“බටහිර සුළඟේ විසිරී ගිය මිනිසත්භාවය”

“විසංගමනය ”
සැප්තැම්බර් 15, 2022

නූතන ධනවාදී සමාජය තුළ සියලු මිනිස් සබඳතා මූදල නමැති අයිස් වතුරේ ගිල්වා මිනිසත්කම හිරි වට්ටමින් මිනිසා සිත් පිත් නැති යාන්ත්‍රික හා ආත්මාර්ථකාමී සත්ත්වයෙක් බවට පත් කර ඇති බව පසක් කර දෙන “විසංගමනය” රංජන් ප්‍රසන්නගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි. “එකමත් එක රටක ” , “ ඉර හඳ යට ” , “ගාඩි” වැනි චිත්‍රපට කිහිපයකම සහාය අධ්‍යක්ෂවරයකු ලෙසින් කටයුතු කර ඇති ඔහු , පුංචි තිරය මතින් “සිහින පුරය” , “සුජාතා” , “රෑන ” , “සුර විමන” , “සේයා ” , “පහේ කල්ලිය ” ඇතුළු ටෙලි නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයාට තිළිණ කළ පළපුරුදු නිර්මාණකරුවෙකි. එලෙසෙම සිනමා කර්මාන්තයේ විවිධ ඉසව් තරණය කල ප්‍රවීණයකු වූ රංජන් ප්‍රසන්නගේ “විසංගමනය” මේ වන විටත් අන්තර්ජාතික සිනමා උලෙළයන් කිහිපයක්ම නියෝජනය කරමින් සම්මාණයට පාත්‍රව තිබීම ද මෙම නිර්මාණයේ ඇති විශේෂත්වයකි.

සුඛෝපභෝගී සුපිරි ජීවිතයක සිහිනය පසුපස හඹා යන මිනිසාට මුදල් තමා වෙත ගලා එන විට , අනෙකුත් සියල්ල තමාගෙන් ඈත්ව හුදකලා වන බව ඔහුට නොවැටහේ . එයින්ම තමාට තමා අහිමි වන තත්ත්වයක් නිර්මාණය වේ. විසංගමනයේ ප්‍රධාන භූමිකාව වන ජගත් , නව ලිබරල් ධන වාදයේ ගොදුරක් බවට පත් වූ සියල්ලේම නියෝජනයයි. ග්‍රාමීය පරිසරයක උපන් ජගත් ගේ දෙමව්පියන් මනා ශික්ෂණයකින් පිරිපුන් ගුරුවරුන් දෙපළකි. ජගත් පුද්ගලික රෝහලක් පවත්වාගෙන යන ධනවත් ව්‍යාපාරිකයෙකි. ජගත් විවාහව සිටිනා රුක්ෂාණි ද , රෝහල් ව්‍යාපාරය හා සම්බන්ධ සුප්‍රකට ව්‍යාපාරිකයකුගේ දියණියකි. ඔවුනට ඊශා නමින් යොවුන් රූමත් දියණියක් සිටී. ජගත් සෑම විටම සිතන්නේ පියාගේ ආදරය උණුසුම මුදල් මතින් දියණිය වෙත සපුරා දීමට හැකි බවයි. පවුල් ජීවිතය ඔහුට තවත් ගණුදෙනුවක් හා ලිංගික ක්‍රියාවලියක් පමණි. මුදල් පසුපස හඹා යන දෙමව්පියන්ගේ ආදරය නොලබන ඊශා , රාත්‍රී සමාජශාලා වෙත යාමටත් මත්ද්‍රව්‍ය පානයටත් ඇබ්බැහිව රොක් සංගීත කණ්ඩායමක තරුණයකු සමඟ පෙම් සම්බන්ධතාවයක් ද ගොඩ නඟා ගනී. විදේශ ජාවාරම්කරුවන් හා එක් වන ජගත් ඖෂධ හා මිනිස් අවයව ජාවාරමක යෙදෙයි. මේ සඳහා ඔහුට දේශපාලන සවිය ද නිතැතින් හිමි වේ. මේ අකටයුත්තට විරුද්ධ වන රුක්ෂානිගේ පියා හා සොහොයුරාව ද ජගත් විසින් රහසිගතව ඝාතනය කරනු ලබයි. ඉන් නොනැවතෙන ජගත් ගේ ඉදිරි ක්‍රියා කලාපයත් , ඊශාට හා රුක්ෂාණිට මුහුණ දීමට සිදු වන්නේ කිනම් ඛේදවාචාකයකටදැයි විසංගමනය තිරයට ආ දිනක ප්‍රේක්ෂකයාට වටහා ගැනීමට හැකි වනු ඇත.

