වර්ෂ 2023 ක්වූ March 29 වැනිදා Wednesday
මට දැනෙන දේ ප්‍රේක්ෂකයාට දෙන්න හොඳම මාධ්‍යය සිනමාවයි

රංග ශිල්පියකුගේ හැකියාව සහ වටිනාකම මැනෙන්නේ රුපියල් ශතවලින් නොව, අන් අය ඔහුගේ හෝ ඇයගේ රංගනය කෙතරම් අගය කරනවාද යන්න මතය. රුසියාවේ පැවැති 18 වැනි කසාන් අන්තර්ජාතික සිනමා උලෙළේදී ‘ද නිවුස්පේපර්‘ චිත්‍රපටයේ රඟ පෑ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර ශිල්පීන් යුගලට පසුගිය දා එවන් ඇගැයීමක් ලැබුණේ හොඳම නළුවා සම්මානය සමව ලැබීමත් සමඟිනි. ඔවුන් දෙදෙනා විසින් තිර රචනය කර, දෙදෙනාම සම අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයේ දෙදෙනාගේ රංගනය වෙනුවෙන් හොඳම නළුවා ලෙස සමව අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබීම ලෝක සිනමා ඉතිහාසයේ වාර්තාවක් ලෙස සැලකිය හැකිය.
මේ රංග ශිල්පී සරත් කොතලාවල සමඟ සරසවිය ඒ පිළිබඳවත්, වත්මන් සිනමා ක්ෂේත්‍රය සහ ඔහුගේ රංග දිවිය පිළිබඳවත් කළ විමසීමයි.
මුලින්ම ඔබට අපේ සුබ පැතුම් සමස්ත පාඨක, රසික ජනතාව වෙනුවෙන් පුද කරනවා...
බොහොම ස්තූතියි. මේ සම්මානය අපට ලැබුණේ චිත්‍රපට 300ක් පමණ ඉදිරිපත් වූ කසාන් උලෙළේ අවසාන වටයට තේරුණු චිත්‍රපට 10 අතරින් වීම තමයි විශේෂත්වය. එනිසා එය හොඳ තරගකාරීත්වයක් සහිතව දිනා ගත් සම්මානයක් ලෙස සලකන්න පුළුවන්.
ද නිවුස්පේපර් චිත්‍රපටයෙන් පසු ඔබ තවත් කුමක් හෝ නිර්මාණයක නියැළෙනවා ඇති?
මේ දවස්වල ලක්මාල් ධර්මරත්නගේ වාලම්පුරි චිත්‍රපටයේ කටයුතු අවසන් කළා. ඒ වගේම මගේ අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ දවස්වල අපේ තිබුණා දිරිය කැදැල්ල කියා වීදි නාට්‍ය කණ්ඩායමක්. ඒ අයත් එක්ක එකතුව තමයි මේ චිත්‍රපටය කරන්න සූදානම් වන්නේ. ඒ සියලුදෙනාට හොඳට රඟපාන්න පුළුවන්. ඊට අමතරව පිටින් කීපදෙනකුත් එයට සම්බන්ධ වෙයි. ද නිවුස්පේපර් කැමරා අධ්‍යක්ෂණය කළ චන්දන ජයසිංහව මේ චිත්‍රපටයෙත් කැමරාව කරන්න තෝරා ගත්තා.
ඔබ මීට කලින් චිත්‍රපට දෙකම කළේ කුමාර තිරිමාදුර සමඟ එක්ව?
කුමාරත් මේ චිත්‍රපටයේ රඟපායි. ඒත් මෙය ලීවේ සහ අධ්‍යක්ෂණය කරන්නේ මම. මමත් මෙහි රඟපාන්න හිතාගෙන ඉන්නවා.
ඔබ චිත්‍රපට අධ්‍යක්ෂණයටම යොමු වෙන්නේ ඇයි?
