වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
විසිරුණු අරමුණු සහිත වෙඩි නොවදින ළමයි

කවර හෝ අනපේක්ෂිත යමක් සිදුවිය හැකි බව ඉඟි කරමින් සිනමාපටය ඇරඹෙයි.පාර අයිනේ පෙට්ටි කඩයකින් තේ ඩිංගිත්තක් පානය කරන තරුණ පුරුෂයෙකි. ඔහු කාඩ්බෝඩ් පෙට්ටියක් සොයයි. කුඩා හෝටලයක තේ බොමින් සිටින වියපත් මිතුරන් දෙදෙනාගේ අරමුණ සැර බීමකින් උගුර කට තෙමා ගැනීම ය. සුවිසල් හා අයස්කාන්ත ශාලාවකින් පිටතට ඇදෙන ගැමි සිසු කණ්ඩායමේ අපේක්ෂා බොඳ වූ සැටියකි. පාසල් සංගීත තරගාවලියක දී ඔවුන් ලබා ඇත්තේ අනු ශූරතාව ය. මෝටර් රියක පසුපස අසුනේ ගමන් කරන ළාබාල යුවතිය අතරමඟ සිටි පෙම්වතාව කැඳවන්නේ ආදරයේ මිහිර ම පුබුදුවාලමිනි. වියපත් කතක් ස්ව කැමැත්තෙන්ම රෝහලෙන් නික්මෙන්නේ වන අලි ප්‍රහාරයකට ලක්ව මියැදෙමින් සිටින සැමියාට වතුර උගුරක්වත් පෙවීමේ අදහසෙනි. ඇයට උපකාර කරන්නේ මෝඩ පහේ මුනුබුරා ය. මේ අතරට පැමිණෙන ක්‍රිකට් ලෝලියෙකි. කාසියේ වාසිය දිනූ අර්ජුන රණතුංග 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබා දෙයි. ක්‍රිකට් තරගය නිසා බස් නැවතුම් පොළේ මගීන් ද, බස් රථ ද අඩු ය. වෙනත් ගමනක් ගිය බස් රථයක් අනුරාධපුර බලා යාමට හොර රහසේ පැමිණෙයි. පෙර කී පිරිස පොරකමින් බස් රථයට ඇතුළු වෙති. බසය තුළ අමුතු ඇඳුමකින් සැරසුණු මැජික්කරුවෙකි. අතරමඟදී ප්‍රාදූර්භූතවන ව්‍යාජ ගැලවුම්කරුවෙකි. වැඩිහිටි භික්ෂූන් වහන්සේ නමකි. සාමණේර හිමි නමකි.
සිනමාකරු ඉන්දික ෆර්ඩිනැන්ඩු කිසිදු පමාවකින් තොරව ම මේ පිරිස විවිධ අරමුණු හා බැඳී සිටින වග පවස යි. තරුණ පුරුෂයා බිරිඳ සමඟ කාඩ්බෝඩ් පෙට්ටියේ රැගෙන යන්නේ රෝහලේ දී මියගිය මාස හයක් වයසැති සිය කුලුඳුල් දරුවාගේ මළ සිරුර ය. සිය ගම්පියසේ දී දරුවාට නිසි ගෞරවය ලබා දීම ඔවුනගේ අරමුණ යි. බීමත් මිතුරන් දෙදෙනා පසුවදා පාන්දර යළි කාර්යාලය බලා ඒමට කතිකා කර ගනිති. ගුරුවරයා උනන්දු වන්නේ දරුවන් ඔවුනගේ මාපියන් වෙත සුරක්ෂිතව භාර දෙන්නට ය. ළාබාල යුවතිය සිය ධනවත් මාපියන් අතහැර පෙම්වතා සමඟ පළා යන්නේ නිසි එල්ලයකින් තොරව යි. අතරමඟදී බසයට ගොඩවන මහතා වංචනිකයකු බව හෙළිවන්නේ පසුව ය. ක්‍රිකට් ලෝලියා ලෝක ක්‍රිකට් ජයග්‍රහණය වෙනුවෙන් දිවි පිදීමට වුව පසුබට නො වන්නෙකි. මැජික්කරු ගෙන එන්නේ විස්මයක් ද කැටි වූ අපූර්වත්වයකි.
