කොල්ලො 7යි කෙල්ලො 7යි

මාර්තු 11, 2021

කඳුකර පළාතක ඇති ගොවිපළක, ඉර එළිය වැටී ඇතත් තවම නිදා සිටින තරුණයන් හය දෙනෙකුගේ කුටියට කඩා වදින තවත් තරුණයෙකි. කඩවසම් ඔහුගේ මුහුණ පුරා රැවුල වැවී ඇත. නැතිනම් රැවුල එලෙස වැවෙන්නට ඉඩ ඇර ඇත.

නැගිටපල්ලා ඔහු කෑ ගසන හඩින් සියල්ලෝ තැති ගනිති. මේ හත්දෙනාම සහෝදරයෝය. මේ කාමරයට කඩා වදින ලොකු අය්යා විජේය. ඔවුන්ගේ මවුපියන් ජීවතුන් අතර නැත. සියල්ලන්ගේ අණ දෙන්නා ලොකු අය්යාය.

දිනක් විජේට පැරැණි සගයකු හමුවෙයි. ඔහු සිටිනුයේ බීමත්වය. හේතුව පෙම් පටලැවිල්ලකි. එය විසඳන්නට යාමෙන් සිදුවනුයේ ඔහුට තනූජා නම් ඉන්දියානු හෙදියක මුණ ගැසීමය. මේ සුරුපී හෙදිය සියලු සහෝදරයන්ට ආදරණීය මවක් වූවාය. දැන් ඔවුන්ගේ අරමුණ අනෙක් සහෝදරයන්ට ද පෙම්වතියන් සොයා දීමය. එහෙත් ඒ සමඟ ඔවුන්ට මහත් පැටලැවිලි රැසකට මුහුණ දෙන්නට සිදුවෙයි. මේ අතරින් එක් ගැටලුවක් වනුයේ සැම්සන් නම් කෙනෙකු විජය මෙන් වෙස් වලාගෙන පැමිණ මේ තරුණියන් අතරින් එකියක මරා දැමීමට සැලසුම් කිරිමය. මේ සිංහලෙන් හැදුණ පෙරළිකාරයෝ කථාව සාරාංශ කොට දැක්වීමකි.

නමේ හැටියටම පෙරළිකාරයෝ මෙරට සිනමාවේ පෙරළිකාර චිත්‍රපටයක් විය. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ දිනේෂ් ප්‍රියසාද් විසින්ය. එකල කෙසඟ තරුණයකුව සිටි දිනේෂ්ට මේ තරම් දැවැන්ත චිත්‍රපටයක් බාරදීමට තරම් නිෂ්පාදකවරුන් කැමැති වීම අදටත් ඔහු විසින් උපයා ගත් දැවැන්තම ආයෝජනය හැටියට සැලකීම නිවැරැදිය. දිනේෂ් මුලින් අධ්‍යක්ෂණය කරන ලද්දේ නොම්මර එකයි චිත්‍රපටයයි. එහි ශබ්ද කැවීම් අතරතුර නිෂ්පාදක රාජා රණසිංහ දිනේෂ්ට අලුත් ප්‍රවෘත්තියක් ගෙනාවේය. ඒ අතේ යන නමින් හැදින්වෙන මිතුරෙක් හෙට ශබ්දාගාරයට එන්නේ දැවැන්ත චිත්‍රපටයක් නිපදවීමේ අදහසින් බවය.

පසුවදා නොමිම්ර එකයි දෙබස් කවන අතරතුර රාජ් සමග "අතේ" නම් මිතුරාද පැමිණියේය. රාජ් අතේයැයි පැවසුව ද ඔහුගේ සැබෑ නම තිලක් බන්දුල අත්පත්තු විය. තිලක් සහ රාජ් ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ එක පන්තියේ සිසුහු වූහ. චිත්‍රපටයේ වැඩ කටයුතු කරන දෙස වුවමනාවෙන් බලා සිටි තිලක් එහි විනෝදය මෙන්ම සාමුහිකත්වය ද අවබෝධ කර ගත්තේය. තිලක් ආපසු ගියේ දිනේෂ් හා ටෙනිසන් කුරේට තම නිවෙසට එන ලෙස ආරාධනා කරමින්ය. ටෙනිසන් නොම්මර එකයි චිත්‍රපටයේ තිර කතා රචකයා විය. මිතුරෝ දෙදෙනා ටෙනිසන්ගේ මෝටර් බයිසිකලයේ නැඟී එහි ගියහ. ඒ දවස්වල ජනප්‍රිය හින්දි චිත්‍රපට රූපයෙන් රූපයට කොපි කරමින් තැනුණ ජනප්‍රිය සිංහල චිත්‍රපට රැල්ලක් ඇවිත් තිබිණ. තිලක් අතපත්තුට අවශ්‍ය වුණේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ සත්තේ පේ සත්තා අසුරෙන් චිත්‍රපටයක් හදන්නටය. චිත්‍රපටයක් රූපයෙන් රූපයට කොපි කරන්නට දිනේෂ් ගේ කැමැත්තක් නොවිණ. සත්තේ පේ සත්තා කොපි නොකොට එහි ඔර්ජිනල් හොලිවුඩ් චිත්‍රපටයේ ආභාසය ලැබ චිත්‍රපටයක් තැනීම දිනේෂ්ගේ අභිලාෂය විය. එබැවින්දිනේෂ් තිලක්ට සෙවන් බ්‍රයිඩ්ස් ෆො සෙවන් බ්‍රදර්ස් ගැන පැවසුවේය. පැරණි රෝම පුරාවෘත්තයන්ගේ ආභාසය ලද බොහෝ නිර්මාණ නාට්‍ය ලෙස ද සිනමා කෘති ලෙස ද සියවස් ගණනාවක් මුළුල්ලේ හැඩ තල ගොතමින් නවීකරණය වෙයි. The abduction of the Sabine women  නම් පුරවෘත්තය පාදක කරගෙන seven brides for seven brothers  නමින් සිනමා කෘතියක් 1954 වසරේ සිනමාවට නැඟිණ. ඒ සුප්‍රකට හොලිවුඩ් සිනමාකරුවකු වන ස්ටැන්ලි ඩොනන් අතින්ය. එයම 1982 වසරේ යළි ඉන්දියාවේ තැනුණේ සත්තේ පේ සත්තා නමින්ය. තිලක් දිනේෂ්ට මුලින් පවසනුයේ මේ හින්දි චිත්‍රපටය ගැනය. එදා

