හමුවන වෙන්වන කාල චක්‍රය ‘වස්සානේ සිහිනය’

මාර්තු 25, 2021

 

සීතල රාත්‍රියක් එළැ‌ෙඔමින් පවතී.දිවා කාලය මුළුල්ලේ රාජකාරි වෙනුවෙන් කොළඔ නගරය පුරා ගිය ඔහු දුම්රිය පොළට ගොඩ වැදුණේ රාත්‍රි දුමිරයට නඟින්නටය. කොළඹින් රාත්‍රියේ පිටත් වන මේ දුම්රිය පාන්දර වන විට තලවකැලේ නගරයට ළංවෙයි. හිමිදිරි පාන්දරින්ම තම දූ සිඟිත්ත දැක ගැන්ම ඔහුගේ පරම ආසාවයි. ප්‍රවේශ පත්‍රය මිලට ගෙන අතැති මුදල් පසුමිබියට දමමින් ඔහු දුම්රිය වේදිකාවට ගොඩ වන්නට එහි පියගැට පෙළ දිගේ බැස ගෙන ආවේය. එකවරම පැමිණියෙකු ඔහුගේ ඇඟේ හැප්පුණේ අහම්බයක් හැටියටය. ඒ මොහොතේම ඔහුට දැනුණේ තම පසුම්බිය කිසිවකු විසින් ඩැහැගෙන ඇති වගය.

ඔහු කෑගැසුවේය. මුළු මාසයකම ජීවිතයට රැඳී තිබුණේ ඒ පසුම්බිය මතය. ඔහුගේ හඬ ඇසුණේ ඒ පඩිපෙළ දිගේම පැමිණි තවත් තරුණයෙකුටය. ඔහු වහා ක්‍රියාශීලී නොවන්නට යළි කිසිවිටෙක එම පසුම්බිය හා මුදල් හමුනොවන්නට ඉඩ තිබිණ.

මේ හමුව නිසාම ආගන්තුකයා සමඟ දුම්රිය වේදිකාවේ එක් ඉඩක අලුත් මිතුරු දමක් ඇතිවිණ. සුපුරුදු පරිදි උඩරට රාත්‍රි දුම්රිය නියමිත වේලාවට වඩා පැයක් ප්‍රමාද විය. ඒ සමඟ දුම්රිය වේදිකාවේ කෙලවර වූ අසුනකට බාර දුන් අලුත් හිතවත්තු එකිනෙකා ගේ වගතුග කියා ගැන්ම ඇරඹූහ. ආගන්තුක තරුණයා විවාහ පත් වන වයස ඉක්මවා යන වයසේ පසුවන්නෙකුයැයි ඔහුට දැනුණේ කතාබහ ආරම්භයේය. ඔහු තවමත් අවිවාහකය. පැරණි ප්‍රේමයේ මිය ගිය මතකය තවමත් හද කොනින් පාරවා ඇවිල යයි. දුම්රිය එනතුරු මේ ආදර කථාව සිය ආගන්තුකයා හමුවේ ඔහු දිග හරින්නේ හිත නිවාගන්නත් එක්කය. එහෙත් ජීවිතයෙන් පලා යන්නට ඔහු අකමැතිය. මේ යන්නේ ද තලවකැලේ පළාතේ විකුණා දැමීමට සැරසෙන වත්තක් ගැන තොරතුරු දැන ගන්නටය.

මෙයට අවුරුදු ගණනාවකට පෙර ඔහු අපූරු යුවතියකගේ පෙම්වතාව සිටියේය. ඇය ඔහුට ම ගැළපෙන කදිම තරුණියකි . පවුල් පරතරය හා පන්තිය ඔවුන් අතර දුරස්ථ බවක් ඇති කිරිමට බොහෝ කථාවල මෙන් ඉඩ තිබුණද මේ ආදර කථාවට එබන්දක් නොවිණ. ඒ වනවිටත් ඇය වෙනුවෙන් ගෙදරින් පැමිණි යෝජනාවකට ඉඩ සලසමින් තිබුන ද තමන්ට වඩා වැඩිමහල් ඔහු හා සරණ යන්නට ඇය තුළ කැමැත්තක් තිබුණේ නැත. එබැවින් ඇය මේ ආගන්තුක තරුණයා ගේ ආදරය පිළිගත්තාය. ඔහු ද ඇයට එක සේ ප්‍රේම කළාය. පලාතේ නම ගිය මැරයෙකු වූ ඇගේ සොහොයුරා ගේ තර්ජනය නොසළකා ඔහු ප්‍රේම ක‌ළේය. ඇය එකසිතින් ඔහු හා විවාහ වන්නට තීරණයක් ගත්තාය.

ඒ අනුව ඇය නිවසින් පිටව ගියේ ඔහු හා සරණ යන්නටය.

එහෙත් ජීවිතය යනු හමුවන වෙන්වන කාලචක්‍රයක් පමණකි. මේ ආදර ලෝකය එක මොහොතක දෙදරා ගියේ ඇයගේ සියලු පැතුම් සුළඟේ පා කරමිනි.

මේ ආදර කථාව යළි කිසිදිනෙක හමුනොවන කථාවකි. දුම්රිය මාර්ගය ඈතට ඉගිළ ගියේ සමාන්තරව පීලි විහිද විමින් මිස එක් කරන්නට නොවේ. ඉතින් මේ ආදර කථාව ඒ ආකාරයෙන් සමාන්තර රේඛාවක් වන්නට ඉඩ තිබුණේ දෛවයම විසින් යැයි පවසා සිත සදා ගත යුතුද?

පැයක් ප්‍රමාද වුණ දුම්රිය ආගන්තුකයන් දෙදෙනාට එක ළඟ ඉඩ සලසවමින් නිසොල්මනේ උඩරට බලා යන්නට පටන් ගත්තේ හීතල කවුළු පියන්පත්වලින් එබෙන්නට පටන් ගනිද්දීය. ඒ කථාවේ ඉතිරි කොටස කියන්නට ඉඩ තබමිනි.