සයදෙනාගේ කල්ලියේ වික්‍රම

KILL THEM ALL and COME BACK ALONE
පෙබරවාරි 1, 2024

අප්‍රමාණ බටහිර ගොපලු චිත්‍රපට, නොඑසේ නම් 'ස්පැගෙති වෙස්ටන්' චිත්‍රපට රාශියක් මා නරඹා තිබුණද, අදටත් මගේ මතකය තුළ රැව් දෙන ගොපලු චිත්‍රපටයක් වේ නම්, නොඑසේ නම් මගේ හොඳම 'ස්පැගෙති වෙස්ටන්' චිත්‍රපටය කුමක්ද කියා ඇසුවොත්, මට දෙවරක් නොසිතාම කියවෙන්නේ 'කිල් දෙම් ඕල් ඇන්ඩ් කම් බෑක් අලෝන්:' චිත්‍රපටය කියාය. එය සර්ජියෝ ලියෝන් ගේ ඩොලර් කථා මාලාවන්ට වඩා හොඳ ඇක්ෂන් වර්ගයේ චිත්‍රපටයක් විය. සර්ජියෝගේ 'ස්පැගෙති' වල රසය, දැනෙන්නට, රස කර කර කන්නට ඕනෑය. එහෙත් 'කිල් දෙම්....' 'ස්පැගති' වල කටට වැටුණු ගමන්ම රසය දැනේ.

සර්ජියෝ ලියෝන් ගේ ගොපලු චිත්‍රපට වල තිබූ 'ක්ලැසිකල්' බව නොඑසේ නම් මන්ද ගාමි බව 'කිල් දෙම්...' හී තිබුණේම නැත. සර්ජියෝ ගේ '⁣ෆිස්ටිෆුල් ඔෆ් ඩොලර්ස්', 'ෆො අර් ෆිව් ඩොලර්ස් මෝ', 'ද ගුඩ්, ද බෑඩ් ඇන් ද අග්ලි', 'වන්ස් අපෝන් අ ටයිම් ඉන් ද වෙස්ට්' වැනි චිත්‍රපටවල තිබුණු උසස් බව හා සාපේක්ෂව 'කිල් දෙම්....', නොමැති වුවද, එම චිත්‍රපටවලට වඩා ක්‍රියාදාම පැති, වේගවත් විය. හැම රූප රාමුවක්ම ජවසම්පන්න විය.

'එඩ්මෝඩො අමාටි' ඉතාලි ජාතික සිනමා නිෂ්පාදකයෙකි. ඔහු ඉතාලියේ දැවැන්ත චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. 1964 සිට 1984 යන අවුරුදු 20 තුළ ඔහු චිත්‍රපට 55 ක් නිෂ්පාදනය කර තිබුණි. 1964 තිර ගත කළ 'ටූ මාෆියාමෙන් ඉන් ද ෆා වෙස්ට්' ඔහුගේ මුල්ම චිත්‍රපට නිෂ්පාදනය විය. ඔහුගේ 'ෆෝර්ට් යුමා ගෝල්ඩ්' චිත්‍රපටය ලංකාවේද ප්‍රදර්ශනය කළ අතර, එය මෙහී අතීශයින්ම ජනප්‍රිය විය. ජුලියානො ජෙම්මා ප්‍රධාන චරිතය රඟපෑ මෙම චිත්‍රපටය වෙන රටවල ප්‍රදර්ශනය කළේ 'ෆොර් අ ෆිව් එක්ස්ට්‍රා ඩොලර්' නමිනි. ඔහුගේ,' ඩර්ටි හීරෝස්' චිත්‍රපටය ද ජනප්‍රිය වූ චිත්‍රපටයක් වූ අතර, එහී ප්‍රධාන චරිතය රඟපෑවේ චෙකොස්ලොවැකියා නළුවකු වූ 'ෆෙඩ්‍රික් ස්ටැෆඩ් ය.

'අමාසාලි ටුටී ඊ ටොර්නා සෝලෝ' යන ඉතාලි නමින් 1968 දී ඔහු නිෂ්පාදනය කරන්නට ගිය චිත්‍රපටය ය, 'කිල් දෙම් ඕල් ඇන්ඩ් කම් බෑක් අලෝන්' නමින් ලොව වටා ප්‍රදර්ශනය වූයේ. ඔහු මෙය අධ්‍යක්ෂණය කිරීමට භාර කළේ 'එන්සෝ ජී කස්ටෙලාරී' ටය.

