රාජාලියාගේ මෙහෙයුම The Eagle has Landed

පෙබරවාරි 8, 2024

'අද්මිරාල් කැනාරිස්' ජර්මානු බුද්ධි අංශ ප්‍රධානි යාය. ඒ 1940 මුල් භාගයේය. බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් අල්ලා ගැනීමේ මෙහෙයුම ගැන අධ්‍යයනය කරන්නට ඔහුට නියෝග ලැබිණි. එහෙත්, මෙය අර්ථ විරහිත ව්‍යායාමයක් බව දැනන් සිටියද, ඔහු මෙය තම කාර්යාලීය ජ්‍යෙෂ්ඨ නිලධාරි කර්නල් මැක්ස් රැඩල් ට භාර දුනි. ඔහුට ලැබුණු බුද්ධිමය ඔත්තුවක් අනුව වින්ස්ටන් චර්චිල් වෙරළට ආසන්න නෝර්ෆෝක් ගම්මානයක නැවතී සිටින බවක් සොයා ගනී.

අද්මිරාල් කැනරිස් භාර දුන් මෙම මෙහෙයුම ට කර්නල් මැක්ස් රැඩල් විමින් ධ්අඒ, (අයිරිෂ් ජනරජයේ හමුදා) නියුතු, එමෙන්ම බර්ලින් විශ්වවිද්‍යලයේ දේශන පවත්වන්නකු වූ 'ලියම් ඩෙව්ලින්'ව බඳවා ගනී. 'ලියම් ඩෙව්ලින්' තමා සමඟ මෙම කර්තව්‍යය ට, මෙහෙයුම් සම්බන්ධ, සුවිශේෂිත දැනුම හා පළපුරුද්දක් තිබෙන කර්නල් 'කර්ට් ස්ටෙයිනර්ව' එකතු කර ගතී. ඔවුන් මෙයට 'ඊගල්' නම් වූ සංකේතයක් යොදවා ගනී.

මේ අතර අද්මිරාල් කැනරිස්ගේ අනු දැනීමකින් තොරව, කර්නල් මැක්ස් රැඩල් ව, හිම්ලර් සමඟ පෞද්ගලික හමුවකට කැඳවනු ලැබේ. අද්මිරාල් කැනරිස්, කර්නල් රැඩල්, කර්නල් කර්ට් ස්ටෙයිනර් හා ධ්අඒ නියෝජිත ලියම් ඩෙව්ලින්, එක්ව කරන්නට යන වින්සන්ට් චර්චිල් අගමැති තුමාව පැහැර ගන්නට යන මෙහෙයුම තමන් දන්නා බව, හිම්ලර් විසින් මැක්ස් රැඩල්ට කියයි. එලෙසම ඔහු හිට්ලර් විසින් අත්සන් කරන ලද අධිකාරි ලිපියක් මැක්ස් රැඩ්ල්ට ලබා දෙයි. මෙහෙයුමට අවසර දී එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු ක්‍රම භාවිතා කිරීමට හිම්ලර් විසින් මැක්ස් රැඩ්ල්ට, කාර්ටේ බ්ලැන්චේ ව ලබා දෙයි.

ඔපරේෂන් ඊගල් මෙහෙයුම ආරම්භ වේ. ඔවුන් පෝලන්ත පැරෂූට් භටයන් ලෙස සැරසී ජර්මානු භටයන් හා සම්බන්ධ වේ. ඔවුහු පෝලන්ත ඇඳුමට යටින් ජර්මන් ඇඳුම ඇඳ සිටියහ. නෝර්ෆෝක් ගම්මානයට පැරෂූට් භටයන් සේ පැමිණි ඔවුන්, මෙම ගම්මානයට පැමිණියේ හමුදා අභ්‍යාස පැවැත් වීමට බව ඔවුන් නෝර්ෆෝක් ගම් වැසියන්ට අඟවයි.

