වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
සිංහල චිත්‍රපටයක් මේ ආකාරයෙන් ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාව මෙයයි

අපේ සිනමාවේ චිත්‍රපටය දිව්වත් අපි දන්නේ නැහැ අපේ ආදායම කීයද කියලා
එරංග සේනාරත්නගේ 'ඈ' චිත්‍රපටය මේ දිනවල ප්‍රදර්ශනය ආරම්භ වෙලා. එහෙම කිව්වට වෙනදා වගේ සිනමාශාලාවෙන් මේ චිත්‍රපටය බලන්න ලැබෙන්නේ නෑ. මොකද එරංග මේ චිත්‍රපටය පෙන්වන්නේ වෙනස්ම විදිහකට. ලෝකෙට අලුත් නොවුණු අපට අලුත් වුණු ප්ලැට්ෆෝම් සිනමාව ගැන වගේම ලංකාවේ සිනමාව ගැන එරංග හඬ අවදි කළේ මෙලෙසින්.
සාමාන්‍යයෙන් ලංකාවේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන ආකාරයට නොවෙයි ඈ චිත්‍රපටය ප්‍රදර්ශනය වන්නේ. මේ කතාබහ එතැනින් පටන් ගන්න කැමැතියි?
සිංහල චිත්‍රපටයක් මේ ආකාරයේ ප්‍රදර්ශනය කරන ප්‍රථමවතාව මේ. නෙට්ෆිලික්ස්, ඇපල් වගේ ප්ලැට්ෆෝම් එක්ක ලෝකය ගමන් කරද්දි අපිත් ඒ ඔස්සේ යන්න ඕන. මෙයත් සාමාන්‍ය ආකාරයට තිරගත කිරීමක් වුණත් තිරගත කරන මාධ්‍යයයි වෙනස්වෙන්නේ. මෙච්චර කාලයක් චිත්‍රපට තිරගත වුණේ සිනමාශාලාවලනේ. අපේ රටට මෙය ආගන්තුක වුණාට ලෝකයේ අවුරුදු ගණනක් තිස්සේ මේ ප්ලැට්ෆෝම් සිනමාව බොහොම ජනප්‍රියයි. මේ තුළ චිත්‍රපට නිෂ්පාදනයවනවා. ටෙලිනාට්‍ය නිෂ්පාදනයවනවා සහ ඒවා ප්‍රදර්ශනය විකාශය වනවා. සිනමා සිලෝන් ප්ලැට්ෆෝම් එකෙන් මේතාක් ප්‍රදර්ශනය වූ සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය වුණේ
සිනමාශාලාවල ප්‍රදර්ශනය වුණාට පසුව. ප්‍රථමවරටයි ප්ලැට්ෆෝම් තුළින්ම චිත්‍රපටයක් ප්‍රදර්ශනය ලංකාවේ අරඹන්නේ. මේ චිත්‍රපටය සිනමාශාලා ප්‍රදර්ශන ප්‍රමිතිය යටතේ නිෂ්පාදනය වුණ චිත්‍රපටයක්. ඩිජිටල් තාක්ෂණය භාවිත කරලා 5.1 සවුන්ඩ් සිස්ටම් එක භාවිත කරලා සිනමා තාක්ෂණයම උපයෝගී කරගෙන නිර්මාණය කළ 'ඈ' චිත්‍රපටය සිනමාශාලාවල ප්‍රදර්ශනයෙන් බැහැරවෙලා ප්‍රථමවතාවට ප්ලැට්ෆෝම් සිනමා ප්‍රදර්ශනයට මුදාහැරීම පසුගිය 12 වැනිදා සිට සිදු කළා. මෙය අපේ සිනමාවට සුවිශේෂීයී. මෙය සිනමාශාලාවල නොපෙන්වන ප්ලැට්ෆෝම් සිනමාවේ පමණක් පෙන්වීම වගේම අනෙක් අතට සිංහල සිනමාවේ තනි අකුරකින් නම් කළ ප්‍රථම චිත්‍රපටය ද මෙයයි. අපේ සිනමාවේ අපේ රට කේන්ද්‍ර කරගෙන පමණයි බොහෝ වෙලාවට චිත්‍රපට ප්‍රදර්ශනයවන්නේ. මම මේ 'ඈ' චිත්‍රපටය අන්තර්ජාතික ප්‍රදර්ශනයක් ලෙසයි සිඳු කළේ. චිත්‍රපටය රටවල් 42 කට ඉතා පැහැදිලිව පෙනෙනවා. අන්තර්ජාල පහසුකම් තිබෙන ඕනෑම කෙනෙකුට තමන්ගේ ස්මාට් දුරකථනයෙන් චිත්‍රපටය බලන්න පුළුවන්. අපි ලෝක වෙළඳපොළ අරමුණු කරගෙන මේ නිෂ්පාදනය කළේ. එයින් අදහස් කරන්නේ නෑ චිත්‍රපටය සමස්ත ලෝකයම බලනවා කියන එක. ලෝකය පුරා විසිරී ඉන්න ශ්‍රී ලාංකික ප්‍රජාවට මේ චිත්‍රපටය නැරඹිය හැකියි. සිනමාව හා දේශීය කලාව පිළිබඳ ඇල්මක් තිබෙන ඔබ ප්ලැට්ෆෝම් හරහා මේ චිත්‍රපටය නැරඹීම තුළින් ලංකාවේ සිනමාවට ලොකු උත්තේජනයක් දායකත්වයක් ලැබෙනවා.
