ගෙන්දගම් පොළොවේ තරුණයන් තිදෙනෙක්

කලම්බො
මාර්තු 11, 2021

ආසම රන්දිල් ලියනගේ අධ්‍යක්ෂණයක්.

අනූෂ සංජීව නිෂ්පාදනයක්.

 

"ගොඩයන්නනම් ගේමක් ගහන්නම ඕනේ" මේ කියමන වැඩිපුරම මුවේ තියෙන්නේ කොළඹ ජීවත් වන එක්තරා තරුණ කණ්ඩායමක් අතරේ. මේ පිරිස අතර සිටින බහුතරයකට ස්ථීර රැකියා නැහැ. එහෙයින් අතට කීයක් හරි එන ගේමක් ගහන්න උත්සහ කරමින් ඒ අය ඉන්නේ. එහෙම සමහරු ගේම් ගහමින් දවසේ ය ආදායම සරි කර ගන්නා හැටි පෙනෙන්නට තිබෙනවා. ඔවුන් සතුව ඇත්තේද මහා ලොකු හීන. ඒවා සැබෑ කරගන්නට පුළුවන්වේ දැයි ඔවුන්වත් දන්නේ නැහැ.

කොළඹ ජීවත්වන තරුණයන් තිදෙනෙකි ඔස්කා, ජූඩ් සහ ජූනියර්. ඔවුන් දකින්නේද දැවැන්ත හීනය තිදෙනා ඒවා සාක්ෂාත් කරගැනීමට උත්සාහ කළත් සල්ලි නමැති කාරණය හේතුවෙන් ඒවා උපන්ගෙයිම යටපත් වෙනවා. ඔස්කා යනු වෘත්තිමය මාල කඩන්නෙක්. අසම්මත ආදර කතාවකට මුලපුරා ඇති ඔහු එක්දරු මවකට ආදරය කරනවා. ජූඩ් අංක එකේ ගැට කපන්නකු ලෙස පොලීසියට ප්‍රකටයි. ඔය අතරින් වෙනස් වන්නේ ජූනියර්. ඔහු චිත්‍රපට පිස්සෙක්. චිත්‍රපට කිව්වොත් ජූනියර්ට කන්න ඕනෑත් නැහැ. අපි කට වචනයට කියන එදාවේල ටුවර්ස් යමින් සිටින මේ තිදෙනාගේ දෛවය වෙනස් වන්නට පටන් ගන්නේ කෝටි විස්සක දියමන්තියක්. මේ දියමන්තියේ කතාව ඔවුන්ට රැගෙන එන්නේ ඔස්කාගේ මාමා වන මයිකල්. මයිකල් යනු නීතිවිරෝධී වැඩවලදී කප් ගහපු කෙනෙක්. දියමන්තිය පිළිබඳ දැනගත් ඔවුන් එය තමන්ගේ කරගැනීමට තනි තනිව උත්සහ කරනවා. මෙතනදි ඔවුනට අවශ්‍ය වන්නේ සාමූහික ක්‍රියාවකින් දියමන්තිය අත්පත් කරගැනීමට නොව තනි තනිවම තමන් දැකපු සිහින සාක්ෂාත් කර ගනීමටයි. මේ ඔස්කා, ජූඩ් සහ ජූනියර්ලාගේ කතාව ඇතුළත් වෙන්නෙ කලම්බෝ සිනමාපටයට. ආසම රන්දිල් ලියනගේ අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටය ඔහුගේ කුලුඳුල් සිනමානිමැවුමයි. මෙම මස තෙවැනි සතියේදී තිරගතවීමට නියමිත කලම්බෝ සිනමාපටය අනූෂ සංජීව එදිරිමුනිගේ නිෂ්පාදනයක්.

කලම්බො සිනමාපටයේ නළුනිළියෝ.

හේමාල් රණසිංහ, ධර්මප්‍රිය ඩයස්, කුමාර තිරිමාදුර, ජෙහාන් අප්පුහාමි, නිශාන් කුමාර, රුක්මල් නිරෝෂ්, ශානිකා නිරෝෂි, චමල් රණසිංහ, අසංක දිනාල්, මධුමාලි ජයසිංහ.

 

කැමරා අධ්‍යක්ෂණය - අමිත් ක්‍රිශාන්ත

සංස්කරණය - තිලංක පෙරේරා

අංග රචනය - රසික තෙන්නකෝන්

සංගීත අධ්‍යක්ෂණය - අජිත් කුමාරසිරි

නිෂ්පාදන සැලසුම්කරණය - තුෂාර කළුබෝවිල

ශබ්ද මිශ්‍රණය - දිනේෂ් ඒකනායක

සහාය නිෂ්පාදනය, රංජිත් ලියනගේ හරින්ද අචලංක කුලසූරිය සහ නිමාලිකා පෙරෙරා