ද ගේම් චිත‍්‍රපටයෙන් සිනමාවට එන තුන් ඈදුතු පරම්පරාව

අගෝස්තු 11, 2022

 ද ගේම් චිත‍්‍රපටය මේ වනවිට ආදායම් වාර්තා බිඳදමමින් දින 50 පසුකරමින් තිරගත වෙනවා. ද ගේම් ගැන විශේෂයෙන් කතා කළ යුතු හේතූ කාරණා බොහොමයි. ශ‍්‍රී ලංකාවේ චිත‍්‍රපට සංගීතයට අප‍්‍රමාණ මෙහෙයක් කළ සරත් ද අල්විස් චිත‍්‍රපට අධ්‍යක්ෂ සුරංග අල්විස්ගේ පියා මේ චිත‍්‍රපටයට සංගීතය එකතු කරද්දි සුරංගගේ පුතා සහා දුව ද ගේම් හි රංගනයෙන් දායක වෙනවා. මේ තුන් ඈදුතු පරම්පරාව ගැන කතා කරන්න වගේම චිත‍්‍රපටය ගැන කතා කරන්නත් අධ්‍යක්ෂ සුරංග ද අල්විස් සහ සරත් ද අල්විස් සරසවිය අප සම්බන්ධ කරගත්තා.

ද ගේම් නොනැවති දින පනහ පසුකළා?
 
 ඔව්. මේ වනවිට රුපියල් කෝටි තුනකට ආසන්න ආදායමක අපි ඉන්නේ. චිත‍්‍රපටයේ නළු නිළියෝ සමඟ සිනමා ශාලාවලට මම ගියා. සිනමා ශාලා කළමනාකාරවරු කියන්නේ සෑහෙන කාලෙකින් මේ වගේ පේ‍්‍රක්ෂකයෝ සිනමා ශාලාවට එකතු වෙන්නේ කියලා. ඒ වගේම සෑහෙන කාලෙකින් පේ‍්‍රක්ෂකයා හිනාවෙන්නේ. ප‍්‍රදර්ශනය ඉතාම සාර්ථකයි.
 
 චිත‍්‍රපටයේ ප‍්‍රධාන නළුවා නැතිව තිරගත වුණු පළමු අවස්ථාව මෙය?
 
 ඒක ලෝක වාර්තාවක් වෙන්න පුළුවන්. නළුවා සිරගත වී සිටිනවිට තිරගත වූ පළමුවැනි චිත‍්‍රපටය කියලයි ආරංචිය තියෙන්නේ. චිත‍්‍රපටය පටන් ගන්නවිට අපි කවදාවත් හිතුවේ නෑ රන්ජන් රාමනායක හිරේ යයි කියලා. කොවිඞ් එයි කියලා. අරගල වගේ ලොකු උද්ඝෝෂණ ‍රැලි පටන්ගනියි කියලා. අපි හීනෙන්වත් හිතුවේ නෑ ඉන්ධන ප‍්‍රශ්න එයි කියලා. සාමාන්‍ය රූගත කිරීමක් විදිහට පටන්ගත්තත් චිත‍්‍රපටය නිෂ්පාදනය කරන අතරතුරත් බාහිර ප‍්‍රශ්න ගොඩක් ආවා. එකක් තමයි රන්ජන් රාමනායක ඒ ලෙවල් කරනවා. ඊට පසුව ජනාධිපතිවරණයක් ආවා. ආයෙම රන්ජන් අයියා දින 41 ක් බන්ධනාගාර ගතවනවා. කොහොමහරි චිත‍්‍රපටයේ වැඩ සියල්ල නිම වීමෙන් පසුවයි රන්ජන් රාමනායක අවුරුදු හතරකට හිරේට යන්නේ.
 
 ප‍්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සරත් ද අල්විස් ඔබේ පියා චිත‍්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ?
 
 මගේ තාත්තා මගේ හැම චිත‍්‍රපටයකම වගේ ගීත නිර්මාණය කළා. මේ චිත‍්‍රපටයේදි මට අවශ්‍යවනවා වෙනස් සංගීත ඛණ්ඩයන් ගෙනල්ලා ගීතයේ සිට පසුබිම් සංගීතය දක්වා වෙනස් කරන්න. ලංකාවේ පළමුවැනි වතාවට මේ චිත‍්‍රපටයට මම භාවිත කරනවා අයිටම් සෝන්ග් එකක්. මම සින්දු දෙකක් තෝරගත්තා. මනරම් හැඟු‍මන් සහ ජීවන මේ ගමන සංසාරේ ගීතය. ජීවන මේ ගමන ගීතයට මම වැඩි කැමැත්තක් දක්වන නිසා ඒ ගීතය පිළිබඳ සොයාගෙන යද්දි මෙය ඉන්දියානු තනුවකට ආනන්ද සමරකෝන් ලියූ ගීතයක් කියලා සොයාගන්න ලැබෙනවා. පසුව මම
 
