ප්‍රේමයට වයස් භේදයක් කොයින්ද?

නොවැම්බර් 16, 2023

මැදිවිය පසුවු මිනිසුන්, ළාබාල තරුණියන් සමඟ, ප්‍රේමයෙන් හෝ ලිංගිකව හෝ එක්වීම සාමාන්‍ය දෙයක් විය. එවැනි යුගලයන් විවාහ වූ අවස්ථාද අනන්තවත් ඇත. එහෙත් මැදිවියේ සිටින ගැහැනුන්ට ළාබාල තරුණයන් ආදරය කිරීම, ලිංගීකව එක්වීම හා ඔවුනොවුන් අතර විවාහයන් සිදුවීම නම් සිදුවන්නේ ඉතාමත් අවම වශයෙනි.

'40 කැරට්ස්' (40 ඛ්චපචබඵ) යනු එවන් අවම දෙයක් සිදුවූ කථාන්තරයක් සහිත වූ චිත්‍රපටයකි. ඇත්ත වශයෙන්ම මෙය ප්‍රංශ ජාතික නාට්‍ය රචකයකු වූ 'පීරේ බාරිලෙට්' විසින් ලියා වේදිකා ගත කළ නාට්‍යයකි. එය නම් කර තිබුණේ 'කොරන්ටේ කැරට්ස්' නමිනි. එය ප්‍රංශයේ වේදිකා ගත වූවකි. පසුව මෙය ඇමරිකානු තිර රචිකාවක, නවකථා රචිකාවක, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරියක, මෙන්ම රූපවාහිනි නිෂ්පාදිකාවරියක වූ ජේ. ප්‍රෙසන් ඇලන් ( ඇයගේ මුල් නම ජැක්ලයින් ප්‍රෙසන් ය) විසින් ඉංගී‍්‍රසි නාට්‍යකට පරිවර්තනය කර, ඇමරිකාව තුළ රඟ දැක්විය. ඒ ඇමරිකාවේ නිව්යෝක් නගරයේ 'මොරොස්කෝ තියටර්' හීය. ප්‍රථම වේදිකා ගත වීම සිදුවූයේ 1968 වර්ෂයේ දෙසැම්බර් 26 වන දිනය. එය කෙතරම් ජනප්‍රිය වූවාදැයි කිවහොත්, එය 780 වාරයක් වේදිකා ගත විය. ජූලි හැරිස් නම් වූ නිළිය ඈන් ස්ටැන්ලි ගෙ චරිතයටත්, මාර්කො සෙන්ට් ජෝන්, පීටර් ලැදම් ගේ චරිතයට පණ පෙවීය. මෙය චිත්‍රපටයකට පරිවර්තනය වූයේ 1973 වර්ෂයේය.

