හැට වසරක් පිරි මහජන බැංකුවේ සිනමා දායකත්වය

2021 ජූලි මස 01 වෙනි දිනට යෙදෙන මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය නිමිත්තෙනි
ජූලි 1, 2021

 

 මෙරට තැනුණු විශිෂ්ට ගණයේ වාර්තා චිත්‍රපටයක් මහජන බැංකුව මඟින් රුපියල් මිලියන අටක් පමණ වැය කොට නිෂ්පාදනය කළ වග අද කිසිවකු හෝ දන්නේ නැත.

වසර 2021 ජූලි මස 01 වෙනි දිනට මහජන බැංකුව පිහිටුවා අවුරුදු 60 ක් සම්පූර්ණ වෙයි. ජාතික සිනමා කර්මාන්තයට මහජන බැංකුව විසින් දක්වා ඇත්තේ අසීමිත දායකත්වයකි. මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් පළවන මෙම ලිපියේ අරමුණ වන්නේ ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයේ වර්ධනය සඳහා මහජන බැංකුවේ දායකත්වය විමසා බැලීමයි.

ප්‍රථම වරට චලනය වන රූපාවලියක් ප්‍රේක්ෂක සමූහයක් ඉදිරිපිට දර්ශනය වන්නට සලස්වන ලද්දේ ලුමියර් සොහොයුරන් විසින් 1895 වසරේ දෙසැම්බර් මස 28 වෙනිදා ප්‍රංශයේ පැරිස් නුවර “ග්‍රෑන්ඩ් කැෆේ” නැමැති ආපන ශාලාවේදීය. ශ්‍රී ලංකාවේ “කඩවුණු පොරොන්දුව” චිත්‍රපටය ‘කිංස්ලි’ සිනමාහලේ දී ප්‍රේක්ෂක සමූහයක් ඉදිරිපිට තිරගත කරන ලද්දේ 1947 ජනවාරි මස 21 වෙනිදාය. චලන රූපයේ ඉතිහාසය ප්‍රාග්-ඓතිහාසික යුගය දක්වා ඈතට විහිදුණ ද මහජනතාවගෙන් මුදල් අයකොට චිත්‍රපට දර්ශනයක් පවත්වන ලද 1895 දෙසැම්බර් 28 වෙනිදා ජගත් සිනමාවේ උපන් දිනය වශයෙන් ජගත් ප්‍රජාව විසින් සලකනු ලැබේ. ශ්‍රී ලාංකික සිනමාවේ උපන් දිනය වශයෙන් සලකනු ලබන්නේ 1947 ජනවාරි මස 21 වෙනිදාය. මෙම සිදුවීම්වලින් ගම්‍යමාන වන වැදගත් සාධකයක් තිබේ. එනම් සිනමාව හුදෙක් කලා මාධ්‍යයක් පමණක් නොවන බවත්, එය වාණිජ ව්‍යාපාරයක් වන බවත්ය. සිනමාව කලා කෘතියකි. එමෙන්ම එය මහජනතාව සඳහා ඉදිරිපත් වන විට නිෂ්පාදන භාණ්ඩයක් ද වේ. එබැවින් වෘතාන්ත චිත්‍රපටය කලාත්මක ප්‍රකාශනයක් මෙන්ම කාර්මික නිෂ්පාදනයක් ද වේ.

සිනමාව අධ්‍යක්ෂවරයාගේ ආත්ම ප්‍රකාශනයක් වශයෙන් හැඳීන්වූවද ඊට දායක වන ප්‍රධාන ශිල්පීන් හා විවිධ දෙපාර්තමේන්තු රාශියක් වේ. සියල්ලන්ගේම සාමූහික ප්‍රයත්නයෙන් බිහිවන චිත්‍රපටය මහජනතාව සඳහා අලෙවි කළ යුතුය. විවිධ ප්‍රචාරක උපක්‍රම භාවිතා කළ යුතුය. ප්‍රදර්ශන ශාලා ජාලයක් මඟින් ජනතාවට නැරඹීම සඳහා ඉදිරිපත් කළ යුතුය. මෙතරම් සංකීර්ණ කලාත්මක හා වාණිජ ව්‍යූහයක් සහිත වෙනත් කිසිදු කලා මාධ්‍යයක් නැත.

