“කවදා හෝ හමුවේවී ආදරේ” “පියාඹන්න ආයෙත්”

සැප්තැම්බර් 1, 2022

සිය දෙමව්පියන්ගේ බලපෑම මත යෝජිත විවාහයක බැඳී සිටි සදීශා ජීවත් වූණේ විදේශ රටක. තව දුරටත් අකැමැති කෙනෙකුට ආදරය කිරීමට ඇති නොහැකියාව නිසාම කාටත් හොරා සිය සැමියා ද අතැර ඇය ලංකාවට එන්නේ ඇයගේ හදවතේ පෙර සිට ජීවත් වූ අදීශ පිළිබඳව මහත් වූ බලාපොරොත්තුවකින් යුතුවය. හදවතක ප්‍රේමයට ඇති ඉඩ අසීමාන්තිකයි වගේම ප්‍රේමය අපේ ජීවිත තුළට කරන බලපෑම් කෙතරම් ද කියා විටක විග්‍රහ කිරීමට පවා අපහසුවේ.

සදීශා ගුවන්තොටුපොළේ සිට අනුරාධපුරය බලා පිටත් වීමට තීරණය කරනවා. නිලන්ත කියන්නේ විවාහක එක් දරු පියෙක් ඔහු සංචාරක මගපෙන්වන්නකු ලෙස රියැදුරු වෘත්තියේ නියැළෙන්නෙක්. සදීශාට නිලන්තව හමු වන්නේ අහඹු ලෙසින්. ජීවිතයේ අපට හමුවෙන සමහර චරිත අහඹු ලෙස හමු වූවත් , අපේ ජීවිත වලට ඒ හමුවීම් විශාල බලපෑමක් එක් කරනවා. ආදරය කරන බොහෝ දෙනාට ඇතැම් විට ඒ ආදරය විවාහයකින් ජය ගැනීමට නොලැබෙනවා සේම , ආදරය නිත්‍යානුකූලව ලේඛනයකින් පවරලා දෙන්නත් බැරි වෙනවා. සදීශාගෙත් නිලන්තගෙත් මෙම චාරිකාව සුන්දර කඳු නිම්න තැනිතලා පසු කරමින් බොහෝ සුන්දර දර්ශනීය ප්‍රදේශයන් වෙත ඇදී යනවා. නදීශාගේ ජීවිතයට අනාරාධිතව ගොඩවුණ නිලන්ත මෙන්ම ඇයගේ පෙම්වතා වූ අදීශ , සදීශාගේ ජීවිතයට කරන බලපෑම කෙබඳුවේදැයි “පියාඹන්න ආයෙත්” සිනමා පටය තිරගත වූ විට තීරණය කිරීමට හැකි වනු ඇත. ආදරය යනු ඉවසීම හෝ දරා ගැනීම ද , නැතහොත් පරිත්‍යාගයක් ද යන සංවේදී කරුණු මත දෝලනය වෙමින් ආදරය පිළිබඳව වෙනස් ම හැගීමකින් මෙන්ම අපේ ජීවිත ඇතුළාන්තයට ආදරණීයව කතා කරන වඩාත් හදවතට සමීප වූ අත්දැකීමක් ලෙසින් ප්‍රේක්ෂකයාට වින්දනයක් ලබා ගැනීමට මේ තුළින් හැකි වනු ඇත.

අප කොයි කවුරුත් විඳීන , විඳවන ප්‍රේමයේ නැවුම් හරස්කඩක් වඩාත් ප්‍රේමාන්විත හා හැඟීම් බවකින් යුතුව “පියාඹන්න ආයෙත්” සිනමා කෘතිය තුළින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන ඔහු ෂර්ලි සමරසිංහයි. මේ ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා සිත්තමයි. කෙටි චිත්‍රපට හා වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස සම්මානයට පාත්‍ර වු ඔහු , ජාතික චිත්‍රපට සංස්ථාවේ ඩිප්ලෝමා පාඨමාලාව හදාරමින් සහය අධ්‍යක්ෂවරයකු හා නිෂ්පාදන කලමණාකරුවකු ලෙස විවිධ චිත්‍රපටවලට සම්බන්ධ වෙමින් හසළ වෘත්තීය අත්දැකීමක් ලැබූවෙකි. එලෙසින්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීයෙකු ලෙසද ප්‍රකටව සිටින අතර, කවියෙකු හා කෙටිකතා නිර්මාණකරුවකු ද වේ. ශ්‍රී ලාංකේය ළමා නාට්‍ය විෂය වෙනුවෙන් “ළමා විය සෞන්දර්ය අධ්‍යාපනය සහ ළමා නාට්‍ය කලාව ” මෙන්ම “ශ්‍රී ලාංකේය ළමා නාට්‍ය වංශය ” යනුවෙන් කෘති ද්විත්වයක් ද ඔහු විසින් ලියා පළ කොට ඇත.