 ඒ ගීතය අයිති ආනන්ද සමරකෝන් පදනම සමඟ කතා කරලා කිසිදු ගෙවීමකින් තොරව ඔවුන්ගේ කැමැත්ත ඇතිව ගීතය චිත‍්‍රපටයට යොදාගන්නවා. මම චිත‍්‍රපටයට යොදාගන්න ට‍්‍රැක් එක තාත්තාට පෙන්වුවාම ඔහුට ඇති දැනුම එක්ක සංගීතය එකතු කළා. අනෙක් ගීත ගෙන බැලූ‍වත් එය එසේමයි. විශේෂයෙන්ම සංඛ දිනෙත් ගායනා කළ ගීතය. එය අදවනවිට ඉතා ජනප‍්‍රිය ගීතයක් බවට පත්වෙලා. ඒ විදිහට මට අවශ්‍ය ආකාරයට තාත්තාව පීඩනයට ලක් කරමිනුයි මේ චිත‍්‍රපටයට අවශ්‍ය සංගීතය ඔහුගෙන් කරගත්තේ. මා සමඟ මීට පෙර චිත‍්‍රපට හතරක් කරලා තියෙනවා. ඒ කිසිම විටකදි මේ තරම් පීඩනයක් දීලා නෑ. ඔහුගේ තිබෙන ඒ සංගීත සාරය මුළුමනින්ම චිත‍්‍රපටයට යොදාගන්නයි මට ඕන වුණේ. ඒක හරියට ළිඳේ තියෙන වතුර සියල්ල සිඳනවා වගේ. පසුබිම් සංගීතයට එනවිටත් මම අන්තර්ජාලයට ඩොලර්වලින් ගෙවලා මියුසික් ගයිඞ්ලයින් තාත්තාට දෙනවා මෙන්න මේ පැටන් එකට සංගීතය හදන්න කියලා. ඉතින් අපිට බනිනවා කොහේවත් තියෙන පැටන්වලට මම කොහොමද මනුස්සයෝ ගහන්නේ කියලා.
 
 චිත‍්‍රපට බලලා තාත්තා මොකද කිව්වේ?
 
 සාමාන්‍යයෙන් මංගල දර්ශනයකට පස්සේ එයා මාව බදාගන්නවා. ඒ බදාගන්නකොට එයාගේ හෘද ස්පන්දන වේගය මට දැනෙනවා. ඒකෙන් මට දැනෙනවා තාත්තාට කොයිතරම් දැනිලද කියලා මගේ වැඬේ. මගේ සෑම නිර්මාණයකදීම ඔය විදිහටම තාත්තා මාව වැලඳගෙන තියෙනවා. ඒ හැමදාම මට එකම විදිහට තාත්තාව දැනුණා.
 
 අධ්‍යක්ෂවරයා විදිහට තාත්තාවත් පාලනය කළා?
 
 මම පොඩිකාලේ ඉදලම දන්න දෙයක් තමයි චිත‍්‍රපටයක් කරලා අන්තිමට එන්නේ සංගීතය කරගන්න. ‘සරත් අයියේ බජට් නෑ. ඔය මොනවාහරි ගහලා දෙන්න‘ කියලා. ඒ කාලේ නිර්මාණ කරපු අධ්‍යක්ෂවරු කරපු බරපතළ වරදක් එය. එහි ආදීනව අපි පස්සේ කාලෙදි වින්දා. අද වන විට මිනිස්සුන්ගේ ඇස සහ කනට අවශ්‍ය කරන සියලූ‍ම වස්තු බීජයන් නිර්මාණය තුළ තියෙන්න ඕන කියන තැන සිටයි මම නිර්මාණ කරන්නේ. එහිදී සංගීතය ප‍්‍රමුඛ තැනක් ගන්නවා.
 
 ද ගේම් සුරංගගේ හොඳම නිර්මාණයද?
 
