ඇලෙක් ගුයිනිස්) ය. ඔහුගේ උතුරු ප්‍රදේශයේ ඩැනියුබ් දේශසීමාව ඒ වන විටත් ජර්මානු ගෝත්‍රිකයන් ආක්‍රමණය කරන්නට පටන් ගෙන තිබුණි. ඔහු ගේ සටන වූයේ එය වළක්වා ගැනීමට ය. පෞද්ගලීකව මාකස් ඔරේලියස් යනු සමානාත්මතා පරමාදර්ශ දරන, පුද්ගලයෙක් විය. තම රෝම අධිරාජ්‍ය ප්‍රතිසංස්කරණය කර එහී සිටින සියලු යටත් වැසියන්ට සමාන අයිතිවාසිකම් ලබා දීම ඔහුගේ අභිලාෂය යි. ඔහු රෝගාතුරුව සිටින නිසා එම සංකල්පය ක්‍රියාත්මක කිරීමට ඔහු අනුප්‍රාප්තාකයකු සොයමින් සිටියේය.
කොමෝඩස් (ක්‍රිස්ටෝපර් ප්ලමර්), ඔහුගේ පුත්‍රයා වූවද, මෙම කාර්ය ඔහුට දීමට මාකස් ඔරේලියස් කැමති නොවුයේ කොමෝඩස් මෙය බලහත්කාරයෙන්, තම පියාගේ සංකල්පයට පටහැණි ලෙස පාලනය කරන්නට සැරසෙන නිසාය. ඒ වෙනුවට මාකස් ඔරේලියස් කොමෝඩෝස්ගේ හොඳම මිත්‍රයා මෙන්ම තම දියණිය වූ 'ලුසිලා' (සොෆියා ලොරේන්), ගේ පෙම්වතා වූ 'ලිවියස්' (ස්ටෙෆන් බොයිඩ්) ව පත් කිරීමට තීරණය කරයි.
මාකස් ඔරේලියස් තම සැලැස්ම ප්‍රකාශ කිරීමට පෙර, කොමෝඩොස් ගේ හිතවතුන් විසින් ඔරෝලිස්ට වස පොවා ඔහුව ජීවිතක්ෂයට පත් කරයි. ඒ ඔවුනට කොමෝඩොස් ව සිංහාසනයේ තැබීමට උවමනා නිසාය. කොමෝඩොස් වුවද තම පියා වූ ඔරේලියස් ගැන තිබුණේ වෛරයකි. ඔරේලියස් මිය ගිය පසු මෙය බලහත්කාරයෙන් පාලනය කිරීමට අකැමැති වූ ලිවියස් තම පැරණි මිතුරා, ඔරේලියස්ගේ පුත් කොමෝඩොස්ටම, පාලනය කිරීමට ඉඩ හැරියේය.
තමා තම පියා මැරීමේ කුමන්ත්‍රණයේ කොටසක් නොවූවද, කොමෝඩොස්, පාලනයට පැමිණ සැණින්ම තම පියාගේ සමානාත්මතාවයේ ප්‍රතිපත්ති සියල්ල අවලංගු කිරීමටත්, රෝම නගරය ධනවත් නගරයක් කිරීම සඳහා පළාත්වලින් අධික බදු අය කිරීමටත් සැලසුම් කළේය.
මේ අතර ලිවියස්ගේ හමුදාව දේශසීමාවේ රැඳී සිටි ජර්මානුවන්ව පරාජය කරන්නට විය. මාකස් ඔරේලියස් ගේ දකුණු අත මෙන්ම, උපදේශකව සිටි 'ටිමොනයිඩෙස්' (ජේම්ස් මේසන්) සහ ලුසිලා (සොෆියා ලොරේන්) ඔරේලියස් ගේ උරුමය සදාකාලික කරමින්, යටත් කර ගත් ජර්මානු ම්ලේච්ඡයන් කෙරෙහී දයාව වෙනුවෙන් පෙනී සිටින ලෙස ලිවියස්ට ඒත්තු ගැන්විය. ටිමොනයිඩෙස් ජර්මානුවන්ගේ විශ්වාසය දිනා ගත් අතර, ඒ හේතුවෙන් දෝ ,ඔවුන් රෝම සෙනෙට් සභාවේ තීන්දුවට එකඟ විය.
