දේව්දාස් සිංහල පරිවර්තනය රම්‍යලතා

ජූලි 8, 2021

1956 වසරේ තිරයට ආ රම්‍යලතා චිත්‍රපටයේ කථාව කොතැනින් ගත්තක්ද යන්න එහි විස්තර නොකළ ද එයට පාදක වූයේ දේව්දාස් වෘත්තාන්තයි. 1917 වසරේ දී බෙංගාලි ලේඛකයකු වූ සරත් චන්ද්‍ර චත්තෝපාධ්‍යාය විසින් රචනා කරන ලද දේව්දාස්‌ ප්‍රේම විරහව පාදක වූ අත්පොතක් වැන්න.

 

ප්‍රේමසිරි ධනවත් පවුලක උපත ලද කුඩා සුරුබහුටි දරුවෙක් වූයේය. ඔහුගේ අසල්වැසි දිළිඳු යුවතියක වූ ප්‍රභාවතී ද ගමේ පාසැලේ එක පන්තියේය. මේ ළමා යහළුවන් දෙදෙනාගේ මිත්‍රත්වය ඉතා ඉහළ එකකි. ප්‍රේමසිරිගේ දඟ වැඩවලින් පීඩාවට පත්වනුයේ ප්‍රභාවතී වුවත් ඇය ඒවා කාරුණිකව ඉවසුවාය. එහෙත් ඔවුන්ගේ මිතුරුකමට හරස්වූයේ ප්‍රේමසිරිගේ පියාය. මේ නිසාම ප්‍රේමසිරිට ඉහළ අධ්‍යාපනයක් ලබාදීමේ අදහසින් ඔහුගේ පියා දරුවා කොළඹට පිටත් කර යැවුවේය.

අවුරුදු ගණනාවකට පසු ප්‍රේමසිරි ඉහළ අධ්‍යාපනයක් ලැබ දුම්රියෙන් ගෙදර ආවේය. මේ වන විට ප්‍රභාවති සුරූපී තරුණියක වූවාය. පැරණි මිතුරුකම ආදරයකට පෙරළිණ. එහෙත් ප්‍රේමසිරිගේ පියා එයට තදින්ම විරුද්ධ විය. එහි ප්‍රතිඵලය වූයේ ප්‍රේමසිරි නිවසින් පිටව යෑමය. ප්‍රේමසිරිගේ පියාගේ උපදෙස් පරිදි ප්‍රභාවතී වෙනත් කෙනෙකුට විවාහ කර දෙන්නට ඇගේ මාපියෝ කටයුතු කළහ. වංශපාල නම් මහලු මිනිසකුට චාරිත්‍රානුකූලව විවාහ වන්නට ප්‍රභාවතීට සිදුවූයේ ඒ අනුවය.

බිඳුණු සිත් ඇති ප්‍රේමසිරි යළි ගමට නොපැමිණ නගරයට වී බීමත්කමින් කල් ගත කළේය. එහිදී ඔහුට රම්‍යලතා නම් නළඟනක් මුණ ගැසිණ. මේ නළඟන ප්‍රේමසිරිට අප්‍රමාණව ප්‍රේම කළාය. එහෙත් ඔහු ගේ සිතෙහි උපන් කුලුඳුල් ආදරය බිඳ හෙළන්නට ඇය අසමත් වූවාය. ඇය මුළුමනින්ම ඔහු වෙනුවෙන් කැප වුව ද ප්‍රේමසිරි බීමත්කමින් හෝ මුදා ගන්නට ඇය අසමත් විය. අවසානයේ දැඩිව රෝගී වූ ඔහු යළි අවසාන වතාවට ප්‍රභාවතී දැක් ගන්නට ගියේය. එහෙත් ඔවුන් එක් කරන්නට දෛවය ඉඩ නුදුන්නේය.

1956 වසරේ තිරයට ආ රම්‍යලතා චිත්‍රපටයේ කථාව කොතැනින් ගත්තක්ද යන්න එහි විස්තර නොකළ ද එයට පාදක වූයේ දේව්දාස් වෘත්තාන්තයි. 1917 වසරේ දී බෙංගාලි ලේඛකයකු වූ සරත් චන්ද්‍ර චත්තෝපාධ්‍යාය විසින් රචනා කරන ලද දේව්දාස්‌ ප්‍රේම විරහව පාදක වූ අත්පොතක් වැන්න. දේව්දාස් නවකතාව විසි වතාවක් සිනමාවට නැඟුණ අතර එම උන්මාදය හදුන්වාලනුයේ දේව්දාස් සංලක්ෂණය යනුවෙනි.

