පනස් වසරකට පසු වැලිකතරේ සවාරියක්

නොවැම්බර් 18, 2021

වික්‍රම රන්දෙණිය ටෙලිෆෝනයෙන් පිළිතුරු දෙයි.

ටෙලිෆෝනය පසෙකින් තබන රන්දෙණිය නැවතත් මයික්‍රෆෝනය අතට ගනී.

ගෝරිං උඹට ගැලවීමක් නැහැ. යටත් වෙයං. මැරුම් කන්නේ නැතුව යටත් වෙයං. උඹ කොච්චර වෙලාවක් ඔහොම යන්නද? එලිෆන්ට් පාස් එකත් අහුරලා'

හෙලිකොප්ටරය ගොදුරට එන දැවැන්ත උකුස්සෙකු මෙන් , ගෝරිංගේ ජීප් රථය වෙතට වේගයෙන් පාත් වී නැවතත් ඉහළ යයි. ඉන් ගැලවීමට මෙන් ගෝරිං හිස පාත් කොට , ජීප් රථය එක් ඇලයකට හරවා නැවතත් කෙළින් කරයි.

රන්දෙණිය නැවතත් ටෙලිෆෝනය අතින් ගෙන සිටියි. හෙලිකොප්ටරය ගෝරිං වෙතට පාත් වනු දකින රන්දෙණිය ප්‍රීතියෙන් කෑගසයි.

ආචාර්ය තිස්ස අබේසේකරයන් විසින් ලියන ලද මේ ජවනිකාව ඒ ආකාරයෙන් ම රූප ගත කළා නම් මෙයට පනස් වසකට එපිට දවසක එනම් ඔක්තෝබර් මස 27 වැනි දින මරදානේ ගාමිණී සිනමාහල ඇතුළු සිනමාහල් 36 ක එළි දුටු අලුත් සිංහල චිත්‍රපටය ප්‍රේක්ෂකයන් දැක ගත යුතුව තිබුණේ එහෙමය. එහෙත් සිනමාකරු කිසිසේත් වෙනත් ආකාරයක ආරම්භයක් ලබා තිබිණ. අප දූටු චිත්‍රපටයේ ආරම්භය මෙලෙසය.

කිසියම් මෙහෙයුමක් අවසන්ව තිබුණ වග අපට හැඟෙයි. අවට ඇත්තේ මහා වැලි කාන්තරයකි. මේ මෙහෙයුම සාර්ථක ව ඇතැයි අපට දැනුණ ද එය කෙලෙස සිදුවූවාදැයි අපට හැඟෙන්නේ නැත. අප මුලින්ම දකින පොලිස් නිලධාරියා ගේ විලාසය මෙහෙයුම අවසන් කළ ද ජයග්‍රාහී විලාසයක් නොපෙන්වයි.

සෙසු පහළ නිලධාරියකුට ඔහු අණ කරනුයේ සෙසු රථ රැගෙන යන ලෙසටය. ඔවුන් සමග නොයන ඔහු යන්නේ රෝහලටය.

ඒ කවර වුවමනාවකටදැයි අප දන්නේ නැත.

සිදුව ඇති මෙහෙයුම හා එහි චරිත පිළිබද අපට කියාපාන්නේ එයින් පසුවය.

මේ වැලිකතර යි. සිනමාවේදී ආචාර්ය ඩී.බී.නිහාල් සිංහ අතින් නිමවුණු ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය මෙන්ම වඩාත්ම පරිපූර්ණ චිත්‍රපටය ද එයයි. වැලිකතර තිරගතවීම යනු සෙල්ලමක් නොවේ. වැලිකතර තිර ගතවීම වෙනුවෙන් සීමාසහිත සිනමාස් සමාගමේ මරදානේ ගාමිණී ඇතුළු සිනමා ශාලා පුළුල් තිර ප්‍රදර්ශනය සදහා නැවත සැකසිණ. එබැවින් මරදානේ ගාමිණී සමඟ සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලද වැල්ලවත්තේ සැෆයාර් සිනමාහල වැලිකතර ප්‍රදර්ශනය සදහා එක් නොවිණ. සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපටයක් එකල තිරගත වූ උපරිම සංඛ්‍යාව පිටපත් 19- 20 ත් අතරය. වැලිකතර පිටපත් තිස් හයක් තිර ගතවීම යනු ඒකාලයේ ලොකු දෙයකි.

තිර රචනය, කැමරා අධ්‍යක්ෂණය,සංස්කරණය හා අද්වීතිය රංගන විලාසයන් එකිනෙක එකම නූලක බැඳී සේ ගොඩ නැගූ සිංහල චිත්‍රපට අපට ඇත්තේ අතේ ඇඟිලි ගණනකට වඩා අඩුවෙන් යැයි පැවසීම කථානාද සිනමාව ආරම්භවී වසර 75 ක් ගෙවෙන්නට එළිපත්තේ සිටියදී පැවසීම මෙරට සිනමාවට කරන අපහාසයක් නොවේ. වැලිකතර අයත්වන්නේ ඒ අතළොස්සටය. එයටත් වඩා වැලිකතර කාලය විසින් පරණ නොකරන ලද සර්වකාලින අගයක් ගන්නා චිත්‍රපටයක් හැටියටය.

