ලස්සන තාලෙට තිස්සෙම ගැස්සෙන “නාරිලතා”

අගෝස්තු 6, 2020

රෝහණ තිස්ස ලියනසූරිය වර්ෂ 1936දී පිරිමි 6ක් හා එක් ගැහැණු ළමයෙක් සිටින පවුලක බඩ පිස්සා වී ඉපදිණි. බාලයා නිසා හැමෝගේම ආදරයට, හුරතලයට පාත්‍ර වූ ඔහුව, සිප් සතර හැදෑරීමට යොමු කළේ කොළඹ සාන්ත ජෝසප් විදුහලටය.

පාසලේදී ඔහුව පරිපූර්ණ මිනිසකු කිරීමේ අඩිතාලමට මුල් පිරිණි. බෞද්ධයකු වූ තිස්ස යොමු වූයේ කතෝලික එමෙන්ම බටහිර පන්නයේ පාසලකටය. ඔහු එය සමතුලනය කර ගත්තේය. ලෝකය තුළ කිසියම් අභිමානයක් රැක ගත යුතු වේ නම්, සංස්කෘතිමය මෙන්ම බටහිර ආභාෂයන්ද ලබා ගත යුතු බවක් ඔහුට වැටහිණි. එලෙසම ඉගැනුම මුල් කරගත යුතු බවත්, අනෙක් ක්‍රියාකාරකම් පැමිණිය යුත්තේ එය පසුපස බවත් ඔහු තේරුම් ගත්තේ ය.

පාසල තුළදී ඔහුට හමු වූයේද, කලාත්මක අදහස් ඇති එමෙන්ම ක්‍රියාකාරිත්වයෙන්ද, ඉදිරි අනාගතයේදී විශිෂ්ටත්වයට පත් වන්නට අරමුණු කර ගත් මිතුරන්වය. උපාලි අත්තනායක එකල පාසලේ කථික සංගමයේ ප්‍රබලතම සාමාජිකයාය. ඔහු පසු කලෙක ලංකේය ගීත රචනාවේ, ගුවන් විදුලි හා රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නකු මෙන්ම නාට්‍ය, හා සිනමාවේ විශිෂ්ටයෙක් විය. එලෙසම දක්ෂතම ගායකයකු වූ සිඩ්නි ආටිගල හා එදිරීවීර සරත්චන්ද්‍රගේ 'මනමේ' නාට්‍යයේ ප්‍රථම පොතේ ගුරා වූ ෂ්‍යාමන් ජයසිංහද තිස්ස ලියනසූරියගේ 'බැච්' සගයෝ විය.

තම උපාධිය සම්පූර්ණ කරගත් ලියනසූරිය ගුවන් විදුලිය නාට්‍ය අංශයට එකතු විය. කේ.ඒ. ඩබ්ලියු. පෙරේරා එවකට එහී දෙබස් පිටපත් රචකයෙක් විය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ව ලියනසූරියට හඳුන්වා දුන්නේ කේ.ඒ.ඩබ්ලියු ය. ලෙස්ටර්ගේ 'සංදේශය' චිත්‍රපටයේ සහායකයකු ලෙස ලියනසූරියට එකතු වෙන්නට හැකි වූයේ ⁣ඒ මඟිනි. ලෙස්ටර් සමඟ වැඩ කිරීමෙන් ලියනසූරිය තරුණයා සිනමාකරණය ගැන ඉගෙන ගනිමින් ඒ පිළිබඳ තම දැනුම පුළුල් කර ගන්නට විය. ඔහු නිතරම කීවේ තමා ලෙස්ටර්ගෙන් , රූපරාමූ කෝණ හා නළු නිළියන් හැසිරවීම මෙන්ම, විනය, පිරිස් පාලනය, කාර්මීක ඥානය ඒ සියල්ලම නිවැරදිව ඉගෙන ගත් බවය.

