ක්‍රියාදාමයන්ට එක්වූ ශෘංගාරය

100 RIFLES
ඔක්තෝබර් 5, 2023

ඇපලූසා' නම් නවකථාව ලියා ප්‍රසිද්ධ වූ ලේඛක රොබට් මැක්ලියෝඩ් 1967 'ද කැලිෆෝනියෝ', නම් වූ නවකථාවක් ලියා පළ කළේය.

1966 වර්ෂයේ රොක් හඩ්සන්, ක්ලෝඩියා කාර්ඩිනලී රඟපෑ පිලිප් ඩුනේ අධ්‍යක්ෂණය කළ ' බ්ලයින්ඩ්ෆෝල්ඩ්' චිත්‍රපටය නිෂ්පාදනය කළ ඇමරිකානු චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ 'මාර්වින් ශ්වාර්ට්ස්', මේ 'ද කැලිෆෝනියෝ' නව කථාවෙන් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට 'ටොම් ග්‍රීස්' ට භාර දුනි. ඒ 1968 වර්ෂයේ ඔහු අධ්‍යක්ෂණය කළ, චාර්ල්ස්ටන් හෙස්ටන් රඟපෑ 'විල් පෙනී' චිත්‍රපටය සාර්ථක වූ නිසාය.

නිෂ්පාදක මාර්වින් ශ්වාර්ට්ස් ඊට ප්‍රථම හරි අපූරු බටහිර ගොපලු චිත්‍රපටයක් 'ද වෝ වැගන්' නමින් නිෂ්පාදනය කළේ ජෝන් වේන් හා කර්ක් ඩග්ලස් ව යොදාය. එය අධ්‍යක්ෂණය කළේ බර්ට් කෙනඩිය. 'ද කැලිෆෝනියා' නවකථාව ලැබුණු චිත්‍රපට අධ්‍යක්ෂ ටොම් ග්‍රීස් එහී තිරනාටකය ලිවීමට 'ක්ලෙයා හෆාකර්' ට භාර දුන් අතර ටොම් ග්‍රීස් ද මෙයට හවුල් විය.

'ක්ලෙයා හෆාර්කර්' තිර නාට්‍යකරුවකු සේම නවකථාකරුවෙකු ලෙසද ප්‍රසිද්ධ වී තිබුණි. ඔහුගේ ප්‍රථම නවකථාව වූ 'බැජ් ෆො අ ගන්ෆයිටර්' පිටවුණේ 1957 වසරේදීය. එලෙසම ඔහුගේ ප්‍රථම චිත්‍රපට තිරනාටකය වූයේ 1960 වසරේ තිරගත වූ 'සෙවන් වේස් ෆ්‍රොම් සන්ඩවුන්' ය. එය ඔහුගේම නවකථාවකි. එය අධ්‍යක්ෂණය කළේ හැරී කෙලර් ය. ඔහු තිරනාටකය ලියූ ජෝන් වේන්, ලී මර්වින් රඟපෑ 'කොමොන්චෙරෝස්'(1961), මයික් හෙන්රි රඟපෑ 'ටාසන් ඇන්ඩ් ද වැලි ඔෆ් ගෝල්ඩ්',(1966), ජෝන් වේන්, කර්ක් ඩග්ලස් රඟපෑ 'ද වෝ වැගන්', 1967 සහ ජෝන් වේන් රඟපෑ 'හෙල්ෆයිටර්ස්' ඒ වන විට චිත්‍රපට ගත කර තිබුණි. රොබට් මැක්ලියෝඩ් ලියූ 'ද කැලිෆෝනියෝ', චිත්‍රපට ගත කරන විට හැඳීන්වූයේ '100 රයිෆල්ස්' ලෙසටය.