ප්ලැට්ෆෝම් ඔස්සේ චිත්‍රපට බලන්නේ කොහොමද? සරලව විග්‍රහ කරලා දෙන්න?
www.cinemacylone.com කියන මුරපදය එක්ක ගියාම අන්තර්ජාලයෙන් ඇතුළත් වීමේ හැකියාව තිබෙනවා. එහිදී සියලුම තොරතුරු ලබාගන්න පුළුවන්. මෙයට යම් මුදලක් ගෙවීමෙන් පසුවයි ප්‍රදර්ශන වාරය ලබාගන්න හැකියාව ලැබෙන්නේ. බැංකු කාඩ් එකක් අරන් ඒ ටී එම් යන්ත්‍රයකට ගිහින් මුදල් ගද්දි පියවරෙන් පියවර අපිට මාර්ගෝපදේශ ලබාදෙනවා වගේම මෙහිදිත් මේ කියන මුරපදය එක්ක ගියාම තොරතුරු සියල්ල ලබාගත හැකියි. මේ සයිට් එකට ගියාම එතෙක් ප්‍රදර්ශනයට තිබෙන චිත්‍රපට සියල්ලම එහි තිබෙනවා. එයින් ඔබට අවශ්‍ය චිත්‍රපටය තෝරාගෙන නරඹන්න පුළුවන්. ඒ වගේම කිසිදු මුදලක් නොගෙවා මෙහි ඇති ට්‍රේලර්ස් නරඹන්න පුළුවන්. මෙය අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවට ආගන්තුකයි. මොකද මෙච්චර කාලයක් අපි මේ ආකාරයට නොවෙයිනේ චිත්‍රපට බැලුවේ. නමුත් අපේ අනාගත සිනමාව මෙතැන තිබෙන්නේ. මෙය තාක්ෂණය එක්ක කරන ගනුදෙනුවක් නිසා තරුණ ප්‍රජාව හොඳීන් වැලඳගෙන තිබෙනවා. කොහොම නමුත් ප්ලැට්ෆෝම් සිනමාව ජනතාව අතරට යයි කියන බලාපොරොත්තුව තිබෙනවා.
සිනමාශාලාවට ගිහින් පුළුල් තිරයක් ඇති කළුවර කාමරයක තමන්ටම වෙන්වුණු ආසනයක වාඩිවෙලා චිත්‍රපටයක් රසවිඳීන ප්‍රේක්ෂකයාට වඩා අපට ආගන්තුක වූ ප්ලැට්ෆෝම් සිනමාවෙන් චිත්‍රපටයක් බලන ප්‍රේක්ෂකයාට ලැබෙන වාසි මොනවද?
