කඩවුණු පොරොන්දුවක නොමැකෙන සේයා

කඩවුණු පොරොන්දුවට විසිපස් වසර පිරුණු දා එඩී ජයමාන්න සරසවිය සමඟ කළ සංවාදය
ජනවාරි 20, 2022

 

ඉස් ඉස්සර වෙලා උඹව දැක්ක දිනේදිමයි ආදරේ බැඳුණේ. උඹත් ආදරේදැයි දැන්මම කියපන්... කඩවුණු පොරොන්දුවේ විකට ගීයක් ගයමින් රඟ පෑ ජෙමිණි කාන්තා හා එඩී ජයමාන්න

 

* කඩවුණු පොරොන්දුව බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ පුරෝගාමිත්වයෙන් යුක්ත වූ මිනර්වා නාට්‍ය සමාගමේ නාට්‍යයක් ඇසුරෙන් නිෂ්පාදිත චිත්‍රපටයකි.

* නිෂ්පාදනය කළේ චිත්‍රකලා මුවිටෝන් සමාගමයි.

* ඉන්දියාවේ මදුරෙයි නගරයෙහි චිත්‍රකලා චිත්‍රාගාරයේ දී නිෂ්පාදනය විය.

* චිත්‍රකලා මුවිටෝන් අධිපති ඇස්.ඇම්. නායගම්ය.

* රොබට් සේනානායක සර් සුසන්තා ද ෆොන්සේකා, ආර්.එෆ්.ඇස්. ද මෙල්, රාමනාදන් (නායගම්ගේ සොහොයුරෙකි.) චෛත්‍යලිංගිම්, සුබ්‍රමනියම් චිත්‍රකලා මුවිටෝන් සමාගමේ අධ්‍යක්ෂවරු වූහ.

* අධ්‍යක්ෂ ජේ.සිංහ

* කථාව, තිර නාටකය, දෙබස් රචනය හා නළු නිළියන් පුහුණුව බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්න

* කැමරාව - කේ. ප්‍රභාකර්

* උප අධ්‍යක්ෂක - එස්.සෞන්දර්රාජන්

* සංගීතය - නාරායන් අයියර්

* සංස්කාරක - පාතර් සාලි

* ගීත ප්‍රබන්ධනය - කේ.හියුගෝ ප්‍රනාන්දු

* පසුබිම් ගායනය - කේ.හියුගෝ ප්‍රනාන්දු

* වෙළෙඳ තැටි සඳහා ගායනය කළේ ස්ටැන්ලි මල්ලවආරච්චි

* චිත්‍රපටයේ ගී ගායනය රුක්මණී දේවි, එඩී ජයමාන්න හා ජෙමිණි කාන්තායි

* නළු නිළියෝ, රුක්මණීදේවි සහ බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්න (ප්‍රධාන චරිත) සමඟ එඩී ජයමාන්න. ජෙමිණි කාන්තා පීටර් පීරිස්, ස්ටැන්ලි මල්ලවආරච්චි හියුගෝ ප්‍රනාන්දු.එස්.ඩී එළිසබෙත්, මිරියම් අයිරාංගනී ජයාමන්න, මර්ලින් සිල්වා, ඇස්ලින් බාලසුරිය, එව්ලින් බාලසුරිය, ඩී.ටී. පෙරේරා ඇතුළු තවත් අය.

* ප්‍රදර්ශනය කළේ 1947 ජනවාරි 21 වෙනිදා

* මංගල දර්ශනය පැවැත්වුයේ කොළඹ කිංස්ලි සිනමා හලේ

* ප්‍රධාන අමුත්තා වූයේ දිවංගත ඩී.ඇස්.සේනානායක මහතා

* ලංකාවේ නගර පහක පිටපත් පහක් පමණකි. මුල් වටයට ප්‍රදර්ශනය වූයේ

* මුල් රවුමෙන් සම්පුර්ණ ආදායම ලක්ෂ විසි දෙකකි.

*නොකඩවා මාස හයක් ප්‍රදර්ශනය විය.

