චිත්‍රපට 25ක් තැනීම කුඩා කාලයේ මගේ සිහිනයක්

ජුනි 30, 2022

 

රිදී ජුබිලිය සමරන ප්‍රවීණ සිනමාවේදී උදයකාන්ත වර්ණසූරිය

අඩසියවස් අඩක් යනු මිනිසකුගේ ජීවිතයේ විශාල කාල පරිච්ඡේදයකි. එවැනි කාලයක් තුළ යමෙකු කළ කාර්යය අනුව ඒ පුද්ගලයා සිය ක්ෂේත්‍රයේ සැරිසරා ඇති දුර නිගමනය කිරීම අපහසු නොවේ. වසර හැත්තෑ පහක් වන අපේ කථානාද සිනමාවෙන් වසර විසිපහක් යනු තුනෙන් එකකි. ඒ කාලය තුළ චිත්‍රපට විසිපහක් නිර්මාණය කිරීම යනු වසරකට එක් කෘතියක සාමාන්‍යයකි. සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන හැට හැත්තෑව දශකවල සිනමාවට පිවිසි කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, සුනිල් සෝම පීරිස්, යසපාලිත නානයක්කාර, හේමසිරි සෙල්ලප්පෙරුම වැනි සිනමාකරුවන්ගෙන් පසු දශකවල චිත්‍රපට වැඩි සංඛ්‍යාවක් තැනූ අධ්‍යක්ෂවරයකු වේ නම් ඒ උදයකාන්ත වර්ණසූරිය සිනමාවේදියා යැයි කීම වරදක් නොවේ. මේ වසර විසිපහට කෘති විසිපහක් නිමැවූ ඔහුගේ සිනමාව පිළිබඳ හැට වසරක ඉතිහාසයක් සහිත එකම සිංහල සිනමා පුවත්පත වන සරසවියේ ප්‍රණාමය සමඟ කෙරෙන අවලෝකනයකි...

 

අවුරුදු විසිපහයි චිත්‍රපට විසිපහයි, කොහොමද ඔබේ ගමන පිළිබඳ ඔබට හැඟෙන්නෙ?

අවුරුදු විසිපහක් කියන්නේ දීර්ඝ ගමනක්. (සිනාසී) මම හිතන්නේ මෑත කාලයේ මම වෙන්න ඇති මේ තරම් දිගු ගමනක් ආ අධ්‍යක්ෂවරයා මේ ක්ෂේත්‍රයේ. ඒ ගැන මට හරිම සන්තෝෂයි.

මම සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්නත් කලින් මගේ හිතේ ලොකූ බලාපොරොත්තුවක් තිබුණා චිත්‍රපට 25ක් නිර්මාණය කරන්න. ඒ සිහිනය සැබෑ කරගන්න හැකි වීම විශාල සතුටක්.

 

ඒ බලාපොරොත්තුව හිතේ ඇති වුණේ කොයි කාලයේ සිටද?

මම පාසල් යන අවධියේ සිටමයි. මම සිනමාවට ඇලුම් කළේ බොහොම කුඩා කාලේ සිටයි. අපේ පවුලේ හෝ ඇඳුණුම් කමක් ඇති කිසි කෙනෙක් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. හැබැයි අම්මයි තාත්තයි සිනමා ලෝලීන් නිසා අපි ශාලාවලට ගිහින් චිත්‍රපට නරඹනවා.

පොඩි කාලේ නරඹද්දි ඔබේ හිතට දැනුණු පළමු චිත්‍රපටය මතකද?

රන්මුතු දූව තමයි හිතට වැදුණේ. වර්ණ චිත්‍රපට නැති කාලේ හැදුණු වර්ණවත් චිත්‍රපටය නිසා වගේම ගාමිණි ෆොන්සේකලාගේ රඟපෑම් හරියට හිතේ හිටියා. ඊට පස්සේ ආව බොහොමයක් චිත්‍රපට නරඹන්නත් අවස්ථාව මට ලැබුණා. ඒවායිනුත් යම් උත්තේජනයක් ලැබුණා. මේක අමුතුම කලාවක්නේ. චිත්‍ර අඳීනවා වගේ නෙවෙයි. සංගීතය වගේ නෙවෙයි. ඒ සියල්ලේම එකතුවක්නේ මෙය. ඉතින් මම දන්නෙත් නෑ සසර පුරුද්දක් වගේ පොඩි කාලෙදිම මගේ හිත සිනමාවට ඇදිලා ගියා. ඒ එක්කම අවුරුදු දහය විතර වෙද්දි කවදා හෝ සිනමා අධ්‍යක්ෂවරයකු විය යුතුයි කියන බලාපොරොත්තුව ඇති වුණා. ඒ නිසා නෙගටිව් කෑල්ලක් එහෙම අහු වුණාම මැජික් එකක් වගේ පුදුම ආසාවක් ඇති වෙන්නේ. ඒ චූටි කොටුව ඇතුළෙ තිබෙන රූපය කොහොමද අර තරම් විශාල වෙන්නේ කියලා අදහාගන්න බැරි ලොකු කුතුහලයක් තිබුණේ. ඒ නිසාම පොඩි පෙට්ටිවල සිදුරු හදලා ඉටිපන්දම්, ටෝච් එහෙම ගහගෙන බිත්තිවල රූප මවපු කාලයක් මටත් තිබුණා. පත්තරවල තිබෙනවා පොඩි ප්‍රොජෙක්ටර්ස් විකුණන්න කියලා දැන්වීම් දාලා මම ඒවත් ගෙන්වා ගන්නවා. ඒවත් ඉතින් අපි හදන ඒවාට වඩා පොඩි දියුණුවක් තමයි තිබුණේ. කොහොම හරි එහෙම හඹා ගියා මේ තාක්ෂණය ඔස්සේ.