තමන්ට කැමැති චිත්‍රපටයක් තමන් කැමැති ස්ථානයක සිට තමන් කැමැති වෙලාවක නැරඹීමේ අවකාශය තමන්ටම ඇතිකරගන්න පුළුවන්. බොහෝ වෙලාවට ලාංකේය නිවෙස්වල හෝම්තියටර් සිස්ටම් එක ඇතුළත් කරගෙන චිත්‍රපට නරඹනවා. ඇත්ත වශයෙන්ම මමත් සිනමාව හැදෑරූ සිනමාවට ආදරය කරන කෙනෙක්. සිනමාශාලාවක චිත්‍රපටයක් නැරඹීමෙන් අසීමිත ආස්වාදයක් ලබපු පුද්ගලයෙක්. නමුත් අද වනවිට ඒ කියන ආස්වාදය හෝ වින්දනය සිනමාශාලාව තුළින් ලැබෙනවාද කියන දේ විශාල ගැටලුවක් වෙලා තිබෙනවා. ප්‍රමාණාත්මක ප්‍රේක්ෂක සහභාගීත්වයක් බොහෝ චිත්‍රපටවලට ඇත්තේ නැහැ. කලාතුරකින් අතරින් පතර සාර්ථක වුණු චිත්‍රපට තිබුණත් එයින් කර්මාන්තයක් ලෙස ගමනක් යන්න බෑ. අද අපි හැමෝම ඉතාම කාර්යබහුල හැල්මේ දුවන ජීවිත ගතකරන මිනිස්සු. මේ කාර්යබහුලත්වය නිසාම සිනමාශාලාව හා ප්‍රේක්ෂකයා අතර දුරස්ථකරණයක් සිඳු වෙලා තිබෙනවා. ඒ නිසා සිනමාශාලා වැසි යනවා ක්‍රමයෙක් සිනමාව තුළ අර්බුදයක් ඇතිවෙලා තිබෙනවා.
මොකද්ද ඔබ හඳුනාගත් ඒ අර්බුදය?
මේ සිනමාවේ අර්බුදය සිනමාව හොබවන නිලධාරින් විසින් නිසි ලෙස කලමනාකරණය කර ගැනීමට අපොහොසත් වීම නිසා දිග්ගැහුණු ප්‍රශ්නයක්. සිනමාව කර්මාන්තයක් විදිහට මේ රටේ පවතින්න නම් ප්‍රධාන වශයෙන් නිෂ්පාදකවරයා, සිනමශාලාව, ප්‍රදර්ශක මණ්ඩලය කියන මේ තුන්දෙනා කටයුතු කළ යුත්තේ එක න්‍යායපත්‍රයක් තුළ. අවාසනාවකට එහෙම නොවෙයි සිදුවෙන්නේ. මේ අයට තිබෙන්නේ පොදු න්‍යායපත්‍රයක් නොවෙයි පෞද්ගලික න්‍යායපත්‍ර. තනියම ගොඩයන්න උත්සාහ කරන ඒ වෙනුවෙන් සැකසුණු වැඩපිළිවෙළ. ඒ තුළ චිත්‍රපට නිෂ්පාදකවරයාට බලවත් අසාධාරණයක් සිදුවනවා. බොහෝවිට චිත්‍රපට නිෂ්පාදකවරයා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේදී අසාර්ථකයි. වියදමවත් පියවාගැනීමට නොහැකිවනවා. මේ නිසා නිෂ්පාදන කාර්යයෙන් ඔවුන් ඉවත්වනවා. පැහැදිලි එක න්‍යායපත්‍රයක් තුළ කටයුතු කිරීමෙන් මේ තුන්කට්ටුවම ආරක්ෂා වන, තෘප්තිමත් වන වැඩපිළිවෙළක් සකසා ගන්න හැකි නම් මේ කර්මාන්තය අවාසනාවන්ත තත්ත්වයකට පත්වන්නේ නැහැයි කියන එකයි මගේ විශ්වාසය.
චිත්‍රපට ප්‍රදර්ශනය චිත්‍රපටය නිෂ්පාදනය කරනවට වඩා අපහසුයි කියන මැසිවිල්ල බොහෝ නිර්මාණකරුවන් සතුයි. මේ කාරණය ද ඔබටත් බලපෑවේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න නව මාවතක් නැත්නම් විකල්ප ක්‍රමවේදයකට යන්න?