මෙරට සිනමාවේ මුල් යුගයේ චිත්‍රපට සඳහා ණය මුදල් ලබා දුන්නේ බොහෝ විට ප්‍රදර්ශක සමාගම් මගින්ය. ඒ බොහෝ විට අදාළ සමාගම් සතු චිත්‍රාගාර හා පාටපත් පහසුකම් ඇතුළු කටයුතු ලබා ගැන්මේදී එකී සේවාවන් ණයක් ලෙස සලකමින්ය. එසේ නොවුණු විට චිත්‍රපට නිෂ්පාදන සඳහා ණයක් ලබා ගත යුතු විය යුත්තේ වෙනත් ණය සපයන පුද්ගයලයන් වෙතින්ය. ප්‍රදර්ශක සමාගම් මඟින් ස්වාධීන නිෂ්පාදකයන්ට ලබාදුන් ණය චිතපට ප්‍රදර්ශනය ආරම්භයේම කපා ගන්නා ලදී. මෙම ණය හා පොලිය ලබා ගත් පසු ස්වාධීන නිෂ්පාදකයන් බුතරයකට සිය චිත්‍රපටය තිර ගත කොට ආදායමක් ඉපැයීමට ඉඩ ලැබුණු අවස්ථා විරලය. එබැවින් පිළිගත් බැංකුවක් හෝ චිත්‍රපට නිෂ්පාදනය සඳහා ණය මුදල් සැපයීමක් 1972 වසර වන තුරුම සිදු කෙරුණේ නැත. මෙරට කොපමණ බැංකු හා මූල්‍ය ආයතන තිබුණ ද චිත්‍රපට කර්මාන්තය උදෙසා මුල් වරට ණය ලබා දුන්නේ අද හැට වැනි විය සපුරන මහජන බැංකුව යි.

මහජන බැංකුව චිත්‍රපට සඳහා ණය මුදල් ලබාදීම ආරම්භ කරන ලද්දේ වාණිජ බැංකුවක තත්ත්වයේ සිටය. එමෙන්ම බැංකුව විසින් චිත්‍රපටය සලකන ලද්දේ කර්මාන්තයක් වශයෙනි. ප්‍රථමයෙන් බැංකුව විසින් චිත්‍රපට නිෂ්පාදනය සඳහා ණය ප්‍රදානය කරන ලද්දේ 1972 දී ජාතික චිත්‍රපට සංස්ථාව (එවකට රාජ්‍ය චිත්‍රපට සංස්ථාව) පිහිටුවීමෙන් පසුවය. චිත්‍රපට සංස්ථාව විසින් අනුමත කරන ලද විශිෂ්ට ශ්‍රේණියේ තිර රචනා ආශ්‍රිතව චිත්‍රපට නිපදවීම සඳහා මහජන බැංකුව විසින් ණය මුදල් ලබාදෙන ලදී. නමුත් මේ වන විට නියමිත ණය ක්‍රමයක් බැංකුව විසින් සකස් කර නොතිබුණි. එම ක්‍රමයේ දුර්වලතාව වූයේ ශාලාවලින් ලැබෙන ආදායමෙන් සංස්ථාව විසින් ප්‍රදානය කර තිබූ ණය මුදල් අයකර ගත්තාට පසු මහජන බැංකුවේ ණය මුදල් සඳහා ගෙවීම් කිරීමයි. මෙය බැංකුවට මහත් බාධා ගෙනදුන් කාර්යයක් විය. මේ ක්‍රමය 1976 දී පමණ නැවතිණ.

පසුව බැංකුව විසින් පෞද්ගලික ණය වශයෙන් චිත්‍රපට කීපයක් සඳහා ණය ප්‍රදානය කරන ලදී. ඉන්පසු

චිත්‍රපට නිෂ්පාදනය සඳහා නව ණය ක්‍රමයක් ඇති කිරීමේ අවශ්‍යතාව පැන නැගිණ. එහිදී කලින් ණය දීමේ ක්‍රමය