ඩී.බී.නිහාල්සිංහ සහ තිස්ස අබේසේකර නම් තරුණයන් දෙදෙනා එකිනෙකා හදුනා ගන්නා කාලය 1967 පමණ අවධියේය. ඔවුන් දෙදෙනාම ලෝක සිනමාවේ අලුත් ආස්වාදයන් විදිම්න් ඒ පිළිබද සිහින මවමින් සිටි යුගයයි. ඔවුන් මුණගැසෙනුයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිවහනේදීය.

ඒ වන විට තිස්ස අබේසේකරයන් දෙලොවක් අතර චිත්‍රපටයේ දෙබස් රචකයාව හමාරය. නිහාල්සිංහයන් සිය භක්ති කෙටි චිත්‍රපටය නිමවා එයට සම්මාන දිනා සිටි අවධියයි. අලුත් චිත්‍රපටයක් කරන්නට වඩා සුදුසුම තිරනාටක රචකයා තමා ඇසුරු කරන මේ යෞවනයා බව නිහාල්සිංහයන්ට වැටහී තිබිණ. එක වගේ කුරුල්ලන් එක ගසක වසනවායැයි කියන්නේ නිකම් නොවේ. සිනමාව ගැන තර්ක විතර්ක කරමින් අලුත් අලුත් කතා සොයමින් ඔවුහු බොහෝ රාත්‍රීයන් පහන් කළහ. එතෙක් හුරු පුරුදු කර ගෙන සිටි ත්‍රිපාදකයේ සවි කළ සිනමා කැමරාව එයින් ගැලවූ නිහාල්සිංහ එය හස්තගත කොට අලුත් අත්හදා බැලීම්වල නියැළිණ. චිත්‍රපටයක් තනන්නට දෙදෙනාම ගත් වෑයමේ අත්දැකිම් අතර සමානතා මෙන්ම අසමානතා ද තිබිණ.

අවසානයේ වඩාත්ම සුදුසු සිනමා අත්දැකිමකට ඔවුහු සමීපවූහ. එය සිදුවුයේ මෙහෙමය. ඒ දවස්වල ඩී.බී.නිහාල්සිංහයන් සත් සමුදුර චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටි අවධියයි. චිත්‍රපටය රූප ගත කරන ලද්දේ මීගමුවේ කොච්චිකඩේ ප්‍රදේශයේය. එහි සිටි එක් නමගිය චණ්ඩියෙක් නිතර චිත්‍රපට දර්ශන තලයට පැමිණීමට පුරුදුව සිටියේය. ඔහු ප්‍රියමනාප ගති ගුණවලින් යුක්ත විය. එහෙත් පොලිසිය සමඟ ඔහු නිරන්තරයෙන් ගැටුම් ඇති කරගෙන තිබිණ. අවසානයේ පොලිස් නිලධාරියකු විසින් මේ චණ්ඩියා මරා දමන ලදී. වැලිකතර සඳහා පාදක වූ ගෝරිං ගේ සිද්ධිය එයයි.

මේ සිදුවීම ආශ්‍රිතව ගෙතෙන ප්‍රබන්ධය විකාශනය කිරිමට තිරනාටකය රචනා කරද්දී තිස්ස අබේසේකරයන් ඒ වන විට ඇසුරු කළ සම්භාව්‍ය සාහිත්‍යයේ ආස්වාදය විශිෂ්ට අන්දමින් සිනමා තිරනාටකයට පරිවර්තනය කළේය. තිරනාටකය මුළුමනින්ම ග්‍රීක ශෝකාන්තයක් බඳුය. රූප ගත කිරිමේ දී වැයවන මුදල් ප්‍රමාණය සලකා බලා වෙනස් කරන ලද නමුදු තිරනාටකයේ එන මුල් ජවනිකා පෙළ සමකාලින හොලිවුඩ් ක්‍රියදාම චිත්‍රපට වලින් ඔහු ලද ආභාෂය ප්‍රකට කරන්නකි.

වැලිකතර මුලින්ම නම් වූයේ මරුකතර යනුවෙනි. මරුකතර අක්ෂර දෝෂයන් සහිතයැයි සැලකූ නිසා නිසා එහි නම වෙනස් කරලනුයේ කොටිකාවත්තේ හාමුදුරුවෝ ලෙස පතල ව සිටි භික්ෂුන් වහන්සේ නමකි. ඇතැම් තැනක මේ කොටිකාවත්තේ හාමුදුරුවන් ලෙස හඳුන්වාදෙනුයේ සුප්‍රකට ධර්ම දේශකයකුව වැඩ සිට ඝාතනය කරන ලද කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමිපාණන් ලෙස වරදවා වටහා ගැනීමත් ද මේ වෙනත් භික්ෂුන් වහන්සේ නමකැයි සිනමාවේදී සෝමපාල ලීලානන්ද පවසයි. ඔහොම හොඳද වැනි ජනප්‍රිය චිත්‍රපට රාශියකටම උන්වහන්සේ අක්ෂර ශාස්ත්‍රය අනුව යමින් නම් තබන ලද බැව් ලීලානන්ද පවසයි. . දෙමටගොඩ සමන්තා සිනමාහලේ මුල් හිමිකරුවන් වූ වූ සහාබ් ,මන්සූර් හා තහා යන සොහොයුරන්‌ගේ නම් එකතු කොට එයට සමන්තා ලෙස නම් තබන ලද්දේ ද උන්වහන්සේ යැයි කියනු ලැබේ. මරුකතර වැලිකතර කරන ලද්දේ උන්වහන්සේ විසින්ය.