එහෙත් එයට කොමෝඩොස් කැමති වන්නේ නැත. ඔහු දිගටම ජර්මානුවන්ට සතුරු කම් කරන්නට විය. ඔහුගේ සතුරු කම් නොතකා, ලිවියස් හා ටිමෝනයිඩිස් විසින්, ජර්මානු වහලුන්ට ,ඉතාලි භූමියේ සාමකාමි ගොවින් ලෙස ජීවත් වීමට, ඉඩ සලසන ලෙස සෙනෙට් සභීකයින්ට ඒත්තු ගැන්විය. එමගින් ඔවුන්ගේ සෙසු ම්ලේච්ඡයන්, රෝමය සමඟ සටන් කරනවා වෙනුවට සහයෝගයෙන් කටයුතු කිරීමට දිරිගැන්වුණි.
තමාට උවමනා අන්දමට රෝමය පාලනය කිරීමට ඇති ප්‍රධාන බාධකය වූ ඔහුගේ පැරණි මිතුරා ලිවියස් ව උතුරු මායිමටද, තම සහෝදරිය වූ ලුසිලාවද, ආර්මේනියාවට යැවීමට කොමෝඩොස් තීරණය කරන්න ට විය.
ආර්මේනියාව ට ගිය ලුසිලාට එහී රජු වූ සොහෙමස් (ඔමාර් ෂෙරිෆ්) සමඟ දේශපාලනික විවාහයකට ඇතුළු වීමට සිදුවිය. එය ආදරයක් රහිත වූ විවාහයක් විය.
නව බදු මඟින්, සාගතයක් උග්‍රවී ඇති රෝමයේ නැගෙනහිර පළාත්වල කැරැල්ලකට ලුසිලා සම්බන්ධ විය. ලිවියස් පෞද්ගලික හැඟීම් පසෙක දමා අධිරාජ්‍යයේ එකමුතුකම රැකගැනීමට සටන් කරන බව දැන ගත් කොමෝඩස්, ඔහුගේ උතුරු හමුදාව කැරලි කරුවන්ට එරෙහිව යවන්නට විය. ප්‍රකිවිරුද්ධ රෝම හමුදා සටනට මුණ ගැසෙන විට, සොහේමස් රජු ආර්මේනියා හමුදාව හා රෝමයේ පරම සතුරා වන පර්සියානුවන්ගෙන් ණයට ගත් හමුදා සමඟ පැමිණ ලිවියස්ට පහර දෙන්නට පටන් ගතී. කැරලිකරුවන් දේශප්‍රේමීන් ලෙස රෝමය වෙනුවට පර්සියාවට එරෙහිව සටන් කිරීමට තීරණය කරන්නට විය. ඔවුහු ලිවියස් සමඟ එකතු වී සොහේමස් රජුව පරාජය කිරීමට ඔහුට උදව් කළහ.
මේ අතර කොමොඩෝස් තවත් උප්පරවැට්ටියක් කරන්නට විය. ඒ, ලිවියස් ව ඔහුගේ සම අධිරාජයා ලෙස ප්‍රකාශ කිරීමය. ඔහු එය කළේ කොන්දේසි සහිතවය. එකී කොන්දේසිය නම් උතුරු හමුදාව, කැරලිකාර පළාත් වලට දැඩි දඬුවම් ලබා දීමය. මෙම ම්ලේච්ඡත්වය ප්‍රතික්ෂේප කරමින් ලිවියස්, ලුසිලා හා ඔවුන්ගේ හමුදාව කොමෝඩොස්ව සිංහාසනයෙන් පහ කිරීමේ අදහස් කළහ. කොමෝඩොස් සැලසුම් කළේ ටිමොනයිඩ්ස් හා ජර්මානු යටත් විජිතයේ ජනගහනය සමුලඝාතනය කිරීමටය.
මේ අතර ලුසිලා, කොමෝඩොස් ගේ ග්ලැඩියේටර් ආරක්ෂකයා වන 'වෙරූලස්'ව (ඇන්තනි කුයෙල්) කුලියට ගැනීමට උත්සහ කළේ තම සහෝදරයා වූ කොමෝඩස්ව ඝාතනය කිරීමටය, එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ ලුසිලා එතෙක් කල් නොදැන සිටි රහසක් එළි කරමිනි. වෙරූලස්, ලුසිලාගේ පියා වූ මාකස් ඔරෙලියස් ගේ බිරිඳ සමඟ ලිංගීක සම්බන්ධයක් ගෙන ගිය බවත්, කොමෝඩොස් යනු ඔහුට දාවා ඇයට උපන් තම අවජාතක පුත්‍රයා බව වෙරූලස් ගේ පාපොච්චාරණයෙන් කියවුණි.
