කාජල්ට වීසා නෑ

මාර්තු 18, 2021

වර්තමාන බොලිවුඩ් සිනමාවේ දිදුළන සුපිරි තාරකාවන් අතර කුසලතාවයෙන් හා ජනප්‍රියත්වයෙන් ඉදිරියෙන්ම සිටින කාජොල් සිංහල චිත්‍රපටයක දර්ශන තලයක සිටියා යැයි අද පැවසුවා නම් එය ලෝකය පුරා පැතිරෙන මහා ප්‍රවෘත්තියක් වනු නො අනුමානය. එහෙත් මෙයට වසර හතළිහකට පමණ ආසන්නයේ එය සිදුවිය. ඒ වන විට සිනමා ලෝකයට නොපිවිස සිටි ඇය පුංචි දඟකාර දැරියකි. ඇය මෙන්ම ඇගේ නැගණිය තනීෂා ද මේ දර්ශන තලයට ආවාය. ඒ ඇගේ මව බොලිවුඩ් සුපිරි තාරකාව තනූජා එහි ප්‍රධාන චරිතය රඟපෑ නිසාවෙන්ය. මේ ‘පෙරළිකාරයෝ‘ දර්ශන තලයයි. පෙරළිකාරයෝ චිත්‍රපටයට තනූජා සම්බන්ධ වීම අහම්බයකි. එහෙත් ඇය ඉතාම වෘත්තියමය පළපුරුද්දක් ඇති නිළියක හැටියට පමණක් නොව මුළු දර්ශන තලයේ සහයෝගයෙන් කටයුතු කළ නිරහංකාර කාන්තාවක ලෙස අද ද දිනේෂ්ගේ මෙන්ම රාජ් රණසිංහගේ ද මතකයේ රැඳී පවතී.

විජය කුමාරතුංගයන් සිපිරි ගෙයින් නිදහස්ව ආපසු පැමිණ සිනමාවට සම්බන්ධ වන විට පෙරළිකාරයෝ පමණක් නොව ඔහු රඟපෑ බොහෝ චිත්‍රපටවල ද වෙනස්කම් සිදුව තිබිණ. චිත්‍රපට නිෂ්පාදනය වැඩි සමයක් නිසා විජය වෙනුවට ඇතැම් චිත්‍රපට වෙනත් නළුවන් යොදා රූගත කෙරුණ ද පෙරළිකාරයෝ සඳහා එවැනි විකල්ප භාවිත නොකිරිමට තිලක් අතපත්තු තීරණය කර තිබිණ. සමහරු විජය වෙනුවට වෙනත් නළුවන් යොදා ගත්තේ එවකට පැවැති රජයෙන් අවහිරතා පැන නඟිනු ඇතැයි ඇති වූ සහේතුක බිය නිසාය. විජය වෙනුවට තමන්ට ප්‍රධාන චරිතය ලබා දෙන්නැයි තිලක් වෙත ඇතැමුන් ගෙන ආ යෝජනා සියල්ල ඔහු තරයේ ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් පෙරළිකරයෝ රූපගත කිරිමි ආරම්භයේ දී එහි ද ඇතැම් නළු නිළියන් වෙනස්ව ගියේ එහි රූපගත කිරිම් වරින්වර කල් ගිය නිසාවෙන්ය. මේ අතරින් තරුණයන් හත් දෙනාගෙන් කෙනෙකු ලෙස සිටි සනත් ගුණතිලක ඒ වන විට වෙනත් චිත්‍රපට කිහිපයකම ප්‍රධාන නළුවා ලෙස රඟපාමින් සිටි බැවින් ඔහුගේ දින පිළිබඳ ගැටලුවක් ඇති විය. ඒ වෙනුවට අලුත් තරුණයෙක් සිනමාවට පිවිසියේය. ඔහු නිෂ්පාදක තිලක් අතපත්තු ගේ භාර්යාව වූ කුමුදු අතපත්තුගේ ඥාති සොහොයුරෙකු වූ ශ්‍රියන්ත වක්වැල්ලය. ශ්‍රියන්ත රඟපෑවේ පෙරළිකාරයෝ චිත්‍රපටයේ පමණක් වුව ඔහු එහි මතක සිටින රංගනයක යෙදිණ. සනත් පසු කලෙක තිලක් නිපදවූ චෙයරියෝ ඩොක්ටර්, රජ දරුවෝ ඇතුළු චිත්‍රපට කිහිපයකම රඟපෑවේය. එහෙත් පෙරළිකාරයෝ චිත්‍රපටයට ප්‍රධානම ගැටලුව වූයේ ඒ වන විට නිළි රුජන මාලිනි ෆොන්සේකා විදෙස් සංචාරයකට දින යොදා ගෙන තිබීමය. ඇය එය වසර ගණනාවකට පෙර කළ සැලසුමක් හෙයින් එය අත්හිටුවන්නට ද බැරිය. ඔයින් මෙයින් විජය-මාලිනි එක් කොට චිත්‍රපටයක් තනන්නට දිනේෂ් තුළ තිබුණු බලාපොරොත්තුව සඵල කර ගැනුණේ ඔහුගේ ඊළඟ නිෂ්පාදනය වූ වරදට දඬුවම් චිත්‍රපටයෙනි. දෛවෝපගත වූ පරිද්දෙන් එය විජය ගේ කුලුඳුල් නිෂ්පාදනය විය. ඒ වන විට පෙරළිකාරයෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සදහා වෙනත් කිසිදු නිළියක් යොදා ගැන්මට නොහැකි වූයේ ඔවුන් ද කාර්ය බහුල බැවින්ය. චිත්‍රපටයේ ඉදි වන දැවැන්ත දර්ශන තල ආදිය නිසා එය මනා සැලසුමකින් යුතුව රූප ගත කළ යුතුව තිබිණ.