මේ සමකාලීන ශ්‍රී ලාංකේය සමාජයේ එක්තරා පිළිබිඹුවක් සේ අවධාරණය කිරීම සිනමාකරු ඉන්දිකගේ අපේක්ෂාව වූයේ යැයි සිතේ. හෙමින් සීරුවේ ඔහු සමකාලීනව ඇවිල ගිය බිහිසුණු සිවිල් යුද්ධය නිශ්චිත සාධකයක් සේ ගෙන හැර පායි. වෙඩි හඬ හා බෝම්බ හඬ ඇසිය යුතු තැන ඇසෙන්නේ හා දකින්නේ මල්වෙඩි ය. ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව ඇත. යුද හමුදා ඛණ්ඩය විමසිලිමත්ව සිටින්නේ යුද්ධය තවමත් නිල වශයෙන් හමාර වී නොමැති හෙයිනි. සිසුනගේ වයලීන ඇසුරුම පවා ඔවුනගේ සැකයට ලක් වන සුළු ය. මැජික්කරු සංඥා කරන අයුරින් මිය ගිය දරුවාගේ සිරුර රඳවා ඇත්තේ එක් වයලීන ඇසුරුමක් තුළ යි.
ලෝක කුසලාන අවසාන ක්‍රිකට් තරගය, බස් රථයේ එන ශ්‍රී ලාංකේය පිළිබිඹුව සමඟ ගළපාලීමට ඉන්දික දරන වෑයම දෙවන වටයේ දී යටපත් වන්නේ යුද හමුදාවේ ආරක්ෂක පියවර පෙරට ගෙන ඒමත් සමඟිනි. ක්‍රිකට් ජයග්‍රහණය පිළිබඳ කිසිදු වැදගත්කමක් මෙතැනට අදාළ නො වේ. දැන් ඇත්තේ ආරක්ෂක හමුදා සැකයෙන් බේරී නිරුපද්‍රිතව අනුරාධපුර කරා ගමන් කිරීම පමණි. බාධාවකට ඇත්තේ මියගිය දරුවාගේ සිරුර ය. මළ සිරුරක් මගී බස් රථයක රැගෙන යාම වරදක් වුව ද තරුණ දෙමාපියනට දරිද්‍රතාව නිසා අන් කළ හැකි යමක් නොමැති හැඩ ය. දීර්ඝ බස් රථ ගමන අතරතුර ඉන්දික විසින් හසු කර ගනු ලබන්නේ මේ නිමිත්ත යි. ඒ වටා සිනමාපටය ධාවනය කරලීමට යි ඔහු පියවර ගන්නේ. වාසනාවකට ඔහු වෙත බාධා පැමිණවිය හැකි කිසිවකුත් නොමැත. එහෙයින් ඔහු රිසි සේ සිනමාපටය නිර්මාණය කරයි. එසේම රිසි සේ අනුරාධපුර බලා අගනුවර සිට බස්රථයේ ගමන් කරයි.
සිනමාපටයේ පළමු වගකිවයුත්තා ලෙස සිනමාකරු ඉන්දික මේ බස් රථයේ ගමන් කළ ද ඊට ගොඩවන්නට සියලු ප්‍රේක්ෂකයන් සූදානම් නො වන බව පැහැදිලි ය. ඊට හේතුවන ප්‍රථම කාරණය වනුයේ බස් රථයේ පාත්‍ර වර්ගයා සමඟ අනන්‍ය වීමට ප්‍රේක්ෂකයන් එ පමණ කැමැත්තක් නො දැක්වීම යි. මේ ප්‍රේක්ෂකයන් ප්‍රිය කරන මාදිලියේ චරිත නො වේ. ඔවුන්ගෙන් කෙනෙකු වීමට වඩා අනපේක්ෂිත හෝ අපේක්ෂිත අර්බුද මුණ නො ගැසෙන චරිතයක් වීමට යි බහුතර ප්‍රේක්ෂකයන් මනාප වන්නේ. කෙසේ වුවත් සිනමාකරු ඉන්දික බස් රථය තුළ සිට වාර්තා කරන දෑ නැරඹීමට හා පසු විපරම් කිරීමට ප්‍රේක්ෂකයන් අදි මදි නො කරන සුලු ය.
