මගේ මතය නම් ගිනි මල් පොකුරු වඩාත් සුදුසු වැඩිහිටියන්ට

චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය
ඔක්තෝබර් 28, 2021

 

 

පසුගිය කාලවකවානුවේදී උදයකාන්ත වර්ණසූරිය නිර්මාණය කළ චිත්‍රපට බොහොමයක් ප්‍රේක්ෂකයන්ගේ හද බැඳ ගැනීමට සමත් විය. ඔහුගේ ඇතැම් චිත්‍රපට නැරඹීමට පවුල් පිටින් පැමිණි අවස්ථා ද දක්නට ලැබිණ. උදයකාන්ත චිත්‍රපට නිර්මාණය කරමින් ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවට කැඳවීමට නිරන්තරයෙන්ම උත්සාහ දැරූ අයෙකි. කොවිඩ් වසංගත සමයේදී පවා ඔහු නිර්මාණකරණයෙන් බැහැර නොවීය. 'ගිනි මල් පොකුරු' නමින් ඔහු සිනමාපටයක් නිර්මාණය කළේ ද සිනමාශාලා වසා ඇති යුගයකය. මේ වසංගත තත්ත්වය යම්තාක් දුරකට පාලන‍ය වූ පසු සිනමා ශාලා විවෘත කිරීමෙන් අනතුරුව ගිනි මල් පොකුරු තිරගත වීමට සූදානමිනි. එය උදයකාන්ත මෙතෙක් නිර්මාණය කළ චිත්‍රපට අතරින් තවත් වෙනස් මානයක් පිළිබඳ කථා කරන්නා වූ නිර්මාණයකි. උදයකාන්ත සමඟ කළ මේ කෙටි කතා බහ ඒ සිනමාපටය ගැනය.

 

ගිනි මල් පොකුරු ඔබේ කීවැනි චිත්‍රපටයද?

මගේ විසිපස් වැනි චිත්‍රපටය.

 

මෙය කුමන ආකාරයේ කතා තේමාවක් රැගත් චිත්‍රපටයක්ද කියලා සඳහන් කළොත්?

තම ආදරවන්තයා අතින් සිදුවන කිසියම් අත්වැරැද්දක් නිසා ඔහු බේරා ගැනීමට ජීවිතයේ අභියෝග රැසකට මුහුණ දෙන කාන්තාවක් පිළිබඳ අනුවේදනීය සහ උද්වේගකර කතාවක් මෙම චිත්‍රපටයට තේමා වෙනවා.

 

කවදා විතරද මෙය ප්‍රදර්ශනයට සූදානම් කර තිබෙන්නේ?

රටේ වසංගතකාරී තත්ත්වය තවදුරටත් යහපත් වුවහොත් නොවැම්බර් අවසානයේදී පමණ මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සූදානම් වෙලා ඉන්නේ.

 

ගිනි මල් පොකුරු කොයි ප්‍රේක්ෂක කණ්ඩායමක් වෙනුවෙන් තැනූ චිත්‍රපටයක්ද?

හොඳ චිත්‍රපටයක් නැරඹීමට ආසාවෙන් සිටින, මගේ ආදරණීය සිනමා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තැනූ චිත්‍රපටයක්.

 

මෙය වැඩිහිටියන්ට පමණයි යන ලේබල යටතේ ප්‍රදර්ශනය වන බවට කතාවක් තිබෙනවා. ඒක ඇත්තද?

මේ චිත්‍රපටයේ කතා තේමාවට අනුකූලව ත්‍රාසජනක හා උද්වේගකර දර්ශන රැසක් අඩංගුයි. ඒ නිසා වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටයක් ලෙස නිර්මාණකරු විදිහට මම අනුමත කරනවා. කෙසේ වෙතත් ප්‍රදර්ශනය කරද්දී මේක මොන වගේ කණ්ඩායමකට පෙන්නනවද කියලා, ඒ කියන්නේ මොන කැටගරි එක යටතේ ප්‍රදර්ශනය කරනවද කියලා, තීරණය කරනු ලබන්නේ රැඟුම් පාලක මණ්ඩලය තමයි. ඔවුන්ගේ තීරණයනෙ අවසන් තීරණය.