අවසානයේ නිළියක් සොයා ගන්නා තුරු නළුවෝ ප්‍රධාන දර්ශන තලයේ චිත්‍රපටයේ මුල් රූප ගත කිරිම් ආරම්භ කළහ. රාජ් රණසිංහ හා තිලක් අතපත්තු බොම්බාය බලා ගියේ බොලිවුඩයෙන් හෝ තරුවක් ගෙන එන්නටය. ඔවුන්ගේ මුල් තේරීම ඒ වන විට අති සාර්ථකව තිර ගත වෙමින් පැවැති සනම් තේරි කසම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ රීනා රෝයි ය. රීනා ගේ ගණන් ඇසූ රාජ් හා තිලක් ඒ වන විට දර්ශන තලයේ සිට මහා රාත්‍රියේ නින්දක වැටී උන් අධ්‍යක්ෂ දිනේෂ් පුබුදුවා විස්තරය කීවේය. එහෙත් තිලක් දිවට කටට නොදැනී ඇය අය කරන මුදල ගැන පැවසූ සැණින් දිනේෂ් උන් තැනින් බිම වැටිණ. මුදල ඉන්දියානු රුපියල් ලක්ෂ හතළිහකි. එය කිසිසේත් මෙරටට ඔරොත්තු දෙන මුදලක් නොවිණ. උත්සාහය අත් නොහළ රාජ් හා තිලක්ට ඔවුන්ගේ මිතුරු ඉන්දියානු නිෂ්පාදකයකු වූ මුක්‍රිගේ නිවහනේ රාත්‍රි භෝජන සංග්‍රහයකදී එහි තිබුණ ඇල්බම් කිහිපයක් පරීක්ෂා කිරිමේදී හුරු පුරුදු මුහුණක් දැක ගන්නට ඉඩ ලැබිණ. ඒ කලකට ඉහත ලංකාවේ අතිශය ජනප්‍රිය වූ හාති මේරේ සාති හා මේරේ ජීවන් සාති වැනි චිත්‍රපටවල රඟපෑ තනුජාය. මුක්‍රි තනුජා අපේ නිෂ්පාදකවරුන්ට සම්බන්ධ කර දුන්නේය. අපේ නිෂ්පාදකවරු ඇය හමුවට ගියේ අත්තිකාරමක් ද සහිතවය. ඇය චිත්‍රපටයට කැමැත්ත පළ කළාය. එපමණක් නොවේ, නිෂ්පාදකවරු මුහුණ දී ඇති ගැටලුව ද අවබෝධ කර ගත්තාය. එයට හේතුව ඇය ද ඉන්දියාවේ ප්‍රධාන පෙළේ නිෂ්පාදන සමාගමක් ව තිබුණු ෆිල්මාලයා ආයතනයේ හිමිකාරියක වූ හේතුවෙන්ය. මට සල්ලි එපා. මම ඔයගොල්ලන්ට උදව්වට එන්නමි. ඇය පැවසුවේ කිසිවකු හෝ අපේක්ෂා නොකළ පිළිතුරකි. ඇය ඒ වෙනුවට තම පවුලේ සාමාජිකයන් වූ අම්මාටත් සොයුරියටත් දියණියන් දෙදෙනාටත් නිවාඩුවක් ගත කරන්නට ඉඩ සලසා දෙන්නැයි ඉල්ලුවාය. ඒ සඳහා කිසිදු හෝටල් පහසුකම් අවශ්‍ය නොවන බවත් ඔවුන්ට සංචාරයේ ආරක්ෂා සහිතව යන්නට ඉඩ සලසන ලෙසත් ඇය ඉල්ලීය. කොටින්ම ඔවුන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍රවල වගකීම ද ඇය විසින්ම දරනු ලබන බව පැවසුවාය.

