චාමර සැලුණාවේ “දෙවෙනි ගමන”

ඔක්තෝබර් 29, 2020

ලාංකේය සමාජයේ විවාහය තුළ කන්‍යභාවය පරික්ෂා කිරීමේ ක්‍රියාවලියේ අන්තර්ගතය තුළ සාධාරණ පැතිකඩක් නැතිවම ⁣නොවේ. එහි මූලික සිද්ධාන්තය වූයේ, විවාහ වූ කාන්තාව විවාහයට පෙර තව කෙනකු හා ලිංගික සබඳකමක් ඇති කරගෙන ඇත්දැයි සෙවීමය. එම මිනුම් දණ්ඩ පිරිමින් හට නොමැති වීම, එක් අතකට අසාධාරණය. දෙදෙනාගෙන් චරිතය පිරිසුදු විය යුත්තේ කාන්තා පාර්ශවයට පමණි. විවාහයට පෙර පිරිමියා, මොන අහුමුලුවල ලැග්ගත්, ඒවා හෙවීමට කිසිවකු නැත. එහෙත් කාන්තාවක් අතින් එවන් දෙයක් අහඹු ලෙස හරි සිදුවුවහොත් එයට වන්දි ගෙවන්නේ එකී කාන්තාව පමණක් නොව, ඇය සමඟ සිටින ඇයගේ හත්මුතු පරම්පරාවමය.

සුජාතාට වූයේද එයමය. ඇය කන්‍යභාවය නැති කරගත් තරුණියක බව ඔප්පු වූයේ විවාහ වූ දා රාත්‍රියේය. එහෙත් ඇය එය නැති කරගත්තේ අනාචාරයේ ⁣හැසිරී නොවන බවක් හරියටම දැනගෙන සිටියේ ඇයම පමණි. ඇයගේ සැමියා වූ සමන් ද, ඇයව සැක කරන්නට සිදුවූවද, ගුරු වෘත්තියේ යෙදුණු ඔහුගේ හික්මීම විසින් එවෙලේ ඔහුව පාලනය නොකෙරුණා නම් විශාල විනාශයක් වන බවක් ඔහුට වැටහිණි.

එහෙත් ඒ විනාසය සිදු වූයේ, මනමාලියව සමන්ගේ නිවසට කැඳවා-ගෙන එන විටය. එකල සිරිතක් වූයේ මධුසමයට ගිය ජෝඩුව, දෙවැනි ගමන යාමට ප්‍රථම, මනමාල ජෝඩුව නිදාගත් රාත්‍රියේ ඇඳේ එලා ඇති සුදු රෙද්ද පරික්ෂා කිරීමට රෙදි අපුල්ලන ගැහැණියක් එවීමය. 'ජජ්මන්ට්' එක දෙන්නේ මේ රෙදි නැන්දාය. ඇය මෙම රෙද්ද මනමාල පර්ශයේ ඔහුගේ මවට හෝ නෑදෑයන්ට ගිහින් දෙන්නේ 'ජජ්මන්ට්' එකත් සමඟය. රෙද්දේ තැවරී ඇති පාටින් මනාලිය පතිවත් කාන්තාවක්ද, නැත්නම් පතිවත කෙලසා-ගත් කාන්තාවක්ද කියා තීරණය වනු ඇත.

සුජාතා අයත් වූයේ පතිවත කෙලසා-ගත් කාන්තාවගේ 'කැටගරියටය'. දෙවැනි ගමනට පැමිණි මනාල යුවලට මනාලයාගේ ගෙදරදී කෑම මේස පෙරලමින් විශාල කෝලහලයකට මැදිහත් වන්නට සිදු වුයේ ඒ නිසාය.

'සිකුරුලියා', 'අපේක්ෂා' 'සසරක පැතුම' 'පරිත්‍යාග' වැනි චිත්‍රපට නිර්මාණය කළ එච්.ඩී. ප්‍රේමරත්න 'දෙවැනි ගමන' චිත්‍රපටය මඟින් ලාංකීය ජන සමාජය තුළ, කාලෙන් කාලෙට යාවත්කාලීන වන 'විවාහය හා කන්‍යභාවය' ගැන විවෘතව කතා කිරීමට ගත් තැත නම් ප්‍රශංසනීය වේ.

