මහා කතරක ගෙවූ තනිමඟ නිමා කළ ඉම ඔබ නෙතයි...”

සැප්තැම්බර් 8, 2022

 

සිංහල කථානාද චිත්‍රපට වංශකතාවට දැන් වසර 75කි. ඒ වංශකතාව තුළ ප්‍රේක්ෂක මනසේ සිතුවම් වු චිත්‍රපට ප්‍රමාණය ද වංශකතාව සේම දිගුය. සිංහල, සිනමාවේ ආරම්භක යුගයේ සිටම චිත්‍රපටයේ කතාව රසගැන්වීමටත් ප්‍රේමය, වියෝව, ප්‍රහසනය ආදී වූ කරුණු ඉස්මතු කිරිමට මෙන්ම, වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකර ගැනීමේ අරමුණින් චිත්‍රපට සඳහා ගීත ඇතුලත් කොට තිබේ. සමහර චිත්‍රපට ගීත නිසාම ජනප්‍රිය විය. ජනප්‍රිය සිනමාව තුළ මෙන්ම කලාත්මක චිත්‍රපට සඳහාත් ගීතය ප්‍රබල සාධකයක් විය.

ජනප්‍රිය සිනමාව හෙවත් වාණිජ චිත්‍රපට තුළ එක් චිත්‍රපටයකට ගීත වැඩි ප්‍රමාණයක් එක් කිරීම මඟින්, සිනමා පටයේ කතාව අබිබවා එහි ගීත අතිශ්‍ය ජනප්‍රියත්වයට පත්විය. අදටත් එම ගීත සරල ගීත සේ රස විඳීන රසික පිරිසක් සිටී. විශේෂයෙන්ම එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක. ලතා වල්පොල, සුජාතා අත්තනායක, ශ්‍රේෂන් ආනන්ද, වික්ටර් රත්නායක මිල්ටන් මල්ලවාරච්චි, ටී.එම්.ජයරත්න ඇතුළු ගායන ශිල්පීන් රැසකගේ මධුර මනෝහර හඬ පෞරුෂයන් එම ගීත ජනප්‍රිය කරවීමට බොහෝ සේ දායක වී තිබේ.

එසේ මතකයේ රැඳී සිංහල සිනමාව රසවත් කළ චිත්‍රපට ගීතයක් පිළිබඳව රසික ඔබගේ මතකය අවදි කිරිමයි. මෙම විශේෂාංගයේ අරමුණ වනුයේ.

1981 වසරේ තිරගත වූ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ ‘ආරාධනා‘ චිත්‍රපටය ඉතාම සංවේදී කතා පුවතක් රැගත් රිදී තිරය මත දිගහැරුණු සෞන්දර්යාත්මක සිනමාපටයකි. එහි කතා තේමාව මෙන්ම, රංගනය, ගීත ගායනය, කැමරාකරණය රූපගත කළ පසුතලය ආදී බොහෝ අංගයන්ගෙන් විශිෂ්ටත්වයක් පෙන්වූ සිනමා පටයකි.

සිනමා අධ්‍යක්ෂකවරයකු ලෙස ‘දුහුළු මලක්’ සිනමාපටය කුලුඳුලේ අධ්‍යක්ෂණය කරමින් සිනමා රසික මතකයේ රැඳී සිනමා අධ්‍යක්ෂකවරයකු බවට පත් වූ විජය ධර්ම ශ්‍රී, මැද මාවතේ සිනමාකරුවකු ලෙස ද හඳුන්වා දිය හැකිය.

ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ‘ආරාධනා‘ චිත්‍රපටය ප්‍රේමය, විවාහය, වෙන්වීම, නැවත එක්වීමත්, ඒ හා මුසු වූ ජීවිතයේ විවිධ අවස්ථාවන්, අත්දැකීම්, ගැටීම් පසුබිම් කරගත් සෞන්දර්යාත්මක, සංවේදී සිනමා නිර්මාණයකි.

