චිත‍්‍රපටයේ රිද්මය වටහා නොගතහොත් එය අසාර්ථකයි

ජ්‍යෙෂ්ඨ සිනමාවේදී තිස්ස ලියනසූරිය
ජූලි 7, 2022

 

සිංහල සිනමාවට නිළි රැජනක් දායාද කරන්නට සමත් වූ අධ්‍යක්ෂවරයා ඔහුය. ඔහු අධ්‍යක්ෂණය කළ චිත‍්‍රපට සංඛ්‍යාව සීමිත වුවත් ඒ සියල්ල අපේ සිනමා ඉතිහාසයේ මංසලකුණු බව්ට පත් වූ ඒවාය. රන්මුතු දූව චිත‍්‍රපටයේ ගීත පෙළ, ගැටවරයෝ සම අධ්‍යක්ෂණය, පුංචි බබා, සාරවිට, නාරිලතා අධ්‍යක්ෂණය මේ සිනමාවේදියා හෙළ සිනමාවට දැක් වූ දායකත්වයයි. සිය ජීවිතයේ අටවැනි දශකය සතුටින් ගෙවමින් සිටින ජ්‍යෙෂ්ඨ සිනමාවේදී තිස්ස ලියනසූරිය මහතා සරසවියට කළ අතීතාවර්ජනයකි මේ....

”‍ආයුබෝවන් ලියනසූරිය මහත්තයා!”‍

 

”‍ආයුබෝවන්ඩ... ආයුබෝවන්ඩ.”‍ ඔහු පැවසුවේ සුපුරුදු උද්යෝගයෙන් යුතුව මුව පුරා රැඳුණු සිනහවෙනි.

 

”‍කොහොමද ඉතින් අලූ‍ත් තොරතුරු එහෙම”‍

 

”‍මේ දවස්වල කාලය ගත වෙන්නේ නම් පොත්පත් කියවන්නයි, ටීවී එකේ චිත‍්‍රපටයක් එහෙම ගියොත් බලන්නයි තමයි. ඒ ඇරුණාම විශේෂයෙන් කෙරෙන වැඩක් නෑ. කලා කටයුත්තකට සම්බන්ධ විය හැකි වාතාවරණයක් නැති නිසා බලාගෙන ඉන්නවා හොඳ කලක් එනතුරු”‍

 

මට ද දැනෙන්නේ උනන්දුවකි. එනිසාම තවත් යමක් ඒ පිළිබඳ ඇසිය යුතුය.

 

”‍ඒ කියන්නේ චිත‍්‍රපටයක්වත් කරන්නද හිතාගෙන හිටියේ?”‍

 

”‍චිත‍්‍රපටයක්මත් නෙවෙයි... දැන් චිත‍්‍රපටයක් කරන එක ටිකක් අපහසුයි. පුළුවන්කමක් තිබුණොත් චිත‍්‍රපටයක් කරනවා. හැබැයි ටෙලි නාට්‍යයක් කිරීමට අවස්ථාවක් ලැබෙයි කියලා තමයි හිතාගෙන හිටියේ.”‍

 

”‍පිටපතක් එහෙම තියෙනවාද ලියුව?”‍

 

”‍එහෙමමත් නෙවෙයි. පොතපත කියවද්දි සමහර කතා රූප මාධ්‍යයට හොඳයි කියලා හිතෙනවා.”‍

 

”‍ඇත්තට ලියනසූරිය මහත්තයා පොඩි කාලේ ඉඳන්ම මේ දේවල්වලට උනන්දු වුණාද?”‍ මගේ ප‍්‍රධාන පීල්ලට කතාව යොමු කර ගත්තෙමි. ඔහු අතීතයට පියාසලන්නට විය.

 

”‍මම පාසල් ගියේ මරදාන ශාන්ත ජෝසෆ් විද්‍යාලයටනෙ. මම එදා ඉඳන්ම හිටියේ බොරැල්ලේ කාසල් විදියේ. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහත්මයා පදිංචි බොරැල්ල ගෝතමී පාරේ. මම දවසක් එතුමා හමුවෙලා මගේ අදහස ගැන කීවා. එතුමා ඇහුවා මගෙන් සින්දු කියන්න එහෙමත් පුළුවන්ද කියලා. මම කවදාවත් කිසි දෙයක් බෑ කියලා හිතන කෙනෙක් නෙවෙයි. මම පුළුවන් කීවා. ඒ වෙද්දි එතුමා බියන්විල ඉංග‍්‍රීසි පාසලේ සේවය කළේ. ඒ පාසලේ ආරාධිත අමුත්තකු පිළිගන්න මුල්ගීතය කියන්න කෙනෙක් නෑ ඔය ළමයාට පුළුවන්ද ඒ ගීය ගයන්න කියලා ඇහුවා. මම කියන්නම් කීවා. පද රචනයක් මට දීලා ඇහුවා තනුවක් එහෙම හිතේ තියෙනවාද කියලා. මම කීවා ඒ කාලේ බොහොම ජනප‍්‍රිය සුජාතා චිත‍්‍රපටයේ මනරංජන දර්ශනීය ලංකා ගීතයේ තනුවට ගයන්නම් කියලා. මට තාම මතකයි ඒ ගීතය... සැරදේ... සැරදේ... සැරදේ අප පාසල් මවුනී...”‍

 

ඔහු මනරංජන තාලයෙන් ඒ ගීය ගයා පෙන්වයි. මම විස්මයෙන් එයට සවන් දුනිමි. මගේ මතක පොතේ තිස්ස ලියනසූරිය නාමය ඉදිරියේ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකුට අමතරව දැන් ගායකයකු ද වෙයි. ගීය ගයා අවසන ඔහු අහිංසක ලෙස බැල්මක් හෙළන්නේ මා එය කෙතරම් ග‍්‍රහණය කරගත්තාදැයි මැනගන්නට මෙනි.

”‍ෂා... නියමයිනේ. කේ. ඒ. ඩබ්ලිව් මහත්තයා බොහොම සතුටු වෙන්න ඇති?”‍ මගේ ප‍්‍රතිචාරයයි.