ඒ 'එම් ජේ. ෆ්‍රැන්කොවිච්' හරහාය. ෆ්‍රැන්කොවිච් යනු 1909 වසරේ සැප්තැම්බර් 29 වන දින ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ බිස්බී හී උපත ලද්දෙකි. ඔහු මුලින්ම ජනප්‍රිය වී තිබුණේ, පා පන්දු ක්‍රීඩකයෙකු ලෙසටය. පසුව ඔහු ඇමරිකානු ගුවන් විදුලියේ නිවේදකයකු විය. එ⁣⁣ලෙසම නළුවකු ලෙසටද ඔහු සිනමාවට එක්වූවද, චිත්‍රපට නිෂ්පාදකයකු ලෙස ඔහු දිගු ගමනක් යන්නට විය. ඔහු අතින් චිත්‍රපට 30 ක් පමණ නිෂ්පාදනය වී තිබුණි. ඒ 1947 සිට 1978 දක්වාය. 'ජෙසි ජේම්ස් රයිඩ්ස් අගෙයින්' ඔහු විසින් මුලින්ම නිෂ්පාදනය කළ චිත්‍රපටය විය. 'ද බ්ලැක් විඩෝ' (1947), 'ජී මෙන් නෙවර් ෆොගෙට්' (1948), 'ඩේන්ජර්ස් ඔෆ් ද කැනේඩියන් මවුන්ටඩ්', (1948), ඔහු නිෂ්පාදනය කළ 'සීරියල්' චිත්‍රපටයන්ය. මේවා බොහෝ විට අයත් වූයේ ගොපලු චිත්‍රපට ගණයටය. ඔහුගේ ' 40 කැරට්ස්' නම් වූ චිත්‍රපටයට අමතරව, තවත් චිත්‍රපට කීපයක්ම ලංකාවේ ප්‍රදර්ශනය විය. ඒ වෝල්ටර් මතාවූ, ඉන්ග්‍රීඩ් බර්ග්මන්, ගෝල්ඩි හවාන්, රඟපෑ 'කැක්ටස් ෆ්ලවර්', (1969), පීටර් සෙලර්ස්, ගෝල්ඩි හවාන්, රඟපෑ 'දෙයර් ස් අ ගර්ල් ඉන් මයි සුප්',(1970), ජීන් හැක්මන්, රිචඩ් ක්‍රියානා, ඩයන් කැනොන්, රඟපෑ 'ඩොක්ටර්ස් වයිෆ්ස්'(1971), ජෝන් පිලිප් ලෝ, ඩයන් කැනොන්, රොබට් රයන් රඟපෑ 'ද ලව් මැෂින්'(1971), චාර්ල්ස් බ්‍රොන්සන්, ජිල් අයර්ලන්ඩ් රඟපෑ 'ෆ්‍රොම් නූන් ටිල් ත්‍රී' (1976) ඒ අතරේ විය. ජෝන් වේන් රඟපෑ 1976 වසරේ තිරගත කළ , ඔහුගේ අවසන් චිත්‍රපටය වූ 'ද ෂූටිස්ට්', නිෂ්පාදනය කළේද 'එම්. ජේ. ෆ්‍රැන්කෝවිච්' ය. ඔහු නිෂ්පාදනයෙන් සහය වූ අවසන් චිත්‍රපටය වූයේ 'සිග්ෆෙල්ඩ්, ද මෑන් ඇන්ඩ් හිස් වුමන්'ය. ෆ්‍රැන්කෝවිච් අවුරුදු 82කක්, ජීවත් විය. ඔහු මිය ගියේ 1992 ජනවාරි 1 වන දිනදීය. ඒ ඔහුට නිව්මෝනියා රෝගය උත්සන්න වීමෙනි.

'40 කැරට්ස්' චිත්‍රපටයේ තිර රචනය ලිවීමට භාර වූයේ ඇමරිකානු නාට්‍ය හා චිත්‍රපට තිර රචකයකු වූ 'ලියෝනාඩ් ගර්ශේ'ටය. ඔඩ්රි හෙප්බර්න් රඟපෑ 'ෆනී ෆේසස්'(1957), ගෝල්ඩි හවාන් රඟපෑ 'බටර්ෆලයිස් ආර් ⁣ෆ්‍රී' (1972) චිත්‍රපට වල තිරනාටකය ලීවේද ලියෝනාඩ් ගර්ශේය. ඔහු 'ෆනී ෆේස්' චිත්‍රපටයේ තිරනාටකය වෙනුවෙන් 1958 වසරේදී, හොඳම තිරනාටකය වෙනුවෙන් ඇමරිකානු ඔස්කාර් ඇකඩමි සම්මානයට නිර්දේශ වූවෙකි.

1933 වසරේ දෙසැම්බර් මස 22 වන දින ඇමරිකාවේ, පෙන්සිල්වානියා හී ඉපදුණු 'මිල්ටන් ජෝර්ජ් කැට්සීලස්' '40 කැරට්ස්' හී අධ්‍යක්ෂ වරයා විය. ඔහුගේ වෘත්තිය දෙස බැලූ විට, ඔහුව හඳුන්වා දී තිබුණේ, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, රඟපෑම් උපදේශකවරයෙක්, සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙසටය. ඔහුගේ අධ්‍යක්ෂණයක් ලෙස ලේඛනයන් හී සඳහන් වනුයේ 1972 වර්ෂයේ තිරගත වූ 'බටර්ෆ්ලයිස් ආ ෆ්‍රී' චිත්‍රපටය ය. එය එම වසරේ ඇමරිකානු ඇකඩමි සම්මාන උලෙළේ දී එහී රඟපෑ 'එලින් හෙක්කාට්'ට හොඳම සහය නළුවාගේ සම්මානය ලබා ගැනීමට හැකි වූ අතර, හොඳම කැමරා අධ්‍යක්ෂ හා හොඳම ශබ්ද පරිපාලනය සඳහා සම්මානයන්ට නිර්දේශ විය.