 

ඔබට චිත්‍ර ඇඳීමේ හැකියාව තිබෙනවා?

පොඩි කාලේ සිටම මට චිත්‍ර ඇඳීමේ හැකියාව තිබුණු නිසා වැඩි වියට පැමිණෙද්දි චිත්‍රකතා කලාවට පිවිසුණානේ. සිනමාව පිළිබඳ සුන්දර සිහිනයක් තිබුණත් එය සැබෑ කරගන්න අමාරු වග මම දැනගෙන හිටියා. ඒ කාලේ සිනමාවට සම්බන්ධ වීම කියන්නේ දැවැන්ත වැඩක්. කොහොම වුණත් චිත්‍රකතාවලින් මට නමක් හැදුණා. ඒකට මුල් වුණේ ලේක්හවුස් ආයතනයේ පත්තර. ඊට පස්සේ රූපවාහිනිය ආවානේ. ඉතින් අර මහා සිහිනයට යන්න මඟක් ලෙස රූපවාහිනි ශිල්පයේ සිනමාවට ඇති නෑදෑකමකුත් මට දැනුණා. මම කළ ටෙලි නාට්‍ය නිර්මාණ රසිකයන් ආදරයෙන් පිළිගත්තා.

ඔබ සිනමා ක්ෂේත්‍රට පිවිසෙන්නේ 'කරදිය වළල්ල' නිර්මාණයට සහභාගී වෙමින්?

ඔවු. කරදිය වළල්ල කියන්නේ මම ඇන්ද චිත්‍රකතාවක්. 1985 වසරේ පමණ කරදිය වළල්ල චිත්‍රපටයේ තිරරචනය වගේම කලා අධ්‍යක්ෂණය කරන්නත් මට අවස්ථාව ලැබුණා. එයින් මට යම් තරමක ප්‍රායෝගික පුහුණුවක් ලැබුණා. ඉන් පසු තමයි ඇත්තෙන්ම රූපවාහිනියට සම්බන්ධ වුණේ.

 

ඔබ පළමුවරට අධ්‍යක්ෂවරයකු ලෙස කැමරා කෝණයක් සකසා දර්ශනයකට අණ දෙන්නේ රූපවාහිනියට. මතකද ඒ මොහොත?

ඇත්තෙන්ම චිත්‍රකතා අඳීනකොටත් මම සිනමා රූපරාමු ඔළුවේ තියාගෙන තමයි ඒවා ඇන්දේ. ඒ කාලේ අසීමිත විදිහට චිත්‍රපට බැලුවා. දැන් වගේ ඩීවීඩී එහෙමත් නෑනේ. අපි සිනමා උලෙළ, අන්තර්ජාතික චිත්‍රපට ප්‍රදර්ශන අත් නොහැර නැරඹුවා. සිනමාව පිළිබඳ පොත පත කියවලා සෛද්ධාන්තික දැනුම ලබා ගත්තා. ඒත් ප්‍රායෝගික දැනුමත් ලබා ගන්න එපැයි. ඒ කාලේ මට අමරනාත් ජයතිලක, යසපාලිත නානායක්කාර, සුනිල් සෝම පීරිස් වැනි සිනමාකරුවන් උදවු කළා. ඔවුන් සමඟ ගොස් ඔවුන්ගේ චිත්‍රපටවල දෙවැනි තුන්වැනි සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නත් අවස්ථාව ලැබුණා. ඒත් ඉතින් පහසු වුණේ නෑ සිනමාවට අවතීර්ණ වන්න. ඒ නිසා තමයි කෙසේ හෝ රූපවාහිනි මාධ්‍යයට පිවිසෙන්නේ. මගේ පළමු ටෙලි නාට්‍යය වුණේ 'මැණික් කැටයම'. එහි විජය නන්දසිරි, විජේරත්න වරකාගොඩ, චිත්‍රා වාකිෂ්ඨ වැනි අය ප්‍රධාන චරිත කළේ. නිලේන්ද්‍ර දේශප්‍රිය තමයි සහාය අධ්‍යක්ෂ ලෙස සිටියේ. මහේන්ද්‍ර පෙරේරා කලා අධ්‍යක්ෂණය කළා. කැමරා අධ්‍යක්ෂණය කළේ අයේෂ්මන්ත හෙට්ටිආරච්චි. ඒ වෙද්දි මම ඇත්තටම වීඩියෝ කැමරාවක් දැකලාවත් තිබුණේ නැහැ. හැබැයි මගේ මෙහෙයවීම නැත්නම් අධ්‍යක්ෂණය පිළිබඳ මට ආත්ම විශ්වාසයක් තිබුණා. පළමුවෙනි දර්ශනයේ පළමුවෙනි රූපරාමුව මම ගත්තේ විජේරත්න වරකාගොඩ රංග ශිල්පියාගේ. අරුණිට කියන්න, මගේ ඒ පළමු රූපරාමුව ගත්තට පස්සේ මාර ගැම්මක් ආවා මේ ක්ෂේත්‍රයේ යමක් මට කරගෙන යන්න පුළුවන් කියන විශ්වාසයත් එක්ක. ඉන් පස්සේ පළමු දීර්ඝ ටෙලි නාට්‍යය හුමාලය, ඊළඟට එකගෙයි කුරුල්ලෝ, දිය සුළිය, සාගරය පරදා, සෙනෙහසේ ගීතය වැනි ටෙලි නාට්‍ය රැසක් කරන්න අවස්ථාව ලැබුණා.

