“දීපයෙන් දීපය දැල්වුයේ - ලෝ අන්ධකාරේ

ඉන් ගියේ’ සිංහල දෙබස් කැවූ හින්දි චිත්‍රපටය ‘අංජලී’ ගැනයි මේ
නොවැම්බර් 11, 2021

 

‘අංජලී’ චිත්‍රපටයේ සියලු ගීත රචනා කළේ කරුණාරත්න අබේසේකර

 

‘අංජලී’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය රඟපෑවේ හින්දි සිනමාවේ ජනපි‍්‍රය නිළියක වූ නිම්මි

 

චේතන් ආනන්ද් අධ්‍යක්ෂණය කළ ‘අංජලී’ සිංහල දෙබස් කැවූ හින්දි චිත්‍රපටය 1958 අපේ‍්‍රල් 25 වැනිදා ලංකාවේ සිනමාහල් වල තිරගත වී ඇත. මේ චිත්‍රපටයේ එන ගීත අතුරින් එකක් අදත් ඉඳ හිට වෙසක්, පොසොන් කාලයට ලංකා ගුවන් විදුලියෙන් අසන්නට ලැබේ. මේ ගීතයේ රචනය කරුණාරත්න අබේසේකර ගෙනි. මෙහි ගායනය මොහිදීන් බෙග්, ලතා වල්පොල, පුෂ්පරාණී සහ පිරිසගෙනි.

 

දීපයෙන් දීපය දැල්වුයේ

දීපයෙන් දීපය දැල්වුයේ

ලෝ අන්ධකාරේ ඉන් ගියේ

 

මුනිඳුගේ දීපය නිසා....

උතුරා ගියා නිසා

දිලිසේය කිරණින් චන්ද්‍රයා

නවයුගෙ ලො

අභිනන්දන ගයා

ඕ අපගෙ භාග්‍ය උදා වූයේ

දීපයෙන් දීපය දැල් වුයේ

ලෝ අන්ධකාරේ දැල් වුයේ

‘අංජලී’ චිත්‍රපටය එදිරිසිංහ කොම්බයින් ඉදිරිපත් කිරීමකි. දෙබස් කැවූ මේ චිත්‍රපටයේ නිෂ්පාදනය ඊ.ඒ.පී.එදිරිසිංහ ය. මේ චිත්‍රපටිය ගැන පුවත්පත් දැන්වීම් වල පළ වී තිබුණේ මෙසේය.

ආලයේ අමා පැන් සොයා පිපාසයෙන් පෙළුණ ඕ තොමෝ අභිරූපිකාවකි. එහෙත්! ඈ සැඩොලියකි.

බුද්ධ ධර්මයේ සිසිල් පැන් දහරින් කාමාතුර ඇගේ කෙලෙස්ගිණි නිවන හැටි දැක ගැැනීමට නරඹන්න.

‘අංජලී’ චිත්‍රපටයේ ආරම්භක දර්ශනයේ බෞද්ධ ප්‍රතිමා සමූහයේ රූපාවලියක් පසුබිමේ කථනය ඇසෙයි.

‘සදාකාලික නිශ්ශබ්දතාවයක් උරුම කර ගත්, මේ ශෛලමය ප්‍රතිමාවෝ, අපගේ බෞද්ධ සභ්‍යත්වය පිළිබඳ නොයෙකුත් කතාන්තර සඟවාගෙන සිටිති. ඔවුන් ඒ කතාන්තර විස්තර නොකරන නිසා එයින් එක් කථා පුවතක්, අපි ඔබ ඉදිරියේ තබමු. මේ කතාන්තර ආරම්භ වන්නේ දඹදිව එක්තරා පෙදෙසක දුර්භික්ෂයක් පැවැත්වෙමින් තිබුණු අවදියකය. ‘

චිත්‍රපටයේ කතාව විකාශය වන්නේ මේ ආකාරයට ය.