කථාව සැකෙවින්

‘රංජනී රූමත් තරුණියකි. ඇගේ පියා ණය බරින් මිරිකී අන්තිමේ දී දිළිනේදෙක් ලෙස මිය ගියේය. ඔහුගේ මෘත ශරීරය භූමදානය කර ගැනීමට පවා ණයකරුගේ බාධා ඇති කරති.

රංජනීගේ පියා ගේ මළ මිනියට වන අගෞරවයෙන් බේරා ගැනීමට ඉදිරිපත් වූයේ සැම්සන්ය.

ණය මුදල විශාල වූයෙන් සැම්සන්ට සිය මුළු බුදලයම ඒ සඳහා කැප කිරීමට සිදුවිය. ඔහුට උන් හිටි තැන් පවා නැතිවී ගියේය.

සැම්සන් රංජනී ගැන අදහසක් පහළ කර ගත්තේය. ඔවුන් පෙම්වතුන් බවට පත්වූහ. එහෙත් වැඩි කලක් ඔවුන්ට පෙම් ලොව නැළවීමට ඉඩකඩ ලැබුණේ නැත. සෑම්සන්ට නැවත හදිසියේම සිංගප්පුරුවට යෑමට සිදුවිය. ඔහු රංජනී සනසා නැවත එන පොරොන්දුව පිට රට හැර ගියේය.

මේ අතර වික්ටර් නම් කාමාතුර විවාහකයෙක් සිය මිතුරෙකුගේ ද උදව් ඇතුව රංජනී ලබාගැනීමට තැත් කළේය. කල්යත්ම වික්ටර් ගේ ධන බලය නිසා රංජනීගේ ආලය දිනා ගැනීමට හැකිවිය. රංජනීට සැම්සන්ට වූ පොරොන්දුව සිහිපත් වූවත් සහජයෙන්ම ස්ත්‍රියට පිහිටා ඇති චපල කම නිසා වත්දෝ වික්ටර්ගේ තුරුලේ නැළවීමට ද ඇගේ හදවත නොපෙලඹුණා නොවේ.

දිනක් සිංගප්පුරුවේ සිට සිය අනාගත බිරියට වටිනා තෑගි බෝග ද රැගෙන එන සැම්සන්ට දක්නට ලැබුණේ රංජනී වික්ටර්ගේ තුරුලේ පෙම් සුව විඳින අයුරුයි. ඔහු කෙසේ මෙය විඳ දරා ගන්නද? මෙය සිහිනයක් ද?

අසරණ සැම්සන් මේ වියෝවෙන් මානසික රෝගියකු විය.

විවාහක වික්ටර් ගේ සියලුම කපටිකම් අන්තිමට රංජනීට දැන ගැනීමට ලැබීමෙන් ඈ මහත් සේ කම්පාවට පත් වූවාය.

අන්තිමේ දී කෙසේ හෝ සෑම්සන් ගේ උමතුව සුව විය. වික්ටර් රංජනී ළඟ දණින් වැටුණාය. ඔහු සැම්සන් ගෙන් ද සමාව ගත්තේය. රංජනී - සැම්සන් නැවත එක් වූහ.

 

 

මංගල ගමනක පිය සටහන්

සිංහල සිනාමවේ ආරම්භයේ සිටම එහි නියුතුව සිටම එහි නියුතුව සිටිමින් එය ගැන දැඩි උනන්දුවක් දක්වන්නෙකු ලෙස මෙන්ම, සිංහල සිනමාවක් ගොඩ නැංවීමට පුරෝගාමී වුූවෙකි. වශයෙන් ද අද වැනි දිනක විසිපස්වසක් දෙස ආපසු හැරී බලන මට මහත්සේ තෘප්තියට පත්විය හැකි ඉතිහාසයක් තිබේය කියා සිතෙනවා.’

එහෙත් විශේෂ කරුණක් කිව යුතුයි. මුල් ම සිංහල චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුවේ සිට අද දක්වා මා චිත්‍රපට රැසක විවිධ චරිත රඟපෑවත් අදත් මට වඩාත් ආශ්වාදයක් භූක්ති විඳිය හැක්කේ අන් කිසිදු චිත්‍රපටයක් නොව කඩවුණු පොරොන්දුව සිහිපත් කරන විට බවයි.

