හාස්‍යයට මුසු වූ ත්‍රාසය

දෙසැම්බර් 7, 2023

ඇල්ප්ස් කඳුවැටිය හරහා තරමක් වේගයෙන් ධාවනය වන මෝටර් රථයකි. එය පදවා ගියේ 'රොජර් බෙකර්මන්' නැමැත්තෙකි. එහී උමග ඇතුළට ඇතුල් වීමත් සමඟම ඇසුණු පිපීරිමක් වැනි ශබ්දයෙන්, උමගට ඇතුල්වුණු රොජර් බෙකර්මන්ටත් ඔහු පදවා ගිය වාහනයටත් සිදුවූ දෙය සිතා ගැන්මට හැකි විය. උමග තුළ බූල්ඩෝසරයක් හරස් කර රොජර් බෙකර්මන් ගිය රථය එයට හප්පා, චප්ප කර බුල්ඩෝසර⁣ය ආධාරයෙන් ම, එය අසල තිබූ ගඟට තල්ලු කර දැමුවේ ඉතාලි මාෆියා සංවිධානයට අයත් සමාජිකයන්ය. මෙලෙස ලෝ පත⁣ල මාෆියා සංවිධානය සැලසුම් කර කිසිවෙක් මරා දමන්නේ, එම මරණයට ලක් වුණු පුද්ගලයා විශේෂිතයෙකු නිසාය. එය සත්‍යයකි. රොජර් බෙකර්මාන් යනු මහපරිමානයේ හොරෙක් හා වංචාකරුවෙකි. කිසියම් විශාල රහසිගත ගනුදෙනුවකදී රොජර් බෙකාර්මන් මාෆියා සංවිධානයට වංචා කිරීම නිසා ඔවුන් ඔහුව සැලසුම් කර මරා දමන්නට ඇත.

මේ අතර 'චාර්ලි ක්‍රොකර්' නම් තවත් මහපරිමානයේ සොරෙකු, සිර භාරයේ සිට නිදහස් විය. ඔහු සිර භාරයෙන් නිදහස් වූ සැණින්ම සොයා යන්නේ ඔහුගේ පෙම්වතිය වූ '⁣ලෝර්නා' වෙතටය. ඇය සමඟ නිදහසේ විනෝද වූ ඔහු ඉන් පසු සොයා ගියේ ඔහු ගේ අතිසාර මිත්‍රයා වූ රොජර් බෙකර්මාන් ගේ නිවසටය. එහිදී ඔහුට මුණ ගැසුණේ නම් රොජර් ගේ බිරිඳවය. රොජර් බෙකර්මාන් අබිරහස් ලෙස මිය ගිය බවක් චාලි ක්‍රොකර් ට කීවේ ඇය ය. රොජර් බෙකර්මාන්ව මරා දැමුවේ ඉතාලි මාෆියා සංවිධානයේ සාමාජිකයන් බව ක්‍රොකර් පසුව සොයාගති.

චීනය විසින් මෝටර් රථ කම්හලක් ස්ථාපිත කිරීම සඳහා මුලික ගෙවීමක් ලෙස ඩොලර් මිලියන 3 ක් වටිනා රත්තරන් බිස්කට් ⁣තොගයක් ආරක්ෂක පෙළපාලියක් සමඟ ඉතාලියේ ෆියට් සමාගමට ගෙනවිත් දෙන අවස්ථාවක එය මාෆියා සංවිධානයට නොදන්වා කොල්ල කෑමට සැලසුම් කළ නිසා රොජර් බෙකර්මන්ව මරා දැමූ බව කියූ බෙකර්මන්ගේ බිරිඳ, චාර්ලි ක්‍රොකර් ගෙන් ඉල්ලා සිටියේ තම නැසී ගිය සැමියා එමෙන්ම ක්‍රොකර්ගේ හොඳම මිතුරාගේ ඒ සැලැස්මට අනුව ක්‍රියා කරන ලෙසටය.

චාර්ලි ක්‍රොකර් කෙළින්ම ගියේ 'බ්‍රිජර්' ව හමුවීමටය. බ්‍රිජර් යනු බ්‍රිතාන්‍ය ජාතිකවාදි අපරාධ අධිපතියාය. ක්‍රොකර් ඔහුගෙන් සහය ඉල්ලීය. සොරකමේ ඉලක්කය ගැන දැනගත් වහාම ඔහු ක්‍රොකර්ට සහය දීමට කැමති විය. බ්‍රිජර්ගේ දකුණු අත වූයේ 'කෑම්ප් ෆ්‍රෙඩි' ය. බ්‍රිජර්ගේ සහය ඇතිව ක්‍රොකර් බ්‍රිජර් ගේ සංවිධානයේ සිටි පරිගණක විශේෂඥ මහාචාර්ය පීච්, හා ලෝර්නා ඇතුළු විශේෂඥයින් කණ්ඩායමක් මෙම මෙහෙයුමට බඳවා ගතී.