වැලිකතර ගෙතෙනුයේ ප්‍රධාන චරිත තුනක් වටාය. වික්‍රම රන්දෙණිය, ගෝරිං හෙවත් දිසානායක මුදියන්සේලාගේ සුදුබණ්ඩා හා ගීතා රන්දෙණිය වටාය. වික්‍රම රන්දෙණිය යාපනයට රාජකාරි සදහා යවනු ලබනුයේ යහපත් වැඩකටය. ඔහු තුළ ඇත්තේ ද එය යහපත් ලෙස අවසන් කිරිමය. එහෙත් නොසිතු මොහොතක අතීතයේ සිදු වූ අත් වැරැද්දක් මහා පාරා වළල්ලක් ව ඔහු පසුපස හඹා එන්නට පටන් ගනියි. එයින් සිදුවනුයේ තමා පමණක් තම හිතවතුන් ද ගොදුරු කර ගන්නා තරම් බරපතල ව්‍යසනයකි. වැලිකතර චිත්‍රපටය පුරා දිවයන මේ සිදුවීම එහි අවසානයේ ඛේදවාචකයක් බවට පරිවර්තනය වෙයි. වික්‍රම සහකාර පොලිස් අධිකාරිවරයාට උතුරු පළාතට ස්ථාන මාරුවක් ලැබෙන්නේ අපරාධ මැඩලීමටය. ඒ වන විට ඔහු ගේ භාර්යාව ගීතා ගැබිනියකව සිටින්නීය. පළමුව භාර්යාව කොළඹ නතර කරවන වික්‍රම සිය මුල් රාජකාරි සාර්ථකව නිම කළ පසු ඇය ද එහි ගෙන්වා ගනියි. එක් දිනක් ගීතා මුහුදු වෙරළේ දී නොහඳුනන මැරයෙකුගේ අතින් ඇය සමච්චලයට ලක්වෙයි.

මේ පුද්ගලයා අවසානයේ ගීතාගේ මෝටර් රථයේ ටයරයක හුළං යවයි. එපමණක් නොව තමා ගෝරිං මුදලාලි ලෙස හඳුන්වාදෙන ඔහු ඒ බව ඇගේ සැමියාට පවසන ලෙස ද දන්වා සිටියි.

වික්‍රම කෝප වුවද ඔහුට අවශ්‍ය මේ මැරයා වඩා බලසම්පන්න හේතුවකට අත් අඩංගුවට ගැනීමටය. එහෙත් එක් දිනයක සමාජ ශාලාවක දී වික්‍රමට ගෝරිං මුදලාලි මුණ ගැසෙනුයේ ගීතා ද එහි සිටින විටය. ගීතා තමා සමච්චලයට ලක් කළ මැරයා හඳුනා ගත්තද වික්‍රමගේ ප්‍රතිචාරය වෙනස් එකකි. ඔවුන් දෙදෙනා එකිනෙකා දන්නා බව ඇයට වැටහෙයි.

මෙය ගීතාගේ උදහසට හේතුවෙයි. ගෝරිං මුදලාලි පිළිබඳ ඇති සියලු පොලිස් වාර්තා කවර හෝ නිසාවෙන් යට ගොස් ඇති වග වටහා ගන්නා වික්‍රම ඒ පිළිබද සොයා බලයි. හොර බඩු ජාවාරමේ සිට මැරවරකම් ඇතුළු බොහෝ දෑ පිලිබඳව පොලිස් පොතේ සඳහන් වුව ද පොලීසියට පාන් සපයන කොන්ත්‍රාත්තුව ඇත්තේ ද ගෝරිං මුදලාලි සතුවය. එපමණක් නොව උසස් සමාජ ශාලාවන්ට පැමිණ ඔවුන් හා එක්වන්නට ද ගෝරිං ඉඩ කඩ සලසා ගෙන ඇත්තේය. ඇතැම් පොලිස් නිලධාරින් සිටිනුයේ ගෝරිං ගේ සාක්කුවේය. ගෝරිං ට එරෙහිව වැටලීම් ඉක්මන් වනුයේ ගීතාගේ බලපෑමටය. එහෙත් තම ප්‍රතිවාදි පොලිස් නිලධාරියා මැඩලන්නට ගෝරිං සතු අවිය එයට වඩා බරපතළ එකකි.

තිරනාටකයේ හැටියට වැලිකතර කතාව ආරම්භ වනුයේ 1960 වසෙර්ය. එය අවසානය වනු දක්නට ලැබෙනුයේ 1967 වසෙර්ය. සුදුබණ්ඩාගේ සිට ගෝරිං දක්වා ද අප්පෝගේ සිට සහකාර පොලිස් අධිකාරි ධුරය දක්වාද ඔවුන් කාලාවතරණය වනුයේ හත් වසරක් ඇතුළතය.

