කල්ලිවාද නැති කඩවසම් සේනාධීර

සේනාධීර රූපසිංහ
මැයි 5, 2022

 

මංගල රාත්‍රියේ මිය යන මනමාලයකුගේ චරිතයට පණ පොවමින් “ ජීවිත සටන” චිත්‍රපටයෙන් සිනමාවට එක් වූ සේනාධීර රූපසිංහ කෙටි ජීවිත සටනකින් පසු දිවියට සමුදුන්නෙකි. 1937 වසරේ සැප්තැම්බර් 15 වැනිදා කිරිඳිවැල මිල්ලතේ තිඹිරිගමදී උපන් ඔහු නිට්ටඹුව සංඝබෝධි මහා විද්‍යාලයේ මෙන්ම ගම්පහ විද්‍යාශේකවර විද්‍යාලයේ ඉගෙනුම ලද ළමා වියේ සිටම “පික්චර් පිස්සකු” විය. එහෙත් ඔහුට තිබුණේ නළුවකු වීමේ අපේක්ෂාව නොවේ. තිරයෙන් පිටුපස ශිල්පියකු වීමේ දැඩි උනන්දුවෙන් ඉන්දියාවේ මදුරාසිය බලා ගිය ඔහුට එහිදි මෙරට මුල් යුගයේ අධ්‍යක්ෂවරයකු වූ ශාන්ති කුමාර් මුණ ගැසිණි. එහිදී ඔහුගේ රූපකාය දෙස බැලූ ශාන්ති කුමාර්ගේ අදහස වූයේද සේනාධීර නළුවකු විය යුතු බවය. ඒ නිසාම ජීවිත සටන චිත්‍රපටයේ අයේෂා වීරකෝන් ශිල්පිනියගේ සැමියා ලෙස චරිත නිරූපණයට ඔහුට අවස්ථාව ලැබිණි.

ඉන්පසු ගතවූ දශක දෙකක කාලය තුළ මහ රෑ හමු වූ ස්ත්‍රීය, සූරයන්ගෙත් සූරයා, හතර දෙනාම සුරයෝ, එදත් සුරයා අදත් සූරයා, හරි මඟ, කළ කළ දේ පල පල දේ, ආදරේ හිතෙනවා දක්කම, හාර ලක්සෙ, කතුරු මුවාත්, සූර චෞරයා, අටවෙනි පුදුමය, අපරාධය හා දඬුවම, වීදුරු ගෙවල් ආදී චිත්‍රපට 28ක පමණ රංගනයෙන් දායක වීමට ඔහුට අවස්ථාව ලැබිණි.

කුඩා කල සිට ඔහුගේ අභිලාෂය මුදුන්පත් කරගනිමින් දැන් මතකද චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට අමතරව කතාව, දෙබස් සහ තිර රචක ලෙසද සීගිරි කාශ්‍යප හා අමතක වුණාද වැනි චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කළ ඔහු කිංකිණි පාද සහ කොළඹ හාදයෝ වැනි චිත්‍රපටවල දුෂ්ටයාගේ චරිතයද නිරූපණය කළේය. උසට සරිලන මහතින් යුතු දේහයක් හිමි ඔහු සටන් නළුවකු ලෙස රංගනයේ යොදවා ගැනීමට අධ්‍යෂක්වරු යුහුසුළුවීම පුදුමයක් නොවේ.

කිසිදු කල්ලියකට එක් නොවී සියලුදෙනා සමඟ සුහදව කටයුතු කළ ඔහු හරිම බඩු තුනක් චිත්‍රපටයේ ද්විත්ව චරිත රංගනයට මෙන්ම නිෂ්පාදනයටත් දෙබස් හා තිර රචනයටත් යොමු විය. එයින් ලැබූ ලාභයෙන් සුදු අම්මා නමින් චිත්‍රපටයක් නිර්මාණයට උත්සුක වුවද විවිධ හේතුමත එය වැළකිණ. එයින් ඔහු සිත් වේදනාවට පත්ව රෝගී වූවා පමණක්ම නොව තම අඹු දරුවන්ගේ සුඛෝපභෝගි විනෝදකාමී දිවි පෙවෙතද අහිමි වන්නට එය හේතු වූ බව එවක පුවත්පත්වල පවා වාර්තා වී තිබිණ. 1979 ජූලි 11 වැනිදා වයස අවුරුදු 42ක් තරම් කෙටි ආයුකාලයකින් ඔහු අකාලයේ දිවියෙන් සමුගන්නට හේතුව ද මේ සිත් තැවුල බව වරක් ඔහුගේ බිරිය පවසා තිබේ.

අවසන් වතාවට ඔහු රංගනයේ යෙදී තිබුණේ ටක් ටික් ටුක් චිත්‍රපටයේය. ඔහුගේ මරණය පිළිබඳ විශේෂත්වය වන්නේ ඔහු රඟපාමින් සිටි චිත්‍රපටයේ නම 5.45 වීමත් ඔහුගේ අවසන් හුස්ම හෙළූ මෙහොත ද 5.45 ලෙස සටහන් වීමත්ය.