'රන්මුතු දූව' ලියනසූරියගේ ආරම්භයයි. ඔහු මයික් විල්සන් සමඟ එක්වී එය අධ්‍යක්ෂණය කළේය. ඒ 1961 දී තරමය. ලියනසූරියට එය සුපිරිම ආරම්භයක් විය. 'රන්මුතුදූව' ලාංකීය සිනමාව දෙදරවූ චිත්‍රපටයක් විය. මුහුදු පතුලේ වස්තුවක් සෙවූ 'රන්මුතුදූව' ප්‍රථම වර්ණ වෘත්තාන්ත චිත්‍රපටය වීමත් සුවිශේෂ විය. ඉන්පසු ලියනසූරිය අධ්‍යක්ෂණය කළේ 'ගැටවරයෝ' චිත්‍රපටයයි. එයද සම අධ්‍යක්ෂණයකි. 'රන්මුතුදූව' මෙන්ම 'ගැටවරයෝ' ද ලියනසූරිය - මයික් සුසංයෝගයකි.

'සාරවිට' ලියනසූරියගේ ප්‍රථම තනි චිත්‍රපටයයි. ජෝ අබේවික්‍රම ප්‍රබල රංගනයකට අවතීර්ණ වූයේ, තිස්ස ලියනසූරියගේ 'සාරවිට ' චිත්‍රපටයෙනි. ගාමිණි ෆොන්සේකාට වඩා ජෝ අබේවික්‍රම ලියනසූරියගේ ප්‍රියතමයා විය.

'රන්මුතුදූවේ' සිට ඔහුගේ හැම චිත්‍රපටයකම ජෝ, සුවිශේෂිත චරිත රඟපෑහ. රන්මුතුදූව හා ගැටවරයෝ දෙවැනි ප්‍රධාන චරිත වුව ද ජෝට ඒවායේ රඟපෑමට විශාල පරාසයන් තිබිණි. 'සාරවිට' තුළින් ලියනසූරිය ඉදිරිපත් කළ තේමාව 'කොමර්ෂල්' නොවූවත්, එය 'කොමර්ෂල් ' කරන ක්‍රමය ලියනසූරිය දැන ගෙන සිටියේය. සාරවිටේ සාරයියා අහිංසක චරිතයක් වුවද, අනෙක් චරිත හරහා චිත්‍රපටය ' කොමර්ෂල්' කන්සේප්ට් එක මත රඳවන්නට ලියනසූරිය දක්ෂ විය. සාරවිටකාරයකු ගැන මොනවා බලන්නද කියා ප්‍රේකෂකයන්ට සිතුණත් ඒ සාරවිටකාරයා වටා දිවෙන කතාව තුළ බොහෝ හැල හැප්පීම් ඇති කරන්නට ලියනසූරිය සමත් විය.

'පුංචි බබා' ලියනසූරියගේ ඊළඟ චිත්‍රපටයයි. 1968 වසරේ එය තිරගත විය. එහිද ප්‍රධාන චරිතය රඟපෑවේ ජෝ අබේවික්‍රමය. 'පුංචි බබා' සුවිශේෂිත වූයේ කරුණු දෙකක් අරභයාය. එකක්, ලාංකේය සිනමාවට අග්‍රගණයේ නිළියක හඳුන්වා දීම ය. ඒ මාලනී ෆොන්සේකාවය. අනෙක් කරුණ සිසිර සේනාරත්න ගැයූ ' මාගේ පුතුට මල්' ගීතයයි.

ලියනසූරිය 'නාරිලතා' නිර්මාණය කළේ ඉන්පසුවය. එය තිරගත වූයේ 1969 වර්ෂයේය. ආදරයෙන්, සාමයෙන් සිටි පුංචි පවුලක්, තහනම් ආදරයක් නිසා දෙදරා යාමත්, ඉන්පසු ඇති වන හැල හැප්පීම් තුළින් තම තමන්ගේ වැරදි අවබෝධ කරගෙන නැවත එම පවුල පෙර පරිදි සමාදානයෙන් ජීවත් වීම වැනි ඉතාමත් සරල තේමාවක් යටතේය ලියනසූරිය 'නාරි ලතා' නිර්මාණය කළේ.

