බාල අපරාධ චෝදනා ලැබූ චිත්‍රපටයක්

නොවැම්බර් 23, 2023

ලෝක සිනමාව තුළ වඩාත්ම ජනප්‍රිය වූ, වඩාත්ම ආදායම් ඉපැයූ එමෙන්ම වඩාත්ම සාර්ථක වූ රොමියෝ-ජුලියට් කථාව ඇතුළත් චිත්‍රපටයක් වූයේ නම් ඒ ඉතාලි අධ්‍යක්ෂක වරයෙකු වූ 'ෆ්‍රැන්කො සෙෆිරෙලි' විසින් අධ්‍යක්ෂණය කළ, 1968 වර්ෂයේ තිර ගත කළ 'රෝමියෝ ජුලියට්' චිත්‍රපටය ය. එය ඇමරිකානු ඩොලර් 8ලක්ෂ පනස්දහක් වියදම් කර ඩොලර් 390 ලක්ෂයක් වැනි දැවැන්ත මුදලක් උපයා ගත් චිත්‍රපටයක් විය. එලෙසම හොඳම කැමරා අධ්‍යක්ෂණය හා හොඳම ඇඳුම් නිර්මාණයට හිමි ඇකඩමි සම්මාන දිනා ගත් අතර, හොඳම අධ්‍යක්ෂ හා හොඳම චිත්‍රපටයට හිමි ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ විය. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළෙදී හොඳම නවක නළුවාට හිමි සම්මානය රෝමියෝ ට රඟපෑ ලෙනාඩ් වයිටින්ංග්, මෙන්ම හොඳම නවක නිළියට හිමි සම්මානය ජුලියට්ට රඟපෑ ඔලිවියා හුසේ ට හිමි විය.

'ෆැන්කො සෙෆිරෙල්ලි' ගේ චිත්‍රපට කීපයක්ම ලොව ඉමහත් අභිමානනීය නිර්මාණ ලෙස සැලකීය. ඔහු ශේක්ස්පියර් ගේ කෘතින් සිනමාවට නැංවීමට ඉමහත් රුචිකත්වයක් දක්වා ඇති බව පසක් වන්නේ, ඔහුගේ චිත්‍රපට නිර්මාණ ලැයිස්තුවේ චිත්‍රපට කීපයක්ම ශේක්ස්පියර් ගේ කථාවන්ට අයත් වූ නිසාය. 'ද ටැමින්ග් ඔෆ් ද ශෘ',(1967) 'රෝමියෝ ) ජුලියට්' (1968), ' ඔතෙලෝ' (1986), 'හැම්ලට්' (1990), එසේ ෆ්‍රැන්කො සෙෆිරෙලි විසින් අධ්‍යක්ෂණය කළ ශේක්ස්පියර් නිර්මාණ විය.

බ්‍රිතාන්‍ය හා ඉතාලියානු 'එපික්' වර්ගයේ චිත්‍රපටයක් වූ 'ජීසස් ඔෆ් නසරේත්' (1977) චිත්‍රපටය හා ටෙලි නාට්‍ය මාලාව අධ්‍යක්ෂණය කළේ ද, ෆ්‍රැන්කො සෙෆිරෙල්ලි ය. 'ද චෑම්ප්', (1979), 'එන්ඩ්ලස් ලව් (1981), සහ 'ජේන් අයර්' (1996) යන විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂණය කළේද සෙෆිරෙල්ලිය. මේවා සියල්ලම ලංකාවේද ප්‍රදර්ශනය විය.

1923 වසරේ පෙබරවාරි 23 වන දින, ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ ඉපදුණු සෙෆිරෙල්ලිගේ සම්පුර්ණ නම වූයේ ජියන් ෆ්‍රැන්කො කොර්සි සෙෆිරෙල්ලි ය. ඔහුගේ වෘත්තිය ලෙස සඳහන් වනුයේ චිත්‍රප⁣ට අධ්‍යක්ෂ, ඔපෙරා අධ්‍යක්ෂ හා දේශපාලඥයෙකු ලෙසටය.