 

”‍ඒක වුණේ මෙහෙමයි. මට ජාතික ඇඳුමක් අන්දලා, වේදිකාවේ තිරය විවෘත වූ ගමන් පහළොස් දෙනකු විතර සිටි වාදක මණ්ඩලයක් තනුව වයද්දි තමයි මට ගායනය කරන්න සිද්ධ වුණේ. එතකොට මට වයස අවුරුදු පහළොවක් විතර ඇති. (සිනාසී) කොහොම හරි කේ. ඒ. ඩබ්ලිව් මහත්තයාගේ හිත දිනාගන්න ලැබුණේ ඒ ගීතයෙන් තමයි.

 

ඊට පස්සේ ඉඳන් පාසල් යන අතරම ගුවන්විදුලියට සම්බන්ධ වෙලා විචිත‍්‍රාංග වැඩසටහන් කරන්න අවස්ථාව ලැබුණා. රාත‍්‍රී හතයි පහළොවේ සිට අට දක්වා රේඩියෝ රඟමඬලට සහභාගී වුණ ළාබාලම සාමාජිකයා මම. පාසල් පහකින් ශිෂ්‍යයන් පස්දෙනකු සම්බන්ධ වුණු ‘පැනපොඩි‘ ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහන වගේ වැඩසටහන්වල මුලදි නිවේදන කටයුතු කළත් පසුව කේ. ඒ. ඩබ්ලිව් මහත්මයා මට අවස්ථාව දුන්නා වෙළෙඳ සේවයට ගුවන්විදුලි පිටපත් ලියන්න. ඉන්ස්පෙක්ටර් පෙරේරාගේ වික‍්‍රම මම එහෙම ලියූ විනාඩි පහළොවක කතාවක්. එය බොහොම ජනප‍්‍රිය වුණා. මිනිමැරුමක් වුණාම ඉන්ස්පෙක්ටර් පෙරේරා පරීක්ෂණ පවත්වලා විසඳගන්න ආකාරය තමයි එහි අඩංගු වුණේ.”‍

 

”‍ඒ කියන්නේ ලියනසූරිය මහත්තයා ෂර්ලොක් හෝම්ස් කතා එහෙම හොඳට කියවන්න ඇති?”‍ මගේ කුකුස එළි දැක්වූයෙමි.

 

”‍ඇත්තෙන්ම ඒ කාලේ මම ඒ වගේ රහස් පරීක්ෂක කතා, ඉංග‍්‍රීසි වැඩසටහන් ආදියට සවන්දුන්නා. ෂර්ලෝක් හෝම්ස් කතාත් කියෙව්වා. රේඩියෝ රඟ මඬල නිෂ්පාදක පී. වැලිකල මහත්මයා දවසක් බලා හිටියත් කතාවේ පෙම්වතාගේ චරිතයට පණ පොවන ශිල්පියා ආවෙම නෑ. ඒ අය කතාවෙලා මගෙන් ඇහුවා මේ ළමයාට පුළුවන්ද ඒ පෙම්වතාගේ චරිතය කරන්න කියලා. මමත් කටපුරා හා කීවා. ශීලා පීරිස් ගායිකාව තමයි පෙම්වතියගේ චරිතයට පණ පොවන්නේ. ඉතින් මම කිසි කුලෑටිකමක් නැතුව ගුවන්විදුලි නාට්‍යය කළා. වැඬේ සාර්ථකයි. සියලූ‍ දෙනාම සතුටුයි. මමත් සතුටින් ගෙදර ගියා. හැබැයි මම ගෙදර යද්දි තාත්තා පොඩි ලියමනක් මට ලියා තබලා නිදාගන්න ගිහින්. තාත්තා එහි කියා තිබෙන්නේ දිගින් දිගටම එවැනි වැඩසටහන්වලට සහභාගී වනවා නම් තවදුරටත් ගෙදර ඉන්න දීම අපහසුයි, ඒ ගැන හිතා බලන්න කියලායි. අම්මා මට ලියමන දුන්නාම කියවලා මමත් මගේ ස්ථාවරය කීවා. ගෙදර අතහැර යන්න වුණත් ගුවන්විදුලිය අතහරින්නේ නෑ, දැන් මම කළ යුත්තේ එය නම් මම ගෙදරින් පිටවෙන්නම් කියලා. අම්මා කීවා කලබල නොවී කෑම කාලා නිදියන්නකෝ කියලා. මට කන්නත් බෑ, නින්ද ගියෙත් නෑ. තාත්තා උදේ නැඟිටලා මා එක්ක වැඩි කතා බහක් නෑ. හැබැයි ගුවන්විදුලියට යන්න එපා කියන්නෙත් නෑ. අම්මා වැඬේ බේරලා කියා අපට තේරුණේ පස්සේ. අම්මා නාත්ත්ඩියේ පනාගොඩ ජොසී මාර්ගරට් මාපාවිදානපතිරණ. තාත්තා බෙරෝනිස් පෙරේරා ලියනසූරිය. අපේ ගම් පළාත් වන්නේ බදුල්ල හා ගාල්ල. හැබැයි මම ජීවිත කාලෙම හිටියේ කොළඹ. ”‍

 

ඒ ඔහු සිනමාවට පිවිසෙන්නට පෙර යුගයයි. ඉන්පසු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හමු වීමත් සමඟ ඔහුගේ දෛවය සිය ගමන් මඟ හැසිරවීය.