මොකද අපි අවුරුදු 30ක් විතර රඟපෑවා. ඒ රංගනය ගැන ඉගෙන ගන්න ගමන්. අපේ රංගන හැකියාව අධ්‍යක්ෂණය කිරීම විවිධ අය මඟින් සිදුව තිබෙනවා. සිනමාව කියන්නේ කාලය සහ අවකාශය ජය ගන්නේ කොහොමද කියන අභියෝගයට මුහුණ දෙන කලාවක්. ඉතින් ප්‍රකාශන මාධ්‍යයක් ලෙස සිනමාව ඉතා සියුම්, බොහෝ දේ ප්‍රේක්ෂකයාට ලබා දිය හැකි ක්ෂේත්‍රයක්. මට දැනෙන දේ කොහොමද ප්‍රේක්ෂකයාටත් ලබා දෙන්නේ කියන එකේදි හොඳම මාධ්‍යය මෙය කියා සිතන නිසා සිනමා නිර්මාණ කිරීමට කැමැතියි. වේදිකාවේ තිබෙන්නේ වෙනත් හැඩතලයක්. රූපවාහිනිය මේ දෙකටම වඩා වෙනස්.
ඔබේ අධ්‍යක්ෂණ ක්‍රමවේදය කුමක්ද?
අපි චිත්‍රපටයක් පටන් ගන්නෙම ස්ටෝරි බෝඩ් එක ඇඳලා ඉවර කරලා. කැමරා අධ්‍යක්ෂ එක්ක කතා බහ කරලා, නිමාවක් කරගෙන තමයි රූපගත කිරීම්වලට සූදානම් වෙන්නේ. එතකොට මුළු කතාවම නිර්මාණ කාර්යයට සම්බන්ධ සියලු දෙනාටම ඉතා පැහැදිලියි. චිත්‍රපටය හැදෙන ආකාරය හැමෝම අවබෝධ කරගෙන ඉන්නේ. අනවශ්‍ය දර්ශනවලට යන්නේ නෑ. ඇත්තෙන්ම කතාවක් රචනා කරලා, අධ්‍යක්ෂණය කරලා, රඟපාලා, සාමූහිකව කටයුතු කරන විට එය පුදුමාකාර සුන්දර අත්දැකීමක්. ඒ සඳහා අධ්‍යක්ෂවරයාත් යම් තරමකට නම්‍යශීලී විය යුතුයි.
නළුවා අධ්‍යක්ෂවරයාට අවශ්‍ය රූපය අඹන මැටි පිඩ යැයි බොහෝ දෙනා කියනවා. අධ්‍යක්ෂණය සහ රඟපෑම එකවර කරන විට මැටි පිඩ සහ අඹන්නා අතර සම්බන්ධය?
අපි තණ්හා රති රඟා තිර රචනය සඳහා අවුරුදු තුනක් ගත කළා. ද නිවුස්පේපර් සඳහා අවුරුදු හතරක් පමණ කාලයක් ගත වුණා. එවිට ඒ මුළු කාලයේම අදාළ නිර්මාණය සමඟ අපි රැඳෙනවා. නිවුස්පේපර් චිත්‍රපටය උදාහරණයකට ගත්තොත් එය ලියා අවසන් වෙද්දි ඒ නිර්මාණයේ සෑම අහුමුල්ලක්ම අපි දන්නවා. ඒ නිසා අපට ඒ කටයුත්ත සරලයි. අපි අපව පාලනය කළ යුත්තේ කෙසේද කියන දේ අප ඒ වන විට දන්නවා. අපි යන්නේ අප ගැනම විචාරයක් සමඟ. ඒ වගේම ටීබෝයිගේ සිට නිෂ්පාදකවරයා දක්වාත් පාරේ සිටින යාචකයාගේ සිට ජනාධිපතිවරයා දක්වාත් සියලු දෙනා අපට උදවු කළා. ඇත්තෙන්ම ද නිවුස්පේපර් චිත්‍රපටයේ රේඛීය නිෂ්පාදකවරයා ලෙස කටයුතු කළ අප අතරින් වෙන් වූ සරත් චන්ද්‍රසිරි සොහොයුරා පුදුම ‘කට්ටක්‘ කෑවේ මේ චිත්‍රපටය වෙනුවෙන්. නිෂ්පාදකවරු තිදෙනාත් අපට අසාමාන්‍ය සහයෝගයක් දුන්නා. ඒ සියල්ල සමඟ මැටි පිඩ සහ අඹන්නා කියන දෙදෙනාම අප තුළම සිටින නිසා එය අභියෝගයක් වුණේ නැහැ.