ඒ අතරේදී සෙනට් සභාව කොමෝඩොස් ව, දෙවියෙකු ලෙස ප්‍රකාශ කළ අතර, රෝම පුරවැසියන් බීමතින් එය සමරන්නට විය. කොමෝඩොස්, ලිව්යස් හා ලුසිලාව නව දේවතාවියට මනුෂ්‍ය පූජාවක් ලෙස පණ පිටින් පුලුස්සා දමා පූජා කරන්නට අණ කළේය. ලිවියස් කොමෝඩොස් සමඟ සටනට එළැඹුණේ ඉන් පසුවය. ඔවුන් දෙදෙනා හෙල්ලයන් සමඟ සටන් කරන්නට විය. එම සටනින් කොමෝඩොස් පරාජය විය. සිංහාසනයේ බලය ලිවියස්ට ලැබුණි. ඔහුට අධිරාජ්‍යයා වීමට නිදහස ලැබුණි. නමුත් ඔහු අධිරාජ්‍යයා වී සිංහාසනයේ බලය ගැන්ම ගැන උනන්දු වූයේ නැත. ඒ, යළි රෝමය ප්‍රතිසංස්කරණය කිරීමට, රෝමයට ඇති හැකියාව ගැන ඔහුට විශ්වාස නොමැති වීමය. ලිවියස් ඒ සියල්ල අත් හැර, ලුසිලා සමඟ නගරයෙන් පිටවිය. කොමෝඩොස් ගේ පැරණි උපදේශකයන් සිංහාසනය අරභයා සටන් කළ අතර, ඔවුන් එක් එක් කොට්ඨාස තරඟයක් සේ හමුදා සහය ලබා ගැනීමට අල්ලස් ලබා දෙන්නට විය. නිසි ප්‍රතිසංස්කරණයක් නොමැති වීමත්, නිසි පාලනයක් නොමැති වීමත් නිසා රෝම රාජ්‍යය බිඳ වැටෙන්නට විය. එය ක්ෂණිකව නොවැටුණද අභ්‍යන්තර දූෂණය දැඩිවීම මත, රෝම රාජ්‍යය බිඳ වැටෙන්නට විය.
පුරා විනාඩි 188 න් එනම් පැය 3 කුත් විනාඩි 8 ක කාලයක් පුරාවට ගිය මෙම දැවැන්ත චිත්‍රපටය, බොක්ස් ඔෆිස් ප්‍රතිලාභීක ආදායමක් නොමැතිව වානිජ්‍යමය අතින් අසාර්ථක විය. ඇමරිකානු ඩොලර් මිලියන 16 ක ඇස්තිමේන්තු වේදී, බොක්ස් ඔෆිස් ආදායම ලැබුවේ ඇමරිකානු ඩොලර් මිලියන 4.8 ක් පමණි. නමුත් විචාරකයන් චිත්‍රපටය ඉතාමත් ඉහළින් අගය කළ අතර, රොටන් ටුමාටෝස් අගය 92% ක් විය. එය සාමාන්‍යය 10 න් 7.20ක් ය. ඇමරිකානු විචාරක සංගමයේ ලෙනාර්ඩ් මාල්ටින් කීවේ මෙය බුද්ධිමත් තිර රචනයක්, හොඳ අධ්‍යක්ෂණය ක් හා සියුම් රංගනයක් කියාය. ඔහු මෙයට තරු 4 න් තරු3 1/2 ක් ම දී තිබුණි.
මෙය ලංකාවේ තිරගත වූ අතර, එය එම්පයර් සිනමා ශාලාවේ තිරගත වූ බවකි මගේ මතකය.
ඇලෙක් ගුයිනිස්, ස්ටෙෆන් බොයිඩ්, ඔමාර් ෂෙරිෆ්, සොෆියා ලොරේන්, ජේම්ස් මේසන්, ක්‍රිස්ටෝපර් ප්ලමර් හා ඇන්තනි කුයෙල් වැනි එකල දැවැන්තම නළු නිළි රැසක්ම රඟපෑවද 'ද ෆෝල් ඔෆ් ද රෝමන් එම්පයර්' චිත්‍රපටය තුළින් එකී දැවැන්ත බව දැනුණාද කියන එක නම් ප්‍රශ්නයක් මය.