වැලිකතර සදහා ප්‍රධාන ම ගැටළුව වූයේ එහි නළුවරණයයි. වික්‍රම රන්දෙණියගේ චරිතයට මුලින් යෝජනාවූවන් අතර ආනන්ද ජයරත්න ද විය. පසුව ගාමිණී ෆොන්සේකා ඒ සදහා තෝරා ගැනිණ. ගාමිණී හා නිහාල්සිංහ මුලින්ම මිත්‍ර වනුයේ පාරා වළලු චිත්‍රපටයේ වැඩ කටයුතු කරද්දීය. නිහාල්සිංහ එහි කැමරා අධ්‍යක්ෂ විය. ගාමිණී මුල්වරට සරසවි චිත්‍රාගාරයට ගියේ නිහාල්සිංහ සමඟය. හමුවූ මුල් අවදියේ එකිනෙකා නොපෑහෙන බවක් මේ දෙදෙනා අතරම තිබුණ ද පසුව පාරාවළලු නිම වන විට ඔවුහු හොඳ මිතුරෝ බවට පත්ව සිටියහ. ගෝරිං මුදලාලි සොයාගැන්ම එයටත් වඩා අපහසු විය. නිහාල්සිංහ බොහෝ නළුවන් ගැන සොයා බැලුවේය. මේ අතර පසුකලක සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම චරිතාංග නළුවකු ලෙස ගොඩ නැගුණ සිරිල් වික්‍රමගේ ද විය. ඔහු ඒ වන විට නිහාල්සිංහයන් සමග සත්සමුදුර චිත්‍රපටයේ කටයතු කර තිබිණ. අවසානයේ නිහාල්සිංහ ළං වූයේ ජෝ අබේවික්‍රමයන්ටය. මුල් වතාවන් කිහිපයකම ජෝ අ‌බේවික්‍රමයන් එම චරිතය ප්‍රතික්ෂේප කළේය. මගේ බඩට ගහන්ඩද හදන්නේ ජෝ අබේවික්‍රම බැරිමතැන නිහාල්සිංහයන්ගෙන් විමසුවේය. ඒ වන විට ඔහු නම් දරා සිටියේ හාසෝත්පාදක චරිත සම්බන්ධවය. එබැවින් මේ ප්‍රතිරූපය ඔහුගේ වෘත්තිය දිවියම අනතුරේ හෙළන්නක් විය. ඒ අවධියේ නළු නිළියෝ බෙහෙවින් තම ප්‍රතිරූපය කෙරෙහි අවධානය යොමු කළහ. ගෝරිං මුදලාලිගේ අලුත් විලාසය ඔහු තැතිගන්නා සුලු විය. අවසානයේ නිහාල්සිංහ ජෝ අබේවික්‍රම වෙනුවෙන් අභියෝගය බාර ගත්තේය.