කිසිදු චරිතයක අතීතය හෝ ඇතුළාන්තය රූප රාමු කරා ගෙන නො ඒමට ඉන්දික ප්‍රවේශම් වන්නේ හේතුවක් ඇතිව යි. ඒ බස් රථ ගමන යන කාරණය ලඝු විය හැකි නිසාවෙනි. මෙයින් කියැවෙන්නේ බස් රථය ද සිනමාපටයේ සජීවී චරිතයක් වන්නේ ය යන්න ය. හැකි හැම විටෙකම බස් රථය සිනමාපටයේ ප්‍රධාන චරිතය සේ හඳුන්වා දීමට ඉන්දික උත්සාහ කරයි. ඇත්ත වශයෙන්ම බස් රථය හා බස් රථ ගමන නො තිබුණේ නම් හෝ ඊට අවම වටිනාකමක් ලබා දුන්නේ නම් සිනමාපටයේ ආකෘතිය මුළුමනින්ම වාගේ අන් ආකාරයක් ගන්නට ඉඩ තිබිණි. ඉන් අදහස් කෙරෙන්නේ ඉන්දික මෙම සිනමාපටය නිර්මාණය කරන්නේ කුමන අරමුණකින්ද යන ප්‍රශ්නය, පිළිතුරු නොමැති වීම නිසා හෝ පිළිතුරු අවම වීම නිසා බැහැර නො කළ යුතු බව යි.
ඉන්දිකගේ උක්ත අරමුණ ඒකාකාර නො වන්නේ යැයි සිතේ. ඔහු අරමුණු ගණනාවක් සමඟ පොර බදින අයකු සේ හඳුනා ගැනීම ප්‍රඥාගෝචර ය. මේ අරමුණු ඔහු වෙත ගෙන එන්නේ බස් රථයේ ගමන් කරන පාත්‍ර වර්ගයා යි . ඊට බස් රථයේ රියදුරු හා සහායකයා ද ඇතුළත් කළ යුතු වේ. මේ අනුව සිනමාපටයේ අරමුණු එකිනෙකට වෙනස් වන බව වටහා ගැනීම පහසු ය. සියලු අරමුණු ක්‍රිකට් උන්මාදය යන හුයෙන් බැඳ තැබීමට දරන වෑයම සිනමාපටයේ අග හරියේ දී ව්‍යර්ථ වෙයි. දැන් එතැනට පැමිණ සිටින්නේ ආරක්ෂක හමුදාව ය. ක්‍රිකට් යන සාධකය ලඝු වී යන්නේ කාටත් හොරා යි . අවසාන ජවනිකාව දිගහැරෙන පසුබිමේ ක්‍රිකට් පිටියක් සකස් කර තැබීම මෙ නිසා ඉස්මතු නො වේ.
ඉන්දික වැඩිපුර කැමති වන්නේ මියගිය දරුවා හා ඔහුගේ දෙමාපියන් සම්බන්ධ අරමුණ සමඟ සිනමාපටය ඉදිරියට රැගෙන යන්නට ය. එය සමකාලීන ශ්‍රී ලාංකේය වරප්‍රසාද හීන ජනයාගේ ඉරණම පිළිබඳ ගැඹුරු කියැවීමක් කරා යාමේ මාර්ගයක් සේ ඔහුට පෙනේ. ඒ සඳහා වුවමනා කොන්දේසි ආදිය ද සපයා ගැනීමට ඔහු යුහුසුළු වෙයි. සෙස්සන්ට වඩා වැඩි කාලයක් මොවුන් වෙත ලබා දීමට ද ඔහු උනන්දු වන සෙයකි. එසේම සියලු තීරණාත්මක අවස්ථා සමඟ මොවුනගේ දායකත්වය සනාථ කිරීම සඳහා ඔහු දරන වෑයම අති මහත් ය. ආරක්ෂක අංශයේ සැකයට සියලු මගීන් බඳුන් වන්නේ ද මොවුන් නිසාවෙනි.