'එන්සෝ', 1938 ජුලි මාසයේ 29 වන දින ඉතාලියේ රෝමයේ ඉපදුණු අතර, ඔහුගේ වෘත්තිය ලෙස හඳුන්වන්නේ ඉතාලි චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු, තිර රචකයකු හා නළුවකු ලෙසටය. ඔහු ගේ පියා මරිනෝ ජිරෝලාමි, බොක්සිං ක්‍රීඩකයකු වූ අතර, පසු ව ඔහු චිත්‍රපට නිර්මාණකරුවකු විය. ඔහුගේ මාමා වූ රොමොලා ගුරිඑරි ද සිනමාකරුවකු වූ අතර, එන්සෝ ගේ සහෝදරයා එන්නියෝ ජිරෝලාමි නළුවෙකු විය. එන්සෝද මුලින් තම පියා මෙන් බොක්සිං ක්‍රීඩකයකු වූ අතර, ඔහු නිවාස සැලසුම් අංශයෙන් උපාධිධාරියෙකු විය. ඔහු සිනමා අධ්‍යක්ෂකයකු ලෙස ඉතාලි සිනමාවට පැමිණියේ වර්ෂ 1966 දීය. ඒ 'රෙනිගේඩ් රයිඩර්ස්' නම්වූ චිත්‍රපටයකිනි. එම චිත්‍රපටයේ ඔහු තිර රචකයාද, අධ්‍යක්ෂකවරයාද, නිෂ්පාදකවරයාද ඔහු විය. ඉන්පසු ඔහු 1967 වර්ෂයේදී 'ඇනි ගන් කැන් ප්ලේ' , චිත්‍රපටයද, 1968 දී 'වන් ඩොලර් ටූ මෙනි', හා, ජොනි හැම්ලට්' චිත්‍රපටද, අධ්‍යක්ෂණය කළේය. 'කිල් දෙම් ඕල් ඇන්ඩ් කම් බෑක් අලෝන්' ඔහු අධ්‍යක්ෂණය කළ 5 වන චිත්‍රපටය ය. මෙහි තිර රචනය⁣ටද ඔහු සම්බන්ධ වූ අතර, මෙම තිර රචනය ඔහු ඇතුළු 5 දෙනෙක්ම ලියා තිබුණි. ඒ සියල්ලෝම ඉතාලි ජාතිකයන් වූ අතර, ඔවුන් නම්, ටිටෝ කැප්රි, ෆ්‍රැන්සෙස්කෝ ස්කාඩමග්ලියා, ජෝකුවින් රොමෙරෝ, හෙරනාඩේස්, හා අධ්‍යක්ෂක එන්සියෝ කස්ටෙලාරි විය.

'කිල් දෙම් ...' චිත්‍රපටයේ සංගීතය 'ෆ්‍රැන්සෙස්කෝ ඩී මාසි' ගෙනි. ඔහුගේ සංගීතයද, සර්ජියෝ ලියෝන් ගේ ඩොලර් චිත්‍රපට වල සංගීතය සැපයූ එන්නියෝ මොරිකෝන් ට නොදෙවෙනි විය. චිත්‍රපටය බෙදාහැරීමට එහී ඉතාලියනු චිත්‍රපට නිෂ්පාදන සමාගම වූ ෆිඩා සිනමාටෝග්‍රැෆිකාට අමතරව ඇමරිකානු ප්‍රබල බෙදාහැරීමේ සමාගම වූ මෙට්රො ගෝල්ඩ්වින් මේයර්' සමාගම ද එකතු විය. චිත්‍රපටය ඉතාලි හා ඉංග්‍රිසි භාෂාවන්ගෙන් ඉදිරිපත් කිරීමට තීරණය විය.

චිත්‍රපට⁣ය ගලා ගියේ ප්‍රධාන චරිත 6 ක් වටාය. එයිනුත් ප්‍රධාන චරිතය වූයේ ක්ලයිඩ් මැකේ ය. ක්ලයිඩ් මෙම 6 දෙනාගේ කල්ලියේ නායකයා වූ අතර, අනෙක් 5 දෙනා වූයේ 'හෝගී', 'ඩෙකර්', 'බ්ලේඩ්', 'කිඩ්', සහ 'බොගාඩ්' ය.

මුළු චිත්‍රපටය පුරාවටම, ක්‍රියාදාමයන් ඉදිරි පත් කරනුයේ මොවුන් හය දෙනාය. මේ ක්ලයිඩ් ගේ කණ්ඩායමය. ක්ලයිඩ් භාර ගන්නා හැම මෙහෙයුමක්ම අකුරටම ඉෂ්ඨ කරන්නේ මොවුන්ය. මොවුන් හය දෙනා අතර තිබුණේ විවිධ හැකියාවන්ය, අයෙක් තුවක්කුවට ශුරය, ඒ ඩෙකර්ය. බ්ලේඩ්, පිහිවලින් දස්කම් පෙන්වයි. කිඩ්, ඕනෑම තැනකින්, එල්ලී හෝ පැන ප්‍රතිවාදීන්ට මුහුණු දෙන්නේ වඳුරු පැටියෙක් මෙනි. බොගාඩ්,ට තිබුණේ විශාල ප්‍රමාණයේ සිරුරකි. ඔහු තම හැකියාව පෙන්වන්නේ එම සිරුරේ ශක්තියෙනි. ⁣භෝගි, තම අතට අහුවන ඕනැම දෙයකින් නිසි එල්ලයට දමා ගසන්නට දක්ෂය. ඔහු වේගවත්ය. මොවුනට විරුද්ධවාදින්ව මරනවා කියන එක, සෙල්ලමක් මෙනි. මේ පස්දෙනාව පාලනය කරනුයේ ක්ලයිඩ්ය. ක්ලයිඩ් යනු හැම අංශයක්ම හොඳට ප්‍රගුණ කර ගත් කපටි ඥානයක් තිබෙන පුද්ගලයකි. මෙහෙයුම් භාර ගන්නේ ඔහුය. මෙතෙක් ඔහු තම කණ්ඩායම සමඟ කළ හැම මෙහෙයුමක්ම කණ්ඩායම අත⁣රේ සම සමව බෙදු⁣ හෙයින් ඔවුන් අතරේ කිසිදු ප්‍රශ්නයක් නො⁣වීය.