අධ්‍යක්ෂක ටොම් ග්‍රීස් ඇමරිකානු සිනමාවට එකතු වූයේ තිරරචකයෙකු ලෙසටය. ඒ 1952 වසරේ තිරගත කළ 'ද බුෂ්වැකර්ස්' චිත්‍රපටයෙන් ය. ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය වූයේ 'සර්පෙන්ට් අයිලන්ඩ්'⁣ය. එය 1954 දී තිර ගත විය. එලෙසම ඔහු බොහෝ ටෙලි චිත්‍රපට, ටෙලි නාට්‍ය හා ටෙලි කථා මාලා අධ්‍යක්ෂණය කළේය. 'ගර්ල් ඉන් ද වුඩ්', ' මස්ටෑන්ග්', ඔහු අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය වූ අතර, 'සයන්ස් ෆික්ෂන් තියටර්' 'චෙව්රොන් හෝල් ඔෆ් ස්ටාර්ස්', 'ස්කයි කිංග්', 'කැවල්කේඩ් ඔෆ් ඇමරිකා', 'ද ලෝ ඇන්ඩ් මිස්ටර් ජෝන්ස්' 'ද ඩොක්ටර්ස් ඇන්ඩ් ද නර්සස්' වැනි ටෙලි කථා මාලා රාශියක් ඔහු අධ්‍යක්ෂණය කළේය.

'100 රයිෆල්ස්' හී ප්‍රධාන චරිත 3 ක් තිබුණි. ඒ 'ශෙරිෆ් ලයිඩෙකර්' 'සරිටා' හා 'යකුයි ජෝ' ය. මෙයට අධ්‍යක්ෂක පිළිවළින් තෝරා ගත්තේ 'ජිම් බ්‍රවුන්' 'රැක්වල් වෙල්ච්' සහ 'බර්ට් රෙනොල්ඩ්'වය.

ජිම් බ්‍රවුන් අපට හොලිවූඩ් යට ගියාව තුළින් හමුවූයේ, සැප්තැම්බර් 14 වෙනිදා පළවූ 57 වන ලිපිය වන 'ද ඩර්ටි ඩසන්' චිත්‍රපට කථාව තුළින් ය. එහෙත් ඔහු පිළිබඳ විස්තරයක් ලිවීමට එම ලිපියේ ඉඩ කඩ මදි විය.

ජිම් බ්‍රවුන්ගේ සම්පූර්ණ නම වූයේ 'ජේම්ස් නතානියල් බ්‍රවුන්' ය. 1936 පෙබරවාරි 17 වන දි ඇමරිකාවේ ජෝර්ජියා නගරයේ ඉපදුණ ඔහු සිනමාවට ඒමට පෙර ඇමරිකාවේ ජාතික පාපන්දු කණ්ඩායේම නිත්‍ය පසුපස ආරක්ෂක (ජ්භතත ඡචජඬ) ක්‍රීඩකයා විය. ඔහු පාපන්දුවලට කෙතරම් දක්ෂදැයි කිවහොත් 3න් වරක්ම ඉතාමත් වටිනාම ක්‍රීඩකයා (ර්ධඵබ ඍචතභචඡතඥ ර්‍ථතචරඥප) ලෙස සම්මාන ලැබීය.

කළු ජාතික ජිම් බ්‍රවුන් සිනමාවට සම්බන්ධ වී තිබෙන්නේ 1964 වර්ෂයේදීය. ඔහුගේ මුල්ම චිත්‍රපටය වූයේ 1964 වර්ෂයේ තිර ගත කළ 'රියෝ කොන්චෝස්' නම් චිත්‍රපටය ය. ඔහුව සිනමාවට හඳුන්වා දීමේ ගෞරවය හිමි විය යුත්තේ එම චිත්‍රපටයේ නිෂ්පාදක ඩේවිඩ් වෙයිස්බට් හා අධ්‍යක්ෂක ගෝර්ඩන් ඩග්ලස් ටය. 'රියෝ කොනිචෝස්' චිත්‍රපටයේ ජිම් බ්‍රවුන් රඟපෑවේ සාජන්ට් ප්‍රැන්ක්ලින් නම් චරිතයයි. ස්ටුවර්ට් විත්මන්, රිචඩ් බූන්, ටෝනි ෆ්‍රැන්සිස්කෝ එහී ප්‍රධාන චරිත රඟපෑ අතර, ජිම් බ්‍රවුන්ට ඔහුගේ ප්‍රථම චිත්‍රපටයෙන්ම පෝස්ටරයට නම ඇතුළත් කර ගැන්මට හැකි විය. ඔහු 'ඩර්ටි ඩසන්' හී රඟපෑවේ ඉන් පසුවය. එහීදි 'රොබටි ජෙෆ්සන්' නම් හමුදා සිරකරුවා වී, පසුව මෙහෙයුම සිදු කරන කණ්ඩායමේ එක් සමාජිකයෙක් වී කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කිරීමට ඔහුට හැකි විය.