ඔව්. අවිධිමත් චිත්‍රපට බෙදාහැරීමේ රටාව ඔස්සේ චිත්‍රපට නිෂ්පාදකවරයෙකුට සිනමාශාලාව තුළ පූර්ණ විශ්වාසය තබා පවතින්නට පුළුවන්කමක් ඇත්තේම නැහැ. පැහැදිලිවම විකල්ප මාධ්‍යයන් සොයන්නට සිදුවනවා. ඒක මූලික කාරණාවක්. නිර්මාණකරුවන් සිනමාශාලාව කියන සංකල්පය ඔළුවේ තියාගෙන චිත්‍රපට නිර්මාණය කරලා ගිහින් පෝළිම්වල හිටගන්නවා. මේක කවදා පෙන්නනවද? කවද පෙන්වන්න ලැබෙයිද?කොහෙද සිනමා ශාලා තිබෙන්නේ? සිනමාශාලාවලින් ලැබෙන ආදායම ප්‍රමාණවත්ද? මේ මොනම ආකාරයටවත් දත්ත සහ වැඩපිළිවෙළක් නැහැ. ජාතික චිත්‍රපට සංස්ථාවටවත් එවැනි වැඩපිළිවෙළක් නැහැ. මේ අවිධිමත් බෙදාහැරීම තුළ මම තේරුම්ගත් දේ තමයි කිසිදු ආකාරයකින් චිත්‍රපටයකට යොදවන පිරිවැය සිනමාශාලාව තුළින් පමණක් අපිට පියවාගැනීමේ හැකියාව ඇත්තේ නැහැ. ඒ කාරණාව නිසා අපිට සිඳුවනවා විකල්ප මාධ්‍ය භාවිත කරන්න. මම මේ ගැන ඇස් කන් ඇරගෙන සිටින පුද්ගලයෙක් විදිහට ගෙවුණු අවුරුදු ගණනාව තුළ යම් යම් සමිති සමාගම්වල තනතුරු දරමින් ඒවායේ කටයුතු කරමින් සිනමාව වෙනුවෙන් කැපවෙලා වැඩ කළ පුද්ගලයෙක් විදිහට පහුගිය කාලය තුළ මට පෙනී ගිය දෙයක් තමයි අපි කොයිතරම් දුරට මේ සිනමාවේ තිබෙන අර්බුදය වෙනුවෙන් අවංකව පෙනි සිටිනවද කියන ප්‍රශ්නය. මෙවායේ තීන්දු තීරණ ගන්න උදවිය ඔවුන්ගේ කොටස ඔවුන්ගේ ලාබ ප්‍රයෝජනය සඳහා පමණයි පෙනී සිටින්නේ. ඇත්ත ප්‍රශ්නය එහෙමමයි. ඇත්ත අවශ්‍යතාවය එහෙමමයි. මේ ප්‍රශ්නය තේරුම් අරගෙන සැබෑ වුවමනාවකින් මෙයට මැදිහත්වනවා නම් මෙය ඉතා පහසුවෙන් විසඳිය හැකියි. ලංකාවේ මහා සිනමාවේ මේ ඛේදවාචකය නඩත්තු කරගෙනයාමයි අද සිඳුවෙන්නේ. ඒ නිසා අසුබවාදි ලෙස මේ කර්මාන්තය දිහා බලමින් ඉන්නවද වෙනත් විකල්ප මාධ්‍ය අත්හදා බලනවද කියන දේ මම හිතුවා. ෆැල්ට්ෆෝම් සිනමාව මම සොයාගත් දෙයක් නොවෙයි. මේක ලෝකයේ තිබෙන මේ රටෙත් තිබෙන දෙයක්. මමත් මේකට අවතිර්ණ වුණා පමණයි. නිර්මාණයක් කරලා එයට පැහැදිලි වෙළඳපොළක් නැත්නම් තවදුරටත් එයිම එල්බගෙන සිටීම අපේ කාලය ශ්‍රමය මුදල විශාල ලෙස නාස්ති කර ගැනීමක්.
තමන් නිර්මාණය කළ චිත්‍රපටය තිරගත කරගන්න අවුරුදු ගණනක් බලන් ඉන්න නිර්මාණකරුවකුට ප්ලැට්ෆෝම් ඔස්සේ ඔහුගේ චිත්‍රපටය පෙන්වන්න අවශ්‍යනම් ඒ සඳහා තිබෙන ක්‍රමවේදය මොකද්ද?