එය පාදක වූයේ ධනවත් බෙංගාල බ්‍රාහ්මණ වංශික පවුලක තරුණයෙකු වූ දේව්දාස් මුඛර්ජි වටාය. නව කතාව එයට පාදක කර ගනුයේ දහනවවැනි සියවසේ අගභාගයයි. ඔහුගේ ළමා වියේ යෙහෙළිය වූයේ අසල්වැසි සම කුල වුවත් මැද පංතියේ වූ පාර්වතී නම් දැරියයි. ඔවුන්ගේ ළමාවිය ගෙවුණේ තලාශෝනාපූර් නම් ගම්මානයේය. කල්කටාවේ ඉගෙනුම ලැබ ආපසු එන දේව්දාස්ට පාර්වතීව යළි මුණ ගැසෙනුයේ රූමත් තරුණියක හැටියටය. ළමා වියේ මිතුරුකම ආදරයකට පෙරැළෙනුයේ එහෙයිනි.

දේව්දාස්ගේ මව පාර්වතීට බෙහෙවින් ආදරය කළත්, ඇය අල්ලපු ගෙදර පවුල සමඟ සන්ධානයක් ඇති කර ගැනීමට අකමැතිය. සම්ප්‍රදායානුකූලව දෑවැද්ද දිය යුත්තේ මනාලියගේ පාර්ශ්වයෙන් වුවත් පාර්වතීගේ පවුල් සම්ප්‍රදාය තුළ දෑවැද්ද දිය යුත්තේ මනාලයාගේ පාර්ශ්වයෙනි. මේ නිසා දේව්දාස්ගේ මව ඇතුළු පිරිස මේ විවාහයට විරුද්ධ වීමට තවත් හේතුවක් සොයා ගනියි. එය තමන්ට සිදු වූ අපහාසයක් ‌ලෙස ඔවුහු සළකති. පාර්වතීට ඇලුම් කළ දේව්දාස්ගේ පියා එයට එකඟ නොවුණත් මේ හිත් අමනාපය මත පාර්වතී ගේ පියා නිල්කාන්ත චක්‍රවර්ති සිය දියණිය වඩා ධනවත් මිනිසකුට විවාහ කර දීමට තීරණය කරයි. .

මේ විවාහය සැල වූ පාර්වතී රාත්‍රියේදී දේව්දාස්ව හොර රහසේ මුණගැසෙයි. පාර්වතී රාත්‍රියේ තනිවම ඔහු බැලීමට පැමිණීම ගැන පුදුමයට පත් දේව්දාස් තම පියාට පවසන්නේ තමාට පාර්වතී සමඟ විවාහ වීමට අවශ්‍ය බවයි. දේව්දාස්ගේ පියා ඊට එකඟ නොවේ. කල්කටාවට යන දේව්දාස් පාර්වතීට ලිපියක් ලියමින් මිතුරන් ලෙස පමණක් කටයුතු කළ යුතු බව යෝජනා කරයි. එහෙත් දින කිහිපයකින් ඔහු නැවත තම ගමට ගොස් පාර්වතීට සිය ආදරය පවසයි. මේ වන විට පාර්වතීගේ විවාහයට සියල්ල සූදානම්ය. ඇය ඉරණමට සිත සදාගෙන අවසන්ය. දෙදෙනා වෙන් වන්නේ සිත් වේදනාවෙන් වුව ඇයගේ එක් ඉල්ලීමකට ඔහු එකඟ ‌වෙයි. ඒ මරණයට පෙර කෙසේ හෝ මුණ ගැසිය යුතුය යන පොරොන්දුවයි.

වයෝවෘද්ධ වැන්දඹු සමින්දාර්වරයකු වන බුවන් චෞද්‍රරි සමග පාර්වතී විවාහ වී ගමින් පිටව ගියාය. ඔහු තම දවසේ වැඩි කාලයක් ගත කළේ ආගමට මුල් තැන දෙමින්ය.

යළි කල්කටාවට ගිය දේව්දාස්ගේ මිතුරා චුන්නි ලාල් ඔහු චන්ද්‍රමුඛී නම් ගණිකාවකට හඳුන්වා දුන්නේය. මේ වන විට ඔහු තදින් මත්පැනට ගොදුරුව අවසන්ය. චන්ද්‍රමුඛී සමඟ දේවදාස් ආදරයෙන් බැ‌ඳේ. ඇය ඔහුව බලා ගනී. අධික ලෙස මත්පැන් පානය හා බලාපොරොත්තු සුන්වීම නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී යයි. ඔහුගේ මනසෙහි ඔහු නිතරම පාර්වතී හා චන්ද්‍රමුඛී සංසන්දනය කරයි. දේව්දාස් විටෙක චන්ද්‍රමුඛී පිළිකුල් කරන අතර සිත් වේදනා මකාලන්නට මත්පැනට තදින් ඇබ්බැහි විය. නිහඩව මේ සියල්ල විඳ ගන්නට චන්ද්‍රමුඛී සමත් වෙයි.

මරණය තමා වෙත වේගයෙන් ළඟා වන බව දැනගත් දේව්දාස් තම යුතුකම ඉටු කිරීම සඳහා පාර්වතී හමුවීමට යයි. අඳුරු සීතල රාත්‍රියක ඔහු ඇගේ දොරකඩ මිය යයි. ඔහුගේ මරණය දැනගත් පාර්වතී දොර දෙසට දිව ගියත් ඇගේ පවුලේ සාමාජිකයන් ඇයව නිවසින් පිටතට යෑම වළක්වයි.