භාරතයේ ඊශාන දිගින් පිහිටි, කුඩා රාජධානියක්, දරුණු සාගතයකට මුහුණ පෑවේය. තද ඉඩෝරය නිසා, අවට පරිසරය වියළී ගිය අතර පස දූවිලිවලට පෙරළුණි. පිපාසය සංසිඳුවා ගැනීමට පැන් බිඳකුදු නොලත් අසරණ ජනයා, තැනින් තැන ක්ලාන්තව වැතිර සිටින අයුරු දකින කාගේ වූවත් හදවත් කම්පාවෙනවාට කිසිදු සැකයක් නැත.

රජ කලබල විය. එකම දියණිය වූ මාධවී කුමරිය, මේ අසරණයින්ට කෑම බෙදීම සඳහා පිටත්කර යවන ලදී. කෑම බෙදා අවසන් වී එන අතරමඟදී, ඈට කුසගින්නෙන් පෙළෙන සැදැහැවත් තරුණ උපාසකයෙක් මුණ ගැසුණි. තද ඉඩෝරයකට වේලුණු ගසකට හාන්සි වී සිටි මොහුට මඳක් ඈතින්, තවත් මහලු ස්ත්‍රියක් කුසගිනි වේදනාවෙන් පීඩිතව, තොලකට ලෙවකමින් සිටිනු දුටු කුමරියගේ සිත මඳක් නොසන්සුන් තත්ත්වයකට පෙරළුණි. තමා ළඟ උපාසක තැනට රොටිය දෙයි. ඈ සිතූ දෙය නොසිදු විය.

රෝහිණී චණ්ඩාල කුලයට අයත් රූමත් එමෙන්ම දඟකාර ගතිපැවතුම් ඇති යෞවනියෙකි. පෙර කී තරුණ උපාසක තැන, චණ්ඩාල ගෝත්‍රික රෝහිණී සහ ඇගේ හිත මිතුරිය වන රසික වසන ස්ථානයට පැමුණියේ, පිපාසය සංසිඳවා ගැනීමට පැන් ටිකක් බීමටය. උසස් කුලයක කෙනෙක් පහත් කුලයක කෙනෙකුගෙන් වතුර ටිකක්වත් බීම, එදා සිරිත නොවීය. නමුත්, භාණු නමැති මේ උපාසක තැන, චණ්ඩාල ගෝත්‍රික රෝහිණියගේ ඇඟිලි තුඩු සේදී තම දෝතට වැටෙන දිය බීවේ, කුලමාන්නයට පා පහරක් ගැසීමක් වශයෙනි. කඩවසම් පෙනුමෙන් යුත් තරුණ උපාසක තැන දුටු මොහොතේ පටන් සුරූපී රෝහිණිගේ සිතෙහි යම් කිසි හැඟීමක් කිතිකැවෙන්නට විය. කෙමෙන් දියුණූ වූ මේ හැඟීම කල්යත්ම තදබල ප්‍රේමයකට හා ආලයකට පෙරළුණි. භාණු මෙය නොදන්නවා නොවේ. නමුත් ඈට ඔහු ආලය කළේ ඊට ඉඳුරාම වෙනස් ක්‍රමයකිනි.