'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' චිත්‍රපටය නිෂ්පාදනය කරන්නට ඉදිරිපත් වූයේ බ්‍රිතාන්‍ය චිත්‍රපට නිෂ්පාදකවරුන් දෙදෙනෙකු වූ 'ජෝන් බ්‍රාබෝන්, සහ ඇන්තනි හැව්ලොක් ඇලන් ය.

බ්‍රාබෝන් ගේ පළමු නිෂ්පාදනය ලෙස සැලකෙනුයේ 1958 වර්ෂයේ තිරගත කළ 'හැරි බ්ලැක් ඇන්ඩ් ද ටයිගර්'' චිත්‍රපටය ය. ස්ටුවර්ට් ග්‍රාන්ජර් ප්‍රධාන චරිතය රඟ පෑ මෙය අධ්‍යක්ෂණය කළේ හියුගෝ ෆ්‍රේගොනෙස් ය. මෙය රූ ගත කළේ ඉන්දියාවේය. 'සින්ක් ද බිස්මාර්ක්' (1960) ' මර්ඩර් ඔන් ද ඔරියන්ට් එක්ස්ප්‍රස්' (1974),' ඩෙත් ඔන් ද නයිල්' (1978), 'පැසේජ් ටූ ඉන්ඩියා' (1984), සහ 'ලිටල් ඩොරිට්' ඔහු 'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' චිත්‍රපටයට අමතරව කළේය.

බ්‍රාබෝන් සමඟ 'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' නිෂ්පාදනය කිරීමට එක්වූ ඇන්තනි හැව්ලොක් ඇලන්, ඩේවිඩ් ලීන් අධ්‍යක්ෂණය කළ 'රයන්ස් ඩෝටර්' (1970), චිත්‍රපටයේ නිෂ්පාදක වරයාය. ඔහු ච්ත්‍රපට නිශ්පාදනයේ 1935 සිට නියැලි සිටියේය . 1970 වන තෙක් චිත්‍රපට 62 කක් පමණ ඔහු නිෂ්පාදනය කර තිබුණි. ඒ අතරේ 'රයන්ස් ඩෝටර්, හා 'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' චිත්‍රපට දෙක හැරෙන්නට ඔහුගේ 'ඔතෙලෝ' (1965,) 'ද මිකාඩෝ', (1967), වැනි චිත්‍රපට ජනප්‍රිය වී තිබුණි.

⁣'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' හී තිරනාටකය, තිදෙනෙක් ලියා තිබුණි. ඒ 'ෆ්‍රැන්කො බෘසාටි, මැසෝලිනෝ ඩී අමීකෝ, සහ අධ්‍යක්ෂක ෆ්‍රැන්කො සෙෆිරෙල්ලි ය . කැමරා අධ්‍යක්ෂණය පැස්ක්වාලිනෝ ඩී සන්ටිස්ය. සංගීතය නිනෝ රොටා ගෙනි. චිත්‍රපටය බෙදාහැරීමට භාර ගත්තේ පැරමවුන්ට් චිත්‍රපට සමාගමය.

චිත්‍රපටයේ රෝමියෝගේ චරිතයට 'බිට්ල් ස්' ගායක කණ්ඩායමේ ගායක 'පෝල් මැකාර්ටනීව' තෝරා ගැන්මට අධ්‍යක්ෂක ෆ්‍රැන්කො සෙෆිරාලි අදහස් කර සිටින බවක් පෝල් මැකාර්ටනි කියා තිබුණද, සෙෆිරලිගේ කිසිදු චරිතාපදානයක එලෙස, මැකාර්ටනීව තෝරා ගත් බවක් සඳහන් වී තිබුණේ නැත .

සෙෆ්රලි ලොව වටා යෞවනයන් සොයා යන්නට වූයේ තම රෝමියෝ හා ජුලියට් ව සොයා ගැන්මටය. 'ඇන්ජලිකා හස්ටන්' නම් නිළියට ජුලියට් ගේ චරිතය රඟපෑමට ආරාධනා කළද, ඇයගේ පියා, සිනමා අධ්‍යක්ෂක ජෝන් හස්ටන් ඇයට එහී රඟපෑමට ඉඩ නොදුන්නේ, ඇයව ඔහුගේ නවතම චිත්‍රපටය වූ 'අ වෝක් විත් ලව් ඇන්ඩ් ඩෙඩ්' හී රඟපෑමට තෝරා ගෙන තිබූ නිසාය. අවසානයේ නවකම බ්‍රිතාන්‍ය ජාතික දෙපළක් වූ 'ලෙනාඩ් වයිටිං' ,හා 'ඔලිවියා හුසේ' ව තෝරා ගතී. ඔවුන්ව එසේ තෝරා ගන්නා විට ලෙනාඩ් ට වයස අවුරුදු 16 ක් වූ අතර, ඔලිවියාට අවුරුදු 15ක් විය. එහෙත් චිත්‍රපටය රූ ගත කරනවිට නම් ලෙනාඩ් ට වයස 17 ක් හා ඔලිවියාට වයස 16 ක් විය.