ක්‍රොකර් සහ ඔහුගේ කණ්ඩායම ව්‍යාජ අවමංගල්‍ය උත්සවයකට, බ්‍රිජර් විසින් කැඳවනු ලබන අතර, එහිදීය ක්‍රොකර් ඔවුන්ට දන්වන්නේ මාෆියාව රොජර් බ්‍රෙකර් ව මරා දමා ඇති බව. ක්‍රොකර්, බ්‍රිජර් විසින් දුන් කැම්ප් ෆ්‍රෙඩ්, ලොර්නා, හා මහචාර්ය පීච් ඇතුළු විශේෂඥ කණ්ඩායම ව චීනයේ සිට ඉතාලියේ ෆියට් සමාගම වෙත එවන රත්තරන් බිස්කට් තොගය සූක්ෂම ලෙස, සැලසුම් සහගතව, කොල්ලකෑමට යොදවන්නට විය. ඔහු ඔවුන්ට අවධාරණයෙන්ම කියා සිටියේ ඉතාලි මාෆියා සංවිධානයේ සාමාජිකයන් මෙයට ඇස ගසා ගෙන සිටින බවත්, රොජර් බෙකර්මාන්ව මරා දැමු ඔවුන්ට මෙම කණ්ඩායම වුවද මරා දැමීම පහසු දෙයක් බවය. එහෙයින් වඩ වඩාත් පරිස්සම් විය යුතු බවත්, ඒ කෙසේ වෙතත්, රත්තරන් බිස්කට් තොගය නැතිව නැවත නොඑන ලෙසටත් ක්‍රොකර් ඔවුනට උපදෙස් දුනී.

ඉතාලිය බලා පිටත්ව ගිය පසු ක්‍රොකර් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය ටියුරින් රථ වාහන පාලන මධ්‍යස්ථාන වෙත යන අතර මගදී සැකයක් ඇති නොවන පරිදි අනෙක් අයගෙන් වෙන් විය. කෙසේ වෙතත් අල්තාබිගේ ප්‍රධානත්වයෙන් යුක්ත වූ කුඩා කණ්ඩායම ඇල්ප්ස් කඳුකරය හරහා යන විට, ඔවුන් එනතෙක් බලා සිටින මාෆියා සංචිධානයේ සාමාජිකයන්ව මුණ ගැසේ.

ක්‍රොකර්ගේ කාර්ය මණ්ඩලය එදින රාත්‍රියේ ටියුරින් රථවාහන පාලන මධ්‍යස්ථානයට රිංගා ගන්නා අතර, එහිදී පීච් විසින් පරිගණකයේ චුම්බක පටි දත්ත ගබඩා රීලයක් වෙනුවට, ටියුරින්ගේ රථවාහන පාලන පද්ධිතිය කඩා කප්පල් කිරීම සඳහා නිර්මාණය කරන ලද අනුපිටපතක් කොල්ලකෑම සිදු කරයි. ඊළඟ දවසේ කාර්ය මණ්ඩලය පැමිණ රත්‍රන් කොල්ලයට සුදානම් වන විට, ක්‍රෝකර් ලෝර්නාව ජිනීවා වෙත යවයි. ඒ ඇය සහ සැලැස්ම ආරක්ෂා කිරීමටය. ඒ අතරම පීච් කාර්ය මණ්ඩලයෙන් පලා යන අතර පසුව ට්‍රෑම් රථයකදී, කාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් ඔහුව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබේ.

1969 වර්ෂයේ ඇමරිකාවේ පැරමවුන්ට් සමාගම විසින් ලොව වටා බෙදා හරින ලද, බ්‍රිතාන්‍ය අධ්‍යක්ෂක වරයෙකු වූ 'මයිකල් ඩිලී' විසින් 'ඕක්හර්ස්ට් නිෂ්පාදන සමාගම' වෙනුවෙන් නිෂ්පාදනය කළ 'ද ඉටැලියන් ජොබ්' නම් චිත්‍රපටය ආරම්භ වූයේ ඒ අයුරෙනි.

