උපන්දිනය දා සිදුවුණ අද්භූත සිදුවීම හැපි බර්ත් ඩේ

අරුණගේ සිව්වැනි සිනමාපටය
මාර්තු 24, 2022

 

සුබම සුබ උපන්දිනයක් වේවා..

නීටා සපරමාදු මහත්මිය තම වැඩිමහල් දියණියගේ 18 වැනි උපන්දිනයදා ඇගේ හිස සිඹිමින් පැවසුවාය. නීටා සහ ඇගේ දියණයන් දෙදෙනා මේ වනවිට සිටින්නේ නීටාගේ පියාගේ සුවිසල් බංගලාවේය. ඇගේ පියාවූ සපරමාදු මහතා කෝටිපතියෙකි. ඔහු මේ වනවිට ජීවිතයෙන් සමුගෙන ගතවී ඇත්තේ මසකි. එහෙයින් මහ ලොකුවට නැතත් තමන්ගේ දියණියගේ 18 වැනි උපන් දිනය මේ නිවසේදී සැමරීමට නීටා තීරණය කළාය. උපන්දින කේක් ගෙඩිය කපමින් සියල්ල සුබවන්නට යැයි ඒ ඉතසිතින් ප්‍රාර්ථනා කළද පිට සිදුවෙමින් පවතින අත්භූත සිදුවීම ගැන කිසිවකු දැන සිටියේ නැත. සපරමාදු මහතා මිය යන්නට ප්‍රථමයෙන් තමා සතු සියලූ බූදලය පවරනු ලැබුවේ නීටාගේ වැඩිමහල් දියණිය වන නතාලිටය. ඒ බව දැන සිටියේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු සංඛ්‍යාවකි. සපරමාදු මහතාගේ ළඟම සේවකයෙකුවූ වික්ටර්ද ඒ අතර සිටියේය.

මෙච්චර ලොකු බූදලයක් තනි කෙනෙකුට මොනවා කරන්නද. ඔහු නිතර එලෙස සිතුවේය. එතැන් පටන් ඔහු සැලසුමක් අඳීන්නට පටන් ගත්තේය. එය ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තේ මේ උපන්දිනය සමරනදාය. නීටා සපරමාදු තම දියණියන් දෙදෙනා සමග මේ බංගලාවට පැමිණෙද්දීම අද්භූත සිදුවීමකට මුහුණ පෑවාය. ඒ නිසා ඔවුන් එනතුරු මග බලා සිටි මේ නිවෙසේ සේවිකාව වන මැණිකාගේ අතුරුදන්වීමය. එහි දිගුවක් එදින රාත්‍රියේදී සිදුවන බවට ඔවුන් දැන සිටියේ නැත. ඒ සුබ උපන් දිනයදා සිදුවූයේ කුමක්ද. ඒ කුතුහලය සංසිඳුවා ගැනීමට මෙම මස 24 වෙනිදා සිට තිරගත වන හැපි බර්ත් ඩේ චිත්‍රපටය නැරඹීමෙන් පුළුවන. ධර්මයුද්ධය, තී, යූ ටර්න්, තාල, ඒ ලෙවල්, ඩාන්සිං ස්ටාර්, උදුම්බරා, ගෝල් වැනි චිත්‍රපට නිෂ්පාදනය කළ සීමා සහිත මහරාජා සමාගම නිෂ්පාදනය කළ නවතම චිත්‍රපටය වන්නේ මෙයයි. වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස නමක් දිනාගත් අරුණ ජයවර්ධන මෙය අධ්‍යක්ෂණය කර තිබේ. ඔහු කුලුඳුලේ අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපටය වූයේ නිකිණි වැස්සය. හැපි බර්ත් ඩේ අරුණගෙ සිව්වැනි සිනමාපටයයි. නිකිණි වැස්ස, 1970 ලව් ස්ටෝරි, සහ මාරියා ඔහු මීට ප්‍රථම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර වෙයි.

හැපි බර්ත් ඩේ චිත්‍රපටයේ දිල්හානි ඒකනායක, ටාෂි කාලිදාස, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සූර්යා දයාරුවන්, රන්දික ගුණතිලක, සුරංගා රණවක, යොහනි හංසිකා හෙට්ටිආරච්චි, බන්දුල සූරියබණ්ඩාර, ප්‍රසන්න දැකුම්පිටිය සහ සුනිල් ප්‍රේමරත්න රංගන දායකත්වය ලබා දෙති. කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රියගෙනි. චින්තක ජයකොඩි එය සංගීතයෙන් රසගන්වා ඇත. සංස්කරණය සහ වර්ණ සංයෝජනයෙන් අසංක වික්‍රමසිරි, සහාය අධ්‍යක්ෂණයෙන් අමිල පහතගෙදර, කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් ප්‍රේමරත්න, අංග රචනයෙන් ප්‍රියන්ත රත්නායක නිෂ්පාදන කළමනාකරණයෙන් ගිහාන් පෙරේරා දායකත්වය ලබාදුන් හැපි බර්ත් ඩේ චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය මල්කි විජේමාන්නගෙනි. ශබ්ද සැලසුම්කරණය සසික රුවන් මාරසිංහගෙනි. මල්කි විජේමාන්න ගී පද රචනයෙන්ද චිත්‍රපටයට දායකවී තිබේ.