'ලෙනාඩ් වයිට්ං' ගේ ප්‍රථම චිත්‍රපටය වූයේද ෆ්‍රැන්කො සෙෆිරෙලි ගේ 'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' චිත්‍රපටයමය. ඔහු බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ඉපදුණේ 1950 වසරේ ජුනි 3 වන දිනය. ඔහුගේ වෘත්තිය පෙන්වන්නේ නළුවෙකු සේම ගායකයෙකු බවය.

'ලෙනාඩ් වයිටිං' ව රෝමියෝ ගේ චරිතයට තෝරා ගන්නා විට ඔහුට වයස 17 වූ අතර, ජුලියට්ට තෝරා ගත් ඔලිවියා හුසේන්ට වයස අවුරුදු 16 ක් විය. රෝමියෝ ඇන්ඩ් ජුලියට් චිත්‍රපටයේ සිප ගන්නා දර්ශන මෙන්ම, නිරුවත් දර්ශනද කථාවට අනුකූලව ඉදිරිපත් විය. රෝමියෝ ඇන්ඩ් ජුලියට් චිත්‍රපටය පෙන්වා අවුරුදු 54 කට පසු, ලෙනාඩ් වයිටිං තම නිතිඥයා හරහා පැරමවුන්ට් පික්චර්ස් සමාගමට නඩු පැවරීය. ඒ ඔවුන් රෝමියෝ ඇන්ඩ් ජුලියට් චිත්‍රපටයෙන් එවකට අවුරුදු 17ක් වයස ඇති ඔහුගෙන් හා අවුරුදු 16 ක් වයසැති ඔලිවියා හුසේ යොදා නිරුවත් හා සිපගැනීම් දර්ශන රූ ගත කල අතර, ඒවා බාල අපරාධ ගණයට වැටෙන බවට ඔහුගේ නීතිඥයා තර්ක කළේය. ඔහු ඒ වෙනුවෙන් තම සේවාදායකයා වූ ලෙනාඩ් වයිටිං මෙන්ම ඔලිවියා හුසේ ට පැරමවුන්ට් පික්චර්ස් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වන්දි ලෙස ඉල්ලා සිටියේ එම චිත්‍රපටයෙන් පැරමවුන්ට් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ආදායමක් උපයා තිබූ බවක් කියමිනි. මාස 5 ක් ඒ පිළිබඳ නඩු කියූවද, 2023 මැයි මස 25 වන දින, ඇමරිකාවේ ලොස් ඒන්ජල්ස් හී සුපිරීම් කෝට්, නඩුව ඉවතට විසි කළේ, ලෙනාඩ් වයිටිං හා ඔලිවියා හුසේට කිසිදු මුදලක් නොලබාමය.

ජුලියට්ගේ චරියට තෝරා ගත් ඔලිවියා හුසේ ඉපදුණේ 1951 අප්‍රේල් 17 වන දිනයේය. ආර්ජන්ටිනාවෙ බුනෝස් ප්‍රදේශයේ ඉපදුණු ඔලිවියා පසුව බ්‍රිතාන්‍යයේ පුර වැසි කම ලබා ගති. ඔලිවියාගේ මුල් නම වූයේ ඔලිවියා ඔසුනාය. ඇය ආර්ජෙන්ටිනාවේ ඔපෙරා ගායකයෙකු වූ ඇන්ඩ්‍රෙස් ඔසුනාගේ දියණිය විය. ඔලිව්යාට නිළියක් වීමට කුඩා කල සිටම දැඩි උවමනා කමක් තිබුණි. එහෙයින් ඈ කුඩා කල පටන්ම රංගනය හදාරන්නට විය. ලන්ඩන් හී 'ඉතාලියා කොන්ටි ඇකඩමි ඔෆ් තියටර් ආර්ට්ස්', හි ඇය නාට්‍ය රංගනය පාඨමාලාවක් හැදෑරැවාය.