කඩවුණු පොරොන්දුව ප්‍රදර්ශනය වී විසි පස් වසරක් ගෙවී ගිය අද සිනමාවේ පෙරළියක් සිදු වී ඇති බව සත්‍යයක්. සමහර විට කඩවුණු පොරොන්දුව ගැන සිහිපත් වන විට සිනහ නුපදින්නේ නැන්තේ ද නොවේ. අද හිතෙනවා සමහර කරුණු හරිම බොළඳ නොවේද කියා එහෙත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ යුවළක ගේ විවාහ මංගල රජත ජයන්ති උලෙළ දා තම මංගල දිනය සිහිපත් කිරීමෙන් ලැබෙන්න වූ තරම් මියුරු සුවදායක ආශ්වාදයක් කඩවුණු පොරොන්දුව ගැන කතා බහ කිරීමෙන් අද මට මෙන්ම රුක්මණී දේවීටත් භූක්ති විඳිය හැකිමයි.

මේ මොහොතේ මගේ මනසට නැඟෙනවා කඩවුණු පොරොන්දුව සිනමාවට නැඟීමේ පොරොන්දුව ඇති වූදා. මුලින්ම කඩවුණු පොරොන්දුව තිරගත වුවත් එය සිනමාවට නැඟීමට අඩිතාලම වැටුණේ එයට වසරකට පමණ පෙරාතුවයි.

ඒ කාලයේ ලක් ජනතාවට සිංහල චිත්‍රපටයක් ගැන මට හිතෙන හැටියට සැබැවින් තබා සිහිනෙන්වත් සිතන්න තරම් පසුබිමක් තිබුණේ නෑ. මෙරට ප්‍රේක්ෂකයන් එකල ‘බයිස්කෝප්’ බලන්න යනවා කියා ඇදී ගියේ දෙමළ හා ඉංගී‍්‍රසි චිත්‍රපට නැරඹීමටයි. විදේශීය චිත්‍රපට එකල මෙකලටත් වඩා ජනප්‍රියව තිබුණාය. කියා මට හිතෙනවා. ඉංගී‍්‍රසි ෆුල් සිරියල් චිත්‍රපටයක් ප්‍රදර්ශනය වන විට එය නැරඹීමට ලැබෙන අයට වඩා ටිකට් නැතුව සුන් වූ බලාපොරොත්තුවෙන් යුතුව ආපසු හැරී යන අය වැඩියි.

එකල සිංහලය කියා මෙරට කලා රසිකයන්ට නරඹන්නට තිබුණේ නාට්‍ය පමණයි. නාට්‍ය සඳහා විශාල උනන්දුවක් එකල තිබුණා. දුප්පතාගෙන් පොහොසතාගේත් දෙගොල්ලෙන්ගේම ප්‍රධානතම විමෝද මාධ්‍යයක් වී තිබුණේ නාට්‍යයයි.

මීගමුවේ මිනර්වා නාට්‍ය සංගමය එකල දිවයිනේ මහත් කීර්තියක් හිමිකර ගෙන තැබූ නාට්‍ය සංගමයක් මගේ සොහොයුරු වූ බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්න ප්‍රමුඛ අප මිනර්වා නාට්‍ය සංගමයේ සාමාජික සාමාජිකාවන් වූවා. මම මේ ආත්ම වර්ණනාවක් කරනවා නම් නොවේ. එකල රුක්මණී දේවි සහ එඩී ජයමාන්න යන නම් දෙක නාට්‍යාභිලාෂීන්ට ශ්‍රවණය වූ විට හෝ අප දුටු පමණින් නැගෙන දෙසවන් බිහිරි කරවන අත්පොළසන් නාදය විනාඩි ගණනාවක් නොකඩවා පවතිනවා. රුක්මනී දේවී එකල සෑම කලා රසිකයෙකුගේම සිහින ලොවේ අමරණීය රැජින වූවා. විකට රාජා ලෙස මට ද එවන් ස්ථානයක තිබුණ බව මා පවසනුයේ ඔබ ඉදිරියේ හුදෙක් සත්‍යය හෙළි කිරීම පිණිසමයි.