ජිම් බ්‍රවුන්ට මුලින්ම ප්‍රධාන චරිතයක් ලැබු⁣ණේ 1968 වර්ෂයේ තිර ගත කළ 'ඩාර්ක් ඔෆ් ද සන්' චිත්‍රපටයේදී ය. එය එංගලන්තයේ තිර ගත ක⁣⁣ළේ 'ද මර්සනරීස්' නමිනි. ඔහු එහී රඟපෑවේ රොඩ් ටේලර් සමඟය. ඉන්පසු ඔහුට ලැබුණේ කපිතාන් ලෙස්ලි ඇන්ඩර්ස් ගේ චරිතයයි. එය අයත් වූයේ ඇලිස්ටෙයාර් මැක්ලීන් ලියූ ජෝන් ස්ටර්ගර්ස් අධ්‍යක්ෂණය කළ 'අයිස් ස්ටේෂන් සීබ්‍රා' ටය. ඔහුට එහී රොක් හඩ්සන් හා අර්නස්ට් බොර්ග්නීන්, සමඟය රඟපෑමට සිදුවූයේ. 'ද ස්ප්ලිට්' ජිම් බ්‍රවුන් තනිව ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටය යි. ඉන්පසු 'රයට්' චිත්‍රපටයේද ඔහු ප්‍රධාන චරිතය රඟපෑ අතර, ඉන්පසුය ඔහුට '100 රයිෆල්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ෂෙරිෆ් ලයිඩෙකර් ගේ චරිතය රඟපෑමට ආරාධනා ලැබුණේ.

ඉන් පසුව ඔහු 'එල් කොන්ඩෝ', 'ටික් ටික් ටික්', 'ද ග්‍රාස්හොපර්', 'ස්ලෝටර්', 'බ්ලැක් ගන්' 'ද ස්ලැම්ස්', 'ත්‍රී ද හාර්ඩ් වේ', 'ටේක් අ හාඩ් රයිඩ්', 'වැනි චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපාන්නට විය. ජිම් බ්‍රවුන් 2023 වසර වන තෙක් ජීවත් වූ අතර ඔහු 2023 මැයි මස 18 වන දින ස්වාභාවික ලෙස මරණයට පත් වූ අතර, ඒ වන විට ඔහු 87 වන වියේ පසුවිය.

'100 රයිෆල්ස්' හී ප්‍රධාන නිළි චරිතය වූ සරිටා ගේ චරිතයට පණ පෙව්වේ එවකට හොලිවුඩ් තිරයේ සිටී සුරූපිම නිළියක් වූ 'රැක්වල් වෙල්ච්'ය.

රැක්වල් වෙල්ච් ඇමරිකාවේ චිකාගෝ හී උපත ලැබූවේ 1940 සැප්තැම්බර් 5 වන දිනය. රැක්වල්ගේ පියා ඇමරිකාවට පැමිණ ඇත්තේ බොලිවියා සිටය. ඇය කියනා අන්දමට ඔහු ස්පාඤ්ඤ ජාතිකයෙකි. රැක්වල් ගේ නමේ වාසගම වූ වෙල්ච් යන නම පැමිණ ඇත්තේ ඇය ගේ පියා ස්පාඤ්ඤ ජාතිකයෙකු වූ ඇති නිසා විය හැකිය.