ලංකාව ඇතුළේ ප්ලැට්ෆෝම් සිනමාව නියෝජනය වන ප්ලැට්ෆෝම් කිහිපයක් තිබෙනවා. ඒ අය එක්ක සාකච්ඡා කරලා තමුන්ගේ නිර්මාණය මුදා හැරීමේ හැකියාව තිබෙනවා. ඒ මම තෝරාගත් ප්ලැට්ෆෝම් එක සිනමා සිලෝන් වෙන්නත් පුළුවන්. එයින් පරිබාහිර තවත් ප්ලැට්ෆෝම් තිබෙනවා. මේ ඕනම එකක මේ කටයුත්ත කරන්න පුළුවන්. අනෙක් ඒවා ගැන මම කතා කරන්න දන්නේ නැහැ. සිනමා සිලෝන් ප්ලැට්ෆෝම් එක මම තෝරාගත්තේ යම් අධ්‍යයනයකින් පසුවයි. රැකියාවක් කරන නොකරන සෑම තරුණයෙක් වැඩිහිටියෙක් අතේම ස්මාර්ට් ජංගම දුරකථනය තිබෙනවා. මේ හරහා තමයි බොහෝ දේ දැන කියා ගන්නේ. අන්තර්ජාලය සමඟ අසීමත ගනුදෙනුවක් ඔවුන් කරනවා. ඒ පුද්ගලයාට සිනමාවට කැමැත්තක් තිබෙනවානම් චිත්‍රපට නැරඹීමේ අවස්ථාව අපි උදාකරලා දීලා තිබෙනවා. විශේෂයෙන්ම අලුත් පරම්පරාව ඉලක්ක කරගෙනයි මම මේ චිත්‍රපට කරන්නේ?
ප්ලැට්ෆෝම් සිනමාවට නම් නිර්මාණය කරන්නේ එය ඊට ගැළපෙන ආකාරටය සැකසිය යුතුයි?
පැහැදිලිවම මෙය ප්ලැට්ෆෝම් සිනමාව ඉලක්ක කරගෙන කළ නිර්මාණයක්. සිනමාශාලා වෙනුවෙන් කළ චිත්‍රපට මගේ අතෙත් තිබෙනවා. ඒ චිත්‍රපට මම ෆැල්ට්ෆෝම් එකට අරන් ගියේ නෑ. 'ඈ' චිත්‍රපටය ප්ලැට්ෆෝම් සඳහාම නිර්මාණය කළ එකක්. ඒ සඳහා සැකසුණු තිර පිටපතක්. සැලසුමක් ඇතිව කළ ව්‍යාපෘතියක්. ඒ සඳහා සුදුසු බජට් එකක් තුළ කළ වැඩක්. මොකද මෙය එක්ස්පරිමන්ට් එකක් විදිහට කළ නිර්මාණයක්. ප්ලැට්ෆෝම් සිනමාව ගැන අපිට විශාල අත්දැකීම් නෑ. ඒ ගැන අවබෝධයක් ඇතිව කළ වැඩක් මේ.
ප්ලැට්ෆෝම් සිනමාවෙන් නිර්මාණකරුට නැත්නම් නිෂ්පාදකවරයාට තමන්ගේ කොටස ලැබෙන්නේ කොහොමද?
නිර්මාණකරුවෙකුට වඩා ප්‍රජාත්‍රාන්ත්‍රවාදී ප්‍රවේශයක් මේ තුළ තිබෙනවා. එය ප්‍රේක්ෂකයාටත් පොදුයි. ප්‍රේක්ෂකයා මේ චිත්‍රපට නරඹන්නේ යම් කිසි මුදලක් ගෙවලා. ඒ ගෙවන මුදලින් 60% ක ප්‍රතිශතයක් චිත්‍රපට නිෂ්පාදකවරයාට ලැබෙනවා. 40% ක ප්‍රතිශතයක් ප්‍රදර්ශනය කරන ප්ලැට්ෆෝම් එකට ලැබෙනවා. අපි දන්නවා අද මහා සිනමාව ඇතුළේ චිත්‍රපට නිෂ්පාදකවරයාට චිත්‍රපටය නිර්මාණය කරලා එයට ප්‍රචාරය ලබා දිලා සියලු වියදම් කරලා ඔහුට වඩා වැඩි කොටසක් ගන්නේ අනෙක් පාර්ශ්ව. මහා සිනමාව තුළ නිෂ්පාදකවරයා චිත්‍රපට නිර්මාණය කරලා ලොකු අසරණකමට පත්වෙලා ඉන්නවා වර්තමානයේ සිදුවන ප්‍රදර්ශන ක්‍රියාවලිය නිසා.
චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා වගේම ප්‍රචාරණයත් කළ යුතුයි. ප්ලැට්ෆෝම් සිනමාව තුළ කොහොමද මේ ප්‍රචාරණ කටයුතු සිඳුවන්නේ? අනෙක් අතට ප්ලැට්ෆෝම් සිනමාව රටට ආගන්තුක නිසා ඒ සඳහාත් ඔබට යම් ප්‍රචාරණයක් කරන්නවෙනවා?
