උදයකාන්ත මෙවර රිදී සීනු හඬවයි

මැයි 5, 2022

“සුභ උදෑසනක්, අපේ පාසැලේ අදහසක් එක්ක ‘නරක දේවල්වලින් වැළකිලා දවසක් ගත කරමු’ යන යහපත් සංකල්පය යටතේ මුළු රට පුරාම ක්‍රියාත්මක වෙච්ච වැඩ පිළිවෙළ ඉතාමත් සාර්ථක වූ බව මම ඉතාමත් සතුටින් කියන්නට කැමතියි. එම වටිනා සංකල්පය ඉදිරිපත් කළ අපේ පාසැලට ගරු අධ්‍යාපන ඇමතිතුමා විසින් පුංචි තෑග්ගක් එවල තියෙනවා.”

එසේ කී විදුහල්පතිතුමා මේසය මත තිබූ පාර්සලයක් විවර කළා. එතුළ තිබුණේ රිදී පැහැයෙන් යුතු සීනුවක්. එය අතට ගත් විදුහල්පතිවරයා, වැවක් ඉස්මත්තේ ඇති දර්ශනීය සෙවන බිම් තීරුවක, සුදු ඇඳුමකින් සැරසී පෙළ ගැසී සිටින දහසක් තරම් වූ සිසු සිසුවියන් පිරිස දෙස බලා, පළමුවරට සීනුව නාද කිරීමේ අවස්ථාව ලබා දීම සඳහා සිසුවෙකුට කතා කළා.

“පවන්”

පිරිස අතර සිටි ‘පවන්’ නමින් යුතු ඉතාමත් හුරුබුහුටි, පියකරු, අවුරුදු දොළහක තරම් වයසින් යුතු දරුවෙකුගේ මුහුණේ සතුට සමඟ විස්මය සටහන් වනු පෙනුණා. සිසුවියන් අතර සිටි ඔහුගේ සොහොයුරියගේ මුහුණේ නම් තිබුණේ සතුටක් නොවෙයි.

ගුරුවරු ගුරුවරියන් රැසක් ද සිටින රැස්වීම් වේදිකාවට ගොඩ වූ පවන් එය නාද කිරීම සඳහා තවත් අයෙකුට අඬ ගැසුවා. එවර වේදිකාවට පවන්ගේ මිතුරා ගොඩ වුණා. ඉන්පසු දෙදෙනාම එක් වී සීනුව නාද කරන්නට පටන් ගත්තා.

“හරි, ඊළඟට මට ඕන පවන්ගේ ඇස්වලින් කඳුළු වැගිරෙන ක්ලෝස්අප් එකක්.”

අධ්‍යක්‍ෂක උදයකාන්ත වර්ණසූරියගේ සැල කිරීමත් සමඟම කැමරා අධ්‍යක්‍ෂ නිශාන්ත ප්‍රදීප්කුමාර තම සහායකයින් සමඟ කඩිනමින් කැමරා ආම්පන්න රැගෙන වේදිකාවට ගොඩ වී පවන් සමීපයට ගියා.

“ඇයි මේ වගේ සතුටු අවස්ථාවක මෙයා අඬන දර්ශනයක් ගන්නෙ ?”

මම චිත්‍රපටයේ සහය අධ්‍යක්‍ෂක වශයෙන් කටයුතු කරන ඩොනල්ඩ් ජයන්තට සමීප වෙමින් ඇසුවා.

“ඒක මේ චිත්‍රපටයේ කතාවට අදාළ කාරණාවක් ”

“ඒ කිව්වෙ ?”

“මේ දෙන්න තමයි ඉස්කෝලෙ කලින් තිබූ සීනුව හොරකම් කරගෙන ගිහිල්ල ගඟකට දැම්මෙත්. ඒ දුකටයි මෙයා අඬන්න ඕන.”

ඩොනල්ඩ්ගේ කතාව ඇසීමෙන් මට සිතුණේ අපූර්ව, උත්ප්‍රාසජනක, සුන්දර කතාවක් මෙහි අඩංගු වී ඇති බව යි.

“හරි දැන් වැස්සට ලෑස්ති වෙන්න”

ඩොනල්ඩ්ගේ විධානයත් සමඟ කාර්මික ශිල්පීන් වඩාත් යුහුසුඟඵව, කඩිසරව හැසිරෙනු පෙනුණා. වේදිකාවට ගොඩ වූ උදයකාන්ත, මෙගාෆෝනයකින් සිල්ලන්ටම උපදෙස් දෙන්නට පටන් ගත්තා. තවත් සුළු මොහොතකින් පිට්ටනියේ තැනින් තැන රඳවා තිබූ දැවැන්ත වතුර බටවලින් විශාල වර්ෂාවක් නිර්මාණය වුණා. ඒ මොහොතේම ගීතයක් ද උස්හඬින් වාදනය වන්නට පටන් ගත්තා.

