අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද ?

ජුනි 23, 2022

සිංහල කථානාද සිනමාවට පසුගිය ජනවාරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කථානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට අපි තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය  (BFI) "Sight & Sound" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මීට පෙර සිනමා අධ්‍යක්ෂවරුන්ගේ මත විමසීම අපි අවසන් කළෙමු. මෙතැන් සිට ඇරඹෙන්නේ සිනමා විචාරකයන්ගේ සහ සිනමා පුවත්පත් කලාවේදීන්ගේ මත විමසීම දැන් සිදුවෙයි. සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. ඒ සඳහා ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන්ද සම්බන්ධ කර ගැනේ.

 

 

පර්සි ජයමාන්න

 

 

ලේක්හවුස් ආයතනයේ පුවත්පත් කලාවේදියකු ලෙස සේවය කළ පර්සි ජයමාන්න සරසවිය ආරම්භක කර්තෘ මණ්ඩලයේ සාමාජිකයෙකි. සිළුමිණ පුවත්පතේ උපකර්තෘවරයකු ලෙස කටයුතු කළ ඔහු නවයුගය කර්තෘ ධුරය මෙන්ම ලේක්හවුස් වාර ප්‍රකාශන ප්‍රධාන කර්තෘ ධුරයද හෙබවීය. ළමා හා යොවුන් විශ්වකෝෂයක්, මලලසේකර ශබ්දකෝෂයේ නව සංස්කරණයක්, පාසල් ශබ්දකෝෂයක් ඇතුළු ශබ්දකෝෂ රැසක් සම්පාදනය කළ ඔහු සිනමා හා ටෙලි නිර්මාණ ජූරි සාමාජිකයකු ලෙසින්ද කටයුතු කර ඇත. කුඩා ළමයින් වෙනුවෙන් වූ 'මල් කැකුළු' නම් අන්තර්ජාල පුවත්පත ඔහුගේ සංස්කරණයකි.

 

 

1. රේඛාව - ලෙස්ටර් ජේම්ස් පීරිස්

2. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

3. පොඩිපුතා - සිරිසේන විමලවීර

4. සැඩ සුළං - ටී. සෝමසේකරන්

5. සිකුරු තරුව - එල්. එස්. රාමචන්ද්‍රන්

6. කුරුලු බැද්ද - එල්. එස්. රාමචන්ද්‍රන්

7. විරාගය - තිස්ස අබේසේකර

8. ගොළු හදවත - ලෙස්ටර් ජේම්ස් පීරිස්

9. රන්මුතුදූව - මයික් විල්සන්

10.ගැටවරයෝ - මයික් විල්සන් සහ තිස්ස ලියනසූරිය

 

 

හෙන්රි වර්ණකුලසූරිය

 

සිනමා විචාරකයකු, ලේඛකයකු මෙන්ම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන හෙන්රි වර්ණකුලසූරිය වෘත්තීය ඉංජිනේරුවකි. නාවික හමුදා සේවයේ නිරත වූ ඔහු අශෝක හඳගමගේ 'මේ මගේ සඳයි' චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයා ලෙසින්ද කටයුතු කළේය. රටවල් විස්සක පමණ ඇගැයීමට ලක් වූ 'නොනිමි ගමන' කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාද ඔහුය. මෙරට ප්‍රමුඛ මාධ්‍ය ආයතන කිහිපයකම කටයුතු කළ ඔහු දශක තුනක පමණ කාලයක් පුරා නිර්මාණකරණයේ යෙදෙමින් නව කතා, කෙටි කතා, ළමා කතා, පද්‍ය හා තීරු ලිපි ඇතුළත්ව කෘති තිහකට අධික ප්‍රමාණයක් රචනා කර ඇත.

 

 

1. පාරදිගේ - ධර්මසේන පතිරාජ

2. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

3. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ

4. ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

5. දඩයම - වසන්ත ඔබේසේකර

6. විරාගය - තිස්ස අබේසේකර

7.මේ මගේ සඳයි - අශෝක හඳගම

8. හංස විලක් - ධර්මසිරි බණ්ඩාරනායක

9. පුරහඳ කළුවර - ප්‍රසන්න විතානගේ

10.අල්බොරාදා - අශෝක හඳගම