වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
ලාංකේය සමාජ ව්‍යුහය පිළිබඳ කියැවීමක්

උඩරට තෙත් කලාපීය වනාන්තරය හරිත වර්ණයෙන් බැබළේ. හිරු රැස් රුක් අතරින් පොළොවට පතිත වන්නේ ගත සිත විඩාවට පත් කරමින් නො වේ. නොබෝ දිනකින් පාලක පාර්ශ්වයේ තීරණාත්මක පරිවර්තනයක් සිදු විය හැකි බව සඳහන් ඉඟි හැම තැනකම ය. නමුත් හුදී ජනයා ඒ වගක් නො දැනම දවසරිති. රාජ පාක්ෂික නිලමේවරු මුහුදු බඩ බලය දරන බ්‍රිතාන්‍යයන් සමඟ සුහද සමාගමයක ය. බ්‍රිතාන්‍යයන්ගේ අරමුණ උඩරට යටත් කර ගැනීම නො ව උඩරට සම්පත් සිය මව් රටට පැටවීම බව ආණ්ඩුකාර ඩොයිලි පවස යි. ඇහැලේපොළ ඇතුළු නිලමේවරු පිරිසක් බ්‍රිතාන්‍ය උපකාර ලැබ ගන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයෙන් පහකරලීමට ය. සියල්ල බිහිසුණු අන්දමින් වෙනස් වන්නේ රජු සිය බලය ලේ වැගිරීමකින් අනතුරුව තහවුරු කර ගැනීමත් සමඟ ය. රාජ ද්‍රෝහී නිලමේවරුනට ද, හුදී ජනයාට ද දඬුවම් පැමිණවීම ආරම්භ කෙරේ. රදළ ස්ත්‍රීනට වයස් භේදයකින් තොරව සිදුවන්නේ එක්කෝ මහවැලි නදියට පැන දිවි තොර කර ගන්නට ය. නැතහොත් පීඩිත ආන්තික කුලයකට පාවා දෙනු ලැබීමේ ඉරණම භාර ගන්නට ය.
ප්‍රසන්න විතානගේ සිය නවතම සිනමාපටය වන ‘ගාඩි’ ආරම්භ කොට මඳ වෙලාවක් ගත වෙත්ම මේ කරුණ අලළා ප්‍රේක්ෂක අවධානය තීව්‍ර කරන්නට සමත් වෙයි. තිරය මත ඒ ඒ ස්ථාන හා අදාළ කාල වකවානු සටහන් කිරීමට ඔහු නො පැකිළෙන වග ද පෙනේ. මෙබඳු හඳුන්වා දීමක් අවශ්‍ය යැයි ඔහු කල්පනා කරන්නේ කුමක් හෙයින්ද යන්න නම් අපැහැදිලි ය. ඒ පසුකාලීන විමර්ශන පෙරට ඒමත් සමඟිනි. සිනමාපටය වෙනත් අතකට දිව යාමට සූදානම් බව යි ඉන් කියැවෙන්නේ.
නිශ්චිත චරිත හා නිශ්චිත ස්ථාන ද, නිශ්චිත කාල වකවානුවක් ද විෂය කොට ගැනීමට ප්‍රසන්න පසුබට නො වන්නේ විවාදාත්මක අර්ථ දැක්වීම් කරා යාමේ අරමුණු ද සහිතව ය. මේ මෑත කාලීන ඉතිහාසයේ සනිටුහන් වූ දෑ යි . හරියටම කිවහොත් අදින් වසර දෙසිය අටකට පමණ පෙරාතුව උඩරට මුල් කර ගනිමින් සිදුවූ දෑ යි. ලිඛිත සාක්ෂි සොයා ගැනීම අසීරු නැත. ප්‍රසන්න ඥානාන්විතව මෙසේ සාක්ෂාත් කර ගන්නා නිරවද්‍ය සාධක හා කරුණු මත ම රැඳී සිටියි. අපරිමිත නිදහසක් ඔහු වෙත උදා නො වන හැඩ ය. එහෙයින් ඔහු ඉතිහාසයේ සිරකරුවකු වී යැයි පැවසීම සහේතුක නො වේ. ඉතිහාසය මතම රැඳී සිටිමින් හුදෙක් ඊට ම අවනත නො වන අවස්ථා කරා යාම ඔහුගේ අභිප්‍රාය බැව් පෙනේ.