ඇය මුලින්ම සිනමාවට එක් වූයේ බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වූ ඩෙල්මර් ඩාවෙස් අධ්‍යක්ෂණය කළ 'ද බැටල් ඔෆ් ද විලා ෆයෝරිටා', නම් චිත්‍රපටයෙනි. එය 1965 දී තිර ගත වූ අතර ඇය එහී ඩොන්නා ගේ චරිතය රඟපෑවාය . එම වසරේම ඇය ඩේවිඩ් බ්‍රැක්නෙල් රඟපෑ 'කප් ෆීවර්' චිත්‍රපටයේ ජිනීගේ චරිතය රඟපෑවාය. ඒවා ප්‍රධාන චරිත නොවූවද, සහයක හා අතුරු චරිත විය. එහෙත් නාමික චරිත වූ හෙයින් ඔලිවියා හුසේ යන නම සිනමාවට හඳුන්වා දීමට ඇයට හැකි විය.

එහෙත් ඇය මුලු ලෝකය පුරාවටම විහිදුණේ ෆ්‍රැන්කො සෙෆිරෙල්ලි ඔහුගේ රෝමියෝ ඇන්ඩ් ජුලියට් චිත්‍රපටයේ ජුලියට් ගේ චරිතයට ඇයව තෝරා ගත් පසුවය. එය නම් ඇයට ලැබුණු විශාලතම නිධානයකි. එම චිත්‍රපටයෙන් මේ 16 හැවිරදි ඇය එක රැයකින් මහා නිළියකගේ තත්වයකට පත් විය. ශේක්ස්පියර් මැවූ ජුලියට් තිරයේ ඒ අයුරින්ම ජීවමාන කළ එකම නිළිය ඇය විය. ඉන්පසු ඇය චිත්‍රපට ගණනාවක රඟපෑවාය. පීටර් ෆින්ච්, ලිව් උල්මාන් රඟපෑ 'ලොස්ට් හොරයිසන්', කේරි ඩූලා, ජෝන් සැක්සන් රඟපෑ 'බ්ලැක් ක්‍රිස්මස්', පීටර් උස්ටිනොව්, ඩේවිඩ් නිවන් රඟපෑ 'ඩෙත් ඔන් ද නයිල්', යන චිත්‍රපට ඒ අතරේ විය. එලෙසම ඇය රඟපෑ ෆ්‍රැන්කො සෙෆිරෙලි ගේ දැවැන්ත ටෙලි චිත්‍රපටයක් වූ 'ජීසස් ඔෆ් නසරේත්' හී මරියාගේ චරිතය ඇයගේ රංගන ජීවිතය තුළ සුවිශේෂිත සටහනක් විය.

'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' චිත්‍රපටයේ තවත් විශිෂ්ට ගණයේ නළුවෙකු රඟපෑවේය. ඒ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුවූ 'මයිකල් යෝක්' ය. මයිකල් හියුග් ජොන්සන් ය මෙසේ මයිකල් යෝක් වූයේ. 1942 වර්ෂයේ මාර්තු මස 27 වන දින බ්‍රිතාන්‍යයේ බකිංහැම්හී ඉපදුණු මයිකල් සිනමාවට සම්බන්ධ වූයේ ෆ්‍රැන්කො සෙෆිරෙලි ගේ ' ටැමිංග් ඔෆ් ද ශෘ' චිත්‍රපටයෙනි. ඒ 1967 වර්ෂයේය. එහී ලුසෙන්ටියෝ ගේ චරිතයට පණ දුන්නේ මේ මයිකල් යෝක් ය. ඔහුට එහී රඟපෑමට සිදුවූයේ ඒ වන විට දැවැන්ත නළු නිළියන් දෙපළක් වූ රිචඩ් බර්ටන් හා එලිසබත් ටේලර් සමඟය. 1967 වර්ෂයේදී තිරගත කළ 'කන්ෆෙෂන්ස් ඔෆ් ලවින් කපල්ස්' , 'ඇක්සිඩන්ට්', 'රෙඩ් ඇන්ඩ් බ්ලු', ' ස්මෑශින් ටයිම්' 'සර්පර්රේෂන්' යන චිත්‍රපටවල රඟපෑමෙන් පසුවය මයිකල් යෝක්ට ෆ්‍රැන්කො සෙෆ්රිලිගේ 'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' චිත්‍රප⁣ටයේ 'ටයිබෝල්ට්' ගේ චරිතය රඟපෑමට ආරාධනා ලැබූවේ.

