වර්ෂ 2023 ක්වූ March 29 වැනිදා Wednesday
නිද්‍රාශීලී නොවන චිත්‍රපටයක්

පළිගැනීම සුලබ මිනිස් ස්වභාවයකි.තැනෙක පළිගැනීමේ චේතනා ය. එය ද පළිගැනීමේ ම කොටසකි. තවත් තැනෙක කායික හා මානසික පළිගැනීම් ය. සුන්දර පළිගැනීම් සේම අතිශය බිහිසුණු පළිගැනීම් ද හමු වේ. නමුත් පළිගැනීම යන පදයෙන් බොහෝ විට අවධාරණය කෙරෙන්නේ බිහිසුණු පළිගැනීම් ය. පළිගැනීම් පසුපස ඇති ප්‍රමුඛතම හේතුවක් වන්නේ අයුක්තිය යි. අසාධාරණය යි. මෙනිසාම පළිගැනීම හුදු අහම්බයක් නොවීමට ඇති ඉඩකඩ සුවිශාල ය.
සිනමාවට පළිගැනීම අගනා නිමිත්තකි. ලෝකයේ විශිෂ්ට කලාත්මක හා සම්භාවනීය සිනමාපට සඳහා පළිගැනීම විෂය කොට ගැනෙන්නේ කලක පටන් ය. එසේම වෙළෙඳ පොළ ජයග්‍රහණ සඳහා ද පළිගැනීම යන තෝරා ගැනීම අත්‍යන්තයෙන් ම වැදගත් වේ. ලංකේය සිනමාව මෙතැන දී ඊට වෙනස් චරිතයක් නිරූපණය නොකරයි.
තමනට හෝ තමන්ගේ සමීපතමයකුට සිදුවූ අයුක්තියක් හෝ අසාධාරණයක් වෙනුවෙන් සිදු කරන පළිගැනීම්, පළිගැනීම විෂයෙහි එන මුල් පෙළේ ප්රවේශයකි. ක්‍රිශාන්ත මනම්පේරි සිය පළමු සිනමා අධ්‍යක්ෂණය වන 'හිතුමතේ ජීවිතේ' ට ප්රස්තුත කර ගන්නේ මේ මාදිලියේ පළිගැනීමක් ය යන්න පැහැදිලි ය. දුෂ්කර , පිටිසර ගමක වෙසෙන තරුණයකුට නැගෙණිය ද, මව ද, පියා ද අහිමි වන්නේ බලවතුන්ගේ අනීතික හා අසංවර ඇවතුම් පැවතුම් නිසා ය. පළමුව නැගෙණිය අපයෝජනය කොට ඝාතනය කෙරේ. මව ළය පැළී මිය යයි. පියා මිය යන්නේ දරා ගත නො හැකි ශෝකයෙනි. ඒ වන විට තරුණයා බන්ධනාගාර ගත ව සිටී. පළිගැනීම සිදුවන්නේ නැගෙණියට විණ කළ සතර දෙනාම තරුණයා විසින් කෘර ලෙස ඝාතනය කරමිනි. මෙතැන ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා, ව්‍යාපාරිකයකු , ග්‍රාම සේවා නිලධාරියකු හා මැර පන්නයේ පුද්ගලයකු සිටින බව සිනමාකරු පවසයි.
මෙවැනි සිනමාපට සිනමාවට ආගන්තුක නොවේ. ස්ටීවන් ස්පීල්බර්ග්ගේ 'මියුනිච්', පළිගැනීම දෙස තාර්කිකව හා දේශපාලනිකව බැලූ සිනමාපටයක් සේ හඳුනා ගත හැකිය. ගාමිණී ෆොන්සේකාගේ 'උතුමාණෙනි' හි දී සොහොයුරකු අපයෝජනයට ලක්ව මරා දැමුණු සිය සොහොයුරියට යුක්තිය හා සාධාරණය ඉටු කරලනු පිණිස පළිගැනීමේ ක්රියාන්විතයකට එළඹෙන්නේ නීතිය වල් වැදුණු පසුබිමක ය. 'හිතුමතේ ජීවිතේ' හි තරුණයාගේ පළිගැනීමේ ක්‍රියාන්විතය සිදුවන්නේ ද නීතිය ක්‍රියාත්මක වීමට අදාළ විශ්වාසය බරපතළ අන්දමින් පලුදු වීම ද නිසාවෙනි. නොඑසේනම් නීතියේ පිහිට පැතීමේ ආකාරය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති නිසාවෙනි.