 

ඒ සියලු අත්දැකීම් සමඟයි ඔබේ සිතේ මහමෙර උසට තිබුණු බලාපොරොත්තුව මල්ඵල ගැන්වුණේ මහමෙර උසට නමින්?

ඔවු. මට 1995 වෙද්දි සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්න ඉඩ ලැබුණා. 1997 තමයි පළමු චිත්‍රපටය 'මහමෙර උසට' ප්‍රදර්ශනය වුණේ. එදා ඉඳන් තමයි අවුරුදු විසිපහක් තිස්සෙ හිතේ මහමෙරක් උසට තිබුණු බලාපොරොත්තුව අර කීවා වගේ සඵල කරගන්න ලැබුණේ. පවුලේ සියලු දෙනාගෙන් ඒ සඳහා ආශීර්වාදය වගේම උදවු ලැබුණා.

 

එහි පළමු දර්ශනය රූගත කළ හැටිත් මතකද?

මතකයි. එහි පළමු දර්ශනයේ හිටියේ කමල් අද්දරආරච්චි සහ සංගීතා වීරරත්න. එය නවීන පන්නයේ මුළුතැන්ගේක දර්ශනයක්. එහි කැමරා අධ්‍යක්ෂණය සුමින්ද වීරසිංහගේ. ලාල් හරීන්ද්‍රනාත් කලා අධ්‍යක්ෂණය කළේ. තවමත් මා සමඟ එකට සිටින ඩොනල්ඩ් ජයන්ත තමයි සහාය අධ්‍යක්ෂවරයා. නිහාල් සංජය තමයි නිෂ්පාදන කළමනාකරණය කළේ. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහගෙන්. සංස්කරණය කළේ දලුගම සරසවි චිත්‍රාගාරයේ ස්ටැන්ලි ද අල්විස්. එහි සංගීතා සහ කමල්ගේ දුව හැටියට රඟපෑවේ මගේ එකම දියණිය සඳුනි වර්ණසූරිය. එවිට දුවට අවුරුදු තුනක් පමණ ඇති. එය නිෂ්පාදනය කළේ චාර්ල්ස් පී. ජේ. තෝමස්. එය රූගත කිරීමෙන් පස්සෙත් කලින් වතාවේ වගේම මට දුර ගමනක් යන්න ලැබෙයි කියන විශ්වාසය මගේ හිතේ ගොඩනැඟුණා. හැබැයි එය මා බලාපොරොත්තු වූ තරමට ප්‍රේක්ෂකයන් අතරට ගියේ නැහැ. සමහර විට කතා තේමාව වන්න පුළුවන් එයට හේතුව.

 

ඔබ තිර රචනයට නොබියව පිවිසෙන්න චිත්‍රකතා රචනය බලපෑවාද?

ඇත්තෙන්ම ඔවු. මට පොඩි කාලේ ඉඳන්ම කතා ලිවීමේ හැකියාව තිබුණා. ඒ දවස්වල ඉඳන්ම මම පත්තරේටත් කෙටි කතා ලීවා. සරසවිය පුවත්පත නොවරදවා කියවූ පාඨකයෙක් මම. කාලයක් රැකියාවක් සඳහා විදෙස්ගතව සිටි කාලයේත් මම පුවත්පත කෙසේ හෝ එහෙට ගෙන්වා ගත්තා. කමලා ළමා සමාජයේ තමයි මුලින්ම මගෙ නම පළ වුණේ. චිත්‍රකතාවලදි දෙබස් හරි වැදගත්. මිනිසුන්ගේ හැඟීම්වලට කතා කරන්න දෙබස් ලියන පුහුණුවත් චිත්‍රකතා රචනයෙන් ලැබුණා. එය කොතරම් ද කීවොත් මගේ චිත්‍රපට 25 සඳහාම තිර රචනා ලීවේ මමමයි.

 

ඊළඟට අපි එකින් එක ගනිමු ඔබගේ නිර්මාණ පිළිබඳ?

මගේ දෙවැනි චිත්‍රපටය ගිනි අවි සහ ගිනි කෙළි. එය අනුර හොරේෂස් නම් මාධ්‍යවේදියා පුවත්පතකට ලියූ ගවේෂණාත්මක ලිපි පෙළක්. මම ඔහුගෙන් අවසර අරගෙන චිත්‍රපට තිර රචනයක් ලීවා. රංජිත් ජයසූරිය මහත්මා මට එය නිෂ්පාදනය කරන්න සහාය දුන්නා. එය වාණිජ වශයෙන් වගේම කලාත්මක වශයෙන් හොඳටම සාර්ථක වූ චිත්‍රපටයක්. එයින් තමයි මට හරියටම සිනමාවට අවතීර්ණ වන්නට ඉඩ ලැබුණේ. එය ඇත්තටම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කීවත් හරි. ඉන් පසු මට බහුභාර්යා, රාජ්‍ය සේවය පිණිසයි වැනි විවිධ චිත්‍රපට සමඟ ලොකු ගමනක් එන්න ලැබුණා.