බොහෝ අය නොකරන දෙයක් තමයි අපදාන ගණයට එන චිත්‍රපට චරිතවලදි ප්‍රශ්න දෙතුන්සියයක ප්‍රශ්නාවලියක් තනා ගන්න එක. එයට චරිතයේ නම ගම රැකියාව ආදිය සිට සියලු චරිත ලක්ෂණ සහ තොරතුරු ඇතුළත් විය යුතුයි. එමඟින් තමයි චරිතය ගොඩනඟන්නේ. ඒ ඒ චරිතවල ස්තරය අනුව ප්‍රකාශනය වෙනස් වන්න පුළුවන්. ඒත් චරිත සියල්ල සඳහා එවැනි පසුබිමක් සැකසීම අවශ්‍යයි. එහෙම කළාම අධ්‍යක්ෂණයට යන විට ඒ ඒ චරිතය ස්ථානගත වන්නේ කොතැනද යන්න පිළිබඳ අධ්‍යක්ෂවරයාට ඉතා පැහැදිලි අදහසක් තිබෙන නිසා ලේසියෙන් හසුරුවන්න පුළුවන්. ඒ වගේම අධ්‍යක්ෂවරයා හැටියට නළුවාත් මා වන විට මාවම පාලනය කරගන්න එක එතරම් අපහසු නෑ. නළුවා කියන්නේ සංයමයකින් යුත් කෙනෙක් විය යුතුයි. මා තුළ එය තිබෙනවා. එවිට මා තුළ සිටින ඒ සංයමයෙන් යුතු රංග ශිල්පියාව මා තුළ සිටින අධ්‍යක්ෂවරයා අවශ්‍ය විදිහට හසුරුවනවා.
ජෝ අබේවික්‍රම ජ්‍යෙෂ්ඨ රංගවේදියාගේ ගමන්මඟ ඔබගේත් මාවත ලෙස ප්‍රේක්ෂකයන්ට දැනෙන්න පුළුවන්?
මම ලංකාවේ කැමතිම ප්‍රධාන නළුවන් අතර ජෝ (අබේවික්‍රම) මහත්තයා ප්‍රධාන තැනක් ගන්නවා. මම චිත්‍රපට බලන්න ගත්තේ අවුරුදු හයේ හතේ ඉඳන්. ජෝට වගේම ඩී. ආර්. නානායක්කාරට, ඇන්තනි සී. පෙරේරාට, දොන් සිරිසේනට, බී. ඇස්. පෙරේරාට, ඩොමී ජයවර්ධනට වගේම ආනන්ද ජයරත්නටත් මම කැමැතියි. ඇත්තෙන්ම ජෝ මහත්තයාගේ රංග කාර්යය ටිකක් අමාරු කටයුත්තක්. ඔහුව ඇසුරු කරන්න, ඔහු සමඟ රඟපාන්න අවස්ථාව ලැබුණා වගේම ඔහුගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තිබුණා.