'40 කැරට්ස්' චිත්‍රපටය ඔහුට අධ්‍යක්ෂණය කිරීමට ලැබුණේ ඉන් පසුවය. එම චිත්‍රපටයේ තිබූ අන්තර්ගතනය, 1970 දී ඉන්දීය චිත්‍රපට නළු, නිෂ්පාදක හා අධ්‍යක්ෂක රාජ් කපූර් විසින් තම දැවැන්ත චිත්‍රපටය වූ ⁣'මෙරා නාම් ජෝකර්' හී ඇතුළත් වී තිබුණි. ඒ මේරි හා රාජු යන චරිත යුගල තුළිනි. රාජු යනු වයස 10-ත් 15 ත් අතර කොලු ගැටයෙකි. මේරී යනු ඔහුගේ ගුරුවරිය විය. ඇය ඉතාමත් රූමත්ය. තරුණ වියේ පසුවූ ඇය තම පෙම්වතා වූ ඩේවිඩ් සමඟ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටියාය. රාජූ, මේරිට වශිවී සිටියේය. ඒ එක්දිනක් පාසැලෙන් විනෝද ගමනක් ගිය පසු මේරි ඇගේ සිසුන් කන්දක් නගින විට ඇයව ලිස්සා වැවකට වැටුණි. වැවෙන් ඇය ගොඩ එන විට ඇයගේ දෙපා විවර වී තිබුණි. එසේ ඇයගේ නිරුවත් වූ ⁣දෙපා යොවුන් වියට එළැඹී එන රාජුගේ මනස විකෘති කරන්නට විය. ඔහුට සිහිනෙන් පවා ඇයගේ නිරුවත් දෙපා පෙනෙන්නට විය. දෙපා පමණක් නොව ඔහුට ඇයව නිතරම නිරුවත්ව සිහිනෙන් පෙනෙන්නට විය. එය පාපයක් යැයි සිතූ ඔහු පල්ලියට ගොස් පාපෝච්චාරණය කළේය. ඉන් පසු ඔහු මේ බව මේරිට ගොස් කීවේ තමා අතින් මෙලෙස වරදක් සිදුවූ බවක්ය. එහෙත් මේරී කීවේ එය කිසිසේත් වරදක් නොවන බවක් ය. ඒ ඔහු තවම කුඩා ළමයෙක් නිසා බවත් කියා ඔහුව අස්වැසීය. ඒ කෙසේ වෙතත්, මේරි ඩේවිඩ්ව විවාහ කර රැගෙන යන තෙක්, රාජු ඇයට ආදරය කරන්නට විය. සිමී ගාර්විල්, මේරි ලෙසත්, රිෂි කපුර් (එවකට ඔහු ළමා නළුවෙකි) රාජු ලෙසත් මෙම 'මෙරා නාම් ජෝකර්' චිත්‍රපටයේ රඟපෑහ.