ගුරු විවේකාගාරයේදී ගුරුවරයෙක් වූ සමන්ගෙන් තවත් ගුරුවරයෙක් 'ප්‍රශ්නයක්ලු නේද?' කියා ඇසුවිට, ඒ පිළිබඳව තැන තැන මුමුණන අනෙක් ගුරුවරුන්ටත් ඇසෙන්නට සමන් උස් හඩින්ම කීවේ,

'ඔව්. මම කසාද බැඳපු සුජාතගෙ කන්‍යභාවය නැති වෙලාලු. එයාටත් හොයාගන්න බැහැලු ඒක නැති වුණේ කොහොමද කියලා. පුළුවන් නම් ඕගොල්ලො කට්ටිය හොයල දෙනවද ඒක නැති වුණේ කොහොමද කියලා'

සමන්, ඇනුම් පදයක් ස්වරයෙන් එසේ කී දෙයය, එච්.ඩී. ප්‍රේමරත්න තම 'දෙවනි ගමන' චිත්‍රපටයට තේමා කරගත්තේ.

ප්‍රේමරත්න 'දෙවැනි ගමන' චිත්‍රපටය වෙනුවෙන් ලියූ තිර නාටකය, විශිෂ්ටය. එයට 1985 'සරසවිය සම්මාන උලෙළේ' හොඳම තිර නාටකයට හිමි සම්මානය පවා ලැබුණේ ඒ නිසාය. මෙම විවාහය හා කන්‍යභාවය ප්‍රශ්නය තුළින් ප්‍රේමරත්න චරිත කීපයකම පැතිකඩ කෝණ කීපයකින් හුවා දැක්වීය. ප්‍රේක්ෂකයාට මේ චරිත එකිනෙක ගෙන ස්වයං විශ්ලේෂණයක් කිරීමට ද, එකී විශ්ලේෂණය තුළින්, එකිනෙකාව සාධරණීකරණය කිරීමේ හැකියාවක් ද, ලබාදුනි.

මෙහී මුඛ්‍ය චරිතය වූ සුජාතා වටා කතාව දෝලනය වූවද, මෙයට අන් සියල්ලෝම සම්බන්ධ වන්නේ ඇය ගේ කන්‍යභාවය නැති වූ ගැටලුව මතය. එය වඩාත් තීව්‍ර වන්නේ, ඇය විවාහයට ප්‍රථම කිසිදු පිරිමියකු සමඟ ලිංගිකව සම්බන්ධ නො වූ නිසාය. ප්‍රේමරත්නගේ ඉදිරිපත් කිරීම තුළ, ඇය එසේ කිසිවකු සමඟ සම්බන්ධ නොවූ බව තිර වශයෙන්ම දන්නේ සුජාතාත්, ප්‍රේමරත්නත්, ප්‍රේක්ෂකයාත් පමණි.

කන්‍යභාවය සිඳගත් ලේලියක භාර ගැන්මට කිසිදු මවක් කැමති වන්නේ නැත. ඒ ලාංකීය, ග්‍රාමිය හා

මධ්‍යයම පන්තිකයන්ගේ මානසිකත්වයය . 'කඩුලු හත අටක්ම පැන්න ජවුසම් නටපු ගැහැනියෙක්ව අපේ ගෙවල්වලට වැද්ද ගන්න බෑ. කවුද දන්නෙ කොයි කොයි පඳුරක ලැග්ගද කියලා'

