දුෂ්ටයකු නොවූ සටන්කාමියා රොබින්

රොබින් ප්‍රනාන්දු
මැයි 5, 2022

 

පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු හෙවත් රොබින් ප්‍රනාන්දු සිංහල සිනමාවේ සටන් කලාවේ දැවැන්තයෙකි. සටන් නළුවෙක් ලෙසින් පමණක් නොව සටන් අධ්‍යක්ෂවරයෙකු ලෙසත් ඔහුගේ සේවය සිංහල සිනමාවට නොමඳව හිමිවිය. සිංහල සිනමාවේ සටන් ශිල්පීන් අතර දුෂ්ටයෙකු නොවී වීරයෙකු ලෙස කැපී පෙනුණු එකම නළුවා වන්නේද රොබින්ය. වීරයාගෙන් පහර කෑ සම්ප්‍රදායික සටන් නළුවාගේ භූමිකාවට නව අරුතක් ගෙන දෙමින් දේශීය සිනමාව නව මාවතකට යොමු කළ කලාකරුවෙක් ලෙස ද රොබින් ප්‍රනාන්දු සුවිශේෂ වේ.

කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද රොබින් කරාටේ, ජිම්නාස්ටික් වැනි ක්‍රීඩාවන් වෙනුවෙන් ජාතික වර්ණ ලබා ගත්තෙකි. තවද ඔහු ගිනි වළලු පැනීමට දක්ෂයෙකි. රොබින් සිනමාවට පැමිණියේ 1964 වසරේ ධීවරයෝ චිත්‍රපටයෙනි. නමුත් ඔහු ජනප්‍රිය වූයේ 1965 වසරේ තිරගත වූ චණ්ඩියා චිත්‍රපටයෙනි. එහි සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සමඟ සටන් ජවනිකාවකට පෙනී සිටිමින් ඔහු කළ රංගනය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නට සමත් විය. රොබින් සිනමාවට හදුන්වා දෙනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී ආරියරත්න කහවිට විසිනි. ඔහුගේ සිනමා මුල් ගුරුවරයා වුයේ ටයිටස් තොටවත්තයන්ය. රොබින් පළමු වරට ප්‍රධාන චරිතයක් වෙනුවෙන් එක් වූයේ දැවෙන පිපාසය චිත්‍රපටයටය. දක්ෂ සටන් සූරයෙකු ලෙස රොබින් දායක වූ චිත්‍රපට දර්ශන ත්‍රාසයෙන් පිරුණු ඒවා විය. හාර ලක්ෂෙ, කපටිකම, හතර කේන්දරේ, රුහුණු කුමාරි, බයිසිකල් හොරා, හදවත් නැත්තෝ, සිහසුන, වස්තුව, ජීවන ගංගා, සිකුරුලියා, සිරිපාල හා රන් මැණිකා, අපේක්ෂා, මව්බිම නැත්නම් මරණය, මැණිකා, අපේක්ෂා, රක්තා, හස්ති වියරුව, චුට්ටේ, රතු මකරා, මුහුදු ලිහිණි, වීදුරු ගෙවල්, කවුද හරි, අහිමි දඩමං, සප්ත කන්‍යා වැනි චිත්‍රපට රැසක් රොබින් ගේ කඩවසම් රංගනයෙන් මෙන්ම ක්‍රියාදම සටන්වලින් ඔපවත් විය. ඩෙස්ටිනේෂන් අයිලන්ඩ් නම් ජර්මානු චිත්‍රපටයටද රොබින් දායක වූයේය.

බිහිසුණු ජවනිකා සදහා නොබියව කැප වූ රොබින් ප්‍රනාන්දු සිංහල සිනමාවේ නවකයන් රැසකට ගුරුහරුකම් ලබා දුන්නේය. රොබින් රංගනයෙන් දායක වූ බොහොමයක් චිත්‍රපටවල සටන් අධ්‍යක්ෂණය කළේද ඔහුය. රොබින් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසුණේ සුර දූතියෝ චිත්‍රපටයෙනි. ඔහු එහි ප්‍රධාන චරිතය නිරූපණය කළේය. නින්ජා ශ්‍රී ලංකා ඔහුගේ දෙවැනි ක්‍රියාදාම චිත්‍රපට අධ්‍යක්ෂණය වේ. කලක් දළුගම සරසවි චිත්‍රාගාරයේ පාලක ධුරය ද හෙබ වූ රොබින් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටද සිය දායකත්වය ලබා දුන්නේය. ඔහුගේ ප්‍රථම ටෙලි රංගනය වන්නේ එංගලන්තයේදී රූගත කළ ශ්‍රියානි අමරසේනගේ ඉර බටු තරුව ටෙලි නිර්මාණයයි. සෙක්කු ගෙදර, බෝගල සවුන්දිරිස්, සමුද්‍ර ජායා, පුෂ්පරාග, හිම රාත්‍රිය, හැංගිමුත්තන්, පාරාදීසය සහ දාමිණි වැනි ටෙලි නාට්‍ය රොබින් ගේ රංගනය දැකගත හැකි විය. ඔහු සරසවිය කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. දශක පහක් ඉක්මවමින් සටන් කලාවෙන් රිදී තිරය බැබළ වූ රොබින් ප්‍රනාන්දු චිත්‍රපට 100 ආසන්න සංඛ්‍යාවකට සිය දායකත්වය ලබා දී තිබේ. සිංහල සිනමාව සටනින් මෙන්ම චරිතාංග රංගනයෙන් හැඩ කළ රොබින් 2022 වසරේ ජනවාරි 8 වැනිදා දිවි රඟමඬලින් සමු ගෙන ගියේය.