ඒ තිස්ස ලියනසූරිය නිර්මාණය කළ අවසන් චිත්‍රපටයයි. ඉන්පසු ඔහු රජයේ චිත්‍රපට අංශයට එකතු විය. එතැන් සිට ඔහු වාර්තා චිත්‍රපටකරණයට යොමු වී වාර්තා චිත්‍රපට ගණනාවක් නිර්මාණය ක⁣ළේය. 'දීප්ති' (1968), 'වගා සටන', (1974), 'කිරි' (1976), 'සිඟිති ලොවක් ((1978) 'අවධානය යොමු කරන්න හා පනස් වසරක සර්ව බල ජනය (1981) 'හෝම් ෆෝ යුවර් ඕව්න්', 'හෝටන්තැන්න‘ (1982) වැනි ඔහු නිර්මාණය කළ වාර්තා චිත්‍රපට එකල අප කිසියම් වෘත්තාන්ත චිත්‍රපට බලන්නට යන විට චිත්‍රපටය පටන් ගැන්මට ප්‍රථම තිරගත කළේය. රජයේ චිත්‍රපට අංශය අපට බලෙන් වාර්තා චිත්‍රපට පෙන්වන්නට හදනවා යයි අප කීව ද, තිස්ස ලියනසූරියගේ වාර්තා චිත්‍රපටවල නම්, ප්‍රේක්ෂකයන්ගේ බුද්ධියට එකතු කර ගැන්මට බොහෝ දේ තිබිණි.

ලියනසූරිය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ද පැමිණියා මතකය. ඩබ්ලියු.ඒ. සිල්වාගේ 'සිරියලතා' නව කතාව, ටෙලිනාට්‍යයට නැඟුවේ තිස්ස ලියනසූරියය. එහි රොජර් සෙනවිරත්න, ගෝතමි පතිරාජා වැනි නළු නිළියන් රඟපෑහ. 1960 ගණන්වල ගාමිණි, ජීවරාණී, ජෝ, සමඟ චිත්‍රපට නිර්මාණ කළ ලියනසූරිය 80- 90 දශකයේ තාරුණ්‍යයේ නළු නිළියන් සමග වැඩ කළේ එසේය.

රංජිත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ගාඩ් වරයෙකි. ඔහු විවාහ වී සිටියේ සෝමා නම් තැන්පත් ලෙස ජීවත් වන අහිංසක කාන්තාවක් සමඟය. ඔවුන් දෙදෙනාගේ කැදැල්ලේ සිටියේ පුංචි දියණියක් පමණි. ඔවුන් ආදරයෙන්, සතුටින් ජීවත් වූ පවුලක් විය.

රංජිත්ගේ වෘත්තීය සගයන් වූයේ සුරේන් හා ඇල්පේනිස්ය. ඔවුන් තිදෙනා අතරේ වෘත්ති සඟයන්ට වඩා එහා ගිය සහෝදර බැඳීමක් තිබූ අතර, සුරේන් හා ඇල්පේනිස් රංජිත්ගේ බිරිඳ වූ සෝමාට වුවද සලකන්නේ තමුන්ගේම එක කුස උපන් සහෝදරියක් ලෙසය.

තිස්ස ලියනසූරිය තම අවසන් චිත්‍රපටය වූ 'නාරිලතා' කතාව දිගහැරියේ එලෙසය. සාමයෙන් ආදරයෙන් වෙසෙන පවුල ඝට්ටනයට ලක් වූයේ එක් දිනක් අනපේක්ෂිත ලෙස තම ගාඩ් පෙට්ටියට ගොඩවුණු දේවිකා නිසාය.

ලියනසූරිය නිර්මාණය කළ දේවිකා 'නාරිලතා' චිත්‍රපටයේ සුවිශේෂිත චරිතයක් විය. හැම ඛේදවාචකයක්, හැම ඝට්ටනයක් සිදු වන්නේ ඇය හරහාය. ඇය 'නාරිලතා' චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය වන්නේ එකී ඝට්ටන නිර්මාණය කරමිනි. එහෙත්, ඒ දේවල් ඇයගෙන් සිදු වුයේ ඇය නොදැනුම්වත්වය. චිත්‍රපටයේ නපුරුම චරිතය දේවිකා යයි සිතුව ද, එහී අහිංසකම චරිතයද ඇය විය.