මේ ඔවුන් දරන මතයයි. එය සාධාරණය. තම පිරිසිදුකම ඔප්පු කරන්න බැරි ගැහැණියකගේ පවුල් ජීවිතය අනිවාර්යයෙන්ම හැල හැප්පිලි ගණනාවකට මුහුණ දෙන්නට වන අතර, සැමියාගේ සිතේ පැලපදියම් වුණු සැකයේ බීජය ඇය සමඟ සිටින තාක්කල් වැඩෙනවා මිස මැරී යන්නේ නැත. කන්‍යභාවය සිඳුණු හැටි ඇයවත් නොදන්නා බව කීමෙන් ඇයට මෙයින් නිදොස් වීමට නොහැකිය. එහෙයින් මේ විවාහය නිසා තම පුතණුවන් විනාශ වෙනවා දකින්න අම්මා කෙනෙක් කැමති වන්නේ නැත. මව, හා නැන්දණීයගේ තාඩන පීඩනවලට සුජාතාව ලක් වන විට, කිසිවකුගේ පැත්තක් නොගෙන අසරණ වූයේ ප්‍රේක්ෂකයාය. ඒ සුජාතාගේ අතේ කිසිදු වරදක් නැති බව ප්‍රේක්ෂකයන් දැන ගත්ත ද, මේ සම්බන්ධව සමන්ගේ මව හා නැන්දණීය ගන්නා පියවර ද, අම්මා කෙනකු වශයෙන් සාධාරණයයි ප්‍රේක්ෂකයන් හට සිතෙන නිසාය.

ප්‍රේමරත්න ප්‍රේක්ෂකයන්ව පටලවා ඔවුන්ව උභතෝටික ප්‍රශ්නයකට මුහුණ දීමට ඉඩ සැලසුවේ එසේය. සමන්ට වුවද මේ පීඩනය දරා-ගැන්මට නොහැකි විය. ඔහුගේ යටි හිත නිහඬව මොර දෙන සැකයේ බීජය නොවැඩෙන්නට ඉඩ නොදුන්නද, අර ඇතැම් පැළෑටි, වතුර වත්, පොහොරවත්, කිසිදු සාත්තුවක්වත් නොලබා වැඩෙන සේ වැඩෙ⁣න්නට විය. සමන් සුජාතාගේ පාසැල් සමයේදී ,ඇය වෙන වෙන පිරිමි සිසුවන් සමඟ ගැවසී සිටි ආකාරය සිතින් විමර්ශනය කිරීමෙන් අර සැකයේ බීජය තව තවත් දලුලන්නට ඉඩ හැරියේය.

සමන් හා සුජාතාගේ ප්‍රේමණීය කතාන්තරයේ ඇරඹුම වූයේ පාසල් කාලයේදී සිටය. ඇයගේ එලෙස නොමනා සම්බන්ධකමක් තිබුණා යයි සිතන්නටද බැරිය. එහෙත් ප්‍රසන්න ලෙස දැන් ඇය දෙස බලන්නේ කෙසේ ද? එතන අසරණ වූයේ සමන්ය. ප්‍රේමරත්න 'දෙවැනි ගමන' තුළ තවත් මධ්‍යස්ත චරිතයක් එකතු කර තිබිණි. ඒ සමන්ගේ වැඩිමහල් සොහොයුරාය. ඔහු මෙම ප්‍රශ්නය දෙස බැලුවේ සුජාතාගේ කෝණයෙන්ය. සමන්හට පමණක් නොව ප්‍රේක්ෂකයන්හට ද අස්වැසිල්ලක් වූයේ මේ සමන්ගේ සොහොයුරා පමණි.