ගම්මුන් එය විශ්වාස කළද, ගමේ ජල රෝදයකට අසුවෙන්නට ගොස් මැරෙන්නට ගිය තරුණ ගැහැනු ළමයෙකු බේරාගැනීමට කර්නල් ස්ටයිනර් ගේ සෙබළෙක් උත්සහා කළ අතර, ගැහැනු ළමයා බේරී, සෙබළා රෝදයට අසුවී මිය ගිය පසු නොර්ෆෝක් ගම්වාසින්ට මොවුන්ගේ උපක්‍රමය අහුවෙන්නට විය. එලෙසම මෙම මියගිය සෙබළා පෝලන්ත ඇඳුම යටින් ජර්මානු නිල ඇඳුම ඇඳගෙන සිටින බව ගම්මුන් දැනගතී.

කර්නල් ස්ටයිනර්ගේ හමුදා භටයෝ, ගම්මුන් ඔවුන්ට විරුද්ධව යන්නට පෙර, ඔවුන් ගම්වැසියන් ව, වට කර, ⁣ගමේ පල්ලියේ ඔවුන්ව සිර කර තැබූහ. එහෙත් ගම්මානයේ තරුණියක් වූ 'පැමෙලා වෙරෙකර්'කෙසේ හෝ එතැනින් පැන ගොස් අසල පිහිටි ඇමරිකා එක්සත් ජනපද හමුදා රේන්ජර්ස් ඒකකයකට මෙම සිදුවීම දන්වන්නට විය.

රේන්ජර්ස් ඒකකයේ සිටි අණ දෙන නිලධාරියා වූ කර්නල් පිට්ස්, රළු එහෙත් අත්දැකීම් අඩු පුද්ගලයෙකි. ඔහු පල්ලියට ප්‍රහාරයක් එල්ල කරන්නට සැරසුණේ කිසිදු සැලැස්මක් නොමැතිවය. එය ඉතාමත් දුර්වල ප්‍රහාරයක් වූ අතර, එයින් ඇමරිකානුවන් කීප දෙනෙක්ම තුවාල ලැබීය. ජර්මානුවන්ගේ ස්ථාන අබිභවා ඔවුන් පල්ලිය ඇතුළේම කොටු කරන තවත් ප්‍රහාරයක් දියත් කිරීමට පිට්ස්ගේ නියෝජ්‍ය කපිතාන් 'හැරි ක්ලාක්' සැලසුම් කළේ, පිට්ස් අබ්වේර් නියෝජිත ජොආනා ග්‍රේ අතින් මිය ගිය නිසාය.

මේ අතර, පල්ලිය තුළ සැඟවී සිටි කර්නල් ස්ටේනර් හා ඩෙව්ලින් ඇතුළු පිරිස, පල්ලියෙන් පැන යාමට සැරසේ. ඔවුනට පැන යාමට උදව් කරන්නේ ගමේම දැරියක් වූ 'මෝලි ප්‍රියෝ' ය. ඒ ඇය ඩෙව්ලින් සමඟ සම්බන්ධයක් ඇති කර ගත් නිසාය.

මෙහෙයුම අසාර්ථක බව රැඩල්ට ආරංචිය ලැබෙන්නෙ මේ අතරේදීය. මෙම මෙහෙයුම සඳහා හිට්ලර්ගේ අවසරය කිසි දිනයක හිම්ලර්ට නොතිබූ බව රැඩල්ට වැටහෙන්නට විය. මෙය රැඩල්ට අවාසියක් වූ අතර, ඔහු ට අනතුරක සේයාවක් දැනෙන්නට විය. හිට්ලර්ගේ අවසරයක් නොමැතිව මෙහෙයුමක් කිරීම ද්‍රෝහි කමක් සේ සලකා ඉඉ වෙඩි තැබීමේ කණ්ඩායම රැඩල්ව අත් අඩංගුවට ගන්නට විය.

එංගලන්තයේදී කර්නල් ස්ටෙයිනර් විසින් වින්ස්ටන් චර්චිල් ට වෙඩි තබා මරා දැමීය. ඔහුට සතුටු වන්නට එය මහඟු හේතුවක් වූවද, ඊළඟ පැයේ ඔහුට පැමිණි ආරංචිය නම් ශුභ නොවීය. ඒ මේ වෙඩි තබා මරා දැමූ වින්ස්ටන් චර්චිල් ටෙහෙරන් සමුළුවට යන බව ආරංචි වීමෙනි. එවිට මේ වෙඩි තබා මරා දමා තිබුණේ 'ඩමියක්' හෙවත් ආදේශක චර්චිල් කෙනෙකි.