සිනමාකරු ක්‍රිෂාන්ත නිද්‍රාශීලී නො වන සිනමාපටයක් සේ 'හිතුමතේ ජීවිතේ ' ඉදිරිපත් කිරීමට දරන තැත කැපී පෙනේ. බොහෝ ප්‍රේක්ෂකයන් 'හිතුමතේ ජීවිතේ' නරඹන්නට යන්නේ එහි නිරූපිත පුවත පිළිබඳ යම් වැටහීමකින් යුතුව ය. එනිසා කුතුහලය යන්න ඔවුනට එපමණ වැදගත් නො වේ. තරුණයා සිය පළිගැනීම් මාලාව සාර්ථක කර ගන්නා බවත්, අවසන නීතියේ රැහැනට හසුවන බවත් ඔවුහු හොඳීන් ම දනිති. මෙයින් උපදින වාසිය පිළිබඳ අවබෝධයක් සිනමාකරු ක්‍රිෂාන්ත සතුව තිබුණේ යැයි සිතේ.
'හිතුමතේ ජීවිතේ' ට පදනම් වන්නේ 1970 දශකයේ මැද භාගය ය යන්න සඳහන් ය. කෙසේ නමුත් එ සමය ප්‍රතිනිර්මාණයට ක්‍රිෂාන්ත වැඩිපුර නොවෙහෙසෙයි. එක අතකට එය අත්‍යවශ්‍ය ද නැත. ප්‍රේක්ෂකයාට එය ගැටලුකාරී වන සෙයක් ද නො පෙනේ. එනමුදු බන්ධනාගාර ජවනිකා ආදිය රූප ගත කිරීමේදී වඩා විචක්ෂණශීලී වූයේ නම් මැනවි ය යන අදහස නම් යටපත් නොවන සුලු ය.
වේශ නිරූපණ කාර්යය සිනමාපටයක ප්‍රමිතිය කෙරෙහි එල්ල කරන බලපෑම ධනාත්මක නො වන්නේ නම් මතුවිය හැකි ලක්ෂණ 'හිතුමතේ ජීවිතේ' පුරාම දක්නට ලැබේ. හැමවිටම ප්‍රධාන චරිත සේම අවශේෂ චරිත ද දීප්තිමත්ව ගෙන හැර පෑමක් සිදුව තිබීම ඊට හේතුව යි.මෙපමණ පැහැපත් මිනිසුන් හා ගැහැනුන් මෙ ගම ජීවිතය නියෝජනය නො කරන වග වේශ නිරූපණයේ දී සලකා බලා ඇත්තේ අඩු ලන්සුවකිනි. විශේෂයෙන්ම මැදිවියේ මවගේ රූ සපුව, පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාගය හා සාහසිකත්වය වෑහෙන මුහුණ මෙහිලා අමතක නො කළ යුතු ය. එසේම බන්ධනාගාරයේ දී තරුණයාට හමුවන යටි රැවුලක් සහිත රැඳවියා ද මෙතැනට කැඳවිය හැකි වේ. නා නා ප්‍රකාරව බන්ධනාගාර පරිශ්‍රයේ සැරිසරන රැඳවියන් කා බී සුවසේ සිටින අලස පිරිසකැ යි සිතේ.
රූප සංවිධානයේ දී විශ්වසනීයත්වය යන්න කෙරෙහි දක්වා ඇති සැලකිල්ල ප්‍රශ්න කළ යුත්තකි. අඩුම තරමින් තරුණයා තෙවරක් වත් බන්ධනාගාරයෙන් හා ඉන් පරිබාහිර ව සිටිය දී බලධාරීන් වෙතින් පැන යයි. මෙය සිදුවන්නේ ඕනෑවට වඩා සැහැල්ලු ආකාරයකට ය. ඊට ඇවැසි පසුබිම නිශ්චය කර ගත්තේ නම් සිනමාපටයේ එන සංත්රාසය තවත් වටයකින් කුළුගැන්විය හැකිව තිබිණි.