සේනක නම් තරුණ ඉංජිනේරුවරයකු හා ජිනාදරී නම් හෙදියකගේ අහඹු හමුවක් තුළින් ගොඩනැඟෙන ප්‍රේමය හා ඔවුන්ගේ එක්වීම සෞන්දර්යාත්මක ලෙස ඉස්මතු කර තිබේ. යෞවන ප්‍රේමයේ සුන්දරත්වය, චමත්කාරය, ශෲගාරය, එය රසවිඳීන ආකාරය එවක සිනමාපටයක් තුළ වාරණයට ලක්නොකර ප්‍රේක්ෂකයින්ට සංයමයෙන් රසවීඳීිමට සිනමා අධ්‍යක්ෂවරයා අවස්ථාව උදාකර දී තිබේ.

ආදරයෙන් බැඳුණු යුවලක් මුහුණ දෙන අනාරක්ෂිත ගැටලුවක් හේතුවෙන් පසුකලක සුන්දරව ගෙවූ ඔවුන්ගේ විවාහය දෙදරා යාම දක්වා බලපෑමට එය හේතුවක් වන ආකාරය සංවේදී හා හද සසල කරවන පුවතක් ඔස්සේ කතාව ගොඩනගා තිබේ.

“ආරාධනා“ සිනමාපටය තිරගත වී මේ වන විට දශක හතරක් ගත වී තිබේ. එසේ වුවත් එහි තිබූ ගීත අදටත් මතකයේ රැඳී තිබේ. නූතන පරම්පරාව පවා රස විඳීන සුභාවිත ගීත මෙම චිත්‍රපටයේ ඇතුළත් විය. ‘සීත අරණේ සුපුල් නාමල“, ආරාධනා.... ජීවිතයේ තනි මංසල අතරමං වෙලා..“ “සිනාවකින් පුතුගේ මුවේ”... වැනි ගීත අදටත් රසික සිත් ඇඳ බැඳ ගැනීමට සමත් වී තිබේ.

මෙහි රංගනයෙන් දායක වන රවීන්ද්‍ර රන්දෙණිය හා මාලිනී ෆොන්සේකාගේ රංගන ජීවිතයේ ස්වර්ණමය යුගයක මතකයන් රැඳී තිරයට ගෙන ආ චිත්‍රපටයක් ලෙස ද ඔවුන්ගේ රංගනයෙන් විශිෂ්ටත්වය ඉස්මතු කළ සිනමාපටයක් ලෙස ද මෙම චිත්‍රපටය හැඳීන්විය හැකිය.

සුමිත් අමරසිංහයන්ගේ විශිෂ්ට කැමරාකරණයට හසුකරගත්, එවක චිත්‍රපටයක දැකිය හැකි උපරිම සෞන්දර්යාත්මක සිනමා රීතිය මෙම චිත්‍රපටය පුරා දැකිය හැකිය.

මෙම සිනමාපටයේ අතිශය ජනප්‍රිය වූ ගීතයක් වනුයේ, කුලරත්න ආරියවංශයන් විසින් රචිත ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ, මිල්ටන් මල්ලවාරච්චි සහ මාලිනි බුලත්සිංහල විසින් ගායනා කරන ලද සීත අරණේ සුපුල් නාමල ගීතයයි.

සීත අරණේ සුපුල් නාමල

සුවඳ ගැල් වු ජීවිතේ

සීත හිමගිර සීත නොදැනේ

දැනේ උණුසුම ආදරේ....

ලතාවක් සේ වෙලී සියොළඟ

පතමි රැකවරණය ඔබෙන්

සදා දෝතින් මලක් සේ ඔබ

වැලඳ ගන්නෙමි හදවතින්...“

වලාවක් සේ අයාලේ ගිය

සිතට නිවහන ඔබ ළඟයි

මහා කතරක ගෙවූ තනිමඟ

නිමා කළ ඉම ඔබ නෙතයි...“

ගීතය මඟින්, තුරුණු පෙම් යුවළකගේ ප්‍රේමය මල්ඵල ගැන්වීම මනරම් ලෙස පදවැලක අමුණා තිබේ. චිත්‍රපටයේ පසුතලය, රූපරාමු ආදිය ගීතයේ පද හා අලංකාර ලෙස ගළපා තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