බ්‍රිතාන්‍ය ජාතික ලේඛක, 'ජැක් හිගින්ස්', ලියූ 'ඊගල් හෑස් ලෑන්ඩඩ්' නවකථාවේ 'සිනොප්සිය' ඒ ආකාරයෙන් විය. පොත නොකියවා, චිත්‍රපටය පමණක් බැලුවහොත් තේරූම් නොගත හැකි තැන් බොහෝ විය. චිත්‍රපටය නොබලා පොත පමණක් කියෙව්වද, තේරූම් ගත නොහැකි තැන් බොහෝ විය. ඒ හිගින්ස් අදහස් කර දේට පටහැණිව, ඇතැම් වෙනස්කම් චිත්‍රපට තිරනාටක රචකයා වූ ටොම් මැන්කිවික්ස්, ලියා තිබුණු නිසාය. පොතම, චිත්‍රපටයට නැංවිය යුතු නොවේ. නමුත් චිත්‍රපටය නරඹන විට මතුවන ගැටලු නිරාකරණය කර ගැන්මට නම් පොතද කියවිය යුතු වේ.

1929 වසරේ ජුලි 27 වන දින, එංගලන්තයේ නිව් කාස්ට්ල් හී උපන් 'ද ඊගල් හෑස් ලෑන්ඩඩ්' පොත ලියූ ජැක් හිගින්ස්ගේ වෘත්තිය ලෙස දැක්වෙන්නේ නවකතාකරුවකු ලෙසටය. නවකතා පොත් 85 ක් ලිවීමෙන් ඔහු ඒ බව සනාථ කර ඇත. ඇත්ත වශයෙන්ම ජැක් හිගින්ස් ගේ උපත් නාමය වූයේ,'හැරී පැටර්සන්'ය. ඔහු මුල් කල නව කථා ලීව්වේ එම නමිනි. ඉන් පසු ඔහු ජේම්ස් ග්‍රැහැම්, මාටින් ෆැලෝන්, හියුග් මාර්ලෝ වැනි නම් වලින්ද පොත් ලීවේය. ඔහු 60 දශකයේ අවසන් භාගය වන තෙක් හැරී පැටර්සන් නමින් නව කථා 35 ක් පමණ ලියූ අතර, ඒවා ත්‍රාසය මුසූ කථාවන් විය. 60 දශකය අවසන් හා 70 දශකය මුල් භාගය වන විට ඔහු ජැක් හිගින්ස් නමින් ලියන්නට පටන් ගත් අතර, එතැනින් පසු දිගටම එම නම භාවිතා කරන්නට විය. ජැක් හිගින්ස් නමින් ඔහු නවකථා 50ක්ම ලියා තිබුණි.

ඔහු ලියූ නවකථාවක් මුල් වරට චිත්‍රපටයකට නැඟු⁣ණේ 1967 වර්ෂයේය. ඒ ඩොන් ෂාප් අධ්‍යක්ෂණය කළ, ටොම් බෙල් ප්‍රධාන චරිතය රඟපෑ 'ද වයලන්ට් එනිමි'ය ඉන්පසු රැල්ප් නෙල්සන් අධ්‍යක්ෂක වරයා 'ද රැත් ඔෆ් ගෝඩ්' නම් නවකථාව චිත්‍රපටයකට නැඟුවේ 1972 වර්ෂයේය. රොබට් මිචම් එහී ප්‍රධාන චරිතය රඟපෑවේය.