ලෝකේ නළුවන් වර්ග කරනවානේ පෞරුෂවත් රංගවේදීන් සහ චරිතාංග රංගවේදීන් ලෙස. ඒ කොහොම වෙනස් කළත් නළුවන් වර්ගීකරණය කරන කැපුම් රේඛාව තොතැනද යන්නයි ප්‍රශ්නය. මොකද විජය කුමාරතුංග වගේ නළුවකු ගත්තොත් බඹරු ඇවිත් චිත්‍රපටයේත්, තුෂාරා චිත්‍රපටයේත්, කැඩපතක ඡායා චිත්‍රපටයේත් ආකාර තුනකින් රංගනය ඉදිරිපත් කරන්නේ. තුෂාරා චිත්‍රපටයේ විජය, කැඩපතක ඡායා චිත්‍රපටයේ හොඳම නළුවා වෙද්දි මොකද වෙන්නේ? ඒ මොන චරිතය වුණත් ප්‍රේක්ෂක විශ්වාසය ගොඩනැඟෙන විදිහට කරන්න පුළුවන් වීමයි වැදගත්. ඇයි දන්නවාද? අපි බොරුවක්නෙ කරන්නෙ රඟපානවා කියලා. ඒත් යථාර්ථයෙන් බාහිර වුණ එය ඇත්තක් කිරීමයි දක්ෂතාව.
ඔබ රංගනය වැඩිදියුණු කරගන්නේ කෙසේද?
ප්‍රංශ සිනමාවේ චරිත ගොඩනැඟීම හරි සියුම්. ඒ සියුම්බව හරි ලස්සනයි. ලෝකේ ‘ඇක්ටිං‘ කියන්නේ වෙනම දෙයක්. අපි ටෙලි නාට්‍යයක රඟපාද්දි අද වාතාවරණය අනුව සමහර දේවල් වෙනස් වෙනවා. සිනමාව ඊට වෙනස්. අපි ස්පර්ශ කරන්න හැදුවේ ඒ වෙනස. උදාහරණයකට සමහර මිනිස්සු මූණ දිහා බලලා සතුටුයි කීවාට ඇතුළ ගිනි ගොඩක්. ඒ ඛේදවාචකය සිනහවෙන් ඒත්තු ගන්වන්නේ කොහොමද කියන එක තමයි අපි චරිතයක් නිරූපණයෙදි සිනමාවෙන් පෙන්වන්නෙ.
සිනමාව ගැන කියද්දි ලෝකයේ තිබෙන්නේ කරුණු දෙකයිනෙ. සිනමාවයි මිනිස්සුයි. අපි මිනිස්සු ආශ්‍රය කරනවානෙ. ජෝ මහත්තයාත් කීවේ හැම මිනිසෙක් ගැනම හොඳ අවධානයෙන් හිටපන් කියලා. ඔවුන් ප්‍රශ්නවලට මුහුණ දෙන්නෙ කොහොමද කියල බලනවා. අනෙක කිසිම වර්ගීකරණයක් නොකර මම චිත්‍රපට බලනවා. සමහර ඒවායේ රංගනය තාක්ෂණික පැත්තෙන් ඉහළට ගන්නේ කොහොමද කියලයි බලන්නේ. ඉරානේ හොඳ සිනමාවක් තිබෙනවා. එය ඔවුන්ට ගෙනාවේ ප්‍රංශය වැනි යුරෝපා රටවලින්. ඒත් ඔවුන් එය සූක්ෂ්මව භාවිත කරනවා. ඒ වගේම ඇමරිකාව වගේ රටවල් දැවැන්ත චිත්‍රපට කරනවා. ඒත් අපේ ආර්ථික තත්ත්වය සහ පසුකම් සමඟ අපට එය කරගන්න ලේසි නෑ. ඒත් අපේ ප්‍රකාශනයත් අපි කෙසේ හෝ කරනවා.
ඔබ ‘නළුවා’ යන්න හඳුන්වන්න කැමැති කෙසේද?
