ඉන්දියානු ටෙලි නාට්‍යයක් බඳු ආදරණීය ප්‍රාර්ථනා

දෙසැම්බර් 8, 2022

සිනමාව හා රූපවාහිනිය අතර දශක ගණනාවක පටන් ම පවතින්නේ බැහැර කළ නොහැකි විරසකයකි. එනමුදු අවස්ථෝචිතව මේ විරසකය තුනී කරලීමේ නා නා විධ ප්‍රයත්න දක්නට නො ලැබෙනවාම නොවේ. ඉන් කියැවෙන්නේ ශ්‍රව්‍ය - දෘශ්‍ය මාධ්‍ය ද්විත්වයක් සේ එකඟ විය හැකි දෑ සිනමාව හා රූපවාහිනිය අතර පවතින බව යි. එසේම ඒ ඔස්සේ සිනමාව හා රූපවාහිනිය අතර සහජීවනයක් ගොඩ නංවාලිය හැකි බව යි. එහෙත් මෙය සිනමාවේ හෝ රූපවාහිනියේ අනන්‍යතාව ප්‍රශ්න කරන අවස්ථා නිර්මාණය නොකරන්නක් බවට වග බලා ගැනීම අතිශයින්ම වැදගත් ය. 

මෙරට සිනමාව හා රූපවාහිනිය වත්මනෙහි හැසිරෙන්නේ උක්ත සඳහන හා අනුකූල වන ආකාරයෙනි. මෙහිලා දත හැකි විශේෂත්වයක් වනුයේ බොහෝ රූපවාහිනි නාලිකා සිනමාවෙන් යැපෙන්නට දක්වන වුවමනාව ය. මේ හුදෙක් ලාංකේය සිනමාව වෙතින් ම නො වේ. අද වන විට හොලිවුඩ්, බොලිවුඩ් හා කොලිවුඩ් ප්‍රධාන ධාරාවේ නවතම සිනමාපට පවා රූපවාහිනියේ නඩත්තුවට පැමිණෙන්නේ කිසිදු අවහිරයකින් තොරව යි. සිනමාව සාක්ෂාත් කර ගත හැකි හොඳම ස්ථානය සිනමා ශාලාවය යන අදහස සමඟ ද මේ ප්‍රවේශය නිහඬ ගැටුමකට එළඹෙන අවස්ථා පවතී.

සිනමාව හා රූපවාහිනිය විෂයෙහි මෙරට පවත්නා මෙම වාතාවරණය උඩු යටිකුරු කරලීමේ කැපී පෙනෙන මැදහත්වීමක් සහතික කරලන්නට 'ආදරණීය ප්‍රාර්ථනා' සමඟ වාසව බදුගේ සමත්වන්නේ එපමණ ආයාසයක් නොදරමිනි. 'ආදරණීය ප්‍රාර්ථනා' නිසැක වශයෙන්ම ප්‍රාසාංගික ටෙලි නාටකයක් ඒකාංගික ටෙලි නාටකයක් කොට සිනමා තිරය මත පතිත කරලීමකි. සිනමාවෙන් රූපවාහිනිය යැපෙන්නේ ය යන සත්‍ය තිබියදී ම රූපවාහිනියෙන් සිනමාව යැපෙන්නේය යන සත්‍යයටද ඉඩක් ලබා දීම 'ආදරණීය ප්‍රාර්ථනා' හි ඒකායන අරමුණ සේ පෙනේ. මෙවැන්නක් කරා පැමිණීම සිනමා අධ්‍යක්ෂණයේ වැඩි පළපුරුද්දක් නොමැති අයකුට අසීරු ය. නමුත් වාසව සාර්ථකව මෙය ජය ගනී.

'ආදරණීය ප්‍රාර්ථනා' ඒකාංගික ටෙලි නාටකයක් බවට පත් කළ ප්‍රාසංගික ටෙලි නාටකයක් සිනමා තිරය මත පතිත කරලීමක්ය යන අදහස තවදුරටත් විවරණයට අවකාශ තිබේ. එනම් වාසව මෙසේ සිනමා තිරය මත පතිත කරලන්නේ අතෝරක් නැතිව මෙරට බොහෝ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කරන ඉන්දියානු ටෙලි නාටක විශේෂයක් ය යන්න ය. මේවායේ ප්‍රේම සම්බන්ධතා, විරහ වේදනා, පවුල් ආරවුල්, අනීතික ලිංගික හැසිරීම්, කුමන්ත්‍රණ , දේපළ ප්‍රශ්න, ඊර්ෂ්‍යාව , වෛරය , ක්‍රෝධය නො අඩුව දක්නට ලැබේ. මේ සියල්ල මනුෂ්‍ය සම්බන්ධතා නිරූපණයට අවශ්‍ය වන වග නො රහසකි. එහෙත් වාසව මේවා තුළට වැදෙමින් යම් නව අර්ථයක් උකහා ගැනීමට කිසිදු උත්සාහයක් නොදරයි. සුපිරි ධනවතුන්ගේ ජීවන විලාසය, වර්ණවත් හා දීප්තිමත් සළු පිළි, තරුණ කතුනගේ පමණක් නොව වියපත් කතුනගේද පැහැපත් බව ආදී අතාර්කික සුරංගනා ලක්ෂණ වාසවගේ මෙම පිළිවෙත රැක දෙන සාධක ය.