මේ වන විට ගාමිණී සිනමාවට පිවිස දස වසරකට ආසන්නය. ජෝ අබේවික්‍රමයන් එයට වඩා වසර කිහිපයකින් වැඩිමහල්ය. ඔවුන් දෙදෙනා මුල්වරට එකට එක් වූ චිත්‍රපට කිහිපයක් ම එයට පෙර අපට දැකගත හැකි විය. ගාමිණි මුලින්ම කතානායක වූ පිරිමියෙක් නිසා චිත්‍රපටය - ගාමිණි, ජෝ එක් වූ මුල්ම චිත්‍රපටයයි. රන්මුතුදූව, ගැටවරයෝ , පරසතු මල් මේ අතරින් ප්‍රධානය. එහෙත් මේ හැම චිත්‍රපටයකම ගාමිණී පෙම්වතා වද්දී ජෝ අබේවික්‍රමයන්ට තිබුණේ ඔහුගේ සහායකයා වන්නටය. මේ වන විට අල්ලපු ගෙදර, පුංචි බබා, ස්වීප් ටිකට්, සාරවිට වැනි චිත්‍රපට ජෝ අබේවික්‍රමයන් ඉහල නළුවකු බවට පත් කර තිබිණ. එහෙත් ගාමිණී ට මෙන්ම ජෝ ට ද එකිනෙකා පරයා කරට කර රඟපාන්නට එකම චිත්‍රපටයක අවස්ථාවක් එයට පෙර උදා වූයේ නැත. සැබැවින්ම ගාමිණීට මෙන්ම ජෝ අබේවික්‍රමය නම් ප්‍රතිමල්ලවයන් දෙදෙනාටම තමන්ටම සරිලන දෙදෙනෙකු ගේ හැකියාව එකිනෙකා පරයා උරගා බලන්නට මුණ ගැසුන මුල් අවස්ථා ව එය විය. එය වඩාත් ඉස්මතු කරන ලද්දේ එහි තිර නාටකයයි. බැලූ බැල්මට එහි වැඩි වාසිය තිබෙනුයේ ගෝරිං මුදලාලිටය. ගෝරිං තිරනාටකය පුරා වාචික අභිනයේ සිට පසුතලය සකසා තිබිණ. එහි දී විශිෂ්ට රංගවේදියකුට එය ඉක්මනින් පහසුවෙන් ග්‍රහණය කර ගෙන ගොඩ නගා ගන්නට පහසුව තිබිණ. ගෝරිං නිවට නියාලු චරිතයක සිට ක්‍රමිකව වර්ධන කරන්නා වූ මැරවරයෙකු බවට පත්වෙන්නකි. උන්නතිකාමය ඔහු වෙතින් දිස්වෙන අතර එයට නොදෙවෙනි හීනමානයකින් ද ගෝරිං පෙළෙන්නෙකි. වික්‍රම රන්දෙණිය චරිතය ඉහලින් පටන්ගෙන අන්‍රකමයෙන් ඇකිලිය යුතු තත්වයකට පත්වෙයි. එය තිර නාටකය මතින් ඉස්මතු කරන චරිතයකට වඩා නළුවා විසින් තම නැණ පමණින් වර්ධනය කරන ලද යුතු චරිතයකි. ඉතා සියුම් ඉඟි මගින් ද්වනිත කරන වික්‍රම හීන් නූලක් බැඳ අතුරේ යායුතු ගමනක් සේ ගොඩ නැඟිය යුතු චරිතයකි. එය එක් නිමේශයකදී රංගනවේදියාගේ එක් අත්වැරැද්දකින් සහමුලින් ඇද වැටුණහොත් මුළු චිත්‍රපටයේ එන සමස්ත පදනම බිඳ වැටෙනු ඇත. ගාමිණී ෆොන්සේකා මේ සමයේ කාර්ය බහුල සුපිරි තරුව බව අවිවාදාත්මකය. එබඳ සමයක ඔහු සිය සිනමා දිවියේ අද්වීතිය රංගනයන් දෙකක් ඉදිරිපත් කරනු ලබයි. එකක් වැලිකතරේ වික්‍රමය. අනෙක නිධානයේ විලී අබේනායක ය. වික්‍රම හා ගෝරිං චරිත දෙකටම මැදින් ගලන ගීතා පිළිබද ඒකායන තේරිම සුවිනිතා වීරසිංහ විය. ඒ වන විට ඇය දෙලොවක් අතර චිත්‍රපටයෙන් විශිෂ්ට චරිතාංග නිළියක බව ඔප්පු කොට හමාරය. ගීතාගේ චරිතය බොහෝ ගැහැනුන්ට පොදු වූ ලක්ෂණයන්ගෙන් සමන්විතය. ඇය ඇගේ සැමියාගේ නිල අහංකාරය ගොඩ නගා ගත්තියකි. රන්දෙණිය පවුලෙන් විඳීන්ට සිදු වූ අවමානය සඟවා සිට පළි ගන්නට අවශ්‍ය වූ විට එසේ නොකර නොසිටින තාලයේ ගැහැනියකි. සැබැවින්ම චිත්‍රපටයේ ගෝරිං ට වික්‍රම එරෙහිව ඉක්මනින් ක්‍රියාත්මක වනුයේ ද ඇය ගේ හැසිරිම මතය. එමෙන්ම අවසානයේ අමාරුවේ වැටෙන්නේ ද ඇයය. තනිවම ජීවිතයට මුහුණ දිය යුතු වන්නේ ඇයය. ඇයගේ දරුවාගේ අනාගතය කුමක්වේද යන ගැටලුව අප අතර නොදැනී ඉතිරි වෙයි.

චිත්‍රපටය රූප ගත කරන විට කාගේ හෝ කේලමකට ගාමිණී හා ජෝ අබේවික්‍රම මිතුරන් අතර හිත් නොහොඳ කමක් ඇතිව තිබිණ. එම අමනාපය දුරුවන්නට තවත් දශකයක් පමණ ගතවිය. ආරවුල ඇරඹෙන සමයේ සමීපතමයෝ මේ දෙදෙනාටම අවශ්‍ය පරිදි විෂ වැඩි කළහ. මේ හේතුව නිසා ප්‍රතිවාදින් හා රූප ගත කිරිම හා සාකච්චා කිරිම අධ්‍යක්ෂවරයාට අලුත් අභියෝගයක් විය. ඔහු හැමවිටම ගාමිණී හා ජෝ සමඟ සාකච්ඡා කරන අතරතුර අසුන් ගත්තේ දෙදෙනා මැදින්ය. මේ ප්‍රතිවාදිකම වැලිකතරට අනියම් ආශිර්වාදයක් ද වූයේය. මේ අමනාපය නිසාම චිත්‍රපටය රූප ගත කිරිම් අතරතුර පාවිච්චි කරන ගිනි අවි වලට යොදා තිබෙන්නේ සැබෑ උණ්ඩදැයි නිරික්ෂණය කරන්නට නිහාල්සිංහයන් වග බලා ගත්තේය. ඒ වන විට වියට්නාම් යුද බිමේ වාර්තාකරුවකු හැටියට ලද වෘත්තිය අත්දැකීමත් එයට පෙර කොළඹ ආනන්දයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායමේ නායකයා හැටියටත් ලද අත්දැකීම් මෙහිදි ඔහුට උපකාරයක් වන්නට ඇත. එසේ නොවන්නට වැලිකතරේ හමාර කතාව මෙයට වඩා වෙනස් වන්නට ද ඉඩ තිබිණ. කෙසේවෙතත් වැලිකතර තිර ගත වන අවධියේ ජෝ අබේවික්‍රමගේ රංගනය පිළිබඳව ගාමිණී ෆොන්සේකා සරසවිය පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී නිර්ලෝභීව අගය කළේය.

