67 වැනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළ

සැප්තැම්බර් 8, 2022

67 වැනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළ පසුගියදා මුම්බායි ජියෝ වර්ල්ඩ් සෙන්ටර් හිදී පැවැත්වුණි. එහිදී Sardar Udham හොඳම චිත්‍රපටය (විචාරක) සහ හොඳම නළුවා (විචාරක) ඇතුළුව සම්මාන 9ක් දිනා ගනිමින් උලෙළේ වැඩිම සම්මාන ලැබූ චිත්‍රපටය බවට පත්විය. පසුගිය අගෝස්තු 30 වැනිදා පැවති සම්මාන උලෙළේදි 2021 වසරේ තිරගත වූ හොඳම හින්දි චිත්‍රපට සඳහා සම්මාන පිරිනැමීම සිදු විය. මෙවර සම්මාන උලෙළ මෙහෙයවනු ලැබූයේ බොලිවුඩයේ ජනප්‍රිය නළුවන් දෙනෙකු වන රන්වීර් සිං සහ අර්ජුන් කපූර් විසිනි.

ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළ දූෂිත වූ බව පවසමින් නිළි කන්ගනා රනවුත් සිය ඉන්ස්ටග්‍රම් ගිණුම හරහා පණිවිඩයක් බෙදාගත්තාය. ඒ අනුව සම්මාන උලෙළේ සංවිධායන් හට නඩු පැවරීමට ද ඇය පියවර ගෙන තිබුණි. මුලදී, Thalaivii  චිත්‍රපටයේ ඇයගේ රංගනය වෙනුවෙන් ඇය හොඳම නිළියට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශ වූ නමුත් ඇයගේ චෝදනා ප්‍රකාශ කිරීමත් සමඟ ෆිල්ම්ෆෙයාර් ඇයගේ නිර්දේශ නාමය ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළ අතර ඔවුන්ගේ ඉන්ස්ටග්‍රම් ගිණුමෙන් ඇය එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කළේය.