මහා නළු ලෝරන්ස් ඔලිවර් ද, රෝමියෝ ඇන්ඩ් ජුලියට් චිත්‍රපටයේ කිසියම් හෝ චරිතයක් රඟපෑමට කැමැත්තෙන් සිටි බවක් සඳහන් වේ. එහෙත් සෙෆ්රිලිට ඔහුට සුදුසු වන චරිතයක් ලබා දීමට නොහැකි වූවද, ඔහු චිත්‍රපටයේ පසුබිම් කථිකයෙක් ලෙස එකතු කර ගති.

රෝමියෝ ඇන්ඩ් ජුලියට් චිත්‍රපටයේ අනෙක් ප්‍රධනතම ආකර්ෂණය වූයේ පසුබිම් සංගීතයය. සෙෆිරෙල්ලි ගේ සියලු ශේක්ස්පියර් චිත්‍රපටවල සංගීතය භාර වූයේ ඉතාලි ජාතික මහා සංගීතඥ 'නිනෝ රොටා' ය. ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපොලා අධ්‍යක්ෂණය කළ 'ගෝඩ් ෆාදර්' චිත්‍රපටයේ සංගීතය භාර වූයේ ද, නිනෝ රොටා ටය. එපමණක් නොව 'ගෝඩ් ෆාදර්' ත්‍රීත්වයටම සංගීතය භාර වූයේ නිනෝ රොටා ටමය. ඔහු ඇමරිකානු ඇකඩමි සම්මාන ලබා ගත්තේද මේ 'ගෝඩ් ෆාදර්' චිත්‍රපටවලට සංගීත සපයාය.

'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' කථා ඝාරය නොදන්නා කෙනෙක් නැත. එය ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වූ 'රොමැන්ටිකල් ට්‍රැජිඩිය' විය. සිනමාවට වඩා එය උචිත වූයේ වේදිකා නාට්‍ය හා ඔපෙරාවන්ටය. කථා අන්තර්ගත යේ බොහෝ දේ ලියවී තිබුණේ වේදිකාවට හා ඔපෙරාවට උචිත අන්දමටය. එහෙයින් එය බොහෝ රටවල වේදිකා ගත විය. ඔපෙරා රඟදැක්විය.

ෆ්‍රැන්කො සෙෆිරෙලි ට තිබූ අභියෝගයත් මෙයම විය. වේදිකාවට හා ඔපෙරාවන්ට උචිත කථාන්තරයක් චිත්‍රපටයක් ගත කිරීමය. එය නාට්‍යයමය ගති ලක්ෂණ සමඟින්, නාට්‍යයක් නොකර චිත්‍රපටයක් ගත කිරීමේ අභියෝගය ය ෆ්‍රැන්කො සෙෆිරෙලි ට තිබුණේ. එය ඔහු පැහැදිලිවම ජය ගත්තේය.

වෙරෝනා හී එක් ගිම්හාන උදෑසනක, මොන්ටේග් හා කැප්යුලේට් පරම්පරා දෙක අතර දිගු කාලින ව පැවතුණු ආරවුලක් විදී ගැටුමක් තුළදී යළි අලුත් වෙයි. රටේ කුමරෙකු විසින් එම ආරවුල සමතයකට පත් කෙරුවද, මෙම ප්‍රචණ්ඩත්වයන් නිසා මොවුන් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන බවක් ඔහු මොවුනට අනතුරු අඟවන්නට විය.