මයිකල් ඩිලී සිනමාවට පැමිණියේ 1955 දීය. ඒ රූපවාහිනි කථාමාලාවක් වූ 'ද ඇඩ්වෙන්චර් ඔෆ් රොබින් හුඩ්' හී සංස්කරණ ශිල්පියා ලෙසටය. 1956 වසරේ ඔහු චිත්‍රපට නිෂ්පාදනයට ඇතුලත් විය. ඒ 'ද කේස් ඔෆ් ද මකිනීස් බැටල් හෝර්න් ' නම් වූ කෙටි චිත්‍රපටයකිනි. ඔහු වෘත්තාන්ත චිත්‍රපටයක් නිෂ්පාදනය කළේ 1957 වර්ෂයේය. ඒ බ්‍රිතාන්‍ය අපරාධ ගණයේ චිත්‍රපටයක් ලෙස තිරයට ආ 'ඇට් ද ස්ට්‍රෝක් ඔෆ් නයින්' ය.

'ද ඉටැලියන් ජොබ්' චිත්‍රපටය ට ඔහු ආයෝජනය කළේ ඇමරිකානු ඩොලර් මිලියන 3 ක් ය එය ආදායම් අතින් සාර්ථක වූ පසු ඔහු තව තවත් විශිෂ්ට චිත්‍රපට කීපයක්ම නිෂ්පාදනය කළේය. පීටර් ඕ ටූල් රඟපෑ 'මර්පීස් වෝ',(1971)

මයිකල් යෝක්, රිචඩ් ඇටෙන්බොරෝග්, ක්‍රිස්ටෝපර් ප්ලමර්, ස්ටෙසි කේච්, ට්‍රෙවෝ හොවාර්ඩ්, සහ සුසානා යෝර්ක් රඟපෑ 'කන්ඩක්ට් අන්බිකමින්ග්' (1975), ඩේවිඩ් බෝවි රඟපෑ 'ද මෑන් හූ ෆෙල් ටූ අර්ත්'(1976), ක්‍රිස් ක්‍රිස්ටෝෆර්සන්, ඇලි මැක්ග්‍රෝ, අර්නස්ට් බොග්නින් රඟපෑ 'කොන්වෝයි'(1978), රොබට් ඩි නීරෝ, මෙරිල් ස්ට්‍රීප් රඟපෑ 'ද ඩියර් හන්ටර් (1978), හැරිසන් ෆෝඩ් රඟපෑ 'බ්ලේඩ් රනර්'(1982), එම චිත්‍රපටයන්ය. මේවා සියල්ලම එකල ශ්‍රී ලංකාවේද තිර ගත කර, ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.

මයිකල් ඩිලි 'ද ඉටැලියන් ජොබ්' චිත්‍රපටයේ තිර කථාව ලිවීමට භාර කළේ චිත්‍රපට හා රූපවාහිනි තිර රචකයකු වූ 'ට්‍රෝයි කෙනඩි මාර්ටින්' ටය. ඔහු ස්කොටිශ් ජාතිකයකු විය. ඔහුගේ මුල්ම චිත්‍රපට තිර රචනය වූයේ 'ද ඉටැලියන් ජොබ්' ය. ඔහු 'කෙලීස් හීරෝස්',(1970), 'ද ජෙරුසලම් ෆයිල්' (1972), 'ස්විනි 2'(1978), 'රෙඩ් හීට්' (1988), 'රෙඩ් ඩස්ට් (2004),සහ 'ෆෙරාරි' (2023) යන චිත්‍රපටවල තිර නාටකය ලිවීය. මෙයින් ⁣'ෆෙරාරි' මෑත යුගයේ ජනප්‍රිය වූ චිත්‍රපටයක් විය. එය ඇමරිකානු ඩොලර් මිලියන 95 ක ඇස්තමේන්තුවකින් නිර්මාණය වූ චිත්‍රපටයක් විය.

එංගලන්තයේ ඉපදී, ඇමරිකාවේ පදිංචි වී, ඉතාම අඩු වයසෙන් එනම් අවුරුදු 44 කින් මිය ගිය 'පීටර් කොලින්සන්' 'ද ඉටැලියන් ජොබ්' චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා විය. 1967 වසරේ තිරගත කළ 'ද පෙන්ත්හවුස්' නම් වූ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් බ්‍රිතාන්‍ය සිනමාවට එකතු වූ පීටර් කොලින්ස් 'අප් ද ජන්ෂන්', (1968), 'ද ලෝංග් ඩේස් ඩයින්' (1968) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කර පසුවය ඔහුට 'ද ඉටැලියන් ජොබ්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට ලැබුණේ.

