සිහින නෙළුම් මල ජීවිත පොකුණේ “සහනය”

සැප්තැම්බර් 24, 2020

ගාමිණි ෆොන්සේකා ගේ සිනමා චරිතයන් ගවේෂණය තුළ දී වීරත්වයෙන් මිදුණු චරිත වේ නම් එය ඉතා මත් අතළොස්සකි. ගම්පෙරළියේ 'ජිනදාස', සුදෝ සුදු හි 'අදිරියන්', සැනසුම කොතැන ද 'දොස්තර රාජා', සරුංගලේ 'නඩරාජා', දෙවියනේ ඔබ කොහි ද? 'සෙබස්තියන් පියතුමා', බාඳුරා මල් 'තීරකොටුවේ ආරච්චි' වැනි චරිත තුළ ඔහු රඟ පෑවේ සුපුරුදු වීරත්වයෙන් බැහැර ව ය. ඒ අතරිනුත් වඩාත් ම අවිහිංසක, එ මෙන් ම සංවේදි වූ චරිතය ලෙස, 'සහනය' චිත්‍රපටයේ ඔහු රඟ පෑ 'පියල්' ගේ භූමිකාව හැඳීන්විය හැකි ය.

ගම්පෙරළියේ 'ජිනදාස' කේඩැරි මිනිසකු විනා, අහිංසක මිනිසෙක් නො වේ. පරසතු මල් හී 'බොනී මහත්තයා' ද අත පය විසි කරන ජාතියේ වීර චරිතයක් නො වූව ද, බොනී මහත්තයා තුළ ඒකාධිපත්‍යයක් උසුලන ප්‍රතාපවත් චරිත ලක්ෂණ එමට තිබිණි. තම ප්‍රතිරූපය ඉහළ නැංවෙන චරිත ගැන පමණක් වැඩි අවධානයක් යොමු කළ ගාමිණි ෆොන්සේකා,  'සහනය' වැනි චිත්‍රපටයක, තම ප්‍රතිරූපයට හානි වන චරිතයක් රඟ පෑම ම පමණක් නො ව, එයට නිෂ්පාදනයෙන් පවා සහය දීම, තරමක් ගැටලු සහගත ය. අනෙක් අතට, ප්‍රධාන නිළිය ගෙන් වේගවත් කම්මුල් පාරක් ඔහුට එල්ල වන චරිතයකි මේ 'සහනය' චිත්‍රපටයේ පියල් ගේ චරිතය. ගාමිණි ෆොන්සේකා නිළියක ගෙන් කම්මුල් පාරක් ලබන පළමු අවස්ථාව මෙය යයි සිතේ. 