'දෙවැනි ගමන' නිර්මාණයේ අගය කළ යුතු අනෙක් විශිෂ්ටත්වය නම්, ප්‍රේමරත්න, සුජාතාගේ ප්‍රශ්නය හෙමීට ප්‍රේක්ෂකයන්ගේ ඇඟට දැමීමය. සුජාතාගේ, පමණක් නොව, සමන්, ඔහුගේ මව හා නැන්දනිය මෙන්ම මේ අර්බූදයට මුහුණ දෙන සුජාතාගේ මව හා පියාගේ ප්‍රශ්න පවා ප්‍රේමරත්න ප්‍රේක්ෂකයන් හට භාර කරයි. එවිට ප්‍රේමරත්න විසින් , සුජාතා හා සමන් අතර ඇති කරන ලද ප්‍රශ්නය විසඳීය යුතු වූයේ ප්‍රේක්ෂකයන්ය. ඒ තුළින් නොදැනුම්වත්වම ප්‍රේක්ෂකයන් චිත්‍රපටය සමඟ බද්ධ වී තමන් විනිශ්චයකරුවන් එසේ නැත්නම් උපදේශකවරුන් බවට පත් වේ. නමුත් ප්‍රේක්ෂකයන් ද මොන තරම් උත්සහ කළත් මේ ප්‍රශ්නය හමුවේ නිසි විසඳුමක් දීමට නොහැකි වේ. හේතුව, මේ සියලුම චරිත එකී ප්‍රශ්නයට අනුව බලන කෝණ එකිනෙකාට ආවේණිකව සාධාරණ වූ හෙයිනි.

සමන් හට ලැබෙන පීඩනය තව තවත් වර්ධනය වන්නේ ගම්මුන් මෙන්ම සමන්ගේ පාසැලේ ගුරුවරුන්, සමන් හා සුජාතාගේ කන්‍යභාවය සිඳුණු ප්‍රශ්නය 'ජාතික ප්‍රශ්නයක්' සේ සැලකීම නිසාය. පාසැලේදී තැන් තැන්වල මුමුණන අයගෙන් හිස ඔද්දල් කරගත් සමන්, විශාල වාග් ප්‍රහාරවලට මුහුණ දෙන්නේ නිවසට ආපසුය. ඒ තම මව සහ, විවාහ නොවී ගෙදරටම නාකි වූ නැන්දාගෙනි. අවසානයේ දී සුජාතාව ඇයගේ නිවසට ඇරලවීමට සමන් පියවර ගත්තේ මෙම පීඩනය දරා-ගැන්මට නොහැකිම වූ නිසාය.

'මගේ දරුවා මට වැඩි නැහැ. හැබැයි ගෙනත් දැම්මා වගේ නෙමෙයි. ආපහු එක්ක යන්න ඕනා කියලා මේ පැත්ත පළාතක පස් පාගනවා එහෙම නෙමෙයි'

ඒ සුජාතාගේ පියා තම සිත තුළ කැකෑරුණු වේදනාව ගොනු කර සමන් වෙත එල්ල කෙරූ අන්දමය. සුජාතා තම නිවස තුළ හැදුණු ආකාරය තුළ ඇය සුජාතාවක්ම යැයි හොඳාකාරවම දන්නේ ඇයගේ දෙමාපියන්ය. ලෝකයා මොනවා කීවත් සුජාතාට ස්වභාවිකව යමක් සිදුවූවා හැරෙන්නට ඇය අයාලේ ගොස් විලි බිය සිඳ ගත්තේ නැත. ඇයව කාලයක් ආශ්‍රය කෙරූ සමන් වුවද, මේ බව හොඳාකාරව දන්නා හෙයින්, මෙවන් දෙයක් සිදුවී ඇති ආකාරය ගැන විද්‍යාත්මක පැත්තෙන් සොයා බලා, තීරණයක් ගත යුතු යැයි යන මතයේය සුජාතාගේ පියා සිටියේ. උණහපුළුවාට උගේ පැටියා මැණිකක් වූවා සේම, සුජාතාගේ දෙමාපියන්ටත් ඔවුනගේ දියණිය මැණිකක් විය. කසාද සැමියා ඇයව ගෙනත් හැරියද, සුජාතාව ඔවුන් දයා භරිතව භාර ගත්තේ ඒ නිසාය.