'ද ඉටැලියන් ජොබ්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ 'චාර්ලි ක්‍රොකර්' ට පණ දුන්නේ බ්‍රිතාන්‍ය නළුවෙකු වූ 'මයිකල් කේන්' ය. 1933 මාර්තු 14 වන දින, එංගලන්තයේ ලන්ඩන් නගරයට අයත් 'රොතර්හිතේ' නම් වූ ප්‍රදේශයේ ඉපදුණු මයිකල් කේන් ගේ මුල් නාමය වූයේ 'මොරිස් ජෝසප් මයිකල් වයිට්' ය. ඔහු මුලින්ම රඟපා ඇත්තේ 1964 වර්ෂයේ තිරගත කළ 'සුඛලූ' චිත්‍රපටයේය. එහී ස්ටැන්ලි බාර්කර්, ජැක් හෝකින්ස්, හා ජේම්ස් බූත් සමඟ රඟපා ඇත. ඉන්පසු 'ද ඉප්ක්‍රේස් ෆයිල්' (1965), 'ඇල්ෆි' (1966), 'ගැම්බිට් (1966), හා 'ප්ලේ ඩර්ටි (1968), වැනි චිත්‍රපට වල රඟපා ඇත. 'ද ඉටැලියන් ජොබ්' ඔහුට රඟපෑමට ලැබුණේ ඉන් පසුවය. පසු කලෙක ඔහු රඟපෑ 'ගෙට් කාර්ටර්' (1971), 'ස්ලෙත්' (1972), 'ද ඊගල්ස් හැස් ලෑන්ඩඩ්' (1976), 'අ බ්‍රිජ් ටූ ෆාර්'(1977), 'ද ස්වෑම්'(1978) 'අසාන්ති (1979), 'ඩ්‍රස් ටු කිල්-(1980), වැනි චිත්‍රපට ඉමහත් සේ ජනප්‍රිය වූ අතර, ඒ සියල්ලම ලංකාවේද ප්‍රදර්ශනයවී තිබුණි.

මයිකල් කේන් 6 වරක් හොඳම නළුවා ලෙස ඇමරිකන් ඇකඩමි සම්මාන උලෙළ නිර්දේශ වී තිබුණි. එලෙසම ඔහු දෙවරක් ඇකඩමි සම්මානයට හිමිකම් කීවේය. ඒ 1986 දී තිරගත කළ 'හනා ඇන්ඩ් හර් සිස්ටර්ස්' හා 1999 දී තිරගත වූ 'ද සයිඩර් හවුස් රූල්ස්' යන චිත්‍රපටවල රඟපෑම වෙනුවෙනි. එහෙත් ඒ දෙකම ලැබුණේ හොඳම සහය නළුවාට හිමි සම්මානයන්ය. මේ වන විට ඔහු 90 වියේ පසුවුණද, තවමත් සක්‍රීයව, සිනමා රංගනයේ නිරත වේ. 2023 වර්ෂයේ සැප්තැම්බර් මස තිරගත කිරීම ආරම්භ කළ, 'ද ග්‍රේට් එස්කේපර්' ඔහුගේ නවතම චිත්‍රපටය වේ. එහී ඔහු ප්‍රධාන චරිතය රඟපාන අතර, ඔහුගේ සහය නිළිය වනුයේ හැත්තෑ දශකයේ දක්ෂ නිළියක් වූ 'ග්ලෙන්ඩා ජැක්සන්' ය. මේ චිත්‍රපටය තමාගේ අවසන් චිත්‍රපටය බවත් මෙතනින් පසු ඔහු රඟපෑමෙන් විශ්‍රාම යන බවත් මයිකල් කේන් ප්‍රසිද්ධව ප්‍රකාශ කළේය. ඔහු 1964 සිට 2023 වසර දක්වා එනම් වසර 49 ක් අත⁣ර චිත්‍රපට 130 ක පමණ රඟපා තිබුණි. වර්ෂ 2000 දී එලිසබත් රැජින විසින් බකිංහැම් පැලස් හී මයිකල් කේන්ට නයිට් නාමයකින් ගරු බුහුමන් දැක්වූයේ ඔහු බ්‍රිතාන්‍ය හා ඇමරිකානු සිනමාවට රඟපෑමෙන් කළ සේවය අගය කරමිනි. එතැන් සිට ඔහු 'සර් මයිකල් කේන්' ලෙස හැඳීන් විය.