'සහනය' චිත්‍රපටයේ එකී දර්ශනයට බොහෝ ගාමිණි රසික රසිකාවන් කැමති වූයේ නැත. එක්තරා චිත්‍රපට ශාලා හිමියකු 'සහනය' චිත්‍රපටය  තම ශාලාවට ගැනීමට ප්‍රතික්ෂේප කළේ, ගාමිණි වැනි සිනමා වීරයකු, නිළියක ගෙන් එසේ කම්මුල් පාරක් ලැබීම,කිසි සේත් අනුමත කිරීමට නො හැකි නිසා ය. එ ලෙස ම, තවත් සිනමා ශාලා හිමියකු 'සහනය' චිත්‍රපටය තම ශාලාවේ ප්‍රදර්ශනය කළේ එක ම එක දවසකි. ඒ ඔහුට ද තම සිනමා වීරයා වූ ගාමිණි ෆොන්සේකාට, ගැහැනියක විසින් කම්මුල් පාරක් ගැසීම තව දුරටත් ඉවසිය නො හැකි නිසා ය. මේ, අප ලාංකීය සිනමා ප්‍රේක්ෂකයන් ගේ තරු වන්දනා මානසීකත්වය ය. මේවා දකුණු ඉන්දියාව තුළ ප්‍රබල ව ම දක්නට ලැබේ. එ කල එම්.ජී.රාමචන්ද්‍රන්ට ද කව්රු හෝ ගුටි බැට දෙනවාට ප්‍රේක්ෂකයන් කැමති නැත. යම් හෙයකින් නිළියක , එම්.ජී.ආර්ට කම්මුල් පාරක් ගැසුව හොත්, එම චිත්‍රපටය පෙන්නූ සිනමා ශාලා, ගිනි තැබීමට පවා ඒ ඉන්දියානු ප්‍රේක්ෂකයන් පෙලඹේ. එම්.ජී.ආර් ගෙන් පසු මෙම තත්ත්වය ලබා-ගත්තේ රැජිනි කාන්ත්ය. ඔහු ගේ ඇඟේ ද මදුරුවකු හෝ වසනවාට ප්‍රේක්ෂකයන් කැමති නැත. මදුරුවා නිකමට හෝ රැජිනි කාන්ත්⁣ ගේ ඇඟට විද්දොත්, ඔහු ගේ ප්‍රේක්ෂකයන් මුළු ඉන්දියාවේ ම මදුරුවන්ව විනාශ කර මදුරු උවදුර සහමුලින් ම නැති කරන්නට වුව ද පෙලඹේ. මේ තරු වන්දනාව යි. ගාමිණි ෆොන්සේකාටත්, පසු ව විජය කුමාරණතුංගටත් ලැබුණේ මෙ වැනි තරු වන්දනාවකි. එ ලෙස ම කොයි ප්‍රේක්ෂකයාත්, තමන් ඇලුම් කරන වීරයාව හෑල්ලු වෙනවා දකින්නට කැමති වෙන්නේ නැත. 

ගාමිණි ෆොන්සේකා තරම් සිනමා වීරයකු යළි මේ කපේ දී බිහි වේ වි යයි නම් සිතා-ගත නො හැකි ය. ඔහු ගේ වීර ප්‍රතිරූපය නිර්මාණ වූයේ 'සන්දේශය' චිත්‍රපටයේ 'තම්මිට' ගේ චරිතයෙනි. එය එම චිත්‍රපටයේ අතුරු චරිතයක් වූව ද, 'සන්දේශයේ' ප්‍රධාන චරිතය අබිබවා ඉස්මතු විය. ඒ ගාමිණි ෆොන්සේකා එකී සුළු පරාසය තුළ පෙන්වූ වීර වික්‍රම නිසා ය. ප්‍රධාන චරිතය රඟ පෑ ආනන්ද ජයරත්න ව දියාරු කිරීමට සන්දේශයේ දමිත ගේ චරිතය රඟපෑ ගාමිණි ෆොන්සේකාට හැකි විය. මෙන්න ලාංකික සිනමාවට අවශ්‍ය නළුවෝ යැයි කියා සිතෙන්නේ  'සන්දේශයේ' ගාමිණි ෆොන්සේකා රඟ පෑ ආකාරය දෙස බැලූ විට ය. ඉන් පසු 'රන්මුතු දූව' බන්ධු ගේ චරිතයෙන් ඔහු ගේ ප්‍රතිරූපය ඉහළ නැංවිණි. ඒ කිට්ටු කාල වකවානුවේ ම තිරගත වූ 'චණ්ඩියා' හි 'චුට්ටේ',. ධීවරයෝ 'ප්‍රැන්සිස්', හා ගැටවරයෝ හි 'ජයසේන' ආත්ම පූජා හී 'ජෙරී' හරහා ගාමිණි ෆොන්සේකා, සිංහල සිනමාව තුළ, සදාතනික වීරයා බවට පත් වී, බහුතර ප්‍රේක්ෂකයන් ගේ සිත් තුළ ඔහු වෙනුවෙන් දැඩි භක්තියක්,ආදරයක් මෙන් ම විශාල ගෞරවයක් ඇති විය. එහෙයින්, ඉන් පසු ගාමිණි ගේ ඇඟේ මැස්සකු හෝ වහනවාට, ප්‍රේක්ෂකයන් කැමති නො වී ය.  'ඔහොම හොඳද?' චිත්‍රපටයේ දී, බැප්ටිස්ට් ප්‍රනාන්දු විසින් 'ක්ලබ්' එකක් තුළ, ගාමිණීට කසෙන් තලන විට, ප්‍රේක්ෂකයන් අන්ද, මන්ද වූව ද, චිත්‍රප⁣ටයේ පසු භාගයේ දී, ගාමිණී පැමිණ, 'රජ කම් කෙරුවත් කළ කම් පල⁣ දේ' කියන ගීතය ගයමින් බැප්ටිස්ට් හට දෙන රිටන් එක, ඩබල්, ට්‍රිබල් කර කසෙන් තළන විට, ප්‍රේක්ෂකයන් නැඟූ විසිල් හඩ, එ කල ප්‍රේක්ෂකයන් හට නම් කිසි දිනක අමතක නො වේ. 