මෙවන් තේමාවක් රැගත් තවත් අපූරුවූ චිත්‍රපටයක් ඉතාලියෙන් බිහිවිය. ඒ ගියුසෙප්පී ටොනැටෝ යන ඉතාලි චිත්‍රප⁣ට අධ්‍යක්ෂවරයා විසින් අධ්‍යක්ෂණය කළ 'මලේනා' චිත්‍රපටයය. එයද 13 හැවිරිදි රෙනාටෝ නම් වූ කොලුගැට්ටෙක් හා 24 හැවිරිදි මලේනා නම් එවකට තිබූ ලෝක මහා යුද්ධයෙන් සැමියා මියගිය තරුණ බිරිඳක් සමඟ ඇතිවූ ආදර මෙන්ම ශෘංගාරාත්මක කථාවකි. රෙනාටෝට ඉටුකර ගත යුතු, අභිප්‍රායන් 3 ක් තිබුණි. එකක් ඉතාලිය, 2වන මහා ලෝක යුද්ධය හා සටන් කිරීමය. දෙවැන්න ඔහුට අලුත් බයිසිකලයක් ලැබීමය. 3 වැන්න, වැන්දඹුවක් වූ නගරයේ සිටින සුන්දරම ගැහැනිය වූ මලේනා සමඟ යහළු වී ඇයට ආදරය කිරීම හා ඇය හා ශෘංගාරයේ හැසිරීමය. මලේනාගේ සැමියා යුද්ධයේදී මිය ගිය නිසා ඇයගේ රූමත් කමින් බොහෝ මිනිසුන් ප්‍රයෝජන ගැන්මට උත්සහා කළහ. එක් වරක් තම සැමියාගේ මරණය තහවරු කිරීමට පැමිණෙන නිතිඥ වරයා මලේනාව දූෂණය කළේය. මේ හේතුවෙන් කුඩා රෙනෙටෝ, තමා ඇයගේ ආරක්ෂකයා විය යුතුයැයි තීරණය කළේය. ඔහු කළේ ⁣පල්ලියට ගොස් මලේනාව ⁣මෙවන් උවදුරුවලින් බේරා දෙන ලෙසට දෙවියන්ට යාච්ඥා කිරීමය. චිත්‍රපටයේ රෙනොටෝ මලේනා දක්වන ඇල්ම මෙන්ම වෙනත් වැඩිමහල් ගැහැනුන්ට දක්වන ඇල්ම පෙන්වන ජවනිකා කීපයක්ම තිබුණි. රෙනෙටෝ චිත්‍රපට ශාලාවකට ගොස් වැඩිමහල් ගැහැනියක් ළඟ වාඩිවී, ගැහැනියගේ ආකර්ෂණය දිනාගෙන ඔහු ශෘංගාරාත්මකව චිත්‍රපට ශාලාවේ හැසිරෙන ආකාරයත්, එලෙසම ⁣මලේනා ව නිතිඥවරයා දූෂණය කරන විට එය උස් ජනේලයකින් බලන්නට ගොස් කකුල කඩාගෙන කොර ගසමින් ඇවිදීම එවන් ජවනිකා කීපයකි. මේ හැම දෙයකින්ම පෙන්නුම් කළේ මේ ළාබාල කොලු ගැට්ටා, තරුණ හා මැදිවියේ ගැහැනුන්ට දක්වන ආකර්ෂණයය.

මෙවැනිම ආකර්ෂණයක් දකින්නට ලැබුණු තවත් චිත්‍රපටයකි, ප්‍රංශ අධ්‍යක්ෂවරයකුගෙන් 2003 වසරේ නිර්මාණය වූ 'මොන්ෂියුර් ඉබ්‍රාහිම්'. මෙහි ඔමාර් ෂෙරීෆ් ඉබ්‍රාහිම් ගේ චරිතය රඟපෑවද, අනෙක් ප්‍රධාන චරිතය වූයේ 'මෙමො' නම් වූ 13 හැවිරිදි කොලු ගැට්ටෙකි. මව මියගිය, පියාද නිසි මානසිකත්වයක නොමැති ව හැදුණු මෙමෝද මුදලක් අතට ලැබුණු පසු ගියේ ඔහු සිටින නගරයේම වැඩිමහල් ගණිකාවන් වෙතටය. ඇතැමුන් අවුරුදු 30-35 අතරේ විය. මේ යොවුන් කොලු ගැට්ටා ට ලිංගීක සබඳකම් තබා ගැන්මට උවමනා වූයේ එවන් වයසේ ගැහැනුන් සමඟය.

මෙම ආකාර්ෂණය, ලාංකීය සිනමාව තුළින් හමු වූයේ ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය වූ 'සමනල සංධ්වනිය' තුළිනි. එහී වගීෂ නම් කොලු ගැට්ටා දැඩි ලෙස ප්‍රේම කළේ ඔහුට වඩා බොහෝ වැඩිමහල් කාන්තාවක් වූ පුණ්‍යාටය. එම කොලුගැට්ටා ට රඟපෑයේ එවකට පාසැල් සිසුවෙකුගේ වයසේ සිටි සූර්යා දයාරුවන්ය. කාන්තාව යසෝධා විමලධර්මය. කොලු ගැට්ටා මේ ගැහැනියට උමතු විය. එය හරියට 'මෙරා නාම් ජෝකර්'හී මරියාට උමතු වූ රාජු මෙනි. 'මොන්ෂුයර් ඉබ්‍රාහිම්' හී වයසක ගනීකාවන්ට උමතු වූ මෙමෝ මෙනි. මලේනා හී, මලේනාට උමතුවූ රෙනෙටෝ මෙනි. එසේත් නොමැති නම් 40 කැරට්ස් හී ඈන් ට උමතු වූ පීටර් නම් වූ කොලු ගැට්ටා මෙනි.