නිෂ්පදකවරු ඇයගේ කාරුණිකභාවයට විස්මය පළ කළහ. ඒ අනුව ඇයගේ ලංකා ගමන සැලසුම් කළ රාජ් හා තිලක් ආපසු පැමිණියහ. එහෙත් නියමිත පරිදි තනූජා නොපැමිණියාය. තනූජාට වීසා ලබාදීම මෙරට මහ කොමසාරිස් කාර්යාලය මඟින් අත්හිටුවා තිබිණ. එය කිසිසේත් ඇදහිය නොහැක්කක් වුව ද එය එසේ සිදුව තිබිණ. දිනේෂ් , රාජ් හා තිලක් සමඟ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා හමු විය. වීසා දෙන්නේ නැත්නම් බෝට්ටුවකින් ගේමු යැයි විහිළුවට මෙන් පැවසූ ගාමිණී එවෙලේම දුරකථනයෙන් කථා කළේ රටේ එවකට සිටි බලවත්ම පුද්ගලයා වූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාටය. ජනාධිපතිවරයා ඒ මොහොතේම ප්‍රශ්නයට මැදිහත් වූයේය.

“වීසා කැන්සල් කරලා තියෙන්නේ පෙත්සමක් හින්දා. ඒක ගහලා තියෙන්නේ ඉන්ඩස්ට්‍රි එකේ අයම තමා“ ජනාධිපතිවරයා ගාමිණීට අනාවරණය කර තිබීණ. තනුජා සමඟ පැරැණි සිනමා නිළියක වූ ඇගේ මව ශෝබනා සම්රත්, නැගණිය හා තනූජාගේ දියණියන් වූ කාජොල් සහ තනීෂා ද මෙරටට පැමිණියහ. ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර තනූජා විසින් සිය පෞද්ගලික මුදලින් මිල දී ගන්නට ගිය ද තිලක් එයට ඉඩ දුන්නේ නැත. කාජොල් හා තනීෂා ඒ වන විට දඟකාර දැරියෝ වූහ. ඔවුන් සිය මවට ද පුංචි අම්මාට ද මිත්තනියට ද බෙහෙවින් සමීප වූ දැරියන්ය. සතියකට වැඩි කලක් ලංකාව පුරාම සංචාරයේ නියැළි තනූජාගේ පවුලේ සාමාජිකයෝ අනතුරුව ආපසු ගියහ. මේ මුළු සවාරියේ දී තිලක්ගේ බිරිය කුමුදු ඔවුන්ගේ තනියට ගියාය. ඔවුන් ආපසු ගිය පසු තනූජා චිත්‍රපටයේ රඟපෑම සඳහා නතර වූවාය. කෙතරම් කාර්යබහුල වුවත් ඇය සිය රාජකාරියට කැපව උන්නාය. මේ අවදියේ ඇයගේ සැමියා එනම් සෝම මුකර්ජි ද නිපද වූ අලුත් චිත්‍රපටය තිර ගත කරවීමට සැලසුම් කර තිබිණ. එබැවින් ඇය ඉක්මනින් ආපසු යා යුතුව තිබිණ. එහෙත් ඒ ගැන කලබල නොවුණ ද ඇය නිසා දිවා රෑ නොතකා රූප ගත කිරීම් කරන්නට නිෂ්පාදකවරු සැලසුම් කළහ. එමෙන්ම ඇයගේ දර්ශන සියල්ල සරසවි චිත්‍රාගාරයේ දී ඇයට දැක ගන්නට ද අවශ්‍යව තිබිණ. මේ සියල්ල සිදු වූයේ ලහි ලහියේය. දර්ශන නැරඹූ ඇය එයින් වඩාත් තෘප්තිමත් වූවාය. ඇය වෙනුවෙන් දෙබස් කවන්නට පැමිණියේ ප්‍රවීණ නිළි ලීනා ද සිල්වාය. ලීනා ගේ හඬ තනූජාට ඉතා හොදින් ගැළපිණ. කෙසේ වෙතත් ගාමිණී ෆොන්සේකා ගේ මැදිහත්වීම නොවන්නට තනූජාට ලංකාවට එන්නට ඉඩ නොලැබෙන ලෙස කටයුතු කරන්නට සමහරු කටයතු කර තිබිණ. එමෙන්ම ඇය සමඟ ළඟ රැඳී දඟ කරන දැරිය මතු යම් දිනෙක බොලිවුඩය පමණක් නොව, ලොව පුරා සිනමා රසිකයන්ගේ ආදරය දිනන සිනමා තාරකාවකැයි එහි සිටි කිසිවකු හෝ එකල සිතුවේ නැත.

තනූජා ආපසු යද්දී ඇයට තෑගි බෝග රාශියක් දෙන්නට තිලක් හා කුමුදු සැලසුම් කලහ. ඒ අතර මෙරට නිපදවන අගනා පිඟන් භාණ්ඩ පමණක් නොව ඒ වන විටත් ඉන්දියාවේ අති සුඛෝපභෝගී භාණ්ඩයක් වූ වී.එච්.එස්. ප්ලෙයර් දෙකක් ද විය.

 

දිනේෂ් පි‍්‍රයසාද් විස්තර කරයි