එවන් ප්‍රබල ප්‍රතිරූපයක් හැදුණු මහා රංගධාරියකු ,චිත්‍රපටයක ජවනිකාවකට වූව ද, නිළියක ගේ කම්මුල් පාරකට ලක් වීමත්, එකී නිළිය ගේ පියාගේ චරිතයට රඟ පාන නළුවා ගෙන් නොසෑහෙන්න ගුටි බැට ලැබීමත් ප්‍රේක්ෂකයන්  ගේ දැඩි නොසතුට හේතු වූ කරුණක් විය. අන් අතට වෙන චිත්‍රපට වල මෙන් ඒවාට ගාමිණීගෙන් රිටන් ලැබෙන්නේද නැත. 'සහනය' චිත්‍රපටයට ප්‍රේක්ෂක සහභාගිත්වය අවම වී, චිත්‍රපටය වාණිජමය අසාර්ථකත්වයට පත් වීමට, එකී හේතුව දැඩි ව බල පෑවේ ය. 

'සහනය', නිෂ්පාදන කර්තව්‍යය ට අත ගැසුවේ, ගාමිණී ෆොන්සේකා සමඟ වාණිජ ධාරාවේ රඟ පෑ ප්‍රබල නළුවන් දෙ දෙනකු ය. ඒ. බැප්ටිස්ට් ප්‍රනාන්දු හා ප්‍රේම් ජයන්ත් ය.  ප්‍රේම් ජයන්ත් යනු ලංකාවේ ප්‍රථම ජුබිලි ස්ටාර් ය. ඔහු රඟ පෑ 'සැඩ සුළං' චිත්‍රපටය එ කල මෙගා හිට් එකක් විය. එයට සමානව ඔහු රඟ පෑ , 'සුජාතා' චිත්‍රපටය ද , ආදායම් වාර්තා බිඳ හෙළමින් තිර ගත විය. ප්‍රේම් ජයන්ත් එ කල සිහින කුමරා විය. 'සිතක මහිම' 'පුරුෂ රත්නය', 'හෙට ප්‍රමාද වැඩියි' ඔහුව ජනප්‍රිය කළ චිත්‍රපටයන් ය. බැප්ටිස්ට් ප්‍රනාන්දු දුෂ්ට චරිත රඟන නළුවකු ලෙස මුලින් සිනමාවට එකතු වී, පසු ව තමා ගේ ම නිෂ්පාදන තුළින් වීර ප්‍රතිරූපයක් සාදා-ගෙන ජන හද දිනූ නළුවෙක් විය. 'සහනය' චිත්‍රපටයට මේ ති දෙනා ම එකතු වූයේ, 'හොඳ' චිත්‍රපටයක් කිරීමේ චේතනාවෙනි. එහෙත් ඔවුන් එය භාර කළේ ජේ.සෙල්වරත්නම්ට ය. ඔහු අතිසාර්ථක විනෝදාත්මක සිනමා අධ්‍යක්ෂක වරයෙකි. 'ඔහොම හොඳද' අධ්‍යක්ෂණය කළ ඔහු, පසු කලෙක 'කවුද රජා', ' 'හොඳට හොඳයි', 'චිං චිං නෝනා', 'අප්සරා', 'සබීතා' වැනි වාණිජ ධාරාවේ චිත්‍රපට නිර්මාණය කළේ ය. ඒවා සියල්ල ම ⁣'සුපිරි හිට්' ය. ඔහු ගේ අසාර්ථක වූ එක ම චිත්‍රපටය 'සහනය'ය. එයින් ඔහුට 'ක්ලැසිකල්' ගණයේ චිත්‍රපට කිරීමට නොහැකි බව ඔහු ම ඔප්පු කළේ ය. 