ඔහුගේ 'ද ඊගල් හෑස් ලෑන්ඩඩ්' නව කතාව තිරයට නැංවුණේ ඉන් පසුවය. ජැක් හිගින්ස් ගේ නම චිත්‍රපට ⁣ක්ෂේත්‍රයේ ස්ථාවර වූයේ 'ද ඊගල් හෑස් ලෑන්ඩඩ්' තිර ගත වූ පසුවය. ඔහුගේ නම ලෝකය තුළ ප්‍රචලිත වූයේද, ඉන් පසුවය.

'ද ඊගල් හෑස් ලෑන්ඩඩ්' චිත්‍රපටයට පසු, ඔහුගේ නව කථා 8 ක් තිරයට නැගුණි. ඒවා නම් ක්ලයිව් ඩෝනර් අධ්‍යක්ෂණය කළ, රොබට් වැග්නර් රඟපෑ, 'ටු කැච් අ කිං'(1984), මයික් හොඩ්ජස් අධ්‍යක්ෂණය කළ, මිකී රොවුක් රඟපෑ 'අ ප්‍රේයර් ෆොර් ද ඩයින්ග්' (1987), ගෝර්ඩන් ෆ්ලෙමින්ග් අධ්‍යක්ෂණය කළ කීත් කාර්ඩින් රඟපෑ 'කන්ෆෙෂනල්' (1989), චාර්ල්ස් ජාරොට් අධ්‍යක්ෂණය කළ ජෝර්ජ් පෙපාඩ් රඟපෑ 'නයිට් ඔෆ් ද ෆොක්ස්', (1990), ලෝරන්ස් ගෝර්ඩන් ක්ලාක් අධ්‍යක්ෂණය කළ රොබ් ලෝවෙ රඟපෑ 'ඔන් ඩේන්ජරස් ග්‍රවුන්ඩ්', (1996), ජෝර්ජ් මිහල්කා අධ්‍යක්ෂණය කළ කීයලි මැක්ලාචි රඟපෑ 'ද වින්ඩ්සර් ප්‍රොටෝකෝල්', (1996), ලෝරන්ස් ගෝර්ඩන් ක්ලාක් අධ්‍යක්ෂණය කළ, රොබ් ලොවේ රඟපෑ 'මිඩ් නයිට් මෑන්'(1997), හා ජෝර්ජ් මිහල්කා, අධ්‍යක්ෂණය කළ කීයලි මැක්ලාචි රඟපෑ 'තන්ඩර් පොයින්ට්' (1998) ය.

'ඊගල් හෑස් ලෑන්ඩඩ්' චිත්‍රපටය නිෂ්පාදනය ට අත ගැසුවේ එංගලන්ත සිනමා නිෂ්පාදක වරයෙකු වූ 'ඩේවිඩ් නිවන් ජූනියර්' ය. ඔහු ප්‍රකට හොලිවුඩ් නළු 'ඩේවිඩ් නිවන්' ගේ පුත්‍රයාය. ඔහුගේ ප්‍රථම චිත්‍රපට නිෂ්පාදනය වූයේද, 'ද ඊගල් හෑස් ලෑන්ඩඩ්' චිත්‍රපටය ය. ඉන් පසු ඔහු රොජර් මුවර්, ටෙලි සැවල්ස්, ඩේවිඩ් නිවන් රඟපෑ 'එස්කේප් ටු ඇතේනා' (1979), ක්‍රිස්ටෝපර් රීව්ස්, ෆර්නැන්ඩූ රේ රඟපෑ 'මොන්සිග්නෝර්' (1982) ඩේවිඩ් නිවන් රඟපෑ 'බෙටර් ලේට් දෑන් නෙවර්'(1983), වැනි චිත්‍රපට කීපයක්ම නිෂ්පාදන කළේය. එලෙසම ඔහු 'ලීසා' (1989), ''ද කූල් සර්ෆෙස් (1993), 'රෂ් හවර් 3 (2007) වැනි චිත්‍රපට වල රඟපා තිබුණි. ඩේවිඩ් නිවන් ජූනියර්, මෙම 'ද ඊගල් හෑස් ලෑන්ඩඩ්' චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ⁣ජැක් වීනර් ව හවුල් කර ගතී.