සිනමාපටයේ අවසන් භාගයේ දී ප්‍රසන්න සිය පාත්‍ර වර්ගයාගේ මුවින් පවසන්නේ රජු පළා ගියේ ය යන්න යි ; බ්‍රිතාන්‍යයන් සටකපට අන්දමින් උඩරට ද යටත් කර ගත් බව යි. රජ වාසල කුමන්ත්‍රණ මුළුමනින්ම පරාජය කළ බව යි. හුදී ජනයා මේ නව අවධිය පිළිගන්නේ අන් කළ හැකි දෙයක් නොමැති නිසාවෙනි. ඔවුන’තරින් වඩාත්ම පීඩාවට පත්වන කුල හීන ජන කණ්ඩායම් වරෙක මේ පරිවර්තන පිළිබඳ තමනට කිසිදු අවබෝධයක් නැතැ යි පවසන්නේ සැබෑවටම ය.
මේ සියල්ල නිරූපණය කිරීම සඳහා සංකීර්ණ රූප රචනයක සහය ලබා ගැනීමේ වෑයමක ප්‍රසන්න නිරත නො වෙයි. දෘශ්‍යමාන චමත්කාරය කෙරෙහි ඔහු දක්වන උනන්දුව අතිමහත් ය. මෙහෙයින් සිනමාපටය සමඟ ප්‍රේක්ෂකයන් බැඳෙන්නේ නිරායාසයෙනි. මෙතැන හුදෙක් අතීතය ප්‍රතිනිර්මාණය කළ සිනමාපට රස විඳී පිරිස් ම නො සිටින බව පැහැදිලි ය. තමාගේ සිනමා භාවිතය සමඟ දිගින් දිගට ම රැඳී සිටි ප්‍රේක්ෂකයන් වෙතින් වියෝ වීමට මෙය හේතුවක් කර ගත යුතු නැති බව ප්‍රසන්න හොඳීන්ම දනී. කෙසේ නමුත් මෙතෙක් වර්තමානය මත ම රැඳී සිටි තමා මෙතැන දී අතීතය කරා යාම ඔවුන් කෙසේ අනුමත කරන්නේ දැයි යන්න නම් ඔහු විමසිල්ලෙන් විසඳා ගත යුතු ගැටලුවකි. මෙරට සිනමා ප්‍රේක්ෂක සමාජය ඔහුව හොඳීන්ම දන්නේ වර්තමාන ජීවිතය විටෙක දේශපාලනිකව ද තවත් විටෙක සෞන්දර්යාත්මකව ද විවරණයට පසුබට නො වන සිනමාකරුවකු සේ ය.
ප්‍රසන්න ‘ගාඩි’ සමඟ නිරූපණය කරන දෘශ්‍යමාන චමත්කාරය, දෘශ්‍යමාන විශ්වාසනීයත්වය ඔස්සේ ගමන් කරන්නේ අදෘශ්‍යමාන ඉසව් කරා යි. මෙය ප්‍රේක්ෂකයනට දැනෙන්නට සැලැස්වීම ප්‍රසන්නගේ විධි ක්‍රමයකි. එ නිසා ම අතිශයෝක්තියෙන් කිසිවක් පවසන්නට ඔහු තැත් නො කරන සුලු ය.