 

ඔබ මැද මාවතේ සිනමාකරුවකු ලෙස හැඳීන්වුවොත් හරිද?

මම චිත්‍රපට 25ක ඉලක්කයක සිටියනේ... ඒ ඉලක්කය සපුරා ගන්න මම කළ යුත්තේ කෙබඳු චිත්‍රපට ද කියන අවබෝධයකුත් මම ලබා ගත්තා. කලාත්මක සහ වාණිජ කියන සිනමා දෙකම මම චිත්‍රපට නරඹමින්, තිර රචනා අධ්‍යයනය කරමින් හැදෑරුවා. මට දැනුණා කලාත්මක සිනමාවෙන් පමණක් ගිය අය කවදාවත් චිත්‍රපට 25ක් දක්වා ගියේ නෑ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක වගේ අය පවා ඒ ඉලක්කයට ගියේ නෑ. හැබැයි මට කලාත්මක සිනමාව බැහැර කරන්නත් බැහැ. මම සිනමාව ඉගෙන ගත්තේ එයින් නිසා එයට අසීමිත විදිහට ආදරය කළා. එනිසා මේ දෙවර්ගයම සමබරව ගෙන යා යුතුයි කියන ස්ථාවරයේ මම හිටියා. ඒ මොහොතේ මගේ පූර්වාදර්ශය වුණේ එච්. ඩී. ප්‍රේමරත්න මහත්මයා. ඒ වෙද්දි ඔහු චිත්‍රපට දහඅටක් පමණ නිර්මාණය කර තිබුණා. මම කල්පනා කළා මට දුර ගමනක් යන්න නම් විනෝදාත්මක සිනමාවටත් වැඩි අවධානයක් යොමු කළ යුතු බවට. එවිට මට තවත් පූර්වාදර්ශයක් ලෙස ස්ටීවන් ස්පීල්බර්ග්ගේ වගේම මනිරත්නම්ගේ සිනමාවත් පූර්වාදර්ශ ලෙස පෙනුණා.

මට කතා ගෙතීමේ හැකියාව තිබුණ නිසා විවිධ තේමා ඔස්සේ නවකතාවක් හෝ වස්තුබීජයක් ලැබුණොත් ඒ ඔස්සේ තිර රචනා ලියන්න පටන් ගත්තා. මට අවශ්‍ය වුණේ ප්‍රේක්ෂකයන්ට දැනෙන අමුතු කතා තේමාවන්. එයින් තමයි මගේ අරමුණ සපුරා ගන්න ලැබුණේ. මම කලාත්මක චිත්‍රපටවලට පමණක් යොමු වුණා නම් මගේ නම හදාගෙන සම්මාන රැසක් අරගෙන ඉන්න තිබුණා. (සිනාසී) හැබැයි අවුරුදු තුන හතරකට එක චිත්‍රපටයයි කරන්න හැකි වන්නේ සම්මාන ටික රාක්කේ උඩ තියාගෙන. එවිට මගේ අරමුණට යන්න බැරි වනවා. මට අසීමිත ලෙස විනෝදාත්මක පැත්තට යොමු වෙලා නම කැතකරගන්න වුවමනාවක් තිබුණෙත් නැහැ. මොනවා වුණත් හොඳ ගුණාත්මක - විනෝදාත්මක චිත්‍රපට හදන්න තමයි මට වුවමනාව තිබුණෙ.

 

අනූව දශකය කියන්නේ මෙරට සිනමාවට කණකොකා හැඬූ යුගයක්. අනෙක කාම රැල්ල බිහි වූ කාලය. ඔබ එයට මුහුණ දුන්නේ කෙසේද?

ඇත්තටම අනූපහ අනූහත වද්දි සිනමාව වැටිලා තිබුණේ. මහමෙර උසට පවුලේ චිත්‍රපටයක් වුණාට ගිනි අවි සහ ගිනි කෙළි වෙනම උද්වේගකර පාතාල ලෝකය හා සම්බන්ධ චිත්‍රපටයක්. ඔබ කීවා වගේ නිසරු කාම රැල්ලෙන් සිනමාව වැසී ගොසින් ප්‍රේක්ෂකයා තෝන්තු වූ යුගයක් තමයි එවක තිබුණේ. ඒ කාම චිත්‍රපට හොඳීන් දිවුවා එක අතකින්. එවිට මමත් කල්පනා කළා මේ කාම රැල්ලට ගැළපෙන අයුරින් ගුණාත්මක චිත්‍රපටයක් කරන්නේ කෙසේද කියා. වැඩිහිටියන්ට ගැළපෙන තේමාවක් යටතේ ලිංගික දර්ශන ඇතුළත් කරලා බහුභාර්යා චිත්‍රපටය කළා. මම ස්තූතිවන්ත වනවා රංජන් රාමනායක සහ සංගීතා වීරරත්න දෙදෙනාට එය අතිශයින් සාර්ථක කරගන්න උදවු කළාට. නිසරු කාම රැල්ල අබිබවා මෙය රසිකයන් ජය ගත්තා. මිනිසුන්ට තේරුණා කාම චිත්‍රපටයක් වුණත් මේ ආකාරයෙන් ගුණාත්මක ලෙස කළ හැකිබව. එවන් වැඩිහිටි චිත්‍රපටයක් මම දන්න තරමින් ඊට පෙර බිහිව තිබුණේ නැහැ.