එනමුදු සිනමාපටයේ උච්චස්ථානය සලකුණු කෙරෙන්නේ මෙ කරුණ මුල් කොට ගෙන නො වේ. වෙනත් අරුත් ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රයත්න සමඟිනි. එම ප්‍රයත්න පැහැදිලි කර දීමට ඉන්දික කිසිදු පියවරක් නො ගනියි. එසේම ඒ පිළිබඳ නිල හා නො වෙනස්වන සුලු අර්ථකථන සැපයීමේ කාර්යයෙන් ද ඔහු ඈත් වෙයි. ප්‍රේක්ෂකයාට සිදු වන්නේ තමන් සිනමාපටය හසු කරගත් ආකාරයට තමන්ගේ ම වූ නිර්වචන ඉදිරිපත් කරන්නට ය.
සුවිශේෂ චරිතයක් ඔස්සේ පෙර සඳහන් කළ පළමු අරමුණ හා අවශේෂ අරමුණු අතර සන්නිවේදනයක් හා සම්බන්ධතාවක් බස් රථය යන ප්‍රධාන චරිතය යටතේ සාක්ෂාත් කර දීමට ඉන්දික ක්‍රියා කරන්නේ සිනමාපටයට ආකර්ෂණීය මුහුණුවරක් ලබා දෙමිනි. මේ මැජික්කරුගේ චරිතය ඔස්සේ ය. ඔහු වරෙක සංවේගාප්‍රාප්ත වෙයි. තවත් විටෙක ප්‍රීති ප්‍රමෝදයෙන් ගී ගයයි. මගීන් සිය මැජික් බලයෙන් විස්මයට පත් කිරීමට ද ඔහු සූදානම් ය. ආරක්ෂක හමුදා පවා ඔහුගේ මේ සමත්කම් නිරීක්ෂණයට පසුබට නො වන බව පෙනේ. අවසන මැජික්කරු නිශ්ශබ්ද කරලීමට ඉන්දික තීන්දු කරන්නේ සිනමාපටයේ උච්චස්ථානය කරා ඔහු කැඳවා ගෙන යාම අනවශ්‍ය යැයි උපකල්පනය කරමින් විය යුතු ය. අන්තිමේදී කැපී පෙනෙන්නේ එතෙක් සෙස්සන් සමඟ රැඳුණු කුඩා පාසල් සිසුවා යි. ඔහු දරුවාගේ මළ සිරුර සහිත වයලීන ඇසුරුම රැගෙන යි පලා යන්නේ. ආරක්ෂක හමුදාවෝ ඔහුට වෙඩි තබති. එහෙත් ඉන්දික වෙඩි වරුසාව මල්වරුසාවක් බවට පත් කරන්නේ ප්‍රේක්ෂකයා අන්ද මන්ද කරමිනි. සිනමාපටය ‘වෙඩි නොවදින ළමයි' යනුවෙන් හඳුන්වා දීමට නම් මේ අගනා නිමිත්තකි. එනමුදු එහි තාර්කික බව සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්නකාරී කතිකාව නො සලකා හැරිය යුතු නො වේ.
මෙයින් පෙනී යන්නේ ඉන්දික අරමුණු කිහිපයක් සමඟ ම කිසියම් ගුප්ත ක්‍රීඩාවක නිරත ව සිටි බව යි. මිය ගිය දරුවා හා ඔහුගේ දෙමාපියන් සම්බන්ධ පුවත මඳක් ඉස්මතු කළ ද සෙසු චරිත රැඳෙන පුවත් එහෙම පිටින්ම අතහැර දමන්නට ක්‍රියා නො කිරීම තුළ ඉන්දිකගේ මේ ක්‍රීඩාවේ සැබෑ තත්ත්වය දක්නට ලැබේ. ඔහු එබඳු පිළිවෙතක පිහිටියේ මන්දැයි යන්න සොයා බැලීම ප්‍රේක්ෂකයන්ගේ පශ්චාත් කාර්යයකි. මන්ද සිනමාපටය නරඹන අතරතුර එබඳු කාර්යයකට ඉස්පාසුවක් ලබා දීම සඳහා ප්‍රමාණවත් අවස්ථාවක් ඉන්දිකගේ පාර්ශ්වයෙන් සලසා නො දෙන හෙයිනි. මෙතැන දී ඉන්දික ප්‍රේක්ෂකයනට බලපෑමක් සිදු නො කරන්නට ගත් තීන්දුව අගනේ ය. ප්‍රේක්ෂකයන් තමන් කැමති අදහසක් කරා යාම සිනමාකරුවාගේ ආධිපත්‍ය දුර්වල කිරීමක් සේ දකින්නට ඔහු සූදානම් නො වේ. එහෙත් මෙම අදහස නො වෙනස් වන සුලු අදහසක් සේ උත්කර්ෂයට නැංවීම නම් අමනෝඥ කටයුත්තකි.