 

කොවිඩ් වසංගත කාලයේ තමයි මේ චිත්‍රපටය රූපගත කිරීම් සිදුකෙරුණේ. එහිදී මොනවගේ අභියෝගයන්ටද ඔබ මුහුණ දුන්නේ?

වසංගත තත්ත්වය අඩුව පැවැති, ඒ කියන්නෙ පසුගිය මාර්තුවේ මේ චිත්‍රපටය රූගත කිරීම් ආරම්භ කළා. එහෙත් වසංගත තත්ත්වය එක්වරම වැඩි වූ නිසා අතරමඟ දී චිත්‍රපටයේ වැඩ කටයුතු නතර කරන්න සිදු වුණා. කලින් රූපගත කිරීම් සඳහා සැලසුම් කළ ස්ථාන යළිත් ලබා ගැනීමේ දී ප්‍රශ්න රැසක් ඇති වුණා. නළු නිළි කාර්මික ශිල්පීන්ගේ දින යළිත් ලබා ගැනීමේදීත් ප්‍රශ්න පැන නැඟුණා. අන්තිමේ වියදමත් වැඩි වුණා. කෙසේ වෙතත් අවසානයේදී කිසිදු අඩුපාඩුවක් නොමැතිව චිත්‍රපටය මගේ සිතැඟි පරිදි ම හොඳීන් නිම කරන්න හැකි වුණා. ඒ වගේම චිත්‍රපටය සම්බන්ධ වූ කිහිප දෙනෙකුටත් කොවිඩ් හැදුණා.

 

ගිනි මල් පොකුරට එකතු වූ ප්‍රධාන නළු නිළියන් හා කාර්මික ශිල්පීන් කවුද?

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චුලක්ෂි රණතුංග, චරිත් අබේසිංහ, දිල්රුෆා ෆානාස්, කුමාර වඳුරැස්ස, ආනන්ද කුමාරඋන්නැහේ, මෙහි ප්‍රධාන චරිත රඟපානවා. කැමරා අධ්‍යක්ෂණයෙන් අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, කලා අධ්‍යක්ෂණයෙන් ඇහැලියගොඩ සෝමතිලක, සංගීත අධ්‍යක්ෂණයෙන් සරත් ද අල්විස්, සහාය අධ්‍යක්ෂණයෙන් ඩොනල්ඩ් ජයන්ත, අංග රචනයෙන් ඉන්දික උදාර, නිෂ්පාදන කළමනාකරණයෙන් අශෝක ආරියරත්න මෙයට දායකත්වය ලබා දුන්නා. ඒ වගේම ප්‍රසාද් රුද්‍රිගු, සුරංග ද අල්විස්, නිශාන්ත ජයවර්ධන, රජිකා ජීවන්ති රාජා, ශාන්ත හෙට්ටිආරච්චි, නිව්ටන් විදානපතිරණ, බන්දුල ගුණවර්ධන මෙම චිත්‍රපටයේ නිෂ්පාදනයට සම්බන්ධ වුණා.

 

මේ වගේ කාලයක චිත්‍රපටයක් මුදාහැරීම අවදානමක් නොවේද?

