පළමු සුපිරි පෙම්වතා ප්‍රේම්ජයන්ත්

පේ‍්‍රම් ජයන්ත්
මැයි 5, 2022

 

ජනපි‍්‍රය සිනමාවේ ප්‍රථම පුරුෂ ප්‍රතිමූර්තිය ලෙස හඳුන්වන්නේ මෙරට රිදී තිරයේ ප්‍රථම සුපිරි තරු පෙම්වතා වූ පේ‍්‍රම් ජයන්ත් ය. හෙට්ටිආරච්චිගේ එම්මෑනුවෙල් ඇලෝෂියස් රුද්‍රිගු නමින් 1931 වසරේ උඳුවප්මස 24දාට යෙදුණු නත්තල් රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස්හිදී පිලිප් රොද්‍රිගු යුවළට ද්‍රාව උපන් ඔහුගේ පවුල සොයුරු සොයුරියන් සත් දෙනෙකුගෙන් යුතු විය. බලගතු කාසිය, සිංහ කොඩිය වැනි නාට්‍යවල රංගනයේ යෙදුණු ප්‍රවීණ රංග ශිල්පියකු මෙන්ම ජනපි‍්‍රය චිත්‍ර ශිල්පියකු වූ පිලිප් රොද්‍රිගු පියාගේ අඩිපාරේ යමින් පේ‍්‍රම් ජයන්ත් රංගනයට පිවිසියේ මදුරාසියේ මොඩර්න් චිත්‍රාගාරයේ අධිපති ටී.ආර්. සුන්දරම් නිෂ්්පාදනය කළ “සුජාතා” චිත්‍රපටයෙනි. ඒ වනවිට ඔහු ග්‍රෑන්ඩ්පාස් හි ශාන්ත ජෝසෆ් හා කොටහේන ශාන්ත ලුසියා පාසල්වලින් අධ්‍යාපනය නිම කර තිබිණි. සුජාතා හි එන “පේ‍්‍රම ගඟේ මැණික් වගේ අපි දෙන්නා හිතේ තිබූ ආදරේ” ගීතය අදටත් ඉතා ජනපි‍්‍රය නිර්මාණයකි. සුජාතා සිනමා රසිකයන් අතර කෙතරම් ආකර්ෂණයක් ඇති කළේද යත් එකල සාරි, හවරි, ආභරණ පමණක් නොව පැණි රස කැවිලි පවා සුජාතා නමින් නම් කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබිණ. සුජාතා හි ෆ්ලෝරීඩා ජයලත්ගේ පෙම්වතා වන නිහාල්ගේ චරිතයට පණ පෙවූ ඇලෝ රොද්‍රිගු යන නමට වඩා සිනමාවට සුදුසු නමක් වූ පේ‍්‍රම් ජයන්ත් යන්න ඔහු ආරූඪ නාමය ලෙස භාවිතයට ගත්තේය. උසට සරිලන මහතින් හා බොකුටු කොණ්ඩයෙන් ද සිහින් උඩු රැවුලෙන් ද යුතු මේ සුපිරි සිනමා තරුව එකල තරුණයන්ගේ මෝස්තර ආදර්ශය බවට ද පත් වූ බව රහසක් නොවේ. සටන් ජවනිකා ආදිය සමඟ වට්ටෝරු සිනමාව මෙරටට දායද කළ ප්‍රථම කෘතිය වූ සුජාතා චිත්‍රපටය අතිශය ජනපි‍්‍රය වුවද පේ‍්‍රම් ජයන්ත්ගේ පළමු චිත්‍රපටය වූයේ උමතු විශ්වාසයයි. එය තිරයට ආවේ පුදුම ලේළි චිත්‍රපටයෙන් සතියකට පසුවය. 1950 දශකයේ සුන්දර් සවුන්ඩ් මඟින් නිෂ්පාදනය කළ බණ්ඩා නගරයට පැමිණීම මෙරට චිත්‍රාගාරයකින් නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටය වන අතර එය සිනමා නාමාවලියේ 12 වැනි ස්ථානයේ රැදුණු සිනමා කෘතියයි. 1952 තිරගත වූ පුදුම ලේළි චිත්‍රපටයේ හොඳ ලේලිය ලෙස රංගනයේ යෙදෙමින් සිනමාවට අවතීර්ණ වූ නන්දා ලීලානායක හෙවත් ශ්‍යාමලී සමඟ එහි දර්ශනයක රඟපාද්දී ශ්‍යාමලී ගැසූ කම්මුල් පහරකට පේ‍්‍රම්ගේ දෑසින් කඳුළු පැන්නේය. එහෙත් එය තුටු කඳුළක් බවට පෙරළුණේ ඉන් දෙදෙනා අතර ඇති වූ බැඳීම 1953 ජූනි 23 දා සිදුවූ ඔවුන්ගේ විවාහය දක්වා වැඩි දියුණු වූ නිසාය. කෙසේ වෙතත් ටී.බී ඉලංගරත්නයන්ගේ අවවාදයක් පිළිගැනීමෙන් පසුව ශ්‍යාමලී සිනමාවෙන් ඉවත් වී පේ‍්‍රම්ගේ ගමනට රුකුලක් වූ අතර සුනිලා ජයන්ති, සන්ධ්‍යා, අනුෂා නිර්මලා දියණියන්ටත් ජගත් සහ ජනිත් පුතුන්ටත් ආදරණීය මව ලෙස කල්ගත කළාය. ඒ දූ පුතුන් අතරින් ජගත් රොහාන් පුතු සබීතා සහ මාලගිරවි චිත්‍රපටවල රංගනයට දායක වීමට වරම් ලැබු අතර පියාගේ ප්‍රචාරක ආයතනය පවත්වාගෙන යෑමට ද කටයුතු කළේය.