 

 

 

“ විසංගමනය” රංගන දායකත්වය

ආශාන් ඩයස්, සේමිණී ඉද්දමල්ගොඩ, සමනලී ෆොන්සේකා, ඩග්ලස් රණසිංහ, හයසින්ත් විඡේරත්න, චින්තක කුලතුංග, උදිත් අබේරත්න , බන්දුල සූරියබණ්ඩාර, චරිත් අබේසිංහ, නිරෝශන් විඡේසිංහ, ඉෂාන් මෙන්ඩිස්, ගාමිණී ජයලත්, වරුණි මධුපානි, ප්‍රේමා පතිරාජ, සුජීව කරුණාරත්න, අතුල ජයතිස්ස, රුසදි සෙනායා ප්‍රනාන්දු, විබෝධ හප්පාගොඩ, අමල්දාස් එල්රෝයි, ජයන්ත පීරිස්, තරංග ප්‍රනාන්දු ඇතුළුව අතිරේක රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගන දායකත්වයෙන් එක් වී ඇත.

 

විසංගමනය කාර්මික දායකත්වය

අධ්‍යක්ෂණය - රංජන් ප්‍රසන්න

කතා සංකල්පය සහ නිෂ්පාදනය -

උපේන්ද්‍ර මහේෂ් විජේරත්න

තිර රචනය - උපාලි ගම්ලත්

විධායක නිෂ්පාදනය - නන්දන ප්‍රේමචන්ද්‍ර

කැමරා අධ්‍යක්ෂණය - තිසූල දීප තඹවිට

කැමරා සහය - චන්දන සමන්කුමාර, සඳරුවන් ජයලත්

සහාය අධ්‍යක්ෂණය - තරංග සම්පත් කිරිඇල්ල, චාමර මධුසංඛ

සංස්කරණය - තිසර ධනංජය

කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය - චන්දන ප්‍රියංකර

කලා අධ්‍යක්ෂණ සහාය - සිසිර කුමාර, අමිල ගුණසේකර, ලක්මාල් අතුකෝරාල

අංග රචනය - ප්‍රියන්ත තිලක් රත්නායක

අතිරේක සහය අධ්‍යක්ෂණය -සශින් ගිම්හාන් පෙරේරා

වර්ණ සංයෝජනය සහ පසු නිෂ්පාදන කටයුතු - ප්‍රවීන් ජයරත්න

රේඛීය නිෂ්පාදනය - තිස්ස ලියනාරච්චි

සංගීත අධ්‍යක්ෂණය - සමන්ත පෙරේරා

ගී තනු නිර්මාණය - අභිෂේක් වීරසිංහ, සමන්ත පෙරේරා

ගීත රචනය - රත්න ශ්‍රී විඡේසිංහ, නන්දන ප්‍රේමචන්ද්‍ර

ගීත ගායනය - දිනිත් අභිෂේක්, සමන්ත පෙරේරා

මැදිරි තාක්ෂණ සහාය - තනුෂ්ක කහඳවල

දෙබස් පටිගත කිරීම - සම්පත් ප්‍රනාන්දු

විවිධ ශබ්ද පටිගත කිරීම - ඩබ්.ජී. පොඩි රත්න සහාය ප්‍රියන්ත නිරෝෂන්

නිෂ්පාදන කළමනාකරණය - සුජීව කරුණාරත්න

කොණ්ඩා සැකසුම - තුෂාර විදානගමගේ

මුල්‍ය පරිපාලනය - සුමේධ රණසිංහ

තිර පිටපත් නිර්මාණ සහාය - ප්‍රියනාත් විදානපතිරණ, කාවින්ද මලවිආරච්චි

නිෂ්පාදන සහාය - ප්‍රියන්ත මද්දුමගේ, බණ්ඩාර රණසිංහ, උපුල් වීරසිංහ, දිනිත් කුමාර, චන්දන බණ්ඩාර

අලෝකකරණ සහාය - ඩී.එම්. නිසල් සුරංග, සතීෂ තමෝද්