අවදානමක් නැත්තේ නැහැ. අවදානම අඩු කර ගැනීමට මා මුල සිටම සැලසුම් කළා. නිෂ්පාදකවරු වැඩි පිරිසක් චිත්‍රපටයට සම්බන්ධ කරගත්තේ ඒ නිසා. ගුණාත්මක බව අඩු නොකරමින් මගේ අනෙකුත් චිත්‍රපටවලට වඩා අඩු දින ගණනකින් චිත්‍රපටය රූපගත කිරීම් සිදු කළා. එමඟින් වියදම යම් තරමකින් සීමා වුණා. නළු නිළියන් සහ කාර්මික ශිල්පීන්ද මට උපරිම සහයෝගයක් ලබා දුන්නා. අවදානම සහ අභියෝගය වැඩිවන තරමට ජයග්‍රහණය වැඩියි කියන සුබවාදී ජීවන දර්ශනයේ මා සැමවිටම සිටිනවා.

 

වැඩි ප්‍රේක්ෂක පිරිසක් සිනමාශාලාවට ගෙන්වා ගැනීමේ අරමුණින්ද ඔබ වැඩිහිටි තේමාවක් යටතේ චිත්‍රපටය නිර්මාණය කළේ?

මම සිතන පරිදි වැඩි ප්‍රේක්ෂක පිරිසක් සිනමා ශාලාවට ගෙන්වාගැනීමට නම් අප හැදිය යුත්තේ පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපට. කොවිඩ් වසංගතය නිම වී සිනමා ශාලා ආරම්භ වූ සැණින්ම වැඩිහිටියන්ට දරුවන්ට සිනමාශාලාව රැගෙන ඒම තියා හිතන්නවත් අපහසු නිසායි මේ වැඩිහිටි තේමාව ගනිමින් ගිනි මල් පොකුරු චිත්‍රපටය නිර්මාණය කළේ. හොඳ වැඩිහිටි චිත්‍රපටයක් වෙනුවෙන් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. මගේ බහුභාර්යා චිත්‍රපටය ඊට හොඳම උදාහරණයක්.

 

දැනට පවතින තත්ත්වය යටතේ චිත්‍රපටය ප්‍රදර්ශනය කළොත් ඔබට ලාභයක් ලැබිය හැකි වෙයිද?

ලාභය කෙසේ වෙතත් අඩුම තරමින් ගිය වියදම පියවා ගැනීමට හැකි වේ නම් මමත් අනෙකුත් නිෂ්පාදකවරුන් සෑහීමකට පත්වෙනවා. එමෙන්ම නොසිතූ ආකාරයට විශාල ප්‍රේක්ෂක පිරිසක් මේ චිත්‍රපටය නැරඹීමට සිනමාශාලාවට පැමිණෙන්නත් පුළුවන්. එහෙම වුවොත් සිනමා ශාලා ඇතුළු සිනමා කර්මාන්තයටත් මේ මොහොතේ හොඳ උත්තේජනයක් වේවි.

 

මේ වන විට සිනමා ශාලා බොහෝ ප්‍රමාණයක් වැසී යමින් තිබෙනවා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

සිනමා ශාලාවලට යළිත් සුපුරුදු පරිදි ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීමේ අභියෝගයට අද අපි මුහුණ දී සිටින්නේ. අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ සිනමාශාලා හිමියන්ට ආර්ථික තත්ත්වය දරාගත නොහැකි වූ නිසයි බොහෝ සිනමා ශාලා වැසී ගොස් ඇත්තේ. මේ වැසී ගිය සිනමා ශාලා යළි විවෘත කිරීමට නම් ආකර්ෂණීය ගුණාත්මක චිත්‍රපට කිහිපයක් එක දිගට ප්‍රදර්ශනය කර සිනමා ප්‍රේක්ෂකයන්ට නැවුම් බලාපොරොත්තුවක් කඩිනමින් ලබා දිය යුතුයි. දැනට එවැනි හොඳ චිත්‍රපට රැසක් තිබෙනවා. ඒ චිත්‍රපට ඉක්මනින් ප්‍රදර්ශනය කිරීමේ සැලැස්මක් සිනමා ක්ෂේත්‍රයේ නියුතු සියලු පාර්ශ්වයන් එක් වී සකසා ගත යුතුයි.