මූලීකවම සාම්ප්‍රදායික ප්‍රචාරණ ක්‍රමවලට ගිහින් වැඩක්වන්නේ නැහැ. ප්‍රචාරණ කටයුතු සඳහා අප ෆේස්බුක් ඇතුළු නව මාධ්‍ය භාවිත කරනවා. ඒ වගේම ප්ලැට්ෆෝම් සිනමාව සමඟ බද්ධ වුණු ලෝකයේ වෙනත් රටවල ඒජන්තවරු ඉන්නවා. ඒ අය ඒ අයගේ ෆේස්බුක් හරහා ඉන්ස්ටග්‍රෑම් හරහා ප්‍රචාරණ කටයුතු කරනවා. ඒ වගේම මේ ප්ලැට්ෆෝම් එක ඇතුළේ ඉන්න රෙජිස්ට්‍රර්ඩ් ඕඩියන්ස් එක වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු කරනවා. අනෙක් අතට ක්ෂේත්‍රයේ සිටින කාර්මික ශිල්පීන්, චිත්‍රපට නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු මේ අයත් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවල මේ සඳහා පෝස්ටර් ශෙයර් කරනවා. ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ අය කියන්නෙත් මෙය සාර්ථක වුණොත් ඔවුන්ටත් ඉදිරි අනාගතයක් තිබෙනවා කියලා. විශේෂම කාරණාව මට රහස් යතුරක් (ඵඥජපඥබ ඬඥර) ලැබෙනවා මේ චිත්‍රපටය මුදා හැරීමත් එක්කම. ඒ හරහා මට හැකියාව තිබෙනවා අද දවසේ මගේ චිත්‍රපටය කී දෙනෙක් නැරඹුවාද ඒ මොන රටවලින්ද කියන එක දැනගන්න. ඒ දත්ත මට මගේ ජංගම දුරකතනනයටම ලබාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අනූව මම දන්නවා මගේ ආදයමත් අද කොපමණද කියලා. අපේ සිනමාවේ චිත්‍රපටය දුවලත් අපි දන්නේ නැහැ අපේ ආදායම කීයද කියලා දුරකතනයෙන් ඇහුවම කියන මුදල නොවෙයි ඩීආර් එකේ තියෙන්නේ. තාක්ෂණය එක්ක යාවත්කාලීන වුණු ඒ ඔස්සේ ඉදිරියට ගිය සිනමාවක් තමයි මේ ප්ලැට්ෆෝම් සිනමාව.
ලංකාවේ තරුණ ප්‍රජාව නම් වැඩි වශයෙන් මේ ප්ලැට්ෆෝම් සිනමාව වටා එකතු වී සිටින්නේ. නිර්මාණයේ ප්‍රස්තුතයත් ඔවුන්ට ගැළපිය යුතුයි නේද?
ලංකාවේ ජීවත් වන චරිත දෙක තුනක් පාදක කරගෙන ඒ වටා මේ කතාන්දරය ගොඩ නැඟෙන්නේ. කන්ද උඩරට වතුකරයේ සිටින දෙමළ තරුණියක් කොළඹ නගරයේ සුවිසල් බංගලාවක මහලු ස්ත්‍රියක් රැකබලා ගන්න පැමිණෙනවා. මේ මහලු ස්ත්‍රියගේ එකම දියණිය ජීවත්වන්නේ එංගලන්තයේ. මේ වැඩකාර තරුණිය මහලු කාන්තාව සමඟ ඔවුන්ගේ අත්දැකීම් බෙදාගන්නවා. ඒ අයගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ආශාවන් ජීවිතය දකින විදිහ වෙනස්. ඔය අතරතුර මහලු කාන්තාව සතියකට වතාවක් රෝහලට එක්ක යන ඌබර් ටැක්සි ඉලන්දාරියෙක් එනවා. ඔහු දකුණෙන් ආ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන තරුණයෙක්. ඔහු මුහුණදෙන ප්‍රශ්න හමුවේ ඔහුගේ එකම සිහිනය අනියම් ආකාරයකින් හෝ රටින් පැනයාම. වර්තමානයේ තරුණ පරම්පරාව මුහුණ දෙන ඛේදවාචකයන් පසුබිමේයි මේ කතාව ගොඩනැඟිලා තිබෙන්නේ. මේ ටැක්සි රියදුරත් අර තරුණ මෙහෙකාර ස්ත්‍රියත් අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩනැඟෙනවා. ඒ සම්බන්ධය තුළ ඔවුන්ගේ ජීවිතය හා බලාපොරොත්තු සඵල කරගන්නා ආකාරය මැනවින් ගෙනහර පාන නිරන්තරයෙන් අපට හමු නොවන කතාවක් මෙහි ගැබ් වී ඇති බව මම විශ්වාස කරනවා. ඒ වගේම මම මේ චිත්‍රපටය සඳහා අලුත් මුහුණු යොදාගෙන තිබෙනවා.