තරුණ යුවළක් ප්‍රේමයෙන් බැඳුණු විට, එහි අවසානය වනුයේ විවාහයයි. මෙම සිනමා පටයේ ආදරයෙන් බැඳුණු පෙම් යුවළ වනුයේ සේනක හා ජිනාදරියි. ඔවුන් ප්‍රේමය මල්ඵල ගන්වාගෙන තිබේ. ඔවුන්ගේ ප්‍රේමයට කිසිඳු බාධාවක් නොවී ඔහුට ඈ හිමි වී තිබේ. ඇයට ඔහු මහා වෘක්ෂයකි. ඇය ලතාවක් සේ ඔහුගේ රැකවරණයට නතු වී සිටියි. ඔහු ඇයට අසීමිතව ප්‍රේම කරයි. මලක් සේ ඈ රැකගනියි. අරමුණක් නොමැතිව ගෙවුණු ඇගේ ජීවිතයට සැනසුම, රැකවරණය වුයේ ඔහුය. කතරක් සේ තනිව ගෙවූ ඔහුගේ ජීවිතයේ තනිකම නිමාකළ පහන් වැට වුයේ ඇයයි. ඉතා අලංකාර, අර්ථවත් සුගම, සරල ගී පද රචනයක් ගීත රචක කුලරත්න ආරියවංශයන් විසින් රචනා කොට තිබේ. එය චිත්‍රපට කතා තේමාව හා අනුකූලව පැවතුණත් පොදු රසික සිත්වල සුභාවිත සරල ගීතයක් ලෙස අදටත් රසවින්දනය කිරීමේ හැකියාව තිබේ. එය මෙම ගීතයේ ඇති විශිෂ්ටත්වයයි.

මෙම ගීතයේ ආරම්භයේ දී පසුබිමින් ඇසෙන සංගීතයේ ඇති සුවිශේෂි සංගීත සංයෝජනය ගීතයට එක්කොට ඇති මිහිර ඉතාම රසවත්ය. එම සංගීත සංයෝජනය තුළින් නැඟෙන තබ්ලා වාදනය, වයලීනයේ මිහිර ගීතයෙන් ගැයෙන ප්‍රේමණීය ප්‍රහර්ශය චමත්කාරය වඩාත් ඉස්මතු කර තිබේ.

ගී පද රචනය මෙන්ම, සුමියුරු සංගීත සංයෝජනය හා මුසුවුණු ළයාන්විත ගායනය ද මෙම ගීතයේ ජනප්‍රියත්වයට එක සේ දායක වී තිබේ. විශේෂයෙන්ම රෝහණ වීරසිංහයන්ගේ මියුරු පද රටාව හා මුසුවූ සංගීතයට, අපට සිටි ඉතාම දක්ෂ ගායන ශිල්පීන් දෙපළක් වූ විශාරද මාලිනි බුලත්සිංහ හා මිල්ටන් මල්ලවාරච්චිගේ මියුරු ළයාන්විත ගායනය ගීතයට ඉතා හොඳ සාධාරණයක් ඉටුකොට තිබේ.

එසේම මෙම ගීතය මෙතරම් ජනප්‍රියවීමට ඒ සඳහා රංගනයෙන් දායක වූ ප්‍රවීණ රංගන ශිල්පීන් වන රවීන්ද්‍ර රන්දෙණිය හා මාලිනී ෆොන්සේකාගේ ප්‍රේමණීය, මන බන්ධන රංගනය දායක වී තිබේ. එම සිනමාපටය නැරඹු ප්‍රේක්ෂකයින් අදටත් එම ගීතය අසන විට රවීන්ද්‍ර හා මාලිනියගේ ප්‍රේමණීය රැඟුම් මනසින් දකින තරමටම එම චිත්‍රපට ගීතය රසික සිත්සතන් හි සිත්තම් වී තිබේ.

*1982 වසරේ 10 වන සරසවි සම්මාන උලෙළේ ජනප්‍රියතම චිත්‍රපට ලෙස ආරාධනා සම්මානයට පාත්‍ර විය. එම සම්මාන උලෙළේම හොඳම නිලියට හිමි සම්මානය, හොඳම සංගීතඥයාට හිමි සම්මානය, හොඳම කැමරාකරණය, හොඳම ගීත රචනය, හොඳම සහය රංගනයට සඳහා සම්මානයෙන් පිදුම් ලබාගැනීමට මෙම චිත්‍රපටයට දායක වූ ශිල්පීන්ට හැකිවිය.