ඒ ඇමරිකානු සිවිල් යුද්ධය පවතින කාල වකවානුවය. මෙවර ඔවුන්ගේ මෙහෙයුම සිදු කළ යුතු වූයේ මේ යුද්ධ සමයේදීමය. ක්ලයිඩ් මැකේට සම්බන්ධ වීමට සිදුවූයේ කපිතාන් ලින්ච්ගේ මෙහෙයුමකටය. ඒ 'යුනියන් වෙස්ටන්' හමුදා කඳවුරේ රහස් ගබඩාවක සඟවා තිබෙන රත්තරන් පෙට්ටි රැගෙන ඒමටය. එය පහසු කාර්යක් නොවන්නේ,

එම හමුදා කඳවුර පුරාවටම 100යකට අධික හමුදා සෙබළුන් පමණක් මුරට සිටින නිසාය. මේ සීයකට අධික හමුදා සෙබළුනුත්, තව කඳවුරේ ඇතුළේ සිටින අයත්, පාලනය කල යුත්තේ මේ 6 දෙනාගේ කණ්ඩායමය. එය පහසු මෙහෙයුමක් නොව. හොඳට සැලසුම් කර මෙම කඳවුර ආක්‍රමණය කළ යුතු ය.

හෝගී, ඩෙකර්, බ්ලේඩ්, කිඩ්, හා බොගාඩ් යන 5 දෙනාගේ තිබූ විශේෂත්වය, ඔවුන්ට ක්ලයිඩ් මැකේ අණ දෙන තෙක් හෝ කළ යුතු ආකාරය ගැන කියා දෙන තෙක් සිටිය යුතු නොවේ. මෙම මෙහෙයුම කුමක්ද කියා දැනගත් පසු ඔවුන් පස් දෙනා, ඔවුනොවුන් ගේ තනි සැලැස්මන් අනුව ක්‍රියා කරන්නට විය. ක්ලයිඩ් මොවුන්ට කැමති ඒ නිසාමය. එක එක්කෙනාගේ සහජ හැකියාවන් අනුව ඔවුන් සෙබළුන් දාහක් හෝ සූක්ෂම ලෙස මෙල්ල කරන බව ඔහු දනී. මෙම හමුදා කඳවුරේ සිටින සියල්ලෝම මරා හෝ මොවුන් අවශ්‍ය රත්තරන් පෙට්ටි ටික ගන්නා බව ක්ලයිඩ්ට ඉර සඳ මෙන් විශ්වාසය.

'කිල් දෙම් ඕල් ඇන්ඩ් කම් බෑක් අලෝන් ' චිත්‍රපටයේ ප්‍රධානතම චරිතය වූ ක්ලයිඩ් මැකේ ගේ චරිතය රඟපෑවේ ඇමරිකානු නළු වකු වූ 'චක් කෝනර්ස්'ය. චක් ගෙ මුල් නම 'කෙවින් ජෝශප් ඇලෝසියස් කෝනර්ස්'ය . 1921 අප්‍රේල් 10 වන දින නිව්යෝක් නගරයේ, බෘක්ලන් හී ඉපදුණු ඔහු ඇමරිකානු සිනමාවට පැමිණියේ 1952 තිරගත කළ 'පැට් ඇන්ඩ් මයික්' චිත්‍රපටයෙනි. ඔහු එහී රඟපෑවේ පොලිස් කැප්ටන් කෙනෙකුගේ චරිතයකි. 'චක් කෝනර්ස්' නමින් සිනමාවට පැමිණි ඔහුට, ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වූ 'පැට් ඇන්ඩ් මයික්' හී රඟපාන්නට ලැබුණේ එකල දැවැන්ත ඇමරිකානු නළු නිළියන් වූ 'ස්පෙන්සර් ට්‍රේසි, කැත්රින් හෙප්බර්න්, චාර්ල්ස් බුචින්ස්කි (පසුව ඔහු චාර්ල්ස් බ්‍රොන්සන් විය). සමගය. 1953 දී චක් කෝනර්ස් ට, ප්‍රකට නළු බර්ට් ලැන්කැස්ටර් සමඟ 'සවුත් සී වුමන්' චිත්‍රපටයේ රඟපාන්නට ලැබුණි. එලෙසම 'ට්‍රබල් අලෝන්ග් ද වේ', චිත්‍රපටයේ ජෝන් වේන් සමඟ ඔහු රඟපෑවේය. ඔහු 1952 සිට 2001 දක්වා චිත්‍රපට 62 ක පමණ රඟපා ඇති අතර, අද ලිපියට අයත් වන 'කිල් දෙම් ඕල් ඇන්ඩ් කම් බෑක් අලෝන්' චිත්‍රපටය ඔහුගේ 26 වෙනි චිත්‍රපටය විය. 'කිල් දෙම්...' චිත්‍රපටයට අමතරව, ලංකාවේ ඔහුගේ චිත්‍රපට කීපයක්ම තිරගත වී තිබුණි. 'කැප්ටන් නිමෝ ඇන්ඩ් ද අන්ඩර් වෝටර් සිටි'(1969). 'ද ඩෙසටර්' (1971) ' සපෝට් යුවර් ලෝකල් ගන්ෆයිටර්' (1971), ' පන්චෝ විලා' (1972), වැනි චිත්‍රපට ඒ අතරේ විය. එහෙත් ඒ කිසිවක ඔහු ප්‍රධාන චරිත රඟපෑවේ නැත. 'කැප්ටන් නිමෝ...' චිත්‍රපටයේ ⁣'රොබට් රයන්' සමඟද, 'ද ඩෙසර්ටර්' චිත්‍රපටයේ බෙකින් ෆෙම්යූ, ජෝන් හස්ටන්, රිචඩ් ක්‍රියානා, රිකාඩො මොන්ටල්බාන්, ඉයන් බැනන් සමඟද, 'සපෝට් යුවර් ලෝකල් ගන්ෆයිටර්' චිත්‍රපටයේ ජේම්ස් ගානර් සමඟද රඟපෑවේය. එහෙත් 'කිල් දෙම්....' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලැබුණේ ඔහුටය.