මෙම දේව්දාස් නවකතාව පාදක කරගෙන මුල්ම සිනමා කෘතිය නිපද වනුයේ 1928 වසරේ නිහඩ චිත්‍රපටයක් හැටියටය. ඒ නරේෂ් මිත්‍රා අතින්ය. එහි දේව්දාස් වූයේ පානි බර්මා ය. තරක්බාලා හා නිහාර්බාලා පිළිවෙළින් පාර්වතී හා චන්ද්‍රමුඛී වූහ.

 

රම්‍යලතා

 

ශ්‍රී මුරුගන් නවකලා චිත්‍රපට

1959 නොවැම්බර් මස 25

නිෂ්පාදනය- එස්.එම්. නායගම්

අධ්‍යක්ෂණය- ඒ.බී. රාජ්

දෙබස් හා ගීත රචනය- ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දු

නැටුම් අධ්‍යක්ෂණය- ශේෂා පලිහක්කාර

කැමරා අධ්‍යක්ෂණය- එන්.එස්. නාදන්

රසායනය- ආර්.ගෝවින්දන්, රසායනාගාරය

කේ. ක්‍රිස්ණමූර්ති (පිටපත් මුද්‍රණය)

කලා අධ්‍යක්ෂණය- -කේ.බී.එස්. මානි/ආර්. රත්නම්

වේශ නිරූපණය- පී.කේ. තංගප්පන්

සංස්කරණය-එස්. රාමනාදන්

සංගීත අධ්‍යක්ෂණය-  ආර්. මුත්තුස්වාමි

ශබ්ද පටිගත කිරිම- වෝල්ටර් ජයතිලක

උප කැමරා අධ්‍යක්ෂ- ලීනි ද කොස්තා

නිශ්චල ඡායාරූප- ඇල්. මාටින් පෙරේරා

ගීත හා ගායන ශිල්පින්-

ප්‍රීතිය හර්දෙ පුරා-ලතා වල්පොල ඇතුළු පිරිස

මඟ බල බලා ඇතිය මගෙ සුදා-ධර්මදාස වල්පොල

සසරේ මේ ප්‍රේම කාන්තාරෙහි- ධර්මදාස වල්පොල/ලතා

පෙම් යාත්‍රාව තනා- ලතා වල්පොල

ලෝ සුරා-සුරයන්ගේ සුරා-ධර්මදාස වල්පොල

අදරේ සාපෙදෝ-ලතා

ඕ ප්‍රේමසිරි-ඕ ප්‍රබාවතී-ලතා සහ ධර්මදාස වල්පොල

හර්දෙ ඇයි මේ සෝක වෙන්නේ-ධර්මදාස වල්පොල

සංගීතයේ -සිරිසර රසයේ-ලතා වල්පාල

මනමාලි සෝක වෙලා- ධර්මදාස වල්පොල

භූමිය මත සියලු සතට-ධර්මදාස වල්පොල

ඕ ප්‍රේමසිරි-(ළමා ගීය)

රසායනාගරය-සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරය කඳාන

ගීත පටිගත කිරිම-වාහිනි චිත්‍රාගාරය මදුරාසිය

ගීත පොත් - ශ්‍රී මුරුගන් නවකලා

ගී තැටි- කලා ෆෝන්

රංගන ශිල්පීන්- අරුණ ශාන්ති, රීටා රත්නායක, ක්ලැරිස් ද සිල්වා, මාක් සමරනායක, පත්මිණී වැලන්ෂියා, ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දු, රොම්ලස් ද සිල්වා, පියසීලී ෆොන්සේකා, සී.බෙන්ජමින් ප්‍රනාන්දු, දයා අමරතුංග මැණිකේ, මර්ලින් සිල්වා, ආර්.එම්.රත්නාවතී, පිටිපන සිල්වා, පත්මා ලියනආරච්චි, වින්සන්ට් ප්‍රනාන්දු, සුජාති විජේසේකර,ට්‍රිෂිලා ම්රිට්ස්, බේබි ඩොරින්, ලෙනී ප්‍රනාන්දු, ඔලිවර් පෙරේරා, ඒ.ඩී.ශ්‍රියාලතා මැණිකේ, ටී.එෆ්.එස්.අමරබන්ධු, සිසිල් ජී. පීරිස්

ආරම්භක සිනමා ශාලා- ගාමිණී මරදාන, ප්ලාසා වැල්ලවත්ත, ක්වින්ලන්ඩ් නුගේගොඩ, වෙම්බ්ලි මහනුවර, මොඩර්න් බදුල්ල, රත්නාවලී ජාඇල, ෂැම්රොක් වෙන්නප්පුව, මානෙල් මොරටුව, ඔලිම්පස් ගාල්ල, ඡායා කෑගල්ල, රිච්මන්ඩ් කළුතර, ජූපිටර් කුරුණෑගල, රිච්මන්ඩ් මාතර

 

 

 

රම්‍යලතා ගැන තවත් කතා ලබන සතියේ