තිලක් අතපත්තු සමුගන්නට මත්තෙන් දිනේෂ්ටත් ටෙනිටත් රුපියල් දස දහස බැගින් අතමිට මොළවූයේ අත්තිකාරමක් හැටියටය. චිත්‍රපටයක් වෙනුවෙන් දිනේෂ් ලබා ගත් මුල්ම අත්තිකාරම එයයි. 1982 වසරේ එය කෙතරම් ඉහළ මිළක් ද යත්, එය වියදම් කරන හැටි ගැන කල්පනා කරන්නට ද දිනේෂ්ට දින ගණනක් ගතවිය. චිත්‍රපටය සම්බන්ධයෙන් තිලක්ගේ ඉල්ලීම් දෙකක් විය. එයින් පළමුවැන්න ප්‍රධාන චරිතය සදහා විජය කුමාරතුංගත් ගී ගායනයට එච්.ආර්. ජෝතිපාලත් යොදා ගත යුතු බවය. ටෙනිසන් සති කිහිපයක් ඇතුළත කදිම තිරනාටකයක් ලිවුවේ මුල් චිත්‍රපටයේ කථා සාරාංශය පමණක් උපයෝගි කර ගෙනය.

චිත්‍රපටයේ මුල් තෝරා ගැන්මේදී විජය කුමාරතුංග, මාලිනි ෆොන්සේකා, සනත් ගුණතිලක, ජීවන් කුමාරතුංග, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, ටෙඩී විද්‍යාලංකාර, විමල් කුමාර ද කොස්තා ඒ සදහා තෝරා ගෙන තිබිණ.

එහෙත් රූපගත කරන්නට ඔන්න මෙන්න තිබියදී කණ්ඩායම නොසිතු විරූ කරදරයකට මුහුණ දුන්හ. ඒ නැක්සලයිට් දේශපාලන චෝදනා යටතේ එවකට පැවැති ජේ.ආර්. ජයවර්ධන රජය මඟින් චිත්‍රපටයේ ප්‍රධාන නළු විජය කුමාරතුංගයන් අත්අඩංගුවට ගැනීමය. විජය අද එතැයි හෙට එතැයි සිතමින් දින ගණන් ගෙවෙද්දී එය සති ගණන්වලට ද අනතුරුව මාස ගණන්වලට ද පෙරළුණේ නොදැනුවත්මය. කිසිවකුට හෝ කර කියා ගත හැකි දෙයක් නොවිණ. පෙරළිකාරයෝ තිඹිරි ගෙයිම වැළලෙන්නට ආසන්නය. මේ අවදිය නළු නිළියන් අතිශය කාර්ය බහුල අවදියකි. එබැවින් කිසියම් දිනෙක රූ ගැන්වෙන චිත්‍රපටයක් උදෙසා අන් අයගේ වැඩ නවත්වා බලාපොරොත්තු ලබා දිය නොහැකිය. සමහරුන්ට දුන් දින ගණන් ඉකුත් වෙමින් පැවතිණ.