 

රාජ්‍ය සේවය පිණිසයි ඔබට විවිධ ප්‍රතිචාර ලැබුණු කෘතියක්?

එය දේශපාලන චිත්‍රපටයක්. ඉන් පස්සේ ඔන්න ප්‍රශ්න එන්න පටන් ගත්තා අවලාද අහන්න වුණා. හැබැයි සරසවිය ඇතුළු සෑම උලෙළකින්ම සම්මානයට පාත්‍ර වුණා. මම එදත් අදත් කිසිම දේශපාලන කඳවුරකට අයත් නැහැ. එහෙත් කතාවේ තේමාව සමඟ වගේම රංගනයට සහභාගී වූ පිරිස ආදි හේතු නිසා විවිධ අය විවිධ කෝණවලින් ඒ දෙස බලන්න පටන් ගත්තා. හැබැයි මම එකම ස්ථාවරයක හිටියා. අද වෙද්දි සියලු දෙනා ඇත්ත තේරුම් ගෙන තිබෙනවා.

කොහොම වුණත් මම හිතුවා ඊළඟ චිත්‍රපටය අතිශයින් විනෝදාත්මක එකක් විය යුතුයි කියලා. මගේ අතිශයින් ජනප්‍රිය වුණු චිත්‍රකතාවක් තිබුණා සතුට පත්තරයට ඇන්ද පරසතු උයන කියලා. එය පාදක කරගෙන මම රෝස වසන්තේ චිත්‍රපටය කළා. ඒ වෙද්දි සෝමා එදිරිසිංහ මහත්මියගෙන් මට ආරාධනාවක් ලැබී තිබුණේ ඊඒපී සමාගමට චිත්‍රපටයක් කරන්න. එය වාණිජමය වශයෙන් අතිශයින් සාර්ථක වුණු චිත්‍රපටයක් වගේම මගේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් ලෙසයි මම හිතන්නේ.

 

සාමාන්‍යයෙන් අධ්‍යක්ෂවරයකු මෙතරම් විවිධත්වයකින් යුතුව ශානර ඔස්සේ ගමන් කරන්නේ නැහැ. ඔබ ඒ ගැන බිය වුණෙත් නැහැ?

ඇත්තටම මොන ශානරයකට ගියත් සිනමාවේ මූලික සිද්ධාන්ත වෙනස් වන්නේ නැති බව මම තේරුම් ගෙන සිටියා. කලාත්මක හෝ විනෝදාත්මක නැත්නම් ක්‍රියාදාම චිත්‍රපටයකට ලබාදෙන සත්කාරයේ වෙනසක් තිබෙන්න පුළුවන්. ඒත් මූලධර්ම එකයි. මම මොන කතා තේමාවක් ගත්තත් ඒ අදහසේ ඉන්නවා. මගේ ඕනෑම චිත්‍රපටයක් ගෙන විච්ඡේදනය කර බැලුවොත් ඒ සිද්ධාන්තවල සිටි බව පේනවා. තිර රචනයක් ලියද්දි රසිකයාට දැනෙන ආකාරයෙන් මුල මැද අග තිබිය යුතුයි. එය කුමන සිනමා කෘතියකට වුවත් පොදුයි. එය තේරුම් ගත් විට සහ තිර රචනය මම ලියන නිසා මට බයක් දැනුණේ නැහැ. ඒ වගේම කුමන චිත්‍රපටයක් වුවත් ගුණාත්මක විය යුතුයි කියන ස්ථාවරයේ මම හිටියා. ඉන් බැහැර වෙලා සුළු ලාභය පස්සෙන් ගියොත් වරදිනවා.

 

ඔබේ චිත්‍රපට කීපයක්ම කොටස් වශයෙන් රැගෙන එන්න පෙලඹුණේ කෙසේද?

බටහිර චිත්‍රපටවල වගේම ඉන්දියානු චිත්‍රපටවලත් එවැනි අවස්ථා අපට දක්නට ලැබෙනවා. මගෙත් චිත්‍රපට අතරින් රන්කෙවිට 1සහ 2 , බහුබූතයෝ සහ ගින්දරී ඔය ආකාරයෙන් ආවා. ඒකට හේතුව පළමුවෙනි කොටස අතිශයින් සාර්ථක වීම නිසා ලැබුණු උත්තේජනය මිසක් එහෙම කොටස් වශයෙන් කරන්න හිතාගෙන හිටියේ නෑ කවදාවත්. ඒ වගේම ඒ කතා අවසානයේ තවත් ඉදිරියට යමක් සිදු වන ආකාරය මට මැවෙන්න ගත්තා. ඒ නිසා තමයි දෙවැනි තුන්වැනි කොටස් ලියැවුණේ. ඉදිරියේදිත් තවත් චිත්‍රපට කීපයක දෙවැනි කොටස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. වෙන රටවල නම් එවැනි දේ කලින්ම සැලසුම් කරනවා. පළමු කොටස සාර්ථක වුණාම දෙවැනි කොටසේ අවදානම හරි අඩුයි. පිටරටවල නම් කොටස් වශයෙන් හදන්න එයත් හේතුවක්.