රැක්වල් වෙල්ච් ගේ චිත්‍රපටයක් ප්‍රථම වතාවට ලංකාවේ තිරගත වූයේ මරදානේ නිව් ඔලිම්පියා සිනමා ශාලාවේදීය. ඒ 'වන් මිලියන් ඉයර්ස් බී.සී' ය. එහී ඇයගෙ චරිතය 'ලොආනා' වූ අතර ඇය එහී රඟපෑවේ ජෝන් රිචඩ්සන් නම් නළුවා සමඟ ය.

ඇය මුලින්ම ඇමරිකානු සිනමාවට පැමිණියේ 1964 වර්ෂයේදීය. ඒ ' අ හවුස් ඊස් නොට් අ හෝම්' චිත්‍රපටයෙනි. ෂෙලි වින්ටර්ස් හා රොබට් ටේලර් ප්‍රධාන චරිතය රඟපෑ එම චිත්‍රපටයේ ඇය රඟපා ඇත්තේ අබිසාරිකාවක් ලෙසටය. එය කුඩා චරිතයක් විය. 'ද ඕල්ඩස්ට් ⁣ප්‍රොෆෙෂන්' 'සෙක්ස් ක්වාටර්ට්', 'ෆැදම්', 'බෙඩාසෙල්ඩ්', 'ද බිගස්ට් බන්ඩල් ඔෆ් දෙම් ඕල්', 'බැන්ඩොලේරෝ', ⁣'ලේඩි ඉන් සෙමෙන්ට්' යන චිත්‍රපටවල රඟපෑවාට පසුය ඇය 100 රයිෆල් හී 'සරිටා' ගේ චරිතය රඟපෑවේ.

'බර්ට් රෙනොල්ඩ්ස්' ගේ චිත්‍රපටයක් මා මුලින්ම දුටුවේ 'නවා ජෝ ජෝ'ය. එය ඇමරිකාවේ ප්‍රදර්ශනය වූයේ 1966 වසෙර්ය. ඒ වන විට බර්ට් රෙනෝල්ඩ්ස් ට වයස අවුරුදු 29 ක් පමණ විය. එය ලංකාව තුළ නම් ප්‍රදර්ශනය කළේ හැත්තෑ දශකයේ මැදභාගයේ වගේය. චිත්‍රපටයේ වේගවත්ම සටන්කාමියෙක් ව මා දුටුවේ බර්ට් රෙනොල්ඩ්ස් රඟපෑ එම චිත්‍රපටයෙනි. '100 රයිෆල්ස්' තිරගත වූයේ ඉන් පසුවය.

1936 වසරේ ඇමරිකාවේ මිචිගන් නගරයේ ඉපදුණු 'බර්ට් ලියෝන් රෙනෝල්ඩ් ජූනියර් රඟපෑමට අවතීර්ණ වූයේ 1962-1965 දක්වා විකාශනය වූ 'ගන් ස්මෝක්' නැමති රූපවාහිනි කථා මාලාවේය. එය රූ ගත කිරීම පටන් ගත්තේ 1961 වර්ෂයේ ය. ඔහුගේ මුල්ම චිත්‍රපටය තිර ගත වූයේද, 1961 වර්ෂයේය. ඒ 'ඒන්ජල් බේබ්'ය. එහී ඔහු හෝක් ඇඩම්ස් නම්වූ 3 න් වන ප්‍රධාන චරිතය රඟපෑවේය. ඉන් පසු 'ආර්මෝඩ් කොමාන්ඩ්' චිත්‍රපටයේ සහයක චරිතයක් වූ 'ස්කී' ගේ චරිතය රඟපෑවේය . 1965 වසරේ තිරගත වූ 'ඔපරේෂන් සී.ඒ' චිත්‍රපටයේ සීඅයිඒ ඒජන්ට් මාර්ක් ඇන්ඩෘ නම් වූ ප්‍රධාන චරිතය රඟපෑවේය. එය ඔහුගේ ප්‍රථම ප්‍රධාන චරිතය විය. 'නවා ජෝ ජෝ' චිත්‍රපටයේ 'නවා ජෝ ගේ චරිතය රඟපෑවේ ඉන් පසුවය. ඒ 1966 දීය .නැවත ඔහුගේ චිත්‍රපටයක් ඇමරිකාවේ ප්‍රදර්ශනය වූයේ 1969 වර්ෂයේ ය. ඒ මෙම ලිපියට අඩංගු වන '100 රයිෆල්ස්' ය. 1961 වසරේ සිට 2021 දක්වා පුරා අවුරුදු 60 ඔහු චිත්‍රපටවල රඟපෑවේය . එය ලැයිස්තු ගත කළ හොත් චිත්‍රපටම 102 කක් පමණ විය.