'ඈ' චිත්‍රපටය අන්තර්ජාතික ප්‍රදර්ශනයක් නිසා මෙහි භාෂාව පිළිබඳවත් හිතන්න ඇති?
මේ චිත්‍රපටය සම්පූර්ණ සිංහල භාෂාව පමණක් කතා කරන චිත්‍රපටයක් නොවෙයි. මෙහි ඉංග්‍රීසි භාෂාව දෙමළ භාෂාව කතා කරනවා. ඊට අමතරව මෙය උපසිරැසි සමඟ දිවෙන චිත්‍රපටයක්. භාෂාව නොදන්නා කෙනෙකුට ප්‍රේක්ෂකයෙකුට වුවත් තේරුම් ගන්නට ලොකු බාධාවක් නැහැ. මොකද සිනමා භාෂාව මේ චිත්‍රපටය තුළ තිබෙනවා. සිනමා භාෂාව දන්නා කෙනෙකුට හොඳීන් විඳීන්න පුළුවන් චිත්‍රපටයක් මෙය.
ලංකාවේ යම් නිර්මාණයක් ලෝකය සමඟ ගැටෙනවා නම් ඒ නිර්මාණයේ අන්තර්ගතය තුළින් අපේ රට පිළිබඳ කළු පැල්ලමක් ඇති නොවි යහපත් ආකල්පමය වෙනසක් ඇතිකරන්ට සමත්විය යුතුයි. ඔබට අනූව 'ඈ' තුළින් එය සිදුවනවාද?
මෙය වාණිජකරණය මතම පදනම් වූ චිත්‍රපටයක් නොවේ. මේ තුළ තරුණ තරුණියන්ගේ ධෛර්ය, බලාපොරොත්තු ඔසවා තබන්නට ගත් උත්සාහයක් තිබෙන්නේ. වර්ගවාදයක් කුල භේදයක් නොමැතිව අපේ කියන හැඟීමෙන් කළ නිර්මාණයක්. මෙහි තේමා පාඨය වන්නේත් 'අලුත් ලොවක් තනන්නි' කියලයි. අපේ රටට අපේ සමාජයට අපේ ජාතියට මොනම ආකාරයකින්වත් අවතක්සේරුවක් අවමානයක් සිදු වන්නක් නොවේ. මෙය උත්තරීතර තලයකට ඔසවා තබන්නට දරන උත්සහයක ප්‍රතිඵලයක්.
අනෙක් අතට ලංකාවේ සිනමා ප්‍රදර්ශකයන්ට ප්ලැට්ෆෝම් සිනමාව බලපෑමක් ඇති කරයිද?
මම හිතන්නේ නෑ එය බලපෑමක් වෙයි කියලා. මෙය මේ රටේ චිත්‍රපට නිෂ්පාදකවරුන්ට තවත් එක වෙළඳපොළක් නිර්මාණයවීමක් විවෘතවීමක් ලෙසයි මා දකින්නේ. ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි මෙයට අත නොගහ හිටියත් ලෝකයේ අනෙකුත් රටවල් මේ ක්‍රමවේදය භාවිත කරමින් තමන්ගේ නිර්මාණ කරනවා. ඒ තුළ දැවැන්ත වෙළඳපොළක් ඔවුන් ගොඩනඟාගෙන තිබෙනවා. අනෙක් අතට අපේ සිනමාශාලාව හිස්වෙද්දි අදාළ වගකිවයුත්තන්ට වගකීමක් තිබෙනවා මොකද්ද මේ වුණේ කියලා එයට හේතුව හොයලා බලන්න. බලපෑමක් ලෙස කවුරු හෝ මෙය දකිනවානම් එය ගෝත්‍රික හැඟීමක් විදිහටයි මට පේන්නේ.
මහා සිනමාවට කරන චිත්‍රපට ප්ලැට්ෆෝම් ඔස්සේ පෙන්විය හැකිද?