 මගේ යාළුවෝ මේ චිත‍්‍රපටය බලලා මට කිව්වේ මගේ ලස්සනම නිර්මාණය ‍රජහොරු කියලා. මමත් රජහොරු චිත‍්‍රපටයට කැමැතියි මගේ පළමු නිර්මාණය නිසා. හැබැයි අතරමැදදි බිහිවනවා වටිනා කියන දරුවෙක්. එය තවමත් එළියට ආවේ නෑ. කිඞ්නැප් කියන චිත‍්‍රපටයට මම හරි ආසයි. ඒ චිත‍්‍රපටය පවුලට දැනෙන චිත‍්‍රපටයක්. මම කරපු චිත‍්‍රපට පහම හොඳයි. එයිනුත් කිඞ්නැප් චිත‍්‍රපටයට මම පෞද්ගලිකව කැමැතියි. සමාජය විසින් වඩා හොඳින් පිළිගත්තේ ද ගේම් චිත‍්‍රපටය.
 
 ඔබ යොදාගෙන ඇති ඇතැම් තාක්ෂණික ක‍්‍රමෝපායන් ලංකාවේ සිනමා ශාලාවලට අලූ‍ත්. ඔබේ උත්සහය ම ව්‍යර්ථයක් නේද?
 
 අපි මේකට ඉමෝෂන් කැප්චරින් කියන සිස්ටම් එක භාවිත කළා. ෆෙස්මාස්ක් කියන සිස්ටම් එක භාවිත කළා. එය ලංකාවේ චිත‍්‍රපටයකට පෙර ඇතුළත් නොවූවක්. අපි මොන ක‍්‍රමවේදය භාවිත කළත් අතේ ඇඟිලි ගණනට වඩා අඩු සිනමාශාලා ප‍්‍රමාණයකින් විතරයි උපරිම රසය ගන්න පුළුවන්. උපරිම තාක්ෂණය ‍යොදවලා ලෝකය කුණුබක්කියට විසිකරපු තාක්ෂණය තමයි තවමත් භාවිත කරන්නේ. එච්චර දුප්පත් සිනමාවක් අපිට තියෙන්නේ. එච්චර දුප්පත් සිනමාව වටා ඉන්න පේ‍්‍රක්ෂක සංඛ්‍යාව ගැන පුදුමයි. සමහර සිනමාහල්වල මම කරපු මියුසික් නොවෙයි ඇහෙන්නේ. මම දාපු පාට නොවෙයි පේන්නේ. ඒක ඛේදවාචකයක්. අපි පුංචිකාලෙත් චිත‍්‍රපට ශාලාවල කැසිකිළිගඳ ආවා වසර ගණනක් ගිහිල්ලාත් ඒ ගඳ අදත් එනවා. ඒ කියන්නේ අපි තවමත් යම් ප‍්‍රමිතියක් හොයාගෙනවත් නෑ. මේ චිත‍්‍රපටශාලා අඩුතරමින් මිනිස්සුන්ට නිදහසේ චිත‍්‍රපටය බලන්න හැකි තරමටවත් ගොඩනඟන්න.
 
 ද ගේම් විදේශයට අරගෙන යන්න සූදානම් කියලා අපි දැක්කා. කොහොමද ඒ කාර්යය සිදුවෙන්නේ?
 
 ඇත්තටම ඒ කාර්යයෙත් ප‍්‍රධානම පුරෝගාමියා විදිහට වැඩ කරන්නේ ජනිත් වික‍්‍රමගේ. මගෙත් පළමුවැනි චිත‍්‍රපටය අන්තර්ජාතික ප‍්‍රදර්ශනය සඳහා සූදානම්වන. මට ලොකු සතුටක් තියෙනවා ඒ ගැන. ඕස්ටේ‍්‍රලියාවේ සංවිධායක මාලක යාපා මහතායි එහි සංවිධාන කටයුතු කරන්නේ. ඕස්ටේ‍්‍රලියාවේ පර්ත්, මෙල්බර්න් වගේ ප‍්‍රාන්තවල පෙන්වීමට එළැඹෙන ඉරිදා සිට අපි සූදානම්. ඉතාලිය, නවසීලන්තය, ඇමෙරිකාව හා කැනඩාවට වගේම ඩුබායි සහ කුවෙට් රාජ්‍යන් වෙත චිත‍්‍රපටය ගෙන යන්න බලාපොරොත්තු වනවා.
 
 රන්ජන් රාමනායක සිරගතවීමට පෙර මොකද කිව්වේ?
 
 රන්ජන් අයියා සිරගෙට යාම ආභරණයක් වුණා මේ චිත‍්‍රපටයට. අනෙක් පැත්තෙන් ඔහු හිරේට යාම ලොකු පාඩුවකුත් වුණා චිත‍්‍රපටයට. හිරේ යන්න දින දෙකකට කලින් රන්ජන් අයියා මට විහිළුවට කියනවා ‘මල්ලි මම උඹට නිධානයක් දෙනවා උඹ ඒක හාරගනින්‘ කියලා. මම එවෙලේ ඒක විහිළුවක් සේ ගත්තත් පස්සේ තමයි කල්පනා වුණේ ඔහු කිව්වේ මොකද්ද කියලා.
 