චිත්‍රපටයේ තිරනාටකය ලිවීමට භාර දුන්නේ, ඇමරිකානු ප්‍රචලිත තිර රචකයකු වූ 'ටොම් මැන්කිවික්ස්' ටය. 1942 වසරේ ජූනි 1 වන දින, ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඒන්ජල්ස් හී ඉපදුණු මැන්න්කිවික්ස්, ගේ මුල්ම තිරනාටකය ලියූ චිත්‍රපටය වූයේ හාර්වේ හාර්ට් අධ්‍යක්ෂණය කළ ටෝනි ෆ්‍රැන්සියෝසා, ජැකුලයින් බිසෙට් රඟපෑ 'ද ස්වීට් රයිඩ්' ය. එය තිරගත වූයේ 1968 වර්ෂයේදීය. ඉන්පසු යුනයිටඩ් ආර්ටිස්ට් සමාගම ඔහුට ෂෝන් කොනරි ජේම්ස් බොන්ඩ් ලෙස රඟපෑ ගයි හැමිල්ටන් අධ්‍යක්ෂණය කළ 'ඩයමන්ඩ්ස් ආ ෆොරෙවර්' චිත්‍රපටයේ හවුල් තිර රචකයා ලෙස ⁣රිචඩ් මයිබන් සමඟ වැඩ කිරීමට තෝරා ගතී. ඒ 1971 වර්ෂයේය.

1973 වසරේදී අධ්‍යක්ෂක ගයි හැමිල්ටන් හා යුනයිටඩ් ආර්ටිස්ට්ස් සමාගම ටොම් මැන්කිවික්ස් ව ඔවුනගේ ඊළඟ බොන්ඩ් චිත්‍රපටය වූ රොජර් මුවර් ජේම්ස් බොන්ඩ් ලෙස රඟපෑ 'ලිව් ඇන්ඩ් ලෙට් ඩයි' චිත්‍රපටයේ තිර රචනය ලිවීමට භාර දුනී. එවර කිසිවෙක් හවුලට එකතු වූයේ නැත. නමුත් 1974 තිරගත වූ රොජර් මුවර් ජේම්ස් බොන්ඩ් ලෙස රඟපෑ 'ද මෑන් විත් ද ගෝල්ඩන් ගන්' චිත්‍රපටයේ තිර රචනය ලිවීමට ටොම් මැන්කිවික්ස් ට නැවතත් රිචඩ් මැයිබම් සමඟ එකතු වෙන්නට සිදු විය. ඔහු 1976 වසරේ බිල් කොස්බි, රැක්වෙල් වෙල්ච්, හාර්වේ කෙයිටල් රඟපෑ පීටර් යාට්ස් අධ්‍යක්ෂණය කළ 'මදර් ජග්ස් ඇන්ඩ් ස්පීඩ්' චිත්‍රපටයේ තිර නාටකය ලිවීය. ඉන් පසු ඔහුට ලියන්නට සිදුවුනේ ජෝර්ජ් පෑන් කොස්මාටෝස් අධ්‍යක්ෂණය කළ, සොෆියා ලොරේන්, රිචඩ් හැරිස්, බර්ට් ලැන්කැස්ටර් රඟපෑ 1976 වසරේ තිර ගත කළ, 'ද කැසැන්ඩ්‍රා ක්‍රොසින්ග්' චිත්‍රපටයේ තිරනාටකයය. ඔහු ට එය ලිවීමට එහී කථාව ලියූ රොබට් කැට්ස්, හා චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජෝර්ජ් පෑන් කොස්මටෝස් ද හවුල් විය. මෙම ලිපියට අඩංගු වන 'ද ඊගල්ස් හෑස් ලෑන්ඩඩ්' චිත්‍රපටයේ තිර නාටකය ලිවීමට ඔහුට භාර වූයේ ඉන් පසුවය.

