විශ්වීය රූපණවේදයේ ආසියානු පුරෝගාමියා ගාමිණි

ගාමිණි ෆොන්සේකා
මැයි 5, 2022

 

එදා මෙදා ශ්‍රී ලාංකේය සිනමාවේ පහළ වූ ප්‍රතිභාපූර්ණ , අග්‍රගණ්‍ය රූපණවේදියා හා දැවැන්ත සුපිරි තරුව ගාමිණිය.1936 මාර්තු 21 වැනිදා දෙහිවල උපත ලැබූ සෙම්බුගේ ෂෙල්ටන් ගාමිණි ෆොන්සේකා ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේය. ඔහු මුල්වරට රඟපෑවේ "මයුරී" පාසල් නාටකයේ ගැහැනු චරිතයකි. ප්‍රේම්නාත් මොරායස්ගේ යොමු කිරීමෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ "රේඛාව"(1956) හි සහය අධ්‍යක්ෂවරයකු ලෙසද සුළු දර්ශනයකට පෙනී සිටිමින්ද සිනමාවට පිවිසි ගාමිණි මුල්වරට උප ප්‍රධාන චරිතයක් රඟපෑවේ "දෛවයෝගය" චිත්‍රපටයෙහිය. මෙරට රූගත කළ ඩේවිඩ් ලීන්ගේ"The Bridge on the River kwai"  ලෝ ප්‍රකට චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයකු වීමේ භාග්‍යය ලැබූ ඔහු "සන්දේශය" (තම්ම්ට), "පිරිමියෙක් නිසා" (ප්‍රථම ප්‍රධාන චරිතය), "රන්මුතු දූව" (බන්දු) යන චිත්‍රපට ඔස්සේ එවක හොලිවුඩ් තිරයේ පැවැති (මාලන් බ්‍රැන්ඩෝගේ පුරෝගාමීත්වයෙන්) එහෙත් ආසියානු සිනමාවේ නොපැවති යථාර්ථවාදී විශ්වීය රූපණවේදය ආසියාවට හඳුන්වාදීමේ පුරෝගාමී රූපණවේදියා වූයේය. ඔහුට පෙර ආසියානු සිනමාවේ බිහිවූ දිලිප් කුමාර් (ඉන්දියාව), බල්රාජ් සහානි (ඉන්දියාව), ටොෂිරෝ මිෆුනේ (ජපානය) වැනි ප්‍රබල නළුවන්ගේ රංග ශෛලීන්හි දක්නට ලැබුණේ ශෛලිගත බව හා තාත්විකත්වය සහසංකලනය වූ රූපණවේදයකි. ජනප්‍රිය සිනමාවේ නළු ප්‍රතිරූපයට පළමුවරට සංකීර්ණත්වය (ගැටවරයෝ, ධීවරයෝ, චණ්ඩියා) හා කලාත්මක සිනමාවට ප්‍රතිවීර ප්‍රතිරූපය (පරසතු මල්) එක් කළ ගාමිණි මුල්වරට දිය යට දර්ශනවල රඟපෑ (රන්මුතු දූව) ආසියානු නළුවා ලෙස ඉතිහාස ගත වේ. ගම්පෙරළිය (ජිනදාස), පරසතුමල් (බොනී), වැලිකතර (වික්‍රම), නිධානය (විලී), හුලවාලි (ධාරා), අමල්බිසෝ (බයිසා), සරුංගලේ (නඩරාජා), සාගරයක් මැද (මොලදණ්ඩ හා රාමනායක), යුගාන්තය (කබලාන) ඔහු නිරූපිත විශිෂ්ට භූමිකා වේ. කලාත්මක සිනමාව තුළ අග්‍රගණ්‍ය නළුවා බවට පත් වීමට සමාන්තරව හේ ජනප්‍රිය සිනමාවේ දැවැන්ත පෞරුෂයක් ගොඩනංවමින් එහි සුපිරි තරුව බවට පත්විය. කාය වර්ධකයකු ලෙස ඔහු තාත්වික සටන් දේශීය සිනමාවට හඳුන්වා දීමටද පුරෝගාමී වූයේය. නළු, නිළි, කාර්මික ශිල්පීන්ගේ වෘත්තිය ගරුත්වය ආරක්ෂා කිරීමට අභීතව සටන් වැදුණු ගාමිණි සිනමා නළු නිළි හවුල හා හෙළ තිර නළු නිළි හවුල පිහිටුවීමට මූලික වී ක්‍රියා කළේය. එදා මෙදා ලාංකික සිනමාවේ චිත්‍රපටයක රඟපෑම සදහා වැඩිම මුදලක් අය කළ නළුවා ඔහුය. හොඳම නළුවා, ජනප්‍රිය නළුවා, හොඳම අධ්‍යක්ෂ ඇතුළු සරසවිය සම්මාන වැඩිම ගණනකට පාත්‍ර වූයේ ඔහුය. අන්තර්ජාතික විවෘත විශ්වවිද්‍යාලයෙන් ඔහුට සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමිණ. පරසතු මල් උතුමාණෙනි, කොටි වලිගය, නොමියෙන මිනිසුන් ඇතුළු චිත්‍රපට දහයක් ඔහු නිල වශයෙන් අධ්‍යක්ෂණය කළේය. කවියකු, ගීත රචකයකු, චිත්‍ර ශිල්පියකු හා කතා රචකයකු ලෙසද හේ දස්කම් පෑවේය. නියෝජ්‍ය කතානායක, උතුරු නැගෙනහිර ආණ්ඩුකාර ධුර හරහා විහිදෙන විවාදසම්පන්න, අදීන දේශපාලන භූමිකාවක්ද ඔහු සතු වේ. මහා නළු, හෙළ සිනමාවේ සක්විති යන විරුදාවලී ලත් ගාමිණි, ලාංකේය සිනමා රූපණයේ මුදුන් මල්කඩ, අත්පොත බවට පත්වෙමින් 2004 වසරේදී හෘදයාබාධයකින් නිදි යහනේදීම අවසන් හුස්ම හෙළුවේය.