 චිත‍්‍රපටය ප‍්‍රචාරණයට රංජන් නැති අඩුව තදින්ම දැනෙන්න ඇති?
 
 චිත‍්‍රපටය ප‍්‍රචාරණයෙදි ජනිත් වික‍්‍රමගේ රන්ජන් රාමනායකට නොදෙවෙනිව ඒ බර කරට ගත්තා ඒ නිසා මට ලොකු බරක් නිදහස් කරගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප‍්‍රචාරණ කටයුතු ඔහු මැනැවින් කළා. ජනිත් නොහිටියානම් මම මේක අනාගන්න තියෙන ඉඩකඩ වැඩියි. මම ඉල්ලීමක් කරනවා සියලූ‍ම අධ්‍යක්ෂවරුන්ට නිෂ්පාදකයාව දැනුම්වත් කරන්න ප‍්‍රචාරණය හිරියට කරන්න. ඒක හරියට නොකළොත් පේ‍්‍රක්ෂකයාට මෙය අල්ලගන්න බෑ.
 
 චිත‍්‍රපටය තිරගත්වීමෙන් පසු රන්ජන් රාමනායකව බලන්න ගියාද? මොනවගේ ප‍්‍රතිචාරයක්ද ඔහුගෙන් ලැබුණේ?
 
 මම රන්ජන් අයියව කිහිපවතාවක් බලන්න ගියා. ඒ හැම අවස්ථාවකම මට දැනුණේ ඔහුට තියෙන්නේ තමන්ගේ බිරිඳට ලැබුණු කුලූ`දුල් දරුවා දැක බලාගන්න නොහැකි වුණු තාත්තා කෙනෙකුගේ දුක වගේ දුකක්. ඒක මම අනන්ත අප‍්‍රමාණ දැකලා තියෙනවා. මේ චිත‍්‍රපටයේ කිසිම දර්ශනයක් පුළුල් තිරයක රන්ජන් රාමනායක දැකලා නෑ. නමුත් ඔහු මේ චිත‍්‍රපටයට ලැබෙන ප‍්‍රතිචාර දන්නවා. අපි තවමත් ඔහු එයි කියලා බලන් ඉන්නවා. මම දන්නවා ඔහු එළියට ආපු ගමන් කරන්නේ චිත‍්‍රපටය බලන එක කියලා.
 
 චිත‍්‍රපටයේ රූගතකිරීම් කරනවිට රන්ජන්ගේ හැසිරීම කොහොමද?
 
 බොහෝ දෙනා හිතන් ඉන්නේ ඔහු හරිම කේන්තිගන්න කෙනෙක් කියලා. නෑ ඔහු හරිම නම්‍යශීලී පුද්ගලයෙක්. සාමාන්‍යයෙන් ඔහු මට කතා කරන්නේ සුරංග මල්ලි කියලා. නමුත් ඔහු රූගත කිරීම් පටන්ගත්ත තැන ඉදලා මට කතා කරන්නේ අධ්‍යක්ෂතුමා කියලා. ඒ තරම් නිර්මාණයට ගෞරවනීයයි ඔහු. මම ඔහුට ආදරෙයි. බොහෝ දෙනා මට කිව්වේ මේක තමයි රන්ජන්ගේ හොඳම චිත‍්‍රපටය කියලා. රන්ජන් අයියා හිරේ ඉදලත් තවම මට සහයෝගය දෙනවා.
 
 තාත්තා සංගීතය කළාට ඔබ සිනමාකරුවෙක්. කොහොමද ඒ ගමන පටන්ගත්තේ?
 
 ඒක හරි අමුතු සිද්ධියක්. මගේ තාත්තා සංගීත අධ්‍යක්ෂවරයෙක් වුණාට මගේ සංගීත ගුරුවරයා එම්. ආර් චූලසිංහ සර්. පාසලේ සෑම වසරකම හොඳම සංගීතය කරන ශිෂ්‍යාගේ සම්මානය ගන්නෙත් මම. නමුත් පාසලෙන් පස්සේ මම ව්‍යාපාරිකයෙක් වෙනවා. අවුරුදු දහඅටකට පසුව මම චිත‍්‍රපටයක් කරන්න අවතීර්ණ වෙන්නේ. ඒ වනවිට මම චිත‍්‍රපටක් කියන්නේ මොකද්ද? චිත‍්‍රපටයක් තිරගතවෙන්නේ කොහොමද කියලා දැනගන්න ඒ කාලේ තිරගත නොවුණු චිත‍්‍රපටයක් අරගෙන ප‍්‍රදර්ශනය කළා. සිනමාශාලාවක් ක‍්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා දැනගන්න පිළියන්දල දයාසෙවන සිනමාශාලාව බදු අරන් මම ඒ සිනමාශාලාව කරලා බලනවා. මම අධ්‍යක්ෂණය ඉගෙනගන්න වේදිකා නාට්‍යයක් කළා බන්දු සමරසිංහ සමඟ යමලෝ කියලා. සිනමාවට එන්න කලින් මම ඒ ගැන පරිචයක් අරගෙනයි සිනමාවට එන්නේ.
 