ධර්මසිරි ගම⁣ගේ ගේ කථා තේමාව තුළ ⁣ජේ.සෙල්වරත්නම් විසින් ම තිර රචනය කර තිබූ අතර, එහි බොහෝ නොගැලපෙන තැන් තිබිණි. පියල් ගේ චරිතයේ මුල් ජවනිකා පෙළේ දී, ඔහුව මෝඩ මිනිසකු ලෙස පෙන්වන්නට ගත් උත්සහය, සපල වී තිබුණේ නැත. එහි දී ඔහුව මෝඩයකුට වඩා පිස්සකු කර තිබුණි. සපත්තු කඩේට පැමිණි සල්ලිකාර තරුණිය ගේ උපන් දින සාදයට පියල් ගියේ මෝඩයකුට වඩා පිස්සකු ලෙස ය. එම ජවනිකාව කෙසේ වත් ගැළපෙන්නේ නැත. ඔහු ගේ 'ඔහොම හොඳද' චිත්‍රපටයේ ද, මුලින් ම ගාමිණි ෆොන්සේකා දුම්රියෙන් කොළඹට යන විට, ඔහු ගේ කරේ කෙසෙල් කැනක් එල්ලා, එක් අතකට කොට්ට පැදුරු දී, අනිත් කරේ ලන්තෑරුමක් එල්ලා, 'ජෝකර්' කෙනකුට වඩා පිස්සකු කර තිබිණි. 'සහනය' චිත්‍රපටයේ දී ද සෙල්වරත්නම් මුල් දර්ශනවල ගාමිණී ෆොන්සේකාව ජෝකර් කෙනකුට වඩා පිස්සකු බවට පත් කර තිබිණි. 

පියල් චිත්‍ර ශිල්පියෙකි. ඔහු චිත්‍ර අදිමින් ඒවා විකුණා, තමාත්, තමා ගේ ආච්චිත්, නංගීත් බලා ගනී. ඔහු ගේ චිත්‍ර වැඩිපුර ම ගන්නේ බේබි මහත්තයා ය. ඔහු කරන්නේ පියල් ගේ චිත්‍ර මිලදී  ගෙන එයට තමා ගේ නම යොදා වැඩි මුදලට විකිණීම ය. වෙනත් කෙනෙකු ගේ නමින් තමා ගේ චිත්‍ර වෙළද පොළට යන එක ගැන පියල් දැඩි ලෙස අකමැති වුව ද, මුදල් හමුවේ ඔහු නොදොඩා සිටියේ ඔහුට ජීවත් වීමට වෙන ක්‍රමයක් නොමැති නිසා ය. 

ධනවත්,පෙළපත් හා රූමත් යෞවනියක වූ රූපාට පියල්ව හමු වන්නේ ඇය තම මුහන්දිරම් පියා සමඟ ගොල්ෆ් ගැසීමට පැමිණි නිසා ය. ගොල්ෆ් පිටියේ කෙළවරක සිටි පියල් රූපා ගේ රුව සිතුවමට නඟා-ගත්තේ, එය ඇයට විකුණා, කීයක් හෝ සොයා ගැනීමේ අදහසිනි. එ සේ සිතුවමට නඟා-ගත් පින්තූරය ඔහු ඇයට පෙන්වන්නේ දහසක් බලාපොරොත්තු ගොනු කොට ගෙන ය. ඒ, මුදල් සහ අගය කිරීම් ය. එම පින්තූරය දුටු ඇය ගෙන් ඔහුට ලැබුණේ අගය කිරිම් නොව, වේගවත් කම්මුල් පහරක් ය. ඒ ඇයට නොකියා ඇයගේ රුව සිතුවමකට නැඟූ නිසා ය. එහෙත් ඒ පින්තූරය දුටු, ඇය ගේ පියා වූ මුහන්දිරම් තුමා, පියල් ගේ දක්ෂතාවයන් ගැන පැහැදී, ඔහුට තම වලව්වට පැමිණ තමා ගේ පින්තූරයක් සිතුවමට නඟා දෙන ලෙස ආරධනා කළේ ය.