“හරි, දැන් ඔක්කොම සතුටෙන් ලස්සනට නටන්න”

සහාය අධ්‍යක්‍ෂකවරුන් වන ඩොනල්ඩ් ජයන්තගේත්, ප්‍රියන්ත පතිරගේත් කෑගැසීමත් සමඟ ළමෝ අප්‍රමාණ සතුටකින් යුතුව වැස්සේ තෙමෙමින්ම නටන්නට පටන් ගත්තා. සියල්ල කැමරා දෙකකින් රූප ගත කෙරුණා. කැමරා කාච, සතුටින් නටන ළමයින්ගේ සුන්දර හැඩකාර රූප රාමුවලින් පිරී ඉතිරී යන බවක් මට සිතුණා.

ඉතාමත් වෙහෙසකර එම දර්ශනයත් සමඟ එදින රූප ගත කිරීම් නිමා වුණා. චිත්‍රපටය පිළිබඳව තවත් විස්තර ටිකක් සොයාගන්නට මම යළිත් ඩොනල්ඩ් ජයන්ත සොයා ගියා.

“අද අපි රූප ගත කළේ චිත්‍රපටයේ එන විශේෂ දර්ශනයක්. ළමයි, දෙමාව්පියන්, නළු නිළියන් ඇතුළු දහසක් පමණ මෙම දර්ශනයට සම්බන්ධ වුණා. චිත්‍රපටයේ ඇති බොහෝ පාසැල් දර්ශන අපි රූප ගත කළේ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ. ඒ සඳහා අපිට පාසැලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු කාර්්‍ය මණ්ඩලයෙන් විශාල සහයෝගයක් ලැබුණා. කොළඹ හා මීමුරේත් දර්ශන රැසක් රූප ගත කිරීමට තිබෙනවා.”

“කවුද මේ චිත්‍රපටයේ රඟන නළු නිළියන් ?”

රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, උපේක්ෂා ස්වර්ණමාලි, රොජර් සෙනෙවිරත්න, ශ්‍යාම් ප්‍රනාන්දු, ශ්‍රීමාල් වෙඩිසිංහ, නිශ්ශංක දිද්දෙනිය, ශිරන්ත ප්‍රේමවර්ධන, කුමාර වඳුරැස්ස ඇතුළු ප්‍රවීණ නළු නිළියන් සමඟ චාහෙල් රගීත්, සෙලීනා ටුවින්කි, යෙතුම් සන්දීර යන ළමා නළු නිළියන් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපානවා. ඒ වගේම කැමරා අධ්‍යක්‍ෂණයෙන් නිශාන්ත ප්‍රදීප්කුමාරත්, කලා අධ්‍යක්‍ෂණයෙන් ඇහැලියගොඩ සෝමතිලකත්, වේශ නිරූපණයෙන් සංජය නිපුනආරච්චිත්, නිශ්චල ඡායාරූපකරණයෙන් මහේෂ් නිෂාන්තත්, නැටුම් අධ්‍යක්‍ෂණයෙන් ශාන් පෙරේරාත් මෙම චිත්‍රපටයට සම්බන්ධ වෙනවා.

මා ඊළඟට සමීප වුණේ උදයකාන්තගේ බොහෝ චිත්‍රපටවලට නිෂ්පාදන කළමනාකරණයෙන් දායකත්වය සපයන අසෝක ආරියරත්න වෙත.

“එක්වරම රටේ පැන නැගුණු අයහපත් තත්ත්වය නිසා ප්‍රශ්න කිහිපයකට මුහුණ දීමට අපට සිදුවුණා. ගෑස් හිඟය නිසා ආහාරපාන හොයාගත්තේත් ඉතාම අමාරුවෙන්. ඩීසල් ප්‍රශ්නය නිසා ඊළඟ දවසේ ෂූටිං කර ගන්න පුළුවන් වෙයි ද කියල හිතුණු වාර අනන්තයි. මාර ගේමක් දෙන්නේ.”

දෙමව්පියන් ලෙස ඉසුරු ලොකුහෙට්ටිආරච්චිත්, උපේක්ෂා ස්වර්ණමාලිත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

“උදය අයියගෙ චිත්‍රපටයක් නිසා මං මේ චිත්‍රපටයට කැමැත්ත දුන්නෙ පිටපත කියවන්නෙවත් නැතුව. ළමුන් පිරිවරාගෙන කරන රූප ගත කිරීම් හරිම සුන්දරයි.” එසේ පැවසුවේ ඉසුරු. ඊළඟට මම සමීප වුණේ උපේක්ෂා ස්වර්ණමාලිට,

“මං පළමුවෙන්ම සිනමාවට පිවිසුණේ උදයඅයියාගේම ‘ආසයි මං පියාඹන්න’ චිත්‍රපටයෙන්. දරුවන් දෙදෙනෙකු සිටින ආදරණිය මවකගේ චරිතය මම ‘ රිදී සීනු’ චිත්‍රපටයේ රඟපානවා.”