දේවිකාගේ වෘත්තිය වූයේ රාත්‍රි සමාජශාලාවක නැටුම් ඉදිරිපත් කිරීමය. සාමාන්‍ය සමාජ සම්මතය වන්නේ රාත්‍රි සමාජශාලාවල නටන්නේ වල් ගැහැණුන් කියාය. එහෙත් තිස්ස ලියනසූරිය එවන් ගැහැණුන් තුළ මෙය වෘත්තිමය තත්ත්වයන් ඇරෙන්නට, ඔවුනුත් යහපත් ලෙස ජීවත් වන බවක් කියන්නට උත්සාහ ගන්නේ මේ දේවිකාගෙ චරිතය තුළින්ය.

සමාජශාලා හිමි විල්සන් සමඟ දේවිකා අතර ඇත්තේ වෘත්තිමය සම්බන්ධතාවක් ද, නැත්නම් ඊට වඩා ගැඹුරු සබඳතාවයක් දැයි, චිත්‍රපටය තුළින් පැහැදිලි වන්නේ නැත. එහෙත් ඔහුට දේවිකා ගැන තිබෙන බලාපොරොත්තුව හුදෙක් ලිංගික සම්බන්ධයක් යැයි කිව නොහැකිය. දේවිකාව විවාහ කරගැන්මට ඔහුගේ හිතේ තිබෙන බවක් ඇතැම් සිදුවීම්වලින් ප්‍රත්‍යක්ෂ වේ. රංජිත්ව හමු වන තෙක් දේවිකාගේ සිත තුළ ද විල්සන් ගැන එවන් හැඟීමක් තිබුණු බවක් මුලින්ම ප්‍රේක්ෂකයන්ට දැනෙන්නට වූවද, රංජිත්ව හමු වූ පසු, දේවිකා විල්සන්ව ටිකෙන් ටික මඟ අරින්නට විය.

එදා අහම්බෙන් ගාඩ් පෙට්ටියට නැඟුණු දේවිකා හා රංජිත් අතර සබඳකමක් පටන් ගන්නට ලියනසූරිය, හරි අපූරු වූ 'ජිමික්' එකක් කළේය. ඒ රංජිත්ගේ ඇසට රොඩ්ඩක් එන්නට සැලැස්වීමය. එකල දුම්රියේ එන්ජින් ක්‍රියා කළේ අඟුරු බලෙනි. ඉතින් බොහෝ විට අඟුරුවලින් එන රොඩු කැබලි දුම්රිය පෙට්ටි ජනෙල්වලින් ඇතුළට එයි. රංජිත්ගේ ඇහැට ආවේ ද එවන් රොඩ්ඩකි. ඇහේ රොඩ්ඩ අරින්න ඉදිරිපත් වූයේ දේවිකාය. ඔවුන් දෙදෙනා දෙදෙනාට ආකර්ෂණීය වූයේද ඉන්පසුවය.

රංජිත් දේවිකා පසුපස ගියේ ඇඹලයෙකු මෙනි. ඔහු දේවිකාට තමාව හදුන්වාදී තිබුණේ අවිවාහකයකු ලෙසය. දේවිකා රංජිත් සමඟ දිගු සම්බන්ධයක් පටන් ගත්තේ ඉන්පසුවය. ඇය සිතුවේ මේ සම්බන්ධය කෙළවර වනුයේ විවාහයකින් කියාය.

