අප කොයි කාගෙත් අතීතයට එබී බැලීම

මම නොවෙයි
ඔක්තෝබර් 6, 2022

 

අපේ ජීවිතයේ සියලු දේවල් රඳා පවතින්නේ ඊයේ නොහොත් අතීතයේය. අපට තියෙන්නේ ඊයේ දේවල් පමණි. දැන් සිදුවන දේ ගැන අපි කිසිවක් නොදන්නෙමු. ඒ නිසා අපට සිහි කරන්නට ඇත්තේ ඊයේ ගැන පමණි. නැතිනම් අවසන් වු රසවත් හෝ නීරස දේවල් පමණි. එලෙස පවසන්නේ එම්. සෆීර්. දශක තුනකට ආසන්න කාලයක් නාට්‍යකරණයේ යෙදී සිටි ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි. මම නෙවෙයි, ඔහුට අනුව, චිත්‍රපට අධ්‍යක්‍ෂණය පිළිබඳව කිසිවක් නොදන්නා නිසාම, කැමති ලෙස චිත්‍රපටයක් කිරීමට ඇති නිදහස, ඔහු ආශිර්වාදයක් ලෙස සලකයි. එසේම, ඔබ හෝ මම ලොව කොතනක සිටියත් මෙය ඔබෙත් මගෙත් අතීත කතාව වෙන්නට බැරිදැයි ඔහු ප්‍රශ්න කරයි. මම නෙවෙයි, තිරගත වූ දිනෙක ඒ සඳහා පිළිතුරු සැපයීමට හැකිවනු ඇත.

මම නෙවෙයි, චිත්‍රපටය සඳහා ප්‍රස්තූතය වී ඇත්තේ අතීතකාමයයි. වයස අවුරුදු 50 ක පමණ කාන්තාවකගේ අතීත ස්මරණය පිළිබඳව වූ රූපාවලියකින් යුක්ත වූ කතාවක් ප්‍රේක්ෂකයා හමුවට ඉදිරිපත් කරයි. මෙහිදී මුලික වශයෙන් උත්සාහ කරනු ලැබ ඇත්තේ, මෙම කාන්තාව විසින් ජීවිතයේ විවිධ අවස්ථාවල විඳී අත්දැකීම් මෙන්ම, සමහර සංවේදී කරුණු කාරණා විවිධාකාරයෙන් ගෙනහැර පෑමටය. කාන්තාව සහ රියදුරෙක් මුලික කරගෙන මෙහි කතාව දිග හැරෙයි. මෙම අතීතකතාව දිග හැරීම සිදුවන්නේ රියදුරා සහ කාන්තාව සංචාරයේ නියැළෙන අතරවාරයේදියි. ඔවුන් රට වටා දිගු සංචාරයකට අවතීර්ණ වෙයි. ඒ යන අතරවාරයේ විවිධ ස්ථානවල නතරව, ඒ ඒ ස්ථානවල ඇයට ඇති බැඳීම්, අතීත ස්මරණයන් රියදුරුවෙත එළිදක්වන්නට වෙහෙසියි. ඔවුන් දෙදෙනාගේ චරිත ස්වභාවයන් එකිනෙකට හාත්පසින්ම වෙනස් වු ආකාරයක පිහිටා ඇත. එම චරිත ස්වභාවයන් දෙකින්ම සමාජතල යුගලයක් විග්‍රහ කිරීමේ උත්සාහයක අධ්‍යක්‍ෂවරයා නියැළි ඇත. කාන්තාව නූතන පන්නයේ සශ්‍රික කාන්තාවකි. ඇයට කිසිදු බැඳීමක් නැත. ඈ නිදහස් හා සරලය. එනමුත් රියදුරා සමඟින් ගමනේ යෙදෙද්දී ඇති වන කතා බහ සහ ඇයගේ තිබෙන දුක, සතුට, කේන්තිය, ආවේගය, වේදනාව, පීඩනය මේ සියල්ල විවිධ අවස්ථාවන්හිදී මතුව එයි. එනමුදු රියදුරා නිහඬය. අවැසි දෙයට පමණක් පිළිතුරු දෙමින් ඔහු මුනිවත සුරකියි. එලෙස ඔහු හැසිරෙන්නේ, එය ඔහුගේ රාජකාරිය නිසාවෙනි. අවසානයේ ඔවුනොවුන් එකිනෙකා වටහා ගනී. තම තමන් පිළිබඳව සමාජය පිළිබඳව සහ මිනිස් ජීවිතයේ විවිධත්වය පිළිබඳව හා අතීතයේ ඇති සොඳුරුකම් සහ වර්තමානයේ ඇති යථාර්ථය ඔවු නොවුන් වටහා ගනී.

මම නොවෙයි රංගන දායකත්වය

දිල්හානි ඒකනායක / සංජීව උපේන්ද්‍ර / නිරෝෂිනි සමන්තිකා ගමගේ / කේෂාන් සේතුංග

 

මම නෙවෙයි, කාර්මික දායකත්වය

අධ්‍යක්‍ෂණය, තිර රචනය සහ ඇඳුම් නිර්මාණය : එම්. සෆීර්

නිෂ්පාදනය : තරිඳු ඉලේපෙරුම,

මහීල් මධුසංඛ, සම්පත් රාජපක්ෂ,

නිරෝෂ් කවිරත්න, සූජීව පතිනිසේකර

සහය අධ්‍යක්‍ෂණය : කේෂාන් සේතුංග

කැමරා අධ්‍යක්‍ෂණය : සුරන් බෝපිටිය

සංස්කරණය සහ වර්ණ සංයෝජනය : අසංක වික්‍රමසිරි

ශබ්ද පරිපාලනය : තාරක බැද්දගේ

දෘශ්‍ය ප්‍රයෝග : නලින් සම්පත්, එෆ්. නුෂ්රා

සංගීත අධ්‍යක්‍ෂණය : දුමින්ද කඩිගමුව

ගීත ප්‍රබන්ධනය : සූජීව පතිනිසේකර / එම්. සෆීර්

ගී තනු නිර්මාණ : සාගර විජේසිංහ / එම්. ශාරෆ් /දුමින්ද කඩිගමුව

ගීත ගායනය : සුබුද්ධි ලක්මාලි / එම්. ශාරෆ්

නිශ්චල ඡායාරූප : තිලක් පෙරේරා

නිෂ්පාදන කළමණාකරණය : ඩබ්. ජයසුන්දර

රේඛීය නිෂ්පාදනය : එම්. සෆ්රාස්

නිෂ්පාදක විධායක : සූජීව පතිනිසේකර

ඉංග්‍රීසි උපසිරැසි : ආචාර්ය ලයනල් ද සිල්වා

ඉදිරිපත් කිරීම : ඉන්ටර් ඇක්ට් ආර්ට්