රෝහිණීට මාධවී කුමරිය මුහුණ ගැසෙයි. දෙදෙනාගේ හැඟීම් එකිනෙකා අවබෝධ කරගනී. මාධවී කුමාරිටත් රූමත් චණ්ඩාල කෙල්ලටත් මැදි වී සිටින භාණු, මේ දෙදෙනාට ආලයේ නියම තේරුම කුමක්ද කියා වටහාදීමට උත්සාහ දරයි. මේ ව්‍යායාමය රට වැසියා වැරදි ලෙස තේරුම් ගනී. ඒ හේතුව නිසා තවත් කරදර හිරිහැර රාශියකට භාණුට මුහුණ පාන්නට සිදු වේ. රටවැසියා බිහිසුණු අවි ආයුධ ඇතිව තමා සමඟ සටනට එළැඹුන අවස්ථාවේදී එඩිතරව ඉදිරියට ගමන් කළ භාණු, මෛත්‍රී සහගත චේතනාවෙන් හා ශාන්තිවාදී හැඟීමෙන් යුතුව, අවිහිංසා දෑත් ඔසවා තියුණු අවි ආයුධවලට මුහුණ පායි. ආලයෙන් මුළා වී සිටි මාධවී කුමරිටත්, චණ්ඩාල ගෝත්‍රික රෝහිණිටත් ආලය යන්නෙහි නියම තේරුම අවබෝධ කර දෙයි. මේ මොහොතේ දී දෙදෙනාගේ හදවතෙහි, එතෙක් හට ගෙන තිබුණ රාග ගින්න සිසිල් විය. අඳුරෙන් වැසී තිබුණ හදවත් ආලෝකමත් විය. ‘බුද්ධං සරණං ගච්ඡාමි’ යන්නෙහි තේරුම වටහා ගන්නවාත් සමඟම මාධවී කුමාරි තම රට දැය සමය උදෙසා ජීවිතය ද පුදයි. පසුව ආනන්ද මහා තෙරුන්වහන්සේගෙන් බණ අසා, රෝහිණි අවබෝධ කරගත් ධර්ම ඥානය අනිත් අයට ද පහදා දෙයි. දීපයෙන් දීපය දැල්වෙන්නේ යම් සේද, එමෙන්ම එහි ආලෝකය පැතිරෙන්නේ යම්සේද, ඒ අන්දමින් අඳුරු ලෝකයක විසූ මුළු මහත් ජනතාවම, බුද්ධාලෝකයේ ගමන් කිරීමට පටන් ගනී.

‘අංජලී’ ‘දෑත් එක්කොට වන්දනා කරනවා’ එහි තේරුමය. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ චේතන් ආනන්ද් ය. (ඛ්ඩඥබචද ඒදචදඤ) ඔහු ජනපි‍්‍රය භාරතීය චිත්‍රපට නළු දේව් ආනන්ද්ගේ විජය ආනන්දගේ සොහොයුරෙකි. චේතන් ආනන්ද් (1915 - 1997) ඊචයඪ ච්පඪමඥප (1954) ජ්භදබධධඵඩ (1956) චිත්‍රපට දෙකට පසු 1957 දී ‘ඒදණචතඪ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් එම චිත්‍රපටයේ භාණු ගේ චරිතය ද රඟපෑවේය.

‘අංජලී’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය රඟපෑවේ හින්දි සිනමාවේ ජනපි‍්‍රය නිළියක වන නිම්මිය. මාධවී කුමාරිය ලෙස ශීලා රමණී ද, රජු ලෙස සප්රූ ද, කුණ්ඩලා ලෙස සිතාරා ද, ආනන්ද මහ තෙරුන් ලෙස රාජ් කුමාර් ද රසික ලෙස කුම් කුම් ද රඟපෑහ.

භාරතයේ මෙහෙබුබ් චිත්‍රාගාරයේ නිපද වූ මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය නාගරාජ් සහ සදානන්ද් ගෙනි. න්‍යායා ෂර්මා ගීත රචනය කර තිබුණි. සංගීත අධ්‍යක්ෂණය ජයදෙව් වර්මා ය. සංගීත නිර්මාණයේ දී විශේෂ වාදකයන් ලෙස විශාරද සංගීතඥයන් වූ උස්තාද් අලි අක්බාර් ඛාන්, පණ්ඩිත් රාම් නාරයන්, නිඛල් බැනර්ජි, සමන්ත් රාජ් ගේ සහාය ලබාගෙන තිබුණි. නැටුම් මෙහෙයවීම සිතාරා, බඩ්රි ප්‍රසාද්, ක්‍රිෂ්ණා කුට්ටි ගෙනි.