නැගෙණියට විණ කළ නිසා සිව් දෙනෙකු මරාදැමූ තරුණයා පිළිබඳ ගැඹුරු කියවීමකට සිනමාකරු ක්‍රිෂාන්ත දක්වන්නේ අල්ප උනන්දුවකි. කෙසේ නමුදු ඔහු මූලික වශයෙන්ම මෙයට හේතුවන සමාජයීය හා සංස්කෘතික කාරණා සමහරක් සනිටුහන් කරන්නට පසුබට නො වෙයි. ඉන් ඇතැම් කාරණයක් කිසිසේත්ම ආගන්තුක නොවේ. පොලිස් ස්ථානාධිපතිවරයා ස්ත්‍රී ධුර්තයකු හා මධු ලෝලියකු වීම , ඔහුගේ සහචරයන් ද එසේම වීම ආගන්තුක නොවන එක් කාරණයකි. පොලිස් ස්ථානාධිපතිවරයා වන ප්‍රියංකර රත්නායක ද, ව්‍යාපාරිකයා වන පාලිත සිල්වා ද, මැර පන්නයේ පුද්ගලයා වන මහේන්ද්‍ර පෙරේරා ද අවස්ථා කිහිපයකදී ම සිනමා රංගනයෙන් දුරස් වන බව පෙනේ. අනෙක් චුදිතයා වන ග්‍රාම සේවා නිලධාරියා වූ ගිහාන් ප්‍රනාන්දු ඊට වඩා වගකීමකින් කටයුතු කොට ඇති බව ද සඳහන් කළ යුතු ය.
සිනමාපටයේ බර වැඩිපුරම දරන තරුණයාගේ චරිතය නිරූපණයට දිනෙත් ද සිල්වා දරන ප්රයත්නය සුළු පටු නැත. තමා නවකයකුම නොවන වග ද ඔහු ඉඟි කරයි.නො ගැඹුරු හැගීම්බර බවක් ආරෝපණය කර නො ගැනීමේ වාසිය හා අවශ්‍යතාව සම්බන්ධයෙන් ඔහු තුළ යම් වැටහීමක් තිබූ සෙයකි. මේ වනවිටත් ඔහු ප්‍රධාන චරිත නිරූපණය කළ සිනමාපට දෙක තුනක් ම ප්‍රදර්ශනය වී තිබේ. 'හිතුමතේ ජීවිතේ' හා එම සිනමාපට කියා සිටින්නේ ජව සම්පන්න හා සටන්කාමී චරිත නිරූපණය සඳහා යම් සංවේදී පුහුණුවක් ඔහු විසින් යම් පමණකට හෝ සාක්ෂාත් කර ගෙන ඇති ය යන්න ය.
'හිතුමතේ ජීවිතේ' සිනමාශාලා ප්‍රදර්ශනයට එක් වන්නේ නිෂ්පාදන කටයුතු නිමවී වසර කිහිපයක් ගතවූ පසුව යි. මේ අතර නවතම සිනමාපට ද සිනමා ශාලා කරා පැමිණෙමින් තිබේ. තවදුරටත් ලාංකේය සිනමාවෙන් පමණක් ම සෑහීමකට පත් නො වන ප්‍රේක්ෂකයන් ද හඳුනා ගත හැකිය. නව සිනමා ප්‍රදර්ශන අවස්ථා ද ප්‍රචලිත වෙමින් පවතී.මේ මැද 'හිතුමතේ ජීවිතේ' හුදෙකලා නො කිරීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් දැන හඳුනා ගැනීම සිනමාකරු ක්‍රිෂාන්තගේ සේම සෙසු සිනමාකරුවන්ගේ ද, නිෂ්පාදකයන්ගේද වගකීම් සහගත කාර්යයක් වේ.