නළුවෙක් වුණාම ප්‍රතිනිර්මාණය කරනවානෙ චරිතයක්. ඒක හරියට අනුවර්තනයයි පරිවර්තනයයි වගේ වැඩක්. පරිවර්තනයකදි තිබෙන සියලුම දේ ඒ විදිහටම පෙරළා දෙනවා. අනුවර්තනයකදි යම් චරිතයක කොටස් ඉවත් වෙන්න පුළුවන්. වෙනත් කොටස් එකතු වෙන්න පුළුවන්. මේ සියල්ලට නළුවා පළමුව තමන්ව හඳුනා ගන්න ඕනෙ. ඇයි ඒ? කියලා ඇහුවොත්, අනුන්ව ප්‍රතිනිර්මාණය කරන්න කලින් තමන් තමන්ගේ ශරීරය, මනස වැඩ කරන්නෙ කොහොමද කියලා හොඳට දැනගෙන ඉන්න ඕනෙ. එතකොට තමන් නොවන කෙනෙක්ව නිරූපණය කරද්දි තමන්ගෙ ශරීරයෙන් තමන්ගේ කොටස් ටික හලලා තමයි අනුන්ගේ කොටස් ටික දාගන්න වෙන්නෙ. මනසත් ඒ වගේ තමයි. හැබැයි එය සවිඥානකව කළ යුතු දෙයක්. අනෙක මෙය ප්‍රගුණ කළ යුතු දෙයක්. ඇත්තෙන්ම කීවොත් එය නිවන වගේ දෙයක්. කෙනෙකුට කියා දෙන්න පුළුවන් මාර්ගය විතරයි. තමන්ගේ භාවිතය අනුව තමයි ක්‍රමවේදය හසුවන්නේ. ඒකයි නළුකමේ සරල සූත්‍රය.
ඒ සූත්‍රය වේදිකාවට, සිනමාවට වගේම රූපවාහිනියටත් පොදුද?
ඒ වර්ග තුනක මාධ්‍ය තුනක්නෙ. වේදිකා නාට්‍යයක් හොඳට පෙන්වන්න පුළුවන් එකම ශාලාව ලයනල් වෙන්ඩ්ට් එක. ඒ නිසා ඒ ශාලාවේ කරන රංගනයයි, සිනමාවක කරන රංගනයයි වෙනස් කරන්න බෑ. මොකද අපි කතාවටත් කියන්නෙ ඉඳීකට්ටක් වැටුණත් ශාලාවෙ කෙළවරටම ඇහෙන්නේ ලයනල් වෙන්ඩ්ට් එකේ කියලානේ. අනෙක් ශාලාවලයි චිත්‍රපටයි අතර ලොකු වෙනසක් තිබෙනවා. චිත්‍රපටය හැදෙන්නේ රාමුවෙන් රාමුවට. අපි එක ඇහි බැමක් ඔසවද්දි අඩි පහක් විතර එසවෙනවානේ චිත්‍රපටයක. ඒත් ටෙලි නාට්‍යයක ඊට හාත්පසින්ම වෙනස්. ටෙලි නාට්‍යවල තරමක් කතාව එහෙම සද්දෙන් කරන්න ඕනෙ. මොකද චිත්‍රපටයක වගේ කළොත් නිකම්ම හිටගෙන ඉන්නවා වගේ පෙනෙන්න පුළුවන්.
අද මේ මාධ්‍යත්‍රය ගැන මොකද හිතන්නේ?