”‍කේ. ඒ. ඩබ්ලිව් මහත්තයා ලෙස්ටර් පීරිස් මහත්මයාට කතා පිටපත් ලියනවා. රේඛාව චිත‍්‍රපටයේ දෙබස් එහෙමත් ලියැවුණේ එහෙමනේ. ඒ නිසා මිස්ටර් පීරිස් සන්දේශය චිත‍්‍රපටයේත් කතාව සහ දෙබස් රචනයට කේ. ඒ. ඩබ්ලිව්ව සම්බන්ධ කරගෙන තිබුණා. ඒ අතරම කියා තිබුණා සන්දේශය දැවැන්ත චිත‍්‍රපටයක් නිසා සහාය අධ්‍යක්ෂවරු දෙදෙනක් ඉන්නවා වුණාට තවත් කෙනෙක් අවශ්‍යයි කියලා. කේ. ඒ. ඩබ්ලිව් මහත්මයා කියලා තරුණයෙක් ඉන්නවා මම අහලා බලන්නම් කියලා.

 

එතකොට මම එස්එස්සී විභාගයට වාඩි වුණා විතරයි. මම කැමැත්ත දුන්නා. ඒත් කේ.ඒ.ඩබ්ලිව් කීවා ‘තමුසේ කැමැති වුණාට බෑ, අම්මාගෙනුත් අහන්න ඕනෑ කියලා.‘ එතුමව අම්මාත් හොඳට අඳුනන නිසා අම්මා කීවා ‘අපට පිරිමි ළමයි හයයි. අනෙක් අය නම් හොඳ රැකියා කරනවා. මේ බාලයාත් හොඳ තැනකට එයි කියා හිතෙනවා නම් මගේ විරෝධයක් නෑ.‘ කියලා.

 

කේ.ඒ.ඩබ්ලිව් මහත්මයා මට කීවා ‘එහෙනම් වැඬේට යන්න හැබැයි අපේ නම සවුත්තු නොවෙන ආකාරයට වැඩ කරන්න දැනගන්න ඕනෙ‘ කියලා. මම එදා බාරගත් පොරොන්දුව අදටත් රැකලා තිබෙනවා.”‍

 

ඔහු කියන්නේ අභිමානය මුසු සතුටකිනි. සන්දේශයේ තුන්වැනි සහාය අධ්‍යක්ෂ ලෙස තිස්ස ලියනසූරිය භද්‍ර යෞවනයා සිනමාවට පිවිසෙන්නේ 1958 වසරේදීය.

”‍චිත‍්‍රපටයේ සියයට අනූවක් දර්ශනතල තිබුණේ බෙලිහුල්ඔය ග‍්‍රාමයේ. මාස අටක් නවයක් පමණ එහි නැවතී සිටින්නට කේ.ඒ.ඩබ්ලිව්ට බෑ කීවා. හේතුව ඔහු ඒ වන විට ලංකා ගුවන්විදුලියේ සම්පාදකවරයකු ලෙස ස්ථිර රැකියාවකට සම්බන්ධ වී සිටීම. ඉතින් ලෙස්ටර් මහත්මයා ඇහුවා ඔහුගෙන් ඉටු වූ වැඩකටයුතු ටික කරන්නේ කවුද කියලා. මේ තිස්සට දෙන්න කීවා. ඉතින් සහාය අධ්‍යක්ෂකමට අමතරව නළුනිළියන්ට දෙබස් කියාදීම ආදි නොයෙක් කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. සමහර වෙලාවට ලෙස්ටර් මහත්මයාට රූපගත කිරීම් අතර අලූ‍ත් ජවනිකා සඳහා අදහස් පහළ වෙනවා. ඒවාට සිංහල දෙබස් ලීවෙත් මම. අපට ජෙනරේටරේ දුන්නේ ? 10 වනතුරු පමණයි. ඉතින් පංගුවක් දාට මුළු ?ම ඉටිපන්දමක් දල්වගෙන අමතර දෙබස් ටික ලියලා පහුවෙනිදාට දෙනවා. බෑ කියන වචනේ මගේ ශබ්ද කෝෂයේ නැති නිසා පුළුවන් විදිහට කළා. වරදක් වුණෙත් නෑ.”‍

 

”‍ ලියනසූරිය මහත්තයාලා සෑහෙන දුකක් විඳින්න ඇති නේද?”‍

 

”‍හරි කටුකයි තමයි බෙලිහුල් ඔය. ඒත් හොඳයි. කොපමණ හොඳද කියනවා නම් මම රූපගත කිරීම් අවසන් වූ පසු ඉල්ලීමක් කළා ඉතිරි වැඩවලටත් සම්බන්ධ වෙන්න අවසර දෙන්න කියලා. ඒ නිසා සංස්කරණ කටයුතු, දෙබස් කැවීම්, ශබ්ද පටිගත කිරීම්, රසායනාගාර කටයුතු, ප‍්‍රචාරක කටයුතු ආදි සියල්ලට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ලෙස්ටර් මහත්මයා සිනමාස් සමාගෙම් කේ. ගුණරත්නම්ට කියූ නිසා මාව දිගටම වැඩට තබා ගන්න කියලා. මට රුපියල් 125ක් වැටුප් වශයෙන් ගෙවුවා. ආපසු හැරිලා බලද්දි චිත‍්‍රපට නිර්මාණය පිළිබඳ සෑහෙන අවබෝධයක් මට ලැබී තිබුණා එයට සහභාගී වීමෙන්.”‍

 

”කොහොමද එකකොට රන්මුතු ¥වට සම්බන්ධ වුණේ?”‍ මට පැනයකි.