 

ඔබේ නිර්මාණ අතරත් අතිශයින් සාර්ථක සහ එතරම් ජනප්‍රිය නොවුණු කෘති තිබෙනවා. ඒ චිත්‍රපට පිළිබඳ ඔබට තක්සේරුවක් තිබෙනවාද?

මගේ චිත්‍රපට විසි පහ එක පෙළට කීවොත් මහමෙර උසට, ගිනි අවි සහ ගිනි කෙළි, බහු භාර්යා, රාජ්‍ය‌ සේවය පිණිසයි, රෝස වසන්තේ, බහුබූතයෝ, ලේ කිරි කඳුළු, යකඩ පිහාටු, දිය යට ගින්දර, රන්දිය දහර, හිරිපොද වැස්ස, රන් කෙවිට, ආසයි මං පියාඹන්න, පායා එන්න හිරු සේ, චැලෙන්ජර්ස්, සෙනසුරු මාරුව, රන් කෙවිට 2, කොස්තාපල් පුඤ්ඤසෝම, බහුබූතයෝ 2 (ගින්දරී), මධුර චාරිකා, බන්ධනය, වස්සානයේ සඳ, ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර්, ගිනිමල් පොකුරු, ගින්දරී 2 (බහුබූතයෝ 3).

ඉතින් ලෝකේ කොහේවත් අධ්‍යක්ෂවරයකුගෙ චිත්‍රපට සියල්ල සියයට සියයක් අතිශයින් සාර්ථක වෙලා නැහැ. ඒත් තමන්ගෙ චිත්‍රපටවලින් සියයට පනහක්වත් සාර්ථක නම් ඒ අධ්‍යක්ෂවරයා ඉතා හොඳ අධ්‍යක්ෂවරයකු ලෙස තමයි ලෝකය පිළිගන්නේ. ඒ ආකාරයට බැලුවොත් මගේ ගිනි අවි සහ ගිනිකෙළි, බහුභාර්යා, රෝස වසන්තේ, බහුබූතයෝ 1,2, යකඩ පිහාටු, රන්කෙවිට 1,2, රන්දිය දහර, හිරිපොද වැස්ස, ආසයි මං පියාඹන්න, චැලෙන්ජර්ස්, කොස්තාපල් පුඤ්ඤසෝම, බන්ධනය වැනි චිත්‍රපට හොඳම හිට් බවට පත් වුණා. ඒ අනුව මම වාණිජ වශයෙන් සාර්ථක වූ අධ්‍යක්ෂවරයකු වනවා. ඒ වගේම රාජ්‍ය සේවය පිණිසයි, ලේ කිරි කඳුළු, රන්දිය දහර, සෙනසුරු මාරුව, මධුර චාරිකා ආදිය වාණිජ අංශයට වඩා කලාත්මක හැඩරුවට බර චිත්‍රපට ලෙස මට සම්මාන ලබා දුන්නා. එහෙම ගත්තාම විසිපහෙන් දහනවයක්ම මූල්‍යමය අංශයෙන් හෝ සම්මානවලින් ජයගත් චිත්‍රපට. අනෙක් කීපය ලාබත් නැති පාඩුත් නැති ඒවා. ඒ ගැන කනගාටුවකුත් නෑ. වස්සානයේ සඳ වගේම ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් වැනි චිත්‍රපට ගැන ඒ මොහොතේ කතා කළාට වඩා වෙනස් දෙයක් මේ වන විට සමාජයේ කතා වෙනවා. ඉතින් මගේ කිසිම චිත්‍රපටයක් පිළිබඳ පසුතැවීමක් නෑ.

 

අවුරුදු විසිපහක කාලයක් ගත වෙද්දි ප්‍රේක්ෂකයන්ගේ රසඥතාවයේ වෙනසක් සිදු වී තිබෙනවාද?

මට නම් කියන්න තිබෙන්නේ එදාත් ප්‍රේක්ෂකයා හතරදෙනාම සූරයෝ බලන්න ගියාට තුංමංහංදිය බලන්න ගියේ නෑ. ඒ ප්‍රේක්ෂකයාම තමයි අදත් ඉන්නේ. විශේෂ වෙනසක් දකින්න බැහැ. ඉතාම හොඳ කලාත්මක චිත්‍රපටයක්, මානුෂීය හැඟීම් දනවන ලෙස කළොත් එයට ප්‍රේක්ෂක අවධානය හරි අඩුයි. එය සිනමාවට පමණක් නොවේ ගායන ක්ෂේත්‍රයේත් එහෙමයි. ශාස්ත්‍රීය ගීයකට වඩා නැගලා යන ගීතවලට වැඩි අවධානයක් යොමු වනවා. ඒ බව දැනගෙන තමයි මම චිත්‍රපට හදන්නේ. මධුර චාරිකා හදද්දි මම දැනගෙන හිටියා ලොකු ප්‍රේක්ෂක අවධානයක් යොමු කරගන්න බෑ කියලා. ඒ දැන දැනත් අපි චිත්‍රපට හදනවා. ඒක තමයි ස්වභාවය.