 මේ චිත‍්‍රපටයට තාත්තාව වගේම ඔබේ පුතාවත් සම්බන්ධ කරගෙන තියෙනවා?
 
 මගේ පුතා ඉගෙනගන්නේ ජාත්‍යන්තර පාසලක. ඔහුගේ කතා විලාසය හා හැසිරීම අපට වඩා වෙනස් කියලා දැනුණු නිසා මගේ බිරිඳ වීණාට අවශ්‍ය වුණා පුතාව රන්වල බලකායට යවන්න. එහිදී ඔහු සම්පූර්ණම වෙනස්වෙලා නර්තනය, ජනගී, කවි කියන්න වගේම අඩු වයසින් වෙස් බැන්`දා. මුලින් හිටියට වඩා සම්පූර්ණ වෙනස් වෙනවා. ඔය අතර මගේ චිත‍්‍රපටවලත් පොඩි පොඩි චරිතවලට රංගනයෙන් දායකවෙනවා. ඒ වෙනකම් කවුරුත් දන්නේ නෑ මේ මගේ පුතා කියලා. මට අවශ්‍ය වුණා ඔහු විසින්ම ඔහුව නිර්මාණය කරගන්න ඉඩදෙන්න. මගේ තාත්තා සංගීතය කරනවිට මම චිත‍්‍රපට කරනවා. මම චිත‍්‍රපට කරනවිට මගේ පුතා රඟපානවා සහ නර්තනයේ යෙදෙනවා. ජීවන් සප්තරංග මගේ පුතා මේ චිත‍්‍රපටයේ ශැගී කියන හැකර් කෙනෙකුගේ චරිතය නිරූපණය කරනවා.
 
 ගෙදරදිත් තාත්තලා පුතාලා එකතුවෙලා කලාව ගැන කතා කරනවද?
 
 වේදිකාවේ බෙර පැළු‍වට ගෙදරදිනම් එක බෙරපදයක් මුමුනවාවත් අහන්න නෑ පුතාගෙන්. එයා වෙස් බැන්`ද දවසේ මට ඇඬුණා. දැන් අවුරුදු දහනවයක ඉලන්දාරියෙක්. මම මේ වෙලාවේ ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් සහන් රන්වලට ස්තූතියි කියන්න ඕන ඔහු තමයි ජීවාන්ව නිර්මාණය කළේ මේ ආකාරයට.
 
 ශැගීගේ චරිතය ඔබට අවශ්‍ය ආකාරයට ජීවාන් නිර්මාණය කළාද?
 
 මට හරිම අපහසු දෙයක් තමයි මගේ පුතාව හසුරවන එක. චිත‍්‍රපටයට අධ්‍යක්ෂ වුණාට මගේ පුතාට මම තාත්තානේ. අනෙකුත් නළු නිළියන්ව හසුරවන ආකාරයට මට පුතාව හසුරවන්න බැරි නිසා ඒ කාර්යය මම භාරදුන්නා මගේ සහය අධ්‍යක්ෂ නදීෂට. නදිෂම තමයි මේ චිත‍්‍රපටයේ පිතපත ලිව්වෙත්. පුතයි නදීෂයි යාළුවෝ වගේ. ඒ නිසා ඔහු කියන දේ පුතා අහනවා. ඔවුන් දෙදෙනාගේ එකතුවෙන් වැඬේ මට අවශ්‍ය විදිහටම වුණා.
 
 චිත‍්‍රපටය බැලූ‍වට පස්සේ කොහොමද පුතාගේ හැසිරීම?
 