‘ගාමිණි ෆොන්සේකා යොදා ගෙන චණ්ඩියා චිත්‍රපටයේ දෙවැනි කොටස නිර්මාණය කරමු.‘ දිනේෂ් තිලක්ට යෝජනා කළේය. විජය ‍යළි පැමිණි විට පෙරළිකාරයෝ කළ හැකිය. එහෙත් තිලක් නම්මවා ගැනීම කිසිසේත් කළ ‌නොහැකි විය. කවදාක හෝ විජය එනතුරු රූප ගතකිරීම් කල් දමන්නට ඔහු අදිටන් කර ගෙන සිටියේය. විජය වෙනුවෙන් ආදේශක නම් කිහිපයක් ඉදිරිපත් වුණ ද තිලක්ගෙන් ඒ සඳහා අවසරයක් නොවිණ.

ඒ එනතුරු චිත්‍රපටයේ අලුත් දර්ශනතල සෙවීමට පිරිස සූදානම් වූහ. චිත්‍රපටයේ එක් දර්ශනයක තිබුණේ මුහුද මැද පැරැණි ප්‍රදීපාගාරයක සැබෑ විජය (මේ චරිතය රගපෑවේ විජය කුමාරතුංගයන් විසින්ය.) සඟවා තැබීමේ දර්ශනයකි. මේ දර්ශනතල සෙවිම බලවත් දුෂ්කර කාර්යයක් විය. ඒ අරමුණින් රාජ් රණසිංහ, තිලක් අතපත්තු, ටෙනිසන් කුරේ නිමල් රෝසා, බන්දු සමරසිංහ, ටෙඩි විද්‍යාලංකාර හා දිනේෂ් බේරුවල ප්‍රදීපාගාර දූපතට ගියේ ඩීසල් බෝට්ටුවකිනි. ඒ 1982 වසරේ මැද ය.

ටෙනි චිත්‍රපටයේ තිර කථා රචකයා වූ අතර , නිමල් කැමරා අධ්‍යක්ෂවරයා විය. බෝට්ටුව මහමුහුද මැද දී එක්වරම ප්‍රචණ්ඩ දිය රැල්ලකට හසු විය. බෝට්ටුව උඩ විසි වී නැවත වේගයෙන් ජල කඳ මත වැටුණේ සියලු දෙනාට දෙවියන් බුදුන් සිහි කරවමින්ය. ////සියල්ලම /// උඩ යන බෝට්ටුවේ බල්ටි ගසන්නට වූහ. මරබියේ කරමත්තට ගිලුණ ද ටෙනිසන් ‘මේ මොන රැලි ද මම නං වතුර දකින්න දකින්න ආසයි. බෝට්ටු මල්ලි පුළුවන් තරම් ගැඹුරටම අල්ලපං මම බය නෑ යකෝ‘ යනුවෙන් බෙරිහන් දුන්නේ සියල්ලන්ගේ මර බය අමතක කරලමින්ය.

කෙසේ හෝ මේ ගැඹුරු මුහුදේ ප්‍රදීපාගාර දර්ශනය රූ ගැන්වීමේ දුෂ්කරතාවය නිසා එය ප්‍රධාන දර්ශනතලය වූ ගම්පොළ ඉදිකරන්නට සැලසුම් කෙරිණ. ඒ කොටස් තුනකින්ය. එය ලොකුමුදලක් වැයවන්නක් විය. ඒ අනුව මුදුන් කොටස අඩි 16ක උසකින් යුතුව එක් තැනක ද තවත් තැනක අඩි 22 කින් යුතුව යට කොටස ද පුපුරුවා හැරීම සදහා අඩි 20ක ප්‍රදීපාගාරයක් තවත් කඳු මුදුනක ද සෑදිය යුතුව තිබිණ. තිලක් අතපත්තු කිසිදු පැකිළීමකින් තොරව කලා අධ්‍යක්ෂ එරල් කෙලීට අවශ්‍ය පරිදි ඒවා හදන්නට අවසර දුන්නේ ඕනෑම වියදමක් ඒ සදහා දරන්නට එකඟ වෙමින්ය. මේ අනුව තැන් තුනක ප්‍රදීපාගාරය ඉදිවුණේ කලා අධ්‍යක්ෂ එරල් කෙලිගේ මෙහෙයුම මතය.

ප්‍රදීපාගාරයේ යට කොටස ශක්තිමත්ව මෙන්ම තෝරාගත් ගසකින් ඉදිකෙරිණ. මේ දැවැන්ත ගසක් කප්පාදු කොට ඉතිරි වන මැද කනුව ප්‍රදීපාගාරයේ බේස් එක ලෙස සැකසීම එරල් ගේ වෑයම විය. ඒ අනුව ගසක් කප්පාදු කෙරිණ. මේ දුටු ටෙනිසන් කුරේ අපූරු අදහසක් පැවසුවේය. ඒ සහෝදරයන් හත් දෙනා ගස මතට වී එහි එක් එක් අත්තක සිට අතු කැපීමේ දර්ශනයකි. අද ද චිත්‍රපටයේ නාමාවලියේ ඇති මේ අපූරු දර්ශනය ඒ අනුව රූප ගත කෙරුණකි.

පෙරළිකාරයෝ තවත් කථා එන සතියට

සරසවියට පැවසුවේ දිනේෂ් ප්‍රියසාද්