වේදිකා නාට්‍ය නම් දැන් යනවා අඩුයි. ප්‍රවාහන ගාස්තු එහෙමත් වැඩිවෙලා ඒත් ඊට සාපේක්ෂව ප්‍රවේශ පත්‍ර මිල වැඩි කරන්න බෑ. ඒ නිසා ඉල්ලුමත් අඩුවෙලා තිබෙන්නේ. චිත්‍රපටත් ඉතින් අඩුවෙන්නෙ හැදෙන්නේ වියදම වැඩි නිසා. අනෙක ශාලාත් බාගයක්ම වැහිලා. හැබැයි ඉතින් ටෙලි නාට්‍ය වුණත් කොළඹ අවට තමයි රූගත කරන්නේ. පිට පළාත්වල යනවා අඩුයි. ඔතැන ප්‍රශ්නය තිබෙන්නේ යමක් ව්‍යාපාරයක් වුණාම සාර්ථක වනවා. ඒක ඇත්ත. හැබැයි සාහසික ව්‍යාපාරයක් වුණාම මොකද වෙන්නේ? සමහර ටෙලි නාට්‍ය කරන සුළුතරක් ඉන්නවා හොඳ නිර්මාණකරුවන්. ඔවුන්ගේ නාට්‍ය පෙන්වා ගන්න අවස්ථාව නැතිව බලාගෙන ඉන්නවා. ඒත් ලාබෙට හදන ඒවා තමයි ප්‍රචාරය වෙන්නේ. ඉතින් මහන්සි වන අයට අවස්ථාව නැතිව යනවා. එහෙම වුණාම යහපත් මඟක් තිබෙන්න බෑනේ. සමහර අධ්‍යක්ෂවරුන්ට නිෂ්පාදකයන් බනිනවා නිර්මාණය විකාශය වන්නේ නෑ කියලා. මෙය ඛේදවාචකයක්. එයට හේතුව කිසිම ප්‍රමිතිගත කිරීමක් නැතිකම. රාජ්‍ය ප්‍රතිපත්තියක් නැතිකම. චිත්‍රපටවලට නම් මණ්ඩල පවා තිබුණ නිසා මොකක් හෝ ප්‍රමිතියක් තිබුණා. ටෙලි නාට්‍යවලට එහෙම කිසිම දෙයක් නෑ. හැබැයි ප්‍රේක්ෂකයන් හොඳ ටෙලි නාට්‍ය බලන්න පෙලඹෙනවා. ඒත් ගෙවීම් ප්‍රශ්නය නිසා හරි සැලසුමක් නැතිවයි තිබෙන්නේ. ඉතින් රටේම සැලසුමක් නැති වුණාම ටෙලි නාට්‍යවලින් විතරක් එය බලාපොරොත්තු වෙන්නත් බෑනේ.
දැන් ඇත්තෙන්ම ටෙලි නාට්‍ය බලන්නේ ගම්වල විතරයි. අද පරපුර ඒ වෙනුවෙන් කාලය නාස්ති කරන්නේ නෑ. අතේ ජංගම දුරකථනය තිබෙන නිසා ඒවායින් විදේශීය නිර්මාණ නරඹනවා. අපේ ඒවා සමඟ ඒ නිර්මාණ සසඳද්දි අහසට පොළොව වගේ. අපේ ඒවා බැලුවම හිනා යනවා. ඒකටත් හේතුවක් තිබෙනවා. අපේ ඒවා ලක්ෂ ගණන් වියදම් කරලා හදද්දි පිටරට ඒවා හදන්නේ කෝටි ගණන් වියදම් කරලා. මමත් මේ චිත්‍රපට කර්මාන්තයේ අර්බුදය විසඳන්න වැඩපිළිවෙළක් යෝජනා කරලා තිබෙනවා. එය සාර්ථක වුණොත් අපට බොහෝ ප්‍රදර්ශන ප්‍රශ්න විසඳගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ යෝජනාවලිය වුණත් භාවිතයට ගන්න විදිහ අනුව තමයි වැඩේ.....
ඔබට හිතෙන්නේ නැද්ද ඔබ යම් චරිත රාමුවක කොටු වෙලා කියලා?
හිතෙනවා. ප්‍රධාන චරිත ලැබෙන්නෙම නැති තරම්. වේදිකා නාට්‍යවල නම් හොඳම නළුවා, හොඳම සහාය නළුවා වගේ සම්මාන රැසක් ලැබුණා. ඒත් චිත්‍රපටවල ප්‍රධාන චරිත ලැබෙන්නේ නැති නිසා තමයි තණ්හා රති රඟා වගේම ද නිවුස්පේපර් වගේ චිත්‍රපට කළේත්. මම දන්නේ නෑ ඒ මොකද කියලා. වෘත්තිය වශයෙන් නළුවෙක් නිසා මම රඟපෑ යුතුයි. ඒ නිසා තාත්තාගේ චරිතෙම කරකර ඉන්නවා ජීවත් වීම උදෙසා.
ගොවියෙක් නළුවෙක් වුණාම දැනෙන්නේ කොහොමද?