මිනර්වා නාට්‍ය සංගමය රඟදැක් වූ සෑම නාට්‍යයකටම වඩා මෙරට පේ‍්‍රක්ෂකයන්ගේ හදවත් වැලඳ ගැනීමට ‘කඩවුණු පොරොන්දුව‘ සමත් වූවා. සමහර විට විශ්වාස කරන්නත් අසීරු ඇති. එහෙත් සත්‍යයයි. කඩවුණු පොරොන්දුව දිවයිනේ අස්සක් මුල්ලක් නෑර අටසිය වතාවක් ඉක්මවා වේදිකා ගත වූවා.

මිනර්වා නාට්‍ය සංගමය මෙලෙස ලබාගත් කීර්තිය නිසා විය යුතුයි. එස්.එම්.නායගම් ප්‍රමුඛ චිත්‍රකලා මුවිටෝන් සමාගම මිනර්වා නාට්‍ය සංගමයේ නළු නිළි පිරිස යොදවා ජනපි‍්‍රය නාට්‍යයක් චිත්‍රපට ගත කිරීමට අදහස් කර තිබුණා. සිංහල සිනමාවක් බිහි කිරීමට චිත්‍රකලා මුවිටෝන් සමාගම අදහස් කර තිබුණා. එම අදහසින් යුතු ව එහි අධිපති වූ ඇස්.ඇම්. නායගම් මහතා සහ අධ්‍යක්ෂවරයකු වූ රාමනාදන් මහතා දිනක් පැමිණියා මිනර්වා කාර්යාලයට.

“අපේ අදහස ඔයගොල්ලෝ අරගෙන ඔයගොල්ලන්ගේම කථාවක් මත සිංහල චිත්‍රපටයක් හදන්නයි.” නායගම් එසේ පැවසුවා.

“මොනවා සිංහල චිත්‍රපටයක් හදන්න”

අපට මෙය අදහගන්න පුළුවන් දෙයක් නොවේ. සිංහල චිත්‍රපටයක් හදන්න! සිංහල නළු නිළියන් යොදා සිංහල භාෂාවෙන් කතාබහ කරන චිත්‍රපටයක් හදන්න !මෙය අදහන්න බැරි තරම් පුදුමයක් වූවත් අපේ හදවත් තුළ එම මොහොතේ ජනිත වූ සන්තූෂ්ටිය ඇත්තෙන් ම විස්තර කළ නොහැකි තරම් කිසිම මුදලක් නොගෙන අපි කාගෙත් ශ්‍රමය පුදන්න එම මොහොතේ ම පොරොන්දු වීමට අපට සිතූණා. එහෙත් අපේ පවුලේ වැඩිමලා වූ විලි ජයමාන්න එයට විරුද්ධ වුණා. “මේක බිස්නස් එකක්. මුදලක් පොරොන්දු වෙමු.” ඔහු කීවා.

ඒ අනුව මිනර්වා නාට්‍ය කණ්ඩායම චිත්‍රපටය හදන මුළු කාලය තුළ දීම මසකට රුපියල් විසිපන්දහසක් බැගින් ගෙවීමට සහ චිත්‍රපටයේ ලාබයෙන් සියයට දෙකක් ලැබෙන පරිදි පොරොන්දු ගිවිසුමක් අත්සන් කළහ.

මිනර්වා නාට්‍ය කණ්ඩායමේ කවර නාට්‍යයක් වූවත් චිත්‍රපට ගත කිරීමට නායගම් කැමති වුවත් බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්න ගේ කැමැත්ත වූයේ වඩාත්ම ජනපි‍්‍රය වූ කඩවුණු පොරොන්දුව සිනමාවට නැගීමටයි. ඒ අනුව කඩවුණු පොරොන්දුව චිත්‍රපට ගත කිරීමට සියල්ල සුදානම් වුණා. එය සඳහා ඉන්දියාවට යෑමට ද සියල්ල පිළියෙල වුණා.

