‘රශ්මි’ සමඟ ප්‍රීතිරාජ් සිල් බිඳගත් හැටි හෙට තිරයට

මාර්තු 17, 2022

ඇගේ නම රෂ්මි. රශ්මිට තිබුණා සැලුන් එකක්. ඇය තමන්ගේ එදිනෙදා වියදම් හොයාගත්තේ මේ සුළු ව්‍යාපාරයෙන්. රශ්මි සුරූපී තරුණියක්. නමුත් ඇය විවාහ වෙලයි හිටියේ. රශ්මිගේ සැමියා අමල්. ඔහු කෙළිලොල් තැනැත්තෙක්. මේ හේතුවෙන් රශ්මි කෙරෙහි වැඩි අවධානයක් අමල්ට තිබුණේම නැති තරම්. රශ්මිට අවැසි ආදරය ඔහුගෙන් ලැබුනේ නැහැ. මේ අතරතුරදී රශ්මිට හමුවෙනවා ආකාෂ් නැමැති තරුණයෙක්. වෘත්තියෙන් මාධ්‍යවේදියකු වන ආකාශ් නවකතාකරුවෙකු ලෙසද ප්‍රකටයි. රශ්මි ආකාෂ්ට බැඳෙන්නේ තමන්ට අමල්ගෙන් නොලැබුණු ආදරය ඔහුගෙන් ලැබුණු නිසා. රශ්මි, අමල් සහ ආකාශ් සැබෑ ලෝකයෙහි ජීවත් වන චරිත. ඔවුන්ගේ ඒ කතාව දැනගත් චිත්‍රපට නිෂ්පාදක ප්‍රීතිරාජ් වීරරත්න තීරණය කරනවා ඒය මූලික කරගනිමින් චිත්‍රපටයක් හදන්න. එය නම් කරන්නේද රශ්මි යනුවෙන්. මේ තිදෙනාගේ කතාව මා නිම කළ තැනින් එහාට දිව යනවා. එතැනින් එහාට ඔවුන් මුහුණ පාන්නේ නොසිතූවිරූ සිදුවීම් මාලාවකට. එළැඹෙන 18 වැනිදා සිට (හෙට) රශ්මි සිනමාපටය තිරයට එන්නට සූදානම්. උපේක්ෂා ස්වර්ණමාලි, පුබුදු චතුරංග, අකලංක ගනේගම, ලකී ඩයස්, රජිත හිරාන්, අනුෂා රාජපක්ෂ, නෙතු ප්‍රියංගිකා, ලක්ෂිකා ජයවර්ධන, සංක ප්‍රසාද්, ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රීමාල් වෙඩිසිංහ, විමල් කුමාර ද කොස්තා, ජයසේකර අපෝන්සු, දුලිකා මාරපන, විල්සන් කරු, සරත් සිල්වා, ටෙඩී විද්‍යාලංකාර, කීර්ති රංජිත් පීරිස් රශ්මි සඳහා රංගනයෙන් දායක වනවා. ආරාධිත රංගනයෙන් මහේන්ද්‍ර පෙරේරා, සුසිලා කෝට්ටගේ, මානෙල් වානගුරු, මානෙල් චන්ද්‍රලතා, මියුරි සමරසිංහ සහ රුවන්ති මංගලා, එක් වුණා. ඉරාජ් වීරරත්නගේ සංගීතයට සමිතා මුදුන්කොටුව සමඟින් රන්ජන් සාලිය ගැයූ අතිශය ජනප්‍රියත්වයට පත්වූ සිල් බිඳගන්නෙ ගීතය අන්තර්ගත වන්නේද මෙම චිත්‍රපටයටයි. ඒ ගීත රචනා කර තිබෙන්නේ වසන්ත දුක්ගන්නාරාළ. කැමරා අධ්‍යක්ෂණයෙන් කුලරුවන් ගමගේ, වර්ණ සංයෝජනයෙන් සහ සංස්කරණයෙන් ඩිලාන් ගුණවර්ධන, සංස්කරණ සහායෙන් සිතුම් සංජීව සහ සුරේෂ් කුමාරසිංහ, අංග රචනයෙන් සරත් රණවීර, කලා අධ්‍යක්ෂණයෙන් සරත් සමරවික්‍රම සහාය අධ්‍යක්ෂණයෙන් කණිෂ්ක බණ්ඩාර මේඝසූරිය, හේශාන් මියුරංග කෝදාගොඩ සහ රන්ජන ප්‍රේමරත්න, නිෂ්පාදන සහායෙන් රිශිනි වීරරත්න ‍රශ්මි සඳහා දායක වුණා. කතාව දෙබස් තිරරචනය නිෂ්පාදනය මෙන්ම අධ්‍යක්ෂණය ප්‍රීතිරාජ් වීරරත්නගෙන්. නොම්මර 17 චිත්‍රපට නිෂ්පාදනය කරමින් නිෂ්පාදකවරයකු ලෙස සිංහල සිනමා කර්මාන්තයට එක්වූ ප්‍රීතිරාජ් ඉන් අනතුරුව ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම්, සුර විර චන්ඩියො, පුදුමයි ඒත් ඇත්තයි, යන චිත්‍රපට නිෂ්පාදනය කරනු ලැබුවා. ඒ අතරින් නොම්මර 17 ආදායම් වාර්තා තබමින් තිරගත වුණා මෙන්ම වසරේ ජනප්‍රියම සිනමාපටයට හිමි සරසවිය සම්මනයත් හිමිකර ගත්තා. ප්‍රීතිරාජ් අධ්‍යක්ෂවරයෙකු වන්නේ තිත්ත ඇත්ත සිනමාපටය නිර්මාණය කරමින්.