 

ඔබ නිෂ්පාදකවරයකු ලෙසත් කටයුතු කරනවා?

ඔව්. මගේ චිත්‍රපට රැසක නිෂ්පාදන දායකත්වය මම කළා. නිෂ්පාදකයකු ලෙස ගත්තත් මම සාර්ථකයි කියන්න පුළුවන්. කලාත්මක වගේම වාණිජ චිත්‍රපටවලටත් දායකත්වය දුන්නා. කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයෙන් ලැබුණු මුදලින් මධුර චාරිකා කළා. ඒ වගේ තුලනාත්මකව චිත්‍රපට කරගෙන යෑමයි මගේ තෘප්තිය.

 

එච්. ඩී. ප්‍රේමරත්න, ස්ටීවන් ස්පීල්බර්ග් සහ මනිරත්නම් හැරුණු කොට ඔබේ සිනමා දැක්මට බලපෑම් කළ දේශීය හා විදේශීය සිනමාකරුවන් සිටිනවාද?

ලංකාවේ නම් මම අතිශයින්ම ආදරය කරන කෙනෙක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. ඔහුගේ ගම්පෙරළිය, නිධානය, දෙලොවක් අතර වැනි චිත්‍රපට මගේ හිත තදින් වෙනස් කළා. ඊට අමතරව ආචාර්ය ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් වගේ චිත්‍රපට මගේ සිත අතිශයින් කැලඹුවා. ආචාර්ය තිස්ස අබේසේකරගේ විරාගයත් එහෙමයි. ඒවායින් මම ලොකු පන්නරයක් ලැබුවා වුණත් ඒවා පස්සේම ගියෙත් නැහැ. රන් මුතු දූව, යටගිය දවස, අල්ලපු ගෙදර, හතර දෙනාම සූරයෝ වැනි චිත්‍රපටවලින් අතිශය සතුටක් ලැබුවා. ලෙනින් මොරායස්ගේ චිත්‍රපටවලිනුත් මම යම් අදහසක් ගත්තා.

විදේශීය අධ්‍යක්ෂවරුන් වශයෙන් පීටර් ජැක්සන්, ලූක් බෙසෝම්, මයිකල් බේ, ජෝජ් ලූකස් වැනි අයගේ දැවැන්ත වාණිජ චිත්‍රපට පිළිබඳ හැදෑරුවා. ඒ වගේම කලාත්මක පැත්තෙන් සත්‍යජිත් රේ, අකිර කුරසෝවා, ඇල්ෆ්‍රඩ් හිච්කොක්, ඩේවිඩ් ලීන්, පැසොලිනී, තර්කොව්ස්කි, අබ්බාස් කියරොස්තාමි වැනි අයගේ චිත්‍රපටවල හැඩරුවත් හැදෑරුවා. ඒ අතරින් බැට්ල්ෂිප් පොටෙම්කින්, පාතර් පංචලී, සයිකෝ, සෙවන් සමුරායි, කැසැබ්ලන්කා, ෆොර් අ ෆිව් ඩොලර්ස් මෝර් වැනි චිත්‍රපට මගේ සිත්ගත්තා. මම ඔවුන් තරම් දැවැන්ත උත්කෘෂ්ට චිත්‍රපටකරුවකු කියා මම කියන්නේ නැහැ. එහෙත් ඒවායින් මම ආභාසය ලැබුවා බොහෝ දුරට.

 

ඔබ ගුණාත්මක චිත්‍රපට ගැන කතා කළා. අධ්‍යක්ෂවරයකු ලෙස ගුණාත්මක චිත්‍රපටයක් නිර්වචනය කරන්නේ කෙසේද?

ප්‍රේක්ෂකයාගේ මනස පහළට ඇද දමන අයුරින් සහ සිනමාවට නිගා වන අයුරින් බාල තත්ත්වයේ නිර්මාණයක් නොවන, ග්‍රාම්‍ය දෙබස් ආදියෙන් බැහැර වුණ, සිනමා සිද්ධාන්තවලට ගැළපෙන රූපරාමු තෝරා බේරාගෙන, හොඳ තිර රචනයක් යටතේ කතාව පෙළ ගස්වාගෙන, නළු නිළියන්ගේ හොඳ මට්ටමේ රඟපෑම් සහිතව, හොඳ සංගීතයක් ආදි සියල්ල පත අට එකට සිඳුවනවා වගේ පරෙස්සමින් කරන චිත්‍රපටයක් හොඳ ගුණාත්මක එකක් ලෙස දකින්න පුළුවන්.

 

ඔබේ විසිහය වැනි චිත්‍රපටය ගැනත් කතා කරමු?