එහෙත් ඒ වනවිට අපිට තිබුණේ නාට්‍ය රඟ දක්වා තිබුණු පළපුරුද්දයි. විදේශීය චිත්‍රපට දැක ලැබූ රසයයි. සිංහල චිත්‍රපටයක් හැදීමේ ආශාවයි පමණයි. කොහොමද චිත්‍රපටයක් හදන්නේ කියා කිසිම අවබෝධයක් තිබුණේ නැහැ.

ඇත්තෙන්ම අපි හිතාගෙන හිටියේ නාට්‍යයක් වේදිකා ගත කරන ඒ අයුරින්ම සිනමාවට නගනවාය කියායි. එසේ සිතූ අපි කඩවුණු පොරොන්දුව මුළු නාට්‍යම පොදි බැඳ ගෙනයි චිත්‍රපටය හදන්න ඉන්දියාවට ගියේ. නාට්‍ය සඳහා අවශ්‍ය පසුබිම් තිර, සර්පිනා, තබ්ලා, වයලින්,අනිකුත් අඩු වැඩිය ඔක්කොමත් රැගෙන වෙනකක් තබා පොතේ ගුරා ද කැටුවයි අපි චිත්‍රපටය හදන්න ඉන්දියාවේ මදුරෙයි නගරයේ පිහිටි චිත්‍රකලා මුවිටෝන් සමාගමේ චිත්‍රකලා මුවිටෝන් චිත්‍රා ගාරයට ගියේ. එහි ගොහින් අපි ඉස්සෙල්ලම කළේ ‘කඩවුණු පොරොන්දුව‘ නාට්‍ය රඟදක්වා පෙන්වීමයි. අපි බලාපොරොත්තු වුණා නාට්‍ය රඟදැක්වීමේදී චිත්‍රපටගත කරයි කියා. නාට්‍ය දර්ශනය අවසානයේදී මුල්ම සිංහල චිත්‍රපටය අපට දකින්න ලැබේය කියා අපි හිතුවා. එහෙත් එවැන්නක් කෙරුණේ නැහැ.

චිත්‍රපටය සඳහා වෙන වෙනම දර්ශන කැමරා ගත කරන බව අපට දැන ගන්නට ලැබුණා. නමුත් මේක මහ පුදුමයක් අපට. ඒ වගේම එක්තරා විකාරයක් වගෙයි. වේදිකාවක ඕනෑ තරම් නිදහසේ අත පය දිග හැර නටනවා. රඟපාන්න පුළුවන්. අපිට පුරුදු එහෙම රඟපෑමටයි. එහෙත් කැමරාව ඉදිරියේ සීමිත රාමුවක් තුළ රඟපාන්න වුණහම මහා හිසරදයක් කරදරයක් වගේ අපට දැනුණා. නමුත් ටික දිනක් යන විට අපි කට්ටියම සිනමාවට හුරු වුණා.

කඩවුණු පොරොන්දුවේ කාර්මික අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ ජේ.සිංහයි. නළු නිළියන් පුහුණු කිරීම කළේ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නයි.

මේ අවස්ථාවේ දී ඇත්තෙන්ම මා සතුටුයි ඇස්.ඇම්.නායගම් මහතා විශේෂයෙන් සිහිපත් කිරීමට මුල්ම සිංහල චිත්‍රපටය නිපදවීමේ ගෞරවය හිමිවිය යුත්තේ ඔහුටයි. සිංහල සිනමාවේ මව් ලෙස බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න හැඳින්විය හැකි අතර සිංහල සිනමාවේ පියා ලෙස නායගම් සැලකිය යුතුයි.