'හෝගී' ගේ චරිතයට පණ පෙව්වේ ඉතාලි නළුවෙකු වූ ෆ්‍රැන්කො සිටීය. 1961 වසරේ දී 'ඇකැට්ටෝන්' නම් ඉතාලියානු චිත්‍රපටයකින් සිනමාවට පැමිණි, ඔහු 'කිල් දෙම්...'චිත්‍රපටයට අමතරව, 'ද ගෝඩ් ෆාදර්', (1972), 'ද බ්ලැක් ස්ටාලියන් රිටන්ස් (1983), 'ද ගෝඩ් ෆාදර් 3' වැනි ජාත්‍යන්තර චිත්‍රපටවල රඟපෑ අතර, අනෙක් සියලු චිත්‍රපට ඉතාලි භාෂිත චිත්‍රපට විය.

'ඩෙකර්' ට රඟපෑ නළුවා වූයේ 'ලියෝ ඇන්චොරිස්' ය. ඔහු ස්පැනිශ් ජාතිකයෙකි. බොහෝ විට රඟපා තිබුණේ ඉතාලි හා ස්පැනිශ් චිත්‍රපටවලය. එයිනුත් සියල්ලම පාහේ ස්පැගති වෙස්ටන් චිත්‍රපටය. ඔහු රඟපෑමට එක්වී තිබුණේ 1957 වර්ෂයේ ය. ඒ 'නොවියෝ ඩී පිලර්' චිත්‍රපටයෙනි. එය ඉංග්‍රීසියෙන් හැඳීන්වූයේ 'ද ගර්ල්ස් ඉන් බ්ලූ' නමිනි. ඉතාලියේ නිපදවූවද, ඉංග්‍රිසි භාෂිත චිත්‍රපටයක ඔහු මුල් වරට රඟපෑවේද, 'කිල් දෙම් ඕල් ඇන්ඩ් කම් බෑක් අලෝන්' චිත්‍රපටයේය. 1957 වසරේ සිට 1975 දක්වා ඔහු චිත්‍රපට 27 ක පමණ රඟපා තිබුණද, කිසිදු චිත්‍රපටයක ප්‍රධාන චරිත නම් රඟපා තිබුණේ නැත.

'බ්ලේඩ්' වූයේ 'ජියෝවානී සියන්ෆ්‍රිගීලා' නම් වූ ඉතාලි නළුවෙකි. ඔහු රඟපෑම ආරම්භ කර තිබුණේ, 1958 වසරේ තරමේය. එතැන් සිට වසර 2000 දක්වා ඔහු චිත්‍රපට 100 යක පමණ රඟපෑ තිබුණද, ඒ සියල්ලම ඉතාලි චිත්‍රපට විය. ඔහු බොහෝ විට 'ස්ටන්ට්මන්' හෙවත්, චිත්‍රපටවල ප්‍රධාන නළුවා වෙනුවෙන් ක්‍රියාදාම ආදේශ නළු චරිතයන් රඟපෑ කෙනෙකු විය. ස්ටීව් රීව්ස් රඟපෑ 'හර්කියුලස්' චිත්‍රපටයේද, ඔහු ස්ටීව් රීව්ස් වෙනුවෙන් ආදේශ රඟපෑම් ඉදිරිපත් කර තිබුණි. එලෙසම ඔහු බොහෝ විට රඟපා තිබුණේ ස්පැගෙති වෙස්ටර්න් චිත්‍රපටවලය. 'කිල් දෙම්.....' චිත්‍රපටයේද ඔහු රතු ඉන්දියානුකරුවෙකුගේ ශෛලයෙන් යුත් රඟපෑමක්ය ඉදිරිපත් කළේ. ඉතාමත් වේගවත් පිහි හරඹයක් චිත්‍රපටය තුල පෙන්වූයේ ඔහුය.