ක්‍රමයෙන් ‘ගාඩි’ අන් අරමුණක් කරා මෙහෙයවීමට ප්‍රසන්න පියවර ගන්නේ උක්ත පෙළ ගැස්වීමට අනුකූලව යි. මෙය දෘශ්‍යමාන වන්නේ අතිශය සංවේදී පෙම් සබඳතාවක් මෙනි. එහි ඇතුළාන්තය මඟ හැර නො යන්නට ප්‍රසන්න කටයුතු කරන්නේ සිනමාපටයේ බර හා ගැඹුර රැඳී ඇත්තේ එතැන වන නිසාවෙනි. සිනමාකරුවකු ලෙස මෙතෙක් උපයා ගත් දැනුම ඔහුට මහෝපකාරී වී තිබේ. සිය පූර්ව සිනමාපට විෂයෙහි මෙවැනි හැඟීම්බර පෙම් සබදතා නිරූපණයට ඔහු උත්සුක නොවීම ද මෙතැන දී කැපී පෙනෙන කාරණයකි.
මේ පෙම් සබදතාව වියුක්ත තලයක නිරූපණය වීමේ අනතුර ප්‍රසන්න විසින් වළක්වා ගනු ලබන්නේ සහේතුක පසුබිමක ය. ඒ පෙම් යුවළගේ පූර්ව ජීවිත හා අත්දැකීම් සනිටුහන් කරමිනි. මෙහිදී වෙනස් රූප රචනයක අවශ්‍යතාවක් නැති වග ප්‍රසන්න නො සඟවා පවස යි. ඔහු පෙම්වතා හා පෙම්වතිය සිනමාපටයේ ප්‍රමුඛ චරිත බවට පත් කරන්නේ ක්‍රමිකව ය. රූප රචනය විසින් නිර්මාණය කරනු ලබන රිද්මය කෙරෙහි ද ඔහු සැලකිලිමත් වෙයි. මෙම රිද්මය ප්‍රේක්ෂකයන් හඩා නො වට්ටවන්නක් බව පෙනේ. එසේම ඔවුනගේ සැහීමකට පත්වීම් ගෙන හැර පාන්නේ ද ප්‍රේක්ෂකයන් සසල නො කරමිනි.
පීඩිත කුලයේ යෞවනයා ඉහළ කුලයේ රුවැති යෞවනිය සමඟ පෙමින් බැඳෙන්නේ කායික එක්වීමක් ගැන කිසිදු හැඟීමක් නොමැති පසුබිමක ය. යෞවනිය ද එසේම ය. සිනමාපටයේ ධාවන කාලයෙන් සැලකිය යුතු කොටසක් වෙන් වන්නේ මොවුනගේ පෙම් සබදතාව සවිස්තරව ප්‍රකාශ කිරීම වෙනුවෙනි. ඔවුන’තර අන්තර් සබදතා සටහන් කිරීමේ දී ප්‍රසන්න දක්වන ඉවසීම අතිමහත් ය. පෙම්වතාට පෙම්වතිය අබිබවා යාම නුසුදුසු බව ඔහු විසින් වටහා ගනු ලැබ ඇත්තේ සිනමානුරූපී ප්‍රවේශයක සූක්ෂ්මතා වටහා ගැනීම මධ්‍යයේ යි. මේ අනුව පෙම්වතා හා පෙම්වතිය ඇතළාන්තයෙන් පමණක් නො ව එළිපිට ම ප්‍රේමයෙන් බැඳෙන අන්දම යථාර්ථයක් වීම දක්වා ම ප්‍රසන්න සිදු කරන්නේ කල් මැරීමකි.
‘ගාඩි’ හි මේ පෙම් සබඳතාව අපූර්වත්වයක් ප්‍රකට කරන්නේ අනුචිත අවධාරණය කිරීමකට ලක් නො කරන නිශ්චිත සංකේතයක් නිසාවෙනි. මෙය පිළිබිඹු වන්නේ පීඩිත කුලයේ ස්ත්‍රීනට උඩුකය ආවරණය කර ගැනීමට ඇති බාධා සේ ය. කුලවත් රුවැති යෞවනිය පීඩිත කුලයේ ස්ත්‍රීන් හා පුරුෂයන් අබියස සිය උඩුකය නිරාවරණය කිරීම ප්‍රතික්ෂේප කරයි. මේ සිරිත බලාත්මක කරන්නේ බ්‍රිතාන්‍යයන් ඇතුළු යුරෝපීය ආගමනය නො වේ. මෙරට රජයන මතවාද යි. ඉන් ගොඩ නැඟෙන පාලන තන්ත්‍රය යි.