එදින රාත්‍රියේ කැප්යුලේට් පරම්පරා නිවසේ වෙස් මුහුණු සාදයක් සංවිධානය කර තිබුණි. රෝමියෝ ට ජුලියට්ව හමුවන්නේ මේ සාදයේදීය. කිසිවෙක් කිසිවෙකුට එක් වරම හඳුනා ගැන්මට නොහැකි ලෙසටය එම බාල් නැටුම සංවිධානය කර තිබුණේ. ඒ ඔවුන් සියල්ලම 'ෆැන්සි මාස්ක්' නැත්නම් විවිධ මෝස්තර වලින් නිර්මාණ වූ වෙස්මූණු දමා ගෙන සිටි නිසාය. එහෙත් රෝමියෝ ,ජුලියට් ගේ ඒ මනස්කාන්ත රූපය දුටුවේය. දුටුවා පමණක් නොව, ඔහු එයට වශී විය. දෙදෙනා එකිනෙකට විරුද්ධ වූ පරම්පරාවක දරුවන් බව ඔවුන්ට අමතක විය. නො ඒසේ නම් ඔවුහු එය අමතක කළහ. ජුලියට්ගේ නිදන කාමර බැල්කනියට යටින් ඇති මල් උයනේ ඔවුන් හුදකලා වන්නට වූවා පමණක් නොව, ඔවුන් ,ඔවුනොවුන් හා ආත්මීය ලෙස බැඳෙන්නට විය.

ශේක්ස්පියර් මෙම චරිතයන් තුළ⁣ට තවත් ප්‍රබල චරිතයක් ගෙන ආවේය. ඒ කතෝලික දේවගැති ෆ්‍රියර් ලෝරන්ස්වය.

මොන්ටේග් පවුලට අයත් රෝමියෝ හා කැප්යුලේට් පවුලට අයත් ජුලියට් ගේ ආදර කථාවට සෘජුව සම්බන්ධ වූයේ මේ දේවගැතිවරයාය. ඔවුන් දෙදෙනාව රහසිගතව විවාහ කර දුන්නේද මේ දේව ගැති වරයාය.

ජුලියට් ගේ දෙමාපියන් තම දියණියගේ රහසිගත විවාහය නොදැන, ජුලියට් ව ධනවත් කුමාරවරයෙකු වූ කවුන්ට් පැරිස් සමඟ විවාහ කර දීමට කටයුතු කරන්නට විය. ජුලියට් තම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ එම විවාහය ටික කලකට කල් දමන ලෙසටය. එහෙත් ඔවුන් ඇය කියන දෙය ඇසුවේ නැත. ජුලියට් මෙම සිදුවීම් හා තමා මුහුණපා සිටින අවදානම් තත්වය දේවගැති ෆ්‍රියර් ලෝරන්ස්ට දන්ව යවා, ඔහුගෙන් උපකාර බලාපොරොත්තු විය. දේවගැතිවරයා මෙයට උපක්‍රමයක් යෙදවිය. ඔහු ජුලියට්ට කීවේ තම දෙමාපියන්ගේ යෝජනාවට කැමති බව අඟවන්නට කියාය. ඇය ඒ අනුව තම දෙමාපියන්ට අවනත විය. ඒ නිසා ඇයගේ දෙමාපියෝ ලහි ලහියේ ඇයගේ විවාහය ඉක්මන් කළහ.

විවාහයට පෙර දින රාත්‍රියේ දී දේවගැති ලෝරන්ස් විසින් සකස් කරන ලද ඖෂධීය පානයක් ඇයට පානය කිරීමට සැලැස්විය. එයින් සිදුවන්නේ ඇය මිය යෑමය. එහෙත් එම මිය යෑම වලංගු වන්නේ පැය 72 කක් පමණි. ඉන්පසු ඇය නැගිටෙනු ඇත. ඇය දේවගැති ලෝරන්ස් කී ලෙස එම පානය බිවාය. ඇය මිය ගියාය. ඉමහත් දුකකින් ඇයගේ දෙමාපියෝ ඇයව මිහිදන් කළහ.