'100 රයිෆල්ස්' චිත්‍රපටයෙන් පසු ඔහු රඟපෑ චිත්‍රපට බොහෝමයක් විශිෂ්ට මෙන්ම ජනප්‍රිය ද විය. ඒ අතරේ 'ශාක්', 'ඩෙලිවරන්ස්', 'ෂමස්', 'ද ලෝන්ගස්ට් යාඩ්', 'හසට්ල්','ෂාකිස් මැෂින්', ''හීට්', 'මාලෝන්', 'රාවෙන්', විය. ඔහුගේ අවසන් චිත්‍රපටය වූයේ 2021 වසරේ තිරගත කළ 'ඩිෆයිනින්ග් මෝමන්ට්ස්' ය.

'100 රයිෆල්ස්' චිත්‍රපටය ඇරඹෙන්නේ 'සරීටා' (රැක්වල් වෙල්ච්')නම් වූ රතු ඉන්දියානු තරුණියකගේ පියා ව,ජෙනරල් වර්ඩුගෝගේ හමුදාව විසින් ඇය ඉදිරියේම එල්ලා මරන දර්ශනයකිනි.

ඉන්පසු දර්ශනය මාරු වෙන්නේ ඇරිසෝනා නීතිපති ලයිඩෙකර් (ජිම් බ්‍රවුන්) වෙතටය. ඒ ඔහු 'යාකි ජෝ' (බර්ට් රෙනෝල්ඩ්) පසු පස හඹා යන අවස්ථාවේදීය. යාකි ජෝ බැංකුවකින් ඩොලර් 6,000 ක් හොර කම් කෙරූ නිසාය ලයිඩෙකර් ඔහු පසු පස පැන්නුවේ. ඔහු යාකි ජෝව අල්ලා ගත් පසුය දැන ගත්තේ, ජෙනරල් වර්ඩුගෝගේ හා ඔහුගේ හමුදාවෙන් නිතර බැට කන ගොවීන්ට, ඔවුන් හා සටන් කරන්නට අවශ්‍ය රයිෆල් තුවක්කු 100 ක් රැගෙන දීම නිසා එම මුදල් මංකොල්ල කෑ බව. යාකි ගේ චේතනාව අවංක වුවද, එතන සිදුවූයේ නීතියට පටහැනි වූ සොරකමකි. එහෙයින් ලයිඩෙකර් ඒ අවංක චේතනාව යටපත් කර, හොරකම ඉස්මතු කර යාකිජෝ ව අල්ලා ගෙන රැගෙන ගියේ ඔහුට නීතියෙන් දඬුවම් කිරීමටය.

එසේ යන අතෙර්ය, ඔවුනට මෙක්සිකානු ජෙනරල් වර්ඩුගෝ හා ඔහුගේ සොල්දාදුවන් විසින් අල්වා ගත්තේ. නමුත් ඉඩක් ලද සැණින් ඔවුන් දෙදෙනා ඔවුනගෙන් බේරී කඳුකරයට පලා ගියහ. එහිදී ඔවුන්ට සරීටාවද මුණ ගැසුණි. සරිටාද ඔවුන් සමඟ එක්වූයේ තම පියාව ඝාතනය කළ ජෙනරල් වර්ඩුගෝ ගේ සොල්දාදුවන්ගෙන් පළිගැනීමටය.