සවස් යාමයේ සිට රාත්‍රී දෙගොඩහරිය දක්වා දිවෙන බස් රථයක් හා එහි ගමන් ගන්නා මඟීන් නිරූපිත සිනමාපටයක දී ප්‍රේක්ෂකයන් රඳවා තබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් පිළිබඳ අවබෝධයක් ඉන්දික තුළ නො තිබෙන්නට කිසිදු ඉඩක් නැත. මඳ වේලාවකින් ප්‍රේක්ෂකයන් වෙහෙසට පත් වීමට ඇති අවකාශය සැලකිය යුතු තරම් ය. ගීත හා මැජික්කරුගේ විස්මිත ක්‍රියා ඔහුට මහත් පිටිවහලක් වී ඇති සැටියකි. එහෙත් එය පමණක් ප්‍රමාණවත් නො වූ බව රහසක් නො වේ.
'වෙඩි නොවදින ළමයි' ඉන්දිකගේ සිනමා භාවිතයේ අභිවර්ධනයක් ද, පසුබෑමක් ද යන්න මෙහි දී නො විමසිය යුතු ප්‍රශ්නයකි. මන්ද ඔහුගේ පළමු සිනමාපටය වන 'හෝ ගානා පොකුණ' හා 'වෙඩි නොවදින ළමයි' දෙයාකාරයක සිනමාපට වන නිසා ය. 'වෙඩි නොවදින ළමයි' කිසිසේත්ම ළමා සිනමාපටයක් නො වන බව කිව යුතු ය. පෙරදී සඳහන් කළ පරිදි ම 'වෙඩි නොවදින ළමයි' විසිරුණු අරමුණු කිහිපයක් සමඟ කටයුතු කිරීමේ ප්‍රතිඵලය විද්‍යමාන කළ අවස්ථාවක් සේ දැකීම අපහසු නො වේ. උත්කර්ෂයට නංවන උච්චස්ථානය සමඟ එකඟතා පවත්වා ගැනීමේදී ප්‍රේක්ෂකයන් අමතර වෙහෙසක් දැරිය යුතු ය. එය වෙඩි උණ්ඩ සේ එන රෝස මල් නිසා වඩා තීව්‍ර වන බව පෙනේ. ප්‍රධාන චරිත කිසිවක් නොමැතිව ඉන්දික මෙසේ 'වෙඩි නොවදින ළමයි' නිර්මාණය කරන්නේ සියලු චරිත නිරූපණයට බට රූපණවේදීන්ගේ සමත්කම් ද මහෝපකාරී කොට ගෙන ය. කිසිවෙකුත් පමණ ඉක්මවා සිය චරිත ඉස්මතු කිරීමට උත්සුක නො වන බව සත්‍යයකි. රූපණයට ආධුනික වූවන් පවා මේ පිළිවෙත හඳුනා ගෙන සිටි බව ද සඳහන් කළ යුතු ය.
මේ සියලු තතු මධ්‍යයේ 'වෙඩි නොවදින ළමයි' යනු ආකර්ෂණීය හා රසාලිප්ත සිනමාපටයක් සංවේදී ව නිර්මාණය කිරීමට දැරූ අසාර්ථක නො වූ ප්‍රයත්නයක් සේ හඳුන්වා දීම පමණක් ම යෝග්‍ය නො වේ. ඉන් ඔබ්බට මෙය රැගෙන යා හැකි ය. එමෙන්ම මෙය මහත් වූ අභියෝගයකි. ප්‍රධාන චරිත නොමැති, තරුණ චරිත ඉස්මතු නො වන, එකම පසුතලයක රැඳෙන, අඳුර සමඟ හැසිරෙන මෙවැනි සිනමාපටයක් වෙළෙඳ පොළේ දී සාර්ථකව අලෙවි කර ගැනීම වෙනුවෙන් ඉන්දිකට ද, ඔහුගේ කණ්ඩායමට ද නිර්මාණශීලී මැදහත්වීමක් සහතික කරන්නට සිදු වනු ඇත.