වැලිකතර තිර ගත වන සමය වන විට තිස්ස අබේසේකර, නිහාල්සිංහයනට ප්‍රසිද්ධියේ චෝදනා කරන ලද්දේ සිය තිරනාටකය වෙනස් කළ බවත් එයින් චිත්‍රපටයට හානියක් සිදුවූ බව සඳහන් කරමින්ය.. චිත්‍රපටය අවසානයේ ගෝරිං මුදලාලි පණ බයේ දුව යන ජවනිකාව එලෙස අධ්‍යක්ෂ අභිමතය වෙනස් කළ ජවනිකාවක් බව තිස්ස අබේසේකරගේ චෝදනාවයි. එයින් චිත්‍රපටයේ අභිමතාර්ථය බිද වැටුණ වගත් එය දුටු ප්‍රේක්ෂකයන් සිනහවෙන්නට පටන් ගත් වගත් ඔහු චෝදනාවේදී කියා සිටියේය. රළු වැල්ලක අසීරුවෙන් දුවන ජෝ අබේවික්‍රමයන් දුටු ප්‍රෙක්ෂකයන් ගෝරිං මුදලාලි දි අමතක කර එතෙක් ජෝ ට හුරු පුරුදු හාස්‍ය සිහිපත්ව සිනහසුණු බව මුල්වරට වැලිකතර තිරයේ දුටු බොහෝ දෙනා සිහිපත් කරති. එහිදී නිහ්ලාසිංහ විසින් භාවිත කරන ලද දුර රූප රාමු පෙළ ද චිත්‍රපටය හා නොපැහේ ඔහු මේ වැලිකතරක අසීරුවෙන් කරන ගමන කෙනෙකුට සිනහා ඉපැදීම වන්නේ මේ රූප රාමු හේතුවෙන්ය. මෙයට වඩා බඹරු ඇවිත් චිත්‍රපටයේ ඇන්ටන් හෙවත් ජෝ අබේවික්‍රමයන් මන්නා පහර කා ඇවිද යන්නේ අමු නිරුවතිනි. එහෙත් කම්පිත වූ ප්‍රේක්ෂකයන් තුෂ්නිමභූත ව බලා සිටියා විනා මේ ජවනිතාවට සිනහ නොවුණේ ධර්මසේන පතිරාජ මේ අවස්ථාව සමස්තාර්ථය කැටිකර විශිෂ්ට අන්දමින් ගෙන හැර පෑම හේතුවෙන්ය.

ඩී.ආර්.නානායක්කාර ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙමප්ල් ඔෆ් ඩූමි ච්‍පත්‍රපටයේ කළ රංගනය ගැන එයට විසි පස් වසර පිරුණු විට නිකුත් කළ විශේෂ ඩීවීඩී තැටියෙහි අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග් විසින් මහත් අභිරුචියෙන් වර්ණණා කළ ද එය මුලින් මෙරට ලිබර්ටි සිනමාහලේ තිර ගත වද්දී මෙරට ප්‍රේක්ෂකයන් ඔහුට සිනාසෙන්නට පටන් ගත්තේ ඩී.ආර්.නානායක්කාරයන් පිලිබඳ සුපුරුදු සිතුවිල්ලෙනි. එය ඩී.ආර්.නානායක්කාරට දෙවියනි ඔබ කොහිද චිත්‍රපටයේ ද සිදුවිය. ඇත්ත නම් වැලිකතර රූප ගත කරන යාපනයට නුදුරු මලල්කොඩි ප්‍රද්ශයේ කාන්තාරය මහ දවලේ දැවෙන එරෙන වැල්ලකි. එහි දිවීම පහසු නැත. එක් පැතතකින් වැල්ල පිලිස්සෙන තරම් රස්නයෙන් යුක්තය. අනික් පසින් මේ වැල්ල ෆෝවීල් ජීප්රියක් පවා අසීරුවෙන් ධාවනය කරන තැනකි. මෙහි රූප ගත කිරිම ද පහසු දෙයක් නොවේ. ජීප් රථයක් මැද නිහාල්සිංහයන් ගේ කැමරාව රූප ගත කෙරුණේ හස්ත ගතවය. කේ.ඩී.දයානන්ද ඇතුළු පිරිස ඔහුගේ සහාය පිරිස විය. තරුණවියේ නාහෙට නාහන ගතියෙන් යුත් හතර රියන් පුරුෂයෙකු වු නිහාල්සිංහ හැරුණු විට එලෙස එබඳු වැලි කාන්තාරයක කැමරාව අතින් ගෙන චිත්‍රපටයක් රූප ගත කරනු සිහිනෙන්වත් සිතිය නොහේ. වැලිකතර චිත්‍රපටය සඳහා නිහාල්සිංහ මෙරට වෘත්තාන්ත චිත්‍රපටයක් සඳහා මුල්වරට ඇනමොෆික් පුලුල් තිර කාචය භාවිත කළේය. එය මෙරටට ගෙන්වන ලැබුවේ 1968 වසරේදීය. එය ආනයනය කිරිම ද දීර්ඝ ව්‍යායාමයක් ප්‍රතිඵලයකි. ඒ සදහා එවකට පැවැති නිතිය අනුව බලදාරින්ගෙන් අවසර ගත යුතුව තිබිණ. මෙම අවසරය ලබා දුන්නේ ජෝතියසේන වික්‍රමසිංහ මහතා ය. වික්‍රමසිංහ එවකට ආනයන පාලක නිලධාරියාව සිටි අතර මෙරට රජයක් මඟින් පත් කරන ලද මුල්මචිත්‍රපට කොමිෂමේ සභාපතිවරයා විය. අලුත් කැමරාවෙන් කෙටිකතාව නම් කෙටි චිත්‍රපටය නිහාල්සිංහයන් විසින් නිර්මාණය කරන ලද්දේ වැලිකතරට පෙර අත්හදා බැලීමක් හැටියටය.