මේ වැඩිමහල් කාන්තාවන්ට ළාබාල කොලු ගැට්ටන් ආකර්ෂණය වන්නේ ආදරයක් නිසාද නැත්නම් එය හුදෙක් ලිංගික අවශ්‍යතාවයන් පිරිමසා ගැන්ම ම ඉලක්ක කරගෙන ඇතිවෙන ඇසුරක්ද, වග නිසි ලෙස දැන ගත හැකි වූයේ ඈන් හා පීටර් ⁣ගේ සම්බන්ධය තිබූ '40 කැරට්ස්' චිත්‍රපටය තුළිනි.

ජේ.ප්‍රෙසන් ඇලන් ගේ 40 කැරට්ස් වේදිකා නාට්‍යයේ ඈන් ස්ටැන්ලිගේ චරිත⁣ය රඟපෑවේ 'ජූලි හැරිස්' නම් වූ නිළියෙකි. ඇය එම චරිතය වෙනුවෙන් හොඳම වේදිකා නිළියට හිමි ටෝනි සම්මානය දිනා ගත්තාය. එලෙසම ⁣මෙම නාට්‍ය 780 වාරයක් වේදිකා ගත වූ හෙයින්, කාලයෙන් කාලයට, නිළියන්ව වෙනස් වන්නට විය. ජූන් ඇලිසන්, ජොආන් ෆොන්ටේන්, සාසා ගබෝර්, විටින් විට එම චරිතය රඟපෑහ. මෙය චිත්‍රපට ගත කරන විට, අධ්‍යක්ෂ විලියම් වෙයිලර් (මුලින්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට තෝරා ගෙන තිබුනේ විලියම් වෙයිලර් වය) මේ ඈන් ස්ටැන්ලි⁣ගෙ චරිතයට ප්‍රබලතම නිළියන් කීප දෙනෙක් ගැන අවධානය යොමු කළේය. 'ඕඩ්රි හෙප්බර්න්, එලිසබත් ටේලර්, ජොආන් වුඩ්වර්ඩ්, ඩොරිස් ඩේ, ග්ලෙන්ඩා ජැක්සන් , ෂර්ලි මැක්ලෙන් පමණක් නොව, සොෆියා ලොරේන් ද ඒ නිළියන් අතර විය. එහෙත් අවසානයෙදී එම චරිතය පැවරුණේ, නෝවේජියානු නිළියක් වූ ' ලිව් උල්මාන්' ටය.

1938 දෙසැම්බර් 16 වන දින ජපානයේ ටෝකියෝ නගරයේ උපත ලද ලිව් උල්මාන් තම සිනමා ජීවිතය ආරම්භ කළේ 1957 වර්ෂයේදීය. ඒ මෝර්වේජියානු සිනමාව තුළිනි. එඩිත් කාර්මර් අධ්‍යක්ෂණය කළ 'ෆූල්ස් ඉන් ද මවුන්ටන්' යන චිත්‍රපටයේ ඉතාමත් කුඩා චරිතයක් රඟපෑමට ඇයට ලැබුණි. ඒ හෝටලයක දර්ශනයක හෝටලේ සේවාදායකයකු ලෙසටය. ඉන්පසු එඩිත් කාර්මර් ම 1959 වසරේ අධ්‍යක්ෂණය කළ 'ද වේ වර්ඩ් ගර්ල්' චිත්‍රපටයේ ඇයට ප්‍රධාන චරිතයක් ලැබුණි. එතැන් සිට ඇය 2012 වර්ෂය වන තෙක්, චිත්‍රපට 44 ක පමණ රඟපෑවාය. 40 කැරට්ස් වලට අමතරව, ලංකාවේද ඇයගේ චිත්‍රපට කීපයක්ම තිර ගත විය. ඉන්ගමාර් බර්ග්මන් අධ්‍යක්ෂණය කළ මැක්ස් වෝ සයිඩෝ රඟපෑ 'ද පැෂන් ඔෆ් ඇනා',(1969), පීටර් ෆින්ච් සමඟ 'ලොස්ට් හොරයිසන්', (1973), නැවතත් 'පීටර් ෆින්ච්' සමඟ 'ද ඇබ්ඩිකේෂන්'(1974), ශෝන් කොනරි, මයිකල් කේන් සමඟ 'අ බ්‍රිජ් ටූ ෆා' (1977), වැනි චිත්‍රපට ඒ අතරේ විය.