'ඇල්බර්ටෝ ඩෙල් ඇකුවා', නම් වූ ඉතාලි නළුවා 'කිල් දෙම් ඕල් ඇන්ඩ් කම් බෑක් අලෝන්' චිත්‍රපටයේ 'කිඩ්' ගේ චරිතය රඟපෑවේය. ඔහු ඉතාලි සිනමාවට එකතු වූයේ වර්ෂ 1955 වසරේදීය. ඒ, 'ලා රෝසා' නම් චිත්‍රපටයෙනි. ඔහුද 'ස්පැගෙති වෙස්ටර්න්' නළුවෙකි. ඉතාලි චිත්‍රපට වලට අමතරව ඔහු 'ස්පැනිශ්', ජර්මානු,හා තුර්කි චිත්‍රපටවල රඟපා තිබුණි. 'කිල් දෙම්....' හී 'කිඩ්' වූවාට, 'මන්කි' ලෙසටද ඔහු එම චිත්‍රපටයේදී හැඳීන් විය. පොලු ආධාරයෙන් ගොඩනැගිල්ලක, සිට තවත් ගොඩනැගිල්ලකට පනින, විදුලියක් මෙන් මතුවී එක එක 'ජිමික්ස්' මඟින් හමුදා සෙබළුන්ව මරන, කිඩ් ගේ චරිතය, චිත්‍රපටය පුරාවටම තිබෙන ආකර්ෂණීය ම චරිතයක් විය. එලෙසම 6 දෙනාගේ කල්ලියේ ජනප්‍රියම චරිතය වූයේද, මේ 'කිඩ් ගේ' චරිතය ය. ඔහු රඟපෑ 'සොම්බි 2, චිත්‍රපටය ඉතාලියේ නිර්මාණ වූවද, එය ඇමරිකානු චිත්‍රපටයක් ලෙසටය සැලකුවේ. 'කිල් දෙම් ...' චිත්‍රපටය ට පසු ඇල්බර්ටෝ ඩෙල් රඟපෑ අනෙක් ඉතාලි-ඇමරිකානු චිත්‍රපටය වූයේ මෙි 'සොම්බි-2' චිත්‍රපටය ය.

'කිල් දෙම්....' හී අපූරුම චරිතයක් වූයේ 'බොගාඩ්'ය. ඔහු තම මහත සිරුරෙන් කරනා දේ චිත්‍රපටයට එක් කළේ ඉමහත් විමෝදාස්වාදයකි. බොගාඩ් ගේ චරිතය රඟපෑවේ 'හර්කියුලස් කෝට්ස්' ය. එය ඔහුගේ ඇත්ත නම නොවේ. ඔහුගේ උපත් නම වූයේ ඇල්ෆොන්සෝ කාර්ලොස් ය. ඔහු ස්පාඤ්ඤ ජාතිකයෙකු වූ අතර වෘත්තිමය ලෙස මල්ලව පොර ක්‍රීඩකයෙකු විය. 'හර්කියුලස් කෝර්ට්ස් කියා අන්වර්ථ නාමයක් ඔහුට ලැබෙන්නට ඇත්තේ ඒ නිසා විය හැක. ඔහුගේ ප්‍රථම හා අවසාන චිත්‍රපටය වූයේ ද 'කිල් දෙම් ඕල් ඇන්ඩ් කම් බෑක් අලෝන්',ය 1968 එම චිත්‍රපටයේ රඟපෑ ඔහු 1971 දී කාර් අනතුරකින් මිය ගියේ ඔහුට වයස අවුරුදු 39 ක් ව තිබියදීය.

