සාහිත්‍යධාරී රූපණවේදී ටෝනි

ටෝනි රණසිංහ
මැයි 5, 2022

 

රේඛාව බිහිව දස වසරක් ගෙවෙනවිට සිංහල සිනමාවට විශිෂ්ටතම රූපණවේදීන් තිදෙනෙකුගේ ආගමනය සිදුවිය. ඒ ජෝ අබේවික්‍රම, ගාමිණි ෆොන්සේකා සහ ටෝනි රණසිංහය. දකුණු ඉන්දීය සිනමානළු ආකෘතියේ හැඩතල වියැකී නොතිබි සමයක, ටෝනිගේ හොලිවුඩ් හෙවත් බටහිර ආකෘතියේ නළු පරපුරේ කඩවසම් පෙනුම සිංහල සිනමාවට වර්ණයක් එක් කළේය. ටෝනි සිනමාවට පිවිසියේ රන්තෝඩු වේදිකා නාට්‍යයේ රඟපාමින් ආණ්ඩුකාරවයා විසින් පිරිනමන ලද හොඳම නළුවාට හිමි සම්මානයද රැගෙනය.

ඉන් ඉක්බිතිව ටෝනි සිනමාවට එක්වන්නේ ශ්‍රී ලාංකීය සිනමා සලකුණු ලෝක සිනමාවට මුසු කළ ලෙස්ටර් ජේම්ස් පීරීස්ගේ 'ගම්පෙරළිය' (1963) චිත්‍රපටයෙනි. ගම්පෙරළියෙන් පසුව ටෝනි ප්‍රධාන චරිතයට පණ දෙන්නේ දෙලොවක් අතර චිත්‍රපටයි. පසුව රන්සළු, හන්තානේ කතාව, දුහුළු මලක්, අහසින් පොළොවට, ගඟ අද්දර, සප්ත කන්‍යා චිත්‍රපට සුවිශේෂී මං සලකුණු සනිටුහන් කළ චිත්‍රපට විය. ටෝනි ගැන ඉන්දියාවේ ෆිල්ම් ෆෙයාර් සඟරාවේ කර්තෘ වී. කේ. කරන්ජියා සඳහන් කරන්නේ ' ටෝනි තරම් කඩවසම් නළුවෙක් භාරතයේවත් නොමැති බවයි'. 1966 වසරේ පරසතුමල් චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහය නළුවාට හිමි සරසවිය සම්මානය දිනාගත් ටෝනි 1969 වසරේ හන්තානේ කතාව වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානයද හිමි කරගනී. 1976 වසරේදී නැවතත් දුහුළු මලක් චිත්‍රපටය වෙනුවෙන් සම්මානයට පාත්‍රවන ඔහු අහසින් පොළොවට සිනමාපටය වෙනුවෙන් 1979 දී හොඳම නළුවා ලෙස ජනාධිපති සම්මානයට පාත්‍ර විය. ඔහු රඟපෑ සප්ත කන්‍යා සිනමාපටය වෙනුවෙන් හොඳම සහය නළුවාට හිමි සරසවිය සම්මානය ද, ස්වර්ණ සංඛ සම්මානය ද, ජනාධිපති සම්මානය ද ඕසීඅයිසී සම්මානයද හිමිවිය. රඟපෑම වෙනුවෙන්ම පමණක් නොව ඔහුගේ තිර රචනා සඳහාද ටෝනි සම්මානයට පාත්‍රවිය. කොටිවලිගය, කෙළිමඬල, අවරගිර, පවුරුවළලු වැනි තිර රචනා සඳහා සරසවිය සම්මාන හිමිවිය. චිත්‍රපට 115 ක පමණ රඟ පෑ ටෝනි අමරණීය මතක රැසක් කලා ලොවට එක් කර 2015 ජුනි මස 16 වන දින සිය දිවියෙන් සදහටම සමු ගත්තේය.