 ඔය වයසට පුළුල් තිරයක තමන්ව පේනවා කියන්නේ ආඩම්බරයට කාරණයක්නේ. ඒක ඒ විදිහටම ජීවාන්ටත් තියෙනවා. මගේ තාත්තා මට ඕන දෙයක් කරන්න කිව්වේ මනුස්සයෙක් වෙලා කසාදයක් බැඳලා. ඒකේ ඇත්තක් නැතුවම නොවෙයි. මගේ පුතා එක්ක කරන ගනුදෙනුවෙදිත් මට පේනවා ඔහුට කවදාවත් ෆෙස්බුක් අකවුන්ට් එකක්වත් තිබුණ නැති කෙනෙක්. අදවනවිට ඔහු සමාජ මාධ්‍ය පරිහරණය කරනවා. පින්තූර දානවා. මේ ෆැන්ටසියට ඔහු ආකර්ෂණය වෙලා. මට තියෙන්නේ ඒක පාලනය කරන්න පමණයි. ඔහුව මම චිත‍්‍රපට බලන්න හුරු කළා. මගේ ගෙදර තියෙනවා චිත‍්‍රපට විසිදහක පමණ එකතුවක්. ගීතයක් අහන්න හුරු කළා. ඒ හුරුව එක්ක අද ඔහු කලාවේ ගමනක් යන්න පටන්ගෙන තියෙනවා.
 
 අපිට ආරංචි වුණා ඔබේ දියණියත් මේ චිත‍්‍රපටයේ රඟපානවා කියලා? මේක පවුලේ නිර්මාණයක් වගේ?
 
 ඔව්. ඔව්. දුලාෂි නිම්නාදි මගේ දුව. ඇය මෙහි ගොළු චරිතයක් නිරූපණය කරන්නේ. මට එයාව හසුරවන්න නම් ලේසියි. මට දුවට ඕන දෙයක් කියන්න පුළුවන්. පුතාට කියන්න ලැජ්ජයි. ඒක තාත්තා කෙනෙක් විදිහට මම හරිම අසරණ වෙන අවස්ථාවක් එය.
 
 නිර්මාණ සඳහා දායකවන නවක ශිල්පීන් ගැන සුරංගට මොනවගේ අදහසක්ද තියෙන්නේ?
 
 අපේ කලාව යම් කිසි විදිහකට පහළට ඇද වැටිලානම් එහෙම වුණු ප‍්‍රධානම හේතුව කලාවේ අගය නොදත් කලාව ගැන අවබෝධයක් හැඟීමක් නැති අය කලාවට අවතීර්ණ වීමේ ප‍්‍රතිඵලය නිසයි. ජෝ අබේවික‍්‍රම නොදන්න නළුවෝ ඉන්නවා. වෘත්තීය වශයෙන් වටිනාකමක් හදාගන්න නළු නිළියෝ අද නෑ. දෛනික වෙළෙඳ භාණ්ඩයක් වුණු කුලී හේවායෝ අද ඉන්නේ. මම ඔබට උදාහරණයක් කියන්නම් මගේ චිත‍්‍රපටයේ රඟපානවිට තරින්දි ෆනෑන්ඩු එකම එක ටෙලිනාට්‍යයක පමණයි රඟපාලා තිබුණේ. මේක ඇයගේ ප‍්‍රථම සිනමා නිර්මාණය. අද වන විට තරින්දිව මට චිත‍්‍රපටයේ ප‍්‍රවර්ධන කටයුතු සඳහා ගෙන්නගන්න බැරි තරමට ටෙලිනාට්‍ය සඳහා දින දීලා. මේ වාණිජකරණය එක්කයි නිර්මාණ කරන්න වෙලා තියෙන්නේ. මෙවැනි පරිසරයක ප‍්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් අනාගතේ දකින්න වෙන්නේ නෑ. අනාගතේ ස්වර්ණලා, වසන්ති චතුරාණිලා, නෑ. කලාව බිස්නස් එකක් කරගෙන ඉවරයි.
 
 චිත‍්‍රපටය අවර ගණයේ නිර්මාණයකැයි ඇතැම් කලාවේ නියුතුවූවන් විවේචනය කරනවා. අධ්‍යක්ෂවරයාට මොනවද කියන්න තියෙන්නේ?
 
 අපි විසින් අපි ගරහා ගන්නේ අපේ පරපුරට. කවමදාවත් කලාව දෙකට බෙදෙන්න හොඳ නැහැ. කලා කෘතිය හොඳවෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. එය විවේචනය කළ යුත්තේ පෞද්ගලිකව. සමාජ මාධ්‍ය ඔස්සේ නොවෙයි. වීදුරු ගෙවල්වල හෙළුවැල්ලෙන් නටනවා වගේ වැඩ මේවා. පේ‍්‍රක්ෂකාගාරය හිතන්නේ මේ අයගේ කිසිම එකමුතුවක් නැහැනේ කියන තැන සිටයි. මම අද ගේම් කියලා චිත‍්‍රපටයක් කරලා තියෙනවා. ඒ චිත‍්‍රපටය පේ‍්‍රක්ෂකාගාරය පිළිඅරන් තියෙනවා. වැහෙන්න ගිය සිනමා ශාලා හතක් විවෘත කරලා තියෙනවා මම. ඒ සිනමා ශාලා නඩත්තුවීගෙන යනවා. ඒ තුළින් ඉදිරියේදි තවත් චිත‍්‍රපටයකට වැඩි සිනමාශාලා ප‍්‍රමාණයක පෙන්වීමට අවස්ථාව ලැබෙනවා. ඒ මට ඇති.
 