තුළ තිබූ දුර්වලකම් මඟ හරවා ගත යුතු විය. කලින් ක්‍රමය අනුව බැංකුවේ ණය මුදල් ගෙවනු ලැබුවේ සංස්ථාව මඟින් ලබා දුන් ණය පියවා අවසන් වූ පසු වය. එනම් දෙවැනි අවස්ථාවෙහිය. අනෙක ණය ප්‍රදානය කිරීමේදී බැංකුවේ මූලික ප්‍රතිපත්තියක් විය යුතු නිසි සුරැකුම් බැංකුව විසින් ලබාගෙන නොතිබිණ. මේ ප්‍රධාන අඩුපාඩු නම් ඇති නොවන නව ක්‍රමයක් බැංකුව විසින් සකස් කරන ලදී. ඒ වන විට කර්මාන්ත සඳහා බැංකුව විසින් ණය ප්‍රදානය කරන ලද්දේ 60% සහ 40% යන පදනම යටතේය. චිත්‍රපට කර්මාන්තයේ දී ඒ දිනවල පළමුවැනි පිටපත දක්වා සාමාන්‍යයෙන් කලාත්මක හෝ වාණිජ චිත්‍රපටයක් නිපදවීමට ගිය වියදම රුපියල් මිලියන 1.5 ක් පමණය. ඉන්පසු පිටපත් මුද්‍රණය හා ප්‍රචාරක කටයුතු සඳහා ණය දීමේදී ද බැංකුව විසින් එම පදනම අනුවම ගණනය කරන ලදී. බැංකුව ඒ මුදල ණයක් වශයෙන් සලකා ප්‍රදානය කර වෙනම ගිණුමක රඳවා මාසිකව පොලිය අයකර ගැනීමට කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක අධ්‍යක්ෂවරු බොහෝ විට චිත්‍රපට තනන්නේ වෙනත් නිෂ්පාදකවරුන්ටය. මෙහිදී ඔවුන්ගේ ස්වීයත්වයට විවිධ බලපෑම් ඇතිවිය හැකිය. එහෙත් අධ්‍යක්ෂවරයාම නිෂ්පාදකවරයා වූ විට එවැනි බලපෑම්වලින් මිදී නිර්මාණය මත පූර්ණ ආධිපත්‍යයක් ඔහුට දැරිය හැකි වෙයි. එවිට එම සිනමා නිර්මාණය අධ්‍යක්ෂවරයාගේ ආත්ම ප්‍රකාශනයක් බවය පත්වේ. මහජන බැංකුවේ චිත්‍රපට ණය ක්‍රමය නිසා චිත්‍රපටයේ කර්තෘත්වය දරන තරුණ සිනමාකරුවන් රැසක්ම බිහිවූ බව බැංකුවට ඉතා ආඩම්බරයෙන් සඳහන් කළ හැකිය. එච්. ඩී. ප්‍රේමරත්න (සප්ත කන්‍යා), ප්‍රසන්න විතානගේ (අනන්ත රාත්‍රිය) ලින්ටන් සේමගේ (ඉන්ද්‍රඛීලය), නිහාල් ප්‍රනාන්දු (අමාන්තය), නිමල් තෙන්නකෝන් (යක්‍ෂාවේශය), අශෝක හඳගම (චන්ද කින්නරී) ඉන් කීප දෙනෙකි. 1989 සිට 1994 දක්වා මහජන බැංකුව චිත්‍රපට 222 ක් සඳහා රුපියල් මිලියන 188 ක් ණය වශයෙන් ප්‍රදානය කර ඇත.

1991 තිරගත වූ චිත්‍රපට 24 න් 13 ක්ද, 1992 තිරගත වූ චිත්‍රපට 26 න් 21 ක්ද, 1993 තිරගත වූ චිත්‍රපට 25 න්

23 ක්ද, 1994 තිරගත වූ චිත්‍රපට 26 න් 19 ක්ද මහජන බැංකුව ණය ක්‍රමය යටතේ නිෂ්පාදනය වුණ චිත්‍රපට වේ.

 

1994 අවසානය වන විට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය අනුමත කර තිබෙන චිත්‍රපට 101 න් 73 ක් මහජන බැංකුව විසින් ණය ප්‍රදානය කරන ලද චිත්‍රපට විය.

මේ ණය ක්‍රමයේදී බැංකුව මුහුණ දුන් ප්‍රධාන දුෂ්කරතාව වූයේ ණය ප්‍රදානය කිරීමෙන් පසු චිත්‍රපටයන්හි නිෂ්පාදන ක්‍රියාදාමය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිරන්තර පසු විපරම් කටයුතු කිරීමට සිදු වීමයි. ඇතැම් සිනමාකරුවෝ මෙම ණය මුදල මඟින් නිවාස තැනීම, වාහන ගැනීම හා වෙනත් කටයුතු සඳහා ආයෝජනය කරනු

ලැබූහ. එයින් සිදු වූයේ චිත්‍රපටවල කටයුතු අතරමඟ නතර වීමයි. චිත්‍රපට රාශියක් එලෙස අතරමඟ නැවතී තිබිණ.