1971 වසරේදී තිරගත වූ ඇය රඟපෑ චිත්‍රපටයක් වූ 'ද එමිග්‍රාන්ට්ස්', චිත්‍රපටයේ ක්‍රිස්ටිනා නීල්සන් ගෙ චරිතය රඟපා ඇය එම වසරේ ඇමරිකානු ඇකඩමි සම්මාන උලෙළේ ⁣'හොඳම නිළිය' ලෙසට නිර්දේශ විය.

මැදිවියේ ගැහැනිය ඈන් ස්ටැන්ලිට පෙම් කරන යොවුන් කොලුගැටයා පීටර් ලැදම් ගෙ චරිතයට පන පෙව්වේ එවකට 21 වන වියේ පසුවූ එඩ්වඩ් ඇල්බට් ය. 1951 වසරේ පෙබරවාරි 20 වන දින ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් එන්ජල්ස් නගරයේ උපත ලද එඩ්වඩ් ඇල්බටි ඇමරිකන් නළුවෙකු වූ එඩ්වඩ් හෙයිම්බර්ගර් ගේ පුත්‍රයාය.එලෙසම ඔහුගේ මව වූ 'මාර්ගෝ' ද ඇමරිකන් නිළියක් හා නැටුම් ශිල්පිනියක් ද, විය. එඩ්වඩ් ඇල්බට් ගේ ප්‍රථම චිත්‍රපටය වූයේ 1965 වසරේ තිරගත කළ 'ද ෆූල් කිලර්' චිත්‍රපටය ය.ඔහු එහී ප්‍රධාන චරිතයක් රඟපෑවේ ඇන්තනි පර්කින්ස් සමඟය. 1972 දී ඔහු 'බටර් ෆලයිස් ආ ෆ්‍රී' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ගෝල්ඩි හවාන් සමඟය. ඔහුගේ එම රඟපෑම වෙනුවෙන් ඔහුට ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළෙදී වසරේ නවක තරුවට හිමි සම්මානය හිමි විය. එලෙසම එම සම්මාන උලෙළේදී ඔහු හොඳම නළුවාට හිමි සම්මානයට නිර්දේශ විය.

ඉන්පසුය ඔහුට අද අප ලිපියට පාත්‍ර වන '40 කැරට්ස්' චිත්‍රපටයේ පීටර් ලැදම් ගේ චරිතය රඟපෑමට ආරාධනා ලැබුණේ.

ඉන් පසු ඔහු ජැක් ස්මයිට් අධ්‍යක්ෂණය කළ 'මිඩ්වේ' චිත්‍රපටයට සම්බන්ධ විය. එය දැවැන්ත නළු එකතුවක් විය. චාල්ස්ටන් හෙස්ටන් ,හෙන්රි ෆොන්ඩා, ජේම්ස් කොබර්න්, ග්ලෙන් ෆෝඩ්, හල් හොල්බෘක්, තොෂිරෝ මිෆුනේ, රොබට් මිචම්, ක්ලිෆ් රොබට්සන්, රොබට් වැග්නර්, එඩ් නෙල්සන්, අතරට එඩ්වඩ් ඇල්බට් ට එකතු වීමට ලැබීම තුළින් ඔහුගේ රඟපෑමේ දක්ෂතාවය නිගමනය කළ හැකිය. 1978 දී ඔහු ඇන්තනි කුවින් රඟපෑ ඇරිස්ටෝටල් ඔනාසීස් චරිතයේ, පුත්‍රයා වූ ඇලෙක්සැන්ඩර් ඔනාසිස්ගේ චරිතය රඟපෑවෙිය. ඒ 'ග්‍රීක් ටයිකූන්' චිත්‍රපටයේය. විලියම් හෝල්ඩන්, පෝල් නිව්මන් සමඟ ඔහු 'වෙන් ටයිම් රෑන් අවුට්' චිත්‍රපටයේද ප්‍රධාන චරිතයක් රඟපෑවේය. 'අ ටයිම් ටු ඩයි' චිත්‍රපටයේ ඔහු ප්‍රධාන චරිතය රඟපෑවේ රෙක්ස් හැරිසන් හා රොඩ් ටේලර් සමඟය. ඔහු 1965 සිට 2008 දක්වා චිත්‍රපට 55 ක් පමණ රඟපා තිබුණි. එයටත් වඩා සංඛ්‍යාවක් ඔහු රූපවාහිනි චිත්‍රපට හා කථාමාලාවල රඟපා තිබුණි. එඩ්වඩ් ඇල්බට් 2006 ⁣සැප්තැම්බර් 22 වන දින මිය ගියේය. ඒ වන විට ඔහු අවුරුදු 55ට එළැඹුණා පමණි. මිය යන විටත් ඔහු චිත්‍රපට හා රූපවාහිනියේ රඟපාමින් සිටියේය.