පියල් ගේ හා රූපා ගේ සම්බන්ධය පටන් ගන්නේ, පියල් මුහන්දිරම් ගේ රූපය සිතුවමට නඟා දීමට යන අතරේ ය. එම රූපය සිතුවම් කර නිම කිරීමට දින කීපයක් ම පියල්ට වලව්වට යෑමට සිදු වේ. තමා ගේ අතින් පියල්ට විශාල අසාධාරණයක් සිදු වූ බව වැටහී ගිය රූපා මුලින් ඔහුට අනුකම්පා කළ අතර, පසු ව ඔහුට ආදරය කරන්නට විය. මහ විශාල වලව්වක සියලු සැප පහසුකම් මැද බටහිර ආරෙට දිවි ගෙන යන රූපා වැන්නියක මෝඩ පහේ පෙනුමක් තිබෙන, එදිනෙදා වේල වත් සොයා-ගැන්මට නො හැකි පැල්පතක වෙසෙන පියල් වැන්නකුට ආදරය කිරීමට පෙලඹීම ගැන අපට කියන්න තිබෙන්නේ 'හිත ගිය තැන මාළිගාව' කියා ය. 60 දශකය තුළ මෙ වැනි සුරංගනා කථා සිදු වීමේ ප්‍රවණතාවන් තිබෙන්නට ඇති වුව ද, අද යුගයේ නම් සිටු කුමරියන් වහලුන් සමඟ පැන යන්නේ, එක්කෝ ඒ සිටු කුමාරිට මොළේ ආබාධයක් තිබුණොත් පමණි. නැත්නම් තෙල් මන්දාරම ඉහට ගැසුණොත්ය. කෙසේ හෝ රූපා වලව්ව තුළ ම පියල්ට තම ආදරය ප්‍රකාශ කරන අවස්ථාවේ,එය මුහන්දරම්ට ඇසී, පියල්ට තම අතේ තිබෙන බස්තමෙන් හොඳ හැටි පහර දී වලව්වෙන් එළියට ඇද දැම්මේ, අනේකවත් පරුෂ වචන කියමිනි.  චිත්‍රපටය තුළ හැම විට ම පෙන්වන්නට උත්සහ කළේ පියල් ගේ අසරණකමත්, ඒ අසරණකම නිසා විඳීන්නට වෙන ගැහැටත් ය. 

බේබි මහත්තයා ගේ චරිතය ඊට හාත් පසින් ම වෙනස් ය. ඔහු රූපාව විවාහ කරගැන්මට ඉමහත් බලාපොරොත්තු තබා ඇතත්, තවත් තරුණියන් ඇසුරු කරන තරමක සල්ලාලයෙකි. එහෙත් ඔහු ට මුදල් නම් යහමින් තිබේ. 

පියල්ට ගුටි බැට ලැබූ සිද්ධියෙන් පසු කම්පාවට පත්වූ රූපා, සියලු යස ඉසුරු හැරදා  පියල් සමඟ ගියේ හරියට පටාචාරා කථා වස්තුවේ සිටි සිටු කුමරිය ලෙස ය. වලව්වේ හාමු කෙතරම් බලපුළුවන් කාරයෙක් වූව ද, රූපා, පියල් සමඟ යෑම, නතර කරන්නට ශක්තියක් නොතිබීම තවත් මවිතයට පත් කරුණකි.