එක් සිදුවීමක් මෙතරම් අපූරුවට ව්‍යාප්ත කර මෙම සමාජීක ගැටලුව සිනමාත්මකව ඉදිරිපත් කිරීමත්, රාමුවෙන් රාමුවට ප්‍රේක්ෂකයන්ව කුතුහලයකින් මෙන්ම, සංවේදීව රඳවා තබා-ගැනීමත් කළ හැක්කේ ප්‍රශස්ත අධ්‍යක්ෂකවරයකුටම පමණි. එච්.ඩී. ප්‍රේමරත්න, ඒ වනවිටත් ජනප්‍රිය චිත්‍රපට කීපයක්ම නිර්මාණය කර තිබුණද, ඔහුගේ වඩාත්ම නිර්මාණශීලි ඉදිරිපත් කිරීම 'දෙවැනි ගමන' විය. එය ඔහුගේ එක්තරා හැරවූම් ලක්ෂයක්ද විය.

කිසිදු මිනිසකු කැළැල් වූ ස්ත්‍රියක සරණ පාවා-ගැන්මට කැමැත්තක් නො දක්වයි. ඒ , ඇය තවකෙකු සමඟ ගොස් කැළැල් වූ නිසා ය. ඇයට එක් වරක් එසේ කිරීමට හැකි නම්, මතුවටත් එසේ කිරීමට බැරි නැත. මේ ලාංකේය පිරිමින්ගේ බහුතර මතයයි. හැම පිරිමියාම හොයනුයේ පතිවත සුරකින නොකැළැල් සහකාරියකි. සත්‍යය එසේ නම් එය සමන්හටත් පොදුය. ප්‍රේමරත්න, මේ ශාරිරීක ගැටලුව, මානසීක ඝට්ටනයකට හරවා, එයින් සමන්, සුජාතා මෙන්ම ඔවුනගේ දෙමාපියන්,සහෝදර සහෝදරියනුත් එකී ඝට්ටනයට හවුල්කරුවන් කර ඔවුන්ව පීඩාවට පත් කළේ ය. මුළු චිත්‍රපටය පුරාම අප දුටුවේ එකී පීඩාවනට අසු වූ ක්‍රියාකරුවන්ය. එයට සුජාතා, ඇයගේ මව, පියා, සමන්ගේ මව හා අවිවාහක නැන්දා, සමන්ගේ සොහොයුරා සහ ඔහුගේ බිරිඳ, ඒ සියල්ලම අයත් විය.

'ඒ දෙන්නට ප්‍රශ්නයක් නැත්නම්, අපි මොකටද ප්‍රශ්න ඇති කරගන්නෙ' මේ සමන්ගේ සොහොයුරා දැරූ මතයයි.

'ඔය වගේ සුළු ප්‍රශ්නයකට සුජාතව අත්හරින්න මං චපලයෙක් නෙමෙයි' ඒ සමන් දැරූ මතයයි.

එහෙත් සමන්ගේ මව හා නැන්දා දැරුවේ කැළැල් වූ ගැහැණියක මෙම නිවසට අනවශ්‍ය බවය.

ඒ නිසාම සමන් හට තම මව හා නැන්දනීය දෙන වදෙන් ගැලවීමට අවශ්‍ය විය.

'මේ වගේ ප්‍රශ්න තියාගෙන අපි දෙන්නට මෙහෙම එකට ජීවත් වෙන්න බැහැනේ. මං ගිහිං ඔයාව ගෙදර ඇරලවන්නම්'

ඒ කීවේ අර සුජාතාව , ඔවැනි සුළු ප්‍රශ්නයකට අත්හරින්න බැහැ කිව්ව සමන්මය .එතනදී සමන්ව මෙහෙය වූයේ ඔහුගේ පීඩනයයි.

'ඔය එක්කං ආවේ ගෙදරට භාර දෙන්නද? භාර දුන්නට කමක් නැහැ. ආපහු එක්කං යන්න එහෙම එන්න බැහැ. මට මගෙ කෙල්ලව වැඩි නැහැ' ඒ කීවේද අර පීඩනය කෙසේ හෝ දරාගත් සුජාතාගේ පියාය.