'ද ඊගල් හෑස් ලෑන්ඩඩ්' අධ්‍යක්ෂණය භාර වූයේ ඇමරිකානු සිනමා අධ්‍යක්ෂවරයකු වූ ජෝන් ස්ටර්ජස් ටය. 1910 වසරේදී ඇමරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ ඕක් පාර්ක් හී ඉපදුණු ඔහුගේ මුල්ම සිනමා අධ්‍යක්ෂණය වූයේ 'ද මෑන් හූ ඩැරෙඩ්' නම් චිත්‍රපටය යි. එය තිරගත වූයේ 1946 වසරේදීය. එතැන් සිට ඔහු 1976 වන තෙක් චිත්‍රපට 44 ක් පමණ අධ්‍යක්ෂණය කර තිබුණි. ඒ අතරේ විලියම් හෝල්ඩන්, ජෝන් ෆොසීත් රඟපෑ 'එස්කේප් ෆ්‍රොම් ෆෝට් බ්‍රාවෝ' (1953), බර්ට් ලැන්කැස්ටර්, කර්ක් ඩග්ලස් රඟපෑ 'ගන් ෆයිට් ඔෆ් ඕ.කේ.කොරල්' (1957), ස්පෙන්සර් ට්‍රේසි රඟපෑ 'ඕල්ඩ් මෑන් ඇන්ඩ් ද සී',(1958), කර්ක් ඩග්ලස්, ඇන්තනී ක්වින් රඟපෑ 'ලාස්ට් ට්‍රේන් ෆ්‍රොම් ගන් හිල්'(1959), යූල් බ්‍රයිනර්, එලි වොල්ච්, ස්ටීව් මැකුවීන් චාර්ල්ස් බ්‍රොන්සන් රඟ පෑ 'ද මැග්නිෆිෂන්ට් සෙවන්' (1960), ෆ්‍රෑන්ක් සිනට්‍රා, ඩීන් මාර්ටින්, රඟපෑ 'සර්ජියන්ට්ස් 3', (1962), 'ස්ටීව් මැකුවීන් , චාර්ල්ස් බ්‍රොන්සන්, ජේම්ස් කොබර්න්,රඟපෑ 'ද ග්‍රේට් එස්කේප්', (1963), රොක් හඩ්සන්, අර්නස්ට් බොග්නින්, ජිම් බ්‍රවුන් රඟපෑ 'අයිස් ස්ටේෂන් සීබ්‍රා' (1968) ක්ලින්ට් ඊස්ට්වුඩ්, රොබට් ඩුවාල්, ජෝන් සැක්සන්, රඟපෑ 'ජෝ කිඩ්'(1972) ජෝන් වේන් රඟපෑ 'මැක්කියු' චිත්‍රපටද අයත් විය. ඉහත සඳහන් සියලුම චිත්‍රපට ලංකාව තුළද පෙන්වා අතීශයින්ම ජනප්‍රිය වී තිබුණි. ඔහු එක් වරක් හොඳම අධ්‍යක්ෂක ලෙස ඇකඩමි සම්මාන උලෙළේ නිර්දේශ වී තිබුණි. ඒ 'බෑඩ් ඩේ ඇට් බ්ලැක් රොක්' (1955) චිත්‍රපටය වෙනුවෙනි. 'ද ඊගල් හෑස් ලෑන්ඩඩ්' ජෝන් ස්ටර්ජර්ස් ගේ අවසාන චිත්‍රපටය විය.

1974 වසරේ ඔක්තෝබර් මාසයේ පැරමවුන්ට් චිත්‍රපට සමාගම විසින් ජැක් හිගින්ස් විසින් ලියූ 'ද ඊගල් හෑස් ලෑන්ඩඩ්' චිත්‍රපටයේ චිත්‍රපට කිරීමේ අයිතිය ලබා ගත් බවක් ප්‍රචාරය කළේය. එහෙත් පොත ප්‍රකාශනයෙන් එළියට පැමිණියේ 1975 වසරේදීය. එය සාර්ථක ලෙස විකුණුණු අතර ලොව වටා පාඨකයන් අතර අතීශයින් ජනප්‍රිය විය. ජැක් හිගින්ස් ට තිබූ සැකය වූයේ මෙය චිත්‍රපට ගත කරාවිදෝ යන පැනය ය. හේතුව මෙහී ප්‍රධාන චරිත බොහොමයක් වූයේ ජර්මානුවන් නිසාය.