ඉන්දියාවේ දී අපට නොයෙක් බාධක ඇතැම් ද්‍රවිඩයන්ගෙන් පැමිණි අවස්ථාවේ අපිව මහත් ඉහළින් සැලකුවේ නායගම් බව ද කිව යුතුයි. සුළු සිද්ධියක් මට මේ මොහොතේ සිහිපත්වනවා. අපේ එක්තරා නිළියකට මුහුණේ ගෑමට සබන් අවශ්‍ය වූ විට සේවකයෙකුගෙන් ලැබුණේ මුහුණේ නොගාන බාල සබන් වර්ගයකුයි. එම නිළිය ඒ සබන් බාර ගත්තේ නැහැ. වෙනත් සබන් වර්ගයක නම කියා ඉල්ලුවා. එවිට එහි ප්‍රධානියෙකුට සේවකයා ඒ බව පවසා තියෙනවා. ඔහු ගත් කටටම කිවේ මෙසේයි.

‘අඩේ අප්පා! එයාත් රාජ කුමාරි වෙන්න හදනවානේ! අපේ රාජ කුමාරි ගාන සබන්ම එයාටත් දෙන්න යසයි!!

මේ රාජකුමාරි කීවේ ටී.ආර්.රාජකුමාරිටයි. එවකට දකුණු ඉන්දියාවේ නිළි රැජින ලෙස වැජඹුණේ ඇයයි.

“රාජකුමාරි කව්ද මිනිහෝ රාජ කුමාරි උඹලට ලොකුයි උඹ දන්නවද මේ ඇවිත් ඉන්නේ. කව්ද කියා ලංකාවේ එඩී ජයමාන්න හා රුක්මණී දේවි ඇතුළු පිරිසයි. එයාලට ඇත්තෙන්ම රජවරුන්ට වගේ අපි සලකන්න වටිනවා.” නායගම් අර ‘ලොක්කාට’ එසේ පැවැසුවා.

මේ විදියට අපට හැම සැප පහසුකමක් ම නායගම් ලබා දුන්නා.

මෙසේ හිමින් සීරුවේ අපි කඩවුණු පොරොන්දුව හදාගෙන යන අතර දිනක් අපි සියල්ලෝම මහත් කලබලයට පත් වූ ආරංචියක් අහන්නට ලැබුණා. අපි කාටත් ඇත්තමයි තරු විසි වුණා එම පුවත ඇසීමෙන්.

ලංකාවේ ශාන්ති කුමාර් ඇතුළු පිරිසක් ඇවිත් මුල්ම සිංහල චිත්‍රපටය ලෙස තිරගත කරන්න ‘අශෝකා මාලා’ චිත්‍රපටය කොයිම්බටුර්වල දී හදා ගෙන යන බවයි එම පුවත මෙය ඇසූ බී.ඒ. ඩබ්ලිව්. වහාම ක්‍රියාත්මක වුණා. ‘අපි ආපු ගමනේ වැදගත්කම හීන වන්නයි යන්නේ. ශාන්ති කුමාර්ල අශෝකා මාලා හදා අපිට ඉස්සෙල්ලා පෙන්නුවොත් මේ චිත්‍රපටය හදන එකත් තේරුමක් නැහැ. දිවා රෑ මහන්සි වී කොහොම හරි කඩවුණු පොරොන්දුව ඉවර කරමු.” ඔහු තරයේම අධිෂ්ඨාන කරගෙන එසේ අපිට පැවසුවා. එය එසේම වුණා.

කොහොම හරි දිවා රෑ නිදි නොබලා අපි කඩවුණු පොරොන්දුව හැදුවා. ප්‍රථම සිංහල චිත්‍රපටය ලෙස 1947 ජනවාරි 21 වැනිදා අපිට එය හා පුරා කියා ලක් ජනතාවට ඉදිරිපත් කරන්නට හැකිවුණා.

මම විශේෂ දෙයක් කිව යුතුයි. ඇත්තෙන්ම ප්‍රථම සිංහල චිත්‍රපටය කඩවුණු පොරොන්දුව වීමේ ගෞරවය එක්තරා විදියකට අනියම් අන්දමින් ශාන්ති කුමාර්ටත් හිමිවිය යුතුය කියා මට හිතෙනවා. මන්ද ශාන්ති කුමාර් අශෝක මාලා හදමින් අප සමඟ තරඟයක යෙදුණේ නැති නම් 1947 ජනවාරි 21 වැනි දා මුල්ම සිංහල චිත්‍රපටය බිහි වූ දින ලෙස ඉතිහාසයට එක් වන්නේ නැහැ.