 චිත‍්‍රපටය ගැන වගේම නිර්මාණයට සම්බන්ධවීම ගැනත් සිය දරු මුනුපුරෝ ගැනත් සරත් අල්විස් හඬ අවදි කළේ මෙලෙසින්...
 
 ඔබතුමා ජෝතිපාලටත් සංගීතය කරපු කෙනෙක්. අනෙක් අතට ඔබ නිර්මාණය කළ සංගීතය නිසාම සාර්ථක වුණු චිත‍්‍රපට තිබෙනවා. පුතා බලාපොරොත්තු වන නවරැල්ලේ තාක්ෂණය සමඟ කරන සංගීතය කරන්න කැමැති වුණාද?
 
 අධ්‍යක්ෂතුමාට ඕන විදිහට එපෑය මම වැඩ කරන්න. සාමාන්‍යයෙන් අධ්‍යක්ෂවරු මගෙන් වැඬේ ගන්නේ බලපෑමකින් තොරව. මෙයා වැඬේ ගත්තේ බලපෑමක් ඇතුව. ඒකයි වෙනස. අපි ජ්‍යෙෂ්ඨයෝනේ. අපි යම් නම්‍යශීලීත්වයක් එක්කයි අලූ‍ත් පරම්පරාව එක්ක වැඩ කරන්න ඕන. තාත්තායි පුතයි කියන සංකල්පයෙන් ඈත්වෙලා අධ්‍යක්ෂවරයයි සංගීත සංයෝජකයි වුණාම මේ වැඬේ ලස්සනට කරන්න පුළුවන්. මම තමයි සියල්ල දත් කියලා වැඩ කරන්න ගියොත් කවදාවත් එකට වැඩක් කරන්න ලැබෙන්නේ නැහැනේ. මේක ටිකක් වෙනස් වැඩක්. එක්කෝ සංගීතයෙන් අයින්වෙන්න ඕන නැත්නම් තාත්තා පුතාකම අයින් කරන්න ඕන. ඒ නිසා ඒ දෙකම බේරගෙන නිර්මාණයට අවශ්‍ය දේ කරන්න හැකි වුණා. මේකත් මට තව එක චිත‍්‍රපටයක් පමණයි. මම නිර්මාණය දියුණු කරන්න පුළුවන් මගේ පැත්තෙන් විය යුතු උපරිමය කරනවා.
 
 පුතා එක්ක කළ ගනුදෙනුව වෙනත් අධ්‍යක්ෂවරයෙක් එක්ක කළ ගනුදෙනුවට වඩා පහසු වුණාද? අපහසු වුණාද?
 
 දෙපැත්තම තියෙනවා. සාමාන්‍යයෙන් මම දකින දෙයක් තමයි චිත‍්‍රපටයක් අවසන් කරන්න කලින් ගීත නිර්මාණය කරනවා. අවසාන මොහොතේ හොම්බෙන් යන අවස්ථාවෙදි අපි ළඟට එනවා පසුබිම් සංගීතය කරගන්න. සමහර ඒවායේ ඔරලෝසුවේ වෙලාව බල බල ස්ටූඩියෝ එකේ වැඩ කරන්නේ. ඒ තරම් හදිසියි. එහෙම කලබල කරද්දි නිර්මාණයට අවශ්‍ය සංගීතය නිර්මාණය කරන්න අපහසුයි. සුරංග මට කාලය දුන්න. සතියද මාසෙද එයාට ඕන හොඳම දේ මගෙන් ගන්න. මම ඉල්ලන මුදලද අවශ්‍ය පහසුකම් ද ලබාදෙනවා. එවිට මට මගේ වෙලාව අරගෙන වැඩ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් සුරංග චිත‍්‍රපටය එඩිට් කරලයි මට සංගීතය නිර්මාණය කරන්න දෙන්නේ. නැත්නම් එයාට ඕන සංගීත ඛණ්ඩය නිර්මාණය කරගෙන ඒකට එඩිට් කරනවා. චිත‍්‍රපටය බලන්න වාඩි වුණ තැන සිට මට ඇහෙන අවසාන නෝට් එක වෙනකම්ම මම වාඩිවෙලා අහගෙන ඉදලා තමයි නැඟිටින්නේ. අවසාන ස්වරය වෙනකම්ම මම වි`දිනවා.
 