රූපණ කාර්යය සඳහා වාසව විසින් යොදා ගන්නවුන් රූපණ කාර්යයෙහි නිරත නො වීම වාසවට ගැටලුවක් නොවූ සෙයකි. ඔවුහු සිනමාපටයේ අරමුණ හා ස්වරූපය වෙනුවෙන් ම පෙනී සිටිති. ඒ කවර කොන්දේසියකින්වත් තොරවය. එසේම ඔවුන් වෙතින් පිළිබිඹු වන්නේ නවීන පන්නයේ විලාසිතා ය. සිනමාපටය ම විලාසිතාගාරයකි . හඬා වැලපීම් හා සුරාවෙන් මත් වීම් පවා විලාසිතා සේ නිරූපණය කෙරේ. 

සිනමාකරු වාසව හැමවිටම සමීප රූප හෝ මධ්‍යම සමීප රූප භාවිතයට දක්වන්නේ ඉමහත් කැමැත්තකි. මෙය ද 'ආදරණීය ප්‍රාර්ථනා' හි ඉන්දියානු ටෙලි නාටක ඌරුව තහවුරු කරන්නක් වේ. අතිශය සුලබ හා නොගැඹුරු පුවත හෝරා දෙකක කාලයක් පුරාවට ගොත ගසමින් හෝ පවසන්නට මේ රූප භාවිතය ඔහුට උපකාරී වී තිබේ. එහෙයින්ම ප්‍රේක්ෂකයා නොපමාව අත්විඳීන වෙහෙසකර බව යම් පමණකින් හෝ පලවා හරින්නට ද මෙයින් ඉඩ කඩ සැලසේ.

ගීත දෙක තුනක් ද වාසව සිනමාපටයට එක් කරන්නේ නිතර දකින මියුසික් වීඩියෝ සිහි ගන්වමිනි. ඒ ගේය පද රචනා පිළිබඳ අවධානයකින් තොරවය. ගීත මතකයේ නො රැදීම සිනමාකරු වාසව සොයා ආ වාසනාවකි. මන්ද සිනමාපටය තුළ මියුසික් වීඩියෝ ලක්ෂණය ඉස්මතු වීම ප්‍රේක්ෂක වෙහෙසකර බව තව දුරටත් තීව්‍ර කරන්නක් විය හැකි බැවිනි.

ප්‍රමිතිය හා අරමුණ සම්බන්ධයෙන් නිසැක පසුබෑම් පෙන්නුම් කරන ඉන්දියානු ටෙලි නාටක විශේෂයක් මෙසේ ලාංකේය සිනමාව කරා රැගෙන ඒම ලාංකේය සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යක් වන්නේ ද යන්න දැන්ම පිළිතුරු සැපයිය නොහැකි ප්‍රශ්නයකි. කෙසේ නමුත් 'ආදරණීය ප්‍රාර්ථනා' යනු මඳ වශයෙන්, අර්ධ වශයෙන් හෝ වැඩි වශයෙන් උක්ත ටෙලි නාටක ලාංකේය සිනමාව කරා රැගෙන ආ සිනමාපටයක් සේ පමණක් ම හඳුන්වා දීම සහේතුක නොවේ. ඇත්ත වශයෙන්ම මෙය ඒවායේ නිමාව හා අන්තර්ගතය මුළුමනින්ම ලාංකේය සිනමාව කරා රැගෙන ආ අවස්ථාවකි.

සිනමා වෙළෙඳ පොළ ජය ගැනීමට මෙබඳු සිනමාපට යම් උත්සාහයක් දරනු ඇතැයි සිතේ. ඒ උක්ත ඉන්දියානු ටෙලි නාටක විශේෂය ප්‍රිය කරන රූපවාහිනි ප්‍රේක්ෂකයන් සිනමා ශාලා වෙත ඇද ගැනීම සඳහා මෙය උපක්‍රමයක් සේ භාවිත කළ හැකි වීම ය. නමුත් මෙය භයානක අත්හදා බැලීමක් වේ. සිනමා ශාලාවකදී ටෙලි නාටක නැරඹීමට ප්‍රිය කරන්නවුන් අතිශයින්ම දුර්ලභ ය. වාසව දැඩි විශ්වාසයක් තබන්නේ මොවුන් කෙරෙහියි.