කඩවුණු පොරොන්දුව හැදීමටත් වඩා අපට ඉවසුම් ගෙන නොදෙන්නක් වූයේ එය ප්‍රදර්ශනය වන දිනය උදාවන තුරුයි.

1947 ජනවාරි 21 වැනිදා!

මුළු ලංකාවම එදා අමුතූම මංගල සිරියක් ඉසිලූ බව මට හිතෙනවා. කඩවුණු පොරොන්දුව මංගල දර්ශනය පැවැත්වුයේ කොළඹ කිංස්ලි සිනමා හලේයි. ලංකාව පුරා මධ්‍යස්ථාන පහක පමණයි. එය තිරගත වූයේ එහෙත් “අදයි සිංහල චිත්‍රපටයක් තිරගත වන මංගල දිනය” යන අසිරිමත් හැඟීම එදා මුළු ලක් ජනතාවම තුළ තිබුණා.

කිංස්ලි සිනමා හල අවට වැලි අහුරක් උඩ දැමුවොත් බිම නොවැටෙන තරම් මහා ජන සන්නිපාතයක් රැස් කකා පොරකකා සිටියා. මෙතෙක් කාලයක් ලංකාවේ සිනමා ශාලා අබියස දක්නට ලැබුණේ ද්‍රවිඩ නැත්තම් බටහිර නළු නිළියන්ගේ යෝධ පින්තුරයි. එහෙත් අද කිංස්ලි සිනමාහල අබියස මුල්වරට සිංහල චිත්‍රපටයක නමක් සමඟ සිංහල නළු නිළියන්ගේ විචිත්‍රවත් යෝධ පින්තුර

දිවංගත මහාමාණ්‍ය ඩී.ඇස්.සේනානායක අගමැති තුමාගේ ප්‍රධානත්වයෙනුයි කඩවුණු පොරොන්දුව මංගල දැක්ම තිරගත වුයේ. සර් ඔලිවර් ගුණතිලක මහතාත් සේනානායක මහතා සමඟ පැමිණ සිටියා.

කිංස්ලි සිනමා හල කිසිම දිනක නොමැති තරම් මංගල සිරියාවක් ඉසිළු දිනය එදායි. කිංස්ලි සිනමා හලේ චිත්‍රපට නැරඹූ කිසිවෙකුගේ එතෙක් මෙතෙක් එදා තරම් බලාපොරෝත්තු අන් කිසිම දිනක නොතිබෙන්නට ඇති. සිහිනයෙන්වත් හිතන්නට බැරුව තැබූ සිංහල චිත්‍රපටයක් තිරගත වීමට තව ඇත්තේ විනාඩි ස්වල්ප යයි.

සීනුවක් නාද වුණා. තවත් සීනුවක් නාදවුණා. තෙවෙනි වතාවටත් ඒ සීනු නාදයි.

අල්පෙනෙත්ති කටුවක් බිම වැටුනත් ශබ්ද ඇසෙන තරම් නිහඬතාවයක්. හදවත් ස්පන්දනය වන හඬ පවා ඇසෙන්නාක් මෙනි.

අඳුරු ශාලාව තුළින් සිහින එළියක්...

කඩවුණු පොරොන්දුව!

මුල් වතාවට රිදී තිරයේ සිංහල වචන පතිත වූ අවස්ථාව.

ඒ තරම් නිහඬතාවයක් තැබූ සිනමාහලෙහි වහළ ඉගිලි යන තරම් දැඩි අත්පොළසන් නාදයක්! හදවත් ඉපිලී යන සොම්නයින් කව්රුත් කෑ ගැසීමට පටන් ගත්තා.

“නෝනාවරුනි! මහත්වරුනි! අද අපි ඔබට සිංහල චිත්‍රපටයක් ඉදිරිපත් කරනවා.”