කෙසේ වෙතත් මෑතක මුද්‍රණ ද්වාරයේන් එළි දුටු වැලිකතර තිරනාටකය කියවන්නෙකුට එහි ඇතැම් දර්ශන වෙනස් ව ඇති අන්දම දැක බලා ගත හැකිය. අධ්‍යක්ෂවරයා එමගින් වඩා බලසම්පන්න රූප පද්ධතියකට චිත්‍රපටය යොමු කරනු අපට දැක ගත හැකිය. එහෙත් වැලිකතරේ ගෝරිං මුදලාලිට දුවන්න සැලැස්වීම නොකළ යුත්තකැයි පසුකලෙක නිහාල්සිංහ පසුකලෙක පිළිගත්තේය.

වැලිකතරේ සිදුවන ද්වන්ද අරගලය සමග එහි පරිසරය ද චරිතයක් බවට පත් කර ගන්නට නිහාල්සිංහයන් මෙහිදි උත්සාහ දරා තිබිණ.

වැලිකතර තිර ගත කරවීමේ දී බලවත්ම ගැටලුව ඇතිවූයේ සිනමා ශාලා සම්බන්ධවමය. අලුත් කැමරාව ආනයනයේ දී ද මතු කළ ප්‍රශ්ණය වූයේ එයයි. මෙම චිත්‍රපටය රූප ගත කිරිමෙන් පසු එය තිරගත කරවීම සම්බන්ධවය. සිංහල චිත්‍රපට තිර ගත වන කිසිදු සිනමාහලක් අති විශාල පුළුල් තිරයේ චිත්‍රපට තිර ගත කරවීමට සුදුසු නොවිණ. චිත්‍රපටය ප්‍රදර්ශනය බාර ගන්නා ලද සිනමාස් සමාගම මරදානේ ගාමිණී ඇතුළු සිනමාහල් තිස් පහක් වහා වැලිකතරට සූදානම් කළේය. ඒ අවධියේ වැඩිම පිටපත් සංඛ්‍යාවක් එකවර මුදා හරින ලද චිත්‍රපටය ද වැලිකතරයි. එම්පයර් සිනමාහලේ තිර ගත කළ මුල්ම සිංහල චිත්‍රපටය ද එය විය.

කෙසේ වෙතත් වැලිකතර දෙස ආපසු හැරී බලද්දී චිත්‍රපටෙය් එන නොගැළපෙන අංගය එහි සංගීතය යැයි සිතීම අරුමයක් නොවේ. සත් සමුදුර වැනි විශිෂ්ට සංගීත යක් නිර්මාණයක් කළ සෝමදාස ඇල්විටිගලගේ සංගීතය ද චිත්‍රපටයේ රිද්මය හා පැහෙන්නක් නොවේ. එය සම්ප්‍රදයික චිත්‍රපටයක් සිහිගැන්වීය. අමරදේවයන් විසින් ගයනු ලබන මහගම සේකරයන් විසින් රචනා කරන ලද එහි එන ගිනිගත් මරු කතරේ.ඔබ යන මග නොදැනේ ගීතය ද සේකරයන්ගේ සෙසු චිත්‍රපට ගී හා සසඳද්දී ඉහල අගයක් ගන්නා එකක් නොවේ. කොටින්ම වැලිකතර සිහිපත් වුව ද එහි එන ගීතය සිහියට එන්නක් නොවේ.

වැලිකතර වාණිජමය වශයෙන් සාර්ථක වනු ඇතැයි නිහාල්සිංහ විශ්වාස කළේ නැත. සති දෙක තුනකින් එය සිනමා ශලාවලින් ගැලවෙනු ඇතැයි ඔහු ගණං හැදුව්ය. ගාමිණී මේ නිසාම නිහාල්සිංහ හා ඔට්ටුවක් ඇල්ලුවේය. එනම් චිත්‍රපටය ලක්ෂ අටකට වඩා ආදායමක් උපයන බවටය. චිත්‍රපටයේ රූප ගත කිරිමේ වියදම රුපියල් හැට පන් දහසකි.ලක්ෂ අටකට පසු වැඩිවන සෑම ලක්ෂයකටම ගාමිණීට බියර් බෝතල් දුසිම් දොළහක් නිහාල්සිංහ දිය යුතය. ආදායම නොලදහොත් ගාමිණී එය නිහාල්සිංහයන්ට දිය යුතුය. අවසානයේ ලක්ෂ එකොලහකදී නිහාල්සිංහ විසින් ඔට්ටුව ඒක පාර්ශවීය ලෙස අවසන් කරන ලද්දේ ගාමිණී ගේ විරෝධය නොතකමින්ය.