 

”පනහ දශකයේ අගභාගයේ අපේ සිනමා කර්මාන්තයේ කාටවත් වැඩ තිබුණේ නෑ. නිෂ්පාදකවරු චිත‍්‍රපට නිෂ්පාදනය අතහැර තිබුණා. ඒත් 1961 වසරෙදි සෙරන්ඩිබ් ආයතනය රන්මුතු ¥ව නිෂ්පාදනය කරන්න ගත්තා. මයික් විල්සන් මහත්මයා තමයි අධ්‍යක්ෂ. නිෂ්පාදනය මයික් විල්සන්, ශේෂා පලිහක්කාර සමඟ ආතර් සී. ක්ලාක්. සන්දේශයේ ඇඳුණුම්කමට ටයිටස් තොටවත්ත තමයි මාව සහාය අධ්‍යක්ෂණයට ගන්න කියා යෝජනා කර තිබුණේ මයික් විල්සන්ට. ඔහු කතාව ලියා තිබුණේ ඉංග‍්‍රීසියෙන්. මගෙන් ඇහුවා එය සිංහලයට පරිවර්තනය කරන්න පුළුවන්ද කියලා. ඉතින් රන්මුතු ¥ව සිංහලට හැරුණේ මගේ අතින්. සෙරන්ඩිබ් ආයතනය සමඟ කටයුතු කරද්දි මට හරි ආසාවක් ඇති වුණා. මොකද මට දැනුණේ විදේශීය චිත‍්‍රපටයකට සම්බන්ධ වෙලා කටයුතු කරනවා වගේ හැඟීමක්. සෙරන්ඩිබ් එකට වෙනම ඇරී ෆ්ලෙක්ස් කැමරාවක් තිබුණා. ලයිට් තිබුණා. මුහුදු යට දර්ශන ගන්න මිලිමීටර් 16 බෝලෙක්ස් කැමරාවක් යොදාගත්තා. ඔක්කොම ආම්පන්න විදේශීය චිත‍්‍රපටයක වගේ.

 

ආතර් සී. ක්ලාක් මහත්මයාත් සමඟ කටයුතු කිරීමට ලැබීම මට විශාල භාග්‍යයක්. එතුමාට තිබුණු ගෞරවය නිසා අපි වැඩිය කතා කරන්න නොගියාට ඒ චරිතය හිතට කා වැදුණු නිසා එතුමා කටයුතු කරන ආකාරය පිළිබඳ සෑහෙන උනන්දුවක්, අවධානයක් මට තිබුණා. ඒ නිසාම කාර්යාල කාමරයේ දොර යන්තම් විවර වෙලා තිබුණත් ඒ අස්සෙන් හෝ ඔහුගේ හැසිරීම බලා ඉන්න මම උත්සාහ කළා.

 

ක්ලාක් මහත්තයා ලියමින් ඉන්නවා. හිටි හැටියේ ලිවීම නවත්වලා දඩස් ගාලා එනවා වත්තට. පුටුවක් තියාගෙන විනාඩි දහයක් පමණ අහස දිහා බලාගෙන ඉන්නවා. ආපහු ගිහින් ලියනවා. ඒක හරිම ආකර්ෂණීය හැසිරීම් රටාවක්.

 

එතුමා මයික් විල්සන්ට තමන්ගෙ පුතෙකුට සමානව සැලකුවා. එතුමා තමයි කීවේ එංගලන්තයේ සල්ලි තිබෙන නිසා යන වියහියදම් බලාගන්නම් මේ චිත‍්‍රපටය වර්ණයෙන් කරන්න කියලා.

 

මට ලොකු අවස්ථාවක් ලැබුණේ මෙහි කටයුතු කරන්න. අපි මාස හතඅටක් රූගත කිරීම් සඳහා හිටියේ කෝනේෂ්වරම් දේවාලය අසල. අපේ නිෂ්පාදක කණ්ඩායම පස්හයදෙනකුට වඩා නෑ. මට ඇත්තෙන්ම වෘත්තාන්ත චිත‍්‍රපටයක් කරනවාද කියලා හිතුණෙත් නෑ. හරියට විත්ති කතාවක් (වාර්තා වැඩසටහනක්) කරනවා වගේ නැත්නම් පුවත් සඟරාමය වැඩසටහනක් වගේ අදහසක් ආවේ.

 

වරින් වර අවශ්‍ය නළු නිළියන් ගෙන්වා ගත්තා. ගාමිණි, ජෝ, ශේන්, ජීවරාණි තමයි දිගටම චිත‍්‍රපටයේ පෙනෙන නිසා අප සමඟ සිටියේ. ඒ අයට දර්ශන තලය අසලම වෙනම ගෙයක් තිබුණා. අපි කාර්මික ශිල්පීන් පස්හය දෙනා වෙනම පොඩි ගෙයක හිටියා. එතැනදි මට දැනුණේ පවුලේ කට්ටිය එකතු වෙලා කරන වැඩක් වගේ. අපට අදාළ වෙන් කළ වැඩ කොටස විතරක් නෙවෙයි අපි කළේ. හැමදේම හොයලා බලලා සාමූහිකව කටයුතු කළා.

 

චිත‍්‍රපටයට ගීත තුනක් ඇතුළත් වුණා. පාරමිතා බල පූරිත පූජිත, පිපී පිපී රේණු නටන, ගලන ගඟකි ජීවිතේ තමයි ඒ. ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ තමයි ගීත ප‍්‍රබන්ධ තුනම. සංගීතය පණ්ඩිත් අමරදේවගේ. ඉතින් රූපගත කරගෙන යද්දි මයික් විල්සන් කීවා තිස්ස මට ගීත සම්බන්ධව කිසි අදහසක් නෑ. පුළුවන් ද මා වෙනුවෙන් මේ ගීත ටික බාරගෙන කරලා දෙන්න කියලා. මමත් පුළුවන් කියලා බාර ගත්තා. මට කිසි බයක් දැනුණෙත් නෑ. දැඩි ආත්ම විශ්වාසයක් තිබුණා කරන්න පුළුවන් කියලා.

 

පාරමිතා බල ගීතයට සිරිපාදයට ගිහින් අවශ්‍ය දර්ශන රූගත කළා. මයික් විල්සන් හරිම ගුණයහපත් කෙනෙක්. පිපී පිපී ගීතය උස්වැටකෙයියාවේ මුහුදු වෙරළේ මම අධ්‍යක්ෂණය කරද්දි මයික් කීවා අද කැමරා ශිල්පියා ඩබ්ලිව්. ඒ. රත්නායක නෙවෙයි, අධ්‍යක්ෂ තිස්ස ලියනසූරියට මම කැමරාකරණයෙන් සහාය වෙනවා කියලා. ඔහු රූගත කිරීම් කළා. ඒක හරිම අපූරු අත්දැකීමක්.