ගොවියෙක් නළුවෙක් වුණාම හරි ලේසියි. ගමේ විස්තර තේරෙනවා. ගම්මුන්ගේ චර්යා පද්ධතිය හොඳට අවබෝධ වෙලා තිබෙනවා. හැබැයි එයින් ගැලවිලා එළියට ගියාම ලෝකය හාත්පසින් වෙනස්. ගමේ අයගේ ඒ තරම්ම ආත්මාර්ථකාමීකම් නැහැ. ඒත් සිදාදියේ අය හැම තිස්සේම නිදහස් වෙන්න තනි වෙන්න දඟලනවා. ගමේ ඒ ගතිය නෑ. හැබැයි ළඟදීම මේ ගතිය ගමටත් එයි. එතකොට ගමත් නගරය බවට පත්වෙයි.
ඔබ කුඩා කාලේ සිටන් රංගනයට යොමු වූ කෙනෙක් නෙවෙයි?
ඔවු. මට පොඩි කාලේ රඟපාන්න හිතිලාවත් නෑ. ඒත් සමහර චරිත නළුවන් කරන ආකාරය දැක්කාම මේක මීට වඩා හොඳට මෙන්න මේ විදිහට කරන්න තිබුණා කියලා නම් හිතුණ වෙලාවල් තිබුණා. ඉස්කෝලෙදිවත් අඩුම ගාණේ සින්දුවක්වත් කියපු ළමයෙක් නෙවෙයි මම. ජොබ් එකක් කරන කාලේ මම දහම් පාසලේ ඉගැන්නුවා. ඒකේ පුස්තකාලයක් හැදුවා. ඒත් පොත් ගන්න සල්ලි නෑ. ඉතින් වෙන ක්‍රමවලින් සල්ලි හොයලා වියදම් කරන්න විදිහකුත් නැති නිසා නාට්‍යයක් ලියලා අධ්‍යක්ෂණය කළා. 1989 දෙසැම්බර් 30 සහ31. ඒ කාලේ කලබල උග්‍ර කාලයක්. ඒත් ෂෝ පහක් පෙන්නලා රුපියල් 10/- ටිකට්වලින් 37000ක් ආදායම තිබුණා. ඒවායින් පොත් ගෙනාවා. ඊට පස්සෙ තමයි මේ ගැන ආසාවක් ඇති වුණේ. ඉතින් 90 වසරේ ඉඳන් 2000 වෙනකල්ම ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑර තිබුණ වැඩමුළුවලට සහභාගි වුණා. ඔය අතරේ එක දවසක් ෂෙල්ටන් පයාගල හමුවුණා. ඔහු ඇසුරේ අතුල ලියනගේ, ජනක රණතුංග, බනුර මලික් වැනි අය හිටියා. ඔහු දැඩි මාර්ක්ස්වාදියා. ඒ හෙවණැල්ල අපටත් ලැබුණා. ඔහු සියල්ල අපට ඉගැන්නුවා. ඉන්පසු ඔහු ටෙලි චිත්‍රපට කීපයක් කළා. ටෙලි නාට්‍ය දෙකතුනකත් චිත්‍රපට පහක විතරත් අවස්ථාව ලැබුණා. ඒ ගමන තමයි මේ තවම යන්නේ.
ඔබ නවකයන්ට කියන්න කැමැති කුමක්ද?
පුළුවන් තරම් ඉගෙනගන්න. ඒකට තැනක් නොතැනක් නෑ. අනෙක ඔය ජංගම දුරකථනය අතටම නෙත් දීලා තිබෙන්නේ දැනුම. ඒ නිසා ෆේස්බුක් එකේ කාලේ කන වෙලාවේ ඒකම භාවිත කරලා සිනමාව ගැන එහෙම කියවන්න. ඒ දේවල් නිසි විදිහට ප්‍රයෝජනයට ගත්තොත් නම් ගොඩ.
සේයාරූ - නිශ්ශංක විජේරත්න