බැංකුව චිත්‍රපට සඳහා ණය මුදල් ලබා දුන්නේ කර්මාන්ත සඳහා දෙනු ලැබූ පොලී ප්‍රතිශතයට 1% ක් අඩුවටය. කලාත්මක චිත්‍රපට සඳහා තවත් 1% ක් අඩු කරන ලදී. කලාත්මක චිත්‍රපට කවරක්ද යන්න නිර්ණය කිරීමේ පූර්ව හැකියාවක් නොතිබූ බැවින් එවකට පැවැති පස්වෙනි මණ්ඩලයට තෝරා ගැනීමේ සහතිකය මත එය වර්ග කරන ලදී. ණය මුදල ගෙවන අවස්ථාවේදී කලාත්මක චිත්‍රපටය සඳහා 1% පොලී ප්‍රතිධානයක් ලබා දෙන ලදී. මේ අනුව වාණිජ චිත්‍රපටවලින් 21% ක හා කලාත්මක චිත්‍රපටවලින් 20% ක පොලියක් බැංකුව විසින් අය කරන ලදී.

බැංකුව විසින් තවත් කොන්දේසියක් ඊට ඇතුළත් කළේය. ණය මුදලක් ලබා දෙන්නට නම් එම අධ්‍යක්ෂවරයා කලින් එක් චිත්‍රපයක් අධ්‍යක්ෂණය කර තිබිය යුතු බවටත්, එය වාණිජ වශයෙන් සාර්ථක වූ එකක් විය යුතු බවටත්ය. මේ ක්‍රමය යටතේ නවක අධ්‍යක්ෂවරුන්ට ඉදිරියට ආ නොහැකි බවට තර්කයක් පැන නැඟුණි. ඒ සඳහාත් බැංකුව ඊට විකල්පයක් වශයෙන් නවක සිනමාකරුවෙකු අවම වශයෙන් අඩි 10000 ක් වත් දර්ශන ගත කර පූර්ව නිරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින ලදී .

ණය දීමේදී බැංකුව අනුගමනය කළේ ඉතා ලිහිල් ප්‍රතිපත්තියකි. ඒ වන විට ප්‍රදර්ශනයේදී චිත්‍රපටය ලබන ආදායම මුලින්ම බැංකුවට ප්‍රථම ගෙවීම් කරන බැවින් ණය මුදල අයකර ගැනීම පිළිබඳ බැංකුවට බියක් තිබුණේ නැත.

මහජන බැංකුව ඉතා විශාල වශයෙන් ණය ප්‍රදානය කිරීමෙන් චිත්‍රපට පෝලිමක් ඇති කළ බවට බොහෝ දෙනෙක් චෝදනා එල්ල කළහ. මෙහි සත්‍යයක් නැතිවාම නොවේ. නිදර්ශනයක් වශයෙන් 1991 සිට 1994 දක්වා වූ කාලය සැලකිල්ලට ගත් විට මහජන බැංකුව විසින් ණය ලබාදුන් චිත්‍රපට සංඛ්‍යාව හා ඒ ඒ වසර තුළ ප්‍රදර්ශනය කළ චිත්‍රපට සංඛ්‍යාව නිදර්ශනයක් වශයෙන් සළකා බලමු.

 

ණය ප්‍රදානය කළ

 

චිත්‍රපට සංඛ්‍යාව  ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශිත

 

චිත්‍රපට සංඛ්‍යාව

1991 43 24

1992 75 26

1993 64 25

1994 28 26

 

 

දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා පැවැති පහසුකම් පිළිබඳ වාස්තවික තත්ත්වයන් සැලකිල්ලට නොගෙන ණය ප්‍රදානය කරන ලද ආකාරය 1992 හා 1993 වර්ෂයන් සැලකිල්ලට ගත් විට වඩාත් පැහැදිලිව පෙනේ. මේ සඳහා වෙනත් සාමාජයීය සාධක ද හේතු විය. 1980 දශකයෙන් පසු ශ්‍රී ලාංකික සමාජය විශාල පරිවර්තනයකට හසුවිය. වර්ගවාදී අර්බුදය උග්‍ර විය. භීෂණකාරී වාතාවරණයක් රටේ නිර්මාණය වීම නිසා ජනතාවගේ සමාජ ජීවිතය විවිධ සීමාවන්ට ලක් විය. රාත්‍රී 9.30 දර්ශනය කිසිදු සිනමාහලක නොපැවැත්විණ. සමහර ගම්බද සිනමා ශාලාවන්හි දිනකට පැවැත්වෙන්නේ දර්ශන දෙකක් පමණි. සිනමා ශාලා සීඝ්‍රයෙන් වැසී ගියේය.