මෙහෙමයි. මහා සිනමව තුළ කරන දේම කරනවද කියන කාරණාව සම්බන්ධයෙන් මමත් අත්හදා බලමින් ඉන්නේ. මේ තුළ දැවැන්ත චිත්‍රපට අපි දකිනවා. 'ඈ' චිත්‍රපටය හරහා මම අපේක්ෂා කරේ සහ මම ඉලක්ක කළේ ශ්‍රී ලංකාවේ සිටින සහ ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයෝ. යම් යම් සීමාවන් තුළ ඉදලයි මම මේ චිත්‍රපටය කළේ. මේ තාක්ෂණය එක්ක ප්ලැට්ෆෝම් සිනමාව ඇතුළේ මහා සිනමාවට කරන චිත්‍රපට ප්‍රදර්ශනය කළ හැකියි. ලෝකයේ එහෙම කළ අවස්ථා තිබෙනවා. නමුත් මෙය ප්‍රදර්ශනය වන්නේ දැවැන්ත තිරයකම නොවන නිසා අපිට තාක්ෂණික වශයෙන් සහ නිර්මාණාත්මක වශයෙන් වෙනසක් තිබිය යුතුයි. මම දකින ප්ලැට්ෆෝම් සිනමාව මහා සිනමාවම නොවේ. සුවිශේෂී වූ අනන්‍යතාවයන් සහිත සිනමාවක් අප විසින්ම සකස් කරගත යුතුයි.
නිර්මාණයේ අයිතිය ගැනත් කතා කළ යුතුයි?
චිත්‍රපටය ප්‍රදර්ශන ගිවිසුමක් ඇරෙන්න අයිතිය සතු වන්නේ චිත්‍රපට නිෂ්පාදකවරයාටමයි. ප්‍රදර්ශනය සඳහා ෆැල්ට්ෆෝම් එක සමඟ යම්කිසි කාල පරිච්ඡේදයකට ගිවිසුම අත්සන් කරන්නේ. විශේෂයෙන්ම මම මතක් කළ යුතු කාරණයක් තිබෙනවා මේ චිත්‍රපටයට මුදල් ආයෝජනය කළ නිෂ්පාදකවරුන් දෙපළක් ඉන්නවා ආනන්ද ලියනගේ සහ සුජිත් ලියනගේ. ඔවුන් විදේශයන්හි ජීවත් වන අය. ඒ ලැබුණු ශක්තිය නිසා තමයි මට හැකියාව ලැබෙන්නේ මේ ආකාරයට මෙය නිර්මාණය කරන්න. විශේෂයෙන්ම චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කළ එන් එම් ජේ වසයිලාවෝත් මම මතක් කරන්න ඕන. ඔහුගේ සංගීතයට හා චිත්‍රපටයේ ඇතුළත් ගීත දෙකක් ලැබෙන ප්‍රතිචාර බොහොමයි. මගේ බිරිඳ රොෂාන්ති සේනාරත්න තමයි මෙහි ගී පදරචනාව සහ තිරපිටපත් රචනය සිදු කළේ. එයත් විශේෂයි.
'ඈ' බලන්න අපි කීයක් ගෙවන්න ඕනද?
මෙහි පැකේජ තුනක් තිබෙනවා රුපියල් 200 ,500,සහ 3000 විදිහට. රුපියල් 200 යේ පැකේජයට දෙවතාවක් මේ චිත්‍රපටය නැරඹිය හැකියි. රුපියල් 500යේ පැකේජයෙන් තෝරාගත් චිත්‍රපට කිහිපයක් එක්වරක් නැරඹීමට හැකියාව තිබෙනවා. රුපියල් 3000 හේ පැකේජයෙන් වසර පුරාම කැමැති චිත්‍රපටයක් රසවිඳීමේ හැකියාව ලැබෙනවා.
කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉදිරියේදී තවදුරටත් ලැබෙයි. විදේශයන් හි සිටින බොහෝ දෙනෙක් චිත්‍රපටය පිළිබඳ බොහොම ප්‍රසාදයෙන් කතා කළා. ඒ වගේම චිත්‍රපටයේ රංගනයේ යෙදෙන ශිල්පීන් පිළිබඳවත් හොඳ ප්‍රතිචාර ලැබුණා. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන යෂ් වීරසිංහට වගේම දෙමළ තරුණියගේ චරිතය නිරූපණය කරන උමේෂි වික්‍රමසිංහටත් ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. බොහෝ දෙනෙක් හිතා හිටියේ ඇය දෙමළ තරුණියක් කියලා. නමුත් ඇය දෙමළ භාෂාව කතා කළහැකි සිංහල තරුණියක්. ආරම්භයේ සිටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
සේයාරූ - නිශ්ශංක විජේරත්න