වැලිකතර මෑතක නරඹද්දී මට ඇති වූ ප්‍රශ්ණයක් මෙලෙසය. එය අසන්නට ඩී.බී.නිහාල්සිංහ, තිස්ස අබේසේකර, ගාමිණී ෆොන්සේකා. පමණක් නොව ජෝ අබේවික්‍රම යන් ද අද නැත. එනම් වික්‍රම රන්දෙණිය යාපනයේ රාජකාරි නොකරන්නට ගෝරිං මුදලාලි හා වික්‍රම කිසිවිටෙක මුණ නොගැසෙනු ඇත. ඔහු වික්‍රමට එරෙහිව අවි ඔසවන්නේ එනම් තම නැගණිය වෙනුවෙන් පලිගන්නට කල්මැරුවා නම් වික්‍රම යාපනයට නොපැමිණයේ නම් ඔහු උතුරට වී සිය පාතාල බලය ගොඩ නංවාගෙන දැහැමින් සෙමෙන් ජීවත් වන්නට ඉ ඩ තිබුණා නොවේද? එමෙන්ම මෙරට නින්දගමක ජීවත් වන සුදුබණ්ඩාගේ වාසගම ඔහු එහි පීඩිතයකු නොවන බව පෙන්වා දෙන්නනකි. එබැවින් ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව තම නැගණිය වික්‍රමට පාවා දෙන්නේ ඉහල යාමේ බලාපොරොත්තු ඇතිවයැයි සිතීම අසාධාරණ ද? පාතාල මැරයකුවුව ද ඔහුගේ හැසිරිම ඉහල සමාජයේ සාමාජිකයකුවීමේ අපේක්ෂාව මැනවින් ප්‍රකට කරන්නකි. වික්‍රම කිසිවිටෙකත් මුතුමැණිකාට බලහත්කාරකමක් කරන්නේ නැත. අවම වශයෙන් බලහත්කාරයෙන් සුදුබණ්ඩාට බියර් පොවන්නේ ද නැත. වික්‍රම සුදුබණ්ඩාගේ නැගණිය අතහරින්නේ සදාචාරාත්මක හේතව මත විනා අන් කිසිදු හේතුවක් නිසාවෙන් නොවේ. එසේ නොවිණි නම් වික්‍රමමුතුමැණිකා සමඟ විවාහ වනු ඇත. ගීතා කෙරෙහි රන්දෙණිය රටේ මහත්තයාගේ ඇති විරෝධය වෙනත් එකකි. මුතුමැණිකා කෙරෙහි ඇතිවන්නේ වෙනත් කාරණයක් නිසාය. මේ සියලු ගැටළු අපට මතුවනුයේ වැලිකතර යනු නරඹන සැමවිටම අලුත් මානයකින් රස විදිය හැකි සර්වකාලින සිනමාකෘතියක් නිසා බව එය ඉතිරි කර අපෙන් වෙන්වූ පිරිසටත් එය තනන්නට වෙහෙස වූ පිරිසටත් ගෞරවයක් ලෙස ලියා තැබිය යුතුය.

 

 

අධ්‍යක්ෂණය-කැමරා අධ්‍යක්ෂණය-සංස්කරණය- ඩී.බී.නිහාල්සිංහ

නිෂ්පාදනය - ඩී.බී.නිහාල්සිංහ - ස්වර්ණමාලි ගුණතුංග.

තිර රචනය - දෙබස්-කතාව - තිස්ස අබේසේකර

සංගීතය- සෝමදාස ඇල්විටිගල

ගේය පද - මහගම සේකර

ගායනය - ඩබ්ලිව්.ඩී.අමරදේව

වේශ නිරූපණය - රෙජී ද සිල්වා

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

සහාය අධ්‍යක්ෂණය - රංජිත් නිව්ටන් ප්‍රනාන්දු

ගාමිණී ෆොන්සේකා,(වික්‍රම) ජෝ අබේවික්‍රම (ගෝරිං/සුදුබණ්ඩා) සුවිනිතා වීරසිංහ (ගීතා), කිත්සිරි පෙරේරා (ප්‍රධාන පොලිස් පරීක්ෂක අත්තනායක), පියසේන අහංගම (පොලිස් පරීක්ෂක (අබේරත්න) කරු නානායක්කාර (පොලිස් පරීක්ෂක) ජී.ඩබ්ලිව්.සුරේන්ද්‍ර (උසස් පොලිස් නිලධාරියා), නවනන්දන විජේසිංහ (ලැවනිස්)දයානන්ද ජයවර්ධන (බාටිං) රත්නපාල ගල්හේන (ටාසන් කුමාර්) දේවිකා කරුණාරත්න (මුතුමැණිකා), බුද්ධි වික්‍රම, මාක් ඇන්ටනි ප්‍රනාන්දු, එල්සන් දිවිතුරගම, චන්ද්‍රා කළුආරච්චි, පී.බී.මය්ල්ලෑව

 

 

 

ඡායාරූප විශේෂ ස්තූතිය - දයාන් විතාරණ