 

ගලන ගඟකි ජීවිතේ ගීතයත් දර්ශන තල කීපයකම රූගත කළා. හැබැයි මෙහි රසවත් වැඩක් සිදු වුණා.”‍

 

ඔහු කීවේ මගේ කුතුහලය අවුස්සමිනි. එය දැනගැනීමට මම තවත් හරිබරි ගැසී අවධානය යොමු කළෙමි.

 

”‍මේ ගීතය මුලින් පදරචනය කරන අවස්ථාවේ අපි කොළඹ හිටියේ නැහැ. මටයි ශේෂාටයි ත‍්‍රිකුණාමලයට යන්න සිදු වුණා. ඉතින් අපි අමරදේවයි මානවසිංහයි හමුවෙලා කීවා සින්දුවේ ට‍්‍රයල් එකක් රෙකෝඞ් කරලා අපට පටයක් එවන්න කියලා. ඔවුන් දෙදෙනාත් ගීතයක් අපට ත‍්‍රිකුණාමලයට එවුවා. ගාමිණිත් (ෆොන්සේකා) හිටියා. අපි ගීතයට සවන්දුන්නා. ලස්සනයි. හැබැයි චිත‍්‍රපටයට උචිත නැහැ. සරල ගීතයක් වගේ. මට තවම එය මතකයි.”‍

 

ඔහු ගීතය තාලයට ගයා පෙන්වයි.

 

”‍පාවෙන උකුළු‍ තලා

 

තාලෙට සලා සලා

 

සිපගෙන පුලින තලා

 

රස පෙම් රහස කියා

 

ගංගා කොමළ නිළී

 

හදවත පුබුදු කළා

 

පාවෙන උකුළු‍ තලා...

 

පාවෙයි පාවෙයි පෙම් රස

 

පේ‍්‍රම සිහිනයක් වගේ

 

අනුරාගය හා මුසු වී

 

යයි ගලා

 

සුළඟද ළපලූ‍ කොමලි

 

මත් කළා

 

පාවෙන උකුළු තලා...

 

ගොවිඳු සොයාලා

 

රාධා ගියා සේ

 

ගංගා කුමාරි

 

කවුද සොයන්නේ

 

පාවෙන උකුළු‍ තලා...”‍

 

ඇත්තෙන්ම ඒ ගීය මනරම්ය. ඔහු එය ගායනා කර අවසන් වූ විට මගේ ක්ෂණික පැනය වූයේ එය සරල ගීයක් වශයෙන් හෝ පටිගත කෙරුණේද යන්නයි.

 

”‍ඒක දන්නේ නෑ. මම පස්සේ දවසක් අමරදේව මාස්ටර්ගෙන් වාහනේ එන ගමන් ඇහුවා අමරේ මතකද ගලන ගඟකි ගීතයේ මුල් ගීතය කියලා. එතුමා මතක නෑ කීවා.

 

ඉතින් අපි එදා ත‍්‍රිකුණාමලේ ඉඳන් පණිවිඩයක් යැව්වා කොළඹ ආ පසු ගීතය ගැන බලමු කියලා. පස්සේ ශේෂාත් මමත් අමරදේවත් ගියා සවස් යාමෙක මානවසිංහ හමුවන්න ‘මනිමෙඛලා‘ නිවසට බොරලැස්ගමුවේ. අපි ඈත සිටම දුටුවා මානවසිංහ ඉස්තෝප්පුවේ පුටුවක් තබාගෙන වාඩිවෙලා මීවිතක රසින් තනිවම සප්පායම් වන හැටි. ඉතින් අපිත් ගිහින් වාඩිවෙලා හෙමින් සීරුවේ ඇහුවා වෙනත් පදමාලාවක් කරගන්න පුළුවන්ද කියලා. ඔහු කීවා ‘මට මෙතැන ඉඳගෙන ලියන්න බෑ. මගේ සුරූපිනියන් ඉන්නවා අර පොකුණ වටා මට ඒ අය ළඟට යන්න ඕනේ‘ කියලා. ඒ වෙද්දි හොඳටම කරුවලයි. පොකුණක් අපට පෙනුණේ නැහැ. ඒ පාර ශේෂා සුමිත්ත අමරසිංහට (හිටපු ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පී) කතා කරලා කීවා පුළුවන් ඉක්මනට පොකුණ අවට ආලෝකවත් කළ හැකි ආකාරයට ලයිට් ටිකක් අරගෙන එන්න කියලා. සුමිත්ත හැකි ඉක්මනින් ආවා. ලයිට් දැම්මාමයි මම දැක්කේ පොකුණ වටේම සුරුපිනියන් සැබැවින්ම ඉන්න වග. නග්න ස්ත‍්‍රී රූප විවිධ හැඩතලවලට පොකුණ වටා අඹා තිබුණා. මානවසිංහ තමන් කැමතිම සුරූපිනියගේ උකුළු‍ තලයේ හිඳගත්තා. අමරදේවත් මැන්ඩලීනය අතැතිව තවත් සුරූපිනියක මත වාඩි වුණා. අපිත් ඉතින් වාඩි වුණා. දැන් මානවසිංහට හොඳ පදම්. ඔහු අත දිගහැර කීවා ‘ගලන ගඟකි ජීවිතේ‘ කියලා. අමරදේව එය ස්වර කීපයකට නැඟු‍වා. ඊළඟට ‘දයා ලූ මෙ ලෝකයේ‘ කීවාම එයත් මැන්ඩලීනයෙන් වැයුණා. මිහිර පතා ආදරේ - ළපලූ‍ නටයි ගංතෙරේ ඔයවිදිහට පද පෙළෙන් පෙළ කියද්දි තනුවත් ඒ පදවලට හැදුණා. මමයි ශේෂායි පැත්තක ඉඳන් බිරාන්ත වෙලා බලාගෙන හිටියා. මැදියම් ? පහුවෙද්දි ගීතය සම්පූර්ණයි. එය කෙතරම් ජීවිතයට කා වැදුණාද කීවොත් උපරිමයෙන් එය ලබා ගන්න උනන්දු වුණා මිසක කිසිම මහන්සියක් පීඩාවක් දැනුණේ නෑ. ඒවා ජීවිතේ අනර්ඝම අත්දැකීම්.”‍

 

ඔහු මොහොතක් ඒ රස මතකයේ ගිලී සිටියේය. මම ඉන් ඔහු මුදවන්නට උත්සාහ නොකළෙමි.

