අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද?

නොවැම්බර් 25, 2021

සිංහල කථානාද සිනමාවට එළඹෙන ජනාවරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් මෙතැන් සිට විශේෂාංගයක් පළ කිරීමට තීරණය කළෙමු. එනම් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කතානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (BFI) "Sight & Sound" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මෙහිදී දැනට ජීවතුන් අතර සිටින චිත්‍රපට තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන් හෝ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හොඳම චිත්‍රපටයට සම්මාන දිනා ඇති අධ්‍යක්ෂවරුන් මෙම මත විමසීමට ඇතුළත් වන අතර සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. මෙම මත විමසීම සඳහා අධ්‍යක්ෂවරුන් චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සම්බන්ධ කර ගැනේ.

ඒ. ඒ. ජුනයිඩීන්

චිත්‍රපට තිරනාටක රචකයෙක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ මෙරට දෙමළ චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ වූ අධ්‍යක්ෂවරයෙකි ඒ.ඒ. ජුනයිඩීන්. මෙරට සිනමාවට සම්බන්ධ වුණු මුස්ලිම් ජාතික අධ්‍යක්ෂවරු අතළොස්සෙන් කෙනෙකු වන ඒ.ඒ. ජුනයිඩීන් විසින් සොමි බෝයිස්, කුරුමිට්ටෙක් ඇවිල්ලා, කොට උඩ එක්ස්ප්‍රස් යන චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇත. 

1. කඩවුණු පොරොන්දුව - ජෝතිශ්. සිංහ 
2. හදවත් නැත්තෝ - සුබයිර් මකීන් 
3. දරු දුක - ඩොමී ජයවර්ධන 
4. සත්සමුදුර - සිරි ගුණසිංහ 
5. සුන්දර බිරිඳ - වී.යෝගනාදන් 
6. සාරවිට - තිස්ස ලියනසූරිය 
7. සිකුරු තරුව - එල්.එස්.රාමචන්ද්‍රන් 
8. කුරුලු බැද්ද - එල්.එස්. රාමචන්ද්‍රන් 
9. රන්මුතුදූව - මයික් විල්සන් 
10. කුරුමිට්ටෙක් ඇවිල්ලා - ඒ. ඒ. ජුනයිඩීන්

ජයන්ත චන්ද්‍රසිරි

මීට කලකට ඉහතදී අපේ සිනමාවේ අනාගතය කවරක්දැයි ඇසූ කල ආචාර්ය තිස්ස අබේසේකර එකවරම අත දිගු කර පෙන්වූයේ ජයන්ත චන්ද්‍රසිරිය. පුවත්පත් කලාවේදියෙකු ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඔහු වේදිකා නාට්‍යකරුවෙකු, චිත්‍රකතා රචකයෙකු ආදී වශයෙන් විවිධ කලාවේ විවිධ වූ අංගයන් ප්‍රගුණ කළ හෙතෙම සාගරයක් මැද චිත්‍රපටයේ රංගන ශිල්පියකු ලෙස සිනමාවට එක් විය. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස දඬුබස්නාමානය ටෙලිනිර්මාණය තුළින් තම දක්ෂතා පෙන්වූ ජයන්ත චන්ද්‍රසිරි මෙරට සිනමාවේ නව මානයක් සොයා ගිය අධ්‍යක්ෂවරයෙකි. අග්නිදාහය, ගරිල්ලා මාකටින්, සමනල සංධ්වනිය, මහරජ, ගැමුණු ඝරසර්ප යන චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර ඔහුගේ මහරජ ගැමුණු චිත්‍රපටය වෙනුවෙන් හොඳම චිත්‍රපටය සඳහා සරසවිය සම්මානය හිමි විය.

1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
2. තුංමංහංදිය - මහගම සේකර 
3. ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
4. සෙයිලම - එච්.ඩී. ප්‍රේමරත්න 
5. අහස් ගව්ව - ධර්මසේන පතිරාජ 
6. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ 
7. මංගල තෑග්ග - එච්.ඩී. ප්‍රේමරත්න 
8. පළඟැටියෝ - වසන්ත ඔබේසේකර 
9. බිත්ති හතර - පරාක්‍රම ද සිල්වා 
10. හාරලක්ෂෙ - ටයිටස් තොටවත්ත

සුරේෂ් කුමාරසිංහ

චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි සුරේෂ් කුමාරසිංහ තරුණ නිර්මාණකරුවෙකු ලෙස හැඳීන්විය හැකිය. උකුසු ඇස්, රෝස දිගන්තේ, සිහින දෙව්දුව යන චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත.

1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්  
2. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ 
3. හුලවාලි - ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වා 
4. අහස් ගව්ව - ධර්මසේන පතිරාජ 
5. දෛවයෝගය - එස්.කේ. ඕජා 
6. පාරදිගේ - ධර්මසේන පතිරාජ 
7. දඩයම - වසන්ත ඔබේසේකර 
8. ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
9. කැඩපතක ඡායා - වසන්ත ඔබේසේකර 
10. පරසතු මල් - ගාමිණී ෆොන්සේකා

ඉනෝකා සත්‍යාංගනී

වර්ථමාන සිනමා පරම්පරාවේ සිනමාව සිය ප්‍රකාශන මාධ්‍ය ලෙස තෝරාගත් එකම කාන්තාව ඇයයි. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයෙන් ක්ෂේත්‍රයට පිවිසෙන ඇය සුළං කිරිල්ලි සහ සින්ඩරෙල්ලා යන චිත්‍රපට ද්වය චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත. මේ අතරින් සුළං කිරිල්ලී චිත්‍රපටයට හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණයට හිමි සරසවිය සම්මානය හිමිවිය. ජාතික මට්ටමෙන් මෙන්ම අන්තර් ජාතික මට්ටමෙන්ද සම්මාන රාශියක් දිනාගත් අධ්‍යක්ෂවරියකි ඇය. සරසවිය සම්මාන උලෙළේ ලෙස්ටර් හේම්ස් පීරිස් සම්මානය තෝරා පත් කරගන්නා විනිශ්ච මණ්ඩලයේ සාමාජිවරියක් ලෙස ද ඇය කටයුතු කළාය.

1. පාර දිගේ - ධර්මසේන පතිරාජ 
2. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස් 
3. හංස විලක් - ධර්මසිරි බණ්ඩාරනායක 
4. පළඟටියෝ - වසන්ත ඔබේසේකර 
5. හෙවනැළි ඇද මිනිස්සු - පරාක්‍රම සිල්වා 
6. දඩයම - වසන්ත ඔබේසේකර 
7. සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා - සුමිත්‍රා පීරිස් 
8. තුංමංහංදිය - මහගම සේකර 
9. පරසතු මල් - ගාමිණි ෆොන්සේකා 
10. වැලිකතර - ඩී බී නිහාල්සිංහ

මේ සතියේ හොඳම චිත්‍රපටය ලෙස ලැබී ඇති වැඩි ඡන්ද සංඛ්‍යාව මෙසේයි.

නිධානය - 03