ඊළඟට මගේ ඇස ගැසුණේ ජාතික ඇඳුමකින් සැරසී වේදිකාව මත සිටින රොජර් සෙනෙවිරත්න. මෙම චිත්‍රපටයේ පාසැලේ විදුහල්පති චරිතය රඟපාන්නේ ඔහු,

“මෙම චිත්‍රපටයේ පිටපත කියවන්නට අතට ගත්තට පස්සෙ පැත්තකින් තියන්නට හිත ඉඩ දුන්නේම නෑ. ආසාවෙන් එක හුස්මට කියවාගෙන ගියා. අතිශයින් සුන්දර කතාවක් මෙන්ම මුළු සමාජයටම ආදර්ශමත්, නැවුම් පණිවුඩයක් හරි අපූරුවට උදයකාන්ත මෙම නිර්මාණයට එක්කර තිබෙනවා.

එමෙන්ම මෙම චිත්‍රපටය, සිංහල සිනමාවට ළමා චිත්‍රපටයක් ලෙසින් සැබෑ වෙනසක් ගෙන දේවි කියා මට සිතෙනවා.”

ඒ රොජර්ගේ හෘදයාංගම අදහස. ඊළඟට මම සොයා බැලුවේ මෙහි නිර්මාතෘ, උදයකාන්ත කොහෙද කියා.

උදයකාන්ත මා දුටුවේ පැසැල් දරු දැරියන් රැසක් සමඟ සිටින අයුරුයි. ඔවුන් පොත් හා කොළ දිගු කරමින් උදයකාන්ත වටා රොක් වෙමින් සිටියේ ඒවාට ඔහුගේ අස්සනක් ලබා ගැනීමට. ඇත්තෙන්ම එය මට විස්්මයට කරුණක් වුණා. නළු නිළියන් කෙසේ වෙතත් අත්සනක් ලබා ගැනීමට චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයකු වටා මෙතරම් පිරිසක් රොක් වී සිටින අයුරු මා දුටුවේ පළමුවරට.

“මොකක්ද මේ කලබලේ ?”

ළමුන්ගෙන් ආයාසයෙන් මිදුණු උදයකාන්ත කතා කළේ සිනා රැඳී මුවින්.

“රන්කෙවිට චිත්‍රපටය හැදුවෙ මම කියල දැන ගත්තට පස්සෙ ළමයි පිස්සුවෙන් වගේ මගේ අත්සනක් ගන්න කොළ, පොත් එක්ක මා වටේ රොක් වුණා. මට ඒකෙන් දැනුණු කාරණයක් තමයි රන්කෙවිට ළමා චිත්‍රපටය ළමයින් අතර මොනතරම් ජනප්‍රියද කියලා. ඒ හැම ළමයෙක්ම රන්කෙවිට චිත්‍රපටය සිනමාශාලාවලින් හෝ රූපවාහිනියෙන් නරඹලා තිබුණා. ඔවුන්ගේ ඉල්ලීම රන්කෙවිට තුන්වැනි කොටසත් හදන්න කියලා.”

“රිදී සීනු ගැනත් මොනව හරි කියමු.”

“මේකත් ළමා චිත්‍රපටයක්. ඒ වගේම මගේ විසිහය වැනි සිනමා නිර්මාණය. ළමයින් දෙදෙනෙකු මූලික කරගෙන වුවත් වැඩිහිටි පරපුරත් නියෝජනය වන පරිදි කතාව විහිදී යනවා. මීට වසර කිහිපයකට පෙර එක්තරා පුවත්පතක පළ වී තිබුණු ලිපියක් ඇසුරු කරගෙනයි මේ කතා සංකල්පය මගේ සිතට නැගුණේ. පසු කලෙක තිර රචනයකට ගොනු වූ ඒ කතාව දැන් චිත්‍රපටයක් බවට පත්වෙමින් තිබෙනවා. සියලු නළු නිළියන්ගෙනුත් කාර්මික ශිල්පීන්ගෙනුත් මේ චිත්‍රපටය නිර්මාණය කිරීමට මට ලැබෙන දායකත්වය හා සහයෝගය අසීමිතයි. එමෙන්ම ‘සිසිලාන් චිත්‍රපට’ සමාගම වෙනුවෙන් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන නිශාන් හේවාගමගේ මහතාව මා මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි.”