මේ අතර මෙම සැලැස්ම ගැන සවිස්තරව දේවගැති වරයා රෝමියෝට යැව්වේ ජෝන් නම් හිතේශියා අතේය. එහෙත් ඊට පෙර ජුලියට්ව මිහිදන් කරනවා, රෝමියෝගේ සේවකයෙක් දුටුවේය. ඔහු වහා එම සිදුවීම රෝමියෝට ගොස් කීවේය. ඒ වන විට රෝමියෝට අර ලිපිය ලැබී තිබුණේ නැත. ඔහු සිතුවේ ජුලියට්ට තමාව විවාහ කර ගැන්මට නොහැකි වූ හෙයින් ඇය වස බොන්නට ඇතැයි කියාය. ඔහු වහාම ඇය මිහිදන් කළ ලෙන ළගට ගොස් වීදුරු පෙට්ටියක දමා තිබූ ඇයගේ නිසල සිරුර දෙස බලා, මොහොතක්ව නොසිට, අතේ ගෙන ආ වහ කුප්පිය බීවේය. ටික වේලාවකින් ⁣රෝම්යෝ මිය ගියේය. ඉන් ටික වේලාවකට පසු පැය 72 සම්පූර්ණ වීමෙන් සිහි මුර්ජා වී සිටි ජුලියට් නැගිට්ටාය. ඇය, ඇය අසල සිටි මිය ගිය රෝමියෝව දුටු පසු ඔහු නොමැතිව ජීවත් වීමට නොහැකි බවක් පවසා එතැන තිබූ කිණිස්සකින් තම පපුවට ඇණ එතැනම මිය ගියාය.

එක ළඟ තිබුණු රෝමියෝ සහ ජුලියට් ගේ මිනිය දුටු මොන්ටේග් පවුලේ උදවිය හා කැප්යුලේට් ගේ පවුලට තම දරු පෙම උතුරා ගි⁣යහ. පසුව පවුල් දෙක සමාදාන වී එකට එකතු වී රෝමියෝ හා ජුලියට් නිසල සිරුර දෙක මිහිදන් කළහ.

රෝමියෝ ජුලියට් කථාව ලොව කීප වතාවක්ම චිත්‍රපට වලට නංවා ඇත. මුල්ම චිත්‍රපටය වූයේ ඇමරිකානු අධ්‍යක්ෂක වරයෙකු වූ ජේ ස්ටුවට් බ්ලැක්ටොන් ගේ නිර්මාණයකි. එය 1908 වසරේ තිරගත වූ අතර,එය දිග නමකින් හඳුන්වා දී තිබුණි. 'රෝමියෝ ඇන්ඩ් ජුලියට්, අ රොමැන්ටික් ස්ටෝරි ඔෆ් ද එන්ෂන්ට් ෆොඩ් බිට්වීන් ද ඉටලියන් හවුසස් ඔෆ් මොන්ටෙග් ඇන්ඩ් කැප්යුලේට් ' ලෙසය එය නම් කර තිබුණේ. 'රෝමියෝ ඇන්ඩ් ජුලියෙට්ටා' නමින් ඉතාලි අධ්‍යක්ෂකවරයෙකු වූ මාරියෝ කසිරිනි ඉතාලි නිෂ්පාදනයක් ලෙස තිරගත කළේද 1908 වසරේමය. 'රෝමියෝ ජුලියට්' නමින්ම ඇමරිකන් අධ්‍යක්ෂකවරයෙකු වූ බැරි ඕ නීල් ගේ චිත්‍රපටය තිරගත වූයේ 1911 දීය. නැවතත් 1912 දී 'රොමියෝ ඊ ජුලියට්ටා' නමින් තිරගත වූයේ 'උගෝ ෆැලේනා' ගේ අධ්‍යක්ෂණයෙනි. ජෝන් නෝබල් සහ ෆ්‍රැන්සිස් බුෂ්මන් එක්ව අධ්‍යක්ෂණය කළ 'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' තිරගත කළේ 1916 යේදීය. මෙම වසරේ ,එම සතියේම ගෝර්ඩන් එඩ්වඩ් විසින් 'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' නමින් තවත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර තිරගත කළේය. ඒ චිත්‍රපට යුගලම ඇමරිකානු නිෂ්පාදනයන්ය. 1936 දී ජෝර්ජ් කුකර් විසින් 'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' නමින් ඇමරිකාවේ තිර ගත කළ අතර, එය විශාල ඇස්තමේන්තුවකින් කළ චිත්‍රපටයක් ලෙස හැඳීන්වේ. 1939 දි ස්පාඤ්ඤ අධයක්ෂකවරයෙකු වූ ජෝස් මරියා කැස්ටෙල් වී ' ජුලියෙටා ර රෝමියෝ' නමින් තම චිත්‍රපටය ස්පාඤ්ඤ යේ දී ඉදිරිපත් කළේය. 1947 දී ඉන්දියානු අධ්‍යක්ෂක වරයෙකු වූ අක්තාර් හුසේන් විසින් 'රෝමියෝ ජුලියට්' නමින් චිත්‍රපටයක් නිර්මාණය කර ඉන්දියාවේ තිර ගත කළේය. 1954 දී අධ්‍යක්ෂක රෙනෙටෝ කැස්ටෙලානි 'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' ඉතාලියානු බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් ලෙස තිරගත ක⁣ළේය. 1964 දී රිකාඩෝ ෆ්‍රෙඩා විසින් අධ්‍යක්ෂණය කළ 'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' ඉතාලි/ස්පාඤ්ඤ නිශ්පාදනයක් ලෙස තිර ගත විය. 1968 දී ඉතාලි ජාතික අධ්‍යක්ෂකවරයෙකු වූ ෆ්‍රැන්කො සෙෆිරෙල්ලි ගේ 'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' චිත්‍රපටය තිරගත වූයේ බ්‍රිතාන්‍ය/ ඉතාලි චිත්‍රපටයක් ලෙසටය.