 

”‍ශේෂලාගේ මාදින්නාගොඩ ඉඩමේ තිබුණු පැරැණි යකඩ පාලමේ, ගොරකානේ, කෝට්ටේ සීඑම්එස් පාසලේ තිබුණු පරිසරය සමඟ ඒ ගීතයෙන් ගාමිණි සහ ජීවරාණි නිරූපණය කළ බන්දු සහ කුමාරිගේ සම්බන්ධය ඇති කළා.”‍ ඔහු කීවේ පිරුණු හදිනි. ඉන්පසු ඔහු ඉගිළු‍ණේ ගැටවරයන්ගේ මතකයටය.

 

”‍සෙරන්ඩිබ් ආයතනය නිෂ්පාදනය කළ ගැටවරයෝ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂණය වගේම කැමරාකරණයත් මයික් විල්සන්ගේ. එහි සහාය අධ්‍යක්ෂ ලෙස තමයි මම වැඩ කළේ. බොල්ගොඩ අවට පරිසරය රූගත කිරීම්වලට වැඩිපුරම යොදා ගත්තේ. මයික් ඒ කොටස් ඉතා උනන්දුවෙන් අධ්‍යක්ෂණය කළා. ඉන්පසු කතාවට ඇතුළත්ව තිබූ ගම්බද ජවනිකා කීපය රූගත කරද්දි අපට වැලිගම කප්පරතොට ප‍්‍රදේශයට යන්න සිදු වුණා. මයික් එහි යන්න වැඩිය උනන්දු වුණේ නැති නිසා මට කීවා ඒ කොටස් ටික රූගත කරගෙන එන්න කියලා. චිත‍්‍රපටය අවසානයේ නාමාවලිය සකසද්දි මයික් විල්සන් නැමැති හිතහොඳ පුද්ගලයා කීවා මෙහි අධ්‍යක්ෂණය කියන තනතුර යටතේ ඔහුගේ සහ මගේ නම් යොදන්න කියලා. මම කීවා එහෙම අවශ්‍ය නෑ. මට සහාය අධ්‍යක්ෂ තනතුර හොඳටම ඇති කියලා. ඒත් ඔහු නිර්ලෝභීව බලෙන්ම සම අධ්‍යක්ෂණය මයික් විල්සන් සහ තිස්ස ලියනසූරිය ලෙස යෙදුවා.”‍ ඔහු කීවේ කෘතඥ පූර්වක හඬකිනි.

 

”‍ඊළඟට තමයි මම ස්වතන්ත‍්‍රව අධ්‍යක්ෂණය කළ චිත‍්‍රපටය හැදෙන්නේ. සාරවිට.”‍

 

ඔහු තරමක් ගැඹුරු හඬින් කතාව පටන්ගත්තේය.

 

”‍සාරවිට කතාව ලීවේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා. මමත් ඔහු සමඟ එකට වාඩිවෙලා කතා පිටපත සැකසුවා. මේ කතාව ජෝ අබේවික‍්‍රමගේ අදහසක්. සබරගමු පෙරහරේ ඔහු දුටු සාරවිටකරුවෙකුගේ චරිතය ගැන පවසා ‘බැරිද අපට ඒ ඇසුරින් කතාවක් ගොතන්න‘ කියා ඇසුවේ ජෝ. ඊට පස්සේ ශේෂා (පලිහක්කාර) මේ කතාව අරගෙන ගියා මයික් විල්සන් ළඟට අධ්‍යක්ෂණය කරන්න කියන්න. ඒ වර ඔහු කියලා තියෙනවා ‘මේක මගේ ජාතියේ කතාවක් නෙවෙයි. මට හරියන්නේ නෑ. මම වඩා කැමැති ක‍්‍රියාදාම චිත‍්‍රපටවලට. තිස්සට දෙන්න එයා මේක හොඳට කරයි කියලා.”‍

 

”‍ඉතින් ලියනසූරිය මහත්තයාගේ ශබ්ද කෝෂයේ බෑ කියලා වචනයක් නෑනේ නේද?”‍ මම විමසුවෙමි.

 

”‍ඔව්. ඔව්. සාරවිට චිත‍්‍රපටයේ සාරයියාගේ චරිතය සමඟ බොහොම සම්බන්ධයි පැල්පත් භූමියක සිදුවීම්. ඒ නිසා අපට සිදු වුණා පැල්පත් පෙළක් සදාගන්න වගේම ඒ චරිතවල හැසිරීම් පිළිබඳ අධ්‍යයනය කරන්න. ඉතින් දවසක් කලා අධ්‍යක්ෂ දයා කරුණාරත්න සමඟ මේ පිළිබඳ සාකච්ඡුා කරන්නට අපි ඞීන්ස් පාරේ අවන්හලකට රිංගුවා. ඒ කාලේ හිටියා මරදාන පැත්තේ චණ්ඩියෙක් චොප්පේ කියලා. අපි එතැන ඉන්නවා දැකලා චොප්පෙ අපේ ළඟට ඇවිත් දැන අඳුනගත්තා. ඒ පාර අපි ඇහුවා මෙහෙම අවශ්‍යතාවක් තිබෙනවා පුළුවන්ද අපට උදවුවක් කරන්න කියලා. ඔහු වහාම ඔහුගේ සගයකුට කතා කරලා කීවා මේ මහත්තුරුන්ට කැමැති කාලයක් පැල්පත් වාසීන් සමඟ ඉන්න ලෑස්ති කරලා දෙන්න කෑම බීම සියල්ල සමඟ කියලා. ඒ සගයා අපව ගෙනිච්චේ කැලණි පාලම යටට. අපි දින හත අටක් එහි පදිංචි වෙලා හිටියා. ඒ අයගේ කටයුතු ගැන හොඳ අවබෝධයක් ලැබුණා. ඒක අපට ලොකු උදවුවක් වුණා සාරවිට කරනවිට. චිත‍්‍රපටයේ නිෂ්පාදක ශේෂා පලිහක්කාරගේ මාදින්නාගොඩ ගෙවත්තේ තමයි අපි ඒ ලබාගත් දැනුම අනුව චිත‍්‍රපටයේ පැල්පත් පෙළ ඉදි කළේ. එහි කැමරාව ඩබ්ලියු. ඒ. රත්නායක, සංස්කරණය ටයිටස් තොටවත්ත, සංගීතය ඩබ්ලිව්. ඞී. අමරදේව, ප‍්‍රධාන ගායනා නන්දා මාලනී සමඟ ජේ. ඒ. මිල්ටන් පෙරේරා.”‍