මෙම ප්‍රධාන හය දෙනාට අමතරව මෙහි තවත් ප්‍රධාන චරිතයක් විය. ඒ කපිතාන් ලීන්ච් ගේ චරිතයයි. එය රඟපෑවේ ෆ්‍රෑන්ක් වොල්ෆ් නම් වූ ඇමරිකානු නළුවෙකි. 1958 වර්ෂයේ 'කැති ඕ' නම් වූ චිත්‍රපටයේ සුළු චරියක් රඟපාමින් ඇමරිකානු සිනමාව ආක්‍රමණය කළ ඔහු 'ද වයිල්ඩ් ඇන්ඩ් ද ඉනසන්ට්'(1959), ' ද වැස්ප් වුමන් (1959), 'ට්වලයිට් සෝන්' (1960), වැනි චිත්‍රපවල සහයක චරිත රඟපෑවේය. 1965 දී තිරගත වූ ඇලෙක් ගුයිනස්, රොබට් රෙඩ්ෆෝඩ් රඟපෑ 'සිටුවේෂන් හෝප්ලස්, බට් නොට් සීරියස්' චිත්‍රපටයේ සැලකිය යුතු චරිතයක් රඟපෑවේය.' අ ෆිව් ඩොලර්ස් ෆො ඩ්ජැන්ගො'(1966) 'ද මිලියන් ඩොලර් කවුන්ට්ඩවුන්', (1967), ටෙරන්ස් හිල්, බඩ් ස්පෙන්සර් රඟපෑ ' ගෝඩ් ෆොගිව්ස් අයි ඩෝන්ට්' (1967) යූල් බ්‍රයිනර්, රොබට් මිචම් රඟපෑ 'විලා රයිඩර්ස්'(1968) චිත්‍රපටයේ ද සැලකිය යුතු චරිත රඟපා තිබුණි. එලෙසම හෙන්රි ෆොන්ඩා, චාර්ල්ස් බ්‍රොන්සන් රඟපෑ 'වන්ස් අපෝන් අ ටයිම් ඉන් ද වෙස්ට්'(1968) චිත්‍රපටයේ ද කැපී පෙනෙන චරිතයක් රඟපෑවේය.

'කිල් දෙම් ඕල් ඇන්ඩ් කම් බෑක් අලෝන්' චිත්‍රපටය මෙහෙයුම වූ රත්තරන් පෙට්ටි ගැනීමේ කාර්ය ඉතාමත් සාර්ථක වූයේ ක්ලයිඩ් ගේ කණ්ඩායමේ තිබූ දක්ෂතාවය නිසාමය. ඔවුන් එකාමෙන් සිට, හමුදා කඳවුර විනාශ කර, රත්තරන් පෙට්ටි අශ්ව කරත්තයට ඇද්දේය. ඔවුන් සියල්ලගේ අභිප්‍රාය වූයේ රත්තරන් පෙට්ටි කරත්තයට පටවා 6 දෙනාම කරත්තයේ නැග, මෙතනින් පලා ගොස් තමන්ට අයිති රත්තරන් කොටස් රැගෙන මෙම මෙහෙයුම අවසන් කර තම තමන්ගේ නිවෙස් වලට යෑමටය. ඒ ඩෙකර්, කිඩ්, හෝගී,බ්ලේඩ් හා බොගාඩ් ගේ බලාපොරොත්තුව වූවද, ක්ලයිඩ් ගේ හිතේ තිබු⁣ණේ වෙනත් සැලසුමකි. ඔහුට මෙම මෙහෙයුම භාර දුන් මේජර් වරයා කී දෙය සිහිවිය. ඔහු කීවේ ' කිල් දෙම් ඕල් ඇන්ඩ් කම් බෑක් අලෝන් ' හෙවත්, සියල්ලෝම මරා නුඹ තනිවම පැමිණෙන්න කියා ය.

රත්තරන් පෙට්ටි කරත්තයට බොගාඩ් විසින් පැටවුවාට පසු ක්ලයිඩ් කළේ බොගාඩ් ට පහර දී අශ්ව කරත්තය දක්කාගෙන එතන ගේට්ටුවෙන් පිටවීමය. අනෙක් පස්දෙනා පුදුම විය. ඒ ඔවුන් මින් පෙරද, ක්ලයිඩ් ගේ මෙහෙයුම් වලට එකතු වී සිටියද, කිසිදිනයක මෙවන් දෙයක් සිදු නොවූ නිසාය. කෙසේ වෙතත් ඔවුහු ක්ලයිඩ් ව ලුහු බැද⁣ ගියහ.

මේ අතර මෙම මෙහෙයුම භාර දුන් මේජර්වරයාට, ක්ලයිඩ්, තම සඟයනුත් මරා රත්තරන් පෙට්ටි තනිවම රැගෙන ඒවී කියා දැඩි විශ්වාසයක් තිබුණේ නැත. එහෙයින් ඔහු තම කැප්ටන් වරයා වූ ලීන්ච් ව ඔවුන්ගේ පිටුපසින් යැවීය. මේජර්වරයා නොදැන සිටියාට, කැප්ටන් ලීන්ච් ටද, ඔහුට ආවේණික වූ රහස් සැලැස්මක් තිබුණි. ඒ මොවුන් සියල්ලම රවටා රත්තරන් පෙට්ටි තමා සතු කරගන්නටය.

කෙසේ හෝ ක්ලයිඩ්ට වැඩි දුර යාමට නොහැකි විය. ඔහු රත්තරන් පෙට්ටි ගංගාවේ පතුලක සඟවන විට, ඩෙකර්, ⁣කිඩ්, හෝගී, බොගාඩ්,හා බ්ලේඩ් ඔහුව වට කර ගතී. එතැන එක් එක් අය රණ්ඩු කරන්නට පටන් ගත් අතර, සියල්ලන්ගෙන්ම ගුටි කෑවේ ක්ලයිඩ්ය.

