අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද?

දෙසැම්බර් 23, 2021

සිංහල කථානාද සිනමාවට එළඹෙන ජනාවරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් මෙතැන් සිට විශේෂාංගයක් පළ කිරීමට තීරණය කළෙමු. එනම් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කථානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (BFI) "Sight & Sound" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මෙහිදී දැනට ජීවතුන් අතර සිටින චිත්‍රපට තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන් හෝ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හොඳම චිත්‍රපටයට සම්මාන දිනා ඇති අධ්‍යක්ෂවරුන් මෙම මත විමසීමට ඇතුළත් වන අතර සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. මෙම මත විමසීම සඳහා අධ්‍යක්ෂවරුන් චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සම්බන්ධ කර ගැනේ.

- නිහාල්සිංහ සහ උදයකාන්ත ඉදිරියෙන් 
- නූතන සිනමා නිර්මාණවලට වැඩි ඉඩක්

නාලක විතානගේ 

වේදිකා නාට්‍යකරුවෙකු ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි නාලක විතානගේ ටෙලිනාට්‍ය පිටපත් රචකයෙකු ලෙසද කටයුතු කර පසුව සිනමා අධ්‍යක්ෂණයට යොමු විය. අනිත්‍යා, රූපාන්තරණය, නිලංජනා, සරුංගල්, ඊතලය යන චිත්‍රපට ඔහු අධ්‍යක්ෂණය කර ඇත. 

1. අහස් ගව්ව - ධර්මසේන පතිරාජ 
2. වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ 
3. හංසවිලක් - ධර්මසිරි බණ්ඩාරනායක 
4. දෙවෙනි ගමන - එච්.ඩී. ප්‍රේමරත්න 
5. කිනිහිරියා මල් - එච්.ඩී. ප්‍රේමරත්න 
6. ගිනි අවි සහ ගිනි කෙළි - උදයකාන්ත වර්ණසූරිය 
7. බහුභාර්යා - උදයකාන්ත වර්ණසූරිය 
8. ගාමණී - සරත් වීරසේකර 
9. ආකාස කුසුම් - ප්‍රසන්න විතානගේ 
10. Rush - මහේෂ් මුණසිංහ

සුරංග ද අල්විස් 

වර්තමාන පරපුරේ ක්‍රියාශීලී සිනමාකරුවෙක් ලෙස සුරංග ද අල්විස් හැඳීන්විය හැකිය. ඔහු මෙරට චිත්‍රපට ඩී.වී.ඩී.කරණය ආරම්භ කිරීමට මුලපිරූ අයෙකි. සිනමාහල් හිමියෙක්, චිත්‍රපට ප්‍රදර්ශකයෙක් මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයෙක්ද වන ඔහු පසුකාලීනව චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිස ඇත. හොරා පොලිස්, My Name Is Bandu, රජ හොරු යන චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලදි.

1. ගිනි අවි සහ ගිනි කෙළි - උදයකාන්ත වර්ණසූරිය  
2. වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ 
3. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ 
4. පාලම යට - එච්.ඩී. ප්‍රේමරත්න 
5. සුද්දිලාගේ කතාව - ධර්මසිරි බණ්ඩාරනායක 
6. කෙළිමඬල - ඩී.බී. නිහාල්සිංහ 
7. ඔබටයි ප්‍රියේ ආදරේ - සුනිල් සෝම පීරිස් 
8. පාර දිගේ - ධර්මසේන පතිරාජ 
9. ආරාධනා - විජය ධර්ම ශ්‍රී 
10. මල්දෙනියේ සිමියොන් - ඩී.බී. නිහාල්සිංහ

මේ සතියේ හොඳම චිත්‍රපටය ලෙස ලැබී ඇති වැඩි ඡන්ද සංඛ්‍යාව මෙසේයි.

ගිනි අවි සහ ගිනි කෙළි - 02 
වැලිකතර - 02