සරීටා කඳුකරයට සේන්දු වූයේ , සොල්දාදුවන් විසින් ඇයගේ ගම්මානයට කඩාවැදී, නිවෙස් දේපළ ගිනි තබමින්, එහි සිටි දරුවන්ව ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගිය හෙයිනි. සරිටා ලයිඩෙකර් ට හා යාකි ජෝට කීවේ එසේ ප්‍රණ ඇප කරුවන් සේ තබාගෙන සි⁣ටින දරුවන්ව බේරා දෙන ලෙසටය. ලයිඩෙකර් මෙම මෙහෙයුම භාර ගත්තේ මේ අසරණ මිනිස්සුන්ට සිදුවන අකටයුතුකම්, අඩන්තේට්ටම් නතර කළ යුතු හෙයිනි. මේ හේතුව මත ලයිඩෙකර් හා යාකී ජෝ අතර මිත්‍රත්වයක් ඇතිවූවා සේම, සරිටා හා ලයිඩෙකර් අතර, ශෘංගාරාත්මක සබඳකමක් ඇතිවෙන්නට විය. එය මුලින්ම එකතු වීමක් හෝ ආදරයක් බඳු දෙයක් නොවී, හුදෙක් තම සිරුරු සතපවා ගැනීමට පමණක් සිමා විය. එහෙත් ඒ තුළින් ඔවුන් දෙදෙනා අතර සමීප සබඳකමක් ඇති වී එය ආදරය දක්වා වර්ධනය විය.

ජනරාල් වර්ඩුගෝ ගේ හමුදාව නිරතුරුවම මේ ගොවින්ගේ ගමිමානයට කඩා පනිනුයේ එම ගම් වැසියන් මෙම වර්ඩුගෝ ගේ පාලනයට එරෙහිව කැරලි ගසන නිසාය. සරිටා ද මෙම කැරලිකරුවන්ගේ සමාජිකාවකි. එලෙසම ඇයගේ පියාද, කැරලි නායකයෙකි. ඔහුව වර්ඩුගෝ ගේ හමුදාව එල්ලා මැරුවේ ඒ හේතුව නිසාය. මෙම කැරලිකාරයන් අතර යාකි ජෝ ද සිටින බව ලයිඩෙකර් දැන ගත්තේ සරිටා ගෙනි. රයිෆල් 100 ක් ගෙන මේ කැරලිකාරයන්ට දීමට යාකි ජෝ බැංකුවෙන් ඩොලර් 6000ක් සොරා ගැනීමේ කථාවේ ඇතුළාන්ත කථාව ලයිඩෙකර් හරි හැටි දැන ගත්තේ සරිටා ගෙන්ය. එතැන් සිට ඔවුන් කැරලිකාරයනුත් සම්බන්ධ කරගෙන ජනරාල් වර්ඩුගෝ ගේ හමුදාවට පහර දීමට සැලසුම් කරන්නට විය.

මෙහි ප්‍රධාන භූමිකාවක් භාර ගත්තේ සරීටාය. ඒ ඇගේ පියා ඇය ඉදිරියේම එල්ලා මරා දැමූ මේ සොල්දාදුවන් වෙනුවෙන් ඇය තුළ බුර බුරා නැගී එන වෛරය නිසාය. ඇයට අවශ්‍ය වූයේ ඔවුන්ව විනාශ කිරීමට කළ හැකි උපරිමය කිරීමටය. ඇය එයට ජවසම්පන්න විය. වේගවත් විය. ලයිඩෙකර් හා යාකි ජෝ ඇයට විශාල ධෛර්යක් වූ අතර, ගම්මානේ කැරලිකරුවන් ඇයට ශක්තියක් විය.

ඔවුනගේ මෙහෙයුම වූයේ ජනරාල් වර්ඩුගෝ ගේ හමුදාව එන දුම්රියකට පහර දීමය. දුම්රිය එන අතර මඟ නාන පයිප්පයකින් සරිටා නෑවේ තම සිරුර අඩක් නිරුවත් කරමිනි. එය දකින ඉතාමත් සෙමෙන් එන දුම්රියේ සිටින සොල්දාදුවන් දුම්රියෙන් බැස ඇය ළඟට දිව එන්නට උත්සහා කරන විට, සැඟවී සිටි ලයිඩෙකර්, යාකිජෝ හා කැරලිකරුවන් එක දිගට වෙඩි තබා යුද භටයන්ව මරා දැමීය.