මේ අතර ඔවුන් රණ්ඩු කරමින් සිටි තැන වට කළේ හමුදා භටයන්ය. ක්ලයිඩ් ඇතුළු ඔහුගේ කණ්ඩායම එතන තිබූ පාරුවේ නැගී හමුදා භටයන්ට වෙඩි තබමින් පලා යන්නට සැරසුණද, එතන හමුදා භටයන් විශාල ප්‍රමාණයක් සිටි හෙයින් ක්ලයිඩ් ගේ කණ්ඩායමට එම සටන පහසු වුණේ නැත. එහෙත් දෙපාර්ශය අතර වෙඩි තබා ගත්හ. පාරුවද ගඟ මැදට ඇඳෙන්නට වූ අතර, ගඟේ පතුලේ රත්තරන් සඟවා තිබෙන බව මෙම හය දෙනාම දැන ගෙන සිටියහ. හෝගී එක්වරම වෙඩි වැදුණාක් මෙන් රඟපා ගඟට වැටුණි. ඇත්තටම ඔහු වැටුණා නොව, ඔහු ගඟට පැන්නේය. ඒ කිසියම් සැලසුමක් අනුවය. එහෙත් අන් අය සිතුවේ හෝගී ට වෙඩි වැදී මරණයට පත්ව ගඟට වැටුණා කියා ය.

හමුදා සෙබළුන්ගේ පිරිස වැඩිවූ අතර, ඔවුන්ගේ බලයද වැඩි විය. ඔවුන්ට පහසුවෙන්ම ක්ලයිඩ් ඇතුළු අනෙක් හතර දෙනාව අල්ලා ගැන්මට හැකිවිය. එතනින් බේරුණේ හෝගී පමණය.

ක්ලයිඩ් ඇතුළු අනෙක් හතර දෙනා ව හමුදා සෙබළුන් ගෙන ගියේ සිර කඳවුරකටය. පුදුමයකට මෙන් එම සිර කඳවුරේ මේජර් වරයා වූයේ කැප්ටන් ලීන්ච් ය.

කැප්ටන් ලීන්ච්ට අවශ්‍ය වූයේ රත්තරන් පෙට්ටි සැඟවූ තැන දැනගන්නටය. ක්ලයිඩ් ගෙන් එය දැන ගන්නට උත්සහ කළද, ඔහු එම රහස කීවේ නැත. එහෙයින් ඔහුට ශරීර පීඩා කර ඔහුව කුඩා යකඩ පෙට්ටියක හිර ක⁣⁣ළේය. ⁣අනෙක් පස් දෙනාව සිරකාරයන් ලෙස සලකා ගල් කඩන්නට යොමු කළේය. ඒ අතර, ලීන්ච් විසින් බොගාඩ්ව තම පැත්තට හරවා ගෙන, ඔහුව නිදහස් කර හරින බව පවසා ඔහුට රත්තරන් පෙට්ටි සඟවා ඇති තැනට ගෙනියන ලෙස කීය. බොගාඩ්ට ද, නිදහස් වීමට උවමනා නිසා, ඔහු කැප්ටන් ලීන්ච් ව රත්තරන් පෙට්ටි සැඟවූ තැනට රැගෙන යන බවට පොරොන්දු විය. එදින රාත්‍රියේ බොගාඩ් නිදා ගත්තේ ලීන්ච් විසින් වෙන් කෙරූ විශේෂ කුටියකය. එහෙත් රාත්‍රියේ ඩෙකර් හා කිඩ්, බොගාඩ්ව සොයා පැමිණියහ. ඔවුන් බොගාඩ්ගෙන් ඇසුවේ ලින්ච්ට සියලු විස්තර කීවාද කියාය. බොගාඩ්, එසේ නොකී බවක් කීවද, කිඩ්, සහ ඩෙක්ස්ටර් එය විශ්වාස කළේ නැත. ඔවුන් අතර ඇතිවූ රණ්ඩුවෙන්, කිඩ් හා ඩෙක්ස්ටර් අතින් බොගාඩ් මිය ගියේය.

ඉන්පසු ක්ලයිඩ්, ඩෙකර්, කිඩ් සහ බ්ලේඩ් හමුදා කඳවුර තුළ විශාල කලබලයක් ඇති කල අතර, ඔවුන්ගේ අතින් හමුදා සෙබළුන් ගණනාවක් මිය ගියහ. ඒ අතරේදී, කැප්ටන් ලීන්ච්, ඩෙකර් ව බිලි බා ගත්තේ රත්තරන් තිබෙන තැනට රැගෙන ගියහොත්, ඩෙකර්ට ඒ රත්තරන් වලින් හරි අඩක් දෙන බවට පොරොන්දු කර ගනිමිනි. කැප්ටන් ලීන්ච් හා ඩෙකර් කාටත් හොර රහසේ පැන ගියහ. ඔවුන් කෙළින්ම ගියේ ක්ලයිඩ් විසින් රත්තරන් පෙට්ටි සැඟවූ ගඟ ළඟටය.