1969 දී ලාංකීක චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ ජී.ඩී.එල් පෙරේරා විසින් 'රෝමියෝ ජුලියට් කථාවක්' නමින් ලාංකික නිෂ්පාදනයක් ලෙස නිර්මාණය කර, ලංකාව තුළ තිරගත කළේය. වර්ෂ 1996 දී 'බස් ලුහුර්මාන්' විසින් අධ්‍යක්ෂණය කළ රෝමියෝ ඇන්ඩ් ජුලියට්' ඇමරිකානු නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් විය.

මෙලෙස චිත්‍රපට ගණනාවක් ම නිර්මාණය වූ 'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' රූපවාහිනි චිත්‍රපට හා කථා මාලා ලෙසද ලොව පුරා නිර්මාණය වී විකාශය විය.

ලංකාවේ 'රෝමියෝ ජුලියට් කථාවක්' චිත්‍රපටයට අමතරව, චන්ද්‍රන්රත්නම් ගේ 'ආදර කථාව' චිත්‍රපටය තේමා කර ගත්තේද 'රෝමියෝ ජුලියට්' ගේ කථාවය. එලෙසම ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කළ 'ජුලියට්ගේ භූමිකාව' චිත්‍රපටය 'රෝමියෝ ජුලියට්' කථාවෙ වෙනස් පැති කඩක් ඉදිරිපත් කළේය. හින්දි චිත්‍රපටයක් වූ අමීර් කාන්, ජූහි චව්ලා රඟපෑ 'ක්‍යාමත් සේ ක්‍යාමත් ටාක්' චිත්‍රපටයට පාදක කර ගත්තේද රෝමියෝ ජුලියටි කථාවය.

මෙලෙස, බොහෝ රටවල, වෙනත් වෙනත් භාෂා වලින් රෝමියෝ ජුලියට් කථාව චිත්‍රපටයන් හා ටෙලි චිත්‍රපටයන් නිර්මාණය වූවද, ප්‍රැන්කො සෙෆිරෙල්ලි ගේ ⁣අද මේ ලිපියට පාත්‍ර වන 'රෝමියෝ ඇන්ඩ් ජුලියට්' චිත්‍රපටය වඩාත් ආකර්ෂණීය, වඩාත් සාර්ථක, වඩාත් ආදායම් ලැබූ චිත්‍රපටය ලෙස සලකන අතර, ලොව රෝමියෝ ජුලියට් නිර්මාණ අතුරින් රෝමියෝ හා ජුලියට්ට වඩාත්ම ගැළපෙන යුවළ වූයේද මේ ප්‍රැන්කො සෙෆිරෙල්ලි විසින් ඉදිරිපත් කළ රෝමියෝ ඇන්ඩ් ජුලියට් චිත්‍රපටයේ නළු දෙපල වූ ලෙනාඩ් වයිටිං හා ඔලිවියා හුසේ ය.

 

[email protected]