දේවිකාගේ සම්බන්ධය නිසා, රංජිත් තම හිත මිතුරන් වූ සුරේන් හා ඇල්පේනිස්වත් මඟ හරින්නට උත්සහා ගත් අතර සෝමා හා දරුවාටද වෙනස් කම් කරන්නට විය. රංජිත්ගේ මේ වෙනස තවත් දරා ගැනීමට නොහැකි නිසා ඇල්පේනිස්, සුරේන් හා සෝමා රංජිත්ගේ මේ වෙනසට හේතු සොයන්නට විය. දේවිකාගේ සම්බන්ධය ඔවුනට අසු වුණේ මේ සොයා යෑමේදීය. මුලින් සුරේන් හා ඇල්පේනිස් සිතුවේ දේවිකා යනු ඇත්තටම නරක ගැහැනියක් කියාය. නමුත් දේවිකා වුවද රංජිත් විවාහකයකු බව දැනගත්තේ සුරේන්ලා ඇයට කී පසුවය. එතැන් සිට දේවිකා, රංජිත්ව අත්හරින්නට විය.

තිස්ස ලියනසූරිය සම්බන්ධ වූ 'රන්මුතුදූව', හා ' ගැටවරයෝ' මෙන්ම ඔහු තනිවම අධ්‍යක්ෂණය කෙරූ 'සාරවිට' චිත්‍රපට දෙස බලන විට, 'පුංචි බබා' හා 'නාරිලතා' චිත්‍රපට තිබුණේ ප්‍රමිතියෙන් පහළ මට්ටමකය. විශේෂයෙන් 'නාරිලතා' චිත්‍රපටයේ අවසානය පනස් දශකයේ පෙන්වූ කළු සුදු හින්දි චිත්‍රපටවල ආ අවසානයක් බඳුය.

එනමුදු 'නාරිලතා' චිත්‍රපටය තුළින් කිසියම් වූ සිනමාත්මක ආකර්ෂණයක් නොතිබුණා නොවේ. අහම්බෙන් ඇතිවූ හමු වීමක්, සීමා වැ⁣ටකඩොළු කඩා දමමින් එය සෙමෙන් දළුලන ආකාරය ලියනසූරිය විසින් මනා සංයමයකින් ඉදිරිපත් කර තිබිණි. වරදක් බව නොදැන වරදක් කරන දේවිකාත්, වරදක් බව හොඳාකාරව දැනගෙන වරදක් කරන රංජිත්වත්, ලියනසූරිය හොඳීන් හසුරවා තිබිණි. සෝමාට වඩා ප්‍රේක්ෂකයාගේ අනුකම්පාව දිනාගන්නේ දේවිකාය. ඒ, දේවිකා හැමතැනින්ම පරදින නිසාය.

රංජිත්ගෙන් වෙන් වුණු දේවිකාට සමාජශාලා රැකියාවත් අහිමි වී තිබිණි. ඇය එයින් අයින් වී තිබුණේ රංජිත් එයට අකමැති නිසාය. ඇය රංජිත් කියන හැම දෙයටම අවනත වූයේ රංජිත් අවංක පුද්ගලයකු යැයි සිතූ නිසාත්, ඔහු ඇයව අනිවාර්යනේම විවාහ කරගනු ඇතැයි සිතූ නිසාත්ය. රංජිත්ව හමුවීමට ප්‍රථම ඇයට උපකාර කරමින් සිටියේ විල්සන්ය. රංජිත්ගේ සබඳතාවයෙන් පසු එයද නැති විය.

ලියනසූරිය, චිත්‍රපටයට බාල අවසානයක් ගෙනත් දුන්නේ රංජිත්ව අත්හැර දැමූ දේවිකාව රංජිත්ගේ වෘත්තිය හිත මිතුරා වූ සුරේන්ට එකතු කරවමිනි. එයද හොඳ අවසානයක් නොකර ⁣එයට පොඩි ත්‍රිලක් දෙන්න ගොස්, චිත්‍රපටයේ අවසානය දකුණු ඉන්දියානු දමිළ චිත්‍රපටයක් මෙන් නිම කළේය. ඒ, විල්සන් හා සුරේන් අතර ගැටුමක් ඇති කරමිනි. විල්සන්, දේවිකාට අඩන්තේට්ටම් කරන්න යන විට එතනට ආ සුරේන් විල්සන් සමඟ ගෝරියකට පැටළිනි. අවසානයේ සුරේන්ගේ පහරකින් වැටුණු විල්සන් අසල කනුවක ඔලුව හැපී එතනම මිය ගියේය.

