හමුදාවෙන් තිරයට ආ ඔස්වල්ඩ්

ඔස්වල්ඩ් ජයසිංහ
මැයි 5, 2022

මෙරට සිනමාවේ තෝතැන්නක් වූ මීගමුව උපන්ගම කොටගත් තවත් කඩවසම් නළුවෙකි. ඔහු නමින් ඔස්වල්ඩ් ජයසිංහය. 1940 වසරේ පෙබරවාරි 22 දින දොළොස් දෙනෙකුගෙන් යුතු පවුලක හත්වැනියා ලෙස උපන් ඔහු පාසල් අධ්‍යාපනය ලැබුවේ කඳාන මැසිනොද් විද්‍යාලයෙනි. පාසල් සමයේ සිටම ක්‍රීඩාවට විශිෂ්ට දස්කම් පෑ ඔස්වල්ඩ් පාපන්දු, ක්‍රිකට් මෙන්ම සරඹ කණ්ඩායම්වල සිය දක්ෂතා දැක්වීය. වරෙක ඔහු පාසල් ක්‍රිකට් පිලේ නායකයා ද විය. මීගමුව දිස්ත්‍රික් සරඹ කුසලතා රැසක් ඔහු සතු විය. මේ සියල්ල සමඟ ඔහු රැකියාව වශයෙන් තෝරා ගත්තේ ගුවන් හමුදාවයි. එහිදී ද ඔහු එම ක්‍රීඩාවල නිරන්තර යෙදුණි.

මේ අතර බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න අධ්‍යක්ෂවරයාගේ සිනමා ඇසට මේ කඩවසම් තරුණයා හසු විය. ඒත් සමඟ නොසිතූ විරූ අයුරින් ඔස්වල්ඩ් ජයසිංහ නළුවකු බවට පත්වන්නේ මෙරට ප්‍රථම තාරකාව වූ රුක්මණී දේවියගේ පෙම්වතා ලෙස “ මඟුල් පෝරුව“ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමිනි. විශේෂත්වය නම් මඟුල් පෝරුව රුක්මණී දේවිය ප්‍රධාන චරිතය රඟපෑ අවසන් චිත්‍රපටය වීම මෙන්ම එය බී.ඒ.ඩබ්ලිව් ජයමාන්නගේ ද අවසන් නිර්මාණය වීමයි.

ඉන්පසු ඔස්වල්ඩ් ජයසිංහ වසර 23ක් පමණ පුරා චිත්‍රපට 45කට පමණ සිය රංගන දායකත්වය ලබා දුන්නේය. ඒ අතරින් කපටිකම, බයිසිකල් හොරා, ලොකුම හිනාව, අපරාධය හා දඬුවම, කොහොමද වැඩේ, සිකුරු දසාව, අද මෙහෙමයි, දෙයියන්ගේ තීන්දුව, ශාන්ති, රන්තිලකා සහ ඔහුගේ අවසන් රංගනය ලෙස සැලකෙන අජාසත්ත ඉතා ජනපි‍්‍රය විය. අජාසත්ත එවක වැඩිම දින ගණනක් ප්‍රදර්ශනය කෙරෙමින් ආදයම් වාර්තා තැබූ චිත්‍රපටය වන අතර එහි අජාසත්තගේ චරිතය නිරූපණය කළේ ඔස්වල්ඩ් ජයසිංහ ය. ඔස්වල්ඩ්ගේ පෙම්වතිය ලෙස වැඩි වාර ගණනක් තිරයට ආවේ ශි‍්‍රයාණි අමරසේන රංගන ශිල්පිනියයි.

කපටිකම චිත්‍රපටයේ රඟපාන යුගයේම ගුවන් හමුදාවේදී පෙම්බැඳි බීඩ්ස් නම් තරුණිය හා විවාහ වී පුතකුගේ හා දුවකගේ ආදරණීය පියා බවට පත් වූ ඔහු සිනමාවෙන් ඉවත් වූයේ හෘදයාබාධයක් වැලඳීම හේතුවෙනි. එහිදි කළ ශල්‍යකර්මයකින් පසු ඔහු එංගලන්තයේ සවුත්ඕල් හි පදිංචිව සිටියේය. වයස 51 සැපිරූ ඔහු එරටදී 1991 නොවැම්බර් මස 12 වැනිදා දිවි සිනමාවෙන් සමුගත් අතර රජයේ මැදිහත් වීමෙන් දේහය මෙරටට ගෙන්වා රසිකයන්ගේ අවසන් ගෞරවය සඳහා අවස්ථාව ලබා දෙන ලදී. හදිසි වියෝව නිසා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සහ එහි දියණියගේ චරිතයට සිය දියණිය යොදා ගැනීමට ඔහුට තිබූ සිහිනය සිහිනයක්ම පමණක් විය.