'ද ඉටැලියන් ජොබ්' කථාව ඉදිරියට ගලා ගියේ මෙසේය. ක්‍රොකර්ගේ අරමුණ වූ රත්තරන් බිස්කට් ගැනීමේ සැලසුම යුහු යුහුළුව ක්‍රියාත්මක වන්නට විය. මිනි කූපර් රථ තුනක ආධාරයෙන් එම රත්තරන් බිස්කට් කොල්ල කා, එම මිනි කූපර් රථ තුන ට්‍රක් එකක් තුලට නංවා ගැනීම ඔහුගේ සැලසුමේ එක් අංගයකි. නගරයේ සංවෘත පරිපථ රූපවාහිනි රථ වාහන නිරීක්ෂණ කැමරා කඩා කප්පල් කිරීම ඔවුනගේ සැලසුමේ අංගයකි. එයින් ටියුරින් රථ වාහන පද්ධතිය අක්‍රිය වන අතර, එතැනින් පසු ඇතිවන්නේ විශාල වාහන තද බදයකි. රථවාහන තද බදය නිසා, රත්තරන් බිස්කට් ගෙන යන රථවලට ඉදිරියට යෑමට නොහැකි වී එතැනම බොහෝ වේලාවක් නතර කිරීමට සිදුවිය. ක්‍රොකර්ගේ කාර්ය මණ්ඩලය එම රථ පෙළට පිටතින් සැඟවී සිටියහ.

උපක්‍රමයකින් ඔවුන් එම රත්තරන් බිස්කට් සූක්ෂම ලෙස සොරා ගෙන, මිනි කූපර් 3 න ට පැටවිය. ඉන්පසු ඔවුහු පොලිසිය අබිබවා ගියහ. චිත්‍රපටයේ අපූරුම දර්ශනය එම මිනි කූපර් තුන රත්තරන් බිස්කට් පටවා ගෙන යන දර්ශනය ය. ඉන් පසු එය ට්‍රක් රථයට නංවා ගන්නා ආකාරය ය. කෙසේ හෝ ඔවුන් මිනිකූපර් තුළින් ගෙන ආ රත්තරන් බිස්කට් බස් රථයකට පටවා ගෙන ඉතිරි කාර්ය මණ්ඩලයත් සමඟ දිගු වංගු සහිත කඳුකර මාර්ගයකින් පිටත් වේ. බස් රථය එක් වරම පාලනයෙන් ඉවත් වී ගල් පරයකටත්, විශාල ප්‍රපාතයක අතර එල්ලෙයි. සියල්ලෝටම තමන් බේරා ගැනීමටත්, රත්‍තරන් බේරා ගැනීමට උවමනා වී ඔවුන් ක්‍රොකර් දෙස බලයි. ක්‍රොකර් මොහොතක් කල්පනා කර, 'විනාඩියක් ඉන්න මට හොඳ අදහසක් තිබෙනවා' යයි කියයි. චිත්‍රපටයට, නිසි අවසානයක් නොදී, තව කොටසකට ඉඩ තබමින් එතැනින් නිම වේ.

මයිකල් කේන්ට අමතරව ,නොයෙල් කොවාඩ් ( මිස්ටර් බ්‍රිජර්), බෙනි හිල් (ප්‍රොෆෙසර් සයිමන්), මාර්ග්‍රට් බ්ලයි(ලෝර්නා), රැෆ් වැලෝන් (ඇල්ටබානි), ඩෙරික් වරේ (රොසර්), ටෝනි බෙක්ලී (ෆ්‍රෙඩි) යන නළු නිළියන් 'ද ඉටැලියන් ජොබ හී රඟපෑහ.