'40 කැරට්ස්' චිත්‍රපටය පටන් ගැනුණේ ඈන් ස්ටැන්ලි (ලිව් උල්මාන්) නම් වූ මැදිවියේ වැන්දඹු කාන්තාව, තම මව සමඟ ග්‍රීසියට නිවාඩුවක් ගත කිරීමට යන ජවනිකාවකිනි. ඒ යන අතර ඇයගේ වාහනය ක්‍රියා විරහිත විය. ඇය වැටි ඇති අකරතැබ්බයට උපකාර කරන්නට පැමිණියේ මෝටර් බයිසිකලයකින් ගිය අවුරුදු 22 කක් පමණ වූ කඩවසම් යෞවනයෙකි. ඔහු පීටර් ලැදම් ය (එඩ්වඩ් ඇල්බට්). රථය යථා තත්ත්වයට ගන්නට ඔහු උත්සහා ගත්තද, එය නොහැකි විය. එහෙයින් ඔහු ඇයට තම මෝටර් බයිසිකලයෙන් නගරය වන තෙක් යෑමට ආරාධනා කළද, ඇය මුලින් එයට කිසිසේත් කැමති වූයේ නැත. එතැන් සිට නගරයට හැතැප්ම 50 ක දුරක් තිබෙන නිසාත්, ඇයට වෙන විකල්පයක් නොතිබූ නිසාත්, ඇයට ඔහුගේ මෝටර් බයිසිකලේ නැග යාමට සිදු විය. ඒ බයිසිකල් ගමන, ඔවුනගේ ඇසුර දුර දිග යාමට තුඩු දුනි. ඉන් පසු, ඔහු ඇය නිවාඩුව ගෙවන තෙක් තම මොටර් බයිසිකලයේ නංවාගෙන අරමුණක් නැති ගමන් යන්නට විය. ඇයද නිවාඩුවක් ගත කිරීමට පැමිණි හෙයින් ඔවුනොවුන්ගේ වයස පරතරය නොතකා ඔහු සමඟ විනෝද වන්නට විය. එලෙසම ඔවුන් ලිංගිකවද එක්වන්නට විය. එතරම් සමීප සබඳ කමක්ය, ඔවුන් දෙදෙනාට ඒ අවස්ථාවෙිදී තිබුණේ. නිවාඩුව අවසන් වන තෙක් ඇය ඔහු සමඟ විනෝද වූවද, නිවාඩුව අවසන් වී ඇය ඇමරිකාවේ නිව්යෝක් නගරයේ තිබූ තම නිවසට ගිය සැණින්ම ඔහුව සහ එම ඇසුර සහමුලින්ම අමතක කළේ, එය වසන්ත කාලය තුළ දී සිදුවූ එක් සිදුවීමක් පමණක් ලෙස සලකමිනි.

එහෙත් ඉන් සති කීපයකට පසු, ඇයගේ දුවගේ පෙම්වතා යයි කියා ගනිමින් එක් යෞවනයෙක් ඇයගේ නිවසට පැමිණීය. ඒ යෞවනයා වෙනත් කවුරුවත් නොව, පීටර් ලැදම්ය. ඇත්තෙන්ම ඔහු පැමිණියේ ඈන්ගෙ දුවව බැලීමට නොව, ඒ මාර්ගයෙන් ඈන්ව හමුවීමටය.