 

මහජන බැංකුව චිත්‍රපට නිෂ්පාදනයට දිරි දෙන විට ඊට සමාන්තරව චිත්‍රපට ප්‍රදර්ශනය සහ චිත්‍රපට නැරඹීමේ රුචිය වර්ධනය නොවීය. එවකට ශ්‍රී ලංකාවේ බහුතරයක් සිනමා ශාලාවන්හි ප්‍රක්ෂේපණ යන්ත්‍රවල ආලෝක ප්‍රභවය වූයේ කාබන් කූරු ය. සෙනොන් ආර්ක් භාවිත කරන ලද්දේ චිත්‍රපට ශාලා කීපයක පමණි. ශබ්ද ක්‍රමය වශයෙන් භාවිත වූයේ “මොනෝ ශබ්ද‘’ ක්‍රමයයි. මේ තාක්ෂණික පසුගාමීත්වය අතික්‍රමණය කිරීමට මෙරට සිනමා කර්මාන්තය කිසිදු උත්සාහයක් ගෙන තිබුණේ නැත. චිත්‍රපට ප්‍රදර්ශනයේ මේ අවවර්ධිත තත්ත්වය මහජන බැංකුවේ චිත්‍රපට ණය ක්‍රමය සහමුලින් සාර්ථක නොවීමටත්, අය කරගත නොහැකි වූ ණය ශේෂය වැඩි වීමටත් සැලකිය යුතු බලපෑමක් ඇති කරන ලදී. අද තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස්ය. අපගේ සිනමා ශාලා දැන් “ඩිජිටල් තාක්ෂණය” දක්වා ගමන් අරඹා ඇත.

චිත්‍රපට නිෂ්පාදනය සඳහා මහජන බැංකුව මඟින් ණය පහසුකම් ලබා දුන්න ද එමඟින් චිත්‍රපට මාධ්‍යය මඟින් කිසිදු ප්‍රචාරක වාසියක් ලබා ගන්නට තැත් කළේ නැත. මහජන බැංකුවේ විවිධ ගිණුම් සම්බන්ධ කෙටි ප්‍රචාරක චිත්‍රපට කීපයක් නිෂ්පාදන කරනු ලැබුවේ නම් ණය මුදල් ප්‍රදානය කළ හැම චිත්‍රපටයක් සමඟ තිරගත කිරීමේ පහසු අවකාශය තිබුණ ද බැංකුව කිසිවිටෙකත් එබඳු ප්‍රචාරයක් සොයා ගියේ නැත.

එපමණක් නොවේ. මෙරට තැනුණු විශිෂ්ට ගණයේ වාර්තා චිත්‍රපටයක් මහජන බැංකුව මඟින් රුපියල් මිලියන අටක් පමණ වැය කොට නිෂ්පාදනය කළ වග අද කිසිවකු හෝ දන්නේ නැත.

ශ්‍රී ලංකාවේ නිදහස ලබා පනස් වැනි සංවත්සර නිමිත්තෙන් මහජන බැංකුව The Sun and the Moonstone 35mm/COLOUR/38 minutes/English) යන මැයෙන් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරන ලද අතර එම වාර්තා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ තිස්ස අබේසේකර විසිනි. එම වාර්තා චිත්‍රපටයේ සියලුම පසු නිෂ්පාදන කටයුතු කරන ලද්දේ බටහිර ජර්මනියේ දී ය. මේ ලියුම්කරුගේ සම්බන්ධීකාරකත්වයෙන් 1999 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පවත්වන ලද පළමුවැනි සාර්ක් සිනමා උලෙළට ශ්‍රී ලංකාව නියෝජනය කළ එක් වාර්තා චිත්‍රපටයක් වූයේ මේ සිනමා කෘතියයි. එහි එකම පිටපත දැනට ජාතික ලේඛනාගාරයේ චිත්‍රපට සංරක්ෂණාගාරය භාරයේ පවතී.

ලියුම්කරු 1972 සිට 2007 දක්වා වසර 35 ක කාලයක් මහජන බැංකුවේ සේවය කර ඇත. ඔහු මෙරට සිටින ප්‍රවීණ සිනමා ලේඛකයෙක් හා විචාරකයෙක් ද චිත්‍රපට සංගම් ක්‍රියාකාරිකයෙකු ද වේ. එමෙන්ම මෙරට සිනමා කෘති ජගත් ප්‍රජාවට හඳුන්වා දීම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටුකර ඇත. ඔහු දැනට ආසියා පැසිෆික් සිනමාවේ සංවර්ධනය සඳහා වූ එකමුතුවේ Network for the promotion of Asia Pacific cinema(METPAC) සම සභාපතිවරයා වේ.