බෙංගාලයෙන් සිනමාවට ආ අපේ හර්බි

හර්බි සෙනෙවිරත්න
මැයි 5, 2022

පනහ දශකයේ නළුවන් අතර හර්බි සෙනෙවිරත්න හට හිමි වූයේ සුවිශේෂ ස්ථානයකි. සිනමාවට පැමිණීමට පෙර ඔහු මිනර්වා නාට්‍ය කණ්ඩායමේ නළුවෙකු වූවා පමණක් නොව මෙරට නළුවෙකු වීමට පෙර ඉන්දියාවේ නළුවෙකු වූයේය. පාසල් අධ්‍යාපනයෙන් පසු හර්බි සෙනෙවිරත්න ඉන්දියාවේ කල්කටාව වෙත ගියේ නර්තනය පිළිබඳ හැදෑරිම වෙනුවෙනි. නමුත් ඔහුට සිදු වූයේ සර්කස් කණ්ඩායමක් සමඟ එක්වීමටය. අනතුරුව සිනමා පාඨමාලායක් වෙත යොමු වූ හර්බිට සුප්‍රකට ඉන්දීය සිනමාකරු බිමල් රෝයිගේ අන්ජන්ගර් නම් බෙංගාලි චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව උදාවිය.

ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය තැනීමේ අරමුණැතිව ශාන්ති කුමාර් ඉන්දියාවට පිටත්ව ගියේ මේ අතරතුරදීය. මෙරට පුරෝගාමි සිනමාකරුවෙකු වන ශාන්තිකුමාර් හර්බිගේ වැඩිමහල් සහෝදරයාය. යම් යම් ප්‍රමාද දෝෂ හේතුවෙන් සිංහල කතානාද සිනමාවේ දෙවැනි චිත්‍රපටය බවට පත් වූ අශෝකමාලා චිත්‍රපටයේ රංගනයට සහ සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කිරීමට ඔහුට අවස්ථාව උදා විය. හර්බි අශෝකමාලා චිත්‍රපටයේ සාලිය කුමරුගේ ඥාති සොයුරු සේන කුමරුගේ චරිතයට පණ පෙවූයේය.

කඩවසම් හර්බිගේ රංගනයන් දුටු සිනමා අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරු තම චිත්‍රපටවල ප්‍රධාන නළු චරිත වෙනුවෙන් ඔහු සොයා පැමිණෙන්නට වූහ. ජේ. සිංහා අධ්‍යක්ෂණය කළ වැරදුණු කුරුමානම, පෙරළෙන ඉරණම, බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න අධ්‍යක්ෂණය කළ හදිසි විනිශ්චය, සැඟවුණු පිළිතුර, උමතු විශ්වාසය, අයිරාංගනි, ශාන්ති කුමාර් අධ්‍යක්ෂණය කළ එදා රෑ, ජීවිත සටන, සංසාරේ, ටී. ආර් සුන්දරම් අධ්‍යක්ෂණය කළ රදල පිළිරුව, වන මෝහිණි, ක්‍රිෂ්ණරාම් අධ්‍යක්ෂණය කළ සූරයා, කේ. වෙන්කට් අධ්‍යක්ෂණය කළ සිරිපතුල, සේන සමරසිංහ අධ්‍යක්ෂණය කළ බඹර කලාපේ, කේ. ඒ ඩබ්ලිව් පෙරේරා අධ්‍යක්ෂණය කළ වාසනා, ළසඳා මෙන්ම දකුණු ඉන්දියාවේ ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂවරයෙකු වූ සේතු මාධවන්ගේ වීරවිජය චිත්‍රපටයද හර්බි දායක වූ චිත්‍රපට අතර වේ. එකම කතාවක් ඇසුරෙන් භාෂා පහකින් නිර්මාණය කළ චිත්‍රපට එකතුවක සිංහල චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වීමට හර්බිට අවස්ථාව ලැබුණි. එහි ප්‍රධාන නිළිය වූයේ කාන්ති ගුණතුංගය. එය, එස් සුබ්බයියා නායිදු අධ්‍යක්ෂණය කළ සූරසේන චිත්‍රපටයයි.

කේ. එස් සේතු මාධවන්ගේ වීරවිජය චිත්‍රපටය හර්බි මාරකයකින් ගැලවුණු චිත්‍රපටයක් විය. එහි ආනන්ද ජයරත්න සමඟ හර්බි හට දරුණු කඩු සටනක් යෙදී තිබුණි. ඒ වෙනුවෙන් මාස හතරක් පුරා පුහුණුව ලද හර්බි සහ ආනන්ද දර්ශන තලයට පිවියහ. එහිදි ආනන්ද විසින් එල්ල කළ කඩු පහරක් හර්බිගේ සිරුර පසාරු කර ගොස් නැවතුණේ කොඳු ඇට පෙළ අසලය. එය ගණනකට නොගත් හර්බි දිගටම රූගත කිරීමේ නියැළුණේ අද මෙන් නොව එදා එක් දර්ශනයක් යළි වරත් රූගත කිරීමේ අපහසුව හොඳීන් වටහා ගෙන තිබු නිසාය. අවසානයේ සේලම් රෝහලට ගෙන ගිය හර්බිට මාස හතරක් එහි නැවතී සිටින්නට සිදු විය.

සිංහල සිනමාවේ මුල් යුගයේ තිරයේ පෙම්වතුන් අතරින් හර්බිට හිමි වූයේ ඉහළ ස්ථානයකි. රුක්මණි දේවි, රීටා රත්නායක, කාන්ති ගුණතුංග, ජීවරාණි කුරුකුලසූරිය වැනි නිළියෝ තිරයේ ඔහුගේ පෙම්වතියෝ වූහ. හර්බි ගීතරචකයෙකු බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. චිත්‍රපට පහළොවකට පමණ සහය අධ්‍යක්ෂණයෙන් දායක වූ ඔහු චිත්‍රපට වෙනුවෙන් දෙබස් හා තිරරචනාද කර තිබේ. සිංහල සිනමාවට අධ්‍යක්ෂවරයෙකුද වූ හර්බි සෙනෙවිරත්න දරුවා කාගෙද සහ සමාජයේ අපි ඔක්කොම සමානයි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. සරසවිය රණ තිසර සම්මානයෙන් පිදුම් ලද සිංහල සිනමාවේ යුගයක වීරයා වූ හර්බි සෙනෙවිරත්න 1998 මාර්තු මස මෙලොවින් සමු ගත්තේ වයස අවුරුදු 72ක්ව සිටියදීය.