‘අංජලී’ චිත්‍රපටයේ සිංහල අනුවාදයේ අධ්‍යක්ෂණය කරන ලද්දේ සිරිමල් සුරේන්ද්‍ර කඳානේ වෙඩික්කාර ය. කඳනේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේ දෙබස් කැවීමෙදී භාණු සඳහා පී.වැලිකල ද, රෝහිණි සඳහා රෝහිණි සුදසිංහ ද, සෙසු චරිත සඳහා වික්ටර් මිගෙල් කමල් පෙරේරා, චන්ද්‍ර පීරිස්, බී.පී.වික්‍රමසිංහ, සුමනා වීරසේකර, ජේ.එච්.ජයවර්ධන, ධර්ම ශ්‍රී දහනායක ජොනී ශි‍්‍ර වර්ණසිංහ, ප්‍රේමනාත් මොරායස්, එච්.ඇම්.ගුණසේකර,ජේ.ඩී. දයානන්ද, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා, ජී.ඇම්. විජේසුරිය හඬ දුන්හ.

රත්නසිරි එරත්න සිංහල සංවාද ලියූ අතර සිංහල අනුවාද අධ්‍යක්ෂකගේ ප්‍රධාන සහායක ලෙස කේ.ඒ. ඩබ්ලිව්.පෙරේරා ද ඔහුගේ සහායට ඩි.වී.කුමාරසිංහ සහ ලුෂන් කුලසිංහ සිටියහ.සිංහල චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ඇස්. වේදාචලම් (ඇස්.ඇස්.වේදා) ගෙනි. සිංහල පිටපතේ සංස්කරණය අහමඩ් කුමාර් ය. පසුබිම් ගායනය මොහිදීන් බෙග්, ලතා. පුෂ්පරාණි ගෙනි. සියලු සිංහල ගීත කරුණරත්න අබේසේකර විසින් රචනා කර ඇත.

1958 අප්‍රේල් 25 වෙනිදා අංජලී සිලෝන් තියටර්ස් සිනමාහල්වල තිරගත වීම නිමිත්තෙන් අගනා සමරු කලාපයක් නිකුත් වී ඇත. මහරගම සමන් මුද්‍රණාලයේ භෝභන ලෙස මුද්‍රණය වී ඇති මේ සමරුවේ චිත්‍රපටයේ ගීත හා තොරතුරු සිංහල හා ඉංගී‍්‍රසි භාෂාවෙන් ඇතුළත් කොට තිබුණි. සමරුව අලෙවි කර තිබුණේ සත 60කටය.

‘අංජලී’ චිත්‍රපටය සිංහල පිටපත නිෂ්පාදන කොට තිබුණේ එදිරිසිංහ කොම්බයින් වෙනුවෙන් ඊ.ඒ.පී. එදිරිසිංහය. මේ ඔහුගේ අදහස්ය.

‘සිංහල චිත්‍රපට කර්මාන්තයට හා පුරා කියා මා ප්‍රථම නිෂ්පාදනය වශයෙන් ‘අංජලී’ තෝරා ගත්තේ කරුණු තුනක් නිසයි. (1)’අංජලී’ බෞද්ධ කතාවක් ආශ්‍රයෙන් ගෙතුණු චිත්‍රපටයකි.

(2) ‘අංජලී’ අනික් චිත්‍රපටවලට වඩා හැම අතින්ම වෙනස් මුහුණුවරක්, උසස් කලාත්මක චිත්‍රපටයකි.

(3)එය පවුලේ ඕනෑම තරාතිරමකම කෙනෙකුට බලා පී‍්‍රති විය හැකි ආදර්ශවත් චිත්‍රපටයක් වීමයි.