මේ හමුවීම, එතනින් නතර වූයේ නැත. ඈන් ඔහුව පිළිනොගත්තද, ඔහු ඈන්ට කියුවේ, ඔහු ඇයට ආදරය කරන බවත්, ඇය වැන්දඹුව ක් හෙයින් ඔහු ඇයව විවාහ කර ගන්නා බවය. ඈන්ට අවුරුදු 40ක් වූ අතර, පීටර් යාන්තම් අවුරුදු 22 කක් විය. ඔහු ඇයට වඩා අවුරුදු 18 ක් බාල විය. ඈන් මොනතරම් අකමැති බව පෙන්නුවත්, ඇයගේ යටි සිත, ඔහුගේ උණුසුම, ඒ නැවුම් යොවුන් ජවයට ආශා කළාය.

ප්‍රශ්න, අර්බූද ඇති වූයේ ඉන් පසුවය. ඈන්ගේ මේ අමුතු සම්බන්ධය කිසිවෙක් අනුමත කළේ නැත. ඈන්ගේ දියණිය සිටියේ පීටර්ගේ වයසේය. එලෙසම පීටර්ගේ මව සහ පියා, පීටර් තම මවගේ වයසේ වැන්දඹු ගැහැනියක් සමඟ ඇති කර ගෙන තිබෙන අසාමාන සම්බන්ධය ට එකහෙළාම විරුද්ධ විය. ඔවුන් කෙළින්ම දොස් කීවේ තම ළාබාල පුත්‍රයාව පොලඹවා ගත් මැදිවියේ ගැහැනියටය. ඈන්ගේ දියණිය මෙන්ම ඈන්ගේ මවද දෝෂාරෝපණය ක⁣ළේ ඈන්ටය. ඇයට දැඩි පීඩනයක් ඇතිවිය. පීඩනය දැඩි වන්නට වන්නට ඇය පීටර්ට තව තවත් ළංවිය.

පීටර් වැනි යෞවනයෙක් තමා වැනි මැදිවියේ වැන්දඹු ගැහැනියකට ළංවන්නේ ඔහුගේ ලිංගික තෘප්තියට බව ඈන් මුලින්ම සිතුවද, හැමෝගෙන්ම දැඩි පීඩනයක් ඔහුට එල්ල වූවත් ඔහු නොසැලීම ඇය සමඟ සිටීම තුළින් ඇය තේරුම් ගත් එක් දෙයක් විය. ඒ ඔහු ඇයට අවංකවම ආදරය බවය. එහෙයින් ඒ ආදරය වෙනුවෙන් ඇයටද කළ නොහැක්කක් නැති බවක් ඇය තේරුම් ගත්තාය. අවසානයේදී ඇය ඔහුගේ ආදරය පිළි ගත්තේ ඔවුන් වටා සිටින තමන්ගේම අයගේ විරුද්ධතාවයන් නොසලකමිනි.

මෙය 'රොමැන්ටිකල් කොමඩි' (විකට ආදර) ශානරයට අයත් කථාවක් වූවද, ඒ තුළින් කියවුනු මානුෂික සබඳතාවය නම් අතිශයින්ම ගැඹුරු විය. මොන අයුරකින් සිදුවීම් සිදුවූවද, අවසානයේදී උද්දීපනය වන්නේ ආදරයේ ගැඹුරත්වය මෙන්ම චමත්කාරය යි.

ලිව් උල්මාන් හා එඩ්වඩ් ඇල්බට් ට අමතරව, ජීන් කෙලී, බිනී බාර්න්ස්, ඩෙබොරා රැෆින්, නැන්සි වෝර්කර්, සහ නටාලි ශාෆර්,'40 කැරට්' හී සහය චරිත රඟපෑහ. ලිව් උල්මාන් ගේ රඟපෑම වෙනුවෙන් ඇය ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ් දී හොඳම නිළියට හිමි සම්මානයට නිර්දේශ විය.

ආදරයට වයස් බේදයක් නැත. ජාතියක් ජන්මයක් නැත යන්න ඔප්පු කළ තවත් අපූරුවූ චිත්‍රපටයකි '40 කැරට්ස්'.

 

[email protected]