(සිනාසී) එය රිදී සීනු නමින් එන ළමා චිත්‍රපටයක්. මට තව චිත්‍රපට කීපයක් කිරීමේ හැකියාව තිබෙනවා. ගිනි අවි සහ ගිනි කෙළි ඊළඟ කොටස් කරන්න නියමිතයි. ඒවායේ පිටපත් රචනා කර අවසන්. බහුභාර්යා දෙවැනි කොටසත් ලියා අවසන්. කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයේ දෙවැනි කොටසත් සාජන්ට් පුඤ්ඤසෝම නමින් ලියා තිබෙන්නේ. ඊට අමතරව වෙනස්ම ආකාරයේ නව කතා සංකල්ප කීපයක්ම තිර රචනය කර තිබෙන්නේ. තවත් චිත්‍රපට දහයක්වත් කිරීමේ බලාපොරොත්තුවක් හිතේ තිබෙනවා. ඒත් අපි සියලු දෙනාගේ සිහින ප්‍රාර්ථනා අද පවතින අර්බුදකාරී වාතාවරණය නිසා ඇනහිට තිබෙනවා. ආයෙ කවදා රටේ යහපත් වාතාවරණයක් ඇති වේද කියා සිතමින් ඉන්නේ. මනසට නිදහසේ චිත්‍රපටයක් කරන්න හොඳ පසුබිමක් රටේ පැවතීම අත්‍යවශ්‍යයි. කොහොම වුණත් ගින්දරී චිත්‍රපටය එන්න නියමිතයි, හොඳ විනෝදාත්මක චිත්‍රපටයක් තමයි ඊළඟට කරන්න ඕනේ. කොයි නිර්මාණය ඉස්සර වෙයිද දන්නේ නෑ. රටේ තත්ත්වය අනුව මේ වෙලාවේ විනෝදාත්මක චිත්‍රපටයක සාර්ථකත්වයට ඉඩ වැඩියි. රටේ ආර්ථික තත්ත්වය අනුව එදා සිටි ප්‍රේක්ෂකයා ආපසු එයිද කියන්න බැහැනේ. ඒ නිසා අවදානම අඩුම එකකින් පටන්ගත යුතුයි කියා හිතනවා.

 

වසර විසිපහක් පුරා ඔබේ ගමනට සහාය දුන් අයත් මතක් කරමු?

එය අනිවාර්ය දෙයක්. විශේෂයෙන් මට චිත්‍රපට නිර්මාණය කරන්න මූල්‍යමය සහාය දුන් නිෂ්පාදකවරු, කාර්මික අංශයෙන් සහාය දුන් ශිල්පීන්, මගේ චිත්‍රපටවල රඟපාමින් සහාය දුන් නළු නිළියන්, මට විශාල සහායක් දුන් මාධ්‍යවේදීන් සහ මට නිර්මාණ කරගන්න හොඳ වටපිටාවක් සකසා දුන් බිරිය ශාන්ති, පුතා සහන් රනුක සහ දියණිය සඳුනිටත් මගේ නිර්මාණ නැරඹූ ප්‍රේක්ෂකයන්ටත් මගේ ප්‍රණාමය හිමිවෙනවා.

 

මෙතෙක් කල් ඔබ සිනමාවේ නියැළෙද්දි ක්ෂේත්‍රයට දායක කරන්න ඇත්තේ නිර්මාණ පමණක් නොවේ?

සැබැවින්ම මට මේ ක්ෂේත්‍රයට කීප දෙනකු හඳුන්වා දීමට හැකි වීම සතුටක්. විශේෂයෙන් සංගීතයේ නියැළි සිටි භාතිය සන්තුෂ් දෙදෙනා සිනමා සංගීත අධ්‍යක්ෂවරුන් ලෙස මට හඳුන්වා දෙන්න හැකි වුණා. ඒ වගේම ආනන්ද පෙරේරා, දුලිප් ගබඩාමුදලිගේ, මහේෂ් දෙනිපිටිය, සංගීත් වික්‍රමසිංහත් ගායක ගායිකාවන් ලෙස උමාරියා සිංහවංශ, සශිකා නිසංසලා වැනි ගායිකාවන්, උදාරි වර්ණකුලසූරිය, රොෂාන් රණවන, පුබුදු චතුරංග, ශ්‍රීනාත් මද්දුමගේ, ශ්‍යාම් ප්‍රනාන්දු, ශ්‍රීමාල් වෙඩිසිංහ, බුද්ධික ජයරත්න, උමාලි තිලකරත්න, නිසංසලා ජයතුංග ඇතුළු තවත් බොහෝ දෙනා හඳුන්වා දෙන්නට ලැබීම මේ ක්ෂේතයට මා කළ මෙහෙයක් කියන සතුට මට තිබෙනවා.

 

ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයකු ලෙස ඔබට අලුතෙන් සිනමාවට අවතීර්ණවන පිරිසට කියන්න යමක් ඇති?

මගේ සිනමා ගමන පූර්වාදර්ශයක් කරගත හැකි නම් එය ලොකු දෙයක්. එකම ප්‍රවර්ගයකට කොටු නොවී සමස්ත සිනමාව පිළිබඳ හැදෑරීමත්, පුහුණුවක් ලැබීමත්, ප්‍රායෝගි බවත් වැදගත්. ඒ වගේම නිර්මාණයකදී තමන්ට තමන් අවංක වන්න. අපටත් තරමක් මඟහැරුණු දෙයක් තමයි නව තාක්ෂණය. ඒවාත් හදාරා නිර්මාණයට අවංක වුවොත් දිගු ගමනක් යා හැකියි.