ප්‍රේමරත්න තම 'දෙවැනි ගමන' තුළින් එකිනෙකාට එලෙස විශාල පීඩනයක් දී පසුව සමන්ට හා සුජාතාටම එයට නිසි පිළිතුරු සොයාගැන්මට භාර දී අයින් වූවා වැනිය. අවසන සමන්ම එයට පිළිතුර සොයාගති. සුජාතා ⁣පාසැල් කාලයේ ඇයගේ ක්‍රීඩාවට, ක්‍රියාකාරීවම යොමු වීම නිසා මෙවන් අකරතැබ්බවල් සිදුවන බවක් සමන් විසින් තේරුම් ගති. ඒ නැතත් කිසිවකුගේ විරුද්ධතාවයන්වලට හිස නොනමා සුජාතාව යළි භාර ගැන්මට සමන් තීරණය කළේ ඇතැම් විට යථාර්තය අවබෝධ කරගත් නිසා හෝ සුජාතා නැතිව ඔහුට ජීවිතයේ ඉතිරි කොටස ගෙන යාමට නොහැකි යයි වැටහුණු නිසා විය හැකිය. ප්‍රේමරත්න පීඩනය නිම කරන්නේ නැවත සමන් සුජාතාව තම නිවසට ගෙන යන්නට ඉඩහරිමිනි. එම 'දෙවැනි ගමන' ට ඔවුන් පා නැඟුවේ මතු වූ ප්‍රශ්නයේ නිසි අවබෝධයක් ඇතිවය. එය එතෙක් වෙලා දැඩි පීඩනයක් උසුලා සිටි ප්‍රේක්ෂකයන් හට සැනසුම් සුසුමක් හෙලීමට හැකි වන අවසානයක් විය.

“ඔබ පිබිදිලා

ඇය පිබිදිලා

සිනාසේ,

සිනාසේ”

අයිරාංගනී සේරසිංහ හා දෙනවක හාමිනේ විශිෂ්ට රඟපෑමක යෙදුණු 'දෙවැනි ගමන' තුළින් රවින්ද්‍ර රණ්දෙනිය, නිලන්ති විජේසිංහ, ගාමිණී විජේසූරිය, පී.බී.මයිල්ලෑව, ගර්ලි ගුණවර්ධන , ෆිලික්ස් ප්‍රේමවර්ධන,ජෝ දඹුලුගල, සයිමන් මරවනාගොඩ, නවනන්දන වි⁣ජේසිංහ, සිතා කුමාරි, කාන්ති ෆොන්සේකා , වින්සන්ට් වාස්, අනුර මැදගොඩ, සුවිශේෂිත රංගනයන් ඉදිරිපත් කළ අතර, සමන් ලෙස සනත් ගුණතිලක හා සුජාතා ලෙස සබීතා පෙරේරාත් එකී විශිෂ්ටත්වයට තම ප්‍රතිභාපූර්ණ රංගනය එකතු කර 'දෙවනි ගමන' නිර්මාණශීලි කෘතියක් කළහ.

1985, සරසවිය සම්මාන උලෙළේදී එච්.ඩී. ප්‍රේමරත්න හොඳම තිර නාටකයටත්, සබීතා පෙරේරා හොඳම නිළියටත්, ජයතිස්ස දිල්ලමුණි හොඳම සංස්කරණයටත් සම්මාන ලබාගත් අතර, එම වසරේම ජනාධිපති සම්මාන උලෙළේ දී, ගාමිණි විජේසුරිය, සුජාතාගේ පියා ලෙස රඟපා විශේෂ සම්මානයක් ලබාගතී. එම වසරේ සරසවිය හතර වැනි ජනප්‍රිය චිත්‍රපටය ලෙස 'දෙවැනි ගමන' තේරිණි.

රත්නපාල මරවනාගොඩ නිෂ්පාදනය කළ, ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ, එච්.ඩී. ප්‍රේමරත්න තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ, 'දෙවැනි ගමන' චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළේ 1984 මාර්තු 02, වෙනිදාය.

 

“චාමර සැලුණාවේ

සේසත් සැලුණාව්

සුරංගනා සුළං දැලේ

චාමර සැලුණාවේ”