කථාන්තරය ඉන් පසු දිව යන්නේ චිත්‍රයක් හේතු කොට ගෙන ය.  රූපා දිය රෙද්දක් ඇඳ සිටි රූපයක් පියල් විසින් චිත්‍රයට නඟනු ලබයි. චිත්‍රපටයේ සුන්දර ම එමෙන් ම වටිනා ම ජවනිකාව නම් එම චිත්‍රය සිතුවමට නඟන දර්ශනය යි. එ තැන දී ඩබ්ලියූ ඩී.අමරදේවයන් විසින් ගැයෙන ගීතය  සිංහල සිනමාව තුළ ගැයු විශිෂ්ටතම ගීතයක් විය. මා 'සහනය' චිත්‍රපටය තුළින් දුටු එක ම සුවිශේෂත්වය මෙම ගීතය යි.

“ සිහින නෙළුම් මල ජීවිත පොකුණේ

 දෑස අබියස පිපී සැලේ

 දෑස අබියස පිපී සැලේ

 තුන්යම පුබුදා ජීවිතයේ

 අරුණලු නැගෙන පබාසරේ

 අහස ඉසව්වේ ඔබ මා දුටුවේ

 රිදී පහන් තරුවක් වාගේ

 රිදී පහන් තරුවක් වාගේ ”

'සහනය' නිම වන්නේ ඛේදවාචකයකිනි. දරුවකු ප්‍රසූත කිරීමට සිටි රූපා මියයන්නේ පියල්ට ඇය ගේ ලෙඩේට බෙහෙත් කිරීමට මුදල් සොයා-ගැන්මට පරක්කු වූ නිසා ය. පියල් බේබි  මහත්තයා ළඟට මුදල් ඉල්ලීමට  ගිය විට පියල්ට සල්ලි වුවමනා නම් අර රූපා දිය රෙද්ද ඇඳ සිටි චිත්‍රය ඔහු ඉල්ලයි. රූපා කෙසේ වත් එයට කැමති වෙන්නේ නැත. ඒ නිසා බේබි මහත්තයා ද සල්ලි දෙන්නේ නැත. නිසි වෙලාවට බෙහෙත් නොදීම නිසා රූපා මියයයි. 

මෙ තෙක් ආ දුක් කම්කටොලු ඉවසා සිටිය ද, රූපා ගේ මරණින් පසු තවත් ඉවසිය නොහැකි නිසා පියල් මහණදම් පුරයි. පියල්ට එසේ හෝ 'සහනය' ක්, ලැබුණද, මෙය නැරඹු ප්‍රේක්ෂකයන් හට නම් ලැබුණු එක ම 'සහනය' අමරදේවයන් ගැයූ , ධර්මසිරි ගමගේ ලියූ, 'සිහින නෙළුම් මල ' ගීතය පමණි. 

රූපා මිය යාමට ප්‍රථම පියල් ගේ ආච්චි මිය යයි. එ තැනින් පසු ඔහු ගේ කුඩා නංගී බලා-ගත්තේ පියල් හා රූපා විසිනි. පසු ව රූපා මිය ගොස්, පියල් මහණ දම් පුරන විට, අර කුඩා නංගිට සිදු වුණේ කුමක් දැයි චිත්‍රපටය අවසානයේ දී කියන්නේ නැත. සියල්ලට ම එය අමතක වූවාක් බඳු ය.  

ඩබ්.ඩී අමරදේව ගේ ගී තනු හා ගායනය චිත්‍රපටයේ උසස් ම අංගය විය. ටී.එෆ් ලතීෆ් පසු බිම් සංගීතය සැපයී ය. ජේ.සෙල්වරත්නම් තිර නාටකය ලියා අධ්‍යක්ෂණය කළ 'සහනය' ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළේ 1971 දෙසැම්බර් 22 වැනි දා ය.

 “මැදියම අවදිව හැබැහින් දුටුවෙමි

 පෙරයම නින්දේ දුටු සිහිනේ

 එහෙත් සිහිනයක් වේදෝ යළි එය

 ජීවිතයේ අන්තිම යාමේ

 ජීවිතයේ අන්තිම යාමේ”

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)