මේ අතර, ක්ලයිඩ්, කිඩ්, හා බ්ලේඩ් නොනවත්වාම හමුදා සෙබළුන් සමඟ සටන් ⁣කළද, හමුදා බලය හමුවේ ඔවුනට ජය ගැන්ම පහසු නොවීය. මුලින්ම හමුදා සෙබලෙකුගේ පිහි පහරකට ගොදුරු වූයේ බ්ලේඩ්වය. ඔහු තමාට පිහියෙන් ඇන්න සෙබළාවත් මරා දැමුවද, ඔහුට ඇනුණු පිහි පාර දරුණු විය. ඔහුගේ සිරුර අප්‍රාණික වී ඔහු එතනම ඇදගෙන වැටුණි. ටික වෙලාවකින් ඔහු මිය ගියේය. ක්ලයිඩ් වහාම එතන තිබු අශ්ව කරත්තයකට නැග, කඳවුරේ ගේට්ටුවෙන් පලා යන්නට විය. ඒ පස්සෙන් දුව ගිය කිඩ් ට පිටුපසින් හමුදා සෙබළෙක් වෙඩි තැබු අතර, ඔහු ගේට්ටුව ලඟම හිරවී මිය ගියේය.

ඩෙකර් හා කැප්ටන් ලීන්ච් ගඟ තුළ කිමිදුණේ රත්තරන් පෙට්ටි සොයාය. ඔවුන්ට ගඟ පතුලේ පෙට්ටි කීපයක් හමුවුණද, ඒවා හැර බලන විට එහී තිබුණේ ගල්ය. මේ අතර ඩෙකර්ගේ කකුල කිසියම් වැලක පැටළුනි. ඇත්ත වශයෙන්ම එය පැටලුණා නොව, කැප්ටන් විසින් ඔහු ගේ කකුල ගැට ගැසුවේය. ඩෙකර් අත් දෙකෙන්ම දඟලමින් කැප්ටන්ට කීවේ එය ලිහන ලෙසටය. එහෙත් කැප්ටන් ඔහුව මග හැර පිහිනා යළි උඩට පැමිණීය. ඩෙකර් ගං පතුල තුලම කර කියා ගැන්මට නොහැකිව වතුරේම ගිලී මිය ගියේය.

කැප්ටන් ලීන්ච් වතුරෙන් උඩට මතුවන විටම එතැන තුවක්කුවත් මානාගෙන සිටියේ හෝගී ය. එදා පාරුවෙන් ගඟට පැන ගත් හෝගී රත්තරන් පෙට්ටියක් ගොඩ බිමට රැගෙන විත් තිබුණි. කැප්ටන් ඔහුටද කීවේ රත්තරන් පෙට්ටි සියල්ලම සොයා ගෙන දෙදෙනා දෙකට බෙදා ගමු කියාය. මෙම සංවාදය තරමක් දුර සිට රයිෆලයකුත් මානා ගෙන ඔවුනට ඉලක්ක කර ගෙන සිටියේ ක්ලයිඩ්ය.

ක්ලයිඩ් හා හෝගී අතර ඇතිවූ වෙඩි හුවමාරුවෙන් හෝගී ට වෙඩි වැදී මිය ගියේය.

දැන් ක්ලයිඩ් ගේ කණ්ඩායම වූ හෝගී, බ්ලේඩ්, ඩෙක්ස්, කිඩ්, සහ බොගාඩ් යන පස් දෙනාම මිය ගොස්ය. අන්තිම සටන තිබු⁣ණේ කැප්ටන් ලීන්ච් හා ක්ලයිඩ් අතෙර්ය. එය තරමක් දරුණු ලෙස සිදුවූවද, අවසානයේදී ක්ලයිඩ් අතින් වෙඩි වැදී කැප්ටන් ලීන්ච් මිය ගියේය. ගංගාවේ පතුලේ සඟවා තිබූ රත්තරන් හා ⁣හෝගී විසින් ගොඩ බිමේ සඟවා තිබූ රත්තරන් පෙට්ටි සියල්ලම අයිති වූයේ ක්ලයිඩ් මැකේ ටය.

'කිල් දෙම් ඕල් ඇන්ඩ් කම් බෑක් අලෝන්' වරක්, දෙවරක්, තෙවරක් නොව හතර හෝ පස් වරක් හෝ නැරඹිය හැකි චිත්‍රපටයකි. එය 1968 වසරේ නිපද වූවද, දැන් අවුරුදු 56 ක් ගත වුවද, අදටත් ඒ ක්‍රියාදාමයන් වලංගුය. අදටත් එම චිත්‍රපටය නැවුම් ලෙස නැරඹිය හැකිසේම, නූතන යුගයේ ක්‍රියාදාම චිත්‍රපට හා සමව තැබිය හැකි චිත්‍රපටයක් ලෙස නොපැකිළිව හැඳීන්විය හැකිය.

'කිල් දෙම් ඕල් ඇන්ඩ් කම් බෑක් අලෝන්' ලංකාවෙිද ප්‍රදර්ශනය වී අතීශයින්ම ජනප්‍රිය වූ චිත්‍රපටයකි.

 

[email protected]