තිරයේ දර්ශනය වූ ඇස්.ඇම්.නායගම් මහතා ලක් ජනතාව ඇමතීමට පටන් ගත්තා. සිනමා මාධ්‍යයෙන් සිංහල වචන සිංහලයන්ගේ දෙසවන් වැටුණු මංගල මොහොත එයයි. ඔහුගේ කථාව පැහැදිළිව ඇසෙන්නේ නැති තරම්. එකම අත්පොළසන් නාදයකින් කිංස්ලි සිනමාහලේ බිත්ති පවා දෙදෙරුම් කන්නාක් මෙනි.

ක්‍රමයෙන් චිත්‍රපටය පටන් ගත්තා. මුලින්ම රුක්මණී දේවී තිරයේ පතිත වුණා. පමණයි ඇත්තමයි ඒ මොහොතේ ගිගුරුම් දුන් අත්පොළසන් නාදයක් තරම් ප්‍රබල එවන් හඬක් තවමත් මා අහල නෑ. රුක්මණී දේවී ‘පේ‍්‍රමදයා මාගේ ප්‍රියා’ නම් ශෝකී ගිය ගයන ජවනිකාවයි ඒ, ඈ කඳුළු සලමින් හඬා වැලපෙනවා. එහෙත් නරඹන්නට ජවනිකාව මතක නැති තරම්. ශෝකී ජවනිකාවක් වූවත් මුල් වරට සිනමා තිරයේ සිංහල ගීයක් ගයමින් සිංහල නිළියක් රඟපාන දර්ශනය නරඹා ඔවුන් කෙසේ නම් ශෝක වන්නද? කාගෙත් හදවත් පී‍්‍රතියෙන් ඉපිලී ගොස් ඔවුන්ට කෑ ගසා නටන්න හිතෙන තරම් සතුටක්. එම සොම්නස ඔවුන් ප්‍රකාශ කළේ නොනවත්තාම නගන අත්පොළසන් හඬිනුයි.

කඩවුණු පොරොන්දුව නැරඹු සාමාන්‍ය ජනතාවට පමණක් නොව එය හැදූ අයටත් ඒ මොහොතේ ඇති වූ පී‍්‍රතිය නිම් හිම් නෑ. සතුටු කඳුළෙන් නෙත් තෙමී ගොස්.

චිත්‍රපටය නරඹා අවසන් කළ ඩී.එස්. සේනානායක මහතා ප්‍රකාශ කළ දෙය මට දැනුත් මතකයි.

“හරිම ආඩම්බරයි. ලක්ජනතාවට තවත් අපුරු ලලිත කලාවක් ජනිත කළා. මගෙන් මුළු හදින්ම සුබ පැතුම්”

සේනානායක මහතා මගේත් බී.ඒ. ඩබ්ලිව්. ගේත් රුක්මණී ගේත් ජෙමිනි කාන්තගේත් අත්සන් පවා සිය සමරු පොතට ලබා ගත්තා.

උපන්දා සිටම බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්න අයියාත් මාත් එකටමයි හැදුණේ වැඩුණේ. ඔහුගේ ජීවිතයේ බොහෝ පී‍්‍රතිමත් අවස්ථා මා දැක තියෙනවා. එහෙත් කඩවුණු පොරොන්දුව මංගල දර්ශනය ආ තරම් ඔහු සොම්නසින් ඉපිල ගොස් පසුවෙනවා. මා කිසිම දිනක දැකල නැහැ. අයියා මාව බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා.

එදා ඔහුගේ පුරෝගාමිත්වයෙන් බිහි වූ සිංහල චිත්‍රපටය නිසා අද අපට විසිපස් වසරක සිංහල සිනමාවක් ගැන කතා කිරීමට ලැබිමේ භාග්‍යය උදා වී තිබෙනවා. එය මටත් සියළු ලක්වැසි ජනතාවටත් මහත්ම සොම්නස්සහගත ජයග්‍රහණයක් බව මා දන්නවා. එහෙත් එම ජයග්‍රහණය ලක්වාසීන් සමඟ භූක්ති විඳීමට අනේ. මේ අවස්ථාවේ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න අද ජීවත්ව සිටියා නම්...

 

(1972 ජනවාරි 25 සරසවිය පුවත්පතෙන් උපුටා ගැනුණකි)

ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ විසින් ලියන ලද්දකි.