 සුරංග මට කිව්වා ඔහුගේ නිර්මාණයක් සාර්ථක වුණාම ඔබ ඔහුව ආදරයෙන් වැලඳගන්නවා ඒ හුස්ම වැටෙන විදිහ අනුව ඔහු දන්නවා නිර්මාණය සාර්ථකයි කියලා. ඒක ඔබට දැනෙන්නේ කොහොමද?
 
 ඒක ඇත්ත. ඒක පුතාගේ චිත‍්‍රපටය කියලා නොවෙයි ඒක මට එහෙම වෙනවා. මේ චිත‍්‍රපටයේ පමණක් නොවෙයි එයාගේ සෑම නිර්මාණයකදීම එහෙම වුණා. එයාට යමක් කරන්න පුළුවන් කියලා එයා පෙන්නුවා. මගේ පුතෙක් නිර්මාණයක් කළාම එය පේ‍්‍රක්ෂකයා අතරට ගිහින් ලාබ ලබන නිර්මාණයක් වුණාම මේ මගේ ලොකු පුතා කියන ගැඟිමත් එක්ක ඒක මට ඉබේම වෙන දෙයක්.
 
 මේ චිත‍්‍රපටය සඳහා යොදාගෙන ඇති ජීවන මේ ගමන සංසාරේ ගීතය නිර්මාණය වෙන්නේ හින්දි තනුවකට. ඔබ සංගීත අධ්‍යක්ෂවරයෙක් විදිහට දේශීය නිර්මාණවලට හින්දි තනු යොදාගැනීම දකින්නේ කොහොමද?
 
 හින්දි සිනමාවෙත් පැරණි ගීත රීමේක් කරනවා චිත‍්‍රපටවලට. එහි මම වරදක් දකින්නේ නෑ. සුරංග මට කිව්වා ඔහු මේ ගීතය චිත‍්‍රපටයට ගන්න කැමැතියි කියලා. ඒ ගීතවලට අපිට බැහැ ලොකු ලොකු වෙනස්කම් කරන්න. මම සංගීතය ගැන යාවත්කාලීන වන කෙනෙක්. මම නව පරම්පරාව එක්ක වැඩ කරනවා.
 
 ඔබ පරම්පරා කිහිපයක කලාකරුවෝ එක්ක වැඩ කරන කෙනෙක්. ඔබේ පරම්පරාවයි අද කලාවේ නියැළෙන අය ගැනයි ඔබට මොකද හිතෙන්නේ?
 
 ඒ කාලේ හරිම සුන්දරයි. ඉස්සර හිටියේ වෘත්තීයමය කලාකරුවෝ නොවෙයි ළෙන්ගතු කලාකරුවෝ. රස්සාවක් කරනවා කියලා හිතන්නේ නැතුව සහෝදරලීලාවෙන් එකට ඉන්න අය හිටියේ. ගීතයක් පටිගත කිරීමේ ඉදලා අපි සියලූ‍ දේ කළේ එකට. අපි පුරුදු කරන තරම කිව්වොත් මේ ගීත පටිගතවෙන්නේ කටපාඩමින්. අපි සංගීත සංදර්ශනයකට ගියත් ඔක්කොම එකට බස් එකේ යන්නේ. අද වගේ වෙන වනම පෞද්ගලික වාහනවල ගියේ නෑ. ඒ යන ගමනට විවිධ ප‍්‍රශ්න ගැන කතා කරනවා. බොහොම සුවහදව රණ්ඩු සරුවල් නොවී අපි කටයුතු කළා. අද වාණිජකරණය වෙලා හැමදේම. එදා අපි කටයුතු කළේ සම්පත් අඩුවෙන් නිර්මාණශීලීත්වය වැඩියෙන්. අද සම්පත් වැඩියි නිර්මාණශීලීත්වය අඩුයි. එදා අපට තිබුණේ රූපවාහිනි නාලිකා ගුවන්විදුලි නාලිකා එකයි දෙකයි අද කීයක් තියෙනවාද. ඔවුන් කියන්නේ රසිකයා තමයි ඔවුන්ගේ වත්කම කියලා මම කියනවා හරිනම් රසිකයා අතරට යන අදටත් අහන අපේ ගීතයි ඔවුන්ගේ වත්කම වෙන්න ඕන කියලා.
 

 
 
 ඡායාරූප නිශ්ශංක විජේරත්න