 

”‍කොහොමද ඒ කාලේ චිත‍්‍රපටයට ලැබුණු ප‍්‍රතිචාර එහෙම?”‍

 

”‍මොනවගේ ප‍්‍රතිචාරයක් එයිද කියලා මම දැනගෙන හිටියේ නෑ. වාණිජ අතින් නම් අති සාර්ථක චිත‍්‍රපටයක් වුණේ නැතුවාට සෑහෙන කාලයක් ශාලාවල ප‍්‍රදර්ශනය කෙරුණා. පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරත් හොඳට ලැබුණා. විශේෂයෙන් පුවත්පත්වලින් විශාල ප‍්‍රචාරයක් ලැබුණා වගේම 1966 වසරේ සරසවිය සිනමා සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂ ඇතුළු සම්මාන 9ක් හිමි වුණා. මගේ පළමු ස්වතන්ත‍්‍ර නිර්මාණයට ඒ තරම් ඇගයීමක් ලැබීම ගැන මට එදා වගේම අදත් ලොකු සතුටක් දැනෙනවා.”‍

 

ඔහු ඒ සතුට මේ මොහොතේ ද විඳ ගත්තේ ළය පුරා සුසුමක් පුරවාළමිනි. එය මොහොතක් විඳගන්නට හැර මම පුංචි බබා වෙත ඔහුගේ අවධානය යොමු කළෙමි.

 

”‍සෙරන්ඩිබ් ආයතනයෙන් පසු සුගතදාස මාරසිංහ නිෂ්පාදකවරයා සමඟ ස්වාධීනව සම්බන්ධ වෙලා තමයි පුංචි බබා චිත‍්‍රපටය කරන්න ලක ලෑස්ති වුණේ. සුගතදාස කලින් චිත‍්‍රපටයක් කරලා හොඳටම පාඩු ලබලා තිබුණ නිසා ඔහු දෙවැනි චිත‍්‍රපටයෙන් ලාභයක් ලබා දෙන්න කියලා පැවරුවේ ජෝ (අබේවික‍්‍රම)ට. ජෝයි මායි කතා වුණා අපි සරල කතා තේමාවක් තෝරාගෙන වැඩි කලබලයක් නැති චිත‍්‍රපටයක් හදමු කියලා. ප‍්‍රධාන නළුවාට ජෝ ම ඉදිරිපත් වුණා. වියදම දරන්න අමාරු නිසා අලූ‍ත් නිළියක් දාමු කියලත් කතා කරගත්තා. ඒ වෙනුවෙන් අපි බොහෝ සම්මුඛ පරීක්ෂණ පැවැත්වුවා. පුවත්පත්වල දැන්වීම් පළ කළා. එකක්වත් සාර්ථක වුණේ නෑ. පසුව අපට දැනගන්න ලැබුණා අකල් වැස්ස වේදිකා නාට්‍යයේ ප‍්‍රධාන නිළිය දක්ෂයි කියලා. ඉතින් ජෝ, මම, සුගතදාස, ඇන්ටන් අල්විස්, සිසිර සේනාරත්න කට්ටියම ලූ‍ම්බිණි රඟහලට ගිහින් නාට්‍යය නැරඹුවා. අර නිළියට කුසලතාවක් තිබෙන බව අපට පෙනුණා. ඒත් අපට චකිතයක් තිබෙනවා මේ තරුණිය මොන විදිහට වගකීම ගනීද කියලා. ඒ නිසා බලන්නත් එක්ක තිර පරීක්ෂණයකට එන්න කියලා දින නියම කරගත්තා විජය චිත‍්‍රාගාරයේ. ඇය ආවා. අපි පුංචි බබා පිටපතේම දෙබස් වගයක් කියන්න ඇයට ලබා දුන්නා. රඟපෑම ගැන අමුතුවෙන් නොකියා අවස්ථාව පමණක් මම ඇයට තේරුම් කළා. කැමරාවෙන් ඇගේ මුහුණේ ඉරියවු, ගමන බිමන, හසු කරගත්තා. එවිට විශ්වාසයක් ඇති වුණා අපට බයවෙන්න දෙයක් නෑ කියලා. ඒ තමයි මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා.

 

පුංචි බබා චිත‍්‍රපටය අති සාර්ථකයි. ගාමිණි හෝල් එකේම දින 100ක් දුවනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. නිෂ්පාදකවරයාගේ අදහසත් ඉටු වුණා. ඔහුට ඊළඟ චිත‍්‍රපට දෙකකට යොදවන්න තරම් ලාභ ලැබුවා.”‍ ඔහු කීවේ සිනාමුසු වතිනි.

 

රිදී තිරයට ඔහු කළ අවසන් වෘත්තාන්ත අධ්‍යක්ෂණය වූයේ නාරිලතා චිත‍්‍රපටයයි. ඊළඟට ඔහු පිවිසියේ එහි දුම් කෝච්චිය වෙතයි.