2003 වසරේදි මෙය නැවත ප්‍රතිනිර්මාණය විය. මුල් චිත්‍රපටය තරමක් විකට ස්වරූපයකට ගත්තද, අලුත් ඉටැලියන් ජොබ් චිත්‍රපටය අයත් වූයේ ක්‍රියාදාම හා අපරාධ ශානරයටය. මුල් චිත්‍රපටය බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක් වූ අතර, නව චිත්‍රපටය ඇමරිකානු නිෂ්පාදනයක් විය. ගැරි ග්‍රේ විසින් අධ්‍යක්ෂණය කළ 2003 'ද ඉටැලියන් ජොබ්' චිත්‍රපටයේ මාර්ක් වෝල්බර්ග් , චාලි ක්‍රොකර් ගේ චරිතය⁣ට පණ පෙවීය. ක්‍රියාදාම නළුවෙකු වූ ජේසන් ස්ටැතම් සමඟ චාර්ලිස් තෙරොන්, එඩ්වඩ් නෝර්ටන්, ඩොනල්ඩ් සදර්ලෑන්ඩ්, සෙත් ග්‍රීන්, මොස් ඩෙෆ්, ෆ්‍රැන්කි ජී, ඇලෙක්සැන්ඩර් ක්රූපා, ප්‍රධාන චරිතවලට පණ පෙ⁣වීය. මේ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 60 ක ඇස්තිමේන්තු වකට නිර්මාණය වූ අතර, එහී බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 176.1 විය. මෙය මුල් චිත්‍රපටය අනුසාරයෙන් නිර්මාණය වූ බවක් කීවද, මෙහි යුගයට අවශ්‍ය අන්දමට වෙනස්කම් රාශියන් සිදු කර තිබූ අතර, එහිදී, ත්‍රාසය හා ක්‍රියාදාමය තිව්ර කර තිබුණි.

2012 වසරේදී මෙය හින්දි චිත්‍රපටයකටද පරිවර්තනය විය. එය නම් කර තිබුණේ 'ප්ලේයර්ස්' නමිනි. මෙය ට්‍රෝයි කෙනඩි මාර්ටින් ලියූ කථාවම හා පීටර් කොලින්ස් විසින් අධ්‍යක්ෂණය කෙරූ 'ද ඉටැලියන් ජොබ්' ආශ්‍රිතවම නිර්මාණය වූවකි. 'කිලාඩි', 'බසිගර්', 'ඩරාර්', 'සෝල්ජර්', 'බාඩ්ෂා', ''චෝරි චෝරි චුප්කෙ චුප්කේ', 'අජ්නබි', 'හම්රාස්', '36 චයිනා ටවුන්', 'නාකුවාබ්', 'රේස්' වැනි ක්‍රියාදාම හින්දි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අබාස්-මස්තාන් යුගල මෙම 'ප්ලේයර්ස්' චිත්‍රපටය නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළහ. ඔවුන් බොහෝ විට අනුගමනය කළේ 2003 නිර්මාණය වූ 'ද ඉටැලියන් ජොබ්' චිත්‍රපටය ය. එහී එන මුඛ්‍ය චරිතය වූ චාර්ලි ක්‍රොකර් ව මොවුන් අනුගමනය කළේ මයිකල් කේන් රඟපෑ චරිතය නොව, මාර්ක් වෝල්බර්ග් රඟපෑ චරිතයයි.

අභිෂේක් බච්චන්, එම චරිතය රඟපෑවේ චාර්ලි මැස්ක්‍රෙන්හාස් නමිනි. බොබි ඩියෝල්, විනෝද් ඛන්නා, සෝනම් කපූර්, බිපාෂා බාසු, නිතින් මුකේෂ්, මෙහි ප්‍රධාන චරිත රඟපෑහ. එය ඉන්දියාව තුළත්, අනෙක් රටවලත් සාර්ථකත්වයක් ලැබූ චිත්‍රපටයක් නොවීය.

1965 නිර්මාණය වූ 'ද ඉටැලියන් ජොබ්' ලංකා ප්‍රදර්ශනයේදී අතිශයින්ම ජනප්‍රිය වූ චිත්‍රපටයකි. විශේෂයෙන්ම එහි ආ රතු පාට, නිල් පාට හා සුදු පාට මිනි කූපර් රථ 3 ධාවනයේදීත්, එය පසු පස ලුහුබඳීන පොලිස් නිලධාරින්ගේ බයිසිකල් හා වාහන වලට සිදුවන හාස්‍යජනක සිදුවීම් හා ඔවුන්ට වන අකරතැබි නිසා ප්‍රේක්ෂයන් ඉමහත් ලෙස විනෝද විය. එලෙසම එම මිනිකූපර් රථ තුන ⁣ට්‍රක් රථයකට නංවන ආකාරයද ත්‍රාසජනක මෙන්, විනෝද ජනක විය.එම චිත්‍රපටය වඩාත්ම ජනප්‍රිය වන්නට වූයේ ඒ හෙයිනි.

 

[email protected]