මේ චිත්‍රපටයේ නියම හැඟීම තමාගේ හදවතට ඇතුල් කර ගැනීමට නම්, නරඹන ඔබ, ඉතා මධ්‍යස්ථ ඇසකින් එය බැලිය යුතුයි. කොතරම් දුරට ‘අංජලී’ චිත්‍රපටය ඔබේ සිත් දිනාගනී ද කියා මට කිව නොහැකියි. එය හුදෙක්ම රඳා පවතින්නේ නරඹන ඔබ අතෙයි. අන්තිම වශයෙන් මේ චිත්‍රපටය ගැන ඔබට එක් කරුණක් මතක් කරන්න සතුටුයි. මගේ එකම චේතනාව සිංහල චිත්‍රපට නරඹන ඔබට, මෙම චිත්‍රපටයෙන් ඔබ මෙතෙක් නොළත් රසයක් ලබාදීමට යි. එය සිදු වී නම් මගේ බලාපොරොත්තුව ද ඉටු වූ බව අන්තිම වශයෙන් කීමට සතුටුයි.’

‘අංජලී’ චිත්‍රපටයේ සියලු ගීත රචනා කළ කරුණාරත්න අබේසේකරගේ රචනාවල මුද්‍රණයේ සදොස් තැන් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියූ ‘සිංහල චිත්‍රපට ගීතාවලිය’ (1957 - 1961) කෘතියේ නිදොස් කොට තිබුණි. චිත්‍රපටයේ එන ලතා විසින් ගැයූ මේ ගීතය හැර සෙසු ගී සියල්ල ජනපි‍්‍රය වූ බව ඔහු දක්වා තිබුණි.

‘හිස් වෙද්දො නෑ පියාදරේ

ඔබ මා නොපතන්නේ

ඇයි ද අහෝ

ලියෝ පේන කාලෙ

මේ මල් වාගේ

කිම බැලුවේ දෝසේ

මරණේ හෝ

හිස් වෙද්දෝ නෑ

මගෙ පියාදරේ.’

‘අංජලී’ චිත්‍රපටයේ ජනප්‍රිය වූ සෙසු ගීත ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න දක්වන්නේ මේ ගීත පහය.

මොහිදීන් බෙග් හා පිරිස ගැයූ

‘භෘංග භෘංග

ගුම් දෙන මල් ගාවා

සරසා කීවෝ

ගුණමයි තෙරුවන්

භෘංග භෘංග

ගුම් දෙන මල් ගාවා

නදියේ හී රැලි ඕළු මානෙල්

වනක වනනවන්

චන චන හඬකින්

ඕ.... සරසා කීවෝ

ගුණමයි තෙරුවන්”

ලතා ගයන ගීත දෙකක් මේ,

“හිතලා හොයලා

හොයලා ඕනෙ....

හොයලා හොයලා

ඕනෙ යන්න කටු ඇනෙයි හායි

කටු අනෙයි හායි හෝ.’

‘සොයමි ගැන ගැන තරු ඕ

ආසා නැමති දීපයො

මගේ ලයේ

එක එක නිවුණා - අයියෝ

සොයමි ගැන ගැන තරු ඕ’

මොහිදීන් බෙග් සහ

පිරිස ගයන ගීයක් මේ

‘හරි ජාතී නැටුම්නේ මේවා

මේවා හරි ජාතී

නැටුම්නේ මේවා

පුතා හරි ජාතී

නැටුම්නේ මේවා’

මොහිදීන් බෙග්, ලතා, පුෂ්පරාණි සහ පිරිස ගැයූ සමුහ ගීතයක් මේ

‘පෙරට යමවූ පෙරට යම වූ

එකට යම වූ එකට යමව්

සැවොම යම වූ

අලස ගතිය දුරුර දමවු

ගතට සිතට දිරිය ගනිවු

අවදි වෙයවු

උදලු නගුලු අතට ගනිවු

පොළොව කොට වූ

වැවිලි කරවු

සමගි වෙයවු’

හින්දි චිත්‍රපටය ‘ආගමික හැඟීම් රිදවන්නේ’ යයි බෞද්ධ රටවල මැසිවිලි කීවත් භාරතීය විචාකරයන්ගේ ප්‍රසාදය දිනු බව වාර්තා වේ. චේතන් ආනන්ද්ගේ රඟපෑමට වශි වූ බෞද්ධ රටවල සිනමා ලෝලයෝ ඔහුට ගෞරව ලෙස පාද ස්පර්ශය කළ බවද කියවේ.