 

”‍නාරිලතා කියන්නේ දුම් කෝච්චියක් සම්බන්ධ වුණ කතාවක්. එහි ඉංජින් ඩ‍්‍රයිවර් වුණේ කිත්සිරි (පෙරේරා), ගාඞ් ටෝනි (රණසිංහ), ෆයර්මන් නැත්නම් අඟු‍රු පුරවන්නා ජෝ (අබේවික‍්‍රම). ඒ ප‍්‍රධාන චරිත තුනට අමතරව ගාඞ්ගෙ බිරිඳ ලෙස අනුලාත් (කරුණාතිලක) ක්ලබ් එකේ (සමාජ ශාලා) නැටුම් ශිල්පිනිය ලෙස සන්ධ්‍යාත් (කුමාරි) රංගනයේ යෙදුණා. නාරිලතා කතාව ලීවේ ධර්මසිරි ගමගේ, සංගීතය පේ‍්‍රමසිරි කේමදාස, අපි එල්. ඒ. දාවිත් සිංඥෝගේ නිෂ්පාදනය වෙනුවෙන් තමයි මේ චිත‍්‍රපටය කළේ.”‍

 

ඊළඟට මගේ අනිවාර්ය ප‍්‍රශ්නය විය යුත්තේ ඔහුගේ සිනමා දිවිය නිමවීම සම්බන්ධවය. මම එය විමසුවෙමි.

 

”‍70 දශකය වන විට රාවයක් ගියා චිත‍්‍රපට සංස්ථාවක් පිහිටුවන්න යනවා. එයින් සිනමාව කඩා වැටෙනවා කියා. නිෂ්පාදකවරු චිත‍්‍රපට තැනීම නවතා දැමුවා. අපිත් බිය වුණා රස්සාවක් නැති වෙයි කියලා. ඒ අතර රජයේ චිත‍්‍රපට ආයතනයේ පුරප්පාඩුවක් තිබුණා චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු සඳහා. මම එයට ඉල්ලූ‍ම් කළා. වසර ගණනාවක් එහි සේවය කරලා රජයේ චිත‍්‍රපට අංශයේ ප‍්‍රධානියා ලෙස මම විශ‍්‍රාම ගත්තා 1990දි. ඊට පසුව 2002 වනතුරු ජර්මානු චිත‍්‍රපට ආයතනයක වසර 12ක් පමණ වැඩ රාජකාරි කළා. ඒ නිසා තමයි දැන් ටිකක් නිස්කලංකව ඉන්නේ.”‍

 

”‍ඔබ එදා සිනමාව සහ අද සිනමාව සසඳන්නේ කෙසේද?”‍

 

”‍එදා සිනමාවේ රැඳී සිටි අපි හැම දෙනාටම ඉතාම දැඩි අපහසුතා රැසකට මුහුණ දෙන්න සිදු වුණා. අඩුම ගාණෙ සන්නිවේදන කටයුතුවලට පවා අපි සැතපුම් ගණන් ගොස් දුරකථන ඇමතුම් ගත යුතුයි. මිලිමීටර 35 චිත‍්‍රපට සඳහා රූප ශබ්ද වෙනුවෙන් ලොකු යන්ත‍්‍ර ආම්බාබ් කරන එක පවා අපහසු කටයුත්තක්. ඒ නිසා හොඳට සංවිධානය කරලා තමයි වැඬේට බහින්න ඕනෙ. පසු කාලීනව මේ සියල්ල පහසු වුණා. නවීන තාක්ෂණික ක‍්‍රමවේද ආවා. හැබැයි පසු කාලීනව ආ තරුණ පිරිසගේ ගමන නිසි පාරක යන්න ලැබුණේ නැහැ. ඇත්තෙන්ම ඒකට හේතුව අපට හොඳ ගුරුවරු හිටියා. මගේ වාසනාවට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි අය සමඟ වැඩ කරන්න ලැබුණා. පසු කාලීනව අප බලාපොරොත්තු වුණේ චිත‍්‍රපට සංස්ථාව සමඟ හොඳ වැඩපිළිවෙළකට යන්න. ආචාර්ය ඞී.බී. නිහාල්සිංහගේ කාලේ එය හොඳින් සිදු වුණා. පසුව නියමිත වැඩපිළිවෙළක් තිබුණේ නෑ. හොඳ නිර්මාණකරුවන් පිරිසක් හිටියට ඔවුන් හරි මඟකට යොමු කළ බවක් පේන්න නෑ. පසුගිය කාලයේ හැදුණු චිත‍්‍රපට අතරින් කීපයක් මම නැරඹුවා. ඒ අතරින් හොඳ කීපයක් මතු වුණා. බොහෝ වෙලාවට දැනුණ දේ තමයි තාක්ෂණික ඥානයට තව දුරටත් යොමු වෙලා ඒ දැනුම ලබා ගත්තොත් හොඳයි කියන එක. මමත් ඉන්දියාවේ පූනා චිත‍්‍රපට ආයතනයට පුහුණු වෙන්න ගියා. මගේ හැඟීම නම් තරුණ අයට ඒ වගේ ආයතනයකට ගිහින් දැනුම ලබා ගැනීම හොඳයි.

 

චිත‍්‍රපටයකට තිබෙනවා රිද්මයක්. එය වටහා නොගත්තොත් නිර්මාණය අසාර්ථකයි. ඉන්දියානු සිනමාව එය වටහාගෙන තිබෙන නිසා තමයි මේ තරම් ප‍්‍රචලිත වන්නේ. අධ්‍යක්ෂවරයා, කැමරාශිල්පියා, සංස්කාරකවරයා මේ රිද්මය පවත්වාගන්න සම්බන්ධ වනවා. අපට මේවා ගැන කියා දෙන්න තරම් පාසල් විරල නිසා ඉන්දියාවට වත් ගිහින් හැදෑරුවොත් වටිනවා. ඉතින් අපි ඉදිරිය හොඳ වෙයි කියන සුබවාදී බලාපොරොත්තුවෙන් ඉමු.”‍