එම සටන දිගට ගිය අතර කැරලිකරුවන් මැද සිටිමින් සරිටා ද හරි හරියට වෙඩි තබන්නට විය. ඇය අතින් බොහෝ සොල්දාදු වන් මිය ගොස් ඇයගේ පළිගැනීමෙි චේතනාව ඉෂ්ට වූවද, එක් ඇසිල්ලකින් සොල්දාදුවෙක් තැබූ වෙඩි පහරක් ඇයට වැදුණි. එය ඇයගේ පපුවට කෙළින්ම එල්ලවූ අතර, එයින් ඇයට බේරීමට නොහැකි විය. වෙනත් පැත්තක සිට සොල්දාදුවන්ට වෙඩි තබන ලයිඩෙකර් හා ⁣යාකි ජෝ ඇයට වෙඩි වැදුණු බවක් දැන සිටියේ නැත. ඔවුන් දිගටම මෙහෙයුම ගෙන ගිය අතර, සියලු සොල්දාදුවන්ව මරණයට පත් කර මෙම සටන ජය ගැන්මට ඔවුනට හැකි විය. සටන ජය ගෙන අනිත් පැත්තට එන විටය ලයිඩෙකර් හා යාකි ජෝ දුටුවේ සරිටා මිය ගොස් ඇති බව. ඒ කැරලිකරුවන් ඇයගේ නිසල සිරුර ඔසවා ගෙන ඔවුන් ඉදිරියට පැමිණිය පසුවය.

අවසානයට සිදුවූයේ ලයිඩෙකර් යළි තම නගරය බලා යාමට සුදානම් වීමය. ඔහු තම අශ්වයා මතට නගින්නට සැරසෙන විටය යාකි ජෝ පැමිණ අසන්නේ ලයිඩෙකර් ගේ අත් අඩංගුවට පත් වී සිටින ඔහුව ගෙනියන්නේ නැද්ද කියා. එවිට ලයිඩෙකර් කියන්නේ යාකි ජෝ ට ගම්මානයේ සිට කැරලිනායකයා ලෙස වැඩ භාර ගැනීමට කියාය.

'100 රයිෆල්' චිත්‍රපටය පුරාවට තිබුණේ ක්‍රියාදාම දර්ශනයන්ය. ත්‍රාසයේ උපරිමය දීමට අධ්‍යක්ෂකවරයා උත්සහා ගෙන තිබූ අතර එය ලයිඩෙකර් ලෙස රඟපෑ ජිම් බ්‍රවුන් හා යාකි ජෝ වූ බර්ට් රෙනොල්ඩ්ස් හරහා උද්දීපනය කර තිබුණි. යාකි ජෝ ගේ චරිතය තරමක් විකට ස්වරූපයක් ගත් අතර එය බර්ටි රෙනොල්ඩ්ස් අපූරුවට ඉදිරිපත් කර තිබුණි. 'සරිටා' වූ රැක්වල් වෙල්ච් සටන් ජවනිකා, වෙඩි තබන ජවනිකා මෙන්ම ආදරය හා ශෲගාරාත්මක ජවනිකා ද ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කර තිබුණි.

ලංකාව තුළදී '100 රයිෆල්' ප්‍රදර්ශනය වූයේ 'වැඩිහිටියන්ට පමණයි' ලේබලය යට⁣තේය. ඒ ජිම් බ්‍රවුන් හා රැක්වල් වෙල්ච් අතර තිබූ ශෘංගාරාත්මක ජවනිකාව නිසාය. කෙසේ හෝ '100 රයිෆල්' චිත්‍රපටය ලංකාවේ අතීශයින්ම ජනප්‍රිය විය. ඒ ක්‍රියාදාම දර්ශන නිසා වූවද, ශෘංගාරාත්මක දර්ශනයද ඒ ජනප්‍රිය වීමට එක් හේතුවක් විය.

 

[email protected]