යෞවනයාගේ අප්‍රකාශිත ආදරයත්, යෞවනියගේ නුරුස්නා බවට යටින් විද්‍යමාන වන අවිනිශ්චිත ලෙන්ගතු බවත් සටහන් කිරීම සඳහා ප්‍රසන්න දක්වන උනන්දුව අගනේ ය. මේ සඳහා උපරිම සහය ඔහු වෙත ලබා දීමට සජිත් අනුත්තර හා ඩිනාරා පුංචිහේවා උත්සුක වන්නේ සිය නවක පිවිසුම් ඉක්මවා යමිනි. ප්‍රවීණ හා ප්‍රතිභාසම්පන්න රූපණවේදීන් හා රූපණවේදිනියන් අබියස වුව විශේෂයෙන් කැපී පෙනෙන්නට මොවුහු සමත් වෙති. මේ ප්‍රධාන චරිත නිරූපණය වෙනුවෙන් පැමිණි නිසා ම නො වේ. සිනමාපටයේ වැඩි රූප රාමු සංඛ්‍යාවක රැඳී සිටින්නට අවකාශ සැලසීම ද නිසාවෙනි.
එතෙක් පෙම්වතාගේ සහය සහිත ව ආවරණය කරගත් උඩු කය විවර කරමින් තමා ද පීඩිත කුලයේ සාමාජිකාවක වන බව පෙම්වතිය පවසන අවස්ථාව සිනමාපටයේ උච්චස්ථානය බවට පත් කෙරේ. ප්‍රසන්න ඉන් අපේක්ෂා කරන දෑ කවරේද යන්න පිළිබඳ ව සාකච්ඡා කිරීම ‘ගාඩි’ විමර්ශනයේ පදනම බවට යි පත්වන්නේ.
මේ කවර ප්‍රජාවක වුව ආධිපත්‍ය දරන පුරුෂ පාර්ශ්වයේ අණසකට යටත් වීමක් ද විය හැකි ය. තම දිවි බේරා ගැනීමට සහය දැක්වූ පීඩිත කුලයේ නායකත්වයට ගරු කිරීමක් ද විය හැකි ය. හුදු ප්‍රේමය නිසා ද විය හැකි ය. යළි කෙදිනකවත් ඉහළ කුලයේ සාමාජිකත්වය ලබා ගත නො හැකි වීම නිසා ගත් තීන්දුවක් ද විය හැකි ය. එසේම ඇය පවසන අන්දමට පීඩිත කුලය නඟා සිටුවාලීමේ අරමුණ නිසා වන්නට ද පුළුවන.
මේ එකිනෙකට සමාන හා එසැණින්ම එකිනෙකට වෙනස් හේතු සමඟ ‘ගාඩි’ නිමා කරන ප්‍රසන්න ප්‍රේක්ෂකයනට ලබා දෙන්නේ අතීතය වර්තමානයට කැඳවා ප්‍රශ්න කරන අභියෝගයකි. එක්තරා ආකාරයකින් ස්ත්‍රියගේ සැබෑ ඉරණම මෙයින් විදාරණය කෙරේ. අදත් කුලය මත වෙනස් කොට සලකන සම්ප්‍රදායන් රජයන වග නොරහසකි. මෙ නිසා ම ‘ගාඩි’ වර්තමාන ලාංකේය සමාජයේ ව්‍යුහය පිළිබඳ කියැවීමකට ආ අවස්ථාවක් ද වේ.මෙය ස්ත්‍රී - පුරුෂ ප්‍රේමයට පමණක් සීමා නො වන වග ද දත යුතු ය. සෑම ක්ෂේත්‍රයකදී ම මේ ලක්ෂණය නො දැවී තිබෙන්නේ ස්ත්‍රිය තව දුරටත් පීඩාවට පත් කරමිනි.