බී.ඒ.ඩබ්ලිව් ජයමාන්නට ඉන්දීය ශිල්පීන්ගෙන් චිත්‍රපට නාමාවලිය මුදවා ගන්නට තිබූ අවශ්‍යතාව සපුරාලන්නට සමත් වූයේ පේ‍්‍රම් ජයන්ත්ය. ඒ උමතු විශ්වාසය චිත්‍රපටයේ රංගනය මෙන්ම නාමාවලියද සකස් කරමිනි. එම චිත්‍රපටය ප්‍රදර්ශනය අතින් මෙන්ම ගී තැටි අලෙවියෙන් ද වාර්තා තැබූ චිත්‍රපටයක් විය. පේ‍්‍රම් ජයන්ත්, ෆ්ලොරිඩා ජයලත් පෙම්වතුන් වූ “සැඩ සුළං” චිත්‍රපටයේ “පෙම් කැකුළ පිපී එනවිට මහදේ” සහ “ජීවන මේ ගමන සංසාරේ” වැනි ගීත ද එදා මෙදා තුර පරම්පරා වෙනසකින් තොරව අතිශය ජනපි‍්‍රය මට්ටමේ පවතී.

වරද කාගෙද, සල්ලි මල්ලි සල්ලි, අවිශ්වාසය, පුරුෂ රත්නය, හෙට ප්‍රමාද වැඩියි, සිතක මහිම වැනි චිත්‍රපටවල මෙන්ම මෙරට පළමු වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් ආ සුභසරණ සහ සැප සිතේ චිත්‍රපටවලද ඔහු පෙම්වතා විය.

සහනය චිත්‍රපටයේ නිෂ්පාදනයට හවුල් වීම නිසා ඔහුට හතරවැනි තට්ටුවට යෑමට ද සිදු වී ඇත. රිදී තිරයේ සුපිරි පෙම්වතා වූ පේ‍්‍රම් ජයන්ත් වැඩිහිටි චරිතයකින් තිරයට ආ “සරණ” ඔහුගේ අවසන් රංගන දායකත්වය ලද චිත්‍රපටය විය. ගාමිණී ෆොන්සේකා සහ බැප්ටිස්ට් ප්‍රනාන්දු සමඟ ඔහු එක්ව ගොඩනැඟූ සෙවන් ආර්ට්ස් ප්‍රචාරක සමාගම සත පනහ චිත්‍රපටයෙන් පටන්ගෙන චිත්‍රපට කටවුට් හා පෝසටර් ආදිය නිර්මාණයට එක් විය. මෙරට වැඩිම කටවුඩ් ප්‍රමාණයක් ඇදි ශිල්පියා වන්නේද පේ‍්‍රම් ජයන්ත්ය. කිසිදු සිනමා සමාගමක මාසික වැටුපට නොබැඳුණු පේ‍්‍රම් ජයන්ත් අවසාන සමයේ සිය ප්‍රචාරක ආයතනයේ කටයුතුවල පමණක් යෙදුණු අතර 1997 මාර්තු 17 දින දිවි සිනමාවෙන් සදහටම සමුගත්තේය.

පේ‍්‍රම් ජයන්ත්ගේ රංගනය කෙතරම් රසික හද බැඳගත්තේද යත් එවක බිහි වූ දරුවකු වන පසුකාලීනව දේශපාලනයේ ඉහළ තනතුරු දැරූ සුසිල් පේ‍්‍රම් ජයන්ත් හිටපු අමාත්‍යවරයාට ඒ නම යෙදුණේ ඔහුගේ මව්පියන්ගේ සිනමා රසිකත්වය නිසා බව ඔහු පවසා ඇත.