සුරේන් අවුරුදු 3ක් වැනි සුළු කලකට හිරේ ගියේ ඔහු කළ මිනීමැරුම හිතා මතා නොකෙරූ නිසාත්, එය ආත්ම ආරක්ෂාවට එල්ල කළ පහරක් නිසාත් ය. අවසානයේ දේවිකා කියන්නේ ඇය සු⁣රේන් එන තෙක් ඒ අවුරුදු 3 බලා සිටිනවා කියාය. ඒවා තනිකර පරණ හින්දි චිත්‍රපටවල අවසානය වගේය. තිස්ස ලියනසූරිය වැන්නෙකුගෙන් මෙවැනි දෙයක් සිදු වූ බවක් සිතන්නටත් අපහසු ලෙසය මෙම අවසානයන් සිදු වූයේ.

රංජිත්, සෝමා සහ දරුවා යළි එක් විය. ඒ සා විශාල වරදක් කෙරූ රංජිත්, සෝමාට කීවේ, ඒ සිදුවීම් සිදු වුණු දවස්වල ඔහුට මොනවා වුණා දැයි ඔහුම නොදන්නා බවය. ඒවා මාර 'කන්සෙප්ට්' ය. සෝමාද කිසිදු අවුලක් නොමැතිව, එතෙක් කල් වෙනත් ගැහැණියක් සමඟ ජවුසං නටා, ඔක්කොම හොර අහුවූ පසු හිමිජ්ජා වගේ නිවසට ඇතුළු වුණු සැමියාට සමාවදී භාර ගත්තා ය. සෝමාගේ හා රංජිත්ගේ කුඩා දරුවාව ලියනසූරිය යොදවා ගත්තේ චිත්‍රපටය සංවේදි කරන්නටය.

ලියනසූරිය තම 'සාරවිට' චිත්‍රපටයේ අධ්‍යක්ෂණයෙන් ලද විශිෂ්ටත්වය හා සසඳන කළ ' නාරිලතා' දුර්වල කෘතියක් යැයි සිතට ඒම වැලැක්විය නොහැකිය.

ඇල්පෙනිස් ලෙස රඟපෑ ජෝ අබේවික්‍රම හැරෙන්නට අනෙක් හැම නළු නිළියකුම රඟපෑ චරිත තුළ විශේෂත්වයක් නො තිබිණි. එහෙත් සුරේන් ලෙස රඟපෑ කිත්සිරි පෙරේරා, මෙන්ම විල්සන් වූ එච්. ඩී කුලතුංග තම සුපුරුදු දක්ෂතා ඉදිරිපත් කරන්නට උත්සාහ ගෙන තිබිණි. ටෝනි රණසිංහ (රංජිත්), සන්ධ්‍යා කුමාරි ( දේවිකා) හා ⁣අනුලා කරුණාතිලක (සෝමා), විශේෂත්වයකින් තොරව තම චරිත මත ඔහේ පාවෙමින් සිටියහ. ශාන්ති ලේඛා, දයානන්ද ජයවර්ධන හා බේබි රියාසා සෙසු චරිතවලට පණ දුනි.

ධර්මසිරි ගමගේ තිර රචනය ලියු 'නාරිලතා' නිෂ්පාදනය කළේ එල්. ඒ. දාවිත් සිඤ්ඤෝය. එය තිරගත කිරීම ආරම්භ කළේ 1969 මාර්තු 22 වන දින සිට ය.

 

“ලස්සන තාලෙට තිස්සෙම ගැස්සෙන

යනවිට ගමන අගේ

ලිස්සෙන පීල්ලෙ කැරකෙන රෝදේ

දුටුවම ⁣පුදුම නැඟේ

දුටුවම පුදුම නැඟේ”

 

 

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)