මෙහී එන ඩෙව්ලින් ගේ චරිතයට මුලින්ම තෝරා ගත්තේ මයිකල් කේන්වය. එහෙත් ඔහු එම චරිතය රඟපෑමට එකඟ නොවුණේ එය අයිරිශ් හමුදා සාමාජිකයෙකුගේ චරිතයක් නිසාය. ඉන්පසු එයට රිචඩ් හැරිස් ව තෝරා ගත්තද, නිෂ්පාදක සමාගම එයට කැමැත්තක් නොදැක්වූයේ, ඒ වන විට රිචඩ් හැරිස් අයිරිෂ් හමුදාවට සම්බන්ධ වී සිටි නිසාත් ඔහු ඔවුන් වෙනුවෙන් මුදල් රැස්කිරීමට නොයෙකුත් සංදර්ශන, සංවිධානය කරමින් සිටි නිසාය. එලෙසම අයිරිශ් හමුදාවට විරුද්ධ සංගම් රිචඩ් හැරිස්ව මෙම චරිතයට නොගන්නා ලෙස නිෂ්පාදන සමාගමට තර්ජනය කර තිබුණි. එහෙයින් ඔවුන් මෙම චරිතයට ⁣කැනේඩියන් නළු ඩොනල්ඩ් සදර්ලෑන්ඩ් ව තෝරා ගත් අතර, කර්නල් කර්ට් ස්ටෙයිනර් ගෙ චරිතයට මයිකල් කේන්ව තෝරා ගතී.

මයිකල් කේන් ගැන හොලිවුඩ් යට ගියාව තුළින් කීප වතාවක්ම ලියවුණි. ඒ 'අසාන්ති' චිත්‍රපටය හා 'ද ඉටලියන් ජොබ්' චිත්‍රපටය ගැන ලියන විටදීය. ඩොනල්ඩ් සදර්ලෑන්ඩ් ගැන ද එලෙස ලියවුණේ 'ද ඩර්ටි ඩසන්' චිත්‍රපටය ගැන ලියන අතරේදීය.

එහෙත් 'ද ඊගල් හෑස් ලෑන්ඩ්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වූ කර්නල් මැක්ස් රැඩල් ගේ චරිතය රඟපෑ ඒ මහා සම්මානනීය නළු 'රොබට් ඩුවාල්' ගැන නොලියවුනේ ඔහු රඟපෑ චිත්‍රපටයක් හොලිවුඩ් යටගියාව තුළින් නොලියවුණු නිසාය.

1931 ජනවාරි 5 වන දින ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ඩිගෝ නගරයේ ඉපදුණු රොබට් සෙල්ඩෙන් ඩුවාල් ගේ වෘත්තිය ලෙස පෙන්නුම් කරනුයේ නළුවකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හා චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙසටය.

රොබට් ඩුවාල් මුලින්ම රඟපෑවේ රූපවාහිනියේ ය. 1959 සිට ඔහු රූපවාහිනි නළුවෙකු වූ අතර, 1962 දී ඔහු ඇමරිකානු සිනමාවට පැමිණියේ ග්‍රෙගරි පෙක් ප්‍රධාන චරිතය රඟ පෑ 'ටු කිල් අ මොකින්ග්බර්ඩ්' චිත්‍රපටයෙන් ය. ඉන්පසු ඔහු ග්‍රෙගරි පෙක් ,ටෝනි කර්ටිස් සමඟ 'කැප්ටන් නිව්මෑන් එම්.ඩී. (1963) චිත්‍රපටයේ රඟපෑවේය. 'ද ඊගල් හෑස් ලෑන්ඩඩ්' ඔහුගේ 25 වන චිත්‍රපටය විය. ඒ අතරේ ඔහු විශිෂ්ට මෙන් ජනප්‍රියවූ චිත්‍රපට කීපයකම රඟපෑ වේය. ඒ සියල්ලේම ඔහු රඟපෑවේ සහය චරිත වූවද, ඒ හැම සහය චරිතයක්ම දැනෙන, එමෙන්ම ප්‍රධාන චරිත හා සමව යන ඒවා විය. එඩ්වින් ස්ටුවර්ට් අධ්‍යක්ෂණය කළ 'ද චේස්' (1966)චිත්‍රපටයේ ඔහු රඟපෑවෙි මාලන් බ්‍රැන්ඩෝ හා රොබට් රෙඩ්ෆෝඩ් සමඟය. 'බුලිට්'(1968) ස්ටීව් මැකුවින්, 'ටෘ ග්‍රීට් (1969) ජෝන් වේන්, 'ලෝ මෑන්' (1971) බර්ට් ලැන්කැස්ටර් 'ද ගෝඩ් ෆාදර් (1972) මාලන් බ්‍රැන්ඩෝ 'ජෝ කිඩ්'(1972) ක්ලින්ට් ඊස්ට්වුඩ්, වැනි චිත්‍රපට එයට අයත් විය. ඉන් පසුද ඔහු ''නෙට් වර්ක්'(1976) , පීටර් ෆින්ච් හා විලියම් හෝල්ඩන් සමඟද, 'ද බෙට්සි' (1978) ලෝරන්ස් ඔලිවර් සමඟද, රඟපෑ අතර, 1983 වසරේ 'ටෙනඩර් මර්සීස්' නම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපා එම වසරේ හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානයද ලබා ගතී. ඔහු 1962 සිට 2022 දක්වා චිත්‍රපට 100 යකට ආසන්නව රඟපා තිබුණු අතර, 7 වරක්, ඇකඩමි සම්මානය සඳහා නිර්දේශ වී තිබුණි. දැනට වයස අවුරුදු 93 ක් වූවද, ඔහු චිත්‍රපට රඟපෑමෙන් තවම ඉවත් වී නැත.

'ද ඊගල් හෑස් ලෑන්ඩඩ්' චිත්‍රපටයේ අනෙක් චරිත රඟපෑවේ, ඩොනල්ඩ් ප්ලීසනිස්, (හෙන්රිච් හිම්ලර්), ඇන්තනී කුයෙල් (ඇඩ්මිරාල් විල්හෙල්ම් කැනාරිස්), ⁣ජේන් මාරෂ් (ජොඅන්නා ග්‍රේ), ලැරි හැග්මන් (කර්නල් ක්ලැරන්ස් ඊ පිට්), ජෙෆ් කොනවේ (ලුතිනන් ෆ්‍රාසියර්), යන නළු නිළියන්ය.

'ද ඊගල් හෑස් ලෑන්ඩඩ්' රූ ගත කිරීමට පටන් ගත්තේ 1976 වසරේදීය. එය සති 16ක් එක දිගට රූ ගත කළේය. තිර රචක ටොම් මැන්කිවික්ස් කීවේ ඔහු අතින් ලියවුණු හොඳම තිර නාටකය මෙය බවය. එහෙත් අධ්‍යක්ෂක ජෝන් ස්ටර්ජර්ස් කුමක් හෝ හේතුවක් උඩ, චිත්‍රපටය දුර්වල ලෙස අධ්‍යක්ෂණය කළ බවත්, එය චිත්‍රපටයක් ලෙස ඔය තරමට හෝ නැරඹීමට හැකි වූයේ, එහී සංස්කරණ ශිල්පිනී ඈන් වී. කෝටෙස් ගේ දක්ෂ කම නිසා බව ටොම් මැන්කිවික්ස් කියා තිබුණි.

කෙසේ වෙතත් 'ද ඊගල් හෑස් ලෑන්ඩඩ්' චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක වූ චිත්‍රපටයක් විය. එය 1977 වර්ෂය තුළ එංගලන්තයේ 15 වෙනි සාර්ථකම චිත්‍රපටය විය. ලංකාව තුළ ප්‍රදර්ශනයේ දීද, එය ජනප්‍රිය වූ අතර, එය ප්‍රියතම හොලිවුඩ් යුදමය චිත්‍රපට